ශ‍්‍රී ලංකාවේ ආන්ඩුව පිරිසිදු ජලය ඉල්ලා පැවත්වූ විරෝධතා තහනම් කරයි

Sri Lankan government bans protests over clean water

රොහාන්ත ද සිල්වා විසිනි, 2013 ඔක්තෝබර් 17

ගම්පහ දිස්ත‍්‍රික්කයේ වැලිවේරිය හා මල්වතු-හිරිපිටිය ප‍්‍රදේශවල පෙලපාලි, පෙරැහැර හා පුද්ගලයන් පස්දෙනෙකුට වඩා සහභාගි වන රැස්වීම් තහනම් කරන උසාවි නියෝගයක් ශ‍්‍රී ලංකා පොලීසිය පසුගිය ඉරිදා ලබා ගත්තේ ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මත එල්ල කෙරුනු මෙම තුච්ඡ ප‍්‍රහාරය පෙන්නුම් කරන්නේ ප‍්‍රදේශයේ ජලය දූෂනය කරතැයි සැකකෙරෙන අත්වැසුම් නිපැයුම් කම්හලක් ඉවත් කිරීමට බලකරමින් ජනතාව දියත් කර තිබෙන විරෝධතා වැලක්වීමට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව දරන වෑයම යි.

උසාවි නියෝගය සඳහා ආසන්නතම හේතුව වූයේ වැලිවේරියේ වෙනිග්‍රොස් ඩිප් ප්‍රොඩක්ට්ස් කම්හල සැලැසුම් සහගත ව යලි විවෘත කිරීමට එරෙහිව පසු ගිය ඉරිදා සංවිධානය කෙරුනු රථ පෙලපාලිය නවතා දැමීම යි. කම්හලෙන් බැහැර කරන අපවහන තම සෞඛ්‍යයට හා භෝග වගාවන්ට හානි සිදු කරමින් භූගත ජලය දූෂනය කරන්නේ යැයි පවසන ප‍්‍රදේශවාසීන්ගේ දැඩි විරුද්ධත්වය නිසා අගෝස්තු මස මුල සිට කම්හල වසා දමා ඇත.

අගෝස්තු පලවෙනි දා ආන්ඩුව හමුදා බල ඇනියක් ප‍්‍රදේශයට දිගේලි කල අතර එය 5,000ක් පමන වන විරෝධතාකරුවන්ට පහර දුන්නේ පුද්ගලයන් තිදෙනෙකු ඝාතනය කරමින් හා තිස්දෙනෙකුට පමන තුවාල සිදු කරමිනි. මෙම සාපරාධී මර්දනය තිබිය දීත් ප‍්‍රදේශවාසීන්ගේ විරුද්ධත්වය යටපත් කිරීමට ආන්ඩුව සමත් වූයේ නැත.

සියනෑ ජලය සුරැකීමේ සංවිධානය විසින් ඉරිදා විරෝධතාව සංවිධානය කරන ලද්දේ ඩිප් ප්‍රොඩක්ට්ස් කලමනාකරනය හා කම්හලට එරෙහිව ආරම්භක විරෝධතාවන් කීපයකට නායකත්වය දුන් තෙරිපැහ සිරිධම්ම නම් බෞද්ධ භික්ෂුව ඔක්තෝබර් 10 දා ආන්ඩුවේ අනුග‍්‍රහයෙන් ඇති කර ගත් ගිවිසුමකට එරෙහිව ය. ගිවිසුම වූයේ කර්මාන්ත ශාලාව වෙනත් ප‍්‍රදේශයක ප‍්‍රතිෂ්ඨාපනය කරන තෙක් මාස නවයක් සඳහා එයට ක‍්‍රියාත්මක වීමට ඉඩ දීමත් හා ගම්වාසීන්ට නල ජලය සැපයීමටත් ය.

ප‍්‍රදේශවාසීන් ගිවිසුම සැලකුවේ කම්හල යලි විවෘත කිරීමේ කූටෝපායක් ලෙස ය. කෝපය වැඩෙත් ම සිරිධම්ම ප‍්‍රදේශයෙන් පලා ගියේ ය. දුර බැහැර නගරයක් වන ගම්පොල දී පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක දී භික්ෂුව පැවසුවේ තමා "ද්‍රෝහියෙකු” නො වන බව හා වේලාවේ හැටියට නිශ්ශබ්ද වන බවත් ය.

ගිවිසුම සඳහා වන ආන්ඩුවේ තල්ලුව පිරිසිදු ජලය සැපයීමක් නොමැතිකමේ ගැටලුව විසඳීමේ අවංක උත්සාහයක් නොව, එයින් ඉලක්ක කෙරුනේ මාස හයක් සඳහා විරෝධතාවන් නිෂ්ක‍්‍රීය කිරීමට ය. ලබන වසර මුල දී පැවැත්වීමට නියමිත බස්නාහිර පලාත් සභා මැතිවරනයට සූදානම් වීම තුල නිවැසියන් නිහඬ කිරීමට ආන්ඩුවට අවශ්‍ය විය.

සහකාර පොලිස් අධිකාරී චන්දන කොඩිතුවක්කු ඉරිදා එක්රැස් වූ විරෝධතාකරුවන්ට දැනුම් දුන්නේ උසාවියට ගිවිසුම ක‍්‍රියාත්මක කිරීමට අවශ්‍ය වූ බව යි. ඕනෑ ම විරෝධතාකරුවෙකු අත්අඩංගුවට ගන්නා බවට තර්ජනය කල ඔහු මහජනයා විසුරුවා හැරියේ ය. එමෙන් ම ඔහු කර්මාන්ත ශාලාව මෙහෙයුමේ යෙදවීම වැලක්වීමට කම්හල ඉදිරිපිට රැස්ව සිටි පුද්ගලයන් සිය ගනනක් ද පලවා හැරියේ ය. පෙර දින රාත‍්‍රියේ ප‍්‍රදේශයට පැමිනි නාඳුනන පුද්ගලයෝ විරෝධතාවට සහභාගි නොවන්නැයි ගම්මුන්ට තර්ජනය කලහ.

මෙයට අදාල සිදුවීමක දී, භූතාපසරනයක් කෙරෙමින් පවතිනවා දැකීමෙන් පසු, සභාව පන්සල යැයි හැඳින්වුනු ගමේ පන්සලක් ඉදිරිපිට විරෝධතාවේ යෙදුන ගම්වාසීන් පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදි. කම්මලේ නිලධාරීන් ද සම්බන්ධ වූ අදාල යාතුකර්මයෙන් කම්මල ආරක්ෂා කිරීමට වෑයම් කරතැයි ප‍්‍රදේශවාසීන් කල්පනා කර තිබින. පොලීසිය කාන්තාවන් ද ඇතුලු ව පුද්ගලයන් 17දෙනෙකු අත්අඩංගුවට ගෙන අනතුරු ඇඟවීමෙන් පසුව ඇප මත මුදා හලේ ය.

කම්හල ආරක්ෂා කිරීම හා ප‍්‍රදේශයේ විරුද්ධත්වය මර්දනයේ දී තමන් කිසිවකින් නතර නොවනු ඇති බව ආන්ඩුව පැහදිලිවම පෙන්වා දී ඇත. ඩිප් ප්‍රොඩක්ට්ස් පාලනය කරනු ලබන්නේ රටේ විශාලත ම සමාගම්වලින් එකක් වන හේලීස් සමාගම විසිනි. එහි ප‍්‍රධාන හිමිකරු වන ධම්මික පෙරේරා ලංකාවේ ධනවත් බිලියනපතියෙකු වන අතර ජනාධිපති මහින්ද රාජපක්ෂට පෞද්ගලිකව සමීප අයෙකි.

වැලිවේරිය කම්හල ප‍්‍රධාන අත්වැසුම් නිෂ්පාදන කම්හලකි. ඩිප් ප්‍රොඩක්ට්ස් ලෝකයේ වෛද්‍යමය නොවන අත්වැසුම්වලින් සියයට 5ක් අපනයනය කරන අතර වැලිවේරිය කම්හල සමාගමේ නිෂ්පාදනයෙන් සියයට 45ක් නිපදවයි. 2013 පලමු කාර්තුව අතරතුර සමාගමේ පූර්ව-බදු ලාභය සියයට 41කින් ඉහල ගියේ ය.

ඔක්තෝබර් 6 දා දි අයිලන්ඩ් පත‍්‍රය සිය කතුවැකියෙන් ආන්ඩුවට අනතුරු ඇඟවූයේ විරෝධතාකරුවන්ගේ ඉල්ලීම්වලට එකඟ නොවන ලෙස යි. ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගම "විශිෂ්ටත්වයේ ප‍්‍රමිතීන් සපුරා ඇති අතර ගෝලීය පිලිගැනීමක් අත්පත් කරගෙන ඇති” බවත් එය ප‍්‍රකාශ කලේ ය. එය ආයෝජකයන්ට වැරදි පනිවිඩයක් ගෙනයාමට ඉඩ ඇති බැවින් කම්හල ප‍්‍රතිස්ථාපනය කිරීමට එකඟතාව පල කර සිටියත් ඒ පිලිබඳව යලි සලකා බලන ලෙස අයිලන්ඩ් පත‍්‍රය ආන්ඩුවෙන් ඉල්ලුවේ ය. දේශපාලන හා මාධ්‍ය සංස්ථාපිතයේ එකම උත්සුකය වන්නේ සංගත ලාභ අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම ය.

මුලින් අවස්ථා කීපයක දී ආන්ඩුව කම්හල නැවත විවෘත කිරීමට උත්සාහ කලත් අසාර්ථක විය. අනවරත විරෝධතා ප‍්‍රකාශ කරන්නේ දූෂිත වූ ජලය පිලිබඳ පුලුල් ව පැතුරුනු කෝපය පමනක් නො ව අගෝස්තු පලවෙනිදා ම්ලේච්ඡ හමුදා ප‍්‍රහාරය කෙරෙහි විරුද්ධත්වයේ ගැඹුර යි. මහජනයා කම්පාවට පත්කල ඝාතන හා තුවාල සිදුකිරීම්, දෙමල ජාතිකයන්ට එරෙහිව දිවයිනේ උතුර හා නැගෙනහිර කුරිරු හමුදා මෙහෙයුම් සමග එකපෙලට තබා විවරනය කරන අදහස් පලකිරීම් හා ආන්ඩුව පිලිබඳ එලිපිට කෙරෙන හෙලාදැකීම් අවුලුවා තිබේ.

අකමැත්තෙන් වුවත්, වැලිවේරිය ජලය දූෂිත වී දැ යි පරීක්ෂා කිරීමට රටේ ප‍්‍රමුඛ පර්යේෂන ආයතනවලින් එකක් වන රජයට අයත් කාර්මික තාක්ෂන ආයතනයට (අයිටීඅයි) ආන්ඩුව දැනුම් දුන්නේ ය. අගෝස්තු 12 දා, අයිටීඅයි සභාපති ඩබ්ලිව්. අබේවික‍්‍රම මාධ්‍යයට ප‍්‍රකාශ කලේ කම්හලේ සිට කිලෝමීටරයක විෂ්කම්භයකින් යුත් පොලොවෙන් ගනු ලැබූ ජල සාම්පල 41ක ඉහල ආම්ලිකතාවක් ඇති බව යි. දින කීපයක් ඇතුලත ආන්ඩුවට සම්පූර්න වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඔහු පොරොන්දු විය. කෙසේ නමුත්, මේ දක්වාත් වාර්තාව ප‍්‍රසිද්ධ කෙරී නැත්තේ වසං කිරීමක් පිලිබඳ සැකය දල්වමිනි.

අසහනය ඉවතට හැරවීමේ තවත් උත්සාහයක දී, ඝාතනය කරන ලද සිසුන් වන අකිල දිනේෂ් හා රවිෂාන් පෙරේරාගේ පවුල්වලට සහ හමුදාව වෙඩි තබා ඝාතනය කරන ලද තරුන කම්කරුවෙකු වන නිලන්ත පුෂ්පකුමාරගේ බිරිඳට රාජපක්ෂ මූල්‍යමය වන්දි ප‍්‍රදානය කලේ ය.

අගෝස්තු පලවැනිදා ම්ලේච්ඡ ක‍්‍රියාව සඳහා තනි තනි නිලධාරීන් බිල්ලට දීමේ පියවරයන් ද ක‍්‍රියාත්මක වෙමින් තිබේ. සති දෙකකට පෙර හමුදා ආඥාපති ලුතිනන් දයා රාජපක්ෂ විමර්ශන උසාවියක දී ප‍්‍රකාශ කලේ "වෙඩි තැබීමේ සිදුවීම්” අතරතුර දී හමුදාව "එහි නීතිමය සීමාවන්”ඉක්මවා ක‍්‍රියා කර ඇති බව යි. "වගකිවයුතු” නිලධාරීන්ට එරෙහිව හමුදා අධිකරන චෝදනා ගොනු කිරීමට සාක්ෂි එකතු කෙරෙමින් පවතින බව ඔහු පැවසී ය. හමුදා මෙහෙයුමේ පෙරමුන ගත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් කීප දෙනෙකු ඔවුන්ගේ රාජකාරිවලින් විමුක්ත කරනු ලැබ ඇත.

ආරම්භයේ දී, හමුදාව හා ආන්ඩුව අගෝස්තු පලවෙනිදා විරෝධතාකරුවන්ට චෝදනා කලේ කඩකප්පල්කරුවන් හා ගැටුම් අවුලුවන්නන් ලෙස ය. තව ද ස්වයං ආරක්ෂාව පිලිබඳ කාරනයක් ලෙස එහි නිලධාරීන්ට නිරායුධ ජනයාට වෙඩි තැබීමට සිදුව තිබූ බව හමුදාව කියාපායි. ආන්ඩුව දැන් උත්සාහ කරන්නේ අපරාධයෙන් තම අත් සෝදා ගැනීමට ය.

සත්‍යවසයෙන් ගත් කල, පලමුවැනිදා සිදු වූ දේවලට ආන්ඩුව මුලුමනින් ම වගකිව යුතු ය. එය හමුදා බලමුලු ගැන්වීමට නියෝග කලේ, පෙලපාලිය ප‍්‍රචන්ඩකාරී ලෙස මර්දනය කිරීමේ අරමුනෙනි. වැලිවේරිය කම්හලට එරෙහි විරෝධතා ඔහුගේ ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට එරෙහිව ගොඩනැගෙමින් පවතින වඩා පුලුල් සමාජ පිපිරීමක සලකුනු බව රාජපක්ෂ හොඳින් ම දැනුවත් ය.

වැලිවේරිය හමුදා මෙහෙයුමට යන්තම් මාසයකට පෙර, ජූලි 3 දා රාජපක්ෂ සමස්ත රටේ සියලුම දිස්ත‍්‍රික්කවල "නීතිය හා සාමය පවත්වා ගෙන යාමට” සන්නද්ධ හමුදාවන්ට කැඳවුම් කරමින් ආඥාවක් නිකුත් කලේ ය. විරෝධතා කෙරහි ආන්ඩුවේ මෑතම තහනම් කිරීම් නැග එන සමාජ අසහනය මර්දනය කිරීමට එය කිසිසේත් පැකිලෙන්නේ නැති බවට කම්කරු පන්තිය වෙත කෙරෙන තවත් අනතුරු ඇඟවීමකි.

Share this article: