ගෝලීය අවධමනය, මන්දගාමී වර්ධනය ආර්ථික ආතතීන් ගිනියම් කරයි

Global deflation, slowing growth fuel economic tensions

2013 නොවැම්බර් 18

ලෝකයේ ප්‍රමුඛ මහ බැංකු විසින් මූල්‍ය ක්‍රමය තුලට මුදල් පොම්ප කිරීමෙන් ගෝලීය ආර්ථික වර්ධනය නඟා සිටුවීමට කිසියම්ම හෝ දායකත්වයක් සපයා නොමැතිකම පිලිබඳ තවත් සාක්ෂි පසුගිය සතියේ එලිමහනට පැමිනියේය. ඊට විපරිත ලෙස වර්ධනය වන්නේ, විශාල වශයෙන් මුදල් අච්චු ගැසීමේ ක්‍රියාවලිය තවත් ගෝලීය මූල්‍ය අර්බුදයක් සඳහා කොන්දේසි නිර්මානය කරනු ඇති බවට අනතුරු ඇඟවීම්ය.

තව ද පොදුවේ එකතැන පල්විම හමුවේ ප්‍රධාන ආර්ථික බලවතුන් අතර ආතතින් උත්සන්න වෙමින් තිබේ.

ෆිනෑන්ෂල් ටයිම්ස් 15දා සඳහන් කලේ, ජපානය හා යුරෝපය පිලිබඳ “බලාපොරොත්තු සුන් කරන වර්ධන සංඛ්‍යා, වසරේ දෙවන කාර්තුව තුල ගෝලීය ආර්ථික ප්‍රකෘතියක් සිදුවන බවට පැවති බලාපොරොත්තු සුන්කර දමා ඇත.“ යනුවෙනි.

යුරෝ කලාපයේ ප්‍රධාන ආර්ථිකය වන ජර්මනියේ වර්ධනය සැප්තැම්බරයෙන් අවසන් වන තෙමස තුල වැඩි වුනේ සියයට 0.3න් පමනි. මේ අතර ප්‍රන්ස ආර්ථිකය පෙර කාර්තුවේ සියයට 0.5න් වර්ධනය වීමෙන් පසුව, සියයට 0.1න් හැකිලී ගියේය.

ඊනියා ඇබේ ආර්ථික විද්‍යාව ලෙස හඳුන්වන, රටේ මුදල් සැපයුම දෙගුන කිරීම සඳහා ජපාන මහ බැංකුව දුන් තල්ලුව මගින්, ආරම්භයේදී ආර්ථිකයට යම් උත්තේජනයක් සපයනු ලැබුව ද දැන් එහි ජවය පහල වැටෙන බව පෙන්නුම් කරයි. ජපානයේ වර්ධනය තෙවන කාර්තුවේදී වාර්ෂික අනුපාතයකින් සියයට 1.9 දක්වා පහත වැටුනේ දෙවන කාර්තුවේදී සියයට 3.8ක් දක්වා නැඟීමෙන් පසුවය. ඒ ප්‍රධානකොටම පාරිභෝජනයේ වැටීම නිසාය. එය සියයට 0.6ක වර්ධනයකින් පසුව සියයට 0.1දක්වා පහත වැටුනි. ඊට අමතරව අපනයනයන්ගේ පිරිහීම සියයට 0.6ක හැකිලීමක් බවට පත්විය.

මන්දගාමී වර්ධනය හමුවේ එක්සත් ජනපද ෆෙඩරල් මහ බැංකුවේ “ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ“ පිලිවෙත ඉදිරියට ගෙන යන බවක් පෙනේ. බෙන් බර්නන්කේ වෙනුවට ලබන ජනවාරියේ සිට මහ බැංකුවේ සභාපති ලෙස ජනාධිපති ඔබාමා විසින් නම්කර තිබෙන ජැනට් යෙලන් සෙනේට් බැංකු කමිටුව හමුවේ දුන් සාක්සියේදී කියා සිටියේ, ඇමරිකානු ආර්ථිකය හා ශ්‍රම වෙලඳපොල ක්‍රියාත්මක වන්නේ “ඒවායේ විභවයට වඩා බොහෝ අඩු මට්ටමකින්“ බවත් මහ බැංකුව මූල්‍ය උත්තේජනය පහත හෙලීමට පෙර ප්‍රවර්ධනය වීමට ඇති බවය.

බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන වලට අතිශයින්ම ලාභ මුදල් සම්පාදනය කිරීම සදහා ෆෙඩරල් මහ බැංකුව ද අනෙකුත් මහ බැංකු ද ඉදිරිපත් කල නිල හේතුව වන්නේ, ආර්ථිකය නඟා සිටුවීමේ අවශ්‍යතාවයි. කෙසේ වෙතත් සැබැ හේතුව, පහත් උද්ධමන අනුපාතිකය හා අවධමනය පවා, විශාල වශයෙන් නය සතුකරගෙන සිටින ආයතන, විශේෂයෙන්ම මූල්‍ය ආයතන වලට බරපතල ගැටලු නිර්මානය කිරීමේ හැකියාවයි. උද්ධමනයේ පහත් මට්ටම් හා පිරිහෙන මිල මට්ටම් හමුවේ නයෙහි මූර්ත අගය හා නය ආපසු ගෙවීම්, ආර්ථික එකතැන පල්වීමේ කොන්දේසි යටතේ ඉහල යාමට පටන් ගනියි.

මේ මාසයේ මුල, යුරෝපීය මහ බැංකුවේ ප්‍රති මූල්‍ය අනුපාතය සියයට 0.5 සිට 0.25 දක්වා අනපේක්ෂිතව පහත හෙලන බව නිවේදනය කිරීමේදී බැංකුවේ අධිපති මාරියෝ ඩ්‍රැගිගේ සිතෙහි තිබුනේ පැහැදිලිවම මෙම බලාපොරොත්තුවයි. පූර්ව සතිවල ආර්ථිකයේ දැක්ම හදිසියේ වෙනස්වී ඇති බවත්, උද්ධමනය ඉලක්ක ගත සියයට 2 අනුපාතයට වඩා බෙහෙවින් අඩු මට්ටමක පවතින “පුලුල් පදනමකින් යුත් හා දිග්ගැස්සෙන“ තත්වයකට යුරෝ කලාපය මුහුනදී සිටින බවත් ඩ්‍රැගී පැවසීය.

අවශ්‍ය වුවහොත් පොලි අනුපාතය බිංදුවෙන් පහලට වුවත් ගෙන ඒමට යුමබැ “තාක්ෂනිකව සූදානම්“ බවක් ඩ්‍රැගී පැවසීය. පහත වැටෙන උද්ධමනය යුරෝ කලාපයේ රටවල් ගනනාවක නය බරට හේතුවී ඇත. නිදසුනක් ලෙස, උද්ධමන අනුපාතයේ සියයට එකක පහත වැටීම දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 1.3කින් ආන්ඩුවේ වියදම් කැපීමට ඉතාලියට සිදුවෙයි. පසුගිය වසර දෙකක කප්පාදු පියවර තිබියදිත් ඉතාලි ආන්ඩුවේ නය, දදේනි සියයට 119 සිට 133දක්වා ඉහල නැඟ තිබේ. ස්පාඤ්ඤය, ග්‍රීසිය හා පෘතුගාලය සිටින්නේ ද ඊට සමාන තත්වයකය.

පොලී අනුපාත තීරනය දැනුම් දෙමින් ඩ්‍රැගී කියා සිටියේ, බැංකුවේ පාලක මන්ඬලය “ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය පිලිබඳව ඒකමතිකව“ සිටි බවයි. වෙනස්කම් තිබුනේ කාලය පිලිබඳව පමනි. මෙම ප්‍රකාශය මහ බැංකු පාලක මන්ඬලයේ සිටින ජර්මානු, නෙදර්ලන්ත හා ඔස්ට්‍රියානු නියෝජිතයෝ එම පියවරට විරුද්ධව ඡන්දය දීමෙන් බොරුවක් බවට පත් විය.

අපනයන ප්‍රවර්ධනය සඳහා යුරෝ මුදලේ අගය පහත දැමීමේ පියවරක් ගත යුතු බව කියා සිටි ප්‍රන්සය ද ඇතුලු ඉතාලිය හා අනෙකුත් රටවල අවශ්‍යතා වෙනුවෙන් ඩ්‍රැගී කටයුතු කරමින් සිටින බවට චෝදනා ද එල්ල විය. සියලුම මධ්‍යම බැංකුකරුවෝ, තරඟකාරී අවප්‍රමානයෙන් වැලකී සිටිය යුතු බවට ජී-20 සාමාජිකයින් දුන් පොරොන්දු අනුව යමින්,පොලී රේට්ටු පහත හෙලීමේ අරමුන මුදලේ අගය පහත හෙලීමය යන්න ප්‍රතික්ෂේප කරති. එහෙත් පොලී අනුපාත කැපීම මූල්‍ය යුද්ධයක් අවුලුවයි.

මෑත අවධියේ රටවල් ගනනාවක මධ්‍යම බැංකු පොලී අනුපාත පහත හෙලා ඇත. මේ මස මුලදී චෙක් ජාතික බැංකුව යුරෝවට සාපේක්ෂව කොරුනා මුදලේ අගය පහත දැමීමට කටයුතු කලේය. වර්ධනය නැංවිම පිනිස ‘අවශ්‍ය තරම් කාලයක්“ මුදල් අලෙවි කිරීමට එය පිලින දුන්නේය. ඕස්ට්‍රේලියානු හා නවසීලන්ත මධ්‍යම බැංකු සිය මුදල බාල්දු විමට ඉඩහැර ඇත. ඕස්ට්‍රේලියානු රිසර්ව් බැංකුවේ අධිපති ග්ලෙන් ස්ටීවන්ස් පැවසුවේ ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය “අසතුටුදායක ලෙස ඉහල“ අගයක පවතින බවය. එහෙත් ඔවුහු, පොලී පහත දැමීමෙන් නිවාස වෙලඳපොලේ බුබුලක් නිර්මානය වනු ඇතැයි බිය පලකරති.

එක්සත් ජනපදය තුල, ෆෙඩරල් මහ බැංකුවේ ආන්තික ලාභ මූල්‍ය පිලිවෙත තවත් අර්බුදයකට මඟ පාදනු ඇත යන බියක් පවතිය. දිගු කාලීන උකස් බැඳුම්කරයන්හි ආයෝජනය කිරීම පිනිස කෙටි කාලින නය ගන්නා දේපල ආයෝජන භාරකාර අරමුදල්වල කටයුතු, පොලී අනුපාත නැඟීමට පටන්ගතහොත් මූල්‍ය අස්ථාවරත්වයේ මූලාශ්‍රයක් විය හැකි බවට අනතුරු ඇඟවෙයි. ඔක්තෝබර් මාසයේ ප්‍රසිද්ධියට පත්කල සිය ගෝලීය මූල්‍ය ස්ථාවරත්වය පිලිබඳ වාර්තාවෙහි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, “සාර්ව ආර්ථික ප්‍රතිවිපාක“ එනම්, එජ මූල්‍ය ක්‍රමයේ අස්ථායී බලපෑම් ඇතිකල හැකි, “දෙවන පෙල උකස්කර වෙලඳපොලේ සැලකිය යුතු කඩකප්පල්විම්“ පිලිබඳව අනතුරු ඇඟවීය.

අවසානයක් දක්නට නැති, ලෝක ආර්ථිකය තුල පැවතීගෙන යන එකතැන පල්වීම, වෙලඳපොලවල් සඳහා රුදුරු අරගලයකට ද ප්‍රමුඛ ආර්ථික බලවතුන් අතර ආතතිය නැංවීමට ද තුඩු දෙයි. ලෝකයේ විශාලතම ආහාර සමාගම වන නෙස්ලේහි උප සභාපති ලෝරන්ට් ෆෙයිස්කි “අවධමනාත්මක ආතතීන්“ ගැන සඳහන් කරයි. ඔහු මෑතකදී පැවසුවේ “වෙලඳපොලේ කිසිදු වර්ධනයක් දක්නට නැත. එවිට ගිලා බසින කේක් ගෙඩියෙන් පංඟුවක් සඳහා සියල්ලෝම සටන් වදිති“ යනුවෙනි.

මෙම ආතතීන් කලාප ගනනාවක හිස ඔසවා තිබේ. තමන්ගේ අපනයන අතිරික්තය අඛන්ඪව පවත්වාගෙන යාම නිසා ජර්මනිය, ලෝක ආර්ථිකය කෙරෙහි අවධමනාත්මක බලපැමක් ඇතිකරන්නේ යයි එජ භාන්ඬාගාරය, එරටට එරෙහිව එල්ල කල විවේචන, ජර්මානු රජයේ තියුනු ප්‍රතිප්‍රහාරයක් ඇවිලවීය.

යුරෝ කලාපය තුල ද පුලුල් වන භේද ඇතිව තිබේ. යුමබැ පාලක සභාව තුල ඇතිවූ භේදය හමුවේ, යුරෝපීය කොමිසමේ සභාපති ජොසේ බරෝසෝ, ජර්මනියේ ජංගම ගිනුමේ අතිරික්තය යුරෝපීය ආර්ථිකයට හානි කරන්නේ දැයි සොයා බැලීමට පරීක්ෂනයක් පවත්වන බව නිවේදනය කලේය.

“ගැඹුරු විමර්ෂනයක“ අරමුන ජර්මානු කර්මාන්තයේ තරඟකාරිත්වය පිලිබඳ විවේචනය කිරීම නොවන බව ඔහු අවධාරනය කල ද එයට ජර්මනියේ සියලු පක්ෂ වෙතින් පලවූයේ තියුනු ප්‍රතිචාරයකි.පාලක ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදි සංඟමයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ, ජර්මානු අපනයනය “අපගේ සෞභාග්‍යයෙහි මුල්ගල" වන බවයි. හරිත හා සමාජ ප්‍රජාතන්ත්‍ර පක්ෂ නියෝජිතයෝ ද ඊට සමාන ප්‍රකාශ නිකුත් කලහ. යුමබැ පොලී අනුපාත කැපීමේ යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් එක් අයෙකු වන බුන්ඩස්බෑන්ක්හි සභාපති ජෙන්ස් වෙයිඩ්මන්, “ජර්මනිය දුබල කිරීමෙන් ඔබට යුරෝපය ශක්තිමත් කල නොහැකිය" යනුවෙන් පැවසීය.

නැඟී එන ආර්ථික ආතතින්, අවධමනය, මූල්‍ය යුද්ධ, ආර්ථික වර්ධනයේ මන්දගාමිත්වය හා හැකිලෙන වෙලඳපොලවල්, සමග අත්වැල් බැඳගත්, ෆෙඩරල් මහ බැංකුව හා අනෙකුත් මහ බැංකුවල ප්‍රතිපත්ති මගින් උසිගන්වන නව මූල්‍ය අර්බුදයක් පිලිබඳ බිය යන සියල්ල පෙන්නුම් කරන්නේ, පෙනෙනතෙක් මානයේ “ආර්ථික ප්‍රකෘතියක්" නොමැති බවත්, 2008 මුදාහල ලෝක ධනේශ්වර ආර්ථිකයේ බිඳවැටීම වේගවත් වීමත් පිලිබඳ කාරනයයි.

නික් බීම්ස්

Share this article: