ශී‍්‍ර ලංකාවේ උතුරු පලාත් සභා මැතිවරනයේදී සසපට ඡන්දය දෙන්න

Vote SEP in Sri Lankan Northern Provincial elections

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2013 සැප්තැම්බර් 20

සැප්තැම්බර් 21දා පැවැත්වෙන මැතිවරනයේදී යාපනය දිස්ති‍්‍රක්කයට තරග වදින සිය අපේක්ෂකයින්ට ඡන්දය දෙන ලෙස සමාජවාදී සමානතා පක්ෂය කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටියි.

සසපට ඡන්දය දීම මගින් වැඩකරන ජනතාව හා තරුනයින්, ආසියාව තුලත් ගෝලීය පරිමානවත් වර්ධනය වන අධිරාජ්‍යවාදයේ යුද අනතුරට හා ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව විසින් ගෙන යනු ලබන පුලුල් කප්පාදු න්‍යායපත‍්‍රයට ද උග‍්‍ර කෙරෙන එහි පොලිස් රාජ්‍ය ක‍්‍රමෝපායන්ට ද එරෙහිව පක්ෂයේ සමාජවාදී හා ජාත්‍යන්තරවාදී වැඩපිලිවෙලට සිය සහාය තහවුරු කරනු ඇත.

මැදපෙරදිග හා සමස්ත ලෝකය ම වෙලාගැනීමේ හැකියාව සහිත යුද්ධයකින්, ජාත්‍යන්තර පරිමානව කම්කරු පන්තියට මුහුනපෑමට සිදුවන ප‍්‍රතිවිපාක පෙන්වා දෙමින්, සිරියාවට එරෙහි එක්සත් ජනපදයේ යුද වියරුවට එරෙහිව උද්ඝෝෂනයක යෙදී සිටින්නේ සසප පමනි. ශී‍්‍ර ලංකාව “නොබැඳි” රටක් බවට රාජපක්ෂගේ සියලු කයිවාරු තිබිය දී ම, දකුනු ආසියාවේ අවශේෂ අනෙකුත් රටවල් මෙන්ම මෙම දිවයින ද එක්සත් ජනපදය ද රුසියාව හා චීනය ඇතුලු එහි එදිරිවාදීන් ද අතර වැඩෙන ආතතීන්ගේ බලපෑමට හසුවෙමින් පවතී.

සිරියාවට එල්ල වන එක්සත් ජනපද ප‍්‍රහාරයක්, චීනයේ බලශක්ති සැපයුම්වලට ද තර්ජනය කරන ඉරානයට එරෙහි ඒ හා සමාන මැදිහත්වීමක පූර්ව රංගනයක් වනු ඇති බව වටහා ගන්නා බීජිනය සහ වොෂින්ටනය අතර තුලනය වීමේ මංමුලාසහගත ව්‍යායාමයක ශ්‍රී ලංකා ආන්ඩුව යෙදී සිටියි. සිරියාව පිලිබඳ ප‍්‍රකාශයක් නිකුත් කරන ආන්ඩුව, තමන් “රසායනික අවි යොදාගැනීම මෙන්ම ඒවා නිෂ්පාදනය හා තොග ගසාගැනීම ද පිලිකුල් කරන” බව කියා සිටියි. එහෙත් ඒ පිලිබඳව සිරියානු ආන්ඩුවට හෝ එක්සත් ජනපදයේ පිටුබලය ලබන විපක්ෂ කැරලිකරුවන්ට හෝ චෝදනා නො කරයි.

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව 2006 වසරේදී වර්ගවාදී යුද්ධය යලි ඇරඹූ ආන්ඩුව, අවි ආයුධ හා අරමුදල් සඳහා දැඩි ලෙස චීනය මත රැඳී සිටියේ ය. රාජපක්ෂගේ යුද්ධයට මුලුමනින්ම සහාය දුන් එක්සත් ජනපදය, 2009දී එල්ටීටීඊය පරාජය වීමෙන් පසුව, ජනාධිපතිට චීනයෙන් ඈත්වන ලෙසට බලපෑම් කිරීම පිනිස මිලිටරියේ යුද අපරාධ පිලිබඳ ප‍්‍රශ්නය ඩැහැ ගත්තේ ය. මෙරට තුල වොෂින්ටනයේ රාජ්‍යතාන්ති‍්‍රක උපාමාරු, චීනයට එරෙහිව යුද්ධය සඳහා සූදානම් කෙරෙන ඔබාමාගේ “ආසියාවට හැරීම” යන මූලෝපායේ කොටසක් වෙයි.

එක්සත් ජනපදය හා ඉන්දියාව, උතුරු පලාත් සභා මැතිවරනය පැවැත්වීම සඳහා ආන්ඩුවට බල කලේ ය. එහි පලාත් සභා මැතිවරනයක් පැවැත්වෙන්නේ දශක දෙකකටත් වැඩි කාලයකට පසුවය. බලවතුන් දෙදෙනා ම මෙරට දේශපාලනය තුල බලපෑම් කල හැකි බව විශ්වාස කරන දෙමල හා මුස්ලිම් පක්ෂ හා කොලඹ ආන්ඩුව අතර බලය බෙදීමේ වැඩසටහනක් වන “දේශපාලන විසඳුමක්” සඳහා බලකරයි.

එක්සත් ජනපදය නම් වශයෙන් සඳහන් නොකර රාජපක්ෂ ආන්ඩුව, ශී‍්‍ර ලංකාවට එරෙහි “ජාත්‍යන්තර කුමන්ත‍්‍රනය” විවේචනය කරයි. ඒ, ආන්ඩුව වොෂින්ටනය සමග මිත‍්‍ර සම්බන්ධකම් ගොඩනගා ගැනීමට වෑයම් කරන අතරතුර ය. දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) හා එක්සත් ජාතික පක්ෂය (එජාප) යන ධනපති පක්ෂ ද ඇතුලු විපක්ෂයේ සංවිධාන, තම දේශපාලන අරමුනු සඳහා එක්සත් ජනපදයේ සහයෝගය නරුම ලෙස අපේක්ෂා කරමින් එහි යුද සැලසුම් සමග පෙල ගැසෙති.

“ජාත්‍යන්තර ප‍්‍රජාවට” කෙරෙන ආයාචනයක් ද සමගින් ටීඑන්ඒහි මැතිවරන ප‍්‍රකාශනය මෙසේ කියා ඇත. “ශී‍්‍ර ලංකාවේ ජීවත් වන සියලු ජනතාවට සාධාරනය හා තිරසාර සාමයක් තුලින් අව්‍යාජ ප‍්‍රතිසන්ධානයක් ඇති කර ගත හැක්කේ, ජාත්‍යන්තර අනුග‍්‍රහය යටතේ පමනි.” එහිදී ටීඑන්ඒ, අනෙකුත් රටවල එක්සත් ජනපද මැදිහත්වීම්වලට හුරේ දමමින් කියා සිටින්නේ, “ජාත්‍යන්තර ප‍්‍රජාව නිවැරදි ආකාරයෙන් බොහෝ අවස්ථාවලදී ලෝකය පුරා තීරනාත්මක කි‍්‍රයාකලාපයක් ඉටු කර ඇත” යනුවෙනි.

නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම කන්ඩායම් ටීඑන්ඒ වෙත සහාය පුද කරති. මෙරට මානව අයිතීන් සුරැකීම පිලිබඳව එක්සත් ජනපදයේ කැඳවුමට මෙම පක්ෂ දෙකම සහාය දෙති. සිරියාවට එරෙහි එක්සත් ජනපද යුද සැලසුම් පිලිබඳව නසසප මුනිවත රකින නමුත් ඔවුන්ගේ ජාත්‍යන්තර අනුචරයෝ, සිරියානු ජනාධිපති බෂීර් අල් අසාද් ට එරෙහි පාලන තන්ත‍්‍ර වෙනසක් සඳහා වන එජ පිටුබලය සහිත මෙහෙයුම විවෘතව ම වැලඳගෙන සිටිති.

මෙම අධිරාජ්‍ය ගැති පෙල ගැසීමට එරෙහිව සසප පමනක් සිරියාවට එරෙහි එජ යුද වියරුවට එරෙහි වෙයි. එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවෙහි සිය සහෝදර පක්ෂ සමග එක්ව, යුද්ධයේ මූලාශ‍්‍රය වන ධනවාදය පෙරලා දැමීම සඳහා සමාජවාදී වැඩපිලිවෙලක් සහිතව ජාත්‍යන්තර කම්කරු පන්තිය මත පදනම් වූ, ගෝලීය යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමට සටන් වදියි.

මැතිවරනයේ ප‍්‍රතිපලය කුමක් වුවත් රාජපක්ෂ ආන්ඩුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනකරන සහනාධාර කප්පාදුව හා බදු ඉහල නැංවීම ඇතුලු කප්පාදු වැඩසටහන් පෙරට ගෙන යනු ඇත. ජීවන වියදම, කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ ජීවිත කාබාසිනියා කරමින් අහස උසට නගියි. 1930 ගනන් වලින් මෙපිට දක්නට ලැබෙන බරපතල ම ලෝක ආර්ථික බිඳ වැටීමේ බලපෑම යටතේ, එක්සත් ජනපදය හා යුරෝපය තුල මෙරට අපනයන වෙලඳපොලවල් හැකිලෙමින් තිබේ. එමගින් දහස් ගනන් රැකියාවන්ට තර්ජනය එල්ල කරයි. තරුන විරැකියාව නගිමින් තිබේ.

සිංහල, දෙමල හා මුස්ලිම් යන සියලු වැඩකරන ජනතාවන් අතරින් මතුවී එන සමාජ නොසංසුන්තාව පිලිබඳව බියට පත්ව සිටින ආන්ඩුව, දෙමල හා මුස්ලිම් ජනතාවට එරෙහිව වර්ගවාදී උද්ඝෝෂනයක් අවුලුවමින් සිටියි. ආන්ඩුව හා සිංහල වර්ගවාදී සංවිධාන, උතුරු හා නැගෙනහිර “ස්වයං පාලිත ආන්ඩුවක්” සඳහා ටීඑන්ඒ මැතිවරන ප‍්‍රකාශනයේ කැඳවුම ඩැහැගෙන, බෙදුම්වාදය දේශනා කරන බවටත්, “එල්ටීටීඊ ත‍්‍රස්තවාදය පුනර්ජීවනය” කිරීමට උත්සාහ කරන බවටත් එයට චෝදනා කරයි. කම්කරු පන්තිය බෙදා දුර්වල කිරීම පිනිස 1948 ලැබුනු නිල නිදහසෙන් පසුව මෙරට ධනපති පන්තිය, යලි යලිත් සිදු කෙරුනු දෙමල විරෝධී ප‍්‍රහාරයන්හි නිරතව සිටියේ ය.

ඒ අතරතුර ආන්ඩුව, තමන්ගේ ව්‍යාපාරික ගැති න්‍යායපත‍්‍රයට එරෙහිව අරගලයට ඇදෙන කම්කරුවන් තරුනයින් හා ගොවීන්ට විරුද්ධව සිවිල් යුද්ධය අවධියේ වර්ධනය කරන ලද පොලිස්-රාජ්‍ය මෙවලම මුදාහරිමින් සිටියි. පිරිසිදු පානීය ජලය ඉල්ලා සිටි වැලිවේරිය ගම්වාසීන්ට එල්ල කල මිලිටරි ප‍්‍රහාරය තරුනයන් තිදෙනෙකුගේ ජීවිත බිලිගත්තේ ය. එය වැඩකරන ජනතාවගෙන් පලවන ප‍්‍රතිරෝධය බිඳීමට යොදාගන්නා මර්දනකාරී ක‍්‍රමෝපායන් පිලිබඳ නවතම අනතුරු ඇඟවීමයි.

යලි වතාවක් නසසප හා එසප ව්‍යාජ වම්මු, වැඩකරන ජනතාව එජාපය පිටුපස ගාල් කිරීමට උත්සාහ දරමින් විසකුරු දේශපාලන කි‍්‍රයාකලාපයක් ඉටු කරයි. වෘත්තීය සමිති ද සමග එක්ව ඔවුහු, දීර්ඝ හා ලේවැකි කම්කරු පන්ති විරෝධී වාර්තාවක් සහිත පාලක පන්තියේ සම්ප‍්‍රධායික පක්ෂය වන එජාපය, ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ගේ හා ජීවන තත්වයන්ගේ ආරක්ෂකයා ලෙස වර්න ගන්වති. පක්ෂ දෙකම මෙම දක්ෂිනාංශික පක්ෂය බලයට පත්කිරීමට වෙහෙසෙති. එමගින් ඔවුහු, කම්කරු පන්තියේ ස්වාධීන ව්‍යාපාරයක් පීලිපන්නවා අවසානයේ දී පොලිස් රාජ්‍යයකට මග හෙලි කරති.

ජරපත්වන ධනවාදය තුල කම්කරුවන්ට, ගොවීන්ට හා තරුනයින්ට යහපත් ජීවන තත්වයන් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් සාක්ෂාත් කරගත නො හැකි ය. ධනේශ්වර පර්යායක් යටතේ දෙමල ජනතාවට ද ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් දිනාගත නො හැකි ය. අවශ්‍ය වන්නේ සමාජවාදී විකල්පයකි.

උතුරු නැගෙනහිරෙන් හමුදා ඉවත් කරන ලෙස කියා සිටින අතර ම එල්ටීටීඊයේ හා අනෙකුත් දෙමල කන්ඩායම්වල බෙදුම්වාදී ක‍්‍රියාමාර්ගයට විරුද්ධව ද පෙනී සිටිමින්, බලයට පත්වූ ආන්ඩු ගෙනගිය වර්ගවාදී යුද්ධයට අඛන්ඩව විරුද්ධ වූ එකම පක්ෂය සසප පමනි. දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදය සඳහා පුලුල් අරගලයක කොටසක් ලෙස ශී‍්‍ර ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක කි‍්‍රයාමාර්ගය මත, සකල විධ ජාතිකවාදී හා වර්ගවාදී රූපාකාරයන්ට එරෙහිව, සිංහල, දෙමල හා මුස්ලිම් වැඩකරන ජනතාව එක්සත් කිරීමට අපි සටන්වැදී ඇත්තෙමු.

මෙම ජාත්‍යන්තරවාදී සමාජවාදී ඉදිරිදර්ශනයට සහාය පලකිරීමක් ලෙස සසපට ඡන්දය දෙන ලෙස අපි යාපනයේ කම්කරුවන්ගෙන්, තරුනයින්ගෙන් හා පීඩිත ජනතාවගෙන් ඉල්ලා සිටිමු. සියල්ලටත් වඩා අපගේ කි‍්‍රයාමාර්ගය හදාරමින් හා පක්ෂයට බැඳෙමින් එය කම්කරු පන්තියේ විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනගන ලෙස සසප ඉල්ලා සිටියි.

Share this article: