ජපාන න්‍යෂ්ටික ප‍්‍රතිසන්තතිකය පිලිබඳව එක්සත් ජනපදය කනස්සල්ල පල කරයි

US concerns about Japanese nuclear reprocessing

පීටර් සිමන්ඩ්ස් විසිනි , 2013 මැයි 07

ජපානය දැවන්ත ප්ලූටෝනියම් ප‍්‍රතිසන්තතික මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සැරසෙන අතර එය න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරක සඳහා පමනක් නොව න්‍යෂ්ටික අවි සඳහා ද අවශ්‍ය ඉන්ධන නිෂ්පාදනය පිනිස භාවිතා කල හැකිය.

”ජපාන න්‍යෂ්ටික සැලැස්ම එක්සත් ජනපදය අවුස්ස යි” යන මාතෘකාවකින් යුතු ලිපියක් වෝල් ස්ට‍්‍රීට් ජර්නලය මැයි පලමු වැනි දා පලකලේ ය. එය ඇඟවුම් කලේ දැවන්ත ප‍්‍රතිසන්තතික ව්‍යාපෘතියක් ආරම්භ කිරීම අනාගතයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සඳහා ප්ලූටෝනියම් රැස්කිරීම පිනිස භාවිතා කල හැකිය යන වොෂින්ටනයේ උත්සුකය යි.

හොන්ෂු දූපතේ උතුරේ රොකාෂෝ ප‍්‍රතිසන්තතික කම්හලට වාර්ෂිකව ආයුධ නිෂ්පාදන හැකියාවෙන් යුත් ප්ලූටෝනියම් ටොන් නවයක් හෝ බෝම්බ 2,000ක් දක්වා සෑදීමට සෑහෙන ප‍්‍රමානයක් නිෂ්පාදනය කල හැක. ප්ලූටෝනියම් පාවිච්චි කරනු ඇත්තේ තනිකර ම න්‍යෂ්ටික බලශක්තිය සැපයීමට පමනක් යයි ජපාන නිලධාරීන් අවධාරනය කරන අතර රටේ න්‍යෂ්ටික ප‍්‍රතික‍්‍රියාකාරකයන් 50න් වර්තමානයේ ක‍්‍රියාත්මක වන්නේ දෙකක් පමනි.

පුවත්පතේ ලිපිය අනුව, ජපාන පරමානුක බලශක්ති කොමිසමේ උප සභාපති ටට්සුජීරෝ සුසුකි, එක්සත් ජනපදයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් වන නියෝජ්‍ය බලශක්ති ලේකම් ඩැනියෙල් පොනෙමෑන් හා සහකාර රාජ්‍ය ලේකම් තෝමස් කන්ටි‍්‍රමෑන් ඇතුලු අය සමග සාකච්ඡා කර ඇත.

සුසුකි වාර්තා කල පරිදි ඔවුන්ගේ පනිවුඩය වූයේ ”ප්ලූටෝනියම් භාවිත සැලැස්මක් සඳහා පැහැදිලි අපේක්ෂාවන් රහිතව ජපානයට ප්ලූටෝනියම් විශාල ප‍්‍රමානයක් අත්පත් කර ගැනීමට ඉඩදීම සෙසු ලෝකයාට නරක ආදර්ශයකි” යන්න යි. ජපාන ටයිම්ස්හි වෙනත් ලිපියක සුසුකි ප‍්‍රකාශ කලේ, ”එය කිසි දා නො වූ විරූ බරපතල ප‍්‍රතික‍්‍රියාවක්” බව යි.

වෝල් ස්ට‍්‍රීට් ජර්නලයට අනුව වොෂින්ටනය කනස්සල්ලට පත් වුනේ, අනෙක් රටවල් ද ඒ මග ගනු ඇත යන කාරනය නිසාය. ”එක්සත් ජනපද නිලධාරීන් විශ්වාස කරන්නේ ජපාන අසැල්වැසියන්, විශේෂයෙන් ම චීනය, දකුනු කොරියාව හා තායිවානය තමන්ගේ ම න්‍යෂ්ටික-ඉන්ධන තාක්ෂනයන් දියුනු කිරීමට උත්සාහ ගත යතු ද, නැත්නම් චීනය සම්බන්ධයෙන් ගතහොත් ඒවා පුලූල් කල යුතු දැ යි නිශ්චය කිරීමට රොකාෂෝ හා එහි ක‍්‍රියාකාරිත්වය කිට්ටුවෙන් අධීක්ෂනය කරමින් සිටින බව යි” යි යනුවෙන් එය ප‍්‍රකාශ කලේ ය.

දකුනු කොරියානු ආන්ඩුව මේ වන විටත් එක්සත් ජනපදයට බල කරන්නේ, ප්ලූටෝනියම් ප‍්‍රතිසන්තතිකය හා යුරේනියම් සුපෝෂනය සඳහා - බලශක්ති ප‍්‍රතික‍්‍රියාකාරකයන් හෝ න්‍යෂ්ටික අවි සඳහා පාවිචචි කල හැකි ඉන්ධන නිපදවිය හැකි තාක්ෂනය - දෙරට අතර න්‍යෂ්ටික සහයෝගීතා ගිවිසුම වෙනස් කරන ලෙස යි. සෝල් පාලනය බලාපොරොත්තු වන්නේ, හුදෙක් එහි බලශක්ති ප‍්‍රතික‍්‍රියාකාරකයන් සඳහා ඉන්ධන නිපදවීමට පමනක් යැයි දකුනු කොරියානු සාකච්ඡාකරුවන් වොෂින්ටනයට සහතික වී ඇති අතර පාලක දක්ෂිනාංශික සේනූරි පක්ෂය තුල ජ්‍යෙෂ්ට නායකයින් ප‍්‍රසිද්ධයේ යෝජනා කර ඇත්තේ උතුරු කොරියාව පිටුදැකීමට තමන්ගේ ම න්‍යෂ්ටික අවි ගොඩනැගීමට ය. පසු ගිය මාසයේ දකුනු කොරියාව, පවතින සහයෝගිතා ගිවිසුම තවත් දෙවසරකින් දීර්ඝ කිරීම හා ප‍්‍රමාද කිරීම සඳහා කෙරෙන එක්සත් ජනපද ඉල්ලීම්වලට එකඟ වූයේ ය.

දකුනු කොරියාව සමග මෙන් ම, රෝකාෂෝ ප‍්‍රතිසන්තතිකය සම්බන්ධයෙන් ද ඔබාමා පාලනයේ සැබෑ කනස්සල්ල නම්, ජපානය තමන්ගේම න්‍යෂ්ටික අවි ගබඩාවක් ගොඩනැගීමේ අද්දර සිටීම යි. එක් රටක් හෝ එසේ කල හොත් එය, කලාපය පුරා න්‍යෂ්ටික අවි තරගයක කොකා ගැස්සීමක් වන්නට ඉඩ ඇත. න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ ජපානය, ආසියාව තුල සම්බන්ධකම් නාටකාකාර ලෙස වෙනස් කිරීමට ඉඩ ඇත. මක්නිසා ද යත්, ජපානය එක්සත් ජනපදය මත අඩුවෙන් යැපෙන්නට ඉඩ ඇති බැවින් හා එහි ආර්ථික හා මූලෝපායාත්මක උත්සුකයන් වඩා ස්වාධීනව පවත්වාගෙන යා හැකි බැවිනි.

පසු ගිය දෙසැම්බරයේ දී බලයට පැමිනි ජපන් අතමැති ෂින්ෂෝ අබේ දක්ෂිනාංශික ජාතිකවාදියෙකු වන අතර ඔහු ”ශක්තිමත් ජපානයක්” හා ”ශක්තිමත් මිලිටරියක්” සඳහා කතාකර ඇත. න්‍යෂ්ටික අවි තැනීම සඳහා ඔහු විවෘතව සහයෝගය දක්වා නැතත්, 2011 ෆුකුෂීමා න්‍යෂ්ටික ව්‍යසනයෙන් පසු විශාල වශයෙන් වසා දැමුනු ජපාන න්‍යෂ්ටික කර්මාන්තය නැවත ඇරඹීම සඳහා යෝජනා කර ඇත.

න්‍යෂ්ටික අවි නිෂ්පාදනයට ජපානය තුල, විශේෂයෙන් ම කම්කරු පන්තිය තුල ගැඹුරින් පැලපදියම්වී තිබෙන සතුරුකම් ගැන අබේ ආන්ඩුව හොඳින් දනී. එම විරුද්ධත්වය මතුවෙන්නේ, 1945 එක්සත් ජනපද පරමානු බෝම්බවලින් හිරෝෂිමා හා නාගසාකි නගර විනාශවීම නිසා පමනක් නො ව, ජපානයේ යුද කාලීන මිලිටරිවාදී තන්ත‍්‍රය විසින් සිදු කෙරුනු මර්දන හා අපරාධයන් ද නිසාය.

කෙසේ නමුත්, ජපාන පාලක ප‍්‍රභූව තුල න්‍යෂ්ටික අවි ගබඩාවක් තබාගැනීම පිලිබඳව යන්තම් සැඟවුනු විජිගීෂාවක් තිබී ඇත. ජපානයේ විස්තීරන න්‍යෂ්ටික කර්මාන්තය ස්ථාපිත කරන ලද්දේ එවැනි ආයුධ සැකසීමට රටට හැකියාව ඇතැ යි සහතික වීමේ කොටසක් ලෙස ය. අබේගේ ලිබරල් ඩෙමොක‍්‍රටික් පක්ෂයේ ප‍්‍රධාන සාමාජිකයන් අවස්ථා කීපයක දී ම මෙම කාරනය පිලිබඳව ප‍්‍රසිද්ධ සාකච්ඡුාවක් ආරම්භ කිරීමට උත්සාහ ගෙන ඇත.

හිටපු අගමැති මෙන් ම අබේගේ ආන්ඩුවේ මුදල් ඇමති වන ටාරෝ අසෝ 2006දී ප‍්‍රකාශ කලේ, ජපාන සන්තකයේ න්‍යෂ්ටික අවි තබා ගත යතු දැ යි සාකච්ඡා කිරීමේ වරදක් නො තිබුන බව යි. ”ජපානය සඳහා න්‍යෂ්ටික අවි තුරුම්පුව” යන හිසින් යුත් පසු ගිය මාසයේ ජපාන ටයිම්ස් පත‍්‍රයේ පලවූ ලිපියක, හිටපු අගමැතීන් වූ නොබුසුකේ කිෂී (අබේගේ සීයා), හයාටෝ ඉකේඩා, ඊසාටෝ සාටෝ, යසු ඕ ෆුකූඩා හා අසෝ ඇතුලූ නිල වශයෙන් හා නො නිල වශයෙන් න්‍යෂ්ටික අවිවලට පක්ෂව කතා කර තිබූ දේශපාලඥයන් පිලිබඳව අවධානය යොමු කලේ ය.

පසු ගිය වසර වන තෙක් ලිබරල් ඩෙමොක‍්‍රටික් පාක්ෂිකයෙකු වූ, දැන් අන්ත ජාතිකවාදී ජපාන පුනස්ථාපන පක්ෂය මෙහෙය වන ෂින්ටාරෝ ඉෂිහාරා, පසු ගිය වසරේ මැතිවරන ව්‍යාපාරය අතරතුර දී, එය චීනයට එරෙහිව නිවාරකයක් විය හැකි යැයි පවසමින් ”න්‍යෂ්ටික අවි සන්තකයේ තබා ගැනීම සඳහා ජපානයට හොඳම කාලය එලඹ ඇතැයි” ප‍්‍රකාශ කලේය. ඔහු මීට පෙර අවධාරනය කර තිබුනේ ජපානය න්‍යෂ්ටික අවි අත්කර ගත යුතුව තිබුන බව ය.

එම ජපාන ටයිම්ස් ලිපිය ම වාර්තා කලේ ”දේශීය වශයෙන් න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීමේ හැකියාව” අධ්‍යයනය කරමින් ජපන් ආන්ඩුව 2006 සැප්තැම්බරයේ දී අභ්‍යන්තර වාර්තාවක් සම්පාදනය කල බව යි. ආරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ගයකින් පත‍්‍රයට ලැබුනු තොරතුරු අනුව, විදේශ අමාත්‍යංශය ඉදිරිපත් කර තිබූ රහස් වාර්තාව සම්බන්ධයෙන් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව තුල බැ?රුම් කනස්සල්ලක් පලව තිබුනි.

ලිපියට අනුව වාර්තාව නිගමනය කලේ, ජපානයට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කිරීම සඳහා අවුරුදු තුනේ සිට පහ දක්වා කාලයක් හා යෙන් බිලියන 200 සිට 300 දක්වා (ඇමරිකානු ඩොලර් බිලියන 2.2 සිට 3.3) වැය වෙනු ඇති බව යි. සැලකිය යුතු බාධකය වූයේ ජපානයේ වානිජ බලශක්ති ප‍්‍රතික‍්‍රියාකාරක තුල නිෂ්පාදිත ප්ලූටෝනියම්වල අපිරිසිදු කම යි. රොකාෂෝ ප‍්‍රතිසන්තතික ව්‍යාපෘතිය ඉදිකිරීමට ඇමරිකානු ඩොලර් බිලියන 21ක් හා දශක දෙකකට වැඩි කාලයක් ගතවී ඇති අතර ආයුධ නිපදවිය හැකි වර්ගයේ ප්ලූටෝනියම් නිෂ්පාදනය කිරීමට සමත් වනු ඇත. එය පනගැන්වීම සඳහා දින නියම කෙරී නැතත්, ජපාන පරමානුක බලශක්ති කොමිසම හා කම්හල් කලමනාකරු වන ජපාන න්‍යෂ්ටික ඉන්ධන ආයතනය පවසන්නේ, එය ඔක්තෝබර් මස තරම් කලින් විය හැකි බව යි. කෙසේ නමුත්, න්‍යෂ්ටික අධීක්ෂන අධිකාරිය ඉඟි කර ඇත්තේ දෙසැම්බර් මස වන තෙක් ආරක්ෂක උපදෙස් සූදානම් නොවීමට ඉඩ ඇති බව යි.

වර්තමානයේ දී, ජපාන ආන්ඩුව න්‍යෂ්ටික අවි නිපදවීමට තීන්දු කර ඇතැ යි යන්න අභව්‍ය බව පෙනී යා හැක. එසේ කිරීම පිනිස, න්‍යෂ්ටික පහසුකම් පිලිබඳ ජාත්‍යන්තර අධීක්ෂනය අවසන් කිරීම, න්‍යෂ්ටික ප‍්‍රගුනනය වැලක්වීමේ ගිවිසුමෙන් ඉවත්වීම හා එක්සත් ජනපදය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් ද ඇතුලූ අනෙකුත් න්‍යෂ්ටික ගිවිසුම් අවලංගු කිරීම අවශ්‍ය වනු ඇත. එහෙත් පාලක කවයන් තුල පැහැදිලිව ම කාරනය සාකච්ඡා කෙරෙන අතර සූදානම්වීම් සිදු කෙරේ.

ඔබාමා පාලනයට න්‍යෂ්ටික අවි සන්නද්ධ ජපානයක් අවශ්‍ය නො විය හැකි නමුත් චීනය හීලෑ කිරීම අරමුනු කරගත් එහි ආක‍්‍රමනකාරී ”ආසියාවට හැරීම” කලාපය පුරා රටවල පාලක ප‍්‍රභූවේ මිලිටරිවාදී කන්ඩායම් හා දක්ෂිනාංශය දිරි ගන්වා ඇත. අබේ මේ වන විටත් ජපානයේ යුද්ධ වියදම්වල දශකයක් තුල සිදු කල පලමු වැඩිකිරීම ප‍්‍රකාශ කර ඇති අතර නැගෙනහිර චීන මුහුදේ විවාදිත දූපතට අයිතිවාසිකම් කීමට චීනය ගන්නා ඕනෑ ම පියවරකට මිලිටරිමය ප‍්‍රතිචාර ද සහිතව විරුද්ධවීමට අධිෂ්ඨානය ප‍්‍රකාශ කර ඇත.

මාර්තු හා අපේ‍්‍රල් මාසවල දී වොෂින්ටනය උතුරු කොරියානු තර්ජන පිටු දැකීමට බව පවසමින්, ප‍්‍රකෝපකාරී ලෙස දකුනු කොරියාවට න්‍යෂ්ටික හැකියාව ඇති බෝම්බ හෙලීමේ යානා පිටත්කර හරිමින්, හිතාමතා ම කොරියානු අර්ධද්වීපයේ ආතතිය අවුලූවා ඇත. එක්සත් ජනපදය උත්සාහ දැරුවේ, අර්බුදය ගසාකමින්, ප්යොන්ග්යෑග් පාලනයෙන් හා චීනයෙන් ආර්ථික හා මූලෝපායික සහන ලබාගැනීම පිනිස එම රටවල් මත පීඩනය යෙදීමට ය.

කෙසේ නමුත්, අබේ ආන්ඩුව ද ජපානය තුල මිසයිල ප‍්‍රතිරෝධක පද්ධති පෙල ගැස්වීම සඳහා උතුරු කොරියානු ”තර්ජන” ගසා කෑ අතර හැකි නම් න්‍යෂ්ටික අවි ද සහිතව හමුදා ප‍්‍රතිසන්නද්ධ කිරීම යුක්තිසහගත කිරීම සඳහා තැතිගැන්වීමේ දේශපාලන වාතාවරනයක් ස්ථාපිත කලේ ය. ගැටුම් හා යුද්ධයේ අනතුර දැවන්ත ලෙස වැඩි කරනු ඇති ආසියාව තුල න්‍යෂ්ටික අවි තරගයක් සඳහා කොන්දේසි නිර්මානය කිරීමට එක්සත් ජනපදය ඍජුව ම වග කිව යුතු ය.

Share this article: