ආන්ඩුව හොරපාරෙන් “පුද්ගලික විශ්ව විද්‍යාල පනත” කි‍්‍රයාවට දමයි

කපිල ප‍්‍රනාන්දු විසිනි, 2013 සැප්තැම්බර් 27

පුද්ගලික විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන නිල වශයෙන් පිලි ගැනෙන හා ඒවායෙන් පිරිනමන උපාධිවල වලංගුතාවය සුරක්ෂිත කෙරෙන යාන්ත‍්‍රනයක් හඳුන්වා දෙන නව ගැසට් පත‍්‍රයක් රාජපක්ෂ ආන්ඩුව විසින් පසුගිය මස 22 දා එලිදක්වා තිබේ. මෙය මහජන විරෝධතා හමුවේ ආන්ඩුව විසින් තාවකාලිකව හකුලාගත් “පුද්ගලික විශ්ව විද්‍යාල පනතේ” අන්තර්ගතය හොර පාරෙන් කි‍්‍රයාවට දැමීමකි.

විශ්වවිද්‍යාල පනතේ 137 වන ඡෙදයේ අන්තර්ගත ප‍්‍රතිපාදන යටතේ ඉදිරිපත් කොට ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසන නව ගැසට් නිවේදනය යටතේ, ඉහත නිල පිලි ගැනීම ලබා දීම සඳහා “උසස් අධ්‍යාපන ආයතනවල පුර්ව අවශ්‍යතා රාමුව හා තත්ව සහතිකය සහ නිල පිලිගැනීම ලබා දීම සඳහා වන මූලික කමිටුවක්” හා තවත් “පාලක සභා” දෙකක් උසස් අධ්‍යාපන අමාත්‍යංශය මගින් ස්ථාපිත කෙරේ.

මාලබේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වැනි පුද්ගලික සරසවිවලින් ප‍්‍රදානය කරන උපාධි නිල වශයෙන් පිලි නොගැනීමෙන් ඇති වූ ගැටලු මෙමගින් සමනය කොට ආයෝජකයන් දිරි ගැන්වීම ආන්ඩුවේ අරමුනයි. දැනට ආයෝජන මන්ඩලයේ ලියාපදිංචි වී තිබෙන විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල ආයෝජන පුලුල් කිරීමටත්, එම ක්ෂේත‍්‍රයට නව විදේශ ආයෝජන ගෙන්වා ගැනීම වේගවත් කිරීමටත් එමගින් ආන්ඩුව බලාපොරොත්තුවේ. සමස්ත අධ්‍යාපනය දේශීය හා විදේශීය ආයෝජකයන්ගේ ලාභ ලබන කර්මාන්තයක් බවට පත් කිරීම අධ්‍යාපනය සම්බන්ධ ආන්ඩුවේ න්‍යාය පත‍්‍රයයි.

බලයට පැමිනි සෑම ආන්ඩුවක්ම විසින් දිගින් දිගටම සිදු කරන ලද කප්පාදු හේතුවෙන් රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය තුලට උරා ගත හැක්කේ උසස් පෙල විභාගය සමත් වන ශිෂ්‍ය සංඛ්‍යාවෙන් සියයට 15 ක් තරම් අඩු ප‍්‍රතිශතයකි. ආන්ඩුව හා ඔවුන්ගේ අටුවා කරුවන් පුද්ගලික විශ්වවිද්‍යාල ඉදිකිරීම මගින් එම සංඛ්‍යාවේ ඉහල යෑමක් හා දුප්පත් දෙමාපියන්ගේ දූදරුවන් හට විශ්වවිද්‍යාල අවස්ථා ලබා දිමක් සිදුවන බවක් කියාපෑම අමු ප්‍රෝඩාවකි.

ආන්ඩුවේ ධාවනය ගම්බද දිලිදු දරුවන් සඳහා අධ්‍යාපන අවස්ථා පුලුල් කිරිම නොව ලෝක ආර්ථික අවපාතයක කොන්දේසි යටතේ වර්ධනය වන වෙලඳ ශේෂ හිඟය හා අයවැය හිඟය සමනය කිරීමේ අරමුනින් විදේශ ආයෝජන ගෙන්වා ගැනීමත් රාජ්‍ය වියදම් කප්පාදු කිරීමත් ය. මහජන විරුද්ධත්වය නොතකා හරිමින් මහජනයාට, සිසුන්ට, හා ගුරුවරුන්ට හොරෙන් විවිධ ක‍්‍රම මගින් අධ්‍යාපන පුද්ගලීකරනය වේගවත් කර ඇත්තේ එබැවිනි.

පසුගිය ජුනි 16 සන්ඬේ ඔබ්සර්වර් පුවත්පතට ආයෝජන ප‍්‍රවර්ධන ඇමැති ලක්ෂමන් යාපා අබේවර්ධන කියා සිටියේ 2013 සඳහා ඩොලර් බිලියන 2 ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමට ආන්ඩුව ඉලක්ක කර ඇති බව හා එයින් ඩොලර් මිලියන 140 ක් විදේශ විශ්ව විද්‍යාල මගින් අපේක්ෂා කරන බවයි.

ඒ යටතේ ආන්ඩුව දැනටමත් බි‍්‍රතාන්‍යයේ ලැන්කර්ෂර් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් (අන්ක්ලේන් ශ‍්‍රිලංකා නමින්) ඉදිකිරීම සඳහා වසර 15 ක බදු සහන හා ගම්පහ මීරිගම නව අපනයන වෙලඳ කලාපය තුල අක්කර 120 ක් ප‍්‍රදානය කර තිබේ. අධ්‍යාපනය සඳහා වු නව වෙලඳ කලාප කොලඹින් පිට වෙනත් ස්ථානවල ද ඉදිකිරීමට නියමිත බව සඳහන් වේ.

ආයෝජන ප‍්‍රවර්ධන අමාත්‍යංශයේ වෙබ් අඩවිය, පුද්ගලික විශ්වවිද්‍යාල පිහිටුවීම මගින් ආන්ඩුවටත් ආයෝජකයන්ටත් අත්වන වාසි ගැන මෙසේ ප‍්‍රකාශ කරයි: “මීරිගම ඉදිකිරීමට බලාපොරොත්තු වන විශ්ව විද්‍යාලය තුලට 2016 වන විට විදේශ ශිෂ්‍යයන් 50000 ක් ආකර්ශනය කර ගැනීම මගින් විදේශ ආයෝජන ලබා ගැනීමටත්, වසරක් පාසා විදේශගත වන 12000 ක් පමන මෙරට සිසුන් ලංකාව තුල රඳවා ගැනීම මගින් විදේශ විනිමය ඉතුරු කර ගැනීමටත් හැකි වනු ඇත.”

ඉදිකිරීමට නියමිත නව පුද්ගලික විශ්ව විද්‍යාල තුල කලමනාකරන උපාධියක් රුපියල් 400000 ත් 500000 ත් අතර මුදලකටත් ඉන්ජිනේරු පාඨමාලාවක් රුපියල් මිලියනයකට පමනත් ලබා ගත හැකි යැයි ද, පුද්ගලික විශ්වවිද්‍යාල අතර ඇතිවන තරඟය තුලින් මෙම මිල ගනන් තවත් අඩු වනු ඇතැයි ද, උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක මෑතදී මාධ්‍යට ප‍්‍රකාශ කර තිබේ මෙම මිල ගනන් දැරිය හැක්කේ ඉහල මධ්‍යම පන්තික හා ධනපතියන්ගේ පවුල්වල දුදරුවන්ට පමනි.

උසස් පෙල සමත්, එනමුත් රජයේ විශ්ව විද්‍යාලවලට ඇතුල්වීමේ අවස්ථා අහිමි වන තම දරුවන්ට කෙසේ හෝ ඉහල අධ්‍යාපනය ලබා දීමේ අරමුනෙන්, ඉඩකඩම් විකුනා හෝ දැවැන්ත ලෙස නය වී සිය දරුවන් මෙම ආයතන වලට ඇතුලත් කිරීමට සමහර පහල මධ්‍යම පන්තික දෙමාපියන් යොමු වී සිටින්නේ මෙම තතු තුලය.

පුද්ගලික විශ්වවිද්‍යාල සඳහා බදු සහන පිරිනමන අතර වාරයේ දී ආන්ඩුව මේ වසරේ අධ්‍යාපනය සඳහා වන ප‍්‍රතිපාදන දල ජාතික නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 1.51 දක්වා කප්පාදු කලේ ය. ශී‍්‍ර ලංකාව ‘ආසියාවේ දැනුම් කේන්ද්‍රය’ බවට පත් කිරීමේ ව්‍යාපෘතිය මෙහෙය වී ඇත්තේ වෙන කිසිවක් සඳහා නොව ධනපතියන්ගේ දූදරුවන්ට පුද්ගලික නවීන සරසවි හා කම්කරු පීඩිත මහජනයාගේ දූදරුවන් සඳහා කප්පාදුවට ලක්වන ගරා වැටෙන අධ්‍යාපනයක් සඳහා ය.

පොදුවේ අධ්‍යාපන කප්පාදුව සඳහා ආන්ඩුව දැන් යොදා ගනිමින් සිටින සූත‍්‍රය වන්නේ රාජ්‍ය අධ්‍යාපනය ඊනියා රැකියා වෙලඳපලට නොගැලපේ ය යන්නයි. ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ ආන්ඩුවේ පම්පෝරිය කෙසේ වෙතත් ලෝක අවපාතයේ කොන්දේසි යටතේ ඇගලුම් ඇතුලු කර්මාන්ත වැසී යෑම් හේතුවෙන් තරුන විරැකියාව වැඩි වෙමින් තිබේ. මහ බැංකුවේ නවතම දත්තවලට අනුව වයස අවුරුදු 16 ත් 24 අතර තරුනයන්ගේ විරැකියාව 2011 දී සියයට 17 සිට මේ වසරේ පලමු කාර්තුව තුල සියයට 20 දක්වා වර්ධනය වී තිබේ. ලොව පුරා පාලක පන්තීන් ගෙන යන මෙවැනිම කප්පාදු පිලිවෙත් නිසා ලොව පුරා නිදහස් අධ්‍යාපනය බරපතල ලෙස කප්පාදුවීමටත් තරුනයන්ගේ විරැකියාව හා නය වර්ධනය වීමටත් හේතු වී තිබේ.

උපාධි ආයතන තුල පුස්තකාල, විද්‍යාගාර, ආපනශාලා, ක‍්‍රීඩාගාර, දේශන ශාලා හා විවේකාගාර ඇතුලු සියලු භෞතික අංග සම්පූර්න කර තිබීම අවශ්‍ය බව ගැසට් නිවේදනයේ සඳහන් කර තිබුනත්, දැනට රජයේ පවතින විශ්වවිද්‍යාල තුල මෙම භෞතික පහසුකම් සමහරක් ඇත්තේම නැති අතර වැඩිවන ශිෂ්‍ය සංඛ්‍යාවට සාපේක්ෂව දැඩි ලෙස අප‍්‍රමානවත් තත්වක පවතී.

අඛන්ඩව ගෙන යන ශිෂ්‍ය මර්දනය මගින් ආන්ඩුව පෙන්වා ඇත්තේ මහජන විරෝධය නොතකා අධ්‍යාපන පුද්ගලීකරන වැඩපිලිවෙල ඉදිරියට ගෙන යන බවයි. පසුගිය වසරේ පුද්ගලික විශ්වවිද්‍යාල පනත ගෙන ඒමට ගත් උත්සාහයේ දී පැන නැගි ශිෂ්‍ය විරෝධතා මැඩීම සඳහා පොලිස් ප‍්‍රහාරයන්, පන්ති තහනම් කිරිම් හා සිසු නායකයන් අත්අඩංගුවට ගැනීම් වැනි ක‍්‍රමෝපායන් ආන්ඩුව විසින් කි‍්‍රයාවට දැමීය.

නව ගැසට් පත‍්‍රයට එරෙහිව ද පසුගිය සතියේ සරසවි කිහිපයකම සිසු විරෝධතා පැවතුනු අතර එම ශිෂ්‍ය විරෝධතාවලට නායකත්වය දෙන්නේ ජනතා විමුක්ති පෙරමුනින් (ජවිපෙ) මෑතදී භේද වු පෙරටුගාමී සමාජවාදී පක්ෂය යටතේ පවතින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) යි.

සිසු විරෝධතා මගින් ධනපති ආන්ඩුවේ පිලිවෙත නවතා ලිය හැකි ය යන මිථ්‍යාවන් මත ශිෂ්‍යයන් විරෝධතාවලට කැඳවුන අවිශිබමය නව ගැසට් පත‍්‍රයට එරෙහිව තවදුරටත් විරෝධතා පවත්වන බව නිවේදනය කර තිබේ. වෛද්‍ය ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවත් එහිම කොටසක් වන අතර ජවිපෙට අයත් සමාජවාදී ශිෂ්‍ය සංගමය ද කියා සිටින්නේ එයමයි.

මෙම විරෝධතා දිගින් දිගටම මාවත කපා ඇත්තේ ශිෂ්‍යයන් රාජ්‍ය මර්දනයට ගොදුරු කිරීම සඳහා පමනි. පසුගිය සතියේ රජරට විශ්වවිද්‍යාලයේ පැවති විරෝධතාවයක ප‍්‍රධාන සටන් පාඨ පුවරුවක “පාලකයන් ඉල්ලන්නේ ලේ ද එහෙනම් ගනිව් බොල” යනුවෙන් අවිශිබමයේ බංකොලොත් ඉදිරිදර්ශනය ප‍්‍රදර්ශනය කර තිබුනි. සිසු ජන විරෝධතාවය ලෙස නම් කර තිබූ මෙහිි එල්ලය වන්නේ ශිෂ්‍යයන්ට අමතරව අනෙක් ජන කොටස් ද ඒකාබද්ධ කරගෙන ඇති බව මවාපාමින් කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන වැඩපිලිවෙලක් ඇහිරීමයි.

“අධ්‍යාපන ධවල පත‍්‍රිකාවේ” සිට මේ දක්වා විවිධ පියවර මගින් බලයට පැමිනි ආන්ඩු පෙර කම්කරු පන්ති අරගලවල ජයග‍්‍රහනයක් වූ සීමිත නිදහස් අධ්‍යාපන අයිතිය මුලුමනින්ම වනසා දැමීමට ක‍්‍රියා කිරීම මගින් පෙන්නුම් කරන්නේ, ලාභ ගරන ධනේශ්වර පද්ධතියට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය සඳහා කරන අරගලයකින් තොරව අධ්‍යාපන අයිතිය ජයගත නොහැකි ය යන කාරනයයි. අධ්‍යාපන කප්පාදුව හේතුවෙන් දැවැන්ත වියදමක් දරමින් පුද්ගලික විශ්ව විද්යාලවල ඉගෙනුම ලබන ශිෂ්‍යයන් ද ඇතුලුව, සියලු ශිෂ්‍යයන් කම්කරු පන්තියේ නායකත්වය යටතේ මෙම අරගලයට ඒකාබද්ධ විය යුතුය.

Share this article: