කොම්පඤ්ඤවීදියේ පවුල් 456 ක් තම නිවාස වලින් ඉවත්විය යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරන තීන්දුවක්

විලානි පීරිස් විසිනි, 2013 ඔක්තෝබර් 29

නාගරික සංවර්ධන අධිකාරිය (නාසඅ) විසින් කොම්පඤ්ඤවීදියේ පවුල් 456 කට තම නිවාස වලින් ඉවත් වීමට දෙන ලද නියෝගය තම මානව අයිතීන් උල්ලංඝනය කිරීමකැයි පවසමින් ඊට එරෙහිව නිවැසියන් විසින් ගොනු කල නඩුව පසු ගිය ඔක්තෝබර් 21 දින විභාග කල ශ්‍රේෂ්ඨාධිකරනය, අක්කර 7ක භූමිභාගයක් තුල පදිංචි මෙම නිවැසියන් දෙසැම්බර් 31 දිනට ප‍්‍රථම ඉවත්විය යුතු බවට ගත් තීන්දුව ප‍්‍රකාශයට පත් කලේ නිවැසියන් කම්පාවට පත්කරමිනි. ශ්‍රේෂ්ඨාධිකරනයේ මෙම තීන්දුව නිවැසියන්ගේ මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කිරීමකි.

මෙම පවුල් සහ ඔවුනගේ නිවාස ඉවත් කරනු ලබන්නේ කොලඹ නගරය වානිජ පුරවරයක් බවට පත් කිරීමේ වැඩ පිලිවෙල යටතේ වන අතර රාජපක්ෂ ආන්ඩුව දුගීන් පලවා හරිමින් නගරයේ වටිනා භූමි භාගයන් විදේශීය හා ලාංකික ආයෝජකයන්ට පවරමින් සිටියි. ඉන්දියාවේ ටාටා සමාගමට මෙම අක්කර 7ක භූමි භාගය පවරා දෙන අතර වසර ගනනාවක් එහි පදිංචිව සිටි නිවැසියන්ට නව නිවසක් ලබා නොදී ම මෙම පලවා හැරීම සිදු කෙරේ.

කොම්පඤ්ඤවීදියේ නිවැසියන් වෙනුවෙන් විපක්ෂ එක්සත් ජාතික පක්ෂයේ (යූඑන්පී) පාර්ලිමේන්තු මන්ත‍්‍රී, නීතිඥ සුජීව සේනසිංහ පෙනී සිටි අතර ඔහු නඩුවෙන් අපේක්ෂා කලේ පලවා හැරීම් අත්හිටුවීම නොව වන්දිය වැඩිකර ගැනීම ය. නිවැසියන්ගේ විරෝධය තිබිය දී ම ශ්‍රේෂ්ඨාධිකරනයේ කොන්දේසීන්ට එකඟ වූ සේනසිංහ, ඉවත්වීමට පලමුව දුන් දිනය වූ දෙසැම්බර් මස 1 දින වෙනුවට දෙසැම්බර් මස 31 දක්වා කාලය දිගු කරන ලෙස පමනක් ඉල්ලා සිටි අතර එයට උසාවිය එකඟ විය. නිවැසියන් ලෝක සමාජ වාදී වෙබ් අඩවියට (ලෝ ස වෙ අ ) කියා සිටියේ සුජීව සේනසිංහ නඩුවෙන් සාධාරන විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වී සිට තමන් රැවටූ බවය.

නිවැසියන්ට හිමි භූමි ප‍්‍රමානය අනුව රු. 15,000 සිට රු. 52,000 දක්වා වන මාසික කුලී මුදලක් වසර දෙකක් සඳහා ඔවුනට ලබා දෙන ලෙසත්, වසර දෙකකට පසුව එම ප‍්‍රදේශයේ ගොඩනගන මහල් නිවාසයක නිවසක් ලබා දෙන ලෙසත් අධිකරනය නාගරික සංවර්ධන අධිකාරියට නියෝග කලේය. මීට පෙර පලවා හැරි නිවැසියන්ට ආන්ඩුව පොරොන්දු වූ පරිදි නිවාස ලබාදී නොමැති හෙයින් වසර දෙකකින් නිවසක් ලබාදීම ගැන විශ්වාසයක් නොමැති බව නිවැසියෝ පවසති.

නිවසක් ලබා ගැනීමට අකැමති අයට වන්දියක් ලබා දිය යුතු බව හා වන්දි මුදල් ලබා දෙන තුරු වසරකට කුලී මුදලක් ලබා දිය යුතු බව අධිකරනය නාගරික සංවර්ධන අධිකාරියට නියෝග කලේය. එනමුදු, වටිනා කම තක්සේරු කරන්නේ කෙසේ ද යන්න හෝ වන්දිය ලබා දෙන්නේ කවදා ද යන්න හෝ පහැදිලි නොකෙරුනි. නිවැසියන් පවසන්නේ එම ප‍්‍රදේශයේ පර්චස් එකක් රු. ලක්ෂ 80ත් 90ත් අතර වන නමුත් ආන්ඩුව දීමට සුදානම් වන්නේ සොච්චමක් බවයි.

නිවාස ඇමති විමල් වීරවංශ ඔක්තෝබර් 25 දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ උසාවියේදී සිදුවූයේ තීන්දුවක් දීමක් නොව දෙපාර්ශවය අතර එකඟතාවයක් පමනක් බවය. ඉන් ඔහු අඟවන ලද්දේ නිවැසියන්ගේ එකඟතාවයෙන් උසාවිය මෙම තීන්දුව ප‍්‍රකාශයට පත්කල බවය. මෙය ප්‍රෝඩාවකි. එකඟතාවය සිදුව ඇත්තේ පැමිනිල්ලේ නීතිඥවරයා හා නාසඅ සමග වන අතර පමිනිල්ල ගොනුකල නිවැසියන් ඊට එකඟ නැත. නිවැසියන් නඩුව ගොනු කරනු ලැබූයේ නීති විරෝධී ලෙස ඔවුන් ඉවත් කිරීම මූලික අයිතිවාසිකමක් උල්ලංඝනය කරනේය යන චෝදනා යටතේ ය.

සැප්තැම්බර් 28 දින නඩුව විභාග කල අගවිනිසුරු මොහාන් පීරිස් ශ්‍රේෂ්ඨාධිකරනයේ දී කියා සිටියේ "කොලඹ දැන් සිදු කෙරෙමින් තිබෙන සංවර්ධන කටයුතුවලට කිසිවෙකුත් බාධා නොකල යුතු ය.” යනුවෙනි. ඉන් අවධාරනය කරන්නේ, ආයෝජකයින්ගේ ලාභාවශ්‍යතා වෙනුවෙන් මෙම පවුල්, නිවසක් සඳහා තමන් සතු මූලික අයිතිය අත්හල යුතු බවයි.

මෙම ඉවත් කිරීමට මිව් වීදිය, ජාවා පාර, ග්ලෙනී වීදිය, මැලේ වීදිය, මාකට් පාර හා ලෙච්මන්ස් පාර අයත් වෙයි. මෙම නිවාස බොහොමයක් පර්චස් දෙකක හෝ තුනක භූමියක දෙමහල් හෝ තෙමහල් ලෙස ශක්ති සම්පන්නව ගොඩ නගා ඇති අතර ඒ සඳහා ඉතා දුකසේ මුදල් උපයා ගෙන ඇත්තේ මැදපෙරදිග රැකියාවන්හි සහ සුලු වෙලෙඳාමෙහි නියැලීමෙනි. පේලි නිවාස ලෙස ගොඩ නගා ඇති කුඩා නිවාස වලින් ද සමන්විත මෙම ඉඩම්වල සුලු වෙලෙන්දන්ට අමතරව ආන්ඩුවේ සේවකයෝ ද කම්කරුවෝ ද ජීවත් වෙති.

නගරයේ "සංවර්ධනය” සඳහා 78,000ක් පමන දුගී නිවාස ඉවත් කරන බව ආන්ඩුව පවසයි. ආන්ඩුව මුල සිටම නිවැසියන්ගේ මතුවන විරෝධයන් මර්දනය කිරීම සඳහා පොලිස් මිලිටරි ක‍්‍රමවේදයන් සැලසුම් කලේය. නාගරික සංවර්ධන අධිකාරිය, ආරක්ෂක දෙපාර්තමේන්තුව යටතට පවරනු ලැබුවේ හමුදාව යොදවමින් ජනතාව බිය ගන්වා හෝ පහර දී නිවෙස් වලින් පලවා හැරීම සඳහා ය.

මේ අතර, නිවැසියන්ගේ අරගලය නඩුවක සිර කොට පාවා දීම සම්බන්ධයෙන් යූඑන්පීයට එරෙහි මහජන විරෝධය ද වර්ධනය වෙමින් පවතී. ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක් ලෝසවෙඅට මෙසේ පැවසීය: ”සුජීව සේනසිංහ කලේ ගෙවල් වලින් අයින් වෙන දිනය දෙසැම්බර් 31ට කල් දාගත්ත එක විතරයි. එයා කලේ අවුරුදු 3 ක් තිස්සෙ අපිව නඩුවක හිර කිරීම විතරයි.”

දුගීන්ට එරෙහි මෙම ප‍්‍රහාරයේ දී ධනපති මාධ්‍යය හැසිරුනු ආකාරය සම්බන්ධයෙන් කෝප ගැන්වී සිටි ඔහු මෙසේ පැවසීය: "නඩු දවසේ ටීවී නාලිකාවලින් ආවා. අපේ ගෑනු කෙනෙක් අඬ අඬා එයාගේ දුක කිව්වා. බලන් ඉන්න අයටත් ඇඬුනා. ඒ වුනාට ඒවා ප‍්‍රවෘත්තිවලට පෙන්නුවේ නැහැ. ටීවී වලින් එන්නෙත් බොරුවට. උන් ආන්ඩුවෙ සහ කොම්පැනිකාරයන්ගෙ පැත්තෙ.” පොලීසිය ද තමාට එරෙහිව පිහිටා සිටින ආකාරය පැහැදිලි කරමින් ඔහු පැවසුවේ නාසඅ නිලධාරියෙක් උසාවි භූමියේදී නිවැසියෙකුට කල තර්ජනය සම්බන්ධයෙන් පොලීසියට කල පැමිනිල්ලට මෙතෙකුදු ප‍්‍රතිචාරයක් නොමැති බවයි.

පදිංචිය වෙනස් කිරීමේ දී තම දරුවන්ට වෙනත් පාසැලක් සොයා ගැනීම ඉතා දුෂ්කර කර්තව්‍යයක් බව සඳහන් කල එක් කාන්තාවක් තම නිවාස වලට ලැබෙන වන්දි මුදල් සම්බන්ධයෙන් මෙසේ පැවසුවාය: "දැන් මේ පැත්තේ පර්චස් එකක් රුපියල් ලක්ෂ 80 ක් 90ක් විතර වෙනවා. ඒ වුනාට ආන්ඩුව පර්චස් එකක් රුපියල් ලක්ෂ 23ට බස්සලා. තට්ටු ගෙදර පවුල් 4ක් 5ක් ඉන්නවා. දෙන වන්දි අපි අතරේ බෙදා ගත්තොත් කොහොම ද ගෙවල් ගන්නේ. අපට තාම වන්දි දුන්නෙත් නැහැ. අවුරුදු දෙකේ කුලිය තාම දුන්නෙත් නැහැ. දැන් කුලියට ඉන්න අයට මොකුත් ම නැහැ.”

වසර 70ක් වයසැති නිවැසියෙක් කියා සිටියේ පාරම්පරික ඉඩම් උදුරා ගැනීම නිසා ඇති වන බරපතල මානසික ප‍්‍රශ්න හේතුවෙන් බොහෝ මහලු අය අසනීප වූ බවයි. තමා සංවර්ධනයට විරුද්ධ නොවන නමුත් නිවාස අයිතිය ඇතුලු මහජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝනය කරමින් සිදු කෙරෙනුයේ සංවර්ධනයක් නොවන බවත් ඔහු පැහැදිලි කලේය. "ආන්ඩුව අපිට කිව්වා මුස්ලිම් පල්ලිය හැර සියලු නිවාස ඉවත්කරනවා කියලා. මිනිස්සු නැතිව පල්ලිය මොකට දැ” යි ඔහු ඇසීය.

මසකට රුපියල් 15,000 බැගින් දෙවසරක නිවාස කුලී මුදල් ලබා ගත් කාන්තාවක් පැවසුවේ තමාගේ පුද්ලිකත්වය රැකෙන අවම පහසුකම් සහිත නිවෙසකට අවම වශයෙන් රුපියල් 20,000 හෝ 25,000 මාසික කුලියක් ගෙවිය යුතු බවත් නිවාස හිමියන් දෙවසරක කුලී මුදල් එකවර ඉල්ලා සිටින බවත්ය. තවත් කාන්තාවක් පැවසුවේ මාසික කුලී වශයෙන් රුපියල් 28,000 බැගින් වසර දෙකකට මුදල් ලැබුන නමුත් ඇගේ නිවාසයේ පවුල් හතරක් ජීවත් වන බැවින් එම මුදල හතරට බෙදී යන බවයි. "එක පවුලකට ලැබෙන්නෙ රුපියල් 7,000 යි. කොලඹ රුපියල් 7,000ට කුලියට ගෙවල් ගන්න පුලුවන් ද? ගම් පලාත්වල කුලිය අඩුයි. ඒත් අපිට ගම් පලාත පුරුදුත් නැහැ.”

ලෝසවෙඅහා සමාජවාදී සමානතා පක්ෂයේ නියෝජිතයන් මෙම ප‍්‍රදේශයට යනවිට නිවැසියන්ගෙන් කොටසක් එජාපයේ පර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුනානායක හමුවීමට පාර්ලිමේන්තුවට ගොස් සිටිය හ. සසප නියෝජිතයන් පෙන්වාදුන්නේ එජාප බලයේ සිටිය දී නිවාස ඉවත්කිරීමට කටයුතු කල බවත් නිවාස ඉවත්කිරීමේ අධිරාජ්‍යවාදී ආර්ථික සැලසුම් පලමුව රට තුල ක‍්‍රියාත්මක කරනු ලැබුවේ ඔවුන් බවත් ය. සේනසිංහ නිවාස ඉවත්කිරීමට එරෙහිව නොව ඉවත්කිරීමෙන් පසු කොන්දේසි ගැන උසාවියේ කරුනු ඉදිරිපත් කලේ ද ඊනියා සංවර්ධන වැඩපිලිවලට ඔවුන්ගේ ඇති පක්ෂපාතීත්වය නිසා ය.

සුපිරිහෝටල්, සුඛෝපභෝගී මහල් නිවාස, නවීන පන්නයේ ගොඩනැගිලි, පාවෙන ආපන ශාලා ගොඩනගමින් කොලඔ නගරය සංචාරකයන් සහ ධනවතුන් සඳහා වන සුරපුරයක් බවට පරිවර්තනය කරමින් සිටින රාජපක්ෂ ආන්ඩුව, දුගීන් අසීරුවෙන් ගොඩ නගා ගත් ගත් නිවාස බලහත්කාරී ලෙස බුල්ඩෝසර් කරනු ලබන්නේ අවම වශයෙන් ඔවුනට ජීවත්වීම සඳහා සුදුසු ස්ථානයක් හෝ නොසපයමිනි.

Share this article: