එක්සත් ජනපදය හා එහි අනුචරයෝ සිරියාවට, ලෙබනනයට හා ඉරානයට එරෙහිව යුද්ධයට සැරසෙති

US and allies step up war preparations against Syria, Lebanon, Iran

ක්‍රිස් මාස්ඩන් විසිනි, 2013 මැයි 25

ජූනි යේ දී ජිනීවාහි පැවැත්වීමට යෝජිත ජාත්‍යන්තර සාම සමුලුවක දුමාරයට මුවා වෙමින් එක්සත් ජනපදය හා එහි අනුචරයෝ, සිරියාවට එරෙහි සිය මිලිටරි ප්‍රචන්ඩත්වය දිගින්දිගට ම උත්සන්න කරමින් සිටිති.

නිල වශයෙන් පැවසෙන පරිදි මෙම සමුලුව පැවැත්වෙන්නේ, ඉස්ලාම්වාදීන් අධිකාරය දරන එක්සත් ජනපදය තුර්කිය හා ගල්ෆ් රාජ්‍ය විසින් මුදල් හා අවි ආයුධ සපයනු ලබන විපක්ෂ හමුදා හා සිරියාවේ බාත්වාදී රජය අතර සම්මුතියක් ඇති කිරීම මගින් සිවිල් යුද්ධය අවසන් කිරීමේ දේශපාලන විසඳුමක් සඳහා යත්න දැරීමට ය.

සමුලුව අනුමත කොට ඇති රුසියානු විදේශ අමාත්‍යාංශය, සමුලුවේ ප්‍රතිඵලය සිය උත්සුකයන්ට අනුකූල වන පරිදි හැඩ ගසා ගැනීමේ අපේක්ෂාවෙන් ඊට සහභාගීවීමට "ප්‍රතිපත්තිමය වශයෙන්" සිරියානු රජය එකඟ කරවා ගෙන ඇත.

එක්සත් ජාතීන්ගේ සහාය ලබන සිරියාව සඳහා වූ ක්‍රියාකාරී කන්ඩායම විසින් 2012 ජූනියේ පැවැති රැස්වීම අවසානයේ නිකුත් කෙරුනු නිවේදනයට අනුව, "ජිනීවා 2" සමුලුවේ ප්‍රකාශිත අරමුන වනුයේ, "මහජනයා" විසින් සිය "රටේ අනාගතය තීන්දු කෙරෙන" "ප්‍රජාතන්ත්‍රවාදී හා බහුවාර්ගික" සිරියාවක් ඇතිවීම තහවුරු කිරීමේ වගකීමෙන් බැඳුනු අන්තර්වාර රජයක් පිහිටුවීමට ඉඩ සැලසෙන පරිදි සටන් විරාමයක් ඇති කර ගැනීම යි.

පැහැදිලිව ම පෙනී යන්නේ, මේ සියල්ල ප්‍රලාපයන් බව ය.

වොෂින්ටනය හා එහි අනුචරයන් විසින් ද, තරමක් දුරට මොස්කව් පාලනය විසින් ද තීරනය කෙරෙනු ඇති හා අධිකාරය දැරෙනු ඇති, ඉස්ලාම්වාදීන් හා අනෙකුත් ධනපති විපක්ෂ කන්ඩායම් ඇතුලත් නව දේශපාලන සමුලුව තුල වත්මන් සිරියානු රජයේ ඇතැම් මුල් පෙලේ නියෝජිතයන්ට ද ස්ථානයක් පිරිනමා ඇත. අතිශයින්ම පැහැදිලිව හඟවා ඇති පරිදි, මේ හැර ඇති අනෙක් විකල්පය වනුයේ සෘජු හමුදා ආක්‍රමනයක් ද ඇතුලත් වන හා එවැන්නක් සූදානම් කරන තෙක්, ප්‍රචන්ඩත්වය අඩියෙන් අඩිය උත්සන්න කිරීම යි.

මේ දක්වා පෙනී ගොස් ඇති පරිදි, සම්මුතියකට එලැඹීම, මේ විකල්ප දෙක අතරින් සිදු වීමට අඩුවෙන් ම ඉඩ ඇති දෙය යි. සෑම දිනයක් පාසාම පෙන්නුම් කෙරෙන්නේ රුසියාව හා චීනය ද පටලැවිය හැකි පරිද්දෙන් කලාපය ම අලලා ගත් යුද ගින්නක තර්ජනය ගෙන එමින් සිරියාවට පමනක් නො ව ලෙබනනයට හා ඉරානයට ද එරෙහිව යුද්ධයක් සඳහා සූදානම යි.

මැයි 23 දා සිරියානු විප්ලවය සඳහා වූ ජාතික සන්ධානය හා විපක්ෂ හමුදා, ජිනීවා සමුලුවට සහභාගි වීමේ ඉඩප්‍රස්ථා පිලිබඳ ව සාකච්ඡා කිරීමට තුන් දින රැස්වීමක් තුර්කියේ ඉස්තාන්බුල්හි දී ආරම්භ කලෝ ය. සන්ධානයේ මීට ඉහත සිටි නායකයා වන ෂීක් මෝස් අල් ඛාතිබ් විසින් සභාගත කරන ලද සංක්‍රමනීය යෝජනාවක් එහි දී බොහෝ සෙයින් උලුප්පා දක්වා ඇත.

කරුනු 16කින් සමන්විත එහි යෝජනාවලට "නීත්‍යානුකූල යුද ක්‍රියාකාරකම්"වල නියුක්ත වූ සියලු සටන්කරුවන්ට එරෙහි නෛතික පියවරවලින් ඔවුන් විමුක්ත කිරීම හා අසාද්ට, ඔහු විසින් තෝරා ගැනෙන 500ක් දෙනෙකුට සහ ඔවුන්ගේ පවුල්වල අයට, ඔවුන් පිලිගැනීමට කැමැති ඕනෑම රටක රැකවරන සොයා යාමට ඉඩ දීම ද ඇතුලත් වේ. මේ සැලැස්ම පිලිගැනීමෙන් දින 30ක් ඇතුලත අසාද් උප ජනාධිපති ෆාරුක් අල් ෂාරා හෝ අගමැති වේල් අල් හල්කි වෙත බලය පවරා දිය යුතු වේ. ඉනික්බිතිව, වත්මන් රජය දින 100ක් තවදුරටත් සිය පාලනය පවත්වා ගෙන යමින් ආරක්ෂක හා මිලිටරි යාන්ත්‍රනය ප්‍රතිව්‍යුහගත කිරීමට හා දේශපාලන සිරකරුවන් මුදා හැරීමට කටයුතු කල යුතු ය.

කෙසේවෙතත්, මේ යෝජනාව සඳහා පුලුල් වශයෙන් සිරියාව තුල තබා, කැබැලිවලට බිඳී සිටින විපක්ෂ කන්ඩායම තුල හෝ සහායක් ඇත්තේ ම නැති තරම් ය.

සමුලුවේ වඩාත් ම වැදගත් අමුත්තා වන එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරීගේ සහභාගිත්වය ම, සැලසුම් කොට ඇත්තේ කුමක්ද යන්න පිලිබඳව වඩාත් විශද සංඥාවක් සපයයි. 23 දා ඔහු තර්ජනය කලේ, "තම රට තුල සාමය උදා කිරීම සඳහා කැපවීමට" අසාද් සූදානම් නැති නම්, ඔහුගේ විරුද්ධවාදීන්ට ලබා දෙන සහාය වැඩි කිරීමට වොෂින්ටනය හා එහි අනුචරයන් විසින් සලකා බැලෙනු ඇති බව යි.

ආරම්භයේ සිට ම, සවුදි අරාබිය, තුර්කිය, කටාර් හා අනෙකුත් කලාපීය අනුචරයන් හරහා ආයුධ හා මුදල් පොම්ප කරමින් එක්සත් ජනපදය විපක්ෂය සන්නද්ධ කලේ ය. ඊට අමතරව, එක්සත් ජනපදය හා යුරෝපා සංගමය තුර්කියේ බැලිස්ටික් නාශක පේට්‍රියට් මිසයිල ස්ථානගත කොට ඇත. එහෙත් කෙරී තර්ජනය කරන්නේ මීට වඩා බෙහෙවින් විශාල යමක් පිලිබඳව ය. ඒ පිලිබඳ සංඥාවක් සැපයෙන්නේ විපක්ෂ මිලීෂියාවන් සෘජු ලෙස සන්නද්ධ කිරීම සඳහා සහය දීමට සෙනේට් සභාවේ විදේශ සම්බන්ධතා කමිටුව විසින් ගනු ලැබූ තීරනයෙනි. මෙම තීරනය සමග පෙලට සිටිමින්, පසුගිය සතිය පුරාම කෙරී ගත කලේ සිරියාව තුල සිය හමුදා මැදිහත්වීම උත්සන්න කිරීම සඳහා යුරෝපයේ හා මැද පෙරදිග බලවතුන් පොලඹවා ගැනීමට බලපෑම් කිරීම සඳහා ය.

මැයි 22 දා සිරියාවේ මිතුරෝ කන්ඩායම ජෝර්දානයේ අම්මාන්හි දී රැස් වූ අතර, ඊට ද කෙරී සහභාගි විය. බ්‍රිතාන්‍ය විදේශ ලේකම් විලියම් හේග් අම්මාන්හි දී සුවිශේෂව ම යුදවාදී ලෙස හැසිරුනේ හුදෙක් ඔහු කෙරීගේ කසකරුවා ලෙස ක්‍රියා කල හෙයින් පමනෙකි. ජෝර්දාන විදේශ ඇමති නසර් ජුදේ සමඟ එක්ව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු මෙසේ අනතුරු හැඟැවීය: ''අසාද් තන්ත්‍රය ජිනීවා සමුලුවේ දී බැරෑරුම් ලෙස කතිකා නො කරන්නේ නම්, සාකච්ඡා මේසයෙන් ලබා ගත හැකි විකල්ප කිසිවක් ඉතිරි නො වන බව අප පැහැදිලිව පෙන්වා දිය යුතු ය."

අසාද්ට "මුක්කු ගසන" ඉරානය හා හිස්බුල්ලා ව්‍යාපාරය එමගින් "කලාපීය ස්ථාවරත්වයට ඇති තර්ජනය උත්සන්න කරතැ"යි ද පැවසූ ඔහු, හිස්බුල්ලා ව්‍යාපාරයේ සන්නද්ධ අංශය සිය ත්‍රස්තවාදී සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කරන ලෙස යුරෝපා සංගමයෙන් ඉල්ලා සිටියේ ය.

ජර්මන් විදේශ ඇමති ගයිඩෝ වෙස්ටර්වෙල් වෙනුවෙන් ඔහුගේ ප්‍රකාශකයෙක් එම යෝජනාවට ප්‍රසිද්ධියේ සහාය පල කලේ ය.

සිරියාවේ මිතුරෝ රැස්වීම අන්තර්වාර ආන්ඩුවක් සඳහා වූ කැඳවීමට රූපිකව සහාය පල කල මුත්, අසාද් විසින් බලය අත්හරිනු ලැබීම පිලිබඳව විනා අනෙකක් සම්බන්ධයෙන් ඔහු හා සාකච්ඡා පැවැත්වීමට විරුද්ධ වූයේ ය.

රැස්වීම අවසන් වූ වහාම, සාමාජිකයන් 11කින් සමන්විත සිරියාව පිලිබඳ අරාබි අමාත්‍ය කමිටුව තීරනය කලේ අවිනිශ්චිත ජිනීවා සමුලුවේ දී තමන් නියෝජනය කිරීමේ වගකීම අරාබි ලීගයේ වත්මන් නායකයා වන කටාර් අගමැති ෂීක් හමාද් බින් ජසිම්ට පැවරීමට ය. ඉස්ලාම්වාදී සටන්කරුවන්ට හමුදාමය සහාය දීමට වඩාත් ම සම්බන්ධ රටවලින් එකක් ලෙස කටාර් රාජ්‍ය සැලකේ. කටාර් අගමැතිවරයා මෙම සමුලුව තුල කටාර්, ඇල්ජීරියාව, ඊජිප්තුව, සුඩානය, ඕමානය, ඉරාකය, කුවේටය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, බහරේනය හා සවුදි අරාබිය යන රටවල විදේශ ඇමතිවරුන් නියෝජනය කරනු ඇත. විදේශ ඇමතිවරු, අසාද් රජයට ඉරානය හා හිස්බුල්ලා සංවිධානය ලබා දෙන සහයෝගය කලාපීය ස්ථාවරත්වයට තර්ජනයකැයි හෙලා දුටුවෝ ය.

විරුද්ධ පක්ෂය සන්නද්ධ කිරීමට ඇති නෛතික සීමාවන් ඉවත් කිරීම සඳහා වන බ්‍රිතාන්‍යයේ හා ප්‍රංශයේ සැලසුම්වලට දැක්වෙන සිය විරෝධය ඉවත් කර ගන්නා ලෙස කෙරී යුරෝපීය රාජ්‍යයන්ට තදින් බලපෑම් කරමින් සිටී. මේ වනවිට ඉතාලිය හා ස්පාඤ්ඤය ආයුධ සැපයීමේ තහනම ඉවත් කිරීමට සහාය දී ඇති අතර, "මධ්‍යස්ථ" ආස්ථානයක් ගනිමින් ජර්මනිය ද යථා වශයෙන්ම එම මඟ ගෙන ඇත.

පෙනෙන්නට ඇති පරිදි යුද අවි හා ගුවන්යානා නාශක ආම්පන්න ද ඇතුලත් වන, "මහජනයාගේ සුරක්ෂිතභාවය සඳහා ආරක්ෂක උපකරන" සැපයීමට ඉඩ හැරීම ගැන ස්පාඤ්ඤයේ විදේශ ඇමති ජෝසේ මැනුවල් ගාර්ෂියා මාර්ගලෝ නරුම ආකාරයකින් කතා කලේ ය. ඔහු මෝස් අල් ඛාතිබ් සමඟ ඒකාබද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවක දී පවා කතා කිරීමට ඉදිරිපත් විය.

ආයුධ සැපයීමේ තහනම ඉවත් කිරීම සම්බන්ධයෙන් මැයි 27වන සඳුදා තීරනයක් ගැනීමට නියමිත ය.

මේ මාසය තුල සිරියාවට සෘජු ප්‍රහාර තුනක් එල්ල කරමින් ඊශ්රායලය ද වඩවඩාත් ගැටුමට සම්බන්ධ වෙමින් සිටී.

මතභේදයට තුඩු දී ඇති ගෝලාන් කඳුකරයේ දී යුද මුක්ත රේඛාව ඉක්මවා ගිය ඊශ්රායල හමුදා වාහනයකට ප්‍රහාර එල්ල වීමෙන් පසු, 1973 දී පිහිටුවන ලද සැතපුම් 43ක් වූ යුද මුක්ත රේඛාවේ සිරියානු කොටසේ නව ස්වාරක්ෂක (බෆර්) කලාපයක් පිහිටුවීමේ යෝග්‍යතාව පිලිබඳව ඊශ්රායල මාධ්‍ය සාකච්ඡා කරමින් සිටියෝ ය. එවැන්නක් සිදු කිරීමට නම් පූර්න පරිමාන ආක්‍රමනයක් අවශ්‍ය වනු ඇත. දේශ සීමාව ආසන්නයේ වාසය කරන සුලුතර ඩෲස් ජනයා පදනම් කොට ගෙන කුලී ආදේශක හමුදාවක් පිහිටුවීම සඳහා දැරෙන ප්‍රයත්නයන් පිලිබඳව ද වාර්තා පවතී.

මැයි 23වන දින, ගුවන් හමුදාපති මේජර් ජනරාල් අමීර් එෂෙල් අනතුරු හැඟවූයේ මැද පෙරදිග පවත්නා නොසන්සුන්කාරී තත්වය, ඊශ්රායලය සිරියාව සමඟ "අනපේක්ෂිත (මොහොතක සිදුකෙරෙන) යුද්ධයකට" පටලැවීමට හේතු විය හැකි බව යි. රසායනික හා සෙසු අවි ඉස්ලාම්වාදී බල ඇනි විසින් අත්පත් කර ගැනීමට ඇති ඉඩකඩ "අතිශය පුලුල් පරිමානයක ක්‍රියාකාරීත්වයක් සඳහා" යුද හේතු කාරකයක් ලෙස ඔහු උපුටා දැක්වීය.

සිරියාව හා ලෙබනනය යන දෙරටම සමඟ යුද්ධය නො වැලැක්විය හැකියැයි ඔහු පැවසීය. වැඩි දියුනු කල රුසියානු එස් - 300 ගුවන්යානා නාශක මිසයිල සිරියාව කරා ගමනාරම්භ කොට ඇතැයි යන කරුන සැලැකිල්ලට ගත් කල, "එය, අපට සූදානම්වීමට සති දෙකක් ඇතැයි පැවසීම වැනි දෙයක් නො වේ. අපට සූදානම්වීමට සති දෙකක් ඇත්දැයි මට නිසැක ව කිව නො හැක," යනුවෙන් ඔහු එක් කලේ ය.

ඊට ඉහත දිනයේ ඊශ්රායල ඒකාබද්ධ ආරක්ෂක හමුදා ප්‍රධානී ලුතිනන් ජනරාල් බෙනි ගැන්ට්ස් අසාද්ට අනතුරු හැඟවූයේ, ඊශ්රායල හමුදාවන්ට තවදුරටත් ප්‍රහාර එල්ල කලහොත් ඔහුට "එහි ප්‍රතිවිපාක විඳ දරා ගැනීමට" සිදු විය හැකිය යනුවෙනි. "අසාද් ගෝලාන් කඳුකරය අස්ථාවර කලහොත් ඔහුට විශාල වන්දියක් ගෙවීමට සිදු වනු ඇතැ"යි ඔහු පැවසීය. "අපේ ආරක්ෂාව සලසා ගන්නේ කෙසේදැයි අප දන්නා බවත්, අවශ්‍යතාව පැන නැඟුන හොත් අප ප්‍රතිචාර දක්වනු ඇති බවත් ඔහු දැනගත යුතු ය."

අසාද් රජය පිලිබඳ හෙලා දැකීම්වලට සමාන්තරව යමින්, අගමැති බෙන්යමින් නෙතන්යාහුගේ ප්‍රධානතම පෞද්ගලික සහායකයකු වන ඇමති යුවල් ස්ටේනිට්ස් අනතුරු හැඟවූයේ, ඉරානයේ න්‍යෂ්ටික කර්මාන්තය "උතුරු කොරියාවේ හෝ පකිස්ථානයේ එම කර්මාන්තයට වඩා කිහිප ගුනයකින් විශාලය"යි කියා ය. ටෙහෙරානය "න්‍යෂ්ටික සුපිරි බලවතෙකු" බවට පත්වීමේ අභිලාෂයෙන් යුතුයැයි ඔහු පැවසීය.

Share this article: