සසප උද්ඝෝෂන කන්ඩායම යාපනයේදී සමාජවාදී වැඩපිලිවෙල සාකච්ඡා කරයි

SEP campaign team discusses socialist program in Jaffna

අපගේ වාර්තාකරුවන් විසිනි, 2013 සැප්තැම්බර් 04

ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) උද්ඝෝෂන කන්ඩායම්, කරෙයිනගර් දූපතට හා යාපනය අවට ගම්මානවලට ගොස්, නැගෙනහිර කොන්ඩවිල්, චුන්ඩුකුලි හා කච්චේරිඅඩි නිවැසියන් සමග කතා කලහ.

සැප්තැම්බර් 21 වෙනි දින පැවැත්වෙන උතුරු පලාත් සභා මැතිවරනයේ කොටසක් ලෙස යාපනය දිස්ත‍්‍රික්කයට මැතිවරන අපේක්ෂකයන් 19 දෙනෙකුගෙන් යුත් ලැයිස්තුවක් සසප ඉදිරිපත් කර තිබේ.

උද්ඝෝෂන කන්ඩායම සසප මැතිවරන ප‍්‍රකාශයේ අත්පිටපත් දහස් ගනනක් බෙදාහැරි අතර ප‍්‍රදේශයේ කම්කරුවන්, තරුනයින්, ගොවීන් හා ධීවරයින් සමග පක්ෂයේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය පිලිබඳ සාකච්ඡා කලේ ය.

කරෙයිනගර් දූපත හා ඒ අවට ගම්මාන, රටේ උතුරේ හා නැගෙනහිර බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ම්ලේච්ඡ 26 අවුරුදු යුද්ධයෙන් වඩාත්ම බලපෑමට ලක්වූ පලාත්වලට අයත් වේ. යුද්ධයෙන් ව්‍යසනයට පත් මහජනයා හා ශ‍්‍රී ලංකා ආරක්ෂක බලකායන් විසින් එල්ල කරන ලද ගුවන් ප‍්‍රහාර හා ෂෙල් ප‍්‍රහාරවලින් විනාශභාග් වූ ගොඩනැගිලිවල ශේෂයන් තවමත් දැකගත හැකි ය.

සසප උද්ඝෝෂන කන්ඩායම්, කරෙයිනගර් නිවැසියන් සමග පක්ෂයේ වැඩපිලිවෙල පැහැදිලි කරමින්

යුද සමයේදී තමත් විඳි බිහිසුනු අත්දැකීම් කොන්ඩාවිල් ගමේ ගොවියෙකු මෙසේ විස්තර කලේ ය. "මිනිස්සු දහස් ගනනකගේ ජීවිත නැති වුනා. නොමැරී ඉතිරු වුන අයට අවුරුදු ගනනක් තිස්සේ එහෙමත් නැත්නම් පරම්පරා ගනනක් තිස්සේ හම්බ කරපු දේවල් අහිමි වුනා. මේ ගමේ විතරක් ගෙවල් 60ක් ගුවන් ප‍්‍රහාරවලින් විනාශ වුනා. පරන ජීවිතය ආයෙත් ගොඩනගා ගන්නේ කොහොමද කියලා හිතා ගන්නවත් බෑ. සමහර දේවල් ආයේ කවදාවත් යලි අත්පත් කරගන්න බෑ. මට මගේ කකුලකුත් ෂෙල් ප‍්‍රහාරයකින් නැති වෙලා ගියා."

එම ගමේම තවත් ගොවියෙකු ඔවුන් මුහුන දෙන ආර්ථික දුෂ්කරතාවන් පැහැදිලි කලේ ය. පවුලේ වියදම් පියවා ගැනීමට ඔහුගේ ආදායම ප‍්‍රමානවත් නැත. කෘෂිකාර්මික උපකරනවල මිල කිහිප ගුනයකින් ඉහල ගොස් ඇත. "පුංචි ඉඩම් කෑල්ලක් වගා කරන්න ගියත් විශාල මුදලක් වැයවෙනවා. එහෙම කරලත්, අඩුම ගානේ නිෂ්පාදනය කරන්න ගියපු මුදලවත් ගත්තු නය පියව ගන්න මුදලක්වත් අපට ලැබෙන්නේ නෑ" ඔහු විස්තර කලේ ය. ප‍්‍රධාන දෙමල ධනපති පක්ෂය වන දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) ඇතුලු මොනම දේශපාලන පක්ෂයක් කෙරෙහිවත් තමන්ට විස්වාසයක් නැති බවත් කිසිම පක්ෂයකට ඡන්දය නොදීමට තමන් තීන්දුකර සිටින බවත් ඔහු තවදුරටත් කීවේ ය.

එල්ටීටීඊ පාලන ප‍්‍රදේශවලදී තමන් විඳි අත්දැකීම් පිලිබඳ පැහැදිලි කල වඩුකාර්මික කම්කරුවෙකු කීවේ, ශ‍්‍රී ලංකා ආන්ඩුව යටතේ ලබනවාට වඩා ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් තමන් එම ප‍්‍රදේශවලදී නොවිඳි බවයි. "එල්ටීටීඊය මගේ අධ්‍යාපනය කඩාකප්පල් කලා. ඔවුන්ගේ කඳවුරුවල වැඩ කරන්නැයි ඔවුන් අපට බල කලා. අපි එම අන ප‍්‍රතික්ෂේප කලොත් ඔවුන් අපට ගහනවා. ඒක නිසාම මට මගේ අපොස සාපෙල විභාගය සම්පූර්න කරන්න බැරිවුනා. ඔවුන්ගේ අවසරයකින් තොරව එල්ටීටීඊ පාලන ප‍්‍රදේශවලින් එලියට එන මිනිස්සුන්ට අන්ත හිරිහැර විඳින්න සිද්ධ වුනා. සමහර අයට වෙඩි තිබ්බා.

මෙම මර්දනය නිසා බොහෝ මිනිස්සු එල්ටීටීඊයේ පිලිවෙතට විරුද්ධ වුවද විවෘතව කතා කලේ නැති බව ඔහු කීවේ ය. ඔවුන්ගේ පරාජයට එක් හේතුවක් වූයේ මෙය යැයි සඳහන් කල ඔහු මෙසේ ද කීවේ ය, "එල්ටීටීඊයේ පරාජයට මූලිකව ම හේතු වූයේ ඔවුන්ගේ මිලිටරි දුර්වලතාව නොව ඔවුන්ගේ බෙදුම්වාදී දේශපාලනය යැයි කියන ඔබගේ ස්ථාවරයට මම එකඟයි."

පවත්නා දේශපාලන පක්ෂ කෙරෙහි ඔවුන්ගේ කලකිරීම හා පිලිකුල බොහෝ ජනයා විසින් ප‍්‍රකාශයට පත් කලෝ ය. චුන්ඩිකුලිහි තරුනයෙකු මෙසේ කීවේ ය, "දේශපාලකයෝ මැතිවරනයට සතියක් කල් තියා එනවා, ඊට පස්සේ අතුරුදහන් වෙනවා." සසප උද්ඝෝෂකයෝ ඔවුන්ට පැහැදිලි කලේ, කම්කරුවන් හා පීඩිත මහජනයා බලමුලු ගැන්වීමටත් ඔවුන් විප්ලවවාදී පක්ෂයකින් හා නව ඉදිරිදර්ශනයකින් සන්නද්ධ කිරීමටත් සටන් වදින බැවින් සසප එකී පක්ෂවලින් වෙන් වී ගන්නා බවයි. සසප මැතිවරන ප‍්‍රකාශය කියවීමට ඔහු එකඟ විය.

තරුන කුඹල්කරුවෙකු වූ රේගන් කීවේ, සිය බිරිඳට වෙනත් පලාතක නිවසක් සහිතව ඇයගේම ඉඩමක හිමිකාරීත්වය තිබුනත් මාසයකට රුපියල් 4,500ක කුලියක් ගෙවමින් කුලී ගෙදරක විසීමට ඔවුන්ට සිදුව ඇති බවයි. ඔහුගේ බිරිඳගේ නිවස පිහිටා ඇත්තේ මිලිටරිය විසින් ප‍්‍රකාශයට පත් කල "අධි ආරක්ෂක කලාපය" තුල ය.

එක්සත් ජනපදයේ "ආසියාවට හැරීම" පිලිබඳ කතා කිරීමට ඔහු උත්සුක විය. චීනයට එරෙහි එක්සත් ජනපද යුද තර්ජනය හා සිරියාවට එරෙහි ප‍්‍රකෝපකරනයන්ට එරෙහි වෙමින් ඔහු සඳහන් කලේ, "එක්සත් ජනපදය ක‍්‍රියාත්මක වෙන්නේ ඔවුන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. ශ‍්‍රී ලංකාව තුලත් වරායන් හා අනෙකුත් පහසුකම් පාවිච්චි කිරීමට එයට අවශ්‍යයි," යනුවෙනි.

අනියම් කම්කරුවෙකු සසප සමාජවාදී පිලිවෙත් සමග සිය එකඟතාව පල කරන අතර ම සමාජවාදය එනතුරු මහජනතාවට කල්බැලිය හැකිවේද යන්න පිලිබඳ විචාලේ ය. ලෝක ධනවාදයේ වැඩෙන ආර්ථික අර්බුදය කම්කරුවන් ඉදිරියේ ඓතිහාසික අභියෝගයක් ඉදිරිපත් කර ඇති බැව් සසප සාමාජිකයෝ පැහැදිලි කලහ. ශ‍්‍රී ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන් කිරීම හා කම්කරු පන්තියේ ජාත්‍යන්තරවාදී සමාජවාදී ව්‍යාපාරයක් ගොඩනැගීමෙන් මෙපිට විකල්පයක් ඇත්තේ නැත.

"ඔබ නිවැරැදියි, එහෙත් එය ක්ෂනිකව සිදුකල නොහැකි යි," කම්කරුවා කීවේ ය. ඒ වෙනුවට, දෙමල ජනයාට සමහර සහන අත්කර දීමට ටීඑන්ඒයට හැකි වෙනු ඇති බව ඔහු සඳහන් කලේ ය.

ටීඑන්ඒ, කම්කරුවන්ගේ හා පීඩිත මහජනායාගේ නොව දෙමල ප‍්‍රභූවේ අවශ්‍යතාවන් ආරක්ෂා කරන දෙමල ධනපති පන්තියේ පක්ෂයක් බව සසප සාමාජිකයෝ විස්තර කලහ. කම්කරු පන්තිය අතට බලය ගැනීමටත් ජාත්‍යන්තර සමාජවාදී මූලෝපායක් වෙනුවෙනුත් සසප සටන් වැද තිබෙන බව ඔවුහු පැහැදිලි කලෝ ය.

සසප උද්ඝෝෂන කන්ඩායම යාපනය විශ්වවිද්‍යාලයට ගියවිට ශිෂ්‍යයෝ ඔවුන්ගේ කොන්දේසි පිලිබඳ විස්තර කලෝ ය. "දේශනශාලාවල හෝ පුස්තාකාලවල ඇතිතරම් ඉඩපහසුකම් නෑ. මාධ්‍ය ඒකකයේ ඇතිතරම් පරිගනකත් නෑ," එක් සිසුවෙක් කීය. තවත් ශිෂ්‍යයෙක් එයට මෙසේ එකතු කලේ ය, "පුටුයි මේසයි කැඩිලා. විශ්වවිද්‍යාලයට තියෙන්නේ කාමර 150කින් යුත් ශිෂ්‍ය නිවාස 4ක් විතරයි. ඒවා හොඳින් නඩත්තු කිරීමක් සිද්ධ වෙන්නේ නෑ. ඇති තරම් ජල පසුකම් ඇත්තෙත් නෑ."

යුද්ධය ඉවර වුනත් ආරක්ෂක බලකායන් විශ්වවිද්‍යාල ඔවුන්ගේ නිරීක්ෂනය යටතේ තබා තිබෙන බැව් ඔවුහු කීහ. "විශ්වවිද්‍යාලවල දේශපාලන ක‍්‍රියාකාරීත්වයක් ගෙනියන්න අපට අයිතියක් නෑ. මිලිටරි හා පොලිස් බුද්ධි අංශ ශිෂ්‍ය ක‍්‍රියාකාරිත්වයන් පිලිබඳ තොරතුරු එකතු කරමින් සිටිනවා. මොනම විරෝධතාවක්වත් කරන්න අපට අවසරයක් නෑ. මේ දවස්වල නම් ආරක්ෂක බලකායන් විශ්වවිද්‍යාලවලිනුයි යාපනය නගරයෙනුයි ඉවත් කරලා තියෙන්නේ. ඒකට හේතුව තමයි, ආන්ඩුවට ඕන වෙලා තියෙනවා, පලාත් සභා මැතිවරන ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සාමකාමී වාතාවරනයක පැවැත්වෙන්නේ කියලා මවා පෙන්වන්න."

යාපනය විශ්ව විද්‍යාලයේ එක් කලමනාකරන පීඨ ශිෂ්‍යයෙක් සසප වැඩපිලිවෙල පිලිබඳ සඳහන් කරමින් මෙසේ කීවේ ය, "මෙම මැතිවරනයේදී කවුරු උද්ඝෝෂන කලත්, ටීඑන්ඒ ජය ගනීවී. යුද්ධයෙන් පසු අවුරුදු 4ක් ගතවෙලත් අපේ ප‍්‍රශ්න ඒ විදියමයි. කාලෙක එල්ටීටීඊය බලගතු මිලිටරි බලවේගයක් වෙලා හිටියා. ජනතාවට එරෙහිව ඔවුන්ගේ මර්දනය නිසාවෙන් පස්සේ කාලෙක දී බොහෝ මිනිස්සු ඔවුන්ට විරුද්ධ වුනා. සාමාන්‍ය සිංහල ජනයාට එරෙහිව ඔවුන්ගේ ප‍්‍රහාර නිසාත් ආන්ඩුව ශක්තිමත් වුනා. මෙම ආන්ඩුව පරාජය කිරීමට සිංහල දෙමල මහජනයා එක්සත් කිරීම හොඳ අදහසක්.

යාපනය පලාතේ මහජනයා අතර පුලුල් විරුද්ධත්වයක් රජපක්ෂ ආන්ඩුවට එරෙහිව පවතී. කෙසේ නමුත්, ටීඑන්ඒ පිලිබඳ ගුරුවරුන්, ශිෂ්‍යයින් හා කම්කරුවන්ගේ ඇතැම් කොටස් අතර ව්‍යාකූලතා පවතී. එය ඇතැම් වෙනස්කම් ගෙන එනු ඇතැයි ද ආන්ඩුවට අභියෝග කරනු ඇතැයි ද කියමින් යාපනයේ සියලුම මාධ්‍යය පාහේ මෙම ධනපති පක්ෂය වෙනුවෙන් උද්ඝෝෂනයේ නිරතව සිටී.

ඇත්ත වසයෙන්ම නම්, ටීඑන්ඒ ය කොලඹ ආන්ඩුව සමග බලය බෙදාගැනීමේ ගනුදෙනුවකට යාමට වෑයම් කරමින් සිටී. එවැනි ගනුදෙනුවකට එලැඹෙන්නැයි රාජපක්ෂ ආන්ඩුවට බලැපෑම් දමන ලෙස එක්සත් ජනපද අධිරාජ්‍යවාදයටත් ඉන්දියාවටත් එය ආයාචනය කරයි. උක්ත රටවල් දෙකට ම රාජපක්ෂ ආන්ඩුව බෙයිජිනයෙන් ඈත් කරවීමට අවශ්‍ය ය. ශ‍්‍රී ලංකාව තුල වාර්ගිකව සිය ඥාතීන් වන දෙමල ජනයා වෙත කෙරන මර්දනය කෙරෙහි ගැඹුරු විරුද්ධත්වයක් පවතින තමිල්නාඩු ප‍්‍රාන්තයේ දේශපාලන අස්ථාවරභාවය පිලිබඳව ද ඉන්දියාව උත්සුක ය.

රට සංවර්ධනය කිරීම පිලිබඳ ආන්ඩුවේ පුරාජේරු අවසන් වසර සිසුවෙකු විසින් අභියෝගයට ලක් කෙරින. "යුද්ධයට පසු ඔවුන් මහාමාර්ග හා ගොඩනැගිලි ඉදිකරමින් සිටිනවා. ඒත් සංවර්ධනය අපේ යහපත වෙනුවෙන් නො වේ. අපි තාමත් ජීවත් වෙන්නේ යුද්ධය පැවැති කාලයේදී ජීවත් වුනා වගේම යි. අපිට නිදහසේ කතා කරන්න බෑ. ඔවුන් ශ‍්‍රී ලංකා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විශ්වවිද්‍යාල තුල රඳවලා තියෙනවා. අපි අපේ අධ්‍යාපනයට අදාල ප‍්‍රශ්න ගැන හෝ දේශපාලනික ප‍්‍රශ්න ගැන කතා කලොත්, අපිව ප‍්‍රශ්න කොට තර්ජනය කරනු ඇත."

Share this article: