ඔබාමා එක්සත් ජාතින් හමුවේ කල කථාව හා එක්සත් ජනපද ප්‍රතිපත්තියේ අර්බුදය

Obama’s UN speech and the crisis in US policy

2013 සැප්තැම්බර් 26

එක්සත් ජාතීන්ගේ මහා මන්ඩලය හමුවේ 24දා පැවැත්වූ කථාවේදී එක්සත් ජනපද ජනාධිපති බරක් ඔබාමා මැදපෙරදිග එජ අවශ්ය තා පෙරට ගෙනයාමේදී අනුගමනය කරන ආක්‍රමනික යුද්ධයේ ධර්මතාව ගෙනහැර දැක්වූ අතර එය, එජා ආරම්භක ප්‍රඥප්තියටත් ජාත්‍යන්තර නීතියේ අති මූලික ශික්ෂාවන්ටත් කෙලින්ම පටහැනිව පිහිටයි.

එජ, “මැද පෙරදිග හා උතුරු අප්‍රිකාවේ සිය ප්‍රමුඛ අවශ්‍යතා සුරැකීමේදී මිලිටරි බලය ද ඇතුලු තම බලයේ සියලු අවයව පාවිච්චි කිරීමට සූදානම්ව සිටියි. මෙම ‘ප්‍රමුඛ අවශ්‍යතා’ අතර මූලිකම දෙය, කලාපයෙන් බලශක්තිය නිදහසේ ගලා ඒම” ගැන වගබලාගැනීම යයි ඔහු පැවසීය. මෙම ධර්මතාවට එජ විදේශ පිලිවෙත තුල දිගු පැටිකිරියක් තිබේ. සුලු වශයෙන් වෙනස් රූපයන් ගත් එය, අයිසන්හවර් හා කාටර් විසින් ද ජ්‍යෙෂ්ඨ හා ඛනිෂ්ඨ බුෂ්ලා ද ගෙනහැර දක්වා ඇත. ලෙබනනයේ මිලිටරි මැදිහත්වීම් වලදී ද 1991 ගල්ෆ් යුද්ධයේදී, 2003 ඉරාක ආක්‍රමනයේදී, එජ-නේටෝ ලිබියානු යුද්ධයේදී ද විවිධාකාර කුඩා රහසිගත මැදිහත්වීම් වලදී, බෝම්බ හෙලීමේදී හා කෲස් මිසයිල ප්‍රහාරවලදී එය ප්‍රායෝගික ලෙස ක්‍රියාවට නඟා ඇත.

සිරියාවට එරෙහිව එජ මිලිටරි බලය යොදාගැනීමෙන් පසුබැසිමට බලකරනු ලැබීම හමුවේ ඔබාමා, මෙම පිලිවෙත පුනරුච්ඡාරනය කිරීම යම් ආකාරයක පුස් වෙඩිල්ලකි. රට තුල ද විදේශයන්හි ද පලවූ දැඩි මහජන විරෝධය හමුවේ නොවැලැක්විය හැකි යයි පෙනී ගිය මිලිටරි ප්‍රහාරයෙන් පසුබැසීමට ඔහුට සිදු විය.

මෙය පලමුවෙන් ප්‍රකාශිත වූයේ යුද්ධයට පක්ෂව ගෙනආ යෝජනාව බ්‍රිතාන්‍ය මන්ත්‍රී මන්ඩලයේදී පරාජයට පත්වීම ලෙසය. සිරියාවට පහර දීමේදී වොෂින්ටනයට සිය ප්‍රමුඛ ජාත්‍යන්තර සහචරයාගේ සහාය නොලැබී ගියේය. ඉන් පසුව එජ තුලම දැවැන්ත යුද විරෝධී මහජන මතය හමුවේ, මිලිටරි බලය යෙදවීම සඳහා අධිකාරය ලබාගැනීමට කල ඉල්ලීම කොන්ග්‍රසය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමේ අවදානමට ඔහු මුහුන පෑවේ ය.

සිරියාවේ රසායනික අවි හරනයක රූපාකාරයෙන් රුසියාව ඔබාමාට හුස්ම ගැනීමේ ඉඩක් සලසන යෝජනාවක් ගෙන ආවේ මෙවන් කොන්දේසි යටතේය. බරපතල අර්බුදයකින් ගැලවීම පිනිස එජ බලාධිකාරය එය ඩැහැගත්තේය.

මෙම සන්දර්භය තුල එජ අධිරාජ්‍යවාදයේ පැත්තෙන් ඔබාමාගේ කථාව ඇඟවුම් කලේ සැලකිය යුතු උපායාත්මක කරනමකි. වොෂින්ටනය විසින් උසිගන්වා, අරමුදල් සපයා, සන්නද්ධ කල ඉස්ලාමීය මිලිෂියාවන්ගේ නායකත්වය යටතේ, බෂර් අල් අසාද්ගේ ආන්ඩුව පෙරලීමට උත්සාහ කල දෙවසරක සිවිල් යුද්ධය සඳහා, “දේශපාලන විසඳුමක්” හා සිරියාවේ රසායනික අවි පිලිබඳ ආරවුලට “රාජ්‍යතාන්ත්‍රික විසඳුමක්” වෙනුවෙන් එජ පෙනී සිටියේ ය.

සිරියාවද ඇතුලත් කලාපයේ එක්සත් ජනපද මැදිහත් වීමේ මූලික ඉලක්කය වී ඇති ඉරානය සම්බන්ධයෙන්, වොෂින්ටනය “පාලන තන්ත්රලය වෙනස්කිරීමට උත්සාහ නොකරනු ඇතැයි” ඔබාමා කියා සිටියේය. “රාජ්‍ය තාන්ත්‍රික මාවත අත්හදා බැලිය යුතු යයි මම තරයේ විශ්වාස කරමි.” ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන පිලිබඳව සාකච්ඡා කර එකඟත්වයකට ඒම සඳහා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ඔහුගේ ඉරාන අනුචරයා මුනගැසෙනු ඇතැයි ද ඔහු පැවසී ය.

මෙම ප්‍රවිෂ්ටය සමගින් පාලනාධිකාරයට තමන් නවතින්නේ කොතැනක ද යන්න ගැන පැහැදිලි වැටහීමක් ඇතැයි සැක සහිතය. මිලිටරි මෙහෙයුමට දේශපාලන බාධාවන් මතුව ඇති බව පැවසීම, රාජ්‍යතාන්ත්‍රික ව්‍යායාමයන් තුලින් ගමන් කර, සිරියාවේ හා ඉරානයේ දරදඬුකම නිසා ඒවා නිස්කාරන බව තහවුරුවී ඇති බැවින් යුද්ධය හැරෙන්නට වෙනත් විකල්පයක් නැතැයි පැවසීම පිනිස කල් මැරීමක් වීමට බෙහෙවින් ඉඩකඩ තිබේ. රාජ්‍යතාන්ත්‍රික මාවත් “අත්හදා බැලීම” පිලිබඳ ප්‍රකාශය, ඒවා අසාර්ථක වුවහොත් මිලිටරි ක්‍රියාවන්ට බසින බවට ව්‍යංඟයෙන් කෙරෙන තර්ජනයකි.

අනෙක් අතට ඉරානය, මැද පෙරදිග එජ ප්‍රතිපත්තියේ කුලුන්නක් ලෙස දිගු කලක් සේවය කර තිබෙන අතර අද එහි පවත්නා ඉස්ලාමීය සමූහාන්ඩුවේ දක්ෂිනාංශික ධනපති තන්ත්‍රයෙහි නායකයින් සම්බන්ධයෙන් ගත් කල ද ඔවුන් “මහා සාතන්” සමග ගිවිසුමක් ගසා ගැනිම අරුමයක් නොවන්නේය. කෙසේ වෙතත්, දන්ඬන සම්බාධක ලිහිල් කිරීමට හිලව් වශයෙන් වොෂින්ටනයේ ඉල්ලීම් ඉරානියන්ට අමුතු දෙයක් නො වේ.

කෙටිකාලීන එහා මෙහා වීම් කුමක් වුවත්, එජ අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී මූලෝපායික අරමුනු නොවෙනස්වනු ඇත. ක්ෂනික මිලිටරි ක්‍රියා අත්හිටුවා තිබෙන නමුත් යුද්ධයේ තර්ජනය පහව ගොස් නැත. ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදයෙන් හා ගැඹුරින් මුල්බැස ඇති ප්‍රතිවිරෝධයන් මගින් ඒවා මෙහෙයනු ලබයි. සෝවියට් සංඟමයේ බිඳවැටීම හමුවේ පසුගිය දශක දෙකක කාලයේ අනුප්‍රාප්තික එජ ආන්ඩු, වියැකී යන සිය ආර්ථික අධිකාරය ජයගැනීම පිනිස ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මිලිටරි ශක්තිය ප්‍රයෝජනයට ගැනීමේ පිලිවෙතක් අනුගමනය කර තිබේ. ප්‍රධාන කොට ම මෙය ප්‍රකාශිතව ඇත්තේ, මූලෝපායිකව වැදගත් හා බලශක්තියෙන් පොහොසත් පර්සියානු ගල්ෆ් හා මධ්‍ය ම ආසියාවේ එක පිට එකක් වශයෙන් සිදුවූ යුද්ධ හා මිලිටරි මැදිහත්වීම් තුලිනි.

කෙසේ වෙතත් මෙම අරමුනු සාක්ෂාත්කර ගැනීමට වොෂින්ටනය වඩ වඩාත් සිය මිලිටරි ශක්තිය ප්‍රයෝජනයට ගැනීමට යොමුවී සිටීම ඕනෑවටත් වඩා පැහැදිලිය. ඒ සැම යුද්ධයක්ම කෙලවරවී ඇත්තේ ව්‍යසනයකිනි. ඔබාමා සිය කථාවේදී ඉරාක යුද්ධය අවසන් කල බවට පුරසාරම් දෙඩුව ද එරට ආන්ඩුව එක්සත් ජනපදයට වඩා ඉරානයට සමීපවී සිටින අතර සෑම මසකම දහසකට අධික ඉරාක වැසියන් සංඛ්‍යාවක් නිකායික දේශපාලන ප්‍රචන්ඬ ක්‍රියා මගින් මරුමුවට පත්වෙයි. ඇෆ්ගනිස්ථානයේදී ද එක්සත් ජනපද ආක්‍රමනික හමුදා “සිය දූත මෙහෙවර නිමාකර” ඇති බව ඔබාමා පැවසුව ද ප්‍රතිපලය ඊටත් වඩා නරක වනු ඇත. එදිරිවාදී මිලිෂියාවන් අතර බිහිසුනු ගැටුම් මගින් ලිබියාව කොර ගසන තත්වයකට පත්ව ඇති අතර චීනය පවා තෙල් කොන්ත්‍රාත් වලින් ඉමහත් වාසි නෙලා ගැනීමට ඉදිරිපත් වීමෙන් වැලකී සිටියි.

මෙම වාර්තාව සලකා බලන කල, සිරියාවට මැදිහත්වීම සම්බන්ධයෙන් බරපතල මහජන විරෝධයක් පවතිනවා පමනක් නොව, එජ පාලක සංස්ථාපිතය තුලම සැලකිය යුතු චකිතයක් ද පවතියි. රාජ්‍ය ලේකම් පොරොන්දුවූ පරිදි මෙම මිලිටරි ප්රසහාරය “විශ්වාස නොකල හැකි තරම්” කුඩා එකක් නොව, ඉරානය හා නැ‍ඟෙනහිර මධ්‍යධරනියේ නාවික බල ඇනියක් නැංඟුරම්ලාගෙන සිටින තතු හමුවේ, රුසියාව ද පවා ඇදී ආ හැකි, අපමන විනාශකාරී ප්‍රතිවිපාක ගෙන එන යුද්ධයකට පෙරලී යාමේ අන්තරාය මතු කලේය.

එපමනක් නොව, එකිනෙකා සමග කාකොටා ගන්නා අපරාධකරුවන්ගේ කල්ලියක් බවට ක්ෂයවෙමින් තිබෙන, එජ සිය විශ්වාසය රඳවා ඇති, සිරියානු විපක්ෂය හා අල්කයිඩාව ප්‍රමුඛ හමුදා සමග පෙලගැස්වූ කල ඩැමස්කස් පාලන තන්ත්රවය වෙනස් කිරීමේ ව්යාසපාරය තුල සැලකිය යුතු මදාවිකාර මූලයන් ද තිබේ.

“ඇමරිකානු සුවිශේෂතාවාදය” ආරකෂා කිරීමේ කයිවාරු මෙන්ම මැද පෙරදිග යුද ධර්මතාව පිලිබඳව එජා හමුවේ ඔබාමා කල පුනරුච්ඡාරනය නිසැකයෙන්ම එල්ල කෙරෙන්නේ දේශීය ප්‍රේක්ෂකයින් වෙතය. ඊට, මිලිටරි මැදිහත් වීමකට මුලුමනින්ම කැපව සිටින හා ඒ පිලිබඳව මොනම වැනීමක් හෝ පාවාදීමක් ලෙස සලකන, රාජ්‍ය යාන්ත්‍රනය තුල හා මිලිටරි, ඔත්තු අංශවල බලගතු කොටස් ද ඇතුලත්ය. මෙම තත්වය, ධනපති පක්ෂ දෙක තුලම සිටින හා ඊට නොඅඩු ලෙසින් ඊසරායල් බලපෑම් කරන්නන් ඇතුලුව, ඉරානය සමග මොනම සාකච්ඡාවක් හෝ යටත් වීමක් ලෙස සලකන, සැලකිය යුතු දේශපාලන බලවේග විසින් ශක්තිමත් කරයි.

මේ කොන්දේසි හමුවේ යුද්ධයේ තර්ජනය අවසන්වී නැත. එජ ආක්‍රමනිකත්වය කල් දැමීම දිගු වන්නට, ඇමරිකානු අධිරාජ්ය වාදයේ නොවැලැක්විය හැකි ඊලඟ පිපිරීමේ පරිමාව විශාල වනු ඇත.

ලියොන් ට්‍රොට්ස්කිගේ කියමනක් සිහිපත් කලහොත්, අප අධිරාජ්‍යවාදී රාජ්‍ය තාන්ත්‍රික සිතියම පමනක් නොව, පන්ති අරගලයේ සිතියම ද පෙරලා බැලිය යුත්තෙමු. ගෝලීය යුද්ධයේ නව පුපරා හැලීමක් වැලැක්විය හැක්කේ, ලෝක ධනවාදයට අවසන් තිත තැබීමේ අරගලය තුල ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගැන්වීමෙන් පමනි.

බිල් වැන් ඕකන්

Share this article: