හතරවන ජාත්‍යන්තරයේ හැත්තෑපස් වසරක්

Seventy-five years of the Fourth International

ඬේවිඩ් නෝර්ත් විසිනි, 2013 සැප්තැම්බර් 4

මෙයට හැත්තෑපස් වසරකට පෙර, 1938 සැප්තැම්බර් 3 දා පැරිසියේ ප‍්‍රත්‍යන්තයෙහි පවත්වන ලද සම්මේලනයක දී හතරවන ජාත්‍යන්තරය ආරම්භ කරන ලදී. අතිශයින් අන්තරායකාරී ආරක්ෂක තත්වයන් නිසා සම්මේලනයේ වැඩ කටයුතු එක් දිනකින් සම්පූර්න කිරීමට සිදු විය. සම්මේලනයට පෙරාතු දොලොස්මස තුල ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය නිරන්තර සතුරු ප‍්‍රහාරයකට ලක්ව තිබුනි. ට්‍රොට්ස්කි එවකට පිටුවහල්ව ජීවත්වූයේ මෙක්සිකෝවෙහි වුව ද සෝවියට් සමාජවාදී සමූහාන්ඩු සංගමයේ ස්ටැලින්වාදී නිලධරය විසින් ඔහුව දක්නා ලද්දේ අතිශයින්ම භයානක දේශපාලන සතුරා ලෙස ය. 1927 දී සෝවියට් කොමියුනිස්ට් පක්ෂයෙන් පලවාහරිනු ලැබීමෙන් ද 1929 දී සෝවියට් සංගමයෙන් පිටිවහල් කරනු ලැබීමෙන් ද ඉක්බිති අවුරුදු දහය තුල ට්‍රොට්ස්කි විසින් නිර්මානය කරන ලද ජාත්‍යන්තර ව්‍යාපාරය වනසා දැමිය යුතු යයි ස්ටැලින් අධිෂ්ඨාන කර ගෙන සිටියේ ය.

ලියොන් ට්‍රොට්ස්කි

ට්‍රොට්ස්කි ගේ දේශපාලන ලේකම් කෙනෙකු වූ අර්වින් වුල්ෆ් සෝවියට් රහස් පොලිසියේ (ජීපීයූ) ඒජන්තයන් විසින් 1937 සැප්තැම්බරයේ ස්පාඤ්ඤයේ දී මරාදමනු ලැබීය. එම මාසයේ දී ම, ජීපීයූවෙන් බිඳී ට්‍රොට්ස්කි විසින් ගොඩ නගනු ලබන නව ජාත්‍යන්තරය ට සිය පක්ෂපාතිත්වය ප‍්‍රකාශ කල ඉග්නාස් රයිස් ස්විට්සර්ලන්තයේ ලොසේන්හි දී ඝාතනය කරනු ලැබී ය. 1938 පෙබරවාරියේ දී පැරිසියේ දී ව්‍යාපාරයෙහි යුරෝපයේ වැදගත් ම දේශපාලන නියෝජිතයා ද ට්‍රොට්ස්කිගේ වැඩිමහලු පුත‍්‍රයා ද වූ ලියොන් සෙඩොව් ජීපීයූව විසින් මරාදමන ලදී. 1938 ජූලියේ දී, සම්මේලනයට යන්තම් සති හයක් තිබිය දී - ව්‍යාපාරයේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ නායකයා වූ - රුඩොල්ෆ් ක්ලෙමන්ට් - පැරිසියේ ඔහු ගේ නිවසින් පැහැර ගෙන ගොස් මරාදමන ලදී.

සෙඩොව්, වුල්ෆ් සහ ක්ලෙමන්ට් සම්මේලනයේ ගෞරවනීය සභාපතිවරුන් ලෙස පත් කර ගන්නා ලද අතර ප‍්‍රන්ස ට්‍රොට්ස්කිවාදී පියරි නැවිල් මෙසේ දැනුම් දුනි, "ක්ලෙමන්ට් ගේ ඛේදජනක මරනය හේතු කොට ගෙන නිල වාර්තාවක් ඉදිරිපත් නොවනු ඇත: බෙදා හැරීම සඳහා ලියා සකස්කර ගන්නා ලද සවිස්තර වාර්තාවක් ක්ලෙමන්ට් අත තිබුනි: එහෙත් එය ඔහු අත තිබුනු සෙසු ලියවිලි ද සමග අතුරුදහන් විය. දැන් ඉදිරිපත් කරනු ලබන්නේ හුදෙක් සාරාංශයක් පමනි.”

සම්මේලනය පැවැත්වුනු නරකාදි තත්වය ජාත්‍යන්තර කම්කරු පන්තිය මුහුන දුන් දේශපාලන තත්වයේ පිලිබිඹුවක් විය. ජර්මනියේ සහ ඉතාලියේ ෆැසිස්ට් පාලනයෝ බලයේ සිටියහ. යුරෝපය යුද්ධයේ මුවවිට පසු විය. බි‍්‍රතාන්‍ය සහ ප‍්‍රන්ස අධිරාජ්‍යවාදය - ප‍්‍රාග් නුවර චෙකොස්ලෝවැකියානු ධනපති ආන්ඩුවේ ද සහයෝගයෙන් චෙකොස්ලොවැකියාව හිට්ලර්ට පාවාදුන් තුච්ඡ මියුනික් සාකච්චාව පැවැත්වුනේ මින් සති කිහිපයකට පසුව ය. ස්ටැලින්වාදී සහ අරාජකවාදී නායකයන් විසින් පාවාදෙනු ලැබූ ස්පාඤ්ඤ විප්ලවය දෑවුරුදු සිවිල් යුද්ධයේ අග දී පරාජය කරා වේගයෙන් ඇදවැටෙමින් තිබුනි. ප‍්‍රන්සයේ දී, 1936-38 මහජන පෙරමුනු ආන්ඩුව කම්කරු පන්තිය අධෛර්ය කිරීම සඳහා තමන්ට හැකි හැම දෙයක් ම කර තිබුනි. සෝවියට් සංගමය තුල 1936 දී ස්ටැලින් විසින් දියත් කරන ලද භීෂනය පැරනි බෝල්ශේවිකයන් පරම්පරාව සහමුලින්ම වනසා දමා තිබුනි, දෙවන අධිරාජ්‍යවාදී යුද්ධයක් ඇතිවීම වැලැක්වීම ට තිබුනු එකම මාර්ගය එනම්, කම්කරු පන්ති සමාජවාදී විප්ලවය ස්ටැලින්වාදීන්ගේ සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් ගේ පාවාදීම විසින් වලක්වාලන ලදී.

සම්මේලනයට සහභාගි වූ නියෝජිතයන් ඉදිරියේ තිබුනු ප‍්‍රධාන කර්තව්‍යය නම් ලියොන් ට්‍රොට්ස්කි විසින් කෙටුම්පත් කරන ලද ලියවිල්ලක් සම්මත කර ගැනීම යි. එහි මාතෘකාවේ වූයේ "ධනවාදයේ මර ලතෝනිය සහ හතරවන ජාත්‍යන්තරයේ කර්තව්‍යයෝ” යන්න යි. දේශපාලන සාහිත්‍යයේ ඉතිහාසයෙහි අතිශයින්ම අර්ථභාරි වූ ද ප‍්‍රගාඪ වූ ද එහි ආරම්භක වාක්‍යය මෙසේ ප‍්‍රකාශ කලේය: "සමස්ත ලෝක දේශපාලන තත්වය නිත්‍ය වශයෙන් ම නිර්ධන පන්ති නායකත්වයේ ඓතිහාසික අර්බුදයකින් සංලක්ෂිත වී ඇත.”

ට්‍රොට්ස්කි මෙම වාක්‍යයෙන් සාරාංශ කලේ හුදෙක් 1938 පැවැති තත්වය පමනක් නොව, නුතන ඉතිහාසයේ කේන්ද්‍රීය දේශපාලන ප‍්‍රශ්නය ද වේ. ධනවාදය සමාජවාදය විසින් විස්ථාපනය කිරීම සඳහා වෛෂයික පූර්වාවශ්‍යතා- එනම්, විප්ලවවාදී පන්තියක පැවැත්ම ද නිෂ්පාදන තාක්ෂනයේ ජාත්‍යන්තර වර්ධනය ද පවතී. එහෙත් විප්ලවය හුදෙක් වෛෂයික තත්වයන්ගේ සහ ආර්ථික කොන්දේසිවල ස්වයං සිද්ධ ඵලය පමනක් නො වේ. විප්ලවයේ ජයග‍්‍රහනය සඳහා සමාජවාදී ක‍්‍රියාමාර්ගයක් මත පදනම් වූ ද මැනවින් විස්තාරනය කරන ලද මූලෝපායික සැලසුමකින් සන්නද්ධ වූ ද කම්කරු පන්තිය විසින් ඉතිහාසයේ සන්තතියට දේශපාලන වශයෙන් දැනුවත් මැදිහත් වීමක් අවශ්‍ය කලේ ය. ධනේශ්වර පන්තිය පෙරලාදැමීමට යත්න දරන කම්කරු පන්තියේ විප්ලවවාදී දේශපාලනය ධනේශ්වර පන්තියේ දේශපාලනයට වඩා අඩු දැනුවත් කමකින් යුතු විය නොහැකි ය. විප්ලවවාදී පක්ෂයේ ඓතිහාසික අර්ථ භාරය පැවතියේ මෙහි ය.

එහෙත් 1917 ඔක්තෝබරයේ දී ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් නායකත්වය දෙනු ලැබූ රුසියානු කම්කරු පන්තිය ධනපති පන්තිය පෙරලා දමා ලෝකයේ ප‍්‍රථම කම්කරු රාජ්‍යය පිහිටුවා ලීම මගින් සාධනීයව විදහා දැක්වූනු විප්ලවවාදී පක්ෂයේ තීරනාත්මක ක‍්‍රියා කලාපය 1920-1930 ගනන්වල පරාජයන් විසින් නිෂේධනීයව තහවුරු කෙරිනි. කම්කරු පන්තියේ පක්ෂපාතිත්වය දිනාගෙන තිබුනු පෘථුල සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ කොමියුනිස්ට් (ස්ටැලින්වාදී) පක්ෂ වල දැනුවත් වැරදි පිලිවෙත් කම්කරු පන්තියට විප්ලවවාදී අවස්ථා ගනනාවක් නැතිකර දැමුවේ ය.

1914 තරම් ඈත දී දෙවන ජාත්‍යන්තරයේ සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂ ජාත්‍යන්තරවාදී ක‍්‍රියාමාර්ග අත හැර දමා තම පාලක පන්තීන්ගේ යුද පිලිවෙත්වලට සහය දීමත් සමග ඔවුන්ගේ දේශපාලන බංකොලොත් බව ද ප‍්‍රතිගාමී භූමිකාව ද එලිදරව් වී තිබුනි. සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පාවාදීමට එරෙහිව. තුන්වන කොමියුනිස්ට් ජාත්‍යන්තරය පිහිටුවන ලද්දේ ඔක්තෝබර් විප්ලවයෙන් ඉක්බිත්තේ ය.

එහෙත් සෝවියට් සංගමය තුල රාජ්‍ය නිලධරය වැඩී ඒම ද රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන පරිහානිය ද කොමියුනිස්ට් ජාත්‍යන්තරය කෙරේ ඉතා දුරදිග යන බලපෑමක් ඇති කලේ ය. රුසියානු කොමියුනිස්ට් පක්ෂයේ නිලධාරිකරනය ට එරෙහිව සටන් කිරීම සඳහා ට්‍රොට්ස්කිගේ නායකත්වයෙන් 1923 දී වාම විපාර්ශ්වය ගොඩනගනු ලැබ තිබුනි. එහෙත් සිය ආසක්තතා සහ වරප‍්‍රසාද උදෙසා කැප වූ නියෝජිතයෙකු ස්ටැලින්ගෙන් ලබා ගත් නිලධරය සිය මාක්ස්වාදී සතුරන්ට එරෙහිව ම්ලේච්ච ලෙස සටන් කලේ ය. 1924 දී ස්ටැලින් සහ බුඛාරින් ප‍්‍රකාශ කල "තනි රටක සමාජවාදය” පිලිබඳ වැඩ පිලිවෙල ලෙනින් සහ ට්‍රොට්ස්කි 1917 ඔක්තෝබරයේ දී බලය අල්ලා ගැනීමේ පදනම් වූ සමාජවාදී ජාත්‍යන්තරවාදය -එනම් නොනවතින විප්ලවය - පිලිබඳ ක‍්‍රියාමාර්ගය ප‍්‍රතික්ෂේප කලේ ය. ස්ටැලින් - බුඛාරින් වැඩ පිලිවෙල සෝවියට් නිලධරයේ ජාතික ආසක්තයන්ට ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතාවන් යටත් කිරීම සඳහා ප‍්‍රති මාක්ස්වාදී න්‍යායික යුක්තිකරනයක් සපයා දුනි.

මාක්ස්වාදී න්‍යායේ මෙම අතිමූලික සංශෝධනය තුන්වන ජාත්‍යන්තරයේ ද එහි අනුබද්ධ පක්ෂවල ද භාවිතාව කෙරේ කල බලපෑම ව්‍යසනකාරී විය. 1920 ගනන් වල දී මොස්කෝවේ පිලිවෙතට අනුගත වීම ප‍්‍රතික්ෂේප කල නායකයන් ජාතික කොමියුනිස්ට් පක්ෂවලින් නිලධාරිවාදී ලෙස ඉවත් කොට දමා ඒ වෙනුවට නැමෙන සුලු සහ අකාර්යක්ෂම කීකරුවන් පත් කැරිනි: ස්ටැලින් එන්න එන්නම වඩවඩාත් විවෘතව තුන්වන ජාත්‍යන්තරය ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂයක් ලෙස නොව සෝවියට් විදේශ පිලිවෙතේ උපකරනයක් ලෙස සලකන්නට පටන් ගති - ඔහු ඒ අනුව සැකසූ පිලිවෙත් විසින් අවමංගත කරනු ලැබු කොමියුනිස්ට් පක්ෂ ව්‍යසනයෙන් ව්‍යසනයටම ගමන් කලෝ ය. 1926 බි‍්‍රතාන්‍ය ජෙනරල් ස්ට‍්‍රයිකයේ ද ඉන් වසරකට පසු චීන විප්ලවයේ ද පරාජය තුන් වන ජාත්‍යන්තරයේ පරිහානියේ තීරක සැතපුම් කනු විය.

1928 දී මධ්‍යම ආසියාවේ අල්මා අටා වලට පිටුවහල් කරනු ලැබ සිටි ට්‍රොට්ස්කි The Draft Program of the Communist International: A Criticism of Fundamentals (තුන් වන ජාත්‍යන්තරයේ කෙටුම්පත් ක‍්‍රියාමාර්ගය: මූලධර්මයන් පිලිබඳ විවේචනයක්) නමැති කෘතිය එම සංවිධානයේ හයවන සමුලුව අද්දර දී සම්පාදනය කලේ ය. මෙම ලියවිල්ල වනාහි ඊට පෙර පස්වසර තුල කොමියුනිස්ට් පක්ෂ අත්කර ගත් පරාජයන්හි න්‍යායික සහ දේශපාලන හේතු වල සවිස්තර විදාරනයක් විය. ට්‍රොට්ස්කිගේ විවේචනයේ ප‍්‍රධාන ඉලක්කය වූයේ ස්ටැලින් -බුඛාරින් ගේ "තනි රටක සමජවාදය යි.” ඔහු මෙසේ ලිවීය:

අධිරාජ්‍යවාදයේ යුගය වන අපගේ යුගයේ දී, එනම්, මූල්‍ය ප‍්‍රාග්ධනයේ මහාධිපත්‍යය යටතේ සිදුවන්නා වූ ලෝක ආර්ථිකයේ සහ ලෝක දේශපාලනයේ යුගයේ දී එකදු කොමියුනිස්ට් පක්ෂයකට හෝ තමන්ගේ රටේ ම තත්වයන්, කොන්දේසි හා ප‍්‍රවනතාවන් පමනකට සීමාවී හෝ ප‍්‍රධාන වශයෙන් ඒවායින් අරඹා සිය ක‍්‍රියාමාර්ගය ස්ථාපනය කර ගැනීමට නො හැකි ය. සෝවියට් සංගමයේ දේශසීමාවන් තුල බලය දරා සිටින්නාවූ පක්ෂය සම්බන්ධයෙන් ද මෙය සාකල්‍යයෙන් ම සත්‍ය වේ. 1914 අගෝස්තු 4 දා, ජාතික වැඩ පිලිවෙල වල මල බෙරය සදහටම හැඬවිනි. යුගයේ ස්වභාවය ට සරිලන ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගයක් මත පමනි කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ට පදනම්වී ගත හැක්කේ. මේ වනාහි ධනවාදයේ ඉහල ම වර්ධනයේ ද බිඳ වැටීමේ ද යුගය යි. ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදී ක‍්‍රියාමාර්ගයක් වනාහි කිසි සේත්ම ජාතික ක‍්‍රියා මාර්ගයන්හි ඓක්‍යය හෝ එවායේ පොදු ලක්ෂනයන්හි ඓක්‍යය හෝ නො වේ. ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගය ඍජුව ම ප‍්‍රවිෂ්ට විය යුතු වන්නේ ලෝක ආර්ථිකයේ ද ලෝක දේශපාලන පද්ධතියේ ද තත්වයන් සහ ප‍්‍රවනතාවන් ද එහි සම්බන්ධතාවන් සහ ප‍්‍රතිඝතිතාවන් ද, එනම් එහි වෙන් වෙන් කොටස් වල අන්‍යෝන්‍ය ප‍්‍රතිවිරුද්ධ අන්තර් සම්බන්ධයන් ද සමස්තයක් වශයෙන් ගෙන කරන්නා වූ විශ්ලේෂනයකිනි. අතීතයේ දීට වඩා බෙහෙවින් වර්තමාන යුගයේ දී කම්කරු පන්තියේ ජාතික දිශානතිය ගලා ආ හැක්කේ ද ගලා ආ යුත්තේ ද ලෝක දිශානතියකිනි, අනෙක් පැත්තට නො වේ. කොමියුනිස්ට් ජාත්‍යන්තරවාදයේ ද සකල වර්ගයේ ජාතික සමාජවාදයන් ද අතර මූලික සහ ප‍්‍රාථමික වෙනස පවත්නේ මෙතැන්හි ය.

ලියොන් ට්‍රොට්ස්කි ලෝක දිශානතියක ප‍්‍රාථමිකත්වය ට දෙන කේන්ද්‍රීය වැදගත්කම ගලා ආවේ හුදෙක් පොදු න්‍යායික කාරනා නිසා පමනක් නොව, ප‍්‍රධාන අධිරාජ්‍ය බලවතා ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉස්මතු වීමේ භූගෝලීය ගම්‍යයන් පිලිබඳ 1923-24 ට්‍රොට්ස්කි වර්ධනය කලාවූ විශ්ලේෂනයෙන් ද වේ.

ට්‍රොට්ස්කි කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ සැසිවාරයට සම්බන්ධ වීමෙන්, වලකනු ලැබී ය. සියලුම කොමියුනිස්ට් පක්ෂ තුල ඔහුගේ ලිපි ලේඛන ඒවනවිටත් තහනම් කර තිබුනි. කෙසේ වෙතත්, කිසියම් අත්‍යසාමන්‍ය අහඹුවක් තුලින්, ට්‍රොට්ස්කිගේ විවේචනය ඉංග‍්‍රීසි බසට පරිවර්තිතව, ඇමරිකා එක්සත් ජනපදයේ කොමියුනිස්ට් පක්ෂයේ නියෝජිතයෙකු ලෙස හයවන සම්මේලනයට සම්බන්ධව සිටි ජේම්ස් පී. කැනන්ගේ අතට පත්විය. ට්‍රොට්ස්කිගේ විවේචනය ඒත්තු ගත් කැනන්, කැනේඩියානු නියෝජිත මොරිස් ස්පෙක්ටර්ගේ ආධාරයෙන් ලියවිල්ල සෝවියට් සංගමයෙන් පිටතට හොරෙන් ගෙන ආවේ ය. කැනන් මෙම මූලධර්ම විශ්ලේෂනය මත පදනම් ව, මැක්ස් ෂැට්මන්, මාටින් ඇබර්න්, සහ තවත් කොමියුනිස්ට් පක්ෂයේ ප‍්‍රධාන සාමාජිකයන් ද සමග එකතුව ට්‍රොට්ස්කි ගේ අදහස් සඳහා සටන සෝවියට් සංගමයෙන් පිටතට ද ගෙන ගියේය. වැඩි කල් යන්න මත්තෙන් කොමියුනිස්ට් පක්ෂයෙන් පලවාහරිනු ලැබූ කැනන් ජාත්‍යන්තර වාම විපාර්ශවය පැන නැංවීමේ ලා තීරනාත්මක ක‍්‍රියාකලාපයක් ඉටු කල ඇමරිකාවේ කොමියුනිස්ට් ලීගය ගොඩනැගී ය.

1923 වාම විපාර්ශවය ගොඩ නගන ලද කල්හි එහි අරමුන වූයේ විප්ලවවාදී ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගය මත පදනම්ව කොමියුනිස්ට් පක්ෂය ප‍්‍රතිසංස්කරනය කිරීම සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදී මධ්‍යගතවාදයේ මූලධර්ම මත පක්ෂය තුල විවෘත විවාදය යලි ස්ථාපනය කිරීම ය. ජාත්‍යන්තර වාම විපාර්ශවය පිහිටුවීමත් එයට ලෝකය පුරාම වේගවත්ව අනුගාමිකයන් දිනාගනු ලැබීමත් සමග ට්‍රොට්ස්කි කොමියුනිස්ට් ජාත්‍යන්තරය ප‍්‍රතිසංස්කරනය කිරීම ඉටු කර ගැනීමට උත්සාහය ඇරඹී ය. ස්ටැලින්ගේ ව්‍යසනදායක පිලිවෙත් සෝවියට් කොමියුනිස්ට් පක්ෂය සහ තුන්වන ජාත්‍යන්තරය තුල වර්ධනය වන විරුද්ධත්වය මගින් පෙරලා දැමිය හැකියයි සිතූතාක් ට්‍රොට්ස්කි නව ජාත්‍යන්තරයක් සඳහා කැඳවීමක් කලේ නැත.

1930 සහ 1933 අතර ජර්මනියේ තත්වය ට්‍රොට්ස්කි ගේ අවධානයේ බරපතල තැනක් ඉසිලී ය. 1929 වෝල් වීදියේ බිඳවැටීම ඉක්බිත්තේ ජර්මන් ආර්ථිකය බිඳවැටීමත් සමග හිට්ලර් ගේ ජාතික සමාජවාදී (නාසි) පක්ෂය පුලුල් බලවේගයක් ලෙස පැනනැගුනි. හිට්ලර් බලයට ඒ ද නැති ද යන්න රැඳී පැවැත්තේ ජර්මන් කම්කරුවන්ගේ මහා සංවිධාන දෙකේ, එනම් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (එස්.පී.ඩී.) සහ කොමියුනිස්ට් පක්ෂය (කේ.පී.ඩී) යන දෙකේ පිලිවෙත් උඩ ය. මේ පක්ෂ දෙකට ජර්මන් කම්කරුවන් මිලියන ගනනකගේ පක්ෂපාතිත්වය තිබුනි. නාසීන් පරාජය කිරීමේ බලය තිබුනේ ඔවුන්ට ය.

තුර්කියේ වෙරලට ඔබ්බෙන් පිහිටි ප‍්‍රින්කිපෝ දිවයිනට පිටුවහල් කරනු ලැබූ ට්‍රොට්ස්කි ජර්මන් අර්බුදය විග‍්‍රහ කරමින්, හිට්ලර් බලයට පත්වීම වැලැක්වීම සඳහා කම්කරු පන්තික පක්ෂ දෙක එක්සත් ක‍්‍රියාවේ යෙදිය යුතුය කියා සිටිමින්, ලේඛන සම්භාරයක් සම්පාදනය කලේ ය. එහෙත් ධනේශ්වර රාජ්‍යයට යටත් වූ ද කම්කරු පන්තියේ මොනම ස්වාධීන ක‍්‍රියාවකට වුව සතුරු වූ ද සමාජ ප‍්‍රජාතන්ත‍්‍ර පක්ෂය (එස්පීඩී) නාසින්ට එරෙහිව ආරක්ෂක අරගලයකට හෝ කිසි සේත් ම සුදානම් වූයේ නැත. ඒ වෙනුවට, ජර්මානු කම්කරු පන්තියේ ඉරනම හිට්ලර් බලයට පත් කිරීමට අරඅඳිමින් සිටි වයිමර් සමූහාන්ඩුවේ දූෂිත අපරාධකාරී දේශපාලනඥයන් අත තැබීමට ය, එස්පීඩීයට අවශ්‍ය වූයේ. කොමියුනිස්ට් පක්ෂය (කේපීඩී) සම්බන්ධයෙන් ගතහොත් එය කලේ එස්පීඩී ය "සමාජ ෆැසිස්ට්වාදීය” - නාසි පක්ෂයේ දේශපාලනයට සමාන යයි මොස්කව් විසින් පනවන ලද නිගමනයට අන්ධව එකඟ වීම ය. ස්ටැලින්වාදීහු හිට්ලර් ට එරෙහි කේපීඩී සහ එස්පීඩී පක්ෂවල එක්සත් පෙරමුනක් සඳහා ට්‍රොට්ස්කි ගේ කැඳවුම ප‍්‍රතික්ෂේප කලහ. ස්ටැලින්වාදීහු ලෝක ඉතිහාසයේ සාවද්‍ය දේශපාලන ගනන් බැලීම් අතර අතිශයින්ම විනාශකාරී එකක් යයි සැලකිය යුතු - තමන්ගේ ම අකර්මන්‍යතාව යුක්තිසහගත කරන්නාවූ - පෙරදැක්මක් "හිට්ලර්ට පසුව අපි” යන සුත‍්‍රයක් මගින් - හිට්ලර් බලයට පත් ව වැඩිකල් යාමට පෙර සමාජවාදී විප්ලවය එලඹෙනු ඇති යයි කියා සිටියෝ ය.

ඛේදජනක විපාකය 1933 ජනවාරි 30 දා එලඹුනි. වයසක ජනාධිපති වොන් හින්ඩන්බර්ග් විසින් චාන්සලර් (අගමැති) ධුරයට පත් කරන ලදුව හිට්ලර් නීත්‍යානුකුලව ම එකදු වෙඩිල්ලකින් හෝ තොරව බලයට පත් විය. නාසි ජයග‍්‍රහනය වැලක්වීම සඳහා දස ලක්ෂගනන් සාමාජිකයන් සිටි එස්පීඩීය හෝ කේපීඩී කිසිවක් කලේ නැත. රාජ්‍ය යන්ත‍්‍රය සියතට ගත් නාසීහු දින ගනනාවක් ඇතුලත භීෂනය ම ආරම්භ කලෝ ය. මාස ගනනාවක් ඇතුලත එස්පීඩී කේපීඩී සහ වෘත්තීය සමිති ද අනෙකුත් සියලු පලල් ජන සංවිධාන ද කුඩු කර දමන ලදී. යුරෝපයේ යුදෙව් ජනයාගේ අති මහත් බහුතරය ද ඇතුලත් මිලියන සංඛ්‍යාත ජනයාට ජීවිත අහිමි කල දොලොස් වසරක හීෂනය දියත් විය.

හිට්ලර් බලයට පත්ව මාස ගනනාවක් ගතවෙන තුරු ට්‍රොට්ස්කි ජර්මන් ව්‍යසනය හෝ කේපීඩීයේ සුන් බුන් තුලින් වත් තුන් වන ජාත්‍යන්තරය තුලින් වත් කුමන හෝ විරුද්ධත්වයක් මතුවේ දැයි බැලී ය. සිදු වුයේ එහි ප‍්‍රතිවිරුද්ධය යි. ජර්මනිය තුල හා ජාත්‍යන්තරය තුල ස්ටැලින්වාදී සංවිධාන සෝවියට් නිලධරය විසින් පනවනු ලැබූ දේශපාලන පිලිවෙතේ නිවැරදි බව යලි තහවුරු කලෝ ය.

තුන්වන ජාත්‍යන්තරය ප‍්‍රතිසංස්කරනය කිරීම සඳහා ඉඩක් ඉතිරිව නැති බව ජර්මනියේ විපාකය විසින් ට්‍රොට්ස්කිට තහවුරු විය. එහෙයින් 1933 ජුලි මස ට්‍රොට්ස්කි හතරවෙනි ජාත්‍යන්තරය ගොඩ නැගිය යුතු ය යන ප‍්‍රසිද්ධ කැඳවීම කලේ ය. තුන්වන ජාත්‍යන්තරය පිලිබඳව පිලිවෙතේ මෙම අතිමූලික වෙනස ට්‍රොට්ස්කි තවත් නිගමනයකට එළඹ විය. කොමියුනිස්ට් ජාත්‍යන්තරය ප‍්‍රතිසංස්කරනය කිරීමේ ද හැකියාව තවදුරටත් නො පවතී. සෝවියට් සංගමය සම්බන්ධයෙන් ප‍්‍රතිසංස්කරනයන් පිලිබඳ පිලිවෙත ද තව දුරටත් වලංගු නැත. ස්ටැලින්වාදී නිලධරයේ පිලිවෙත් වෙනස් කිරීම කල හැකි එකම මග නම් කම්කරු පන්ති විප්ලවය මගින් එය පෙරලා දැමීම යි, මෙම පෙරලා දැමීම යොමුවනු ඇත්තේ 1917 ඔක්තෝබරයෙන් ඉක්බිත්තේ පිහිටුවන ලද දේපල ක‍්‍රමය ආරක්ෂා කිරීමට මිස එය පෙරලා දැමීමට නො වේ. ට්‍රොට්ස්කි විසින් නිර්දේශිත විප්ලවය සමාජමය ස්වභාවයකින් නොව දේශපාලන ස්වභාවයක් උසුලනු ඇත.

1933 සහ 38 අතර වර්ෂවල සිද්ධීහු ට්‍රොට්ස්කිගේ නව පිලිවෙත නිවැරදි බව තහවුරු කලෝ ය. හිට්ලර් බලයට පැමිනීමෙන් පසු පස් වසර තුල ජාත්‍යන්තර කම්කරු පන්ති ව්‍යාපාරය තුල අතිශයින්ම භයානක ප‍්‍රතිවිප්ල්වවාදී බලවේගය ලෙසට ස්ටැලින්වාදය ඉස්මතු විය. ක්‍රෙම්ලින් නිලධරයේ පිලිවෙත් විසින් ජනිත කෙරන පරාජයන් වනාහි අත් වැරදීම්වල විපාක නොව දැනුවත් පිලිවෙත් වල ප‍්‍රතිපල ය. කිසියම් රටක සමාජ විප්ලවය ලබා ගන්නා සාර්ථකත්වය සෝවියට් කම්කරු පන්තියේ විප්ලවවාදී උද්වේගය යලිනැගී ඒමට ආස්වාදය සපයනු ඇත යි ස්ටැලින්වාදී තන්ත‍්‍රය බියපත් විය.

ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරය නිලවශයෙන් පිහිටුවාලීම සඳහා ක‍්‍රමානුකුලව වැඩ කරන කල්හි ප‍්‍රධාන විපක්ෂ දෙකකට මුහුන දුන්නේය.

ඉන් ප‍්‍රථම එක වූයේ කම්කරු පන්තියේ ජාත්‍යන්තර අත්දැකීමෙන් ද ස්ටැලින්වාදයේ සහ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ පාවාදීම තුලින් ද කිසිදු මූලධාර්මික නිගමනයක් කරා එලඹීමට සුදානම් නැති ප‍්‍රවනතා සහ පුද්ගලයන් ය. ට්‍රොට්ස්කිගේ විශ්ලේෂනයේ ඒ හෝ මේ අංගයට ඉඳහිට හිතවත් බව හෝ එකඟත්වය පවා ප‍්‍රකාශ කරනාතර, ඔවුහු නව ජාත්‍යන්තරයක් සඳහා අරගලයට තමන් ද තම සංවිධාන ද කැප කිරීම ප‍්‍රතික්ෂේප කලෝ ය. මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, මෙම ප‍්‍රවනතා - ට්‍රොට්ස්කි ඒවා නම් කලේ "මාධ්‍යමික” යනුවෙනි - විප්ලවය සහ ප‍්‍රතිවිප්ලවය අතර මැද්දේ ඉඩක් සෙවූ හ. ඔවුන්ගේ අප‍්‍රතිපත්තික දේශපාලන උපමාරු දැමීම යට පැවතුනේ දැඩි අවස්ථාවාදී ගනන් බැලීම් ය. ජාත්‍යන්තර ක‍්‍රියාමාර්ගය සහ මූලධර්ම විසින් ඔවුන්ගේ ජාතික උපාය උල්ලංඝනය කිරීම වැලැක්වීමට ඔවුහු අධිෂ්ඨාන කර ගෙන සිටියාහ. මෙම වර්ගයේ ජාතික අවස්ථාවාදය නිරූපනය කල පක්ෂ නම්: ජර්මානු සෝෂලිස්ට් ව’කර්ස් පාටි (එස්ඒපී), ස්පාඤ්ඤ මාක්ස්වාදී එක්සත් පක්ෂය (පිඕයූඑම්), බි‍්‍රතාන්‍ය ඉන්ඩිපෙන්ඩන්ට් ලේබර් පාටි (අයිඑල්පී) යන මේවා ය. ෆෙනර් බ්‍රොක්වේ (පසුව ලෝර්ඩ් බ්‍රොක්වේ) නායකත්වය දුන් ඊනියා ලන්ඩන් බියුරෝව පිහිටුවීමේ ලා මුඛ්‍ය ක‍්‍රියාකලාපයක් ඉටු කලේ ය.

හතරවන ජාත්‍යන්තරය ගොඩනැගීමට එරෙහි දෙවන තර්කය වූයේ එය ප‍්‍රකාශයට පත්කර ඇත්තේ තත්වය මෝරන්න පෙර ය යන්න ය. ඔවුහු ජාත්‍යන්තරයක් පැනනැගිය හැකි වන්නේ "මහා සිද්ධීන්” තුලින් පමනක් යයි තර්ක කලෝය. ආරම්භක සම්මේලනයේ දී මෙම අදහස ඉදිරිපත් කරන ලද්දේ කාර්ල් යන නමින් වාර්තාවේ හැඳින්වුනු පෝලන්ත නියෝජිතයා විසිනි. "අත්‍යන්ත ප‍්‍රතිගාමිත්වයේ සහ අවපාතයේ තත්වයන් වනාහි හතර ප‍්‍රකාශයට පත් කිරීම් සඳහා සාකල්‍යයෙන්ම අවාසි සහගහ වූ තත්වයන් ය”යි ඔහු කීය. "සසඳා බලන කල්හි හතර සමන්විත ව ඇති බලවේග එහි කර්තව්‍යයන් ගේ පරිමාවට නොසරිලන සේ කුඩා ය.” එහෙයින්, "වාසි සහගත තත්වයන් උදාවන තෙක් ඉවසා සිටිය යුතු ය තත්වය මෝරන්න පෙර හදිසි නොවිය යුතුය.”

හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලියවිල්ල සකසද්දී ම, ට්‍රොට්ස්කි පෝලන්ත නියෝජිතයාගේ ඉහත තර්ක පූර්ව ඛන්ඩනය කර තිබුනි:

සංශයවාදීහු අසති: එහෙත් හතරවන ජාත්‍යන්තරය නිර්මාණය කිරීමට මොහොත තව මත් එළඹී ඇද්ද? ඔවුහු මෙසේ ද කියති: ජාත්‍යන්තරයක් "කෘතීම ලෙස” නිර්මාණය කල නො හැකි ය; එය මතු වී ආ හැක්කේ දැවැන්ත සිදුවීම් තුළින් පමණ ය; යනාදී වශයෙන් මේ විරෝධයන්ගෙන් පෙනී යන එකම දෙය නම් නව ජාත්‍යන්තරයක් ගොඩ නැංවීම සඳහා සංශයවාදීන් කමකට නැති බව පමණ ය. ඔවුන් කිසි කවර දෙයක් සඳහා වත් කමකට නැත.

හතර වන ජාත්‍යන්තරය දැනට මත් දැවැන්ත සිදුවීම් තුලින් මතුවී ඇවිත් ඇත: එනම්, ඉතිහාසයේ සිදුවූ නිර්ධන පන්තියේ දැවැන්ත ම පරාජයන් තුළිනි. මෙම පරාජයන්ට හේතුව දැකිය හැක්කේ ජරපත් නායකත්වයේ පරාභවයෙහි හා ද්‍රෝහිත්වයෙහි ය. පන්ති අරගලය අතරමග විච්ෙඡ්දනක් උසුලන්නේ නැත. දෙවෙනි ජාත්‍යන්තරයට පසුව තුන් වැනි ජාත්‍යන්තරය විප්ලවයේ අරමුණු සඳහා මිය ගොස් ඇත. හතර වන ජාත්‍යන්තරය චිරා කල් දිනේවා.!

1938 ඔක්තෝබරයේ දී, ට්‍රොට්ස්කි හතරවෙනි ජාත්‍යන්තරය ආරම්භ කිරීම පිලිබඳව, උද්වේගවත් දේශනයක් තැටි ගත කරමින් මෙසේ ප‍්‍රකාශ කලේ ය:

ආදරනීය සහෝදරවරුනි, අපි අන් පක්ෂයක් බඳු පක්ෂයක් නො වෙමු. අපගේ අභිලාෂය වන්නේ වැඩි සාමාජික සංඛ්‍යාවක් නො වේ, වැඩි පුවත්පත් සංඛ්‍යාවක් නො වේ, අපගේ අභිලාශය වන්නේ භාන්ඩයෙහි වැඩි මුදලක් නො වේ, වැඩි ම මන්ත‍්‍රීවරුන් සංඛ්‍යාවක් නො වේ. මේ සියල්ල අවශ්‍ය ය. එහෙත් උපකරන ලෙස පමනි. අපගේ අරමුන වන්නේ සමාජවාදී විප්ලවය මගින් වැඩ කරන ජනතාව සහ සූරාකනු ලබන ජනතාව විමුක්ත කර ගැනීම ය. අප හැර අන් කවරෙකුත් එය සුදානම් කරනු නැත, අප හැර අන් කවුරුත් හෝ එය මෙහෙයවනු නැත. පැරනි ජාත්‍යන්තර - දෙවැන්න, තුන්වැන්න, සහ ඇම්ස්ටඩම් ජාත්‍යන්තරය හා දැන් අප විසින් ඒ ගනයට ම දැමිය යුතු ලන්ඩන් බියුරෝව - මුල සිට අගටම කුනුවී තිබේ.

මානව වර්ගය මතට දුව එන මහා සිද්ධීන් මෙම සංවිධානවල එක ගලක් මත තවත් ගලක් ඉතුරු නොකරනු ඇත. හතරවෙනි ජාත්‍යන්තරය ම පමනක් අනාගතය දෙස විශ්වාසයෙන් යුතුව බලන්නේ ය. එය සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයයි! මේ මිහිපිට මෙයට වඩා සුවිසල් කර්තව්‍යයක් තිබුනේ නැත. අනාගතයේ දී ඇතිවන්නේ ද නැත. අප උරහිස් මත යෝධ ඓතිහාසික වගකීමක් රැඳී පවතී.

ශතවර්ෂයකින් හතරෙන් තුනක් විසින් ලබාදී ඇති ඉදිරිදර්ශනය තුලින් දැන් අපට ට්‍රොට්ස්කි ගේ ඇගයීම ඉතිහාසය විසින් සනාථ කරනු ලැබී ද නැත් ද යන්න මිනිය හැකිය. ට්‍රොට්ස්කි විසින් දේශපාලන ව්‍යසනයට ඇදවැටෙනු ඇති යයි පෙර දක්නා ලද පැරනි - ස්ටැලින්වාදී, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී, සහ මාධ්‍යමිකවාදී සංවිධාන වලින් ඉතිරිව ඇත්තේ කුමක් ද? දෙවන ජාත්‍යන්තරය පවතින්නේ සීඅයිඒ සහ වෙනත් රාජ්‍ය සංවිධානවල කම්කරු පන්ති-විරෝධී මෙහෙයුම් හා කුමන්ත‍්‍රනවල කේන්ද්‍රයක් හැටියට පමනි. තුන්වන ජාත්‍යන්තරය ස්ටැලින් විසින් 1943 දී නිලවශයෙන් විසුරුවාලන ලදී. ලෝකය පුරාම ස්ටැලින්වාදී පක්ෂ තවත් දශක කිහිපයක් ක්‍රෙම්ලින් නිලධරයා වටා භ‍්‍රමනය වෙමින් පැවතුන ද, ඒ 1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම ඔවුන් ඉතිහාසයේ කුනු කූඩයට ඇද දමන තෙක් පමනි.

නැත, අපි අතිශයෝක්ත නො කරමු. රුසියානු කොමියුනිස්ට් පක්ෂය, පමනින් බොහෝ කුදු ව ගිය ද තවමත් පවතී. එය රුසියානු ජාතිකවාදීන් ද ෆැසිස්ට්වාදීන් ද සමග එක්ව මොස්කව්හි පෙලපාලි දක්වයි. ඔවුහු ස්ටැලින්ගේ රූප සහිත දැන්වීම් පුවරු ස්වස්තිකය සහිත ධජ සමග එක ලඟින් ගෙන යති. චීනයේ ‘කොමියුනිස්ට් පක්ෂයක්’ බලයේ සිටින බව සැබැවි. ලෝකයේ දෙවන විශාල ධනේශ්වර ආර්ථිකය පාලනය කරන ඔවුන්ගේ පොලිස් රාජ්‍යය ඇමරිකා එක්සත් ජනපදයේ ද යුරෝපයේ ද ජාත්‍යන්තර මහා සංගත චීන කම්කරු පන්තියෙන් උකහා ගන්නා සුපිරි ලාභ එම සංගතයන්ට ලබාදීම සහතික කරයි.

එකම විප්ලවවාදී සංවිධානය වන හතරවන ජාත්‍යන්තරය ඉතිහාසයේ මෙතරම් දිගු සමයක ගල් සහ වැලි වැටි ද රල පහර ද සාර්ථකව තරනය කොට අවුත් ඇත. සත්තකින්ම, එය උග‍්‍ර දේශපාලන අරගල හා භේද පසුකරවුත් ඇත. එම අභ්‍යන්තර ඝට්ටනයන් පිලිබිඹු කලේ ජාත්‍යන්තරව නිරන්තරයෙන් පරිවර්තනය වන්නාවූ සමාජ-ආර්ථික සම්බන්ධතාවන් තුලදී පන්ති අරගලයේ ම දුෂ්කරත්වයන් ද මෙම වෙනස තුල කම්කරු පන්තියේ පමනක් නොව මධ්‍යම පන්තියේ විවිධ ස්තරයන් තුල ද පිලිබිඹු වන පරිවර්තනයන් ද වේ.

යටගිය සහ ව්‍යාජ වාම ශාස්ත‍්‍රාලිකයන්ගේ කාඩිය තුල නිතර ගොජ දමන දේශපාලන නරුමයෝ හතරවන ජාත්‍යන්තරයේ භේද ගැන ඇඟිලි දික්කිරීමට කැමති වෙති. අවුරුද්දෙන් අවුරුද්ද තමන් ඡන්දය දෙන ධනේශ්වර පක්ෂවල අපරාධවලට නිසලව යටත්වෙන මේ උදවිය දේශපාලනයේ පන්ති ගතිකය ගැන වටහා ගන්න දෙයක් නැත. කවුරු හෝ කොතන හෝ ප‍්‍රතිපත්ති පිලිබඳ ප‍්‍රශ්නයක දී අධිෂ්ඨාන සහගත, සම්මුති විරහිත දේශපාලන අරගලයක් කරන්නේ මන්ද යන්න ද මෙම පුද්ගලයන්ට පෞද්ගලිකව තේරුම් ගැනීම කල නොහැක්කකි.

1953 නොවැම්බරයේ දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවා වසර 15 කට පසු ස්ටැලින්වාදයට පක්ෂ ප‍්‍රවනතාවයක් ජාත්‍යන්තරය තුල පැන නැගීම පන්ති දිශාවනතියේ අති මූලික ප‍්‍රශ්න ද ඓතිහාසික ඉදිරිදර්ශනය ද දේශපාලන මූලෝපාය ද අලලා ගත් භේදයක් ජනනය කලේ ය.

ධනවාදයේ පශ්චාත් යුද්ධ ස්ථායිකරනය, ස්ටැලින්වාදී නිලධරයට එකල ඉතුරුව තිබුනු දේශපාලන බලපෑම සහ වැඩෙන මධ්‍යම පන්තියක ඉහල යන දේශපාලන ස්වයං විඥානය මෙම අලූත් වර්ගයේ අවස්ථාවාදයේ වර්ධනයට හේතු විය. මෙම නව අවස්ථාවාදය, (එහි ප‍්‍රසිද්ධ ම කථකයා වූ මයිකල් පැබ්ලෝ අනුව) පැබ්ලෝවාදය යන නමින් හඳුන්වනු ලැබේ. සෝවියට් නිලධරය ද ස්ටැලින්වාදය ද ප‍්‍රතිවිප්ලවවාදී ය යන ට්‍රොට්ස්කි ගේ නිගමනය ප‍්‍රතික්ෂේප කල එය සමාජවාදී විප්ලවය දැක ගන්නා ලද්දේ නිලධරය ද එහි අනුබද්ධ ස්ටැලින්වාදී පක්ෂ ද විසින් නායකත්වය දෙනු ලැබූ විප්ලවයන් මගින් ශතවර්ෂ ගනනාවක් තිස්සේ දිගහැරෙන බවය. එය න්‍යෂ්ටික යුද්ධයක් විසින් සමාජවාදී විප්ලවයට දොර හැරදෙනු ඇති බවක් කියන තරමට ම දුර ගියේ ය. පැබ්ලෝවාදී න්‍යාය ට්‍රොට්ස්කිගේ මතයට එරෙහිව විශේෂයෙන්ම "තුන්වන ලෝකයේ” රටවල විවිධ ජාතික ධනපති පන්තික සහ සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපරවලට ද විප්ලවීය ශක්‍යතා පැවරී ය.

පැබ්ලෝ ගේ සංශෝධනවාදය විසින් මාක්ස්වාදී න්‍යාය ද ට්‍රොට්ස්කිවාදී ඉදිරිදර්ශනය ද ප‍්‍රතික්ෂේප කරලීමේ සාරභූත අන්තර්ගතය වූයේ සමාජවාදී විප්ලවය තුල කම්කරු පන්තියේ භූමිකාව ප‍්‍රතික්ෂේප කිරීම යි. පැබ්ලෝවාදී අවස්ථාවාදයේ දේශපාලන තර්කනය, පරාජය කරනු නොලැබුව හොත්, හතරවන ජාත්‍යන්තරය විප්ලවවාදී කම්කරු පක්ෂයක් හැටියට පැවැත්ම අවසන් කරනු ඇති බව වටහා ගනිමින් එයට විරුද්ධව සටන් කිරීම සඳහා ජාත්‍යන්තර කමිටුව ජේම්ස් පී. කැනන් ගේ ආරම්භකත්වයෙන් 1953 දී පිහිටුවනු ලැබිනි.

හතරවන ජාත්‍යන්තරය තුල පැබ්ලෝවාදී සංශෝධනවාදයේ බලපෑමට එරෙහිව දේශපාලන අරගලය අවුරුදු තිහක් තිස්සේ ඇවිල ගියේ ය. මෙම අරගලය සාර්ථක නිමාවකට ගෙන එනු ලැබූයේ 1985 දී ජාත්‍යන්තර කමිටුව තුල වූ සාධාර්මික ට්‍රොට්ස්කිවාදීන් හතරවන ජාත්‍යන්තරයේ දේශපාලන නායකත්වය දිනාගත් කල්හි ය. වෛෂයික සාධකයන් වූයේ ගෝලීය ධනවාදයේ ගැඹුරුවන්නා වූ අර්බුදය, ස්ටැලින්වාදී නිලධරයේ ගැඹුරු අර්බුදය සහ ජාතික ප‍්‍රතිසංස්කරන ක‍්‍රියාමාර්ගය මත පදනම් වූ සකල කම්කරු සංවිධානවල සුපැහැදිලි බංකොලොත් බව මෙම ජයග‍්‍රහනයට ප‍්‍රතිපදායක විය.

එතෙකුදු, මේ වෛෂයික කොන්දේසි ම පමනක් සෑහෙනු නැත. සංශෝධනවාදීන් ද අවස්ථාවාදීන් ද පරාජය කිරීම හතරවන ජාත්‍යන්තරයේ සාධාර්මික ට්‍රොට්ස්කිවාදීන් ට ඉටු කරගත හැකි වූයේ ඔවුන් සිය වැඩ කටයුතු ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය ගැබ් කරගත් යෝධ දේශපාලන සහ න්‍යායික උරුමය මත සිය වැඩකටයුතු දැනුවත්ව පදනම් කරගත් හෙයිනි. දශක ගනනාවක් තිස්සේ වර්ධනය කරනු ලැබූ මෙම උරුමය දේශපාලන ශක්තියේ සාරවත් උල්පතක් විය. අවසාන විග‍්‍රහයේ දී ලෝක ධනවාදයේ අර්බුදයේ ද පන්ති අරගල යේ ද වර්ධනය විකසනය වූයේ ට්‍රොට්ස්කි සහ හතරවන ජාත්‍යන්තරය වර්ධනය කලාවූ ඉදිරිදර්ශනයට අනුව ය.

තව අවුරුදු හැත්තෑ පහක් - සියවසකින් හතරෙන් තුන්පන්ගුවක් - වනාහි සැලකිය යුතු කාල පරිච්ෙඡ්දයකි. පැහැදිලිව ම හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක සම්මේලනයේ පටන් බොහෝ දේ වෙනස් වී තිබේ. එහෙත් ධනේශ්වර සමාජයේ මූලික ව්‍යුහයන් ද ප‍්‍රතිඝතිතා ද පවතිත්. කොතරම් තාක්ෂනික නව්‍ය සොයාගැනීම් පැවතිය ද නූතන ධනවාදය මුහුන දී සිටින තත්වය 1938 තිබුනු තත්වයන් ට වඩා නො අඩු ලෙස අපේක්ෂා භංගයේ වෙලී ඇත. ට්‍රොට්ස්කි හතරවන ජාත්‍යන්තරයේ ආරම්භක ලේඛනය කෙටුම්පත් කරද්දී, ලෝක ධනේශ්වරය අවිසර්ජනීය ආර්ථික අර්බුදයකට මුහුන දී පැවතියේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත් හරිමින් ද යුද්ධය කරා වේගයෙන් දුවමින් ද සිටියේ ය. අද අප හතරවන ජාත්‍යන්තරයේ හැත්තෑපස් වසර සමරන කල්හි ගෝලීය ධනවාදය ...ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත් හරිමින් ද යුද්ධය කරා වේගයෙන් දුවමින් ද සිටින්නේ ය.

වසර 75කට පෙර ට්‍රොට්ස්කි විසින් ලියන ලද වදන් අද ද අත්‍යසාමන්‍ය, ආසන්න භාවයක් දරා සිටි:

සමාජවාදය සඳහා තවමත් ඓතිහාසික තත්වයන් "මෝරා” නැතැයි කරන සියලු දෙඩවිලි අඥත්වයේ නැතහොත් දැනුවත් වංචාවේ නිෂ්පාදිත යි. නිර්ධන පන්ති විප්ලවය සඳහා වෛෂයික පූර්වාවශ්‍යතා "මෝරා” ඇතුවා පමනක් නො ව, තරමක් දුරට කුණු වන්ට ද පටන් ගෙන ඇත. යටත් පිරිසෙයින් මීලඟ ඓතිහාසික යුගයේ දී සමාජවාදී විප්ලවයක් නො සිදු වුව හොත් මානව වර්ගයාගේ මුළු මහත් සංස්කෘතියට ම මහා විනාශයක් එල්ල වන්නේ ය. දැන් වාරය නිර්ධන පන්තියට යි; එනම්, ප‍්‍රධාන වශයෙන් ම එහි විප්ලවවාදී පෙර ඇණියට යි. මානව වර්ගයාගේ ඓතිහාසික අර්බුදය විප්ලවවාදී නායකත්වයේ අර්බුදය බවට සිඳී ඇත්තේ ය.

Share this article: