වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය

වෙනිග්‍රොස් සමාගම් හිමියෝ කම්හල යලි විවෘත කල යුතු යයි බලකර සිටිති

විලානි පීරිස් විසිනි , 2013 නොවැම්බර් 29

පලාතේ භූගත ජලයේ දූෂිත භාවයට කම්හලෙන් පිටකෙරෙන අප ජලය හේතුවන බවට චෝදනා කරමින් පැනනැගුන මහජන විරෝධය මධ්‍යයේ මාස හතරකට පෙර වසා දැමීමට සිදුවූ වැලිවේරිය වෙනිග්‍රොස් ඩිප්ඩ් ප‍්‍රඩක්ට් කර්මාන්ත ශාලාව යලි විවෘත කර ගැනීමට බල කිරීම සඳහා පාලකයෝ නොවැම්බර් 19 දා පුවත්පත් සාකච්චාවක් පැවැත්වුහ. කම්හල නිසා ජල දුෂනයක් සිදුවී නැතැයි ‘ඔප්පු කිරීමට’ රජයේ ආයතන කීපයක පරීක්ෂන වාර්තාවල ව්‍යාකුල ප‍්‍රකාශ උපුටා දැක්වූ ඔවුහු ආන්ඩුව මැදිහත්වී මහජන විරෝධය මැඩ කම්හල විවෘත කිරීමට ඉඩ සලසා නුදුනහොත් නිෂ්පාදනය මැලේසියාවට මාරුකරන බවට තර්ජනාත්මකව සඳහන් කලහ.

කොලඹ කින්ස්බරි හෝටලයේ පැවැත්වුනු පුවත්පත් සාකච්චාවට කර්මාන්ත ශාලාවේ කලමනාකාර අධ්‍යක්ෂක මහේශ් රනසෝම, වෙනිග්‍රොස් සම්බන්ධ හේලීස් සමූහ ව්‍යාපාරයේ සභාපති සහ ප‍්‍රධාන විධායක මොහාන් පන්ඩිතගේ සහ සමාගම වෙනුවෙන් පෙනී සිටින ඉහලපෙලේ පුද්ගලයන් ගනනාවක් සම්බන්ධ වූහ. ප‍්‍රධාන කොට කරුනු ඉදිරිපත් කරනු ලැබුවේ රනසෝම විසිනි.

පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනය කල ජනතාවට එරෙහිව ආන්ඩුව විසින් අගෝස්තු 1 දා මෙහෙයවන ලද හමුදාව වෙඩි තබා තිදෙනෙක් ඝාතනය කලහ. මහජන විරෝධය මධ්‍යයේ ආන්ඩුව රජයේ රස පරීක්ෂක, කාර්මික තාක්ෂනික ආයතනය ආදී රජයේ ආයතනවලට ජලය පරීක්ෂා කර වාර්තාවක් සපයන ලෙසට භාර දුන්නේ කල් ගැනීම සඳහා ය. වාර්තා තවමත් ආන්ඩුව ප‍්‍රසිද්ධ කර නැතත් ඒවා මගින් ප‍්‍රදේශයේ භූගත ජලයේ දුෂිත බව සනාත කෙරෙන බව දැනගැනීමට ඇත. (සමාජවාදී සමානතා පක්ෂය විසින් කැඳවා ඇති ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව මේ වාර්තාවල කරුනු හෙලිකරන ලිපියක් ලඟදීම ඉදිරිපත් කරනු ඇත.)

මසකට රුපියල් මිලියන 250ක් හෝ 300ක් පමන විදේශ විනිමය උපයා දුන් කම්හල වසා දැමීම නිසා මාස හතර තුල රටට රුපියල් බිලියනයක පාඩුවක් සිදුවී ඇතැයි රනසෝම ආඩපාලි කිව්වේය. කර්මාන්ත ශලාවේ වැදගත්කම ධනපතියන්ට ද ආන්ඩුවට ද අවධාරනය කරමින් කතා කල ඔහු කාර්මික හා ගෘහස්ත අත්වැසුම් නිෂ්පාදන රටවල් 70කට අපනයන කරන නමුත් දැන් එම වෙලඳ පොල අහිමිවීමේ තර්ජනය මතුවී ඇතැයි බිය පලකලේ ය.

කොම්පැනි හිමියන් උත්සුකවී සිටින්නේ හුදෙක්ම වෙලඳ පොල ගැන හා ලාබ පොදිය ගැනය. ප‍්‍රදේශයේ ජනයාගේ සුබසිද්ධිය හෝ කම්කරුවන්ගේ සේවා කොන්දේසි ගැන මොනම කැක්කුමක් වත් ඔවුන්ට නැත.

"කම්හලෙන් පිටවන අප ජලය ලිංවල පීඑච් අගය වැටීමට තුඩුදී ඇතැයි තහවුරු කල නොහැකිය” හා "කම්හලෙන් පිටවන දෑ නිසා ප‍්‍රදේශයේ පීඑච් අගය අඩුවන බවට පැහැදිලි සාක්ෂි නැත” යනුවෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් හා ජල සම්පාදන මන්ඩලයෙන් නිකුත්වූ පරස්පර විරෝධී කරුනු ඇතුලත් වාර්තාවලින් උපුටා දක්වා සමාගමේ වගකීම වසාගැනීමට ඔහු තැත් කලේය.

රබර් කිරි නිපදවන කම්කරුවන් ඇතුලු 25,000ක පිරිසකගේ ආදායමට කම්හල වසා දැමීම බලපා ඇති බව රනසෝම කීවේය. ඔහු එසේ කිඹුල් කඳුලු හෙලුවේ ප‍්‍රදේශයේ ජනයාගේ හා කම්කරුවන්ගේ සෞඛ්‍ය ගැන නොතකමින් පමනක් නොව මේ අවුරුද්ද මුල වෘත්තීය සමිතියක් හැදීම නිසා කම්කරුවන් 120ක් දොට්ට දමා තිබිය දී ය.

කොම්පැනි හිමියාගේ උදව්වට කැඳවා සිටි ලංකාවේ ප‍්‍රමුඛ පෙලේ ධනපති ආර්ථික විද්‍යාඥයෙක් වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි අවධාරනය කලේ මහජනයාට හානියක් වේ නම් එය සොයා බැලිය යුතු නමුත් මෙහි එවැන්නක් නැති බව පෙනෙන හෙයින් කම්හල විවෘත කල යුතු බවයි. එසේ නොකලොත් විදේශ ඍජු ආයෝජන අවශ්‍ය අවස්ථාවක රට පිලිබඳව "නිෂේධනීය” සංඥාවක් නිකුත් වන බව ඔහු අවධාරනය කලේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ හා ආර්ථික කටයුතු ඇමති බැසිල් රාජපක්ෂ සමග වහා සාකච්චාවක් ඉල්ලා සිටි හේලීස් සභාපති පන්ඩිතගේ මෙසේ කීවේය: "මැලේසියාවේ ගොඩනැගිලි තිබෙනවා. අපිට කරන්න තියෙන්නේ අපේ මැෂින් බහලුම්වල දමා ඒ රටට නැවෙන් ගෙනිහින් සවි කරන එක විතරයි. ඒත් මම ජාතිකවාදියෙක්. වෙන කරන්න දෙයක් නැත්නම් මිසක මම එහෙම කරන්නේ නෑ.”

පන්ඩිතගේ කනස්සල්ල ලංකාව ලාබ ශ‍්‍රම තිප්පලක් ලෙස පාවිච්චි කිරීම නැතිවී යතැයි යන්න ගැනය. වෙනිග්‍රොස් කොම්පැනිය හා එහි උප සමාගම් කම්කරුවන් දැඩි ලෙස සුරාකන්නේ අඩු පඩියට හා වැඩිදෙනා කොන්ත‍්‍රාත් පදනමේ තබා ගෙන ය. 2011 වසරේ ඩිප්ඩ් ප‍්‍රඩක්ට් සමාගමේ ලාබය පෙර වසරට වඩා තෙගුනයකින්, රුපියල් බිලියන 2.38 දක්වා වැඩිවිය. 2012 ලාබය රුපියල් බිලියන 2.1කි. හේලීස් සහ වෙනිග්‍රොස් ගනන් බලන්නේ නැතිවී යන ලාබය ගැන හා එය වැඩි කර ගන්නේ කෙසේද යන්නයි. පුවත් පත් වාර්තා කරුවෙකු නැගූ ප‍්‍රශ්නයකට පිලිතුරු දුන් රනසෝම කම්හල වටා කිලෝමීටරයක ප‍්‍රදේශයකට නල ජලය ලබා දීමට වුව තමන් සුදානම් බව ප‍්‍රකාශ කලේ මේ ලාබ ශ‍්‍රම භාවිතාවට ඇති ඉඩකඩ නිසා ය.

ආන්ඩුව තවමත් කම්හල විවෘත කිරීමට සංඥාව දී නැත්තේ ප‍්‍රදේශයේ වැඩ කරන ජනයා ගැන අනුකම්පාවකින් නොවේ. අගෝස්තු 1 දා ආන්ඩුව රුදුරු මිලිටරි මර්දනයක් විරෝධතාකරුවන් මත මුදා හැරියේය. සිසුන් දෙදෙනෙකු හා බියගම නිදහස් වෙලඳ කලාපයේ තරුන කම්කරුවෙකු මරා දමමින් හා 30කට පමන තුවාල කරමින් සිදුකල සාහසික ප‍්‍රහාරය පිලිබඳව වැලිවේරිය ප‍්‍රදේශයේ පමනක් නොව රට පුරාම පැතිරී ගිය කෝපය නිසා ද ලබන ජනවාරියේ බස්නාහිර පලාත් සභාවට ඡන්දයක් පැවැත්වීමට සුදානම් වන නිසා ද ආන්ඩුව ඊලඟ ප‍්‍රහාරය ගැන කල්යල්බලමින් සිටී. කිසිවෙකු මේ ගැන සැකයක් තබා ගත යුතු නැත. මේ ආන්ඩුව මහා ව්‍යාපාරිකයන් හා ජාත්‍යන්තර ආයෝජකයන් වෙනුවෙන් ක‍්‍රියා කරන, උතුරු නැගෙනහිරෙන් ගොඩ නගාගත් මිලිටරිය වැඩ කරන ජනයා හා තරුනයන් මැඩීමට යොදාගන්නා ආන්ඩුවකි.

සමාගමේ පුවත්පත් සාකච්චාවට පසුදා එජාප පලාත් සභා මන්ත‍්‍රී ප‍්‍රමුක හෙට්ටිආරච්චි නායකත්වය දෙන සියනෑ ජලය සුරැකීමේ සංවිධානය ඊට පිලිතුරු වශයෙන් යයි පුවත්පත් සාකච්චාවක් තැබීය. ව්‍යාජ වාම පක්ෂයක් වන නව සමසමාජ පක්ෂය ද මෙම සංවිධානයට සම්බන්ධව කටයුතු කරයි. හෙට්ටිආරච්චි එම සාකච්චාවේදී කියා සිටියේ කම්හල යලි විවෘත කලහොත් "නීතියේ රාමුව තුල කල හැකි සියලු අරගලයන්” කරන බවය. එජාපය මේ උද්ඝෝෂනයට දැන් සම්බන්ධ වී සිටින්නේ තම ඡන්ද පදනම තරකර ගැනීමට මහජන කෝපය ගසාකෑම සඳහා ය.

කොම්පැනි හිමියන් හා ආන්ඩුව සැබෑ තතු වසන් කර මහජනයා මුහුනදී සිටින බැරෑරුම් ප‍්‍රශ්න නොතකා තම උවමනාවන් රැකීමට රුදුරු ලෙස ක‍්‍රියා කරමින් සිටී. ඊට අනුපූරකව එජාප ඇතුලු අනෙකුත් සංවිධාන මහජන විරෝධය අවමංගත කරති.

මේ තතු තුල සමාජවාදී සමානතා පක්ෂය (සසප) කැඳවා ඇති වැලිවේරිය ජල දුෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය ගොඩනැගීම තීරනාත්මක ය. කම්කරු පරීක්ෂනයක් නිවේදනය කරමින් සසප නිකුත්කල ප‍්‍රකාශය පරීක්ෂනයේදී විභාග කෙරෙන කරුනු මෙසේ දක්වා ඇත:

"* වෙනිග්‍රොස් සමාගම ප‍්‍රදේශයේ ජල සැපයුම දූෂනය කිරීම හා ගම්වාසීන්ගේ හා කම්කරුවන්ගේ සෞඛ්‍ය කෙරෙහි ඉන් මතු කෙරෙන තර්ජනය

* කම්හලේ වැඩකරන කම්කරුවන් මුහුනපා සිටින සූරාකෑමේ සේවා කොන්දේසි

* අගෝස්තු 01දා ඝාතනයන්ට වගකිවයුත්තෝ කවරහු ද?

* ප‍්‍රදේශවාසින්ගේ මෙන්ම කම්කරුවන්ගේ ද සෞඛ්‍යයට තර්ජනයක්ව ඇති කාර්මික දූෂනයේ පීඩාවට විසඳුම කුමක් ද?

"වාචික හා ලිඛිත සාක්ෂි රැස් කිරීම සඳහා සසප විමර්ෂන කමිටුවක් පිහිටුවා ඇති අතර එය, තමන්ගේම ස්වාධීන පරීක්ෂනයන් පවත්වනු ඇත.”

කම්කරුවන් හා ප‍්‍රදේශවාසීන් මෙන්ම විද්‍යාඥයින් හා තාක්ෂනවේදීන් ද මෙම කරුනු පිලිබඳ දැනුමක් ඇති ඕනෑම අයෙකුට ද පරීක්ෂනය සඳහා සහයෝගය දැක්වීමට ඉදිරිපත් වන ලෙස සසප ප‍්‍රකාශය ඉල්ලා සිටියේ ය. මෙම පරීක්ෂන කමිටුව අවශ්‍ය වැඩකටයුතු පටන් ගෙන ඇත. පහත සඳහන් ලිපිනයට ලියා හා දුරකථනයට කතා කර අපගෙන් වැඩිදුර විස්තර ලබා ගන්න.

වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව

716 1/1, කෝට්ටේ පාර,

ඇතුල්කෝට්ටේ,

කෝට්ටේ.

දුරකථන අංක: 2869239 /3096987

Share this article: