ජාමූඅ වාර්තාව ගෝලීය ආර්ථිකයේ ගැඹුරුවන පසුබෑමේ ප්‍රවනතා පෙන්නුම් කරයි

IMF report points to deepening recessionary trends in global economy

2013 ඔක්තෝබර් 10

2008 ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා යාමෙන් වසර පහකට පසුව ලෝක ආර්ථිකය පිලිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අලුත්ම ලෝක ආර්ථික දැක්ම පිලිබඳ වාර්තාව, අර්බුද පූර්ව ආර්ථික වර්ධනය කරා පුනරාගමනයක් පිලිබඳ බලාපොරොත්තු වෙන කවරදාකටත් වඩා ඈතට ගොස් ඇති බව පැහැදිලිව සලකුනු කරයි.

එක්සත් ජනපද හා ලෝක ආර්ථිකයන් පසුබෑමක් තුලට කඩාපාත් කරමින් ලේමන් බ්‍රදර්ස් බංකොලොත්වීමෙන් පසුව ඇතිවූ ගෝලීය මූල්‍ය අර්බුදය පරයා යන අර්බුදයක් දිග හැරීමේ සිදුවීමක් බවට පත්විය හැකි බවට අනතුරු ඇඟවීම් නිකුත්ව තිබෙන තත්වය තුල, එක්සත් ජනපදය නය පැහැර හැරීමේ හැකියාව පිලිබඳ තර්ජනය සාකච්ඡාවල හරි මැදට පැමින තිබෙන, සති අන්තයේ පැවැත්වීමට නියමිත ජාමූඅ හා ලෝක බැංකුවේ වාර්ෂික රැස්වීම් සඳහා එම වාර්තාව පිලියෙල කොට තිබේ.

ජාමූඅ වාර්තාව පෙන්නුම් කරන පරිදි, නය පැහැරහැරීමක් මඟහරවා ගනු ලැබුව ද ලෝක ආර්ථිකයේ කඩාවැටීම අඛන්ඩව ඉදිරියට යනු ඇත. ගෝලීය වර්ධනය දුබල බවත්, පහලට යොමුවීමේ අවදානම එසේම පවතින බවත්, එක්සත් ජනපදයේ පොලී අනුපාත ඉහල නැඟුනහොත් නැඟී එන ආර්ථිකයන් මූල්‍ය අවදානමට ලක්වීමේ හැකියාවත්, සමස්තයක් ලෙස ගෝලීය ආර්තිකය "මධ්‍ය කාලීනව වර්ධනයේ මන්දගාමී යොමුවක්” පෙන්වනු ඇති බවටත් සැර බාල ප්‍රකාශයක් එහි ඇතුලත් වේ.

වාර්තාව කියන පරිදි, ගෝලීය ආර්ථිකය සමස්තයක් ලෙස සලකුනු කරන තත්වය නම් "ගෝලීය වර්ධනයට ආවේෂයක් ලබාදෙනු ඇතැයි බලාපොරොත්තු වන්නේ ප්‍රධානකොටම එක්සත් ජනපදය වෙතින්” වීමය. එහෙත් එජ පිලිබඳ මූල්‍ය අරමුදලේ පූර්ව අනාවැකියට වඩා සියයට 0.2න් අඩු, 1.9ක වර්ධනයක් පමනක් 2013දී ලඟාකරගනු ඇත. ඉන් පසුව 2014දී එය සියයට 2.7ක් දක්වා වැඩිවනු ඇත. එය විරැකියාව ඉහල යා නොදී එම මට්ටමේම පවත්වාගැනීමට අවශ්‍ය යයි පොදුවේ සලකනු ලබන සියයට 3ට අඩු මට්ටමකි.

මූල්‍ය අරමුදලේ විශ්ලේෂනයෙහි ඇතුලත් වඩා වැදගත් ලක්ෂනය නම්, ඊනියා නැඟීඑන ආර්ථිකයන්හි වර්ධනය අඩුවීමක් සලකුනු කිරීම යි. එම රටවල් පසුගිය පස් වසර තුල ලෝක ආර්ථික වර්ධනයෙන් තුනෙන් එකකට පමන දායක විය. එම කලාපය ගෝලීය ආර්ථිකයට ප්‍රධාන මුක්කුවක් සම්පාදනය කරනු ඇති බව ප්‍රකාශ වූයේ මෙම තත්වය පදනම් කර ගෙන ය. වාර්තාව එම ප්‍රකාශයන්ට නිශ්චිත අවසාන තිතක් තබයි. යන්තම් මාස තුනකට පෙර පලකල අනාවැකිය 2013 සඳහා සියයට 0.5න් හා 2014ට 0.4න් පහත හෙලමින් අරමුදල මෙම වසරවල නැඟී එන හා සංවර්ධනය වෙමින් පවතින රටවල වර්ධනය පිලිවෙලින් සියයට 4.5ක් හා 5.1ක් ලෙස දක්වයි.

පසුගිය මාසයේ උන්ක්ටාඩ් නම් එක්සත් ජාතීන්ගේ වෙලඳ හා සංවර්ධන සමුලුව නිකුත් කල වාර්තාවකින් යටින් දිවෙන දිගු කාලීන ප්‍රවනතා හා සාධක පෙන්නුම් කර ඇත. නැඟී එන ආර්ථිකයන්ගේ වර්ධනය වේගවත් වීම රඳා පැවතියේ අපනයනයන්ගේ ප්‍රසාරනය මතය. එහෙත් උන්ක්ටාඩ් වාර්තාවට අනුව, 2008ට පෙර පැවති මට්ටම් කරා ජාත්‍යන්තර වෙලඳාම තවමත් ලඟාවී නැති අතර වර්ධනය තවත් වසර ගනනාවක් යන තෙක් මන්දගාමීව පවතිනු ඇත.

පූර්ව අර්බුද කාලයේ අපනයනයන්හි වේගවත් වර්ධනය තිරසාර නොවූ ගෝලීය ඉල්ලුමක් හා මූල්‍ය රටාවන් මත රැඳී පැවතුනි."දැන් ගෝලීය ආර්ථිකයේ ව්‍යුහාත්මක මාරුවක්” සිදුව ඇති අතර එය පෙර පැවති විකල්ප බැහැර කරයි. යනුවෙන් එය අනතුරු අඟවයි.

ලෝක වෙලඳාමේ දිගු කාලීන ප්‍රවනතා මගින් මෙම ව්‍යුහාත්මක මාරුවේ ස්වභාවය ඇඟවුම් කරයි. පශ්චාත් ලෝක යුද්ධ අවධිය පුරාම ලෝක වෙලඳාම ගෝලීය දල දේශීය නිෂ්පාදිතය මෙන් දෙගුනයක් තරම් විය. කෙසේ වෙතත් 2008 වසරේ පටන් ලෝක වෙලඳාම වර්ධනයවී ඇත්තේ ගෝලීය දදේනි මඳක් අඩුවෙන්ය. එය, අපනයන වර්ධනයට පින්සිදු වන්නට වර්ධනයක් අත්කර ගත් නැඟීඑන ආර්ථිකයන් මුහුන දෙන අභියෝග සලකුනු කරයි. මෙම ප්‍රවනතා ජමූඅ ප්‍රවර්ධන අනාවැකි තුල සලකුනු කෙරේ. දියුනු රටවල ආර්ථිකයන්ගේ වර්ධනය මේ වසරේ යන්තම් සියයට 1.2ක් හා 2014 2ක් යයි අපේක්ෂිතය. යුරෝ කලාපය මේ වසරේ සියයට 0.4න් හැකිලීගොස්, 2014දී යන්තම් සියයට 1ක වර්ධනයක් ලඟාකරගනු ඇතැයි අනාවැකි පලවේ. ජාමූඅ අනාවැකි පලකර ඇත්තේ ගෝලීය ආර්ථික වර්ධනය සිව් වසරක් තුල එහි පහතම අගය සලකුනු කරන සියයට 2.9ක් ලෙසටය.

නැඟී එන හා සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්ගේ වර්ධනය 2010 පැවති මට්ටම් වලින් සියයට තුනක පහත වැටීමක් වාර්තා විම, ඉනුත් තුනේ දෙකකටම දායක වූයේ චීනය ඉන්දියාව හා බ්‍රෙසීලයයි, මෙම වැටීමට ප්‍රධාන වශයෙන් බලපෑවේය. මෙම ආර්ථිකයන් දෙවසරකට පෙර පුරෝකථනය කර තිබුනාට වඩා 2016 වන විට සියයට 8ත් 10ත් අතර ප්‍රමානයකින් කුඩා වනු ඇතැයි වාර්තාව පෙන්වා දෙයි.

ජාමූඅ ප්‍රධාන අර්ථශාස්ත්‍රඥ ඔලිවර් බ්ලැන්චාර්ඩ් "ශුභවාදී වීමට හේතු තිබේ” යයි පැවසුව ද පසුගිය වසර ගනනාවක් තිස්සේ දිගට පවතින රටාවක් බවට පත්ව තිබෙන එහි ගෝලීය පුරෝකථන පහත දැමීමේ කාරනය සැලකිල්ලට ගන්නා කල එය පෙන්වන්නේ ලෝක ආර්ථිකයේ ගැඹුරුවන පසුබෑමේ ප්‍රවනතාය.

“ගෝලීය වර්ධනයේ ජවය පහල මට්ටමක, සැබෑවටම පහතට නැඹුරුවූ වාතාවරනයක” පවතිද්දී පහත දැක්වෙන සිදුවීම් ඊට ඇතුලත් විය හැකිය. අඛන්ඩව පවතින යුරෝපයේ දුබල ආයෝජනය, නැඟී එන ආර්ථිකයන්ගේ හා චීනයේ වර්ධනය තවදුරටත් ලුහුටා යාම, ජපාන ආර්ථිකයට දිගුකාලීන උත්තේජනයක් ඇබේ ආන්ඩුවේ මූල්‍ය ප්‍රතිපත්ති තුලින් ලබා දීමට අසමත් වීම, එක්සත් ජනපද මහ බැංකුව සිය වත්කම් මිලට ගැනීමේ ප්‍රතිපත්තිය කපා හැරීමට පටන්ගන්නා විට එරට මූල්‍ය තත්වය දැඩි වීම ය.

එජ මහ බැංකුව සිය භාන්ඩාගාර බැඳුම්කර මිලට ගැනීම "කප්පාදු” කිරීමට තීරනය කිරීම මගින් ඇතිවිය හැකි ගෝලීය බලපෑම, 07දා නිකුත්කල ජාමූඅ ප්‍රතිපත්ති ලියවිල්ලේ මාතෘකාව බවට පත්ව තිබේ. "ප්‍රමානාත්මක ලිහිල් කිරීමේ” පිලිවෙත යටතේ මූලය සමපේක්ෂකයින් එජ ලාභ අරමුදල්, ඉහල ප්‍රතිලාභ අපේක්ෂවෙන් නැඟී එන ආර්ථිකයන්හි ආයෝජනය කිරීමට යොදාගෙන තිබේ. එහෙත් "කප්පාදු” එජ පොලී අනුපාත ඉහලට තල්ලු කරනු ඇත. මෙය අරමුදල් ආපසු ගලා යාමට මඟපාදනු ඇත. "කෙටිකාලීන අරමුදල් උපයෝගී කරගෙන ආයෝජකයින් රැස්කරගෙන සිටින මෙම සමපේක්ෂනාත්මක වත්කම් බෙහෙවින්ම උත්තෝලන වාසි තකා සිදුකර ඇත්නම්, නව මිල නියම කිරීම් ආයෝකයින් පලා යාමට තුඩු දෙනු ඇත.” වාර්තාව අනතුරු අඟවයි.

මෙය අනෙක් අතට ප්‍රධාන ප්‍රාග්ධන ඉවත ගැලීමකට තුඩු දෙමින් ජාත්‍යන්තරව වේගයෙන් පැතිර යා හැකි මූල්‍ය අර්බුදයක් නිර්මානය කරනු ඇත.

එම වාර්තාවට අනුව, නයෙන් තල්ලුවන වර්ධනයකට උපකාරක වශයෙන්, බෙහෙවින් පිටස්තර අරමුදල් මත විශ්වාසය තබා ඇති ආර්ථිකයන් විශේෂයෙන්ම මෙම තත්වයට මුහුන දෙනු ඇත. පසුගිය මැයි හා ජූනි මාසවල එජ මහ බැංකු සභාපති කල ප්‍රකාශයන්ගේ ප්‍රතිපල වශයෙන් ඉන්දුනීසියාව සියයට 4.3ක නය පොලී වැඩිවීමකට මුහුන පෑවේය. තුර්කිය සියයට 2.2ක හා බ්‍රෙසීලය සියයට 1.2ක පොලී ඉහල නැඟීමකට මුහුන පෑවේය.

මෙම සංඛ්‍යා පැහැදිලි කරන්නේ, ගෝලීය පාලක පන්තීන් ද ඔවුන්ගේ මූල්‍ය විශේෂඥයින් හා මහ බැංකුකරුවන් ද විවිධාකාර ආර්ථික උපදේශකයින් ද සතුව, සිදුවෙමින් ඇති ලාභ පද්ධතියේ බිඳ වැටීමට කිසිදු ආර්ථික විසඳුමක් සැපයීමට අපොහොසත්ව ඇති බවය.

ඔවුන් සතුව ඇත්තේ එක් ක්‍රියාමාර්ගයක් පමනි. ලෝකය පුරා වඩ වඩාත් නිර්දය ලෙස ක්‍රියාවට නඟන එම වැඩසටහන වන්නේ, රැකියා හා සමාජ තත්වයන් මත ප්‍රහාර තව තවත් උත්සන්න කිරීමයි. කෙටියෙන් කිවහොත් සමාජ ප්‍රතිවිප්ලවයයි.

ජාත්‍යන්තර කම්කරු පන්තිය තමන්ගේම මූලෝපායක් සමගින් ඊට මුහුන දිය යුතුය. මානව අවශ්‍යතා සපුරාලීම පිනිස ලෝක ආර්ථිකය ප්‍රතිනිර්මානය කිරීම සඳහා ප්‍රමුඛ බැංකු හා ව්‍යාපාර අත්පත්කර ගැනීමෙන් පටන් ගන්නා ජාත්‍යන්තර සමාජවාදය වෙනුවෙන් සටන් වැදීමයි ඒ.

නික් බීම්ස්

Share this article: