ධනවාදයේ අසාර්ථකත්වය

The failure of capitalism

2013 මැයි 3

යුරෝපීය ආර්ථිකය පිලිබඳව පසුගිය සතිය පුරාවට පලවූ සංඛ්‍යලේඛන, ගැඹුරුවන ආර්ථික හා සමාජ අර්බුදයේ ප‍්‍රකාශනය පමනක් නොවේ. ඒවාට, ධනේශ්වර ආර්ථික පර්යායේ බංකොලොත්කම සලකුනු කරන ප‍්‍රගාඪ ඓතිහාසික අර්ථයක් ද පවතී.

සිය නවතම ආර්ථික පුරෝකථනයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, සමස්තයක් ලෙස යුරෝ කලාපය සියයට 0.3න් හැකිලෙනු ඇති බවට අනාවැකි පලකර තිබේ. ඉතාලිය හා ස්පාඤ්ඤය සමග ප‍්‍රන්සය ගත්කල ප‍්‍රමුඛ ආර්ථිකයන් තුන පසුබෑමකට මුහුනපා සිටියි. ඒ හැටියට ගත් කල හැකිලීම ම වැදගත් සාධකයකි. එහෙත් එය සිදුවන්නේ මූල්‍ය අර්බුදය හටගෙන වසර 5කට පසුව වීමේ කාරනය පෙන්නුම් කරන්නේ, එය නිර්මානය කල යටි තලයේ ක‍්‍රියාවලියයි. යුරෝපීය ආර්ථිකය ගැඹුරෙන් ගැඹුරට පහත යන සර්පිලයක ග‍්‍රහනයට හසුව තිබේ.

ස්පාඤ්ඤය දැන් අවපාත මට්ටමේ සියයට 27ක විරැකියා අනුපාතයක් ද සියයට 57ක තරුන විරැකියාවක් ද පෙන්නුම් කරයි. මිලියන හයකට වැඩි ස්පාඤ්ඤ කම්කරුවන්ට රැකියා නැත. ප‍්‍රන්සය තුල පසුගිය මාසයේ රැකියාවක නොයෙදුනු හා රැකියාවක් සොයමින් සිටින මුලු සංඛ්‍යාව වාර්තාගත මිලියන 3.2ට නැගුනි. යුරෝපීය සංගමය පුරා ශ‍්‍රම බලකායෙන් සියයට 12ක් වන මිලියන 26ක් මිනිසුන්ට රැකියාවක් නැත.

බි‍්‍රතාන්‍යයේ අවසන් කාර්තුවෙහි ආර්ථික වර්ධනය යන්තම් සියයට 0.3කි. නිල පාලක කවයන්, එක දිගට එන "ටි‍්‍රපල් ඩිප්” යන පසුබෑමෙන් යාන්තම් ගැලවුනේය යන සැනසුම් සුසුමක් හෙලුව ද තවමත් බි‍්‍රතාන්‍ය ආර්ථිකය පවතින්නේ අර්බුදය පටන් ගන්නා විට තිබුනායින් සියයට 2.6ක් කුඩාවටය.

බි‍්‍රතාන්‍ය අත්විඳින්නේ සියවසක් තුල එහි දල දේශීය නිෂ්පාදිතයේ ගැඹුරුම හා දිග්ගැස්සුන පහත වැටීමකි. අර්බුදයට ඇද වැටී මාස 51ක් ගතවු තැන මුහුනදෙන එම තත්වය, මහා අවපාතය, 1970 ගනන්වල හා 1990 ගනන්වල පසුබෑම් අවධියේ ආර්ථික වර්ධනය ප‍්‍රකෘතිමත් වීමට පටන්ගෙන තිබුනු තත්වය හා සැසඳිය හැකිය.

ඊටත් වඩා, යුරෝපීය ආර්ථික දැක්ම නරක අතට හැරෙමින් තිබේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කලමනාකරන අධ්‍යක්ෂ ඬේවිඞ් ලිප්ටන් පසුගිය සතියේ කල කථාවකදී, යුරෝපය "එකතැන පල්වීමේ තත්වයක” අන්තරායට මුහුනපා සිටින බවට අනතුරු ඇඟවිය. "ආයෝජන පහත වැටෙමින් තිබේ. විරැකියාව වැඩිවීමට පටන්ගෙන තිබේ. මූල්‍ය වෙලඳපොලවල් කැබිලිතිවී යාමේ තත්වයක පවතී.” කෙසේ වෙතත් යුරෝපයේ තත්වය, සමස්ත ගෝලීය ධනවාදයේ තත්වය පිලිබඳ නරකම ප‍්‍රකාශනය පමනි. එක්සත් ජනපද ආර්ථිකයේ වර්ධනය රක්තහීන සියයට 2.5කි. විරැකියාව අවපාත මට්ටම් වලට ලඟාවී තිබේ. ඒ අතර දුප්පත්කම වැඩෙමින් ද සමාජ අසමානතාවය පුලුල් වෙමින් ද තිබේ. ෆෙඩරල් මහ බැංකුව ව්‍යාපාර ලාභ නංවමින්, මූල්‍ය වෙලඳපොලට මුදල් වක්කරන අතර ජනගහනයේ විශාල කොටසකගේ මූර්ත ආදායම අඛන්ඩව පහත වැටෙමින් තිබේ.

ධනපති මාධ්‍ය හා එහි ප‍්‍රකාශකයින්ට ද පන්ඩිතයින්ට ද ජනගහනයේ අති මහත් කොටසකගේ සමාජ තත්වය එන්ට එන්ටම නරක අතට හැරීම "නව සාමාන්‍යයේ” තවත් එක් ප‍්‍රකාශනයක් පමනි. ඉතිහාසයේ දැවැන්තම විද්‍යාත්මක හා තාක්ෂනික ප‍්‍රගමනයක් මධ්‍යයේ ජනගහනයේ එන්ට එන්ටම වැඩිවන සංඛ්‍යාවක් දුප්පත් කමට මුහුනදෙමින් සිටිය දී ඒ කිසිවෙකුටත් ඒ මන් ද යන්න පැහැදිලි කිරීමේ අවශ්‍යතාවක් ඇත්තේ නැත.

එහෙත් එවන් වර්ධනයක වැදගත්කම වසර 160කට පෙර කාල් මාක්ස් විසින් ගෙනහැර දැක්වීය. එවන් සංසිද්ධියක් පෙන්නුම් කරන්නේ, "ධනේශ්වරය තවදුරටත් සමාජයේ පාලක පන්තිය ලෙස පැවතීමටත් එහි පැවැත්මේ තතු සියල්ලටත් වඩා ඉහලින් ඇති නීතිය ලෙස සමාජය මත පැටවීමටත් යෝග්‍ය නොවන බවයි.”

එංගලන්ත මහ බැංකුව විසින් සංවිධානය කරන ලද සංසදයක් මෑතකදී ලන්ඩනයේ පැවැත්වීමට යෙදුන අතර එහිදී ජාමූඅ ප‍්‍රධාන අර්ථශාස්ත‍්‍රඥ ඔලිවර් බ්ලැන්චාර්ඞ් ඔහු කියන අර්බුදයේ පාඩම් ගෙනහැර දැක්වීය. එය වනාහි බුද්ධිමය හා දේශපාලන බංකොලොත් කමේ පාපොච්චාරනයක් විය.

2008 මූල්‍ය අර්බුදය පුපුරා යාම වැන්නක් තවදුරටත් සිදුවිය හැකි දෙයක් නොවේ යයි විශ්වාස කල බ්ලැන්චාර්ඞ්, මුලුමනින්ම අන්ද මන්දව සිටි බව පිලිගත්තේය. මූල්‍ය ක‍්‍රමයේ "ගිලාබැසීම” වටහා ගැනීමට ඔහු අසමත්වූ අතර 2009 ගෝලීය වෙලඳාම බිඳ වැටීමට තුඩු දුන් ලෝක ආර්ථිකයේ අන්තර් සම්බන්ධකම් ඔහු සැලකිල්ලට නොගත්තේය.

තව ද, "මූල්‍ය ක‍්‍රමයේ අතිශය සුවිශේෂී ගැටලු සමග පොර බැදීම සඳහා සම්ප‍්‍රධායික මූල්‍ය හා මූල්‍යමය මෙවලම් හුදෙක් සෑහෙන්නේ නැති” බව පිලිගැනීමෙන් පසුව ඔහු, ඊනියා සාර්ව නුවනක්කාර මෙවලම්, මූල්‍ය ක‍්‍රමය නියාමනය කිරීමේදී සැබවින්ම ක‍්‍රියාකරවිය හැකි ද යන්න ගැන තමා විශ්වාසයකින් නොසිටි බව පැවසීය.

බ්ලැන්චාර්ඞ් තනිව සිටින්නේ නැත. එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුව සිය ප‍්‍රමානාත්මක ලිහිල් කිරීමේ පිලිවෙත පුලුල් කිරීමට පසුගිය සැප්තැම්බරයේදී ගත් තීන්දුව හමුවේ, විවෘත ෆෙඩරල් වෙලඳපොල කමිටුවේ සාමාජික රිචඞ් ෆිෂර් මෙසේ පිලිගත්තේය. "ආර්ථිකය නිවැරදි මගට ගැනීමට සමත්වනු ඇත්තේ කුමක් ද යන්න කිසිවෙකුත් හරියට දන්නේ නැත.” කිසිම මහ බැංකුවක් "දැන් අප වැටී සිටින තැනින් සාර්ථක ලෙස ආපසු නිවෙස් බලා ගෙනයාමට අවශ්‍ය අත්දැකීම් සහිතව නොසිටියි.”

පසුගිය මාසයේ වොෂින්ටනයේ පැවති සිය වසන්ත සෘතු රැස්වීමෙන් අනතුරුව ජාමූඅ විසින් කැඳවන ලද ඉහල පෙලේ අර්ථශාස්ත‍්‍රඥයින්ගේ රැස්වීමේදී තවත් එවැනිම වියවුලක් දැකගත හැකිවිය. නොබෙල් ත්‍යාගලාභී ජෝර්ජ් ඇකලොෆ් ආර්ථික අර්බුදය සමාන කලේ, ගසකට නැග ගත් එහෙත් ඉන් බැසගැනීමට නොදත් පූසෙකු දැන් ගසෙන් වැටීමට පටන් ගැනීමක් ලෙසය. නොබෙල් ත්‍යාගලාභී ජෝසෆ් ස්ටිග්ලිට්ස් වසර පහකට පසුව "පූසා තවමත් ගස උඩ රැඳී සිටින්නේ මන් ද යන්න පැහැදිලි කරන මනා ආර්ථික න්‍යායක් නැතැයි” පවසන කල තවත් අර්ථශාස්ත‍්‍රඥයෙක් හඬ නැගුවේ වසර පහකට පසුව බලලා බිමට ගැනීමට කාලය එලඹ ඇති බව කියමිනි.

මධ්‍යතන පන්ඩිත්වයේ බංකොලොත්කම ද වැඩවසම් සමාජ පර්යාය පිලිබඳ සාකච්ඡාවල බංකොලොත්කම ද ප‍්‍රකාශයට පත්වුනේ ඇල්පෙනෙති හිසක් මත සුර දූතිකාවන් කී දෙනෙකුට නැටිය හැකි ද යන ආකාරයටය.

නූතන කාලයේ ධනේශ්වර ධර්මාචාර්යවරුන් හා ඔවුන්ගේ ගස් උඩ සිටින බලලුන් පිලිබඳ සාකච්ඡා, හුදු මනස්ගාත ලෙස පෙනී ගිය ද ඒ ඔවුන්ගේ පෞද්ගලික අසාර්ථකත්වයන්ගේ ප‍්‍රතිපල නොවේ. අවසාන විග‍්‍රහයේදී ඔවුන්, සියවස් තුන්කාලකට පමන පසුව එලඹි ගැඹුරුම අර්බුදය පිලිබඳ කිසිදු පැහැදිලි දැක්මක් ඉදිරිපත් කිරීමට අසමත් වීමට හේතුව, ඔවුන් ආරක්ෂා කරන සමාජ-ආර්ථික පර්යාය ඓතිහාසික ප‍්‍රගමනයේ මොනයම්ම පෙර ගමන් අවස්ථාවකට හෝ ප‍්‍රතිවිරුද්ධව පිහිටීම නිසාය.

පාලක පන්තියේ දෘෂ්ඨිවාදින් සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමය බිඳවැටීම සමාජවාදයේ අවසානය බව නිවේදනය කිරීම පිනිස ඩැහැගනු ලැබුව ද අර්ථශාස්ත‍්‍රඥයින් හා මාධ්‍ය පන්ඩිතයින් ධනවාදයේ අසාර්ථකත්වය ගැන කටක් අරින්නේ නැත.

කෙසේ වෙතත්, ඔවුන්ගේ වික්ෂිප්ත භාවයෙහි මතුපිටට සමීපයෙන්ම යටින් වැටී ඇත්තේ, මෙම ආර්ථික බිඳ වැටීම සමාජ හා පන්ති අරගලයන්ගේ ඉමහත් නැගීමක් ඇති කරයි යන වැඩෙන භීතියයි. ටයිම් සඟරාවේ මෑතක පලවූ ලිපියක සඳහන් වුනේ, මාක්ස් මෙවන් න්‍යායික පෙරදැකීමක් ඉදිරිපත්කර ඇති බවයි. "ධනේශ්වර ක‍්‍රමය, ලෝකයේ ධන සම්පත් බඩජාරී සුලු පිරිසක් අත සංකේන්ද්‍රනය කරන අතර ලෝක ජනතාව නොවැලැක්විය හැකි ආකාරයකට දුගී භාවයට ඇද හෙලමින් ආර්ථික අර්බුදයන්ට මග පාදයි.... සාක්ෂි පිලිබඳ වැඩෙන තොරතුරු ගොනුව සංකල්පනය කරන්නේ ඔහු නිවැරදි විය හැකි බවයි.”

යුරෝපයෙන් හා වෙනත් තැන් වලින් ගොනුවන විශාල සංඛ්‍යාලේඛන පෙන්නුම් කරන්නේ ධනවාදය, විප්ලවවාදී ඇඟවුම් ගැබ්කරගත් මාරාන්තික අර්බුදයකට එලඹී සිටින බවයි.

ධනවාදී පර්යායේ ආරක්ෂකයින්ගේ බුද්ධිමය විසිරී යාම පෙන්නුම් කරන්නේ, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ ක‍්‍රියාමාර්ගික පදනම් මත කම්කරු පන්තිය විසින් ගොඩනගන දැනුවත් දේශපාලන අරගලයක් මගින්, ලාභ ක‍්‍රමයේ බිඳවැටීම සලකුනු කරන සමාජ දිරාපත්වීමේ පහතට නැඹුරු සර්පිලයෙන් සමාජය ඉවතට මෙහෙයවීම සඳහා මාවත විවර කරනු ඇති බවයි.

නික් බීම්ස්

Share this article: