මර්කෙල් ජර්මනියේ මැතිවරනය ජය ගත්තේ මන් ද

Why Merkel won the German elections

2013 සැප්තැම්බර් මස 24

පසු ගිය 22දා පැවති ජර්මනියේ මැතිවරනයට විශේෂිත ලක්ෂන බොහොමයක් තිබුනි. 1949 සිට පාර්ලිමේන්තුවේ නොකඩවා අසුන් ගත් හා වෙන කිසිම පක්ෂයකට වඩා බොහෝ පශ්චාත් යුද ආන්ඩුවලට සම්බන්ධ වී තිබුනු ප්‍රී ඩෙමොක්‍රටික් පාටි (එෆ්ඩීපී) පාර්ලිමේන්තුවට පිවිසීමට අවශ්‍ය සියයට 5හේ කඩුල්ල පසු කිරීමට අසමත් විය. එෆ්ඩීපී යනු පැහදිලිවම මූල්‍ය ප්‍රාග්ධනයේ උත්සුකයන් නියෝජනය කරන පක්ෂය යි.

යන්තම් මාස කීපයකට පෙර පිහිට වූ නව යුරෝ-විරෝධී පක්ෂය වන "ඕල්ටනේටිව් ෆෝර් ජර්මනි” (ඒඑෆ්ඩී) එෆ්ඩීපීය තරම් ම ඡන්ද ලැබූ අතර එයට පාර්ලිමේන්තුවේ තැනක් අහිමිවූයේ යන්තමිනි.

එහෙත් කැපී පෙනුනේ, ඇන්ජෙලා මර්කෙල්ගේ හා ඇගේ ක්‍රිස්ටියන් ඩෙමොක්‍රටික් යූනියන්(සීඩීයූ) පක්ෂයේ ජයග්‍රහනය යි. රුදුරු කප්පාදු පියවර මගින් බොහෝ යුරෝපීය රටවල ප්‍රචන්ඩ විරෝධතා අවුලුවා ඇති එම පක්ෂය, එහි බැවේරියානු සහෝදර පක්ෂය වන ක්‍රිස්ටියන් සෝෂල් යූනියන් (සීඑස්යූ) සමග එක්ව ඡන්ද ප්‍රතිපලයේ තම පංගුව සියයට 8කින් වැඩි කර ගැනීමට සමත් විය.

ඊට විපරීතව විය හැකිවූ පරිදිම, වාමාංශික විරුද්ධ පාර්ශ්වයක් ලෙස මවා පෑ පක්ෂවලට ඡන්ද දායකයින් නිසි ප්‍රතිචාර දක්වා තිබුනි. හරිතයන් හා වාම පක්ෂය (ලෙෆ්ට් පාටි) සැලකිය යුතු ලෙස පසුබැසි අතර සෝෂල් ඩෙමොක්‍රටික් පාටි (එස්පීඩී) ඡන්දවලින් සියයට 25.7ක් ලබාගත් නමුත් එම සුලු ජයග්‍රහනය නොතකා, පශ්චාත් යුද කාලයේ එම පක්ෂය ලැබූ දෙවැනි නරක ම මැතිවරන ප්‍රතිඵලය එය විය. හේතුව වටහා ගැනීම අපහසු නො වේ. එස්පීඩී, හරිත හා වාම පක්ෂය වාමාංශික හෝ විපක්ෂයක් හෝ නො වේ.

මහජනයා සමග සියලු ම සම්බන්ධතා අහිමි කර ගෙන ඇති එස්පීඩී යනු රාජ්‍ය සංවිධානවල හා වෘත්තීය සමිති නිලධරයේ පක්ෂයකි. අහංකාර හා උද්ධච්ඡ ලෙස එය මහජනයා ඉදිරියේ පෙනී සිටියේ ය. මැතිවරන ව්‍යාපාරය තුල එය විනිශ්චය කෙරුනේ එලෙස ය. ග්‍රීසිය, ස්පාඤ්ඤය හා පෘතුගාලය තුල ක්‍රියාවට නැඟූ කප්පාදු වැඩසටහන් ජර්මන් මහජනයා මත පැටවීමට ධෛර්ය නැතැයි එස්පීඩීය මර්කෙල්ට චෝදනා කලේ ය. චාන්ස්ලර් පදවිය සඳහා අපේක්ෂකයා ලෙස ඔවුන් තෝරා ගත්තේ දක්ෂිනාංශික රාජ්‍ය නිලදරයෙකු වන පීර් ස්ටේන්බ්රූක් ය. ඔහු පුද්ගලාරෝපනය කරන්නේ රාජ්‍ය යාන්ත්‍රනයේ කුරිරුකම හා නිර්දය භාවය යි.

උද්ඝෝෂනය අතරතුර දී හිටපු එස්පීඩී අභ්‍යන්තර අමාත්‍ය ඔටෝ ෂිලී, ඔත්තුසේවාවල සෝදිසි කිරීම් පිලිබඳ විවේචන මනෝ විකාරයක් යයි ඊට පහර දුන්නේ නීතිය හා සාමය හැමවිට ම සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී සාරධර්මයක් වී තිබුනු බව පවසමිනි. ඒ ආකාරයට ඔහු එස්පීඩී වැඩසටහන කැටිකර දැක්වී ය.

එස්පීඩීයේ පරාජය අනිවාර්ය බව පැහදිලිවෙත් ම ස්ටේන්බ්රූක් ඔහුගේ ම පක්ෂයට පහර එල්ල කලේ ය. එස්පීඩී-හරිත පාලන සමයේ, හා විශේෂයෙන් ම එහි සුභසාධන විරෝධී වැඩසටහනේ "ශ්‍රේෂ්ට ජයග්‍රහනයන්” නියෝජනය කිරීමේ දී එස්පීඩීය වඩා ආත්ම විශ්වාසයෙන් යුතු ව හා ස්ථාවර ව තිබුනේ යැයි ඔහු සිතූ බව පවසමිනි.

මැතිවරන උද්‍ඝෝෂනය තුල දී හරිතයන් දිස්වූයේ දේශපාලන අවස්ථාවාදයේ ප්‍රතිමූර්තියක් ලෙස ය. හිටපු සාමවාදීහු දැන් "මානවහිතවාදී” යුද්ධ හා දැඩි අයවැය හික්මීම් පිලිබඳ ප්‍රබල උපදේශකයින් බවට පත්ව සිටිති. ප්‍රධාන වශයෙන් පක්ෂයේ සාමාජිකත්වය සමන්විත වන්නේ ශාස්ත්‍රාලිකයන් හා ජ්‍යේෂ්ට රාජ්‍ය නිලධාරීන් ගෙන් වන අතර ඔවුහු බුද්ධිමය ප්‍රභූව සඳහා පොහොසතුන් මත බදු වැඩිකිරීම සඳහා වූ පක්ෂයේ යෝජනාව එහි ලොකු ම වැරැද්ද බව පවසමින් හරිත පක්ෂයේ ප්‍රධානීන්, ඡන්ද අහිමිවීමට ප්‍රතිචාර දැක්වූයේ තවත් දක්ෂිනාංශික හැරීමකිනි. පක්ෂයේ ප්‍රධාන අපේක්ෂක ජූර්ගන් ට්‍රිටින් හා සහචර පක්ෂ නායක සෙම් ඌෂ්ඩෙමීර් මර්කෙල්ට ගෞරවය පුද කලේ සීඩීයූ/සීඑස්යූ සමග සභාග ආන්ඩුවක් පිහිටුවීමට ඔවුන්ගේ සූදානම අවධාරනය කරමිනි.

මැතිවරනය තුල අතිශය ව්‍යාජ භූමිකාව රඟපාන ලද්දේ වාම පක්ෂය විසිනි. එය ඉවරයක් නොමැතිව සීපීඩීයට හා හරිතයන්ට සිය සහයෝගය පුද කලේ ය. එස්පීඩීයට හා හරිතයන්ට ඔවුන්ගේ ප්‍රතිපත්ති සාක්ෂාත් කල හැත්කේ වාම පක්ෂය සමග හවුලකින් යයි පක්ෂ නායක ග්‍රෙගෝර් ගයිසි ප්‍රකාශ කලේ. ඒ මගින් සමාජ තත්වයන් වැඩි දියුනු කිරීම පිලිබඳ වාම පක්ෂයේ කයිවාරුවල නරුමත්වය හෙලිදරව් කලේ ය.

"අපකීර්තිමත් පියවර ගැනීමට වඩ වඩා ධෛර්යය” ලැබිය යුතු බවට මාධ්‍ය හා හාම්පුතුන්ගේ සංගමයෙන් කරන ලද ඉල්ලීම්වලට ස්ටේන්බ්රූක් හා ට්‍රිටින් යන දෙදෙනො ම හිස නැමූ අතර වාම පක්ෂය එයට සහාය දුන්නේය. මෙම තත්වය තුල, මැතිවරන දින රාත්‍රි‍යේ කල කථාවේදී, "ස්ථාවර පාලනයක් සමග වගකීමෙන් යුක්තව (රට) මෙහෙයෙවන” විචක්ෂන දේශපාලඥයෙකු ලෙස රඟපෑමට ඇන්ජෙලා මර්කෙල්ට හැකි විය.

වෙනත් වචනවලින් කිවහොත්, මර්කෙල්ගේ ජයග්‍රහනය මූලික වශයෙන් ම එස්පීඩී, වාම පක්ෂය හා හරිතයන්ගේ සම්පූර්න දේශපාලන බංකොලොත්කමේ ප්‍රතිඵලයකි.

එස්පීඩී, හරිත හා වාම පක්ෂයේ දක්ෂිනාංශික දේශපාලනය විශේෂයෙන් ම පැහදිලි වන්නේ විදේශ ප්‍රතිපත්ති කාරනා තුල දී ය. විදේශ ප්‍රතිපත්ති ප්‍රශ්න මත ජර්මානු දේශපාලනයේ තියනු දක්ෂිනාංශික පැද්දීම, ඉතිහාසයේ පලමුවරට සිදුවූවක් නො වේ.

කාලයක් තිස්සේ එක්සත් ජනපද ආන්ඩුව මැද පෙරදිග යුද්ධය තුල වඩා විශාල ජර්මන් සහභාගිත්වයක් සඳහා බල කරන්නේ, ඇන්ජෙලා මර්කෙල් ජර්මානු ජනතාවගේ යුද විරෝධී හැඟීම්වලට ඕනෑවට වඩා සැලකිල්ල දක්වන්නේ යයි චෝදනා කරමිනි. එස්පීඩීයට හා හරිතයන්ට කිට්ටු ෂේයිට් හා ටැශ් වැනි මාධ්‍ය කඩ තුල මෙම ඉල්ලීමට සහයෝගයක් ලබී ඇත. ජනාධිපති ඔබාමා සිරියාවට බෝම්බ හෙලන බවට තර්ජනය කල විට ඔවුන් ඊට ප්‍රතිචාර දැක්වූයේ පෙර නොවූ විරූ යුද ප්‍රචාරනයකින් සිය පුවත්පත්වල පිටු පුරවාලමිනි.

ඔවුන් අවඥාවට ලක් කලේ මර්කෙල් ආන්ඩුවේ පැකිලීම හා අදිමදි කිරීම යි. ෂේයිට් කතෘ ජෝශෆ් යොෆේ ඔබාමාගේ "කුඩා යුද්ධය” හෙලා දුටුවේ "සීමා මායිම් නැති කාල පරිමාවක් මත දැවන්ත” යුද්ධයක් සඳහා උද්ඝෝෂනය කරමිනි.

එෆ්ඩීපී ඉවත්ව යාමෙන් පසු නව සභාග හවුල්කරුවෙකුගේ අවශ්‍යතාවයෙන් පෙලෙන මර්කෙල්, එස්පීඩීය සමග හවුල් ආන්ඩුවකට එකඟ වුවහොත්, එය වඩා ආක්‍රමනකාරී ජර්මානු මිලිටරි ආස්ථානයක් පිලිබඳ පැහදිලි සංඥාවක් වනු ඇත. හරිතයන් සමග අවුරුදු 15කට පෙර යුගෝස්ලාවියාවට එරෙහිව පලමු ජාත්‍යන්තර යුද මෙහෙවර නියෝග කල එස්පීඩීයට, ගැඹුරු මහජන විරෝධය කපාගෙන යුද්ධයට යාම සඳහා අවශ්‍ය සියලු ම කුරිරුකම් හා නිලධාරිවාදී අහංකාරය තිබේ.

පලමුව වැඩෙන ජාත්‍යන්තර ආතතීන් මගින් ද, දෙවනුව ගෝලීය ආර්ථික අර්බුදයේ වේගවත් වර්ධනය මගින් ද එල‍ඹෙන ආන්ඩුවේ වැඩසටහන නීර්නය කෙරෙනු ඇත. මෙම මොහොතේ දී පවා , හාම්පුතුන්ගේ සංවිධාන ඉල්ලා සිටින්නේ ජාත්‍යන්තර තරඟකාරිත්වයේ නාමයෙන් සමාජ සේවාවන් තුල දැවන්ත කප්පාදු ය.

මේ දක්වා මර්කෙල් ආන්ඩුව ආර්ථික අර්බුදය කොටස් වශයෙන් දකුනු යුරෝපයට මාරු කර තිබුනි. දැන් ආන්ඩුව උත්සාහ කරනු ඇත්තේ රට තුල සමාජ ප්‍රතිවිප්ලවය ඉදිරියට ගැනීමට ය. ජර්මනියේ පහල වැටුප් හා රැකියා අංශයේ අඩමාන තත්වය දැනටමත් වල පල්ලට යවමින් තිබෙන අසනීප නිවාඩු, සේවයෙන් පහකිරීමට එරෙහිව නීතිමය ආරක්ෂාව,මාතෘ නිවාඩු, ඉතාම ප්‍රාථමික ආකාරයෙන් හෝ වැඩ කරන ජනතාවගේ උත්සුකයන් ප්‍රකාශ කිරීමට නිල දේශපාලනයේ පරාසය තුල එක දු පක්ෂයක්වත් නොමැත. ප්‍රතිවිරුද්ධ ආකාරයකින් මැතිවරන ප්‍රතිඵල පිලිබිඹු කරන්නේ, සමාජය සීමාන්තික ලෙස දෙකඩවවීම ය. දේශපාලන පද්ධතිය, සමාජ අසමානතාවට හා යුද්ධයට එරෙහිව වැඩෙන විරුද්ධත්වය ප්‍රකාශ කිරීමේ සියලු හැකියා අහිමි කර ගෙන ඇති බව එය පැහදිලි කරයි.

සූඩේයිට්ෂේ ෂෙයිතුන්ග් ලියූ පරිදි, මර්කෙල් දේශපාලන සුධීමතියක ලෙස, හා විශාල සීඩීයූ/සීඑස්යූ ඡන්ද "මර්කල්වාදී යුගයක” ආරම්භය සලකුනු කරන්නාක් සේ මාධ්‍යය වර්නනාව ඉදිරියට යයි. එහෙත් මතුපිටින් ස්ථාවර යැයි පෙනුන ද, යතාර්ථයේ දී දේශපාලන පද්ධතියේ හා මහජනයා අතර ප්‍රගාඪ දුරස්ථ භාවයක ප්‍රතිඵල ගෙන එන්නේ දේශපාලන අස්ථාවරත්වයේ හා ප්‍රචන්ඩ දේශපාලන ගැටුම්වල යුගයකි.

කම්කරු පන්තිය දැවන්ත ප්‍රහාරයන්ට මුහුනදීම සඳහා සූදානම් කල යුතු ය.

මැතිවරනය තුල සමාජවාදී සමානතා පක්ෂ සහභාගිත්වයේ වැදගත්කම පැවතියේ මෙහිය. කම්කරු පන්තිය මුහුන දෙන අතිමූලික ගැටලුවලට අවධානය යොමු කරන එක ම පක්ෂය සසප යි. බැංකුවල ඒකාධිපතිත්වය බිඳදැමීමෙන් තොර ව එකදු සමාජ ප්‍රශ්නයක්වත් විසඳිය නො හැකි බවත්, ඒ සඳහා කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් අවශ්‍ය බව හා එහි අර්ථය වන්නේ වාම පක්ෂයෙන් හා වෘත්තීය සමිතිවලින් දේශපාලනිකව වෙන්වීම බවත් එය අවධාරනය කර යි.

එය ඉල්ලා සිටින්නේ අතීත පන්ති අරගලයන්ගේ අත්දැකීම් හා ජාත්‍යන්තර සමාජවාදී වැඩසටහනක් මත පාදක නව පක්ෂයක් ලෙස හතරවැනි ජාත්‍යන්තරයේ ජර්මානු ශාඛාව වන සමාජවාදී සමානතා පක්ෂය ගොඩනැගීම යි.

උලී රිපට්

Share this article: