ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය හා එක්සත් ජනපද ප්‍රජාතන්ත්‍රයේ ඉරනම

The war on terror and the fate of US democracy

2013 මැයි 28

ජනාධිපති බරක් ඔබාමා පසුගිය සතියේ වොෂින්ටන් ඩීසීහි ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාලයේ දී කරන ලද කථාව, ඔබාමා පාලනයේ අර්බුදය හා රාජ්‍යයේ ඉහල ම කොටස් තුල එන්ටඑන්ට ම උග්‍රවන ගැටුම් පමනක් නො ව, අති මූලිකව පන්ති පාලනයේ ඓතිහාසික අර්බුදය ද එලිමහනට පමුනුවා ඇත.

ඔබාමාගේ කථාව සුවිශේෂී වැදගත්කමක් දරයි. අඩ සියවසකටත් වඩා පෙර අයිසන්හවර්, දෙවන ලෝක යුද්ධයෙන් ඉක්බිත්තේ, "මිලිටරි කාර්මික සංකීර්නයක්" මතුව ඒම තුලින් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රය තර්ජනයට ලක්ව ඇතැයි අනතුරු ඇඟවීමෙන් පසුව ඔබාමා, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රය බිඳීයාමේ ලක්ෂ්‍යයකට පැමින ඇතැයි මුලුමනින් ම පිලි නොගත්තා පමනි.

"ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" ආරම්භවී දශකයකට පසුව ඔබාමා, "ඇමරිකාව අතරමංව ඇතැයි" අනතුරු ඇඟවීය. "අප මෙම අරගලයේ ස්වභාවය හා පරිමානය නීර්නය කරගත යුතු ය. නැතහොත් එය අපව නීර්නය කරනු ඇත. යුද්ධයේ දිගට ම යෙදී සිටිමින් කිසිදු ජාතියකට සිය නිදහස සුරක්ෂිත කරගත නො හැකිය යන ජේම්ස් මැඩිසන්ගේ අනතුරු ඇඟවීම අප සිහියට නඟාගත යුතුව ඇත," ඔහු තවදුරටත් පැවසීය.

වෙනත් වචනවලින් කිවහොත්, ඇමරිකානු ප්‍රජාතන්ත්‍රය අනතුරේ හෙලන්නේ, සැප්තැම්බර් 11දායින් පසුව වත්මන් පාලනය ද ඇතුලු ඇමරිකානු පාලක පන්තිය විසින් තමන්ගේ සියලු කටයුතු සඳහා කඩතුරාව කරගත් කාරනය වන, "ත්‍රස්තවාදීන්" නො වේ. අනතුර පැමිනෙන්නේ රාජ්‍ය තුලින් ම ය.

ඔබාමාගේ කථාව පැහැදිලිව ම ඉස්මතු වන්නේ, රාජ්‍ය යාන්ත්‍රනය ඇතුලත හටගෙන ඇති කටුක ගැටුම් තුලිනි. තමන් තර්ක කරනු ලබන්නේ කුමන පාර්ශවයන් සමග ද යන්න පැහැදිලි නොකරන විවාදයක ඔහු පැටලී සිටින බව පෙනේ. විටින් විට ඔහු ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් මෙන් මඳකට නතර විය. තමන්ගේ ම පාලනයේ කටයුතු කෙරෙහි ඔහු මුලුමනින් ම පාහේ රිනාත්මක ආකල්පයක් ගනු ලැබුවේ, කෙසේ හෝ මේවා බාහිර කාරනා නැත්නම් තමන්ගේ පාලනයෙන් පිටත පවතින බලවේග විසින් එල්ල කරන දේ ලෙස සලකාගෙන ය.

මෙය වනාහි ආත්ම විශ්වාසයෙන් යුතු ප්‍රධාන විධායකයෙකුගේ කථාවක් නො වේ. එය වැටලීමට ලක්ව සිටින, අභ්‍යන්තර පරස්පර විරෝධයන්ගෙන් ඉරී ගිය, ආන්ඩුව මත ඔහුගේ පාලනය මුලුමනින් ම ප්‍රශ්නයට බඳුන් කෙරෙන බව පෙනී යන පාලනයක නියෝජිතයෙකුගේ කථාවකි.

ජනාධිපති යලි යලිත් ගනු ලැබූ නීති විරෝධී ක්‍රියාවන් ගැන සඳහන් කලේ ය. ඇමරිකානු ආන්ඩුව, "අපගේ සතුරන්ගෙන් ප්‍රශ්න කරද්දී වධ බන්ධන යොදාගැනීම හා නීතියේ සාධාරනත්වයට පටහැනිව ගිය පුද්ගලයින් රඳවා තැබීමේ දී, අපගේ මූලික වටිනාකම් බිල්ලට දී ඇතැ" යි ඔහු පිලිගත්තේ ය.

ඒවා "නීතියේ සාධාරනත්වයට පටහැනි" ලෙස නම් කිරීමෙන් ඔබාමා, ඔහුගේ ම පාලනය යටතේ ද සිදුව ඇති, එක්සත් ජනපදයේ ආන්ඩුව විසින් ඉටුකල කටයුතු, නීති විරෝධී, සාපරාධී හා ව්‍යවස්ථා විරෝධී යයි සඵල ලෙස ම පිලිගත්තේ ය.

තමන් වගකීමට බැඳිය හැකි ව්‍යවස්ථා උල්ලංඝනය කිරීම් ගැන කෙලින් ම ඇඟවුම් කරමින් ඔහු, සිය නොසංසුන්කම එලිපිට ම පෙන්වූ අතර එම ක්‍රියාවන් ආරක්ෂා කිරීමට උත්සාහ කලේ ය.

මෙම තීන්දු ගැනීමේ දී වෙනත් අය ද සම්බන්ධවූ බව ඔහු සිය ශ්‍රාවකයින්ට යලියලිත් සිහිපත් කලේ ය. "බලය යෙදීමට කොන්ග්‍රසය අවසර දී ඇතුවා පමනක් නො ව, ඇමරිකාව සිදුකල සෑම ප්‍රහාරයක් ගැන ම, සෑම ප්‍රහාරයක් ගැන ම, කොන්ග්‍රසය දැනුවත් කල" බව ඔහු අවධාරනය කලේ ය. "අප ඇමරිකානු පුරවැසියෙක් ඉලක්ක කල එක් අවස්ථාවක් ද එයට ඇතුලත් ය."

එක්සත් ජනපදය තුල ප්‍රජාතන්ත්‍ර රූපාකරයන්ගෙන් විවෘතව බිඳී යාමේ, ඇමරිකානු පුරවැසියන්ගෙන් සඟවන ලද, සූදානම බොහෝ ඉහල මට්ටමක පවතී. "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ" සැකිල්ල යටතේ, ඇමරිකානු පාලක පන්තිය ප්‍රජාතන්ත්‍රවාදය වඳවී යාමේ තැනට ම ගෙනැවිත් ඇත. පලමුව බුෂ් හා පසුව ඔබාමා යටතේ විධායකය, යුද්ධ දියත් කිරීමට, ඇමරිකානු ජනතාව ගැන ඔත්තු බැලීමට, සිරකරුවන්ට වධ දීම හා නඩු නොමැතිව අනියත කාලයක් රඳවා තැබීමට, මිලිටරි විනිශ්චය සභාවල දී ඔවුන්ට එරෙහිව නඩු විභාග කිරීමට, එක්සත් ජනපද පුරවැසියන් ද ඇතුලුව, ඕනෑම කෙනෙක් ඕනෑම තැනක දී විධිමත් ක්‍රියාවලියකින් තොරව මරා දැමීමට, ඉමහත් බලතල ගොනුකරගෙන තිබේ.

යන්තම් මාසයකට පමන පෙර, තවමත් පැහැදිලි නොකල බොස්ටන් මැරතන් ධාවනයේ බෝම්බ පිපිරවීමෙන් පසුව, සමස්ත නගරයම සීල් තබා යුද්ධ නීතියට සමාන තත්වයක තබනු ලැබීය. ඒ වන විට ලෝක සමාජවාදී වෙබ් අඩවිය සඳහන් කල පරිදි "බොස්ටන් සිද්ධීන් නග්න ලෙස හෙලිදරව් කර ඇත්තේ, එක්සත් ජනපදය තුල පාලනයේ ආඥාදායක රූපාකාරයන් ස්ථාපිත කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ගයකි." "ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය" දියත්කිරීමේ නිමිත්ත වූ සැප්තැම්බර් 11 ප්‍රහාරවල දී සේම යලි වතාවක් බෝම්බකරුවන්, රාජ්‍ය යාන්ත්‍රනය විසින් සමීපව නිරීක්ෂනය කර තිබුනි. එසේම සිදුවීම් ඩැහැගනු ලැබුවේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට නව හා පෙර නොවූ විරූ පහරක් එල්ල කිරීමට ය.

ප්‍රජාතන්ත්‍රයේ බිඳ වැටීම, මිලිටරියේ ද බුද්ධි හා ඔත්තු සේවා යාන්ත්‍රනයේ ඉමහත් වර්ධනය හා ශක්තිය ද සමග බැඳී ඇත. මෙම ආයතන ක්‍රියාත්මක වන්නේ ඔවුන්ගේ ම නීතිවලට අනුව ය.

ඇෆ්ගනිස්ථානයේ හිටපු සන්නද්ධ හමුදා ආඥාපති ලුතිනන් ජෙනරාල් කාල් ඊකෙන්බරි හා ඉතිහාසඥ ඩේවිඩ් කෙනඩි විසින් ලියන ලද ලිපියක් ඊයේ නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රයේ පල විය. එය, පාලක පන්තිය තුල සිවිල්-මිලිටරි සම්බන්ධතා පිලිබඳ ප්‍රශ්න ගැඹුරින් සාකච්ඡා කර ඇති බව සනාථ කිරීමකි. "ඇමරිකානුවන් හා ඔවුන්ගේ මිලිටරිය දෙපැත්තකට පාවී යයි" යන සිරස්තලය යටතේ පලවූ ලිපියේ දී කතුවරුන් දෙදෙනා, මිලිටරියේ ප්‍රසාරනය සිදුවෙමින් ඇත්තේ "පුරවැසියන්ගේ අවම සහභාගිත්වය හා දැනුවත්භාවයේ" කොන්දේසි යටතේ යයි කනස්සල්ල පල කරති.

"අනාගතයේ දී සන්නද්ධ හමුදා නවීකරනය වෙද්දී, පුරවැසියන් හුදෙක් නරඹන්නන් සමූහයක් විය නොහැකි ය. මිලිටරි බලය පිලිබඳව ඇඩම්ස් කිවූ පරිදි, නුවනක්කාර හා ඥානාන්විත ජනතාවක්, එය දෙස සැම විට ම සුපරීක්ෂාකාරීව හා ඊර්ශ්‍යා සහගතව බලනු ඇත," යනුවෙන් ලිපිය සමාප්ත කරමින් ඔවුහු, මෙම තත්වයට මුහුනදීම සඳහා කිසියම් ආකාරයක කෙටුම්පතක් සකස් කිරීමේ ආයතනයක් වෙනුවෙන් කථා කරති.

නිරන්තර යුද්ධයේ කොන්දේසි හමුවේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාද‍ය බිඳවැටීමේ ඉහල අදියර මගින් පාලක පන්තියේ වෙනස්වූ කොටස් අතර උග්‍ර ගැටුම් නිර්මානය කර තිබේ. පාලක පන්තිය ඇමරිකානු ජනතාවගේ පස්සා පැත්තෙන් ගැටුම්වලට එලැඹී සිටින අතර මිලිටරියේ, සීඅයිඒ හා එෆ්බීඅයිහි විවිධ ශාඛා අතර හා ඒවා තුල, කන්ඩායමික යුද්ධ හටගෙන ඇත.

පාලක පන්තියේ සමහර කොටස් විවෘත මිලිටරි ආඥාදායකත්වයකටත්, නීතිමය තත්වයන්ගෙන් හා ධනපති ප්‍රජාතන්ත්‍රවාදයෙන් බිඳී වෙන්වීමටත් නැඹුරුව සිටීම, දැවැන්ත අන්තරායන් සමඟ ද වෙලී ඇත. ඇමරිකානු දේශපාලන ක්‍රමයේ නීත්‍යානුකූලභාවය නිර්නය කරන්නේ ව්‍යවස්ථාවෙනි.

ඇමරිකානු පාලක පන්තිය, සිය පාලනය පාදක කර තිබෙන දේශපාලන පදනම් විනාශ කරමින් සිටිති. තමන් ලොකුම නීති කඩන්නන්ව සිටිමින්, කම්කරු පන්තියෙන් රාජ්‍යයට එල්ල වන අභියෝගයන්ට මුහුනදීමේ දී ඔවුන්ට, නීත්‍යානුකූලභාවයේ පිහිට පැතිය නොහැකි ය. ඔවුන් ව්‍යවස්ථාපිත නීත්‍යානුකූලත්වයෙන් ඈත් වන්නට වන්නට, එක්සත් ජනපදය තුල මෙන් ම ජාත්‍යන්තරව ද මහජනතාවන් හමුවේ පාලක ප්‍රභූව වඩ වඩාත් අවජාතක බවක් පෙන්නුම් කරයි.

එහෙත් මෙම සන්තාපයන් තිබිය දී ම ඔබාමාට හෝ පාලක පන්තියේ වෙනත් කවර කොටසකට හෝ ලබාදිය හැකි වෙනත් කිසිවක් ඇත්තේ නැත. ඔබාමාගේ කථාවේ අමුතු හා ප්‍රතිවිරෝධී ස්වභාවය මෙයින් පැහැදිලි කෙරෙයි.

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රයේ ස්වභාවය ගැන මනස්තාපය පලකරන අතර ම, ඔබාමාගේ ප්‍රකාශයන්හි එක් මූලික අරමුනක් වූයේ, විධිමත් ක්‍රියාවලියකින් තොරව ඇමරිකානු පුරවැසියන් මරාදැමීම වැනි මේ දක්වා සිදුකර තිබෙන ප්‍රජාතන්ත්‍රය අමු අමුවේ උල්ලංඝනය කිරීම් ආරක්ෂා කිරීම යි. මෙම ක්‍රියාන්විතයන් දිගට ම සිදුකෙරෙනු ඇතැයි ඔහු පැවසීය. විධායකයේ තීරනයට රබර් මුද්‍රාව තබන එක් හෝ තවත් ආකාරයක පාලන ක්‍රියාවලියක රූපාකාරයෙන් එන ව්‍යාජ වහන්තරාවක් සමග එසේ සිදුවනු ඇත.

මිලිටරිවාදය සම්බන්ධයෙන් ගත් කල "ත්‍රස්තවාදයට එරෙහි නිමක් නැති යුද්ධය" අවසන් කල යුතු යයි කියා සිටින අතර ඔබාමා, ලෝකය පුරා මිලිටරි මෙහෙ‍යුම් මාලාවක් ගෙනහැර දැක්වීය. ජනාධිපති බෂාර් අල් අසාද් බලයෙන් පහකිරීමේ ව්‍යාපාරයෙහි කොටසක් ලෙස, බොහොමයක් අල් කයිඩාවට සම්බන්ධ සිරියානු "කැරලිකරුවන්" සන්නද්ධ කිරීම වේගවත් කල යුතු බව ඔහු කියා සිටියේ ය. ඒ සමගම, ඇමරිකානු පාලක පන්තියේ සමහර කොටස්, මැද පෙරදිග සිය සමහර හමුදා බලඇනි, චීනය සමග වඩාත් විවෘත ගැටුමකට සූදානම් වීම පිනිස ආසියාව දෙසට හැරවීමටත් උත්සාහ කරති.

අවසානයේ දී ඔබාමා ප්‍රසිද්ධියේ ම සිය දෙගිඩියාව ප්‍රදර්ශනය කල ද කිසිවක් වෙනස් කිරීම සඳහා අධිෂ්ඨානයක් හෝ හැකියාවක් ඔහුට නැති බව ද පෙන්නුම් කලේ ය. නිව් යෝර්ක් ටයිම්ස් හා නේෂන් සඟරාව ඇතුලු ඩිමොක්‍රටික් පක්ෂයේ ක්ෂමාලාපකයින්, ඔබාමාගේ කථාව, තෘප්තිමත්භාවයේ ද සටකපටිකමේ ද බොලඳකමේ ද කැටිවූ පරිවර්තනීය සිදුවීමක් ලෙස ගෙනහැර දක්වති. මෙම කාරනය තහවුරු කිරීමට ඔවුහු, 27 දා මතක සැමරුම් දිනයේ ඔබාමා කල කථාවේ දී ජාතිය "තවමත් යුද්ධයේ පැටලී සිටින" බවට කල සඳහන උපුටා දක්වති.

තව ද, ධනේශ්වරයේ, මිලිටරි/ඔත්තු හා බුද්ධි අංශ යාන්ත්‍රනයේ වඩාත් බලගතු කොටස්, ගෝලීය අධිපතිවාදය පිලිබඳ වැඩපිලිවෙල ඔබාමා විසින් අතහැර දමා ඇති බව මෙහොතකට හෝ සිතන්නේ නම්, ඔහුගේ පාලනය රුදුරු හා වේගවත් අවසානයකට එනු ඇත.

එලැඹෙන විප්ලවවාදී නැගිටීම් පිලිබඳ අතිශයින් ම වැදගත් ඇඟවුම වන්නේ, ධනේශ්වර පාලනයේ අර්බුදය යි. විප්ලවයන් පැන නගින්නේ, පීඩිත පන්තීන්ට පැරනි ආකාරයට ජීවත් වීමට නොහැකි නිසා පමනක් නො ව පාලක පන්තීන්ට පැරනි ආකාරයට පාලනය කල නොහැකිවීම ද නිසා ය යන පොදු දේශපාලන මූලධර්මය ඉතිහාසය විසින් සනාථ කොට තිබේ.

පන්ති පාලනයේ අර්බුදය හා ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ බිඳ වැටීම මුල්බැස ඇත්තේ, එක් අතකින්, විදේශයන්හි දී නිමක් නැති යුද්ධ ද අනෙක් අතට, සමාජ අසමානතාවේ පෙර නොවූ විරූ අපාලිත හා ඓතිහාසික පරිමාව ද තුල ය.

මෙම වර්ධනයන් කම්කරු පන්තියට දරුනු අන්තරායන් මුනගස්වයි. එක්සත් ජනපදය තුල ආඥාදායකත්වයක හැකියාව මතුවෙමින් තිබෙනවා පමනක් නො වේ. එය දැනටමත් මතුවෙමින් තිබේ.

ප්‍රජාතන්ත්‍රී අයිතීන්ගේ ආරක්ෂාව සියල්ලටත් වඩා පන්ති ප්‍රශ්නයකි. ධනවාදයේ පදනම මත ප්‍රජාතන්ත්‍රය හා අධිරාජ්‍යවාදී මිලිටරිවාදය එකට පැවතිය නොහැකි ය. සිය අවශ්‍යතා ආරක්ෂාකර ගැනීමේ දී කම්කරු පන්තියට, ධනේශ්වර රාජ්‍ය යාන්ත්‍රනයේ හෝ එහි ද්විතීයික සංවිධාන මත විශ්වාසය තැබිය නොහැකි ය.

සමාජවාදී ක්‍රිමාර්ගයක පදනම මත කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීම, ඉහල ම හදිසිභාවයක් අත්කර ගනී. මෙහි අර්ථය සියල්ලටත් වඩා සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම යි.

ජෝසෆ් කිෂෝර්

Share this article: