ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ ආන්ඩුවට රටෙහි මූල්‍ය තත්වය පිලිබඳව අනතුරු අඟවයි

සමන් ගුනදාස විසිනි, 2013 ඔක්තෝබර් 28

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවේ මූල්‍ය අස්ථාවරත්වයක් ගැන කර ඇති අනතුරු ඇඟවීම් වැඩ කරන ජනයාගේ ජීවන කොන්දේසි තව තවත් කපා දැමීමට උපදෙස් දීමකි.

සැප්තැම්බර් අගදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (ජාමූඅ) පැමිනි නියෝජිත පිරිස රුපියල අවප‍්‍රමානය වීම වැලැක්වීමට සංචිත නොවිකුනන ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුවට නිර්දේශ කලේය. "වඩා සංකීර්න වී ඇති මෙම ගෝලීය පරිසරය තුල .... නම්‍යශීලී විනිමය අනුපාතිකයකට සීමාවීම අතිශයින්ම වැදගත් යැ”යි ජාමූඅහි නියෝජිත පිරිසේ නායක ටොඩ් ෂ්නයිඩර් සැප්තැම්බර් 25 දින සතියක වැඩ සටහන අවසානයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කීවේය. ‘නම්‍යශීලී’ යන්නේ අර්ථය වන්නේ රුපියලේ අගය වෙලඳ පල බලවේගය අනුව වෙනස්වීමට ඉඩ දීමය.

රුපියලේ අගය පහත දැමීමේදී ඉන් මූලිකව ම සිදුවන එක් දෙයක් නම් මහජනයා එදිනෙදා මිලදී ගන්නා භාන්ඩ වල මිල ඉහල යාමය. එනම් උග‍්‍රවන ආර්ථික අර්බුදයේ බර වැඩ කරන ජනයාගේ උර මත පැටවීම මෙහි එල්ලය යි.

නොකඩවා නය ගනිමින් සිටින ආන්ඩුවේ නය ප‍්‍රමානයෙහි රුපියල් වටිනාකම ඉහල යාමෙන් නය වාරික හා පොලිය ඉහල යාම ද රුපියලේ අගය පහත වැටීම සමග ආන්ඩුවට මුහුන දීමට සිදුව ඇති අර්බුදකාරී තත්වයකි.

ලොව පුරා සෑම රටක් ම අලලා ගෙන ඇති ආර්ථික අවපාත තතු තුල එය වැඩ කරන ජනයාගේ උර මතට පාත් කිරීම හැරුනු විට ජාමූඅට ඉදිරිපත් කල හැකි අන් විකල්පයක් නොමැති බව මෙම නිර්දේශයගෙන් යලිත් පැහැදිලි වී තිබේ.

මෙම තත්වය තුල ලබන මස ඉදිරිපත් කිරීමට නියමිත අය වැය ලේඛනයෙන් 2005 අවසානයේ මහින්ද රාජපක්ෂ බලයට පත්වීමේ සිට පවත්වා ගෙන යන වැටුප් කැටි කිරීම තව දුරටත් පවත්වා ගෙන යාමට ද බඩු මිල තවත් ඉහල දැමීමට ද ආන්ඩුව පියවර ගනු ඇත.

ආන්ඩුව මෑතදී ජාතික ඉතිරිකිරීමේ බැංකුව හරහා ලබාගත් නය මුදලේ වාර්ෂික පොලී අනුපාතය සියයට නවයකට ආසන්නය. "කිසිම ආසියානු රටක් මෙතරම් අධික පොලියට මෑතදී නය ගෙන නොමැති බව” සන්ඬේ ටයිම්ස් පුවත්පතෙහි අර්ථශාස්ත‍්‍රඥ නිමල් සඳරත්න පැවසී ය. රාජපක්ෂ ආන්ඩුව සියයට 13 දක්වා පොලියට නය ලබා ගෙන ඇති බව වාර්තා වී තිබේ. රටෙහි පූර්න නය ප‍්‍රමානය මෙම වසරේ මුල් මාස හතරේදී රුපියල් ටි‍්‍රලියන 6.35ට ඉහල ගිය අතර පසුගිය වසරේ නය ප‍්‍රමානය දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 80 ට ආසන්න විය.

"පහල වර්ධන රේට්ටුවක් පවතිද්දී හා රාජ්‍ය ආදායම පහල මට්ටමක පවතිද්දී විදේශයන්ගෙන් ඉහල පොලියට නය ගැනීමේ දී ශ‍්‍රී ලංකාව ප‍්‍රවේසම් විය යුතු බව” ෂ්නයිඩර් කීවේ ලංකාවේ නය අර්බුදය උග‍්‍ර වන බව අඟවමිනි.

2011 අවසානයේ සිට 2012 පෙබරවාරිය දක්වා රුපියල අවප‍්‍රමානය වීම වලක්වා ගැනීමට මංමුලා සහගත උත්සාහයක යෙදුනු ලංකාවේ මහ බැංකුව සිය විදේශ සංචිත විකුනා දැමූ නිසා ජාමූඅහි නය මත දිගටම වාරු වීමට සිදුවිය. එතැන් පටන් ජාමුඅහි නිර්දේශ අනුව රුපියල තියුනු ලෙස අවප‍්‍රමානය වීමට ඉඩ හරිනු ලැබිනි.

අපනයන ආදායම පහත වැටී, සෘජු විදේශ ආයෝජන ඉහල නොගොස්, ඇමරිකානු ෆෙඩරල් රිසර්ව් ආයතනය (මහ බැංකුව) අඩු පොලී මුදල් සැපයුම පහත හෙලීමේ අවදානම නිසා විදේශ මුදල් ප‍්‍රාග්ධන වෙලඳපලට ආකර්ශනය වීම අවිනිශ්චිතව ඇති තත්වය තුල ලංකාවේ විදේශ මුදල් සංචිතයන් සිඳී යාමේ තර්ජනය ගොනුවෙමින් තිබේ. පවතින සංචිතයන් ද ජාමූඅ හා වානිජ වශයන් නොනවත්වා කෙරෙන නය ගැනීම් හරහා පවත්වා ගෙන යන නිසා එම සංචිතයන්ගේ ප‍්‍රමානාත්මක බවද අවිනිශ්චිත බව ෂ්නයිඩර් කියා සිටියේය.

මෙම පසුබිම තුල ඩොලර් සංචිත නොවිකුනන ලෙස ජාමූඅ නිර්දේශ කරන්නේ එමගින් රට බංකොලොත් වුවහොත් තමන් දුන් නය, වාරික ලෙසට පොලිය සමග අය කර ගැනීමට නොහැකි තත්වයක් ද උද්ගත වන බැවිනි. මේ වනවිට ග‍්‍රීසිය, පෘතුගාලය, ස්පාඤ්ඤය, සයිප‍්‍රසය ආදී රටවල් මෙවන් බංකොලොත් බාවයට මුහුනදී ඇති රටවල් අතර වෙති.

ලංකාවේ ප‍්‍රධාන අපනයන වෙලඳපලවල් වන එක්සත් ජනපදය හා යුරෝපය අලලා ගත් මූල්‍ය අර්බුදය උග‍්‍ර වන තතු තුල පසුගිය වසර කිහිපයේ තුල ලංකාවේ අපනයන නොකඩවා කඩා වැටීමට භාජනය වී ඇත. පසුගිය වසර හා සංසන්දනය කරන විට මෙම වසරේ පලමු මාස හත තුල අපනයන වල වැටීම සියයට 2.7කි.

ප‍්‍රධාන බලවතුන්ගේ රටවල සහය ඇතිව බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය යුදමය වශයෙන් 2009 දී පරාජය කල ද රට තුලට පැමිනෙන සෘජු විදේශ ආයෝජන ඉහල නංවා ගැනීමට එමගින් හැකියාවක් ලැබී නැත. සඳරත්න මෙම ප‍්‍රශ්නයට මෙසේ පිලිතුරු දෙයි. "ආර්ථික මූලධර්ම නොතකා හරින ලද ආර්ථික ක‍්‍රියාමාර්ග, නව ආරක්ෂක වුවමනාවන්, නීතියේ ආධිපත්‍ය හා නීතියේ පාලනය පිරිහීම සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමට නොහැකි වීමේ හේතු අතර වේ.”

සඳරත්න ඉදිරිපත් කරන ආර්ථික මූල ධර්ම ජාමූඅ විසින් ඉදිරිපත් කරන මූල ධර්ම ම වන අතර එම මූල ධර්ම හරහා කෙරෙන්නේ වැඩ කරන ජනයාගේ ජීවන මට්ටම් නොකඩවා පහත හෙලීමේ වියදමින් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට ලාභ සහතික කර දීමයි.

සඳරත්න ඉදිරිපත් කරන නව ආරක්ෂක උවමනාවන් යනු යුද්ධයෙන් අනතුරුව උතුරු නැගෙනහිර ප‍්‍රදේශ වල දෙමල ජන කොටස් මිලිටරි ආධිපත්‍ය යටතේ දිගටම පවත්වා ගැනීම සඳහාත් සමස්තයක් ලෙස රට පුරා වැඩ කරන ජනයාට එරෙහිව පොලිස් මිලිටරි ශක්තිය තර කිරීම සඳහාත් රාජපක්ෂ ආන්ඩුවට පවතින වුවමනාවයි. යුද්ධයෙන් පසු ද ආරක්ෂක අංශ වලට වෙන් කල මුදල් වැඩි කලා මිස අඩු කෙරුනේ නැත.

යුද්ධය සඳහා කල දරා ගත නොහැකි වියදම් වල බරින් මැඩී තියුනු නය උගුලක හිරවුනු රාජපක්ෂ ආන්ඩුවේ අස්ථාවර බව ජාත්‍යන්තර නය ඒජන්සි වල වර්ගීකරනයන් තුලින් ඉස්මතු වී තිබේ. මෑතදී ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර් හා මූඩි වැනි ජාත්‍යන්තර නය රේට්ටු ඒජන්සි ලංකාවේ නය වර්ගීකරන තත්වය පිලිබඳ අනතුරු අඟවන ප‍්‍රකාශ නිකුත් කලෝය. මේ අනුව නොකඩවා පහත වැටෙන මූල්‍ය අවදානමක් ලංකාව තුල පැවතීම ජාත්‍යන්තර සෘජු ප‍්‍රාග්ධනයට හිතකර කොන්දේසියක් නො වේ.

සඳරත්න සඳහන් කරන නීතියේ ආධිපත්‍ය හා නීතියේ පාලනය "පිරිහීම” රාජපක්ෂ ආන්ඩුව මුහුන දී සිටින අර්බුදකාරී තත්වය සමග සෘජුවම සම්බන්ධ ය. අධිකරනය මුලුමනින්ම වාගේ ආන්ඩුවේ උපකරනයක් බවට පත් කරගෙන ඇත්තේ තමන්ට පක්ෂපාත අග‍්‍ර විනිශ්චයකාරවරයෙකු මුදුනට දමාගනිමිනි. රාජපක්ෂ හිතැතියන්ට ආර්ථිකයේ ප‍්‍රධාන තැන් නතු කෙරෙන අතර දූෂනය රජයයි. ආර්ථික විශේෂඥයන්ගේ හා ධනපති කොටස්වල ද මැසිවිල්ල මේ තතු විදේශ ආයෝජන අද්දා ගැනීමට බරපතල බාධාවක් වී ඇති බවයි.

මෙම වසරේ අය වැය පරතරය සියයට 5.8 දක්වා අඩු කිරීම නියතවම සිදුවන බව ප‍්‍රකාශ කරන ආන්ඩුව 2015 වන විට එය සියයට 4.2 දක්වා අඩු කිරීමට ජාමූඅට පිලින දී ඇත. ඉන්ධන හා විදුලිබල වැනි සහනාධාර සහ අධ්‍යපනය හා සෞඛ්‍ය සඳහා වෙන් කෙරෙන මුදල් කපා හරිමින් ජාමූඅහි නියෝග ක‍්‍රියාවට දමන රාජපක්ෂ ආන්ඩුව ඊට එරෙහිව පැන නගින මහජන අරගල මැඩීමට මිලිටරි පොලිස් බලය යොදයි. පසුගිය කාලය තුල එන්න එන්නම වැඩියෙන් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනය ගලා යන්ට පටන් ගෙන ඇත්තේ සමපේක්ෂනයන් මගින් ඉක්මන් මුදල් උපයා ගන්නට හැකි මූල්‍ය වෙලඳ පොල වලට ය.

Share this article: