කම්කරුවන් දුගීභාවයේ ගිලෙද්දී ශ‍්‍රී ලංකා මහා ව්‍යාපාර වල ලාභ ඉහල නැගේ

Sri Lankan corporate profits soar as workers face poverty

සමන් ගුනදාස විසිනි, 2013 අපේ‍්‍රල් 25

කම්කරු ජනයාට බරපතල කප්පාදු පිලිවෙත් දරාගැනීමට බලකෙරෙද්දී රටෙහි ධනය මහා ව්‍යාපාර අතලොස්සක් විසින් කොල්ල කන බව 2013 මාර්තුවලින් අවසන් වූ මුදල් වර්ෂය සඳහා ශ‍්‍රී ලාංකික මහා ව්‍යාපාර අංශ විසින් ප‍්‍රසිද්ධ කෙරුනු ලාභ ප‍්‍රතිපල පෙන්නුම් කරයි.

මෑතකදී ප‍්‍රසිද්ධ කෙරුනු එන්ඩීබී කොටස් තැරැව්කරුවන්ගේ වාර්තාවට අනුව, වැවිලි (සියයට 375) සෞඛ්‍ය සේවා (සියයට 153), විදුලිබල සහ බලශක්ති (සියයට 81), බැංකු සහ ෆිනෑන්ස් (සියයට 40), හෝටල් සහ සංචාරක (සියයට 28), බීම, ආහාර සහ දුම්කොල (සියයට 18) සහ විදුලි සංදේශ (සියයට 7) ලාභ කඳු ගැසී තිබේ.

වතුකරයේ කම්කරුවන්ගේ ශ‍්‍රම බලය ම්ලේච්ඡ ලෙස සූරාකෑම සම්පූර්නයෙන්ම හෙලිදරව්වී ඇත. සමාගම් ලාභ ආසන්නව හතර ගුනයකින් ඉහලයද්දී, වැවිලි කම්කරුවෝ ශ‍්‍රී ලංකාවේ අවම වේතන ලබන්නන් අතර දිගටම සිටිති.

වතුකම්කරුවන්ට පිටුපා, වෘත්තීය සමිති සහ කලමනාකරනය අතර මේ මාසයේ ඇතිවුනු රහස් වේතන ගනුදෙනුව යටතේ, දිනක වැටුප රුපියල් 70කින් (එජ සත 55) පමනක් ඉහල දැමූ අතර වැටුප් වසර දෙකක් සඳහා කැටි කර ඉහල දැමුනු ඵලදායිතා කෝටාවකට යටත් කරනු ලැබ ඇත.

එසේ වුවත්, මූල්‍ය වර්ෂයේ අවසන් කාර්තුවේදී පමනක්, බොගවන්තලාව තේ සමාගමේ දල ලාභය පස්ගුනයකින් එනම් රුපියල් මිලියන 170ක පිම්මක් පැන්න අතරේදී, හොරන වැවිලි සමාගමෙහි ලාභය තුන් ගුනයකින් එනම් රුපියල් මිලියන 100කට ඉහල ගියේය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (ජාමූඅ) විධානයන්ට අනුව රුපියල සැලකිය යුතු ලෙස අවප‍්‍රමාන කිරීමත් ශක්තිමත් අන්තර්ජාතික තේ මිලත් වතුකරයේ ලාභ ඉහල යෑමෙහි ප‍්‍රධාන සාධක විය.

තම ඉතිරිකිරීම් හිස්කරමින් හෝ කිසියම් දේපලක් විකුනා දමමින් පුද්ගලික රෝහල් වෙත යොමු වීමට බල කෙරී ඇති රෝගීන්ගේ ගනන ඉහල යෑම සෞඛ්‍ය අංශයේ ලාභ වැඩිවීමේ හේතුව විය. ශ‍්‍රී ලංකා ආන්ඩුව නිදහස් සෞඛ්‍ය සේවාව සීඝ‍්‍ර ලෙස දුර්වල කිරීම එයට හේතුවයි.

ඒ සමානව ම, විශාල පාඩු ලබමින් සහ භාන්ඩාගාර අරමුදල් මත යැපෙන රජයට අයත් ලංකා විදුලිබල මංඩලය (ලංවිම) මත රැඳෙමින් ඔවුනට විදුලිබලය අලෙවිකරන පුද්ගලික විදුලි ජනන සමාගම් දැවැන්ත ලාභ රැස්කරමින් සිටිති. ජාමූඅ ඉල්ලීම ක‍්‍රියාත්මක කිරීමක් වන අයවැය හිඟය අඩුකිරීමට, රජය නිවාස විදුලි බිල් රුදුරු ලෙස සියයට 68 කින් ඉහල දැම්මේය. නමුත් පුද්ගලික විදුලි ජනනයකරන්නන්ගේ ලාභවලට අතතැබීමට රජයට කිසිදු වුවමනාවක් නැත.

සමස්තයක් ලෙස, මූල්‍ය වර්ෂය තුලදී ආයතනික ලාභ සාමාන්‍යයක් ලෙස සියයට 10කින් ඉහල ගොස් ඇත. එන්ඩීබී වාර්තාව පවසන අන්දමට, "කොටස් වෙලඳපොලෙහි සමස්ත වෙලඳපොල ප‍්‍රාග්ධනීකරනයෙන් සියයට 77කට දායකත්වය දක්වන එනම් වෙලඳපොල නියෝජනය කරන්නන් සේ සැලකෙන සමාගම් 93ක මුලු ලාභය පෙර වසරට සාපේක්ෂව සියයට 10කින් ඉහල ගොස් තිබේ.”

ආන්ඩුවේ බැකිම ලැබෙන ව්‍යාපාර සහ මූල්‍ය ප‍්‍රභූ කන්ඩායමක් විසින් කොටස් වෙලඳපොල හසුරුවන අතර එමගින් කුඩා ආයෝජකයන්ට පාඩු විඳීමට සලසවමින් විශාල ආයෝජකයෝ දැවැන්ත ලාභ උපයති. රාජ්‍ය බැංකු විසින් පවත්වාගෙන යනු ලබන කම්කරුවන්ගේ විශ‍්‍රාම අරමුදල් සහ තැන්පතු මේවා සඳහා යොදවනු ලැබේ.

බැංකු අංශය වඩා ලාභ උපයන කර්මාන්තවලින් එකකි. 2012 සඳහා වන මහ බැංකු වාර්තාව පවසන්නේ, "2011 දී වාර්තා වුන රුපියල් බිලියන 66ක් වන බදු ගෙවීමෙන් පසු ලාභය හා සසඳනවිට 2012 වසර සඳහා බැංකු අංශ බදු ගෙවීමෙන් පසු ඉහල ලාභයක් එනම් රුපියල් බිලියන 82ක් වාර්තා කර තිබෙන බවයි.”

දේශීය බැංකු දෙකක් වන සම්පත් සහ යූනියන් බැංකු පිලිවෙලින් රුපියල් බිලියන 5ක් සහ බිලියන අඩක ලාභ එනම් සියයට 50ට වඩා ලාභ වැඩිවීමක් වාර්තා කර තිබේ. එලෙස ම, රක්ෂන සමාගම්වන සෙලින්කෝ රක්ෂන සහ යුනියන් ඇෂුවරන්ස් හි දල ලාභ පිලිවෙලින් සියයට 24 සහ 33 කින් එනම් රුපියල් බිලියන 1.65ක් සහ රුපියල් මිලියන 921ට ඉහල ගොස් තිබේ.

තැන්පත්කරුවන් අඩු පොලී අනුපාත මත රඳවන අතරේ ප‍්‍රධාන වශයෙන්ම වැඩි පොලී අනුපාත මත නය නිකුත්කිරීම තුලින් බැංකු විසින් ලාභ උපදවා තිබේ. එලෙස ම, රුපියල අවප‍්‍රමාන වීමෙන් ද බැංකු වාසි ලැබීය.

බැංකුවල කොල්ලකාරී පොලී අනුපාත ව්‍යාපාර මත දරුනු ලෙස බලපා තිබේ. පසුගිය වසර දෙක තුන පුරාවට "සියයට 18 ට ඉහල නැගුනු නය මත බැංකු පොලී අනුපාත ඇතුලත් දරුනු මූල්‍යමය අමාරුකම් මධ්‍යයේ" රටෙහි කුඩා කර්මාන්ත හතරෙන් එකක් පමන කඩා වැටී ඇති බව ශ‍්‍රී ලංකා සුලු සහ මධ්‍ය පරිමාන කර්මාන්ත මන්ඩලයේ සභාපති ඇලෝයි ජයවර්ධන මෑතකදී වාර්තා කලේය.

ඉහලම ආයතනික බදු අනුපාතය සියයට 28 මත රඳවා තබා ගනිමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව ද ලාභ ඉහල දමා ගැනීමට උපකාරී වී තිබේ. ඒ සමග ම, තද වැටුප් කැටිකිරීම්, සහනාධාර කපාහැරීම්, සහ මූලික ආහාර ද්‍රව්‍ය, බලශක්ති සහ අනෙකුත් අත්‍යාවශ්‍ය දේ මත බදු ඉහලදැමීම් හරහා මුදල් ඇමතිද වන රාජපක්ෂ වැඩකරන ජනතාව මත නව පීඩා පටවා තිබේ.

කම්කරු පන්තියේ ජීවන තත්වයන් දිනෙන් දින පිරිහෙමින් තිබේ. පසුගිය නොවැම්බරයේ නිකුත් කල වාර්තාවක, ඊනියා ඵලදායිතා වැඩිදියුනුකිරීමකින් තොරව වැටුප් වැඩි නොකලයුතුයැයි ද එමගින් "වැටුප් පේ‍්‍රරන උද්ධමන පීඩනවලට” මග පාදනු ඇතැයි මහ බැංකුව රජයට අවවාද කලේය. ඵලදායිතා වැඩිදියුනුකිරීම් යනුවෙන් අදහස් කරන්නේ දිග්ගැසුනු වැඩකරන පැය ගනන්, ඉතා සීඝ‍්‍ර වේගවත්කිරීම් සහ බරපතල වැඩභාර හරහා කම්කරුවන් සූරාකෑම වේගවත් කිරීමයි.

සමාජ අසමානතාව වඩ වඩා කැපී පෙනෙමින් තිබේ. මෑතක දී සමුලුවක් අමතමින්, ආර්ථික විද්‍යා මහාචාර්ය ඒ.වී. ද එස්. ඉන්ද්‍රරත්න මෙසේ පැවසුවේය. "ශ‍්‍රී ලංකාව එජඩො 2,920 ක ඒක පුද්ගල ආදායමක් සහිත මිලියන 20ක ජනගහනයකින් යුත් එජඩො බිලියන 60ක කුඩා ආර්ථිකයක් සහිත රටකි. නමුත් ජනගහනයෙන් සියයට 40ක් එනම් පහෙන් දෙකක් ජීවත්වන්නේ මෙම ඒක පුද්ගල ආදායමෙන් හතරෙන් පංගුවකින්, වෙනත් විදිහකට පැවසුවොත්, දිනක ආදායම එජඩො 2ක්.”

2009-10 දී, පොහොසත්ම සියයට 20 ට සමස්ත ගෘහස්ත ආදායමෙන් සියයට 54.1ක් ලැබෙද්දී ජනගහනයෙන් දුප්පත්ම සියයට 20 ට ලැබුනේ එයින් සියයට 4.5ක් පමනක් බව නවතම නිවාස ආදායම් සහ වියදම් සමීක්ෂනයෙන් පෙන්නුම් කෙරේ. සාමාන්‍ය ගෘහස්ත ආදායමෙන් හරියටම අඩක් ආහාර සඳහා වියදම් කර ඇති බව සමීක්ෂනය පෙන්වා දේ.

මෙම සමීක්ෂනයට අනුව, සාමාජිකයන් හතරකින් යුත් පවුලක් සඳහා අවශ්‍ය අවම මාසික ආදායම රුපියල් 32,000ක් (එජඩො 252) විය යුතුය. පසුගිය දෙවසරේ ඉහල නැගි ජීවන වියදම සලකා බැලුවහොත් මෙම අගය තවත් ඉහලය. එසේ වුවත්බොහෝ කම්කරු පන්තික නිවාස මෙම අගයෙන් අඩකින් ජීවිත ගැට ගසා ගන්නට අරගලයක යෙදේ. එහි ප‍්‍රතිපල ලෙසට, කම්කරුවෝ දීර්ඝ පැය ගනන් වැඩෙහි යෙදීම, නිවාඩු දින කැපකිරීම් සහ අන්තරායිකාරී ලෙස වේගවත්ව වැඩ කිරීම ආදියේ නියැලෙති.

2013 මාර්තු සඳහා වන ආන්ඩුවේ ජාතික දරිද්‍රතා රේඛාව මාසිකව රුපියල් 3,659 ක් වන, එනම් එක් පුද්ගලයෙක් වෙනුවෙන් බත් වේලක් මිලදී ගැනීමට අපහසුවෙන් සෑහෙන දිනකට රුපියල් 121 (එජ සත 95) කි. මෙම ගනන් බැලීමට අනුව පවා, මිලියන දෙකකට ආසන්න ජනතාවක් එවැනි පීඩාකාරී දුගීභාවයක ජීවත් වෙති.

Share this article: