එක්සත් ජනපද අධිරාජ්‍යවාදය හා සිරියාවේ කුලීකාර යුද්ධය

US imperialism and the proxy war in Syria

ඩෙවිඩ් නෝර්ත් විසිනි, 2013 සැප්තැම්බර් 19

පහත පලවන දේශනය, ලෝසවෙඅ ජාත්‍යන්තර කතෘ මන්ඩලයේ සභාපති හා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික සභාපති වන ඩේවිඩ් නොර්ත් විසින් සැප්තැම්බර් 17 වනි දින ඈන් ආබර්හි මිචිගන් විශ්ව විද්‍යාලයේදී පවත්වන ලදී.

”අපේ කාලයේ සාමය?”

සතියකට පෙර නම් පෙනී ගියේ, ඔබාමා පාලනාධිකාරය සිරියාවට බෝම්බ හෙලීම සඳහා නියෝග නිකුත් කිරීමට සූදානම් වන බවකි. කෙසේ වෙතත් රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සැප්තැම්බර් 09දා දැන් ප‍්‍රචලිතව තිබෙන ඔහු කල ප‍්‍රකාශයෙන් ඇඟවුම් කලේ, සිරියාව තමන් සතු රසායනික අවි තොග විනාශ කිරීමට එකඟ වන්නේ නම් යුද්ධය මගහැර ගැනීමට හැකි වන බවකි. මෙය කටපල්ලෙන් වැටුනු කියමනක් ද නැතිනම් මනාව සැලසුම් කල රාජ්‍යතාන්ත‍්‍රික කූටෝපායක් ද, - ටැලිරෑන්ඩ් පවා විස්මයට පත් කල හැකි වර්ගයේ විචක්ෂන හා සියුම් උපාමාරුවක් ද - යන්න පැහැදිලි නැත. රාජ්‍ය දෙපාර්තමේන්තුවේ හා ධවල මන්දිරයේ ප‍්‍රකාශකයින්ගේ ආරම්භක ප‍්‍රතිචාර තුල දැකගත හැකිවූ ව්‍යාකූලත්වය සලකන කල, විශේෂ බුද්ධිමතෙකු නොවන කෙරී උපායශීලී ලෙස මෙම තර්කය ගෙන ඒමේ දී මාධ්‍යවේදියාගේ ප‍්‍රශ්නයට දුන් පිලිතුරේ ඇඟවුම් පිලිබඳව සිතා බැලුවේ නැති බව පැහැදිලි ය. අනෙක් අතට කෙරී හිටි අඩියේම කල බව පෙනී යන ප‍්‍රකාශය, රුසියාවේ විදේශ ඇමති සර්ගේ ලැව්රෝව් සමග පවත්වන ලද රහසිගත සාකච්ඡාවලින් පැනනැගුනක් බවට තර්කයක් ද ගොඩනැගිය හැකි ය.

විය හැකි සත්‍යය කුමක් වුව ද තහවුරු නොකල චෝදනා මත පදනම්ව, සිරියානු ජනාධිපති බෂර් අල් අසාද් රසායනික අවි ප‍්‍රහාරයට නියෝග දුන් බැවින්, එක්සත් ජනපදය සිරියාවට එරෙහිව දන්ඩන මිලිටරි ප‍්‍රහාර එල්ල කරනු ඇතැයි නිවේදනය කරමින් ඔබාමා පාලනාධිකාරය, යුද්ධයට පැනීමේ දී මුහුන දුන් දේශපාලන ගැටලු පෙර දැක නො තිබුනේ ය යන්න පිලිබඳව ප‍්‍රශ්නයක් තිබිය නො හැකි ය.

දැවැන්ත ගුවන් ප‍්‍රහාර සමගින් කඩිනමින් ම සිරියාවට පහර දීමට ගත් ඔබාමා පාලනාධිකාරයේ තීරනය පිටුපස පැවතුනේ, එක්සත් ජනපදයේ පිටුබලය ලබන කැරලිකාර හමුදාවන් මුහුනපා සිටි මංමුලා සහගත තත්වය යි. අසාද් බලයෙන් ඉවත්විය යුතු යයි ඔබාමා 2012දී ප‍්‍රකාශ කලේ ය. 2013 වන විට එක්සත් ජනපදය, විශේෂයෙන් ම සවුදි අරාබිය හා කටාර් යන සිය ගල්ෆ් රාජ්‍ය අනුචරයින් සමග එක්ව, ඩොලර් බිලියන ගනන් අසාද් විරෝධී ත‍්‍රස්තවාදීන් වෙත මුදා හරිනු දැකගත හැකි විය. ත‍්‍රස්තවාදය සාර්ථක වනු ඇති බවට සීඅයිඒ සංවිධානය ඔබාමාට සහතික වී තිබුනි. කෙසේ වෙතත් ඉරානයේ හා ලෙබනන්හි හිස්බුල්ලාවරුන්ගේ සහාය ඇතිව ආසාද්ගේ හමුදා ප‍්‍රහාරාත්මකව ඉදිරියට ගියේ ය. යුද්ධය පිලිබඳ අධ්‍යයන ආයතනය ජූනි 06දා ප‍්‍රසිද්ධියට පත්කල වාර්තාවකට අනුව, අසාද් තන්ත‍්‍රය කැරලිකරුවන් අල්ලාගෙන සිටි අල් කියුසයර් නගරයට පහර දීමත් සමග "ගොඩබිමේ බල තුලනය ක්ෂනිකව වෙනස් කරමින්, සිවිල් යුද්ධයේ තීරනාත්මක සන්ධිස්ථානයක් සලකුනු කලේය.”

2013 ජූලි 25දා ජෝන් කෙරී සිරියානු විපක්ෂයේ නායකයින් සමග ගෙනගිය සාකච්ඡාව

එක්සත් ජනපද මිලිටරිය සඳහා මූලෝපායක් සම්පාදනය කිරීමට උත්සාහ දරන පරියේෂක කන්ඩායමක් වන එම ආයතනය, "ජාත්‍යන්තර ප‍්‍රජාව (එනම්, එක්සත් ජනපදය හා එහි අනුචරයින්) සාකච්ඡාවන්ට පෙරාතුව ගොඩබිමේ බල තුලනය තීරනාත්මක ලෙස වෙනස් කිරීමට යමක් කල යුතුව ඇතැයි” තර්ක කලේ ය. යථාර්තයේදී එක්සත් ජනපදයේ දේශපාලන ඒජන්තයින් වන සිරියානු විපක්ෂයේ නායකයින්, 2013 ජූලි 25දා ජෝන් කෙරී මුනගැසුනහ. පැයක පමන කාලයක් පැවති රැස්වීම අතරවාරයේ ඔවුහු, තත්වය "අවිනිශ්චිත” බවත්, කැරලි පාර්ශවයේ බිඳවැටීම වලක්වා ගැනීම පිනිස එක්සත් ජනපදය කඩිනමින් ක‍්‍රියාත්මක විය යුතු බවත් ලේකම් වරයාට දැනුම් දුන්හ.

අගෝස්තු 21දා රසායනික අවි ප‍්‍රහාරයත්, රාජ්‍ය ලේකම් හා සිරියානු විපක්ෂය අතර ජූලි 25දා සිදුවූ දෛවෝපගත රැස්වීමත් අතරතුර ගතව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. ඇමරිකානු මිලිටරි ක‍්‍රියාන්විතයක් වෙනුවෙන් කල මංමුලා සහගත ආයාචනයන් රැගත් එම රැස්වීම හා ඉන් දින 27කට පසුව එල්ල කෙරුනු අභිරහස් ස්නායු නාශක ගෑස් ප‍්‍රහාරයත් යන සිදුවීම් දෙක අතර සම්බන්ධය පැහැදිලි ය. සීඅයිඒ හා සවුදි හෙංචයියන් විසින් නායකත්වය දෙන කැරලිකාර පාර්ශවයට එරෙහිව ගෙනයන යුද්ධය පිලිබඳ වැටහීම, මිලිටරි ප‍්‍රහාරයක් සඳහා "රසායනික අවි” පිලිබඳ තුරුම්පුව කඩතුරාවක් ලෙස යොදාගැනීමට එක්සත් ජනපදය පෙලඹවී ය. සීඅයිඒහි පිටුබලය ලබන කැරලිකරුවන් පරාජය කරමින් සිටි හා රසායනික අවි යොදාගැනීමට කිසිදු හේතුවක් නොතිබුනු අසාද් ආන්ඩුව මෙන් නොව එක්සත් ජනපදයට, එහි අනුචරයින්ට හා කැරලිකාර පාර්ශවයට, ඩැමස්කසය වෙත බෝම්බ දැමීම යුක්ති සහගත කිරීම සඳහා යොදාගතහැකි නාටකීය සිදුවීමක දැවෙන අවශ්‍යතාවක් තිබුනි. විෂ වායු ප‍්‍රහාරය සැලසුම්කර ක‍්‍රියාත්මක කිරීම පිලිබඳව සීඅයිඒ සංවිධානය අසාද්ට වඩා බොහෝ දේ දැන සිටි බව යමෙකුට සාධාරන ලෙස නිගමනය කල හැකි ය. එක්සත් ජනපද ප‍්‍රහාරයක් සිරියානු ආන්ඩුවේ ආක‍්‍රමනික හැකියාවන් බිඳ හෙලා කැරලිකරුවන්ට මිලිටරි වාසි සලසනු ඇති බවට ඔබාමා පාලනාධිකාරය ගනන් බැලීය. සිවිල් යුද්ධය නිමා කිරීමේ සාකච්ඡාවන්හි දී අවම වශයෙන්, එක්සත් ජනපදයේ හා එහි අනුචරයින්ගේ තත්වය ශක්තිමත් කිරීමේ මාධ්‍යයක් ලෙස මිලිටරි පියවර දායක වනු ඇති බව සලකන ලදී.

සැලැස්ම වූයේ එයයි! පෙර දැකීමට අසමත් වූයේ තවත් යුද්ධයකට එක්සත් ජනපදය තුලත් යුරෝපයේත් පැවති ඉමහත් මහජන ප‍්‍රතිරෝධයයි. මා ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන මාධ්‍යයේ සියලු උත්සාහයන් තිබිය දී පුලුල් ජන සමූහයා, යුද්ධ ගැති ප‍්‍රචාරය බදා ගත්තේ නැත. මාධ්‍යය උමතු සහගත ලෙස තමන්ට හුරු පුරුදු සියලු තුරුම්පු යොදාගනු ලැබුව ද මේ වතාවේදී ජනතාව අපේක්ෂිත පරිදි ප‍්‍රතිචාර දැක්වූයේ නැත. බරපතල අර්බුදයක පලමු සංඥාව නිකුත් වූයේ, බි‍්‍රතාන්‍ය අගමැති කැමරන් විසින් යුද්ධයට පක්ෂව ඉදිරිපත් කල යෝජනාව බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේදී අගෝස්තු 29දා පරාජයට පත්වූ විට ය. ජාත්‍යන්තර කඩතුරාවක් අහිමිවීමේ තත්වය තුල ඔබාමා, යුද්ධය සඳහා දේශපාලන යුක්තිකරනයක් නිර්මානය කර ගැනීම පිනිස කොන්ග‍්‍රසයේ යෝජනා සම්මතයක් අවශ්‍ය බවට තීරනය කලේ ය. ආරම්භක ඇඟවීම් පලවූයේ, ප‍්‍රහාරයකට අනුමැතිය පලකරන යෝජනාවක් කොන්ග‍්‍රසයෙන් අනුමත වනු ඇති බවට යි. සෙනේට් සභාවේ ද ව්‍යවස්ථාදායක මන්ඩලයේ ද පක්ෂ දෙකේම නායකයින් ඒ සඳහා සිය සහයෝගය පල කලහ.

එහෙත් පැතිර පැවති විරුද්ධත්වය නිසා කොන්ග‍්‍රසය කර කියාගත නොහැකි තත්වයකට පත් විය. නියෝජිතයින්ට යවන ලද ලිපි මගින් ගනන් බලන ලද පරිදි බොහෝ ඡන්ද කොට්ඨාශවල මහජන මනෝ භාවය ප‍්‍රහාරයකට එරෙහිව පැවතුනේ 9ට 8ක් ලෙස ය. එක් සිහිකටයුතු සිදුවීමක් තුල, නගර සභා රැස්වීමක දී සෙනේට් සභික ජෝන් මැකේන් හෙලා දැකීමට ලක් විය. දැන් අපකීර්තියට පත්ව ඇති ඇෆ්ගනිස්ථානයේ හා ඉරාකයේ යුද්ධ සඳහා සහයෝගය ගොනු කිරීමට ගොතන ලද බොරු අමතක වී ඇත්තේ නැත.

පසුගිය සති අන්තය වන විට, යුද්ධයට එරෙහි මහජන ප‍්‍රතිරෝධය මගින් ඔබාමා පාලනාධිකාරය ද සමස්ත දේශපාලන සංස්ථාපිතය ද අලාමුලාවට පත්ව ඇති බව පැහැදිලි විය. සිතාමතා නිර්මානය කල මහජන මතයක් සහිත ලෝකයක ජීවත් වන ඔවුහු, සැබෑ මහජන මතයේ ප‍්‍රකාශනයකට මුහුන දීමට සූදානම්ව නොසිටිය හ. කෙරී සැප්තැම්බර් 10දා එහෙන් මෙහෙන් කල ප‍්‍රකාශය දේශපාලන ප‍්‍රමාදයක් වී නම් පවා, ලේකම්ගේ ව්‍යාකූලතාව පිලිබිඹු කලේ පරිපාලනය තුලම පැවති ව්‍යාකූලත්වය යි.

හුදු පුරාජේරු ව්‍යායාමයක් තුල යුද්ධය මගහැරිය හැකිය යන කෙරීගේ අදහස, ධවල මන්දිර හා රාජ්‍ය දෙපාර්තමේන්තු ප‍්‍රකාශකයින් විසින් බැහැර කිරීමට දරන ලද ආරම්භක වෑයම තිබිය දී ම ඔබාමා පාලනාධිකාරය, දිනයේ පසු භාගය වන විට පොට මාරු කරමින්, සිරියාවේ රසායනික යුද අවි විනාශ කිරීමට ඉඩ දීම සඳහා ක්ෂනික මිලිටරි ක‍්‍රියාන්විතය අත්හිටුවීමට කැමැත්ත පල කලේ ය.

තවත් ප‍්‍රධාන එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීමක ක්ෂනික තර්ජනය පහව ගිය බව පෙනී ගියේ ය. එහෙත් යුද්ධය කල් දැමීම, ප‍්‍රධාන යුද්ධයක් පුපුරා යාමේ හැකියාව හා නොවැලැක්විය හැකි බව අඩු නො කරයි. යුදවාදී ප‍්‍රකාශන වොෂින්ටනයෙන් නිකුත් වෙද්දී පැහැදිලි වන්නේ, "මිලිටරි විකල්පය” මේසය මත තිබෙන බවයි. සිරියාවට එරෙහි එක්සත් ජනපද මෙහෙයුම්, ඉරානය සමග ගැටුමකට වේදිකාව සකසයි. තව ද ගෝලීය ආධිපත්‍ය සඳහා වොෂින්ටනයේ තල්ලුව, රුසියාව හා චීනය සමග ගැටුමකට ද තුඩුදෙයි. ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවශ්‍යතා අතර ගැටුම එමගින් බැහැර කල හැකි නො වේ. නිදසුනක් ලෙස එක්සත් ජනපදය හා ජර්මනිය අතර ගැටුම, නිශ්චිත කොන්දේසි යටතේ මිලිටරි ගැටුමකට පෙරලී යා හැකි ය.

යුද්ධයේ අන්තරාය, එක් හෝ තවත් දේශීය ගැටුමකින් හෝ මතභේදයකින් තද්භව නොවන අතර එය හටගන්නේ එක්සත් ජනපදය හා ලෝක ධනවාදයේ අර්බුදයෙහි තර්කනයෙනි. 1914 පලමුවන හා 1939 දෙවන ලෝක සංග‍්‍රාමයන් පුපුරා යාමට පෙරාතුව "යුද භීතිකාවන්” ගනනාවක් දක්නට තිබුනි. බොහෝ අවස්ථාවලදී ප‍්‍රධාන බලවත්තු යුද්ධයක් මුවවිටට ම තල්ලු වූහ. අවසන් මිනිත්තුවේදී පමනක් පසු බසින ලදී. සුදෙතෙන්ලන්තය යන චෙකොස්ලොවේකියාවේ මූලෝපායිකව වැදගත් කොටසක් ඈඳාගන්නා බවට හිට්ලර් 1938 සැප්තැම්බරයේ ප‍්‍රකාශ කල විට, යුද්ධය නොවැලැක්විය හැකි බව පෙනී ගියේ ය. එය පහව ගියේ නාසි ජර්මනියේ අවසන් නිවේදනය බි‍්‍රතාන්‍ය අගමැති චේම්බර්ලේන් විසින් පිලිගැනීමෙන් පසුව ය. චෙම්බර්ලේන් ආපසු එංගලන්තයට පැමිනියේ, ගිවිසුම මගින් "අපේ කාලයේ සාමය” සුරක්ෂිත කල බව පවසමිනි. මහ ජනතාව අතර පොදුවේ ඉමහත් ප‍්‍රීතියක් පල විය. ජර්මනියේ පවා පැවතුනේ, හිට්ලර්ගේ මහත් නොසතුටට හේතු වූ, යුද්ධයට විරුද්ධ ඉහවහා ගිය ජනතා මනෝගතියකි.

එහෙත් 1938දී ට්‍රොට්ස්කි අනතුරු ඇඟවූ පරිදි, "අධිරාජ්‍යවාදී ප‍්‍රති විරෝධතා ගොඩඒගත නොහැකි තැනකට පත්වන්නේ, වෙන් වෙන්වූ ගැටුම් හා දරුනු දේශීය අසමගිකම් ඉහලම මට්ටමට ලඟාවූ පසුව ය. ඒවා නොවැරදීම ලෝක පරිමානයක් අත් කර ගන්නා වූ අග්නි ජාලාවන් තුලට ඇද ගනියි.” වසරක් ඇතුලත දෙවන ලෝක යුද්ධය පුපුරා ගියේය.

ඔබාමා හා පුටින් මහත්වරු සම්බන්ධ වූ රාජ්‍යතාන්ත‍්‍රික සෙල්ලම් හා කුමන්ත‍්‍රන වලට, අධිරාජ්‍යවාදයේ මූලික ගමන් මග වෙනස් කල නොහැකි ය. සිරියාවට බෝම්බ හෙලීම ප‍්‍රමාද කල ද යුද්ධයට මග හෙලිකල ප‍්‍රතිවිරෝධයන් එසේම පවතිනු ඇති අතර ඒවා සාමකාමීව නොවිසඳෙනු ඇත. එක්සත් ජනපදය, ප‍්‍රන්සය හා බි‍්‍රතාන්‍ය මෙන්ම ගල්ෆ් රටවල් ද අසාද් විරෝධී කැරලිකරුවන්ට දෙන සිය මූල්‍ය හා ප‍්‍රවර්ධනාත්මක සහයෝගය වැඩි කරමින් සිටිති.

එක්සත් ජනපදය හා සිරියාව

සිරියාවට එරෙහි මිලිටරි ප‍්‍රහාරයකට ඔබාමා පාලනාධිකාරයේ සූදානම පිලිබඳව ඉදිරිපත් කරන මාධ්‍ය ආවරනයේ වඩාත්ම කැපී පෙනෙන අංශය නම්, ඓතිහාසික සන්දර්භයක බහා කෙරෙන කිසිදු පරීක්ෂාවක්, ජාත්‍යන්තර නීතියේ ආස්ථානයකින් නීතිමය ඇඟවුම් පිලිබඳව කෙරෙන විමසුමක් හෝ දේශපාලන අභිපේ‍්‍රරනය පිලිබඳ විමසීමක් කොහෙත්ම නැති කමයි. එක්සත් ජනපදය ආන්ඩුව විසින් කරන ප‍්‍රකාශ හෝ කියාපෑම් සියල්ල මතුපිට අර්ථයෙන් පමනක් ගෙන ඇත්තේ, ඒවායේ ඇත්ත නැත්ත සැකයකින් තොරය යන පිලිගැනීමෙනි. සිදුවූවා යයි කියන රසායනික අවි ප‍්‍රහාරය සඳහා අසාද් තන්ත‍්‍රය වගකිව යුතුය යන්න ඒත්තු යන කිසිදු භෞතික හා වෝහාරික සාක්ෂියක් ඉදිරිපත් කිරීමට ඔබාමා පාලනාධිකාරය සමත්වී නැතුවාක් මෙන්ම ඒ සඳහා කිසිදු උත්සාහයක් හෝ ගෙන නැත. එක්සත් ජනපද ප‍්‍රහාරයක අවදානම ගනිමින් අසාද්, "රතු ඉර” පැන්නේ මක්නිසා ද යන්න පැහැදිලි කරන අරමුනක් සම්පාදනය කිරීම ගැන කියනුම කවරේ ද? ඇමරිකානු සංස්ථාපිතය කියන කතාන්තරය මාධ්‍ය විසින් වහාම හා මුලුමනින්ම ඩැහැගනු ලැබිනි. අප‍්‍රකාශිත හා සැඟවුනු න්‍යායපත‍්‍රයක් ක‍්‍රියාවට නැගීම පිනිස පාලනාධිකාරය බොරු කියන බව ඔවුහු හොඳින් ම දැන සිටිති. එහෙත් මාධ්‍ය මුලුමනින්ම ක‍්‍රියාකරන්නේ ප‍්‍රචාරනයේ මෙවලමක් ලෙස ය.

ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් වන සිරියාවට පහර දීමේ ඇඟවුම් මාධ්‍ය විසින් සරලව ම නොතකා හරියි.

ඓතිහාසික සන්දර්භයක් කිසිසේත්ම ඇත්තේ නැත. එක්සත් ජනපද ක‍්‍රියාකලාපය තනිකර ම, ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් 1990දී සදාම් හුසේන් ගැන "හිට්ලර්ගේ පුනරාගමනය” යනුවෙන් සඳහන් කල පරිදි, කුරිරු ආඥාදායකයෙකු විසින් පීඩාවට පත්කර තිබෙන සිරියානු ජනතාවගේ දුක් පීඩා ගැන අනුකම්පාව නිසා මෙහෙයවෙන මුලුමනින්ම පරාර්ථකාමී ව්‍යායාමයක් යයි විශ්වාස කිරීමට ජනතාව මෙහෙයනු ලැබේ. සිවිල් යුද්ධයෙන් ලක්ෂයක් මිනිසුන් මිය ගිය බවට වාර්තා මාධ්‍ය තුල දක්නට ඇත. එහිදී එක්සත් ජනපදය, භීතියට පත්ව බලාසිටින්නෙක් මිස එරටේ බිහිසුනු සිදුවීම් පිලිබඳව කිසිදු වගකීමක් දරන්නෙකු නො වේ.

මෙම අර්බුදය දිගහැරෙද්දී සාවධානව ප‍්‍රවෘති වාර්තා වන්ට ඇහුන්කන් දුන්, සාපේක්ෂ වශයෙන් කරුනු කාරනා තේරුම් ගන්නා ඇමරිකානුවන් පවා, ඔබාමා පාලනාධිකාරයේ ප‍්‍රතිපත්ති වටහා ගැනීමේ දී තීරනාත්මක වැදගත් කමක් දරන ඉහත සාධක කිසිවක් වටහාගෙන නැතුවා විය යුතුය.

හුස්නි සයිම්

සිරියාවට සෘජුව මැදිහත්වී එරට ආන්ඩු දන ගැස්වීමේ ලා, 1940 ගනන් දක්වාම දිව යන දිගු ඉතිහාසයකට එක්සත් ජනපදය හිමිකම් කියයි. පැරනි යටත් විජිත බලවතෙකු වන ප‍්‍රන්සයට, එක්සත් ජනපද බලපෑම යටතේ, 1946දී සිරියාවට නිල වශයෙන් නිදහස පැවරීමට බල කෙරුනි. ටෲමන් පාලනාධිකාරය, පැරනි යටත් විජිතයේ පාලන තන්ත‍්‍රය ලවා තෙල් කර්මාන්තය තුල නාභිගතව තිබූ ඇමරිකාවේ ව්‍යාපාරික-මූල්‍ය ආසක්තයන් සුරක්ෂිත කර ගැනීමටත්, එක්සත් ජනපදය සීතල යුද්ධ සෝවියට් විරෝධී මූලෝපායේ නියෝග පිලිගන්නවා ගැනීමටත් උත්සාහ කලේ ය. සියල්ලටත් වඩා මෙහි අර්ථය, මැද පෙරදිග සෝවියට් අනුහස වැඞී යාම මැඩ පැවැත්වීමට එක්සත් ජනපදය දරන උත්සාහයට සහාය ගොනුකිරීමත්, එරටේ කොමියුනිස්ට් හා වාමාංශික ව්‍යාපාර මැඩපැවැත්වීමත් ය.

ෂුක්රි ක්වාට්ලි

1948-49 වසරවල සිරියානු කොමියුනිස්ට් පක්ෂයේ වර්ධනය හා ජනාධිපති ෂුක්රි ක්වාට්ලිගේ වාම-ධනේශ්වර ජාතිකවාදී තන්ත‍්‍රය හා සෝවියට් සංගමය අතර එන්ට එන්ටම දැඩි වන මිත‍්‍ර සම්බන්ධකම් දැක ටෲමන් පාලනාධිකාරය කලබලයට පත් විය. සීඅයිඒ සංවිධානයේ මාස ගනනක සූදානමෙන් පසුව සිරියානු හමුදා ප‍්‍රධානී හුස්නි සයිම් විසින් 1949 මාර්තු 30දා ක්වාට්ලි බලයෙන් පහ කලේ ය. කුමන්ත‍්‍රනය තුල එක්සත් ජනපද මෙහෙයුම් ක‍්‍රියාකලාපය හොඳින් වාර්තාගතව තිබේ. සිරියානු ඉතිහාසය හා දේශපාලනය පිලිබඳ විශේෂඥයෙකු වූ මහාචාර්ය ඩග්ලස් ලිට්ල්ට අනුව:

මෑතක දී ප‍්‍රසිද්ධියට පත් කල වාර්තා වලට අනුව, 1948 නොවැම්බර් 30දා (සීඅයිඒ ක ‍්‍රියාකාරිකයෙකු වන ස්ටෙෆන්) මීඩි, "හමුදාවේ සහාය ලබන ආඥාදායකත්වයක හැකියාව” පිලිබඳව සාකච්ඡා කිරීමට අඩුම තරමින් සය වතාවක් කර්නල් සයිම් රහසිගතව හමුවිය. (සීතල යුද්ධය හා රහසිගත ක‍්‍රියා: එක්සත් ජනපදය හා සිරියාව, 1945-58, Middle East Journal (මැද පෙරදිග ජර්නලය), 1990 ශීත සෘතුව, 55 පිටුව)

අපකීර්තිමත් සයිම් තන්ත‍්‍රය දේශපාලන බරක් බව තහවුරු වනු ඇතැයි යන බියක් ටෲමන් පාලනාධිකාරය තුල පැවතුනි. එහෙත් කුමන්ත‍්‍රනයෙන් ඉක්බිත්තෙහි සිරියාවේ බලධාරියා ලෙස සයිම්ගේ වැඩකටයුතු වොෂින්ටනය කුල්මත් කලේ ය.

ඇරැම්කෝ යන අරාබි ඇමරිකානු තෙල් සමාගමට පැනවී තිබුනු අවසාන බාධක ඉවත් කර මැයි 16දා සයිම් කල් ප‍්‍රමාදවී තිබුනු ටැප්ලයින් සහනය අනුමත කලේ ය. ඒ සැලසුම අනුව සවුදියේ තෙල් මධ්‍යධරනී මුහුද දක්වා ගෙනයා හැකි විය. දෙසතියකට පසුව කොමියුනිස්ට් පක්ෂය තහනම් කර වාමාංශිකයින් දුසිම් ගනනක් සිරගත කිරීම මගින් ඔහු තම සෝවියට් විරෝධී ව්‍යාපාරය පුලුල් කලේ ය. (එම පිටුව)

අඩිබ් ෂිෂාක්ලි

කෙසේ වෙතත් බලය අල්ලා ගැනීමෙන් මාස පහකට පසුව බෙහෙවින් අපකීර්තියට පත්ව සිටි සයිම් අගෝස්තු 14දා බලයෙන් පහකර මරා දමන ලදී. මෙම පසුබෑම තිබිය දී නමුත් සීඅයිඒ සංවිධානය, කර්නල් අඩිබ් ෂිෂාක්ලි නම් තවත් මිලිටරි කාරයෙක් සොයාගත් අතර 1949 දෙසැම්බර් 19දා එක්සත් ජනපදය සහාය ඇතිව සංවිධානය කල කුමන්ත‍්‍රනයකින් ඔහු බලයට පත් විය. ෂිෂාක්ලිගේ එක්සත් ජනපද ගැති තන්ත‍්‍රය ලේ නොසෙල්වූ කුමන්ත‍්‍රනයකින් බලයෙන් පහකරන තෙක්, 1954 පෙබරවාරිය දක්වා බලයේ රැඳී සිටියේ ය. අවසානයේදී ෂිෂාක්ලි 1964 වසරේ බ‍්‍රසීලයේදී ඝාතනය කරන ලදී. එහෙත් ඔහුගේ මරනය ෂිෂාක්ලි පවුල සිරියාවේ දේශපාලනයට සම්බන්ධ වීමෙන් වැලැක්වූයේ නැත. සවුදි රාජකීය පවුලට සමීප සම්බන්ධකම් ඇති, දක්ෂිනාංශික ව්‍යාපාරිකයෙකු වන, ඔහුගේ මුනුබුරු අඩිබ් ෂිෂාක්ලි සිරියානු විපක්ෂයේ ප‍්‍රමුඛ සාමාජිකයෙකි. එක්සත් ජාතීන්ගේ මන්ඩලයේදී ජූලි 25දා රාජ්‍ය ලේකම් කෙරී හමුවූ අය අතුරින් ඔහු ද එක් අයෙකි.

ජනාධිපති අයිසන්හවර්

කර්නල් ෂිෂාක්ලි බලයෙන් පහකල 1954 වසරෙන් පසුව එක්සත් ජනපදය, වමේ නව වර්ධනය හා සිරියානු දේශපාලනය තුල ඇමරිකානු ඇඟිලිගැසීම් කෙරෙහි නැගෙමින් තිබුනු විරෝධයේ නව රැල්ල පිලිබඳව නොසතුටට පත්ව සිටියේ ය. කර්නල් අඩ්නන් මල්කි විසින් නායකත්වය දුන් සිරියානු මිලිටරියේ කොටස්වල පිටුබලය ලත් "ප‍්‍රගතිශීලී පෙරමුනේ” ජනප‍්‍රියත්වය පිලිබඳව අයිසන්හවර් පාලනාධිකාරය කැලඹීමට පත් විය. අයිසන්හවර් පාලනය විසින් 1955 ජනවාරියේදී පිහිටුවන ලද නේටෝ වර්ගයේ සෝවියට් විරෝධී බැග්ඩෑඞ් ගිවිස්නාව තුල සිරියාව සාමාජිකත්වය ලබාගැනීම කෙරෙහි මල්කි කන්ඩායම පල කල විරුද්ධත්වය විශේෂයෙන්ම එජ කෝප ගැන්වීය. පාපන්දු ක‍්‍රීඩා තරඟයකට සහභාගී වෙමින් සිටිය දී 1955 අපේ‍්‍රල් මාසයේ දී එජ ගැති දක්ෂිනාංශික සිරියානු සමාජ ජාතික පක්ෂයේ සාමාජිකයෙකු විසින් මල්කි ඝාතනය කරන ලදී. ඝාතනය පිලිබඳ නිල පරීක්ෂනයේ දී එක්සත් ජනපදය, එස්එස්එන්පී යන එම පක්ෂයේ ප‍්‍රධාන ආධාරකරුවෙකු හා දායකයෙකු බව සොයාගන්නා ලදී. පක්ෂයට සීඅයිඒ සමග සමීප සම්බන්ධකම් පැවති බව ප‍්‍රසිද්ධ කාරනයක් විය.

මහජනතාව අතර පුලුල්ව පැතිර පැවති කෝපය, මල්කි ඝාතනයෙන් ඉක්බිත්තේ 1955 අගෝස්තුවේ දී ක්වාට්ලි ජනාධිපති ලෙස තේරී පත්වීමට පසුබිම සැකසී ය. මැතිවරන ප‍්‍රතිපලය හා නව තන්ත‍්‍රයට සෝවියට් සංගමය සමග පැවති සමීප බැඳීම් පිලිබඳව නොසතුටට පත් එක්සත් ජනපදය, අලුත් කුමන්ත‍්‍රනයක් සංවිධානය කිරීමට යොමු විය. බි‍්‍රතාන්‍ය ඔත්තු සේවයේ සිය අනුචරයින් සමග කිට්ටුවෙන් වැඩ කරමින් සීඅයිඒ හා බි‍්‍රතාන්‍ය එස්අයිඑස්, ඔපරේෂන් ස්ට‍්‍රැග්ල් වැඩසටහන සංවිධානය කලේ ය. වර්තමානයේ එජ අනුබලය සහිත "කැරලිකාර” ත‍්‍රස්තවාදයේ පූර්ව මොඩලය ලෙස අද එය හඳුනා ගත හැකි ය.

"ආරම්භක සීඅයිඒ-එස්අයිඑස් සැලැස්ම අනුව, තුර්කිය දේශසීමාවේ කැලඹිලි ඇතිකල යුතු විය. බි‍්‍රතාන්‍ය ඒජන්තයින් කාන්තාර ගෝත‍්‍රිකයින් ඇවිස්සිය යුතු විය. ඇමරිකානු ඒජන්තයින් එස්එස්එන්පී ගරිල්ලා භටයින් බලමුලු ගැන්විය යුතු විය. මේ සියල්ල ඒකාබද්ධව ‘සිරියාව තුල ස්වදේශික ප‍්‍රතිකොමියුනිස්ට්වාදී කොටස් විසින් අවුලුවන’ අවශ්‍ය වුවහොත් ඉරාක හමුදාවේ සහාය ද ඇතිව, බටහිර ගැති කුමන්ත‍්‍රනයක්, දියත් කල යුතු විය. පිරිහෙමින් පැවති ඩැමස්කස්හි තත්වය ස්ට‍්‍රැගල් මෙහෙයුම සඳහා වඩ වඩාත් ආකර්ශනීය වන බව එක්සත් ජනපදය වටහා ගත්තේය.” (ලිට්ල්, 66 පිටුව)

සීඅයිඒ විසින් සැලසුම් කල කුමන්ත‍්‍රනය 1956 ඔක්තෝබර් 25දා ක‍්‍රියාත්මක කිරීමට නියමිත විය. සීඅයිඒ සංවිධානය කුමන්ත‍්‍රනකරුවන්ට ඩොලර් 150,000ක් ලබා දුන්නේ ය. එහෙත් ක‍්‍රියාන්විතය එජට නොදන්වා බි‍්‍රතාන්‍යයන් විසින් දියත් කල වෙනත් මෙහෙයුමක් නිසා කල් දැමීමට සිදු විය. එනම් බි‍්‍රතාන්‍යයට දේශපාලන නින්දාවක් ගෙන දෙමින් අවසන් වූ ව්‍යසනකාරී ඊජිප්තු ආක‍්‍රමනය යි. කල් දැමූ නමුත් අවසාන වශයෙන් සිරියානු ආන්ඩුව පෙරලා දැමීමේ එක්සත් ජනපද සැලසුම දිගටම ගෙන යන ලදී. 1957 ජනවාරියේදී එක්සත් ජනපද ආන්ඩුව අයිසන්හවර් ධර්මතාව ප‍්‍රකාශයට පත් කලේ ය. ඉන් අවධාරනය කලේ, මැද පෙරදිග සෝවියට් අනුහස බිඳීම පිනිස එක්සත් ජනපදය හමුදා ශක්තිය යොදාගන්නා බවයි. මෙම ධර්මතාව කොන්ග‍්‍රසයේ මන්ත‍්‍රී මන්ඩල දෙකම විසින් අති විශාල බහුතරයක් ඇතිව සම්මත කලේ ය.

ස්ට‍්‍රැගල් මෙහෙයුම පසුව වැපන් මෙහෙයුම ලෙස නම්කරමින් නවීකරනය කලේ ය. මහාචාර්ය ලිට්ල්ට අනුව:

"ටෙහෙරානයේ හා කාටුම්හි අත්දැකීම් සහිත දේශපාලන ක‍්‍රියාන්විත පිලිබඳ සීඅයිඒ විශේෂඥයෙකු වූ හොවාඩ් ස්ටෝන්, සිරියානු හමුදාව තුල විරුද්ධවාදීන් සමග මාස තුනක් තිස්සේ කුමන්ත‍්‍රනය සැලසුම් කලේ ය. මේ අතර, හිටපු ජනාධිපති අඩිබ් ෂිෂාක්ලි හොර රහසේම බීරුට් වෙත පැමින සිරියාවේ පාලනය යලි අත්කර ගැනීමට තමා සූදානම් බව කර්මිට් රූස්වෙල්ට සහතික විය.” (ලිට්ල්, 71 පිටුව)

එක්සත් ජනපදයේ අවාසනාවට මෙන්, සිරියානු ඔත්තු සේවය එක්සත් ජනපදය පිටුබලය දෙන කුමන්ත‍්‍රනය පිලිබඳව හොඳින් දැන සිටියේ ය. 1957 අගෝස්තු 12දා සිරියානු ඔත්තුකරුවන් සෙවීමේ අංශයේ ප‍්‍රධානියා විසින් ස්ටෝන් හා අනෙකුත් සීඅයිඒ කුමන්ත‍්‍රනකරුවන් පිටුවහල් කල අතර රට තුල ඔවුන්ගේ අනචරයින් වටලන ලදී. කෝපාවිෂ්ඨ අයිසන්හවර් පාලනය මිලිටරි මැදිහත්වීමක් ගැන සලකා බැලූ නමුත්, මැදිහත් නොවන ලෙසට අනතුරු අඟවමින් සෝවියට් අගමැති නිකිතා කෘෂ්ෂෙව් විසින් එවන ලද පනිවිඩය නිසා එය අකුලා ගත්තේ ය.

"සිරියාවේ පාලනයට ඇඟිලි ගැසීමේ අනවරත හා නිර්දය එජ ව්‍යායාමය, අමනාපයේ හා අමිහිරි බවේ උරුමය ඉතිරිකර තැබී ය. මහාචාර්යවරයා නිරීක්ෂනය කල පරිදි, ‘මධ්‍යස්ථ මතධාරී ක්වාට්ලිගේ සිට කොමියුනිස්ට්වාදී බැක්ඩාෂ් දක්වා 1950 ගනන්වල විවිධ සිරියානු නායකයෝ, බොහොමයක් සත්‍යය වන, සීඅයිඒ කුමන්ත‍්‍රන පිලිබඳ කටකතා ප‍්‍රයෝජනයට ගනිමින්, එක්සත් ජනපදය කෙරෙහි වෛරය දල්වන ලද අතර අයිසන්හවර් ඒ පිලිබඳව කම්පා විය.” (ලිට්ල්, 75 පිටුව)

පශ්චාත් සෝවියට් අවධිය තුල ගෝලීය ආධිපත්‍යය සඳහා වලිකෑම

සිරියාව යටපත් කිරීමට එක්සත් ජනපදය දරන උත්සාහය සීතල යුද්ධයෙන් පසුව අවසන් නො වී ය. සත්තකින්ම 1991 සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, එක්සත් ජනපද මිලිටරි ශක්තිය ක‍්‍රියාත්මක කිරීම යම් දුරකට සීමා කරන රටක් තවදුරටත් නොපවතිනවා විය හැකි ය. විසුරුවා හැරීම කරා සෝවියට් සංගමය වේගයෙන් ඇදී යන බව පැහැදිලි වීමට පටන්ගත් විගස 1990-91 වසරවල ඉරාකයට එරෙහිව යුද්ධයට යාම සඳහා එක්සත් ජනපදය ගත් තීන්දුව, පලමු ජනාධිපති බුෂ් විසින් ප‍්‍රකාශයට පත් කල ”නව ලෝක පර්යායෙහි” පෙරමුනේ රාල විය. 1992දී පෙන්ටගනය සිය නව මිලිටරි මූලෝපායික සැලැස්ම එලි දැක්වීය. එය කෙලින්ම අවධාරනය කලේ එක්සත් ජනපදය, තම අධිපතිවාදී තත්වයට අලූත් අභියෝග කරුවෙක් මතුව ඒම නොඉවසනු ඇති බවයි.

1960 ගනන්වල පටන් එක්සත් ජනපදය ගෝලීය ආර්ථික අධිකාරය පැවතියේ පිරිහෙමින් ය. ලෝකයේ ලොකුම නය දෙන ජාතිය, 1990 ගනන් මුල වන විට ලොකුම නයගැති ජාතිය බවට පත්ව තිබුනි. කෙසේ වෙතත් එක්සත් ජනපදය තවමත්, පවත්නා සියලු විභව එදිරිවාදීන්ට සාපේක්ෂව, ඉමහත් මිලිටරි අධිකාරයක් දරා සිටි අතර මෙම වාසිය ලෝකයේ අධිකාරවත් බලවතා ලෙස තම තත්වය සුරක්ෂිත කර ගැනීම පිනිස යොදා ගැනීමට අධිෂ්ඨාන කර ගත්තේ ය. සිය ගෝලීය භූදේශපාලනික අරමුනු සාක්ෂාත් කර ගැනීම පිනිස එක්සත් ජනපදය පුලූල් වශයෙන් මිලිටරි බලය යොදාගන්නා අයුරු 1990 ගනන් වලදී දැකගත හැකි විය. ට්‍රොට්ස්කි 1930 ගනන්වල පෙර දුටු පරිදි, හිට්ලර් යටතේ ජර්මනිය උත්සාහ කලේ යුරෝපය සංවිධානය කිරීමට පමනක් වුවත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අරමුන ලෝකය ම සංවිධානය කිරීම යි. ගෝලීය වශයෙන් එක්සත් ජනපදය මිලිටරිවාදයේ පුපුරා යාමට මානව වර්ගයාට මුහුන දීමට බලකෙරී ඇතැයි ඔහු අනාවැකි පල කලේ ය. විසිවන සියවසේ අවසන් දශකයේ හා විසි එක්වන සියවසේ පලමු දශකයේ සිදුවීම්, ට්‍රොට්ස්කිගේ දුර දක්නා ඥානය පිලිබඳ සනාතනයකි.

එක්සත් ජනපදය ඉරාකයට එරෙහි සිය පලමු යුද්ධය දියත් කලේ 1991 වසරේදී ය. 1999දී සර්බියාවට එරෙහි යුද්ධය සඳහා වේදිකාව සැකසූ නිකායික යුද්ධය මුදාහරිමින් එක්සත් ජනපදය, 1992දී යුගොස්ලෝවියාව බිඳ දැමීමේ ව්‍යපාරය කුපිත කලේ ය. ක්ලින්ටන් යටතෙ එක්සත් ජනපදය, සෝමාලියාව තුල පලමු සැලකිය යුතු ආක‍්‍රමනය ක‍්‍රියාත්මක කලේ ය. අන්ත දුප්පත් එම රාජ්‍යය පිහිටා ඇත්තේ අප‍්‍රිකාවේ අඟ ලෙස සැලකෙන, ඉමහත් මූලෝපායික වැදගත් කමක් සහිත තුඩුවක ය.

සිබිග්නිව් බ්‍රෙසින්ස්කි

ආරම්භක මැදිහත්වීම ව්‍යසනයකින් කෙලවර වුව ද සෝමාලියා මෙහෙයුමට පසුව අප‍්‍රිකාව තුල එක්සත් ජනපද මෙහෙයුම් ඉමහත් ලෙස පුලුල් විය. එය සංකේතවත් කරමින්, මහාද්වීපය තුලත් ඉන්දියානු සාගර කලාපයේත් එක්සත් ජනපද මිලිටරි ක‍්‍රියාන්විතයන්හි මූලෝපායික මධ්‍යස්ථානය ලෙස ඇෆ්රිකොම් නිර්මානය කරන ලදී.

කෙසේ වෙතත් මැද පෙරදිග, එක්සත් ජනපද මෙහෙයුම්වල මධ්‍ය ලක්ෂය ලෙස තවදුරටත් පැවතුනි. ඒ, කලාපයේ දැවැන්ත ආර්ථික හා මූලෝපායික වැදගත්කම නිසා පමනක් නො වේ. ඇමරිකානු මූලෝපායඥයින්ට අනුව එම කලාපය, රුසියාවේ සිට චීන දේශසීමාව දක්වා දිවෙන ඇමරිකාව විසින් ජයගත යුතු දැවැන්ත යුරේසියානු භූ-ස්කන්ධය වෙත ප‍්‍රවිෂ්ටයක් සපයයි. සෝවියට් සංගමය විසුරුවා හැරීම කලාපයේ භූදේශපාලනය පරිවර්තනය කලේ ය. තජිකිස්ථානය, ටර්ක්මනිස්ථානය, උස්බෙකිස්ථානය, කිර්ගිස්ථානය හා කසාක්ස්ථානය ස්වාධීන රාජ්‍යයන් බවට පත් විය. කොකේසස් හා කැස්පියන් මුහුදු ප‍්‍රදේශය හදිසියේම ලෝක තෙල් වෙලඳපොලේ ප‍්‍රධාන සාධකයක් බවට පත් විය. එසේම අනෙකුත් ප‍්‍රධාන ස්වාභාවික සම්පත් වෙලඳපොලවලදී ද තත්වය එයම විය. විශේෂයෙන් ම රුසියාව, සෝවියට් සංගමය බිඳී යාමේ විනාශකාරී ප‍්‍රතිවිපාකයන් නිසා තවමත් බකල් ගහන කොන්දේසි යටතේ, එම විසුරුවා හැරීම එක්සත් ජනපදයට මෙම දැවැන්ත කලාපය තුලට සිය බලය පතුරුවා හැරීම සඳහා මාහැඟි අවස්ථාවක් නිර්මානය කලේ ය. 1977-1981 කාටර් පාලනය අවධියේ ජාතික ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරමින් සෝවියට් පිටුබලය ලත් ඇෆ්ගනිස්ථාන පාලන තන්ත‍්‍රයට එරෙහිව ඉස්ලාමීය ත‍්‍රස්තවාදය උසිගන්වා සන්නද්ධ කිරීමේ ලා ප‍්‍රධාන භූමිකාවක් ඉටු කල ස්බිග්නිව් බ්‍රෙසින්ස්කිගේ එම පියවරයන් අල් කයිඩාව නිර්මානය කිරීමට ද සැප්තැම්බර් 11 ව්‍යසනකාරී සිදුවීම් වලට ද 2001දී එම මධ්‍යම ආසියානු රාජ්‍යය ආක‍්‍රමනය කිරීමට ද තුඩු දුන් සිද්ධි දාමයකට මුල පිරීය. 1997දී ඔහු ප‍්‍රකෝපකාරී මෙන්ම ආනුභාවයක් පැතිරවූ මහා චෙස් (ක‍්‍රීඩාවේ) පෙත (The Grand Chessboard) නමැති කෘතිය ලිවීය.

ප‍්‍රධාන ඡෙදයක දී බ්‍රෙසින්ස්කි මෙසේ තර්ක කරයි.

ඇමරිකාවට ඇති ප‍්‍රධාන භූදේශපාලනික සම්පත් නම් යුරේසියාවයි. වසර 500ක කාලය පුරා ලෝක කටයුතු පාලනය කල යුරේසියානු බලවත්තු හා ජනතාවෝ, කලාපීය ආධිපත්‍යය සඳහා ද ගෝලීය බලය සඳහා ද එකිනෙකා සමග සටන් වැදුනාහ. දැන් යුරේසියානු නොවන බලවතෙක් හිස ඔසවා ඇත. ඇමරිකාවේ ගෝලීය ආධිපත්‍යය කෙලින්ම රැඳී ඇත්තේ, එය කෙතරම් බලගතු ලෙස හා ආනුභාවයක් සහිතව යුරේසියානු මහාද්වීපය මත තිරසාර වන්නේ ද යන්න මත ය...

එම සන්දර්භය තුල, ඇමරිකාව යුරේසියාව ආම්බාන් කරන්නේ කෙසේ ද යන්න තීරනාත්මක ය. යුරේසියාව වනාහි පෘතුවි ගෝලයේ විශාලතම මහාද්වීපය වන අතර භූදේශපාලනික අක්ෂය ද වේ. යුරේසියාවේ ආධිපත්‍ය දරන බලය, ලෝකයේ වඩාත්ම දියුනු හා ආර්ථික වශයෙන් පලදායී කලාප තුනෙන් දෙකක් ම පාලනය කරනු ඇත. සිතියම දෙස උඩින් පල්ලෙන් බැලූ විට පවා පෙනී යන්නේ, යුරේසියාව මත පාලනය, මුලුමනින්ම පාහේ ස්වයංක‍්‍රීයව මෙන්, අප‍්‍රිකාවේ යටත්වීම තහවුරු කරන අතර බටහිර අර්ධගෝලය හා ඕෂනියාව ලෝකයේ ප‍්‍රධාන මහාද්වීපයේ පරියන්තයක් බවට පත් කරයි. ලෝක ජනගහනයෙන් සියයට 75ක් පමන යුරේසියාවේ ජීවත් වන අතර ලෝකයේ භෞතික සම්පත් වලින් වැඩි පංගුවක් ද එහි පිහිටා ඇත. දෙකම ඇත්තේ එහි ව්‍යවසායන් තුල හා එහි පොලොව යටය. යුරේසියාව ලෝක දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 60කට පමන වග කියන අතර හඳුනාගෙන ඇති ලෝක බලශක්ති සම්පත් වලින් හතරෙන් තුනක් පමන එහි පිහිටා තිබේ...

එබැවින් යුරේසියාව චෙස් පෙතක් වන අතර ගෝලීය ආධිපත්‍යය සඳහා සටන කෙරීගෙන යනවා ඇත්තේ ඒ මත ය. (30-31 පිටු)

විසිවන සියවසේ මුල විසූ කීර්තිමත් භූ-මූලෝපායඥයෙක් වූ හැල්ෆර්ඞ් මැකින්ඩර් සාමි පවසන "ලෝක දිවයින” හෙවත් යුරේසියාවේ මුඛ්‍ය ක‍්‍රියාකලාපය, 16 වසරකට පෙර බ්‍රෙසින්ස්කිගේ පොත පලමු වරට එලි දැක්වීමෙන් පසුව එක්සත් ජනපද මිලිටරි මූලෝපාය තුල මනාව පැහැදිලි වීමට පටන්ගෙන ඇත. පසුගිය දශකය තුල එක්සත් ජනපදය, ඉරාකයේ, ඇෆ්ගනිස්ථානයේ, යේමනයේ හා පකිස්ථානයේ යුද්ධ වල නිරත විය. කෙසේ වෙතත් යුරේසියාවේ ආධිපත්‍යය, වඩා සෘජු ලෙස කලාපය තුල සිය අවශ්‍යතා පරදුවට තැබෙන ප‍්‍රධාන රටවල් තුන වන ඉරානය, රුසියාව හා චීනයේ ප‍්‍රතිරෝධය ජයගන්නා තෙක්, එක්සත් ජනපදයට අත් කර ගත නොහැකි වේ. මෙම රටවල් තුනෙන් ඉරානය එල්ල කරන අභියෝගය වඩාත් තියුනු ය. එහි භූගෝලීය පිහිටීම, මැද පෙරදිග හා මධ්‍යම ආසියාවේ බල අරගලයේදී ප‍්‍රධාන සාධකයක් බවට පත්වේ. ඉරානය, සවුදි අරාබියාවේ හා ගල්ෆ් රටවල සිට ලෝකයට තෙල් ප‍්‍රවාහනය කරන මහා නැව් ගමනාගමනයෙන් වැඩි හරියක් පසුකර යා යුතු පර්සියානු ගල්ෆ් මුහුදේ අධිකාරය දරයි. එය ටර්ක්මනිස්ථාන, ඇෆ්ගනිස්ථාන හා පකිස්ථාන දේශසීමා වලින් වටවී ඇත.

මොසාඩෙක්ගේ ජාතිකවාදී ආන්ඩුව බලයෙන් පහ කල සීඅයිඒ අනුග‍්‍රහය ලත් කුමන්ත‍්‍රනයෙන් වෛරයට පත් ෂා, "මොනර සිංහාසනයේ” පිහිටුවීමෙන් පසුව වසර විසි පහක් එක්සත් ජනපදයට ඉරානය මත ග‍්‍රහනය තබාගත හැකි විය. ෂා රේසා පාලවි රැඳී සිටයේ මෘග පොලිස් රාජ්‍ය යාන්ත‍්‍රනයක් මත ය. සවැක් නමින් හැඳින්වූ ෂාගේ රහස් පොලිසිය නිමක් නැති සංඛ්‍යාවක් කොමියුනිස්ට්වාදීන්, කම්කරුවන් හා ශිෂයින් දඬු ගසා මරා දමන ලදී. එජ පිටුබලය සහිතව සිදුවූ මෙම රාජ්‍ය කටයුතු, 1979 ඉරාන විප්ලවය මගින් පෙරලා දමනු ලැබිනි.

එසේ පිහිටවූ පාලන තන්ත‍්‍රය විනාශය මතින්, එක්සත් ජනපදය පාලනය ඉරානය මත යලි පිහිටුවා ගැනීම, වසර 30කට වැඩි කාලයක් තිස්සේ ප‍්‍රධාන අරමුනක්ව තිබී ඇත. 1980 ගනන් වලදී ඉරානයට එරෙහිව ගෙන ගිය අට වසරක යුද්ධයේදී රීගන් පාලනය සදාම් හුසේන් තන්ත‍්‍රයට පිටුබලය දුන්නේ ය. වසර 1988දී ඉරාන සොල්දාදුවන්ට එරෙහිව සදාම් හුසේන් රසායනික අවි යොදාගැනීමේ දී එක්සත් ජනපදය ඊට අනුබලදී මූලික ඔත්තු සම්පාදනය කලේ ය. චෝදනා කර ඇති ආකාරයට ඉරානය න්‍යෂ්ටික අවියක් නිපදවීම පිලිබඳව ඇතිව තිබෙන ඝෝෂාව, මැද පෙරදිග හා මධ්‍යම ආසියාව තුල වොෂින්ටනයේ අභිලාශයන්ට බාධාවක් වන ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන වනසා දැමීමේ එක්සත් ජනපද අධිෂ්ඨානය සමග බැඳී ඇත. අවසාන වශයෙන් මෙය ඉෂ්ඨ කර ගන්නේ, සිවිල් යුද්ධයක් ඇවිලවීමෙන් ද, සෘජු ප‍්‍රහාර මගින් ද නැතිනම් ඒ දෙකේම සංකලනයකින් ද යන්න තවමත් තීරනය කෙරී නැත. කෙසේ වෙතත් සිරියානු තන්ත‍්‍රය පෙරලා දමා එය රූකඩ ආන්ඩුවක් මගින් ඌන පූරනය කිරීමෙහි ලා එක්සත් ජනපදයේ අධිෂ්ඨානය, ඉරානයට එරෙහි වොෂින්ටනයේ සටන සමග නොවැලැක්විය හැකි පරිද්දෙන් ගැටගැසී ඇත. බෂීර් අල් අසාද් යා යුතුය යන්න එක්සත් ජනපදය උත්සුකය වන්නේ, ඔහුගේ තන්ත‍්‍රය ඉරානයේ තීරනාත්මක අනුචරයෙක් වන බැවිනි. අසාද් තන්ත‍්‍රය පෙරලා දැමීම, ඉරානය හුදෙකලා කොට, මැද පෙරදිග තුල එහි අනුහස දුබල කර, ප‍්‍රහාරයකට වඩාත් ගොදුරු කරගත හැකි පරිදි එරට නිරාවරනය කිරීම පිනිස දායක වනු ඇත.

සිරියානු තන්ත‍්‍රයේ තීරනාත්මක මහජන පදනම අලවයිට් ජනගහනයයි. ඔවුන්ගේ ආගම ෂියාවාදයේ අංකුරයකි. ඉරානයේදී ජනගහනයේ විශාලම කොටස සමන්විත වන්නේ ෂියාවරුන්ගෙනි. අසාද් පෙරලා දැමීමේ එක්සත් ජනපද ව්‍යායාමය තුලදී වොෂින්ටනය, විය යුතු පරිදි ම සුන්නි පදනමක් ඇති අල් කයිඩාවට බැඳීම් ඇති මිලිටරි බලකායන් සමග ක‍්‍රියාන්විත සන්ධානයක් ගොඩනගාගෙන සිටින්නේ එබැවිනි. මෙම සාධකය එක්සත් ජනපද මාධ්‍ය ව්‍යාපාරය තුල මුලුමනින්ම පාහේ නොතකා හැර තිබේ.

සිරියාවට එරෙහි දශකයක් දිගු යුද්ධය

මාධ්‍ය ප‍්‍රකාශන අනුව ඔබාමා පාලනාධිකාරය වනාහි, සිරියාව තුල සිවිල් යුද්ධය දිගහැරෙද්දී අඩු වැඩි වශයෙන් නිෂ්ක‍්‍රීයව බලාසිටින්නෙක් පමනි. තමන් ඇඳි "රතු ඉර” පැනීම හැරෙන්නට ගැටුමට මැදිහත්වීම සඳහා ඔබාමා පාලනයට අන් කිසිදු අශාවක් නැත. එක්සත් ජනපදය දශකයකටත් වැඩි කාලයක් තිස්සේ ඩැමස්කසයට එරෙහිව දේශපාලන, ආර්ථික හා මිලිටරි පීඩනය යොදාගෙන ඇත්තේය යන කාරනය මාධ්‍යය සරලව ම නොසලකා හරියි. 2002 ජනවාරියේදී රාජ්‍ය තත්ව වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපති ජෝර්ජ් බුෂ් ඉරානය, ඉරාකය හා උතුරු කොරියාව හැඳින්වූයේ "දුෂ්ඨත්වයේ අක්ෂය” ලෙස ය. 2002 මැයි මාසයේදී නියෝජ්‍ය රාජ්‍ය ලේකම් ජෝන් බෝල්ටන්, "දුෂ්ඨත්වයේ අක්ෂයට එහා” යන හිසින් පවත්වනු ලැබූ කථාවක දී, කියුබාව, ලිබියාව හා සිරියාව ද ඇතුල් කල හැකි පරිදි බුෂ්ගේ ලැයිස්තුව පලල් කලේ ය.

වසරකට පසුව බුෂ් පාලනය, "සිරියාව වගකීමට බැඳෙන හා ලෙබනනයේ ස්වෛරීත්වය ප‍්‍රතිනිර්මානය කිරීමේ පනතට” අනුමැතිය දුන්නේ ය. ඒ අනුව, අසාද් තන්ත‍්‍රයට එරෙහිව සැලකිය යුතු සම්බාධක පනවන ලදී. පක්ෂ දෙකේම අති මහත් බහුතරයකගේ සහයෝගය ඇතිව පනත් සම්මතවූ අතර ඊට පෙර පැවති කොන්ග‍්‍රස් සභා අදහස් දැක්වීමේ දී පනතට විරුද්ධ අයට සාක්ෂි දීමට ඉඩ නොදන ලදී. පනතේ ආක‍්‍රමනකාරී ඇඟවුම්, මැද පෙරදිග දේශපාලනය පිලිබඳ විශේෂඥයෝ මනාව අවබෝධ කරගෙන සිටියහ. මැද පෙරදිග ප‍්‍රතිපත්තිය යන සඟරාවේ 2004 වසන්තය තුල පලවූ කලාපයේ පලකල ලිපියක් තුල, සැන් ෆ‍්‍රැන්සිස්කෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටෙෆන් සියුන්ස් මෙසේ අනතුරු ඇඟවීය.

"සිරියාව වගකීමට බැඳීමේ පනත, සිරියාවට එරෙහි එජ මිලිටරි ක‍්‍රියාවලියක පූර්ව රංගනය විය හැකි ය. ඉරාකය සම්බන්ධයෙන් පාලනාධිකාරය කවර කලෙකවත් නොකල ආකාරයන් මෙහිදී, එක්සත් ජනපද ආක‍්‍රමනයක් සඳහා සවිස්තරාත්මක හේතු දක්වයි. එය මෙසේ කියයි. "සිරියාව මනුෂ්‍ය ඝාතක අවි හා බැලිස්ටික් මිසයිල් පද්ධතීන් අත්පත්කර ගැනීම (මගින්) එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂන ආසක්තයන්ට තර්ජනය කරයි.” ඒ තත්වය හමුවේ කොන්ග‍්‍රසයට, ජනාධිපති විසින් මිලිටරි ක‍්‍රියාවක් වෙනුවෙන් ඉදිරිපත් කරන කුමන හෝ ඉල්ලීමක් ප‍්‍රතික්ෂේප කිරීම දුෂ්කර වනු ඇත.” (66 පිටුව)

සිරියානු ත‍්‍රස්තවාදයට තෙල් හා ස්වාභාවික ගෑස් සමග මොනයම්ම හෝ සම්බන්ධයක් තිබේ ද?

වසර 15කට පමන පෙර, සර්බියාවට එක්සත් ජනපද ප‍්‍රහාර එල්ල කිරීම ආසන්නව, මම ප‍්‍රකට විශ්වවිද්‍යාලයක මහාචාර්යවරයෙකු සමග අදහස් හුවමාරු කර ගත්තෙමි. ඔහු පුලුල් වශයෙන් පාවිච්චි කරන, විසිවන සියවසේ ලෝක දේශපාලනය නමැති පෙල පොතක කතුවරයා විය. මානව හිමිකම් පිලිබඳව අධිරාජ්‍යවාදීන්ගේ සීනිබෝල කතා පිටුපස සැඟවී තිබෙන ද්‍රව්‍යමය අවශ්‍යතා හෙලිදරව් කිරීමේ හැකියාවක් ඔහුගේ කෘතිය තුල පැවතුනි. කෙසේ වෙතත් මෙම ශාස්ත‍්‍රාලිකයා, සර්බියාවට බෝම්බ දැමීම සඳහා එක්සත් ජනපදය පෙලඹී ඇත්තේ, ආර්ථික අවශතා කෙසේ වෙතත් පාරිශුද්ධබවේ අප‍්‍රකාශිත භූදේශපාලන අවශ්‍යතා මුල්කරගත්, ගුන යහපත් අරමුනු නිසා පමනක් ම යන මතයේ එල්බී සිටියේ ය. බෝල්කන් යුද්ධ වලට, තෙල් හා ස්වාභාවික ගෑස් වලින් පොහොසත් මැද පෙරදිග හා මධ්‍යම ආසියානු කලාපයයන්හි ආධිපත්‍යය පිහිටුවා ගැනීමේ ඇමරිකානු ව්‍යායාමය සමග මොනම සම්බන්ධයක් හෝ ඇතැයි පැවසීම අභූතයකට නොඅඩු දෙයක් බව ඔහු ඇදහීය! එක්සත් ජනපද මිලිටරි ක‍්‍රියාන්විතයන් හා තෙල් අවශ්‍යතා අතර සම්බන්ධයක් පවතින බව විශ්වාස කිරීම ආර්ථික දෛවවාදයේ ගොරහැඩි ප‍්‍රකාශනයකට නොඅඩු දෙයකි.

ගෝලීය භූදේශපාලනය හැඩ ගැස්වීමේ දී අධිරාජ්‍යවාදී ආන්ඩු කුහක ලෙස උලුප්පා දක්වන සදාචාරාත්මක පරමාදර්ශයන්ට වඩා දැවැන්ත ක‍්‍රියාකලාපයක් ඉෂ්ඨ කරන්නේ ආර්ථික ආසක්තයන් යයි විශ්වාස කරන "ග‍්‍රාම්‍ය මාක්ස්වාදියෙකු” වීමේ චෝදනාවට ලක්වීමේ අවදානම දරමින් ම, යුරෝපය, යුරේසියාව හා මතුව එන තර්ජන යන මැයෙන් මන්ත‍්‍රී මන්ඩලයේ විදේශ කටයුතු අනු කමිටුව හමුවේ මූලෝපායික හා ජාත්‍යන්තර අධ්‍යයනය පිලිබඳ මධ්‍යස්ථානයේ ආචාර්ය ජෙෆ්රි මැන්කොෆ් විසින් 2013 ජූලි 25දා දුන් සාක්ෂිය කෙරේ ඔබගේ අවධානය යොමුකර වීමට මට අවසර දෙන්න.

නැගෙනහිර මධ්‍යධරනී ප‍්‍රදේශයේ පිහිටා තිබෙන තෙල් හා ස්වාභාවික ගෑස් නිධිවල වැඩෙන ගෝලීය වැදගත්කම ආචාර්ය මැන්කොෆ්ගේ සාක්ෂිය තුල පැහැදිලි කරන ලදී. ඔහු මෙසේ පවසයි:

"නැගෙනහිර මධ්‍යධරනී ප‍්‍රදේශයේ ලැවෙන්ට් ද්‍රෝනියෙහි කියුබික් අඩි ටි‍්‍රලියන 122 (හෙවත් කියුබික් මීටර් ටි‍්‍රලියන 3.45ක) සොයා නොගත් එහෙත් සොයාගත හැකි ස්වාභාවික ගැස් නිධි ද ඇතුලු බැරල් බිලියන 1.7ක බොර තෙල් නිධි පිහිටා ඇත. දැනට හඳුනාගෙන තිබෙන නිධි වලින් බොහොමයක් පිහිටා ඇත්තේ ඊස්රායල් මුහුදු තීරයට ඔබ්බෙන් හා යාබද සයිප‍්‍රස් බිම් වල ය. ඊට අමතරව තවමත් හඳුනාගෙන නැති බිම් ලෙබනනයේ හා සිරියාවේ වෙරල තීරයන්හි පිහිටා තිබිය හැකි ය. දැනට සොයාගෙන ඇති පරිමානය, පර්සියන් ගල්ෆ්, රුසියාව හෝ කැස්පියන් මුහුදු ද්‍රෝනියේ සොයාගෙන තිබෙන නිධිවල පරිමානයට සාපේක්ෂව කුඩා වුවත් ඒවා, නැගෙනහිර මධ්‍යධරනී රාජ්‍යයන්හි බලශක්ති ආරක්ෂාව කෙරෙහි වැදගත් බලපෑමක් කිරීමට සෑහෙන තරම් විශාල ය. සීමිතව වුවත් යුරෝපයේ බලශක්ති ආරක්ෂාව සම්බන්ධයෙන් ද එය දායක වෙයි.

හැම විටම මෙන්, සැලකිය යුතු තෙල් හා ගෑස් නිධි පැවතීම, පොලොව යට තැන්පත්ව ඇති සම්පත් වලින් ලාභ ඉපයීමට බලාපොරොත්තු වන කලාපීය රටවල් හා ඒවායේ මූල්‍ය වංශාධිපතීන් අතර මෙන්ම මුදල් අතින් පමනක් නොව, භූදේශපාලනික වාසි තකා ද තෙල් හා ගෑස් නිධිවල ඇඟවුම් මැන බැලීමට ප‍්‍රධාන බලවතුන් අතර ද උත්සන්න වන ගැටුම් වලට තුඩු දෙයි. ගෝලීය වෙලඳපොලවලට තෙල් හා ගෑස් ප‍්‍රවාහනය පිලිබඳ හිමිකාර අයිතීන් හා මාධ්‍යයන් මත කලාපීය රාජ්‍යයන් අතර කටුක ගැටුම් දැනටමත් හටගෙන තිබේ. 1999 මා අදහස් හුවමාරුකරගත් මහාචාර්යවරයා මෙන් නොව, ආචාර්ය මැන්කොෆ්ගේ වාසියට හේතුවන පරිදි ඔහු, සම්පත් මත ඇතිවන ගැටුම්, උත්සන්න වන ආතතීන් තුල නිසැකව ම ප‍්‍රමුඛ භූමිකාවක් ඉටුකරන බව හඳුනාගෙන ඇත. සාක්ෂියේ දී ඔහු මෙසේ පවසයි.

"කෙසේ වෙතත් නැගෙනහිර මධ්‍යධරනී ප‍්‍රදේශයේ තෙල් හා ගෑස් සම්පත් පිහිටා ඇත්තේ, භූදේශපාලනිකව ලෝකයේ වඩාත්ම සංකීර්න තත්වයක් පවතින කලාපයන්ගෙන් එකක හදවතෙහි ය. ඊස්රායල්-පලස්තීන ගැටුම, ඊස්රායලය හා ලෙබනනය අතර පවතින ආතතීන්, යටපත්ව ඇති සයිප‍්‍රස් ගැටුම, තුර්කිය ද සයිප‍්‍රස් සමූහාන්ඩුව හා ග‍්‍රීසිය අතර ගැටලු සහගත සම්බන්ධතා යන සියල්ල, නැගෙනහිර මධ්‍යධරනී ප‍්‍රදේශයේ බලශක්ති සංවර්ධනය හා අලෙවිය සම්බන්ධ සියලූ උත්සාහයන් වඩාත් සංකීර්න කර ඇත. සිරියානු සිවිල් යුද්ධය භූදේශපාලනික හා ආර්ථික අනිශ්චිත භාවය පිලිබඳ නව මූලාශ‍්‍රයක් එන්නත් කර තිබේ. එසේම පසුබිමේ සිටින රුසියාව, නැගෙනහිර මධ්‍යධරනියේ බලශක්ති පොරයට ඇතුලු වීමටත්, යුරෝපීය වෙලඳපොලවල ප‍්‍රමුඛ තෙල් හා ගෑස් සැපයුම් කරුවෙක් ලෙස සිය තත්වය රැකගැනීමටත් උත්සාහ කරයි.”

ප‍්‍රභූ පැලැන්තියේ ආකල්පය හා ජනතාවගේ ආකල්පය

දැන් වන විට, යුද්ධය කරා යන තල්ලුව යටින් දිවෙන භූදේශපාලනය හා ආර්ථිකය පිලිබඳ සංකීර්න ගැටලු මාධ්‍ය විසින් මුලූමනින්ම පාහේ නොතකා හැරීම විශ්මයට කාරනයක් නො වේ. සාමාන්‍යයෙන් එතරම් ප‍්‍රචලිත නොවන ප‍්‍රකාශනයන්හි ඉඳ හිට පල වන ලිපි හැරුනු කොට අර්බුදය සම්බන්ධයෙන් ප‍්‍රධාන ජන මාධ්‍යවල පලවන සියල්ලම පාහේ සමන්විත වන්නේ ප‍්‍රචාරනයෙනි. මෙම කාරනය ම යුද්ධයට දැක්වෙන මහජන විරෝධයේ වැදගත්කම ඉස්මතු කරයි. එය වර්ධන වී ඇත්තේ, මාධ්‍යයේ අතොරක් නැතිව පල වන යුදවාදී ප‍්‍රචාරනයට එරෙහිව ය. ඔවුන්ට හැකි ඉහල ම දේ, නැතහොත් පහත් ම දේ යයි ද අපට කිව හැකි ආකාරයේ උන්මාදයක් ජනතාව තුලට කාවැද්දීමට පසුගිය මාසයක කාලය තුල මාධ්‍ය විකාශන හා පුවත්පත් වාර්තා කටයුතු කර තිබේ. සමකාලීන යුදවාදී ප‍්‍රචාරනයේ විශේෂයෙන ම කැපී පෙනෙන ලක්ෂනයක් වන්නේ, එක්සත් ජනපදය විසින් ප‍්‍රහාර එල්ල කිරීම සඳහා ඉලක්ක කර තිබෙන රටවල නායකයින් මරා දැමීම පිනිස නිරන්තරව කෙරෙන කැඳවීම් ය. සර්බියාවේ ස්ලොබොඩාන් මිලොසොවික්, ඉරාකයේ සදාම් හුසේන් හා ලිබියාවේ මුවම්මර් ගඩාෆි සම්බන්ධයන් පැවතියේ ද එවන් තත්වයකි. ඔවුන් සියල්ලෝ ම දැන් මලවුන් අතර ය.

අසාද් මරාදැමීම සඳහා කැඳවුම් කිරීම දැන් මාධ්‍යයට හුරු පුරුදු දෙයකි. සිය අගෝස්තු 31-සැප්තැම්බර් 06 කලාපය තුල ඉකොනොමිස්ට් සඟරාව, මෙසේ පැවසී ය. අසාද් "තම පාලනය යටතේ සිටිනවා යයි කියන ජනතාව කෙරෙහි පෙන්වනවාට වඩා වැඩි අනුකම්පාවක් ඔහු කෙරෙහි දැක්විය යුතු නැත. ඇමරිකානු මිසයිලයක් අසාද් මහතාට එල්ල කෙරෙන්නේ නම් එසේ වුනාවේ. වරද පැටවෙන්නේ ඔහු හා ඔහුගේ හෙංචයියන් මතට ම ය.” වෝල් ස්ට්‍රීට් ජර්නලයේ බ්‍රෙට් ස්ටෙෆන් අගෝස්තු 27දා මෙසේ ලිවීය. ”ජනාධිපති ඔබාමා සිරියාවට එරෙහිව මිලිටරි ප‍්‍රහාරයකට නියෝග දීමට තීරනය කිරීමේ දී, ඔහුගේ කටයුත්තේ ප‍්‍රධාන නියමය විය යුත්තේ බෂර් අල් අසාද් මරා දැමීමයි. එසේම බෂර්ගේ සහෝදරයා හා ප‍්‍රධාන හෙංචයියා වන මේහර් ද වෙයි. දේශපාලන බලයට හිමිකම් කියන අසාද්ගේ පවුලේ අන් සියල්ලන් ද ඊට ඇතුලත් විය යුතුය.”

රිච්මන්ඩ පෝස්ට් ගැසට් හි භයංකාර ඒ. බාර්ටන් සැප්තැම්බර් 04දා තම පාඨකයින්ට මෙසේ උපදෙස් දුන්නේ ය. "අසාද් මරාදැමීමෙන් අත්වන වඩාත්ම නිශ්චිත වාසිය නම්, ජනාධිපතිට කිරීමට අවශ්‍ය නියම දේ එයින් සිදුවීමයි. එනම්, මනුෂත්වයට එරෙහි නිශ්චිත අපරාධ ක්ෂනිකව දඬුවමට යටත් වන බවට පනිවිඩයක් යැවීමයි.”

වසරකටත් වැඩි කාලයකට පෙරාතුව 2012 ජූනි 11දා ද ඬේලි බීස්ට් පුවත්පතට ලියමින්, අසාද් මරාදැමීමට බල කල ප‍්‍රමුඛ ”වාම” ලිබරල් තීරු රචකයෙකු වන පීටර් බීනාට් එවැන්නන් අතර පලමුවැන්නෙකි. ඔහු මෙසේ ලිවීය.

"මට අශෝභන අත්හදා බැලීමේ සිතුවිල්ලක් ඉදිරිපත් කිරීමට අවසර දෙන්න. ඇමරිකාව බෂර් අල් අසාද් ඝාතනය කිරීමට උත්සාහ කරයි ද?....

සැබවින්ම, ඇමරිකාවේ සැලකිය යුතු දේශපාලන සහයෝගයක් හිමිකරගන්නා ඉලක්කගත ඝාතන හා මානවවාදී යුද්ධ වලින් අසාද් ඝාතනය කිරීමේ දී, විශේෂත්වයක් දරන කුමන හෝ මූලධර්මයක් වටහා ගැනීම දුෂ්කර නැත....

එහෙත් ජාතික ස්වෛරිත්වය හා ජාත්‍යන්තර නීතිය පිලිබඳ ඇමරිකානු ආරක්ෂක අවශ්‍යතා හා මානවවාදී පරමාදර්ශයන්ට ප‍්‍රමුඛත්වය දීමේදී අප කෙතරම් දුර යාමට කැමැත්තේ ද යන්න වාඩා විශාල ප‍්‍රශ්නයයි. මෑත වසරවලදී ඇමරිකාව ඒ දිශාවට කොතෙක් දුර ගමන්කර ඇත්දැයි සැලකිල්ලට ගත් කල, බෂර් අල් අසාද් මරා දැමීමට උත්සාහ කිරීම පෙරලිකාරී ක‍්‍රියාවක් යයි කිසිසේත්ම සැලකිය නොහැකිය.”

එවන් වැකි ලියන පුද්ගලයින් හුදෙක් අධම පුද්ගලයින් නො වේ. නියුරම්බර්ග්හිදී නාසි නායකයින්ට එරෙහිව 1946 පැවැත්වූ යුද අපරාධ පිලිබඳ නඩු විභාග වලදී තහවුරු කරන ලද මූලධර්ම මත පාදකව යමෙක් කටයුතු කරන්නේ නම්, ඔවුන් අපරාධකරුවන් ය. ඔවුහු යුද ප‍්‍රචාරනය පිලිබඳ වරදකරුවෝ ය. නියුරම්බර්ග් නඩු විමසුමේ දී එවැනි දෑ නීති විරෝධී යයි ප‍්‍රකාශ කර තිබේ. එහිදී තහවුරු කරන ලද ප‍්‍රධාන මූලධර්මය, ප‍්‍රහාරයක අනිවාර්ය හා පැහැදිලි තර්ජනයකට ප‍්‍රතිචාර වශයෙන් දියත් කරන යුද්ධයක් ලෙස නීර්නය කරන අවස්ථාවකදී හැර, නිශ්චිත දේශපාලන හෝ ආර්ථික අරමුනු මුදුන්පමුනුවා ගැනීම පිනිස දියත් කරන යුද්ධයක්, ආක‍්‍රමනකාරී යුද්ධයක් වන කල, එය අපරාධයකි. ඉන් පසුව, යුද්ධය උසිගන්වන අය ද යෙදී සිටින්නේ සාපරාධී ක‍්‍රියාවන්හි බව එය සඳහන් කරයි. දේශපාලන හා සමාජ විද්‍යාව පිලිබඳ ඇමරිකානු ඇකඩමි වාර්තා වල පලවු ලිපියක් තුල 1971දී මහාචාර්ය ජෝන් බී. විටන් මෙසේ පැහැදිලි කරයි.

"ආක‍්‍රමනකාරී යුද්ධය දැන් නීති විරෝධී යයි ප‍්‍රකාශයට පත්කර ඇති තත්වය තුල, මෙම වරද උසිගන්වන ප‍්‍රචාරනය ද සැලකිය යුත්තේ ජාතීන් පිලිබඳ නීතිය උල්ලංඝනය කිරීමක් ලෙස ය.

දෙවන ලෝක සංග‍්‍රාමයෙන් පසුව ජර්මනියේ හා ජපානයේ පැවති යුද අපරාධ නඩු, ආක‍්‍රමනික යුද්ධය අපරාධයක් වන්නේය යන තීන්දුව ප‍්‍රකාශ කලා පමනක් නොව, දෘෂ්ටිවාදාත්මක ආක‍්‍රමනයට එරෙහිව ද ප‍්‍රතිමානයක් වන පූර්වාදර්ශයක් ලෙස ද පෙනී සිටියි.”

යුද්ධය සඳහා කෙරෙන ප‍්‍රචාරනය පිලිබඳ සාකච්ඡාවේ දී විටන්, අපවාදාත්මක ප‍්‍රචාරනය කෙරෙහි විශේෂ අවධානයක් යොදයි. එය වනාහි "සතුරු” රාජ්‍යයන්හි නායකයින්ට එරෙහිව මහජන වෛරය ඉලිප්පීම මගින් යුද්ධය උසිගැන්වීමට තැත් කරන ප‍්‍රචාරනයේ රූපයකි. මෙය වැදගත් සංකල්පයකි. අධම ක‍්‍රියාවන් සඳහා වරදකරුවන් විය හැකි දේශපාලන නායකයින් හෙලිදරව් කිරීම හා හෙලා දැකීම පවා, එක් දෙයකි. එහෙත් ඔවුන්ගේ අරමුන ඝාතනය කිරීම සඳහා කැඳවුම් කිරීම වන විට, එය තනි පුද්ගලයෙක් අමනුෂ්‍යයෙක් කිරීම පමනක් නොව, ඔහු නායකත්වය දරන රටේම පුරවැසියන් කරා එය විහිදුවීමකි. සියල්ලටත් වඩා, ආක‍්‍රමනිකයාගේ රටේ ජනතාවගේ සෑම තීරනාත්මක අංශයක්ම පිරිහෙලා, සියලු නීතිමය සම්මතයන් ඔවුන්ගේ අවධානයෙන් ඉවතට ඇද දමා, ඔවුන්ගේ විඥානය ආක‍්‍රමනික කල්ලියකගේ මට්ටමට පහත හෙලා හෝ ඊටත් වඩා පහත් අයුරින්, මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයන්ගේ නිෂ්ක‍්‍රීය සාක්ෂිකරුවන් බවට පත් කිරීමට එවන් ප‍්‍රචාරනයෙන් උත්සාහ දැරේ.

ඇමරිකානු රාජ්‍යයේ භූදේශපාලනික ආසක්තයන්ට හරස් කපන විදේශ නායකයින් රජය විසින් මරා දැමීමට අනුමැතිය පලකිරීමට පමනක් මාධ්‍යකරුවන් සීමා වී නොමැති බව ද පෙන්නුම් කල යුතු ය. පසුගිය මාසයේදී ටයිම් සඟරාවෙහි ජ්‍යෙෂ්ඨ කතෘ වරයෙක් වන මයිකල් ගෘන්වෝල්ඩ්, ට්විටර් පනිවිඩයක් මගින් මෙසේ පැවසීය. "ජූලියන් අසාන්ජ් ඉවරයක් කරන ඩ්‍රෝන් ප‍්‍රහාරයක් ආරක්ෂා කරමින් ලිවීම සඳහා මට ලත වෙන්නට නොහැකි ය.”

ඇමරිකාවේ ප‍්‍රමුඛ මාධ්‍යවේදියෙක් කරන එවන් ප‍්‍රකාශයකින් මනා පැහැදිලි කමකින් හෙලි කරන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පිපිරුම ද එහි අවශ්‍යතාවන්ට සේවය කරන පාලක පන්තියේ හා දේශපාලන සංස්ථාපිතයේ නොහික්මුනු ෆැසිස්ට්වාදී ප‍්‍රවනතාවන්ගේ වර්ධනය ද අතර පවතින අත්‍යවශ්‍ය පුරුකයි.

අවසාන වශයෙන් යමෙක්, රුදුරු යුදවාදී නිල මහජන මතය හා ජන සමුහයන් අතර පැතිර පවතින සැබෑ යුද විරෝධී මනෝ භාවය අතර විවරවී තිබෙන මහා දේශපාලන විභේදනය පැහැදිලි කරන්නේ කෙසේ ද? ජනගහනයේ අති මහත් බහුතරය මුහුන දී සිටින මූල්‍ය හා සමාජ තත්වයන්ගෙන්, එක්සත් ජනපදය පාලනය කරන සුපිරි ධනපති පැලැන්තිය බෙදා වෙන් කරන නොපෑහිය හැකි සමාජ ආගාධය තුල මෙයට පිලිතුර සොයාගත යුතු ය. ජනගහනයෙන් දහසකට එකක් වන ධනවත්ම සියයට 0.1 දස දහසකට එකක් එනම් සියයට 0.01 ගැන නොකීවත්, ජනගහනයෙන් ධනවත්ම සියයට 5 සිට 1 දක්වා කොටස ජිවත් වන්නේ, රටේ අති මහත් බහුතරයට මුලුමනින්ම වෙනස්වූ සමාජ විශ්වයක ය. පිකෙටි හා සායෙස් යන අර්ථශාස්ත‍්‍රඥයින් දැන් නිකුත් කර ඇති අධ්‍යයනයකින් පෙන්වා දෙන්නේ, ඊනියා ආර්ථික ප‍්‍රකෘතිය නිල වශයෙන් ආරම්භ වූ 2009 පටන් අත් කර ගෙන තිබෙන කුටුම්භ ආදායමෙන් සියයට 95ක් ම ගලා ගියේ ජනගහනයෙන් ධනවත්ම සියයට එකකගේ සාක්කු තුලට බවය! ඉහලම වැජඹෙන කොටසට යථාර්තය පිලිබඳ සෑම සංවේදනයක්ම අහිමිවී ඇත. අති මහත් ජන සමූහයේ තත්වය හා මනෝ භාවයන් පිලිබඳ කිසිදු සහානුභූතික වැටහීමක් ඇතිකර ගැනීමට සරලව ම ඔවුන්ට හැකියාවක් නැත. ඔබාමා පාලනාධිකාරය හා මාධ්‍ය ඇමරිකානු ජනතාවගේ මනෝගතිය මුලුමනින්ම වැරදියට වටහා ගත්තේ එබැවිනි.

පාලක ප‍්‍රභූවේ කපටියන් හා වංචනිකයින් මෙන්ම ඔවුන්ගේ දේශපාලන හා මාධ්‍ය හෙංචයියන් ජනතාවගේ විඥානය මත ග‍්‍රහනය නැතිකර ගනිමින් සිටියි. එක්සත් ජනපදය තුල මෙන්ම ජාත්‍යන්තරව ද කම්කරු පන්තියේ යුද විරෝධී මනෝගතීන්, පෙර නොදුටු තරම් පැහැදිලි හා දේශපාලනිකව බැඳුනු, නැගී එන ධනේශ්වර විරෝධී දැනුවත්කමෙහි ප‍්‍රකාශනයකි.

අධිරාජ්‍යවාදයට, යුද්ධයට, සමාජ අසමානතාවට හා දේශපාලන මර්දනයට එරෙහි සටන, ධනවාදයට එරෙහි සටන සමග නොවෙන්කල හැකි පරිද්දෙන් බැඳී ඇත. සමාජවාදී සමානතා පක්ෂය, සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ද ජාත්‍යන්තර කමිටුවේ ඔවුන්ගේ සමචින්තකයින් ද නව යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට උත්සාහ කරන්නේ මෙම ඉදිරිදර්ශනය මත පාදක වෙමිනි.

Share this article: