ශ‍්‍රී ලංකාවේ සිවිල් යුද්ධය ඇරඹි තැන් පටන් තිස් වසරක්

Thirty years since the start of Sri Lanka’s civil war

විලානි පීරිස් හා රොහන්ත ද සිල්වා විසිනි, 2013 අගෝස්තු 07

මෙහි පල වන්නේ 2013 අගෝස්තු 07දා ලෝසවෙඅ පලවූ ලිපියේ අනුවාදයයි.

පසු ගිය ජූලි මාසයේ අවසාන සතිය සලකුනු කලේ, අවුරුදු 26ක වාර්ගික යුද්ධයක් ගිනි ඇවිල වූ ද 2009 මැයි මාසයේ දී බෙදුම්වාදී එල්ටීටීඊ මිලිටරි පරාජයෙන් කෙලවර වූ ද දෙමල ජනතාවට එරෙහිව ගෙන ගිය ජාතික පරිමාන යුද්ධයේ තිස් වසර යි. 100,000ට වඩා සිංහල, දෙමල හා මුස්ලිම් ජීවිත අහිමි කල බියකරු ගැටුම මෙම රට තුල මෙන් ම ජාත්‍යන්තරව ද කම්කරු පන්තියට හා තරුනයින්ට අතිශය වැදගත් මූලෝපායාත්මක අත්දැකීම් ගෙන එයි.

30වැනි සංවත්සරය පිලිබඳව මාධ්‍ය තුල පලවූ නොයෙකුත් ලිපිවල 1983 ජූලි සංහාරය විස්තර කලේ, "ඛේදනීය සිදුවීමක්”, "දෙමල ජාතිකයන්ට එරෙහි අපරාධයක්” හා "ජාතියටම කැලලක්” ලෙස ය. එය තේරුම් ගත නො හැකි යැයි ප‍්‍රකාශ කරමින් හෝ සාවද්‍ය ලෙස පෞරානික වාර්ගික කෝපය කෙරෙහි ආරෝපනය කරමින් සිටියා මිස කිසිවෙකුත් මෙම සංහාරය සිදුවූයේ ඇයි දැ යි පැහැදිලි කිරීමට ඉදිරිපත් නොවීය. 1948දී නිල වශයෙන් ලබාගත් නිදහසේ සිට කම්කරු පන්තිය බෙදීමට හා තම පාලනය ශක්තිමත් කර ගැනීමට ධනේශ්වරය වාරු වූ ප‍්‍රතිගාමී වාර්ගික දේශපාලනය තුල පවතින සැබෑ හේතුව ඒ සියල්ලෝම වසන් කලහ.

1983 ජූලි මාසය ගුනාත්මක හැරවුම් ලක්ෂයක් විය. ජූලි 24දායින් ඇරඹුන සතියේ දී, පොලීසියේ හා හමුදාවේ සහාය ඇතිව සිංහල වර්ගවාදී මැරයෝ කොලඹ දෙමල ජනතාවට එරෙහිව භීෂන රැල්ලක් මුදාහල අතර එය වේගයෙන් අනෙකුත් නගරවලට හා ගම්වලට ද පැතිර ගියේය. 1,000ට වඩා දෙමල ජාතිකයින් ඝාතනය කෙරුනි. බොහෝ ගනනක් තුවාල ලැබූ අතර 100,000ට වැඩි පිරිසක් දෙමල බහුතරයක් සහිත දිවයිනේ උතුරට හෝ විදේශයන්ට පලා ගියහ. කුඩා තේ කඩ පාරවල් දෙපස තිබුනු පෙට්ටි කඩ ඇතුලු දෙමල ජාතිකයින්ට අයත් නිවාස හා ව්‍යාපාරවලට ගිනි තබන ලදී. රෝහල්වල සිටි දෙමල රෝගීන් ද බේරුනේ නැත. බන්ධනාගාර නිලධාරීන්ගේ අනුබලය සහිතව 50ට වඩා දෙමල දේශපාලන රැඳවියන් මරා දමන ලදී.

ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මිනීමරු ප‍්‍රහාරය යුක්තිසහගත කලේ එය, එල්ටීටීඊය සැඟවී සිට සොල්දාදුවන් 13කු මරා දැමීම පිලිබඳව පලවූ සිංහලයින්ගේ කෝපයේ ප‍්‍රකාශනයක් බව කියා සිටිමිනි. මෙම ප‍්‍රකාශය අමූලික බොරුවකි. මියගිය සෙබලුන්ගේ මෘත ශරීර ප‍්‍රසිද්ධියේ මිහිදන් කිරීම සඳහා කොලඹට ගෙන ඒම මගින් යූඑන්පී ආන්ඩුව හිතාමතා ම සංහාරය උසිගැන්වූ අතර ප‍්‍රචන්ඩත්වය මුදාහැරීමේ දී යූඑන්පී මැරයෝ පෙරමුන ගත්හ. සාමාන්‍ය සිංහල ජනතාවගෙන් බහුතරය සිදුවූ ප‍්‍රචන්ඩත්වය පිලිබඳව කම්පාවට පත්වූ අතර දෙමල අසල්වැසියන් හා මිතුරන් බේරාගැනීම සඳහා සිය ජීවිත නොතකා පවා කටයුතු කලහ.

ජයවර්ධන මෙම සිදුවීම් දෙමල ජනතාවට එරෙහිව මහා පරිමාන යුද්ධයක් දියත් කිරීමට කඩතුරාව කර ගත්තේය. අගෝස්තු 4වැනිදා, ආන්ඩුව වෙනම දෙමල ඊලම් රාජ්‍යයක් වෙනුවෙන් කුමන අයුරින් හෝ පෙනී සිටීම තහනම් කරන හා රාජ්‍ය අංශයේ කම්කරුවන්ගේ පක්ෂපාතිත්ව දිව්රුමක් නියම කරන ව්‍යවස්ථා සංශෝධනයක් කඩිමුඩියේ සම්මත කලේ ය. එයට දිව්රුම්දීම ප‍්‍රතික්ෂේප කිරීම හේතුවෙන් දෙමල එක්සත් විමුක්ති පෙරමුනේ සියළු පාර්ලිමේන්තු සභිකයෝ මන්ත‍්‍රී ධුර වලින් පහ කරන ලදී. දෙසැම්බර් වන විට ආන්ඩුව මුළු යාපන අර්ධද්වීපය ම යුද කලාපයක් ලෙස ප‍්‍රකාශ කල අතර එය හමුදා පාලනය යටතේ තැබී ය. යූඇන්පී ආන්ඩුවේ පියවරයන්ට කුපිත වූ දෙමල තරුනයෝ, ඊට පෙර සාපේක්ෂකව කුඩාවට තිබූ එල්ටීටීඊ වැනි සන්නද්ධ බෙදුම්වාදී කන්ඩායම් තුලට ඇතුලු වූහ.

ක්ෂනික ඉලක්කය දිවයිනේ දෙමල සුලුතරය වූ නමුත් යුද්ධය පැනනැගුනේ, ආන්ඩුවේ පුලුල් වෙලඳපොල ගැති න්‍යායපත‍්‍රයට එරෙහිව කම්කරු පන්තියෙන් එල්ල වූ විරෝධය බිඳ දැමීමට ආන්ඩුව දැරූ උත්සාහයේ ප‍්‍රතිපල වශයෙනි. 1977 බලයට පැමිනීමෙන් පසු යූඑන්පී ආන්ඩුව යටතේ දිවයින, ජාතික ආර්ථික වැඩසටහන් අතහැර දමා නිදහස් වෙලඳපොල ප‍්‍රතිව්‍යුහගත කිරීම පලමුවෙන්ම වැලඳගත් ලෝකයේ රටවල් අතරින් එකක් විය. ආන්ඩුව උත්සාහ කලේ දිවයින විදේශ ආයෝජන සඳහා ලාභ ශ‍්‍රම වේදිකාවක් බවට හැරවීමට ය.

කම්කරු පන්තියේ අධිෂ්ඨාන සහගත විරුද්ධත්වය නොතකා ජයවර්ධන, පෞද්ගලිකකරනයේ සහ රැකියා, වැටුප්, මිල සහනාධාර හා අත්‍යාවශ්‍යය සේවා කප්පාදු කිරීමේ වැඩසටහන, නිර්දය ලෙස ක‍්‍රියාත්මක කලේය. සිය වැටුප් හා සේවා කොන්දේසි ආරක්ෂා කර ගැනීමට 1980 ජූලි මාසයේ දී රාජ්‍ය අංශයේ සේවකයින් දීපව්‍යාප්ත මහා වැඩවර්ජනයක් ඇරඹූ විට ආන්ඩුව, සේවකයින් 100,000ක් සේවයෙන් පහ කලේය. වෘත්තීය සමිති, ලංකා සමසමාජ පක්ෂය, ස්ටැලින්වාදී කොමියුනිස්ට් පක්ෂය හා නව සමසමාජ පක්ෂයේ පාවාදීමේ ප‍්‍රතිපල වශයෙන් කම්කරු පන්තියට විනාශකාරී පරාජයකට මුහුන දීමට සිදුවිය.

කම්කරු පන්තිය මත ආන්ඩුවේ තීව‍්‍රවන ප‍්‍රහාරය දෙමල ජනයාට එරෙහි ප‍්‍රකෝප කිරීම් හා හදිසි නීතිය යොදාගැනීම ඇතුලු ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ක‍්‍රමවේදයන් සමග අතිනත් ගත්තේ ය. 1981දී කොලඹින් ගෙන ගිය සිංහල මැරයෝ යාපනයේ සංස්කෘතිමය වශයෙන් වටිනා ප‍්‍රතිමා විනාස කල අතර හානිපූරනය කල නොහැකි පරිදි දෙමල අත් පිටපත් ද සමග යාපන පුස්තකාලයට ගිනි තැබූහ. 1983 ජූලි සංහාරය මෙම ක‍්‍රියාදාමයේ හිනිපෙත්ත විය.

යුද්ධය ඇරඹීම වෙනුවෙන් යූඑන්පිය වගකිවයුතු අතර එහි මූලයන් පැවතුනේ, 1948දී නිල වශයෙන් ලැබුනු නිදහස ආරම්භයේ පටන් සටන්කාමී කම්කරු පන්තියකට හා විප්ලවවාදී පක්ෂයකට මුහුන දුන් ශ‍්‍රී ලංකාවේ ධනේශ්වරයේ දේශපාලන දුර්වලකම තුල ය. ට්‍රොට්ස්කිවාදී ඉන්දීය බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) පමනක් බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයට හා ලන්ඩනය ප‍්‍රධානය කල "ව්‍යාජ නිදහසට” විරුද්ධ වී තිබුනි.

1948 යූඑන්පී ආන්ඩුවේ පලමු පියවරයන්ගෙන් එකක් වූයේ දෙමල බස කතාකරන වතු කම්කරුවන් දශලක්ෂයකගේ පුරවැසි අයිතිය අහෝසි කිරීම යි. බීඑල්පීඅයි නායක කොල්වින් ආර්. ද සිල්වා පුරවැසි පනත හෙලා දුටුවේ මෙහිදී "රාජ්‍යය ජාතිය සමග සහවර්තී විය යුතු අතර ජාතිය වර්ගය සමග සහවර්තී විය යුතු ය” යන ෆැසිස්ට්වාදී ප‍්‍රතිපත්ති පාදක කරගෙන ඇතැයි කියා සිටිමින් හා එය අනිවාර්යයෙන් ම ගැටුමකට ගමන් කරනු ඇතැයි අනතුරු අඟවමිනි.

වාර්ගික දේශපාලන ආධිපත්‍යය අනිවාර්ය නො වූ නමුත් එය බැඳී තිබුනේ, 1950දී බීඑල්පීය සමසමාජ පක්ෂය (ලසසප) තුලට දිය කර හැරීම සහ ලසසපයේ තදනන්තර දේශපාලන පරිහානිය සමග ය. ලසසප වැඩි වැඩියෙන් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, රටේ එකම රාජ්‍ය භාෂාව ලෙස සිංහල යොදා ගැනීම වැනි එහි ප‍්‍රකට වාර්ගික ප‍්‍රතිපත්තිවලටත් අනුගත විය. 1964දී, ලසසප සමාජවාදී ජාත්‍යන්තරවාදය සමග පැවති මොන යම් හෝ ඇඟෑලුම් කමක් අත්හැර දැමූ අතර අගමැතිනි සිරිමා බන්ඩාරනායකගේ ශ‍්‍රීලනිප ආන්ඩුවට එක්විය.

ලසසප පාවාදීම සලකුනු කලේ ශ‍්‍රී ලංකා දේශපාලනයේ අතිමූලික සන්ධිස්ථානයකි. දකුනේ දී, සිංහල ජනතාවාදය හා මා ඕවාදය මත පදනම් වූ ජනතා විමුක්ති පෙරමුන (ජේවීපී) රැකියා විරහිත ග‍්‍රාමීය තරුනයන් අතර පදනමක් දමා ගැනීම සඳහා කම්කරුවන් හා තරුනයන් අතර පැතිර පැවති ව්‍යාකූලත්වය ගසාකෑවේ ය. ශ‍්‍රීලනිප-ලසසප-කොප සභාග ආන්ඩුව දෙමල ජනතාවට එරෙහිව වෙනස්කම් කරමින් නව ව්‍යවස්ථාවක් පැනවූවාට පසුව උතුරේ තරුනයෝ, එල්ටීටීඊ ඇතුළු සන්නද්ධ බෙදුම්වාදී කන්ඩායම් වෙත යොමුවීමට පටන් ගත්හ.

සමාජවාදී සමානතා පක්ෂයේ පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් හා තරුනයන්ගේ එක්සත් කම සඳහා සටන් කල එකම පක්ෂය විය. විකොස/සසප සියලුම ආකාරයේ ජාතිකවාදයන්ට හා වර්ගවාදයන්ට සම්මුති විරහිතව විරුද්ධ විය. දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් ආරක්ෂා කරමින් විකොස, යුද්ධය ඇරඹීමෙන් පසුව උතුරෙන් හා නැගෙනහිරින් සියලු ම හමුදා වහා ම හා කොන්දේසි විරහිතව ඉවත් කරගත යුතු යයි උද්ඝෝෂනය කලේ ය.

අවුරුදු 26ක යුද්ධය අනුප‍්‍රාප්තික කොලඹ ආන්ඩු වලට එරෙහි අධිචෝදනාවක් පමනක් නො වේ. එය දෙමල බෙදුම්වාදයේ දේශපාලන ඉදිරිදර්ශනය පිලිබඳව ද අධිචෝදනාවකි. සිය විරුද්ධවාදීන් කුරිරු ලෙස මර්දනය කිරීමෙන් පසු ප‍්‍රමුඛ සන්නද්ධ කන්ඩායම ලෙස මතු වූ එල්ටීටීඊය, කිසිදාකවත් කම්කරු පන්තිය වෙත නැඹුරු වූයේ නැත. වෙනම දෙමල ඊලම් රාජ්‍යයක් පිලිබඳ එහි වැඩසටහන නියෝජනය කලේ, දූෂිත දෙමල ධනේශ්වරයේ උත්සුකයන් වන අතර හැමවිට ම ඉන්දියාවේ හා අනෙකුත් බලවතුන්ගේ සහයෝගය සෙවීම මත පදනම් විය.

කෙසේ නමුත්, ශ‍්‍රී ලංකාවේ යුද්ධය ඉන්දියාව තුල බෙදුම්වාදී ව්‍යාපාරයක් ගිනි අවුලුවතැයි කනස්සල්ලට පත් නව දිල්ලිය, එල්ටීටීඊය නිරායුද කිරීම සඳහා ඉන්දියානු "සාම සාධක හමුදාවක්” පිටත් කර එවීමට ශ‍්‍රී ලංකා ආන්ඩුව සමග ගිවිසුමක් -1987 ඉන්දු-ලංකා ගිවිසුම- ඇතිකර ගත්තේය. එල්ටීටීඊය ඇතුලු සියලු ද්‍රවිඩ පක්ෂ, පලාත් මට්ටමින් සීමිත බලය බෙදීමක් පොරොන්දු වුන එම ගිවිසුමට සහාය දුන්හ. එහි ප‍්‍රතිපත්තිවලට දිවයිනේ දකුනෙන් මතුවූ විරෝධය මැඩීම සඳහා ඉන්දීය හමුදා උතුර අරක් ගැනීමෙන් පසුව නිර්මානය වූ විරාමය ගසාකෑ යූඑන්පිය, පසුව නැවත යුද්ධය ඇරඹී ය.

2009 මැයි මාසයේ එල්ටීටීඊය ලත් පරාජය එහි බංකොලොත් දේශපාලන දෘෂ්ටියේ ප‍්‍රතිඵලයකි. සිංහල හා දෙමල කම්කරුවන් පන්ති පදනමක් මත එක්සත් කිරීමේ කුමන අරගලයකට හෝ එය නිර්දය ලෙස විරුද්ධ වූ අතර කොලඹ ආන්ඩුව සිදුකල අපරාධ වෙනුවෙන් පොදුවේ දකුනේ "සිංහල මිනිසුන්ට” දොස් පැවරීය. සිංහල ජනතාවට එරෙහිව වග විභාගයක් නොමැතිව එල්ල කල එල්ටීටීඊයේ ප‍්‍රහාර, ඍජුව ම කොලඹ දේශපාලන සංස්ථාපිතයේ අත ශක්තිමත් කල අතර සිදුවූයේ වාර්ගික බෙදීම ගැඹුරුවීම පමනි. තම පාලනය යටතේ පැවති ප‍්‍රදේශවල එල්ටීටීඊය ගෙන ගිය බලහත්කාරී හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන ක‍්‍රමවේදයන් නිසා එය දෙමල ජනතාවගෙන් හුදකලා විය.

දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව තබා ශ‍්‍රී ලංකාව තුල කම්කරු පන්තියට හා පීඩිත මහජනතාවට සංවිහිතව කිසියම් හෝ ආයාචනයක් ඉදිරිපත් කිරීමට අසමත්වූ එල්ටීටීඊය, මිලිටරිය එහි සාමාජිකයින්ගේ හුස්ම හිරකිරීමට ආසන්න වීමත් සමග "ජාත්‍යන්තර ප‍්‍රජාව” - එක්සත් ජනපදය, ඉන්දියාව හා කොලඹ ආන්ඩුවට සහාය දෙන අනෙකුත් රටවල් - වෙත නිෂ්ඵල අයාචනා කරන තැනට ඇද වැටුනි.

යුද්ධයේ අවසානය සාමය හෝ සෞභාග්‍ය ගෙනවිත් නැත. ජනාධිපති මහින්ද රාජපක්ෂ යටතේ වර්තමාන ශ‍්‍රීලනිප ආන්ඩුව, යුද්ධය අතරතුර ගොඩනැගූ දැවැන්ත පොලිස්-රාජ්‍ය යාන්ත‍්‍රනය පවත්වාගෙන යයි. මිලිටරිය දිවයිනේ උතුරේ හා නැගෙනහිර පවත්වාගෙන යන ග‍්‍රහනය තහවුරු කර ගෙන ඇත. සිය වෙලඳපොල ගැති ප‍්‍රතිපත්ති ක‍්‍රියාත්මක කරන අතරතුර, කම්කරු පන්තිය බෙදීම සඳහා යූඇන්පී ආන්ඩුව 1983දී දෙමල විරෝධී වර්ගවාදය උසිගැන්වූ ආකාරයෙන්ම රාජපක්ෂ ආන්ඩුව, 1930න් මෙපිට ඇතිව තිබෙන නරක ම ගෝලීය ධනේශ්වර ආර්ථික බිඳවැටීම මධ්‍යයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු න්‍යාය පත‍්‍රය ක‍්‍රියාවට නගන අතර තුර දෙමල හා මුස්ලිම් විරෝධී වර්ගවාදය උසිගන්වයි.

පසුගිය 30 වසර පුරා විකොස/සසප සටන් වැදුනු ක‍්‍රියාමාර්ගයට අද දැවෙන අදාලත්වයක් පවතී. යුද්ධය පෙන්නුම් කලේ ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යායේ සත්‍යතාව යි. එනම් මෙරට ධනපති පන්තියේ කිසිදු කොටසකට වැඩකරන ජනතාවගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා යහපත් ජීවන තත්වයන් සහතික කිරීමට නොහැකි බව යි. කම්කරු පන්තියට තම පන්ති අවශ්‍යතා රැක ගත හැකි එකම මාර්ගය, සියලු ආකාරයේ ජාතිකවාදය හා වර්ගවාදය ප‍්‍රතිකෂේප කර සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පදනම මත ගෙන යන එක්සත් අරගලයකින් පමනි. මෙහි අර්ථය, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදී සමූහාන්ඩු සංගමයක කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් පිලිබඳ සසප ඉදිරිදර්ශනය සඳහා සටන තුල, පාලක පන්තියේ සියලු කොටස් වලින් ස්වාධීනව කම්කරු පන්තිය දේශපාලනිකව බලමුලු ගැන්වීමට සටන් කිරීම යි.

Share this article: