එක්සත් ජනපද අයවැය ගනුදෙනුව: කම්කරු පන්තියට එරෙහි ප්‍රහාරයේ නව අවධියකි

The US budget deal: A new stage in the attack on the working class

2013 ඔක්තෝබර් 18

එක්සත් ජනපද ආන්ඩුව වසාදැමීම, නය පැහර හැරීමක අනතුර හා ඩෙමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන් අතර 16දා ඇති කර ගත් ගිවිසුම, ඇමරිකානු දේශපාලන ක්‍රමය තුල නිශ්චිත හා අතිමූලික ගති ලක්ෂන හෙලිදරව් කර ඇත.

අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ කුමක් ද? අධ්‍යාපනය, නිවාස උනුසුම් කිරීමේ අනුග්‍රහ, නීතිමය ආධාර හා අනෙකුත් සමාජ ප්‍රතිලාභ වැඩසටහන් ඇතුලත් ඩොලර් බිලියන සිය ගනන් අයවැය වියදම් කප්පාදු ඇතුලු විනාශකාරී ස්වයංක්‍රීය අයවැය කප්පාදු (sequester cuts) නව වර්ෂයට දීර්ග කෙරී ඇත. ඔබාමාගේ ඇෆෝඩබල් කෙයා ඇක්ට් නම් පනත නොවෙනස්ව ඉදිරියට යනු අතර, මිලියන ගනනාවක් කම්කරුවන් සඳහා හාම්පුතුන් සැපයූ සෞඛ්‍ය රැකවරනය තුරන් කිරීම සඳහා වේදිකාව සකසනු ඇත.

දේශපාලන සංස්ථාපිතයේ ආස්ථානයෙන් ගත් විට අයවැය ගනුදෙනුවේ ප්‍රධාන ජයග්‍රහනය වන්නේ, සමාජ පිරිවැය තුල දැවන්ත කප්පාදු හා සංගත බදු අඩුකිරීම පිලිබඳව පක්ෂ දෙකට මෙහි දී එකඟත්වයකට ඒමට හැකිවීම යි. දෙසැම්බර් මැද වන විට ද්විපාක්ෂික අයවැය ගිවිසුමක් සකස් කිරීම පිනිස සාකච්ඡා මන්ඬලයක් පිහිටුවීමට මේ මගින් බලය ලැබෙන අතර එය අයවැය හිඟය හා ජාතික නය අඩුකරනු ඇත්තේ මූලිකව ම වෛද්‍යාරක්ෂාව හා සමාජ සුරක්ෂනය වැනි හිමිකම් වැඩසටහන් කපා දැමීම හරහා ය.

17වැනිදා උදෑසන සිය මාධ්‍ය සමුළුවේ දී බරක් ඔබාමා පැහැදිලි කලේ, ඩෙමොක්‍රටිකයන් හා රිපබ්ලිකානුවන්ගේ අවධානය දැන් හැරවෙනු ඇත්තේ මෙම වැඩසටහන්වලට බව යි. "ඉදිරි දිනවල දී හා සතිවල දී අප වාඩි වී වගකිවයුතු අයවැයකට, එනම් අපගේ ආර්ථිකය වේගයෙන් වර්ධනය කරන හා අපගේ දීර්ගකාලීන හිඟ තවදුරටත් පසු බස්වන අයවැයක් සඳහා සමබර ප්‍රවේශයක් කරා යා යුතු ය” ඔහු පැවසී ය.

ඔබාමා මෙසේ ද පැවසී ය, "අපට මේ මොහොතේ ඇති අභියෝගයන් කෙටි කාලීන ඒවා නො වේ; එය වෛද්‍යාරක්ෂාව හා සමාජ සුරක්ෂනය වැනි දේවල් වටා ඇති දීර්ගකාලීන වගකීම් ය.” මේ වන විටත් ක්‍රියාත්මක කර ඇති දැවන්ත කප්පාදුවල ප්‍රතිඵලයක් වසයෙන් කෙටි කාලීන හිඟ දැනට මත් සැලකිය යුතු ලෙස පහත වැටී ඇත යි ඔහු පැවසී ය.

මෙලෙස ආන්ඩුව වසාදැමීම හා නය පැහැරහැරී‍මක් පිලිබඳ තර්ජනය ප්‍රයෝජනයට ගෙන ඇත්තේ විශාල වශයෙන් අපකීර්තියට පත්ව ඇති වෛද්‍යාරක්ෂාව හා සමාජ සුරක්ෂනය කප්පාදුවට පොට පාදාගැනීම සඳහා දේශපාලන කොන්දේසි නිර්මානය කර ගැනීමටය. එසේම මෙම කප්පාදු "තර්කානුකූල” හා "මධ්‍යස්ථ” බව පෙන්වීමට ය.

අර්බුදය විසඳීම රිපබ්ලිකානුවන්ගේ පරාජයක් ලෙස වශයෙන් ඉදිරිපත් කෙරුන ද ඔවුහු තම න්‍යාය පත්‍රයේ සැලකිය යුතු කොටසක් සාක්ෂාත්කර ගත්හ. මීට පෙර ඇති කල අර්බුදයන් තුල දී මෙන් ම රිපබ්ලිකන් පක්ෂයේ අන්ත දක්ෂිනාංශය සාකච්ඡාව සඳහා රාමුව සකසන අතර ඩෙමොක්‍රටිකයන් රිපබ්ලිකනුවන්ගේ යෝජනා බොහොමයකට හෝ සියල්ලට ම හෝ එකඟවීමට එය අවස්ථාව කර ගන්නේය. ඒවා පිලිබඳව ඇත්තේ පුළුල් එකඟත්වයකි.

අවසානයේ දී, වොෂින්ටනය තුල කුමන දේශපාලන ගැටුම් පැවතුන ද වසා දැමීම සමග පටන් ගෙන 16දා ඇතිකරගත් ගිවිසුම සමග අවසන් වුන සිද්ධි මාලාවේ තීරනාත්මක ප්‍රශ්නය වූයේ: මූල්‍ය වෙලඳපොල පිලිගනු ඇත්තේ කුමක් ද? යන්න යි. නය සීමාව ඉක්මවා යාමට ආසන්න වීම හා එහි ගෝලීය ප්‍රතිවිපාක පිලිබඳව වෙලඳපොලේ භීතිය පලවීමත් සමග කොන්ග්‍රසය, ගිවිසුම වහා ම පිලගන්නා බව සහතික කලහ.

වසාදැමීමට තුඩු දුන් ආරම්භක ප්‍රශ්නය, එනම් ඔබාමා පාලනාධිකාරියේ සෞඛ්‍ය රැකවරන සැලැස්මට රිපබ්ලිකන් පක්ෂයේ "ටී පාටි” පාර්ශ්වයේ විරුද්ධත්වය, පසුබිම තුලට විය කී ගිය අතර දැන් එය අතහැර දමා ඇත. රිපබ්ලිකන් පක්ෂයේ සැලැස්මට විරුද්ධ වූ කොටස් සිටියේ නමුදු, එක්සත් ජනපද සංගත සංස්ථාපිතය අවසානයේ දී එයට සහාය දැක්වූහ. කම්කරුවන්ගේ සෞඛ්‍ය රැකවරන ප්‍රතිලාභ කැපීමේ යාන්ත්‍රනයක් ලෙස හා සෞඛ්‍ය ආරක්ෂාව සඳහා සැලැසුම් කෙරුනු පෞද්ගලීකකරන යෝජනා ක්‍රමයකට පූර්විකාවක් ලෙස ඔවුහු ඉතා නිවැරදිව එය දැක ගනිති.

අයවැය පිලිබඳ සමස්ත විවාදය පුරා පැවති ඉතා වැදගත් කාරනය, ජනතාවගේ අති විශාල බහුතරයකගේ මතය මුළුමනින් ම පසකට ලා තිබීම යි. මිලියන ගනනාවක් මහජනතාව දරිද්‍රතාවෙන් මුදා හරින, එක්සත් ජනපදය තුල ඉතා වැදගත් සමාජ වැඩසටහන් දෙක කප්පාදු කිරීමට දේශපාලන සංස්ථාපිතය කුමන්ත්‍රනයක යෙදී සිටින අතර මහා ව්‍යාපාරික පක්ෂ දෙක හෝ ජන සන්නිවේදන තුලින් ඒ පිලිබඳ ව හඬක්වත් නැගෙන්නේ නැත.

එක්සත් ජනපදය තුල පවතින මුළුමනින් ම පාහේ විකාර රූපී දේශපාලන හිදැස පිලිබඳ විශේෂයෙන් ම සිත්කාවදින එක් ප්‍රකාශනයකි මෙය. ඓතිහාසික අසමානතාව, වාර්තාගත සංගත ලාභ‍, ඇද වැටෙන වැටුප් හා කම්කරු පන්තියේ සෑම අයිතියක් මත ම සීමාරහිත ප්‍රහාරයක තත්වයන් යටතේ සංවිධානගත විරෝධයක් නොමැත. වෘත්තීය සමිති හා ඩෙමොක්‍රටික් පක්ෂය වටා කැරකෙන නොයෙකුත් සංවිධාන සිදුවන දෙයට විරුද්ධව කිසිවක් නො කරනවා පමනක් නො ව ඔවුහු වැඩපිලිවෙල තුල දී එයට හවුල් වෙති.

මෑත ම අයවැය අර්බුදය, මහජන අසහනයේ වර්ධනය හා දේශපාලන සංස්ථාපිතයෙන් දුරස්ථවීම තීව්‍ර කර ඇතිවා පමනි. මතුවෙන කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තිය ස්වාධීනව බලමුළු ගැන්වීමේ අවශ්‍යතාවය යි. නිල දේශපාලනය හා මහජනතාවගේ බහුතරයේ සැබෑ උත්සුකතාව අතර ඇති දේශපාලන අගාධය, සංගත, මූල්‍ය ප්‍රභූව හා කම්කරු පන්තිය අතර සමාජ අගාධයේ ප්‍රකාශනයකි. නමුත් මෙම සමාජ බෙදීම දේශපාලන රූපාකාරයක් සොයා ගත යුතු ය.

කප්පාදු දේශපාලනයට විකල්පය වන්නේ සමාජවාදය යි. වෝල් වීදියේ ඇද වැටීමෙන් වසර පහකට පසු ධනවාදයේ අර්බුදය පද්ධතිමය බව පැහැදිලිව ඇත. සියළු දෙය වනසමින් හා ඔර්ලෝසුව පරම්පරා ගනනක් ආපස්සට කරකවමින් පාලක පන්තිය, සිය පද්ධතිය ආරක්ෂා කිරීමට උත්සාහ ගැනීමත් සමග සමාජ ප්‍රතික්‍රියාවේ කාල පරිච්ඡේදයක් අරඹා ඇත. මෙම පද්ධතිය වෙනස් කල යුත්තේ මූල්‍ය ප්‍රභූවේ ලාභ හා සමෘද්ධිය නොව සමාජ අවශ්‍යතාවන්ට සේවය කරන සමාජයක් ස්ථාපනය කිරීම මගිනි.

ඇන්ඩ්‍රේ ඩිමෝන්

Share this article: