එක්සත් ජනපදය සිරියාවට එරෙහිව බේගල් මත පදනම් වූ යුද්ධයක් ඇරඹීමේ අද්දර

US on brink of launching war against Syria based on lies

බිල් වෑන් ඕකන් විසිනි, 2013 අගෝස්තු 31

පසුගිය සිකුරාදා ජනාධිපති බරක් ඔබාමා සහ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී, සිරියාවට එරෙහිව යුද වැදීම සඳහා, අතේ පැලවෙන බොරුවල ද දුගඳ හමන කුහකකමේ ද සංකලනයක් වූ කඩතුරාවක් ඉදිරිපත් කලහ. ඔවුන්ගේ නිවේදනයන්ගෙන් පැහැදිලි වූයේ ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින් ද, මැද පෙරදිග හා ඇමරිකාවේ ජනතාවන්ගේ අභිප‍්‍රායයන්ට මුලුමනින් ප‍්‍රතිපක්ෂව ද වොෂින්ටනය තවත් ඒකපාර්ශ්වික ආක‍්‍රමනකාරී යුද්ධයක් දියත් කිරීමේ අද්දරට සේන්දු වී ඇති බවයි.

සිරියාවට එරෙහි හමුදා ක‍්‍රියාමාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරනයකට එලැඹී නැතැයි ඔබාමා හා කෙරී යන දෙදෙනාම හඟවා ඇතත්, එකී ප‍්‍රකාශය ද, එම පාලනය විසින් ප‍්‍රකාශිත අන් සියල්ල සේම අමු මුසාවන් ය. සැලසුම් සහගත, නොවැලැක්විය හැකි මිලිටරි ප‍්‍රහාරයක් සඳහා කටාර්හි පිහිටි එක්සත් ජනපද මූලස්ථානය තුල ගුවන් හමුදා ඒකක රැස් කරමින් ඇති අතර, එක්සත් ජනපද නාවුක හමුදාව පස්වන යුද නෞකාවක් ද මධ්‍යධරනී මුහුදේ ස්ථානගත කලේ ය. නව සඳ උදා වන සැප්තැම්බර් 5 වන දින පහර දීම සඳහා තෝරා ගැනීමට ඉඩ ඇතැයි සැලකිය හැකි ය. දශකයකට වඩා ඉහත දී ඉරාකයට එරෙහිව "කම්පනය හා භීතිය” දියත් කෙරුනේ ද මීට සමාන තතු යටතේ ය.

සමස්ත මෙහෙයුම ම සූදානම් කෙරෙමින් පවතින්නේ ජාත්‍යන්තර නීතිය, ප‍්‍රජාතන්ත‍්‍රවාදී කි‍්‍රයාවලීන් හා ඇමරිකානු මහජන මතය අවඥාවට පත් කරමිනි. සිකුරාදා සවස රාජ්‍ය දෙපාර්තමේන්තුවේ සිට කෙරී සිදු කල ප‍්‍රකාශය මගින් ඒ බව ඇති තරම් පැහැදිලිව පෙනී ගියේය.

ඉන් සුලු වේලාවකට පසු නිකුත් කෙරුනේ බෝල්ටික් රාජ්‍ය නායකයන් තිදෙනෙකු සමග පැවැත්වූ පටිගත කල ඡායාරූප සැසියක දී ඔබාමා කල නොසැලකිලිමත් ප‍්‍රකාශයකි. එකී ප‍්‍රස්තාව මගින් - විශේෂයෙන් ම නව යුද්ධයකට සහභාගී වීම ප‍්‍රතික්ෂේප කරමින් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තු කැපී පෙනෙන ඡන්දයකින් පසුව - ඉදිරියේ එන එක්සත් ජනපද ආක‍්‍රමනයට ජාත්‍යන්තර සහයෝගය නොලැබෙන බැව් ඉස්මතු කොට දැක්වූවා පමනි.

ඔබාමාගේ ප‍්‍රකාශයේ අරමුන වූයේ, සිරියාවට එල්ල කෙරෙන ඕනෑම එක්සත් ජනපද ප‍්‍රහාරයක් "දින නියමයකින් තොරව හා ගොඩබිම් සටනක් නොවන බවත්, එය "සීමිත, පටු කි‍්‍රයාමාර්ගයක්” වනු ඇති බවත්, ඇමරිකානු ජනතාවට සහතික කිරීමයි. ඒ ආකාරයේ ම ප‍්‍රතිඥාවක් ලබා දෙමින් කෙරී පැවසූවේ සිරියානු ආක‍්‍රමනය "ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ හෝ අඩු තරමින් ලිබියාවේ හෝ පවා” සිදු කල මැදිහත් වීම්වලට "කිසිදු සමානකමක් නොදක්වනු ඇති” බවයි.

මේ ප‍්‍රකාශ කෙරේ වුව කිසිදු විශ්වාසයක් තැබීමට මොනම හේතුවක්වත් නොමැත. අගෝස්තු 30දා වොෂින්ටන් පෝස්ට් පත‍්‍රය, එක්සත් ජනපද හමුදා පිරිස් සමග පැවැත්වූ සම්මුඛ සාකච්ඡා මත පදනම් වූ මුල් පිටුවේ ප‍්‍රවෘත්තියක් පල කලේ ය. ඔවුන් පෙන්වා දී තිබුනේ මෙම කි‍්‍රයාමාර්ගය "බෙහෙවින් අනතුරුදායක” බවයි. එක්සත් ජනපදයට හුදෙක් කෲස් මිසයිල කිහිපයක් ඩැමස්කසයට එල්ල කර ආපසු එන්නට නොහැකි වෙතැයි ඔවුහු අනතුරු ඇඟවූහ.

එක්සත් ජනපදයේ මධ්‍යම ආඥාපතිත්වයේ හිටපු ප‍්‍රධානී ජෙනරල් ජේම්ස් මැටිස්ගේ පහත අනතුරු හැඟැවීම එහි උපුටා දැක්වින: "ඇමරිකානුවන් මෙහි ස්වාමිත්වය භාර ගතහොත්, එය අප ගෙල දක්වා කිඳී ගත් අතිශය බැරෑරුම් යුද්ධයක් වනු ඇත.”

හමුදා ඒකාබද්ධ මාන්ඩලික ප‍්‍රධානීන් ගේ සභාපති ජෙනරල් මාටින් ඩෙම්සේ කොන්ග‍්‍රසයට කල පහත අනතුරු හැඟැවීම ද මෙම ලිපියේ උපුටා දක්වා තිබින: "අප වරක් කි‍්‍රයාත්මක වූ කල, ඊලඟට පැමිනෙන දෙයට මුහුන දීමට ද අප සූදානම් ව සිටිය යුතුය. වඩ වඩාත් ගැඹුරට පැටැලීමෙන් වැලැකී සිටීම දුෂ්කරය.”

රූපවාහිනී මගින් විකාශනය කෙරුනු ප‍්‍රකාශය තුල කෙරී නිරූපනය කලේ, පරිපාලනය කොන්ග‍්‍රසයේ "උපදෙස්” ලබා ගනිමින් සිටින බව සහ එලැඹෙන හමුදා කි‍්‍රයාමාර්ගය පිලිබඳව ”ඇමරිකානු ජනතාව සමග කෙලින්ම” සාකච්ඡා කරමින් සිටින බවයි. ඇමරිකානු ජනතාව අතරින් බහුතරයක් කවර හෝ යුදමය මැදිහත්වීමකට විපක්ෂව සිටිති. නවතම ජනමත විමසීම්වලට අනුව සියයට 80ක් කොන්ග‍්‍රසයේ ඡන්දයෙන් ලබා ගන්නා අනුමැතියකින් තොරව සිරියාවට පහර දීමට එරෙහි ව සිටින තතු තුල එබඳු කියා පෑම් හුදු සාවද්‍ය පමනක් නොව අවමානයක් ද වෙයි.

ජනතාවට කිසිවක් නොසඟවන ඔබාමා පාලනයේ ඊනියා ඍජු පිලිවෙතට සාක්ෂි වශයෙන්, අගෝස්තු 21 ඩැමස්කසයෙන් පිටත සිදු වූ බැව් කියන රසායනික අවි ප‍්‍රහාරය පිලිබඳව එක්සත් ජනපද රහස් ඔත්තු සේවාවන් නිෂ්පාදනය කල "රහස්ය ලෙස වර්ගීකරනය නොකල තක්සේරුවක්” මාධ්‍යයට මුදා හැරීම කෙරී උපුටා දැක්වී ය. තම යුද්ධය සාධාරනීකරනය කිරීමට ව්‍යාජ ආවරනයක් ලෙස වොෂින්ටනය භාවිතා කලේ මෙම ලියවිල්ලයි.

"මේ සම්බන්ධයෙන් මගේ වචනය විශ්වාස කරන්නැයි මම ඉල්ලා නොසිටිමි”යැයි කෙරී පැවසී ය. "තමන්ම එය කියවා බලන්න. මෙයට ඇහුම්කන් දෙන සෑම දෙනා ම, දහස් ගනන් ප‍්‍රභවයන්ගෙන් ලැබුනු සාක්ෂි කියවා දැනගන්න.”

කෙසේ වෙතත්, කෙරීගේ කථාවෙන් කෙටි වේලාවක් තුල අන්තර්ජාලයේ සැරිසරන්නට වූ මෙම වාර්තාව කියවන කවරෙකුටවත් ඔප්පු කල හැකි සාක්ෂියක ලේශමාත‍්‍රයක් හෝ හමු නො වේ. යන්තම් පිටු තුනක් වන මේ ලේඛනය සමන්විත වන්නේ, සිරියාවේ බෂිර් අල් අසාද්ගේ රජය පෙරලා දැමීමේ අරමුනින් එක්සත් ජනපදය විසින් අවුලුවන ලද සිවිල් යුද්ධයකට විවෘතව ම මැදිහත් වීම සඳහා ව්‍යාජ ආවරනයක් නිර්මානය කර ගැනීමේ එක්සත් ජනපද ප‍්‍රතිපත්තිමය ඉලක්කය වෙනුවෙන් මූට්ටු කල, නිරවද්‍යතාව ඔප්පු නොකරන ලද පූර්ව නිගමන මාලාවකිනි.

නිවැරදිව ම කිවහොත්, ඇමරිකානු ජනතාවට සත්‍යය ලෙස විශ්වාස කරන්නැයි ඔවුන් කියා සිටින්නේ, බොටොක්ස් (රූප ලාවන්‍යය සඳහා යොදා ගැනෙන ද්‍රව්‍යයකි) යොදා සකස් කල සිය මුහුන මෙන් ම තනිකර ව්‍යාජයක් වන කෙරීගේ හා සීඅයිඒ නිලධාරීන්ගේ ද "වචනය” යි.

"එක්සත් ජනපද ආන්ඩුව දැඩි විශ්වාසයකින් යුතුව තක්සේරු කරන පරිදි” යනුවෙන් ඇරඹෙන මෙම ලේඛනය, ඉක්බිතිව අගෝස්තු 21 දින සිදු වූ බව කියන ප‍්‍රහාරයට සිරියානු රජය වෙත චෝදනා නගන නිගමන මාලාවකින් සමන්විත ය.

මීට ඉහත දී සිරියානු රජය රසායනික අවි ප‍්‍රහාර එල්ල කොට ඇතැයි ද, ප‍්‍රහාරයට පෙරාතුව රසායනික අවි ගත් පුද්ගලයන් ස්ථානගතකර තිබුනේ යයි ද, ප‍්‍රහාරයෙන් පසු ඒ පිලිබඳව සාකච්ඡා කොට ඇතැයි ද යන සාක්ෂිවලින් තොර චෝදනා ගෙන එන එය, ඇත්ත නැත්ත උරගා බැලිය හැකි එකම සාක්ෂියක අංශු මාත‍්‍රයක්වත් ඉදිරිපත් නොකරයි.

අසාද් රජය "ප‍්‍රහාරය පිලිබඳව දැන සිටි බව හා එය මෙහෙයවූ බව කියා සිටීමට එය උපුටා දක්වන්නේ "සිරියාවේ පෙර භාවිතාව ද ඇතුලත්”, නම නියම නොකල "සාක්ෂි සමූහයකි”.

මෙම ප‍්‍රහාරය ෆැසිස්ට්වාදී අල් කයිඩාවට අනුබද්ධ මිලීෂියාවන්ගේ එකතුවක් වන බටහිර සහාය ලබන කැරලිකරුවන් විසින් දියත් කරනු ලැබුවේයැයි "සිතීමට අසීරු”බව එය පවසයි. එය එසේ පවසන්නේ එක්සත් ජාතීන්ගේ අවි පරීක්ෂකයන් ඩැමස්කස් හි තම කටයුතු ඇරඹූ දිනයේ ම දියත් කෙරුනු එවන් ප‍්‍රහාරයකින් අසාද් රජයට අහිමි වීමට සියලු දේ පැවැති බව නොතකා ය. අනෙක් අතට, යුද පරාජයන් මාලාවකට මුහුන දෙමින් අපේක්ෂා භංගව, තමන් වෙනුවෙන් විවෘත එක්සත් ජනපද හමුදා මැදිහත්වීමක් සිදු කෙරෙනු දැකීම අවසන් බලාපොරොත්තුව බවට පත්ව තිබූ "කැරලිකරුවන්ට” එවැන්නකින් ලබා ගැනීමට හැකි දේ බොහෝ ය.

"විපක්ෂය රසායනික අවි භාවිතා නොකල බව අපේ තක්සේරුවයි” යනුවෙන් එය තව දුරටත් ප‍්‍රකාශ කරයි. මෙම ප‍්‍රකාශය, තමන් සතුව එවන් ආයුධ ඇතැයි අල් කයිඩාවරුන් කියා සිටි පුරසාරම්වලට ද, කැරලිකරුවන් රසායන අවි භාවිතා කල බව සාක්ෂි රාශියකින් පෙන්නුම් කෙරෙතැයි පසුගිය මැයි මාසයේ දී ප‍්‍රකාශ කල, සිරියාව පිලිබඳ එක්සත් ජාතීන්ගේ පරීක්ෂන කොමිසමේ ප‍්‍රමුඛ සාමාජිකාවක් වන කාලා ඩෙල් පොන්ටේගේ නිගමනයන්ට ද මුලුමනින් ම පටහැනි ව යන්නකි.

"විපක්ෂයට අනුබද්ධ කොටස් රසායනික අවි භාවිතා කිරීමට සැලසුම් කරමින් සිටි බවට කිසිදු ඇඟවීමක් ප‍්‍රහාරයට පෙර දිනවල දී ඩැමස්කස් තුල සිටින අපේ රහස් තොරතුරු සපයන්නන්ට අනාවරනය වී නොතිබිනු” බව වාර්තාව සඳහන් කරයි.

සිය සොයා ගැනීම් සාරාංශගත කරමින් එම වාර්තාව, තම "තක්සේරුව, තහවුරු කල එකක් නොවන” බව පිලිගන්නේ, "සිදු වූයේ කුමක්ද යන්න පිලිබඳව අපේ අවබෝධයේ ඇති හිදැස් පිරවීම සඳහා අපි දිගටම අමතර තොරතුරු සොයා බලන්නෙමු” යයි ප‍්‍රතිඥාවක් ද දෙමිනි.

වෙනත් වචනවලින් කිවහොත්, හමුදා ආක‍්‍රමනයක් සඳහා ව්‍යාජ ආවරනයක් ලෙස තමන් විසින් හැඩ ගස්වා ගන්නා ලද තහවුරු නොකල චෝදනා හා සමපේක්ෂන මත පදනම් ව වොෂින්ටනය යුද්ධයක් දියත් කරයි. තව ද, තමන් විසින් තොරොම්බල් කෙරුනු චෝදනා තහවුරු කිරීමට කිසිත් උනන්දුවක් නොදක්වන ඔවුහු, එක්සත් ජාතීන්ගේ ආයුධ පරීක්ෂකයන් "කැරලිකරුවන්ගේ” විෂ වායු ප‍්‍රහාරවල බලපෑම්වලින් පීඩා විඳිමින් සිටින සිරියානු සෙබලුන් පරීක්ෂා කරමින් සිටින අතරවාරයේ පවා, එම පරීක්ෂකයන්ගේ බිම් මට්ටමේ විමර්ශනය "අදාල නොවෙතැ”යි බැහැර කරති.

යමෙකු මෙම වාර්තාවේ භාෂාව බැරෑරුම් ලෙස විමසා බැලුවහොත් පැහැදිලිව ම පෙනී යනු ඇත්තේ එය සටකපට නීතිවේදියෙකුගේ සංක්ෂිප්තකරනයක් බවයි. වචන ඉතා ප‍්‍රවේසම්කාරී ලෙස තෝරා ගෙන ඇත. "එක්සත් ජනපද ආන්ඩුව දැඩි විශ්වාසයකින් යුතුව තක්සේරු කරන පරිදි” ප‍්‍රහාරයට අසාද් රජය වග කිව යුතුය. - වෙනත් වචනවලින් කිවහොත්, අපට එය නිසැක නැත.

අල් කයිඩාව විසින් මෙහෙයවෙන කැරලිකරුවන් (රසායනික අවි ප‍්‍රහාරය) සිදු කලේයැයි "සිතීමට අසීරු”ය. එනම්, "එය නොවිය හැක්කක් නොවේ.” තව ද, එක්සත් ජනපද සහාය ලබන විපක්ෂ හමුදා රසායනික ප‍්‍රහාරයක් සැලසුම් කරමින් සිටි බවට "කිසිදු ඇඟවීමක්”, එක්සත් ජනපදයේ රහස් තොරතුරු සපයන්නන්ට "අනාවරනය වී නොතිබිනි.” තවත් ආකාරයකින් කිවහොත්, ඔබ දිගටම හාරා අවුස්සා බැලීනම් එබඳු ඇඟවීම් ලැබෙනු විය හැකිය.

එබඳු සාක්ෂි මත පදනම් ව තුන්වන පන්තියේ සොරකමකට යමෙකු වරදකරු ලෙස තීන්දු කිරීම හෝ එක්සත් ජනපද අධිකරනයක් තුල නොකල හැකි වනු ඇත. එහි දී සම්මත ක‍්‍රමය වන්නේ සාධාරන සැකයකින් තොරව ඔප්පු කිරීමයි. එතෙකුදු වුව, එක්සත් ජනපද ආන්ඩුව යෝජනා කරන්නේ, දහස් ගනනකට සිය ජීවිත අහිමි කෙරෙන පරිදි ඩැමස්කසයට බෝම්බ හෙලීම ඇරඹීම යුක්තිසහගත කිරීමට එවන් සාක්ෂි යොදා ගැනීමට ය.

මේ එකම වචනයක්වත් විශ්වාස කල යුතු නො වේ. එම දිනයේ සිදුවූයේ කුමක්දැයි දැන ගැනීමට යමෙකුට සැබැවින් ම අවශ්‍ය නම් ඒ සඳහා, අසාද්-විරෝධී හමුදා සන්නද්ධ කරමින් ද ඒවායේ මිනීමරු කි‍්‍රයාකාරිත්වයන් මෙහෙයවමින් ද සිටි සීඅයිඒ, මොසාඩ් සහ කටාර් හා සවුදි රාජ්‍යයන්හි රහස් තොරතුරු ඒජන්තයන්ගෙන් ප‍්‍රශ්න කිරීමට සිදු වනු ඇත. නිසැකව ම ඔවුහු එක්සත් ජනපද හමුදා කි‍්‍රයාකාරිත්වයකට මග හෙලිකිරීම සඳහා රසායනික අවි ප‍්‍රකෝපකාරීත්වය සංවිධානය කිරීමේ නායකත්වයේ කාර්යභාරය ඉටුකලෝ ය.

සිකුරාදා කෙරීගේ ප‍්‍රකාශයෙන් විශේෂ කොට දැක්වෙන එකම දෙය නම්, එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් පදවිය සඳහා අවශ්‍ය කෙරෙන ප‍්‍රධාන සුදුසුකම මනා කුසලතාවයකින් යුත් බේගල්කාරයෙකු හා හොර ලේඛන සාදන්නෙකු වීම බවයි. සිය කුලීන ආචාරවිධි සමග ඔහු යමෙකුට සිහිපත් කරවනු ඇත්තේ, වෙනත් ඕනෑම කෙනෙකුට වඩා හිට්ලර්ගේ විදේශ ඇමති ජෝෂිම් වොන් රිබන්ත්‍රොප් ය. කෙරීගේ කථාවේ වෛෂයික අන්තර්ගතය සමන්විත වන්නේ ජර්මානු නාසි රාජ්‍ය තන්ත‍්‍රරය පරයා යන ගෝලීය පරිමාන උද්ධච්ඡකමකින් හා සාපරාධීභාවයකිනි.

"රසායනික ආයුධවල අවිශේෂී, සිතාගත නොහෙන සංත‍්‍රාසය” පිලිබඳව ද, "සර්වභෞමික වටිනාකම්” හා "ජාත්‍යන්තර ප‍්‍රජාවගේ මූලික මූලධර්මයන්” උත්ථම්භනය කිරීමෙහි ලා වොෂින්ටනයේ අද්විතීය මෙහෙවර ලෙස හඳුන්වනු ලබන දෙය පිලිබඳව ද කෙරීගේ කයිවාරු සියල්ල යමෙකුට බැහැර කල හැකිය.

ඔහු මේ විහිලු කරන්නේ කවුරුන්ට ද? මැද පෙරදිග හෝ මෙම ග‍්‍රහ ලෝකය තුල අන් කවර ස්ථානයක හෝ සදාචාරය පිලිබඳව දේශනා කිරීමේ අවම අයිතියක් ඇත්තේ ඇමරිකානු අධිරාජ්‍යවාදයට ය. පසුගිය දශකයක යුද්ධය තුල එය, අවම යුරේනියම් යුද්ධෝපකරන හා සුදු පොස්ෆරස් ෂෙල් වෙඩි භාවිතය ද ඇතුලු උපක‍්‍රම භාවිත කොට, ඉරාක ජාතිකයන් දස දහස් ගනනින් ඝාතනය කිරීමට ඍජුව ම කටයුතු කල අතර තවත් ලක්ෂ ගනනකට ජීවිත අහිමි කල ව්‍යසනකාරී කොන්දේසි නිර්මානය කලේ ය.

ලක්ෂ 30කට අධික ජීවිත වනසා ලූ වියට්නාම් යුද සමයේ තොග පිටින් යොදා ගත් නාපාම් හා ඒජන්ට් ඔරේන්ජ්, රසායන අවි නොවේ නම් මොනවා ද? හිරෝෂිමා හා නාගසාකිහි මිලියන කාලකට ආසන්න ජපන් සිවිල් වැසියන්ට මරු කැඳවමින්, ආයුධ අතරින් වඩාත් සංත‍්‍රාසජනක අවිය වන පරමානු බෝම්බය භාවිතා කලේ ඇමරිකානු අධිරාජ්‍යවාදයයි. මෙතෙක් එම අවිය භාවිතා කොට ඇත්තේ ද ඔවුන්ම පමනෙකි.

වියට්නාමයේ දී ටොන්කින් මුහුදු බොක්කේ සිදුවීමේ සිට ඉරාකයේ නොපැවැති සමූල ඝාතක අවි දක්වා, පසුගිය කාල පරිච්ඡෙදය පුරා ම ඔවුන් දියත් කල සෑම යුද්ධයක් ම පදනම් කොට තිබුනේ මුසාවන් මතය. එලැඹෙන සිරියානු යුද්ධය සම්බන්ධයෙන් ද එහි වෙනසක් නැත.

වොෂින්ටනය විසින් ගනු ලැබෙන කි‍්‍රයාමාර්ගය හුදු "සීමිත” හා "අවස්ථාවට ගැලපෙන පරිදි සැකසූ” එකකැයි යන කියා පෑම බැලූබැල්මට ම ද සාවද්‍ය වන්නේ සීඅයිඒ සංවිධානය හා පෙන්ටගනය පසුගිය දෙවසර පුරාම නිකායවාදී සිවිල් යුද්ධයක් ඇවිස්සීමේ ද සිරියාව කැබලිවලට ඉරා දමමින් සිටින අල් කයිඩා කල්ලි සන්නද්ධ කිරීමේ ද යෙදී සිටි නිසා ය. සිරියාවේ ලේ ගැලීම් නතර කිරීම පිලිබඳ සැබෑ උනන්දුවක් ඔබාමා පාලනයට තිබිනි නම් එය කල යුතුව තිබුනේ එම රට ආසන්නයේවත් නොසිට ඉවත් ව යාම සහ එහි කටයුතුවලට ඇඟිලි ගැසීමෙන් වැලැකී සිටීමයි.

ඇත්තෙන් ම එවැන්නක් කිරීමට එක්සත් ජනපදයට කිසිදු අභිලාෂයක් නැත. එලැඹෙමින් පවත්නා ප‍්‍රහාරය දහස් සංඛ්‍යාත සිරියානුන්ගේ ජීවිතවලට තර්ජනය කරයි. සිරියානු ජනාධිපති බෂාර් අල් - අසාද් "මැරයෙකු හා මිනීමරුවෙකු” ලෙස කෙරී විසින් විස්තර කිරීම සුවිශේෂී වැදගත්කමකින් යුතු ය. මෙම හැඳින්වීම ඉරාකයේ සදාම් හුසේන් හා ලිබියාවේ මුවම්මර් ගඩාෆි විස්තර කිරීමට යොදාගත් භාෂාවේ ප‍්‍රතිරාවයකි. ඔවුන් සම්බන්ධයෙන් කටයුතු කල පරිද්දෙන්ම සිරියානු ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ද කටයුතු කිරීම එක්සත් ජනපදයේ අරමුනයි. ඔහුගේ රජය පෙරලා දැමීම සහ ඔහු හා ඔහුගේ පවුලේ සාමාජිකයන් ඝාතනය කිරීම පැහැදිලිව ම ඊට ඇතුලත් ය.

මුසාවාද සහ මහජනයා ඇවිස්සීමේ කයිරාටික කථා ඉවත් කල විට කෙරීගේ කථාවෙන් වට රේඛනය කෙරෙන්නේ නිරුවත් ආක‍්‍රමනශීලීත්වය පිලිබඳ එක්සත් ජනපද දර්ශනයයි. සිරියාව තුල එක්සත් ජනපදයේ ආරක්ෂක අභිලාෂයන් පරදුවට තැබී ඇතැයි රාජ්‍ය ලේකම් සහතික කොට පවසා ඇත. මක්නිසාදයත්, ඇමරිකානු විධානයන්ට අකීකරුවීමට අසාද්ට ඉඩදිය නොහැකි හෙයිනි. එසේ කොට ගැලවී යාමට ඔහුට හැකි වුවහොත් අනෙක් රටවල් ද, "එයම අනුගමනය කිරීමට හැකියැයි විශ්වාස කරනු ඇත.” මේ අනතුරු හැඟැවීමෙන් ගම්‍යවන්නේ, ඉරානය, රුසියාව, චීනය හා සමස්ත ග‍්‍රහ ලෝකය ගිල දැමිය හැකි වඩාත් පුලුල් යුද්ධයකට ඇතුලු වීමේ හුදු පෙරකුටීරය පමනක් සිරියාව මත එල්ල කෙරෙන ප‍්‍රහාරය මගින් නියෝජනය කෙරෙන බවයි.

Share this article: