බෙදුම්වාදී කි‍්‍රයාමාර්ගයට විරුද්ධ වීම නිසා ටැමිල්නෙට්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලිපිය විවේචනය කරයි

TamilNet criticises WSWS article for opposing separatist program

කේ. රත්නායක විසිනි, 2013 අගෝස්තු 31

"ශී‍්‍ර ලංකාවේ ආරක්ෂක ලේකම් සමාජ නොසංසුන්තාවය පිලිබඳව බිය පලකරයි” යනුවෙන් ලෝක සමාජවාදී වේබ් අඩවියේ පලවූ ලිපිය ගැන ටැමිල්නෙට් පල කල ප‍්‍රකාශය, ඔවුන් නියෝජනය කරන දෙමල ධනේශ්වරය හා වරප‍්‍රසාදිත මධ්‍යම පන්තිය, කම්කරු පන්තිය හා සමාජවාදය සඳහා අරගලය කෙරෙහි දක්වන විරුද්ධත්වය පිලිබිඹු කරයි.

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන මිලිටරි නිලධාරීන් හමුවේ පවත්වන ලද දේශනය කෙරෙහි ලෝසවෙඅ එම ලිපියෙන් අවධානය යොමුකර තිබුනි. දේශනයේ අරමුන වූයේ, කම්කරුවන්ගේ හා තරුනයින්ගේ එලඹෙන නැගිටීම් මැඬීම හා උතුරු-නැගෙනහිර පීඩාකාරී මිලිටරි ග‍්‍රහනය තවදුරටත් පවත්වාගෙන යාමට මිලිටරිය සූදානම් කිරීම ය.

නම සඳහන් නොවන "යාපනයේ ඊලම් ක‍්‍රියාකාරිකයකුගෙන්” උපුටා දක්වන ටැමිල් නෙට් ප‍්‍රකාශය, පන්ති ප‍්‍රශ්න පිලිබඳව අපගේ ලිපියෙහි අවධාරනය තුල, "නිදහස සඳහා ඊලම් දෙමල ජනතාව ගෙන යන අරගලය සැලකිල්ලට ගෙන තිබුනේ නම්” එය "හොඳ තක්සේරුවක් විය හැකිව තිබූ බව” කියා සිටියි.

පසුව එම "ක‍්‍රියාකාරිකයා” යට සඳහන් පරිදි ලියන කල, ඔහුගේ ආස්ථානය වඩාත් පැහැදිලි වෙයි. "දෙමල ජනතාවට සිංහල දේශපාලනයේ ප‍්‍රගතිශීලී බුද්ධිමතෙකුට හෝ නායකයෙකුට දේශපාලනිකව සහාය දිය හැක්කේ ඔහු හෝ ඇය, ඊලම් දෙමල ජාතියේ ස්වයං නීර්න අයිතිය හා ඔවුන්ගේ ඓතිහාසික නිභූමියේ ස්වෛරී භාවය පිලිගැනීමේ කොන්දේසිය මත පමනකි.”

සමාජවාදී සමානතා පක්ෂය (සසප) හා ලෝසවෙඅ මෙම තර්කය පිටුපස ඇති විසකුරු වාර්ගික දේශපාලනයේ සමස්ත ආකෘතියම ප‍්‍රතික්ෂේප කරයි. සසප හා එහි පූර්වගාමී විප්ලවවාදී කොම්යුනිස්ට් සංගමයට (විකොස), දෙමල ජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කිරීමේ ද කොලඹ ආන්ඩු විසින් උතුරු නැගෙනහිර ගෙන ගිය සාපරාධී යුද්ධයට විරුද්ධ වීමේ ද නොකැලැල් ඉතිහාසයක් ඇත. එහෙත් අප හැම විටම අවධාරනය කලේ, දෙමල, සිංහල හා මුස්ලිම් වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කල හැක්කේ, මෙරට ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා ගෙනයන අරගලයක කොටසක් ලෙස, ශී‍්‍ර ලංකා ධනේශ්වරයේ සියලු කොටස් වලින් දේශපාලනිකව ස්වාධීනව, කම්කරු පන්තියේ එක්සත් ව්‍යාපාරයක් ගොඩනැගීම තුලින් පමනක් බවය.

2009 මැයි මාසයේ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) පරාජය වීමෙන් අවසන්වූ දිග්ගැස්සුනු යුද්ධයේ කටුක අත්දැකීම් මගින් සසප ඉදිරිදර්ශනය සනාථ කෙරී තිබේ. යම් වර්ගයක "ස්වයං නීර්නයක්” නැත්නම් වෙනම ධනපති රාජ්‍යයක් දෙමල ජනතාවට ඇති එකම විසඳුමය යන පචය දිගටම තොරොම්බල් කිරීමට "ඊලම් කි‍්‍රයාකාරිකයා”ට, ටැමිල්නෙට් වෙබ් අඩවියට සහ විවිධ දෙමල ධනපති පක්ෂ වලට ද හැකි වී ඇත්තේ, යුද්ධයේ දේශපාලන පාඩම් පිලිබදව පරිපූර්න නිහඬතාවක් පවත්වාගෙන යාම නිසා ම පමනකි. එල්ටීටීඊය සිය සමස්ත මූලෝපායම පදනම් කර ගත්තේ, ස්වාධීන දෙමල ඊලමක් පිහිටුවා ගැනීමට දැරූ උත්සාහය මතය. එය වැඩකරන ජනතාවට ඉමහත් විනාශයක් අත්කර දුන්නේය.

යුද්ධය ආරම්භ කර නිර්දය ලෙස පවත්වාගෙන යාමට කොලඹ බලයේ සිටි ආන්ඩු වගකිව යුතුය. කෙසේ වෙතත් ඔවුන්ගේ සිංහල අධිපතිවාදී දෘෂ්ටිවාදය එල්ල කෙරුනේ, දෙමල ජනතාවට විරුද්ධව පමනක් නොව, කම්කරු පන්තියට ම එරෙහිව ය. කම්කරුවන්ගේ හා පීඩිතයින්ගේ ප‍්‍රතිරෝධය හමුවේ එක්සත් ජාතික පක්ෂයේ (එජාප) හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ (ශී‍්‍රලනිප) ආන්ඩු, කම්කරු පන්තිය භේද කර ධනපති පාලනය පවත්වාගෙන යාම පිනිස දෙමල විරෝධී වර්ගවාදය එක පැහැර යොදාගත්හ. ට්‍රොට්ස්කිවාදී ඉන්දියානු බොල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (බීඑල්පීඅයි) 1940 ගනන් වලදී, සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් මත පදනම්ව, බි‍්‍රතාන්‍ය යටත් විජිත පාලනයට එරෙහිව මෙරට හා උප මහාද්වීපයේ කම්කරුවන් එක්සත් කිරීමට සටන් වැද තිබුනි. පෙරලිකාරී කම්කරු පන්තියකට මුහුන දීමේදී, 1948දී ලත් නිල නිදහසෙන් පසුව එවක පැවති එජාප ආන්ඩුවේ පලමු කටයුත්තක් වූයේ දෙමල වතු කම්කරුවන් දශ ලක්ෂයකගේ පමන පුරවැසි භාවය අහෝසි කිරීම ය. ජී. ජී. පොන්නම්බලම්ගේ දෙමල කොංග‍්‍රසය මෙම ප‍්‍රතිගාමී පුරවැසි පනත් වලට සහාය දීමට තීන්දු කිරීම මගින් කම්කරු පන්තිය කෙරෙහි දෙමල ධනේශ්වරයේ සතුරුකම කැටිකර දක්වයි.

බීඑල්පීඅයි අවස්ථාවාදී ලංකා සමසමාජ පක්ෂය (ලසසප) තුලට දියකර හැරීම හා එහි පසුකාලීන දේශපාලනික පරිහානිය කම්කරු පන්තියට විනාශය අත්කර දුන් බව තහවුරු වී ඇත. ලසසපය 1964දී සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට ඇතුල්වීම ට්‍රොට්ස්කිවාදය ඓතිහාසිකව පාවාදීමක් විය. එය කම්කරුවන් අතර දැවැන්ත දේශපාලන ව්‍යාකූලත්වයක් නිර්මානය කරමින්, වාර්ගික පදනමකින් යුත් සුලු ධනපති දේශපාලනයට, එනම් ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) සිංහල ජනතාවාදයට ද එල්ටීටීඊය වැනි කන්ඩායම් වල දෙමල බෙදුම්වාදයට ද, දොර විවෘත කලේය.

"(ලසසප නායක) කොල්වින් ආර් ද සිල්වා වැනි ‘ට්‍රොට්ස්කිවාදී’ නායකයින් හෝ ජවිපයේ ‘ස්ටැලින්වාදී’ නායකයන්” සමග එක ගොඩට දැමීම මගින් ඊලාම් කි‍්‍රයාකාරිකයා විකොස/සසපට මඩ ප‍්‍රහාරයක් එල්ල කරයි. ලසසපයේ පාවාදීමට එරෙහි වූයේ ද ඉන් අවශ්‍ය දේශපාලන පාඩම් උකහා ගනිමින්, එල්ටීටීඊය ද ජවිපෙ ද ඇතුලු ධනපති දේශපාලන ක්ෂේත‍්‍රයේ ජාතිකවාදී හා වර්ගවාදී රූපාකාරයන් සියල්ලටම එරෙහිව කම්කරුවන් දේශපාලනිකව එක්සත් කිරීමට සටන් වැදුනු එකම පක්ෂය විකොස පමනි. මෙම වාර්තාව සමාජවාදී සමානතා පක්ෂයේ ඓතිහාසික හා ජාත්‍යන්තර පාඩම් යන ඉදිරිදර්ශන කෘතිය තුලින් ඕනෑම කෙනෙකුට බලාගත හැකිය.

දෙමල බෙදුම්වාදය සියලු දෙමල ජනතාවගේ අවශ්‍යතා නියෝජනය කරන බව ඊලාම් කි‍්‍රයාකාරිකයා වංචනික ලෙස කියා සිටියි. දෙමල කම්කරුවන් හා පීඩිතයින් සූරාකෑමේ සිය "අයිතිය” සහතික කරන වෙනම රාජ්‍යයක් ගොඩනගා ගැනීමේ උවමනාවෙන් පෙලෙන දූෂිත දෙමල ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙන්, එය සැබවින්ම දායක වෙයි. එල්ටීටීඊය තම යුද්ධය ගෙන ගියේ ද දෙමල ජනතාව භයංකර අවෘත අන්තරයකට තල්ලු කලේ ද මෙම පදනම මතයි.

එල්ටීටීඊය 2009දී ලත් පරාජය, මූලිකව ම මිලිටරි ප‍්‍රශ්නයක් නොවන අතර එය එහි පන්ති දැක්ම හා දේශපාලනයේ ප‍්‍රතිපලයක් විය. සියලු ධනේශ්වර ජාතිකවාදී සංවිධාන මෙන්ම එල්ටීටීඊය ද කම්කරු පන්තිය වෙත ආයාචනය කිරීමට ඓන්ද්‍රීයවම අසමත් විය. ජනතාවගේ කුමන හෝ ස්වාධීන ව්‍යාපාරයක් පිලිබඳව බියෙන් පෙලුනු ඔවුන්, තම පාලනය යටතේ පැවති ප‍්‍රදේශයන්හි ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලන ක‍්‍රමවේදයන්ගේ පිහිට පැතීය. ඔවුහු සටන්කරුවන් ලෙස බලහත්කාරී ලෙස තරුනයින් බඳවා ගත්හ. ජනතාවගෙන් අසීමිත ලෙස බදු අයකල අතර සිය දේශපාලන විරුද්ධවාදීන් හා විවේචකයින් ප‍්‍රචන්ඩ ලෙස මැඩ පැවැත්වීය.

දෙමල ජනතාව අතර පුලුල්ව පැතිර පැවති නොසතුට අවමංගත කිරීම සඳහා එල්ටීටීඊය, වඩ වඩාත් වර්ගවාදී වෛරය උසිගැන්වීමේ ප‍්‍රතිගාමී විධික‍්‍රමයන්හි පිහිට පැතීය. එය කොලඹ ආන්ඩුවේ යුද්ධය සහ අපරාධ සම්බන්ධයෙන් සිංහල කම්කරුවන් ද ගම්බද දුගීන් ද ඇතුලු සමස්තයක් ලෙස "සිංහල ජනතාවටම” චෝදනා නැගීය.

කම්කරුවන් හා ගම්බද පීඩිතයින් පුපුරවා හැරීමට එල්ටීටීඊය මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පිටත්කර හරිමින් සිය ගනන් සිංහල ජනතාව කුරිරු ලෙස මරා දැමීය.

"ඊලාම් දෙමල ජනතාවගේ නිජභූමිය ජනපද කිරීමට සහභාගී වීමේ සදාචාරාත්මක අපරාධය” වෙනුවෙන් ටැමිල්නෙට්, සිංහල කම්කරුවන් හා ගොවීන් හෙලා දකියි. කොලඹ ආන්ඩු විසින් උතුරු හා නැගෙනහිර පලාත්වල පදිංචි කරන ලද දුගී ගොවීන්ට එල්ටීටීඊය එල්ල කල ප‍්‍රචන්ඩ ප‍්‍රහාර යුක්තිසහගත කිරීම පිනිස මෙය යොදා ගැනේ. කොලඹ ආන්ඩුවට සහාය දෙන බවට බොරු චෝදනා නගමින් එල්ටීටීඊය, යාපනයේ දෙමල කථාකරන මුස්ලිම් ජනතාව ද පලවා හැරියේය. තම කුරිරු යුද්ධය යුක්තිසහගත කිරීමට වෑයම් කල කොලඹ දේශපාලන සංස්ථාපිතයේ දෑත් ශක්තිමත් කිරීමට මේ සියල්ල කෙලින්ම දායක විය.

කම්කරු පන්තිය කෙරේ එල්ටීටීඊයේ විරුද්ධත්වය, 1998 වසරේ කිලිනොච්චියේදී ඔවුන් විකොස සාමාජිකයින් 5 දෙනෙක් අත්අඩංගුවට ගැනීමෙන් තියුනු ලෙස ප‍්‍රකාශයට පත් විය. ඒ ඔවුන්, එල්ටීටීඊයේ බෙදුම්වාදී කි‍්‍රයාමාර්ගයට ප‍්‍රතිපක්ෂව, කොලඹ ආන්ඩුවේ පීඩාවන්ට හා යුද්ධයට එරෙහිව සිංහල, දෙමල හා මුස්ලිම් වැඩකරන ජනතාව එක්සත් කිරීමට සටන් වැදීම නිසා ය. විකොස සමාජවාදී කි‍්‍රයාමාර්ගය දෙමල කම්කරුවන් හා තරුනයන් අතර ශ‍්‍රාවකත්වයක් දිනාගනු ඇතැයි බියපත් වූ එල්ටීටීඊය, එහි සාමාජිකයින් නිදහස් කලේ පුලුල් ජාත්‍යන්තර උද්ඝෝෂනයකින් පසුව පමනි. (බලන්න: සසප හා ශී‍්‍ර ලංකා හා ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් සඳහා සටන)

එල්ටීටීඊය සෑම විටම වෙනම දෙමල ඊලමක් සඳහා වූ සිය බලාපොරොත්තු රඳවනු ලැබුවේ, ඉන්දියාවේ හා ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය මතය. එහි ප‍්‍රතිපල වශයෙන් "විදෙස් පිලිවෙත” එක එල්ලේ පදනම් වූයේ අදූරදර්ශී තත්කාර්යවාදය මතය. සීතල යුද්ධයේ නිමාවෙන් පසුව ජාත්‍යන්තර සම්බන්ධතාවන්ගේ සිදුවූ මාරුව පිලිබඳව ඔවුහු මුලුමනින්ම අන්ධ භාවයට පත්ව සිටියහ. එල්ටීටීඊය පසුව පොට වරද්දා ගැනීමක් බව හඳුනාගත් 1991දී ඉන්දියානු අගමැති රජීව් ගාන්ධි මරා දැමීම, ඉන්දියාව තුලත් ජාත්‍යන්තර ක්ෂේත‍්‍රයේත් එහි තත්වය දුර්වල කලේය.

2001 සැප්තැම්බර් 11න් ඉක්බිත්තෙහි එල්ටීටීඊය, එක්සත් ජනපදය දියත්කල "ත‍්‍රස්තවාදයට එරෙහි යුද්ධයේ” ඉලක්කයක් බවට පත් නොවීම සඳහා උපාමාරු දැමීමට පටන් ගති. එය 2002දී සටන් විරාමයකට අත්සන් තබා ප‍්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අනුග‍්‍රහය ලත් "සාම කි‍්‍රයාවලියට” සම්බන්ධ වීමට දැක්වූ තදියම හමුවේ, ඔවුන්ගේ ස්වාධීන ඊලමක් සඳහා වූ ඉල්ලීම අතහැර දැමූහ. ඕනෑම විසඳුමකදී එක්සත් ජනපදය හා ඉන්දියාව එල්ටීටීඊයට පවරනු ඇත්තේ සාපේක්ෂව අඩු කි‍්‍රයාකලාපයක් බව පැහැදිලි වීමත් සමග සාකච්ඡාා බිඳ වැටුනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ 2006 වසරේදී යුද්ධය යලි ආරම්භ කල විට, එල්ටීටීඊයේ දේශපාලන බංකොලොත්කම නග්නව හෙලිදරව් විය. ඔවුන් මෙරට ද උප මහාද්වීපයේ හා ජාත්‍යන්තරව ද කම්කරු පන්තියට හා පීඩිත ජනතාවන්ට කිසිදු ආයාචනයක් කිරීමට මුලුමනින් ම අසමත් විය. තමන්ගේ පාලනය යටතේ පැවති ප‍්‍රදේශවල දෙමල ජනතාව එක් ප‍්‍රදේශයකින් තවත් ප‍්‍රදේශයකට දක්කමින්, ඔවුන් කෙරෙහි සිය පූර්න සතුරුකම ප‍්‍රදර්ශනය කලේය. රජයේ හමුදා 2009දී සිය අවසාන ප‍්‍රහාරය දියත් කරද්දී එල්ටීටීඊය, රාජපක්ෂ ආන්ඩුවට රාජ්‍යතාන්ති‍්‍රක, මූල්‍ය හා මිලිටරි ආධාර සැපයූ එම "ජාත්‍යන්තර ප‍්‍රජාව” වෙතම නිරර්ථක ලෙස ආයාචනය කරන තැනට ඇද වැටුනි.

යුද්ධයෙන් පසු කාලයේ සියලුම දෙමල ධනපති පක්ෂ, කිසියම් වර්ගයක "ස්වයං නීර්නයක්” වෙනුවෙන් සහාය ලබාගැනීම පිනිස, අධිරාජ්‍යවාදී බලවතුන් වෙතම නෙත් යොමු කලහ. එක්සත් ජනපදය "මානව හිමිකම්”ප‍්‍රශ්නය ගසාකන්නේ, රාජපක්ෂ ආන්ඩුව චීනයෙන් ඈත්කර තැබීම පිනිස පීඩනය යෙදීමටය යන කාරනය ඔවුහු මුලුමනින්ම නොතකා හලහ. එහිදී දෙමල ජාතික සන්ධානය හා අනෙකුත් පක්ෂ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ, ලිබියාවේ හා සිරියාවේ ම්ලේච්ඡ යටත් විජිතවාදී යුද්ධයන්ගේ දශකයකින් පසුව එක්සත් ජනපද අධිරාජ්‍යවාදය චීනයට එරෙහිව යුද්ධයට සූදානම් වෙමින් සිටින අවස්ථාවේ, ඔවුන් සමග පෙලගැසෙමින් සිටිති.

ඊලාම් කි‍්‍රයාකාරිකයාට අවශ්‍යව ඇත්තේ, 1930 ගනන් වලින් මෙපිට ගෝලීය ධනවාදයේ නරකම බිඳවැටීම හමුවේ, මෙරට ද ජාත්‍යන්තරව ද වැඩකරන ජනතාව ඉමහත් අන්තරායන්ට මුහුන දෙමින් සිටිය දී, එම බංකොලොත් ඉදිරිදර්ශනයට දෙමල කම්කරුවන් හා තරුනයන් බැඳ තැබීම ය. අපගේ ලිපියෙන් අනතුරු ඇඟවූ පරිදි රාජපක්ෂ ආන්ඩුව ලෝකය පුරා එහි සහචරයින් මෙන්ම උත්සාහ කරන්නේ, ධනවාදයේ අර්බුදයෙහි බර වැඩකරන ජනතාව මත පැටවීමට ය. එහිදී ඔවුන් දශක ගනනාවක යුද්ධය තුල ගොඩනගාගත් පොලිස්-රාජ්‍ය යාන්ත‍්‍රනය, තමන්ට එල්ල වන කුමන හෝ ප‍්‍රතිරෝධයක් මැඩීම පිනිස යොදාගැනීමට නොපැකිලෙනු ඇත.

කම්කරුවන්ගේ හා තරුනයින්ගේ වැඩෙන ප‍්‍රතිරෝධයට මුහුනපා සිටින රාජපක්ෂ ආන්ඩුව, දෙමල හා මුස්ලිම් විරෝධී මනෝගතීන් අවුලුවමින් සිටින විවිධාකාර සිංහල ස්වෝත්තමවාදී සංවිධාන වලට අනුබල දෙමින්, ප‍්‍රතිගාමී වර්ගවාදී දේශපාලනයේ ගැලී සිටියි. එයට පිලිතුරු දිය හැක්කේ, දෙමල හෝ මුස්ලිම් වර්ගවාදයෙන් නොව, ප‍්‍රජාතන්තී‍්‍රය අයිතීන් ආරක්ෂා කිරීමට සමත් එකම සමාජ බලවේගය වන කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන් වැදීමෙනි.

වෙනම ඊලමක් සඳහා වූ ඉල්ලීමට සහාය දැක්වීමට අසමත් වීමේ අර්ථය, ”ඒකීය ජනසංහාරක ශ‍්‍රී ලංකා රාජ්‍යයට” සහාය දීම බවට ඊලාම් ක‍්‍රියාකාරිකයා ඉදිරිපත් කරන තර්කය, සසප ප‍්‍රතික්ෂේප කරයි. සසප ශී‍්‍ර ලංකාවේ ධනපති රාජ්‍යයට හෝ ධනේශ්වර ඊලමක් වෙනුවෙන් කෙරෙන ඉල්ලීම යන කවරකටවත් සහාය නො දක්වයි. උතුරු නැගෙනහිරෙන් කොන්දේසි විරහිතව හා වහාම හමුදා ඉවත්කර ගත යුතු යයි අප එක දිගට ම සටන් වදින්නේ, වෙන ම ඊලමක් ගොඩනැගීමට සහාය දැක්වීම පිනිස නොව, ශී‍්‍ර ලංකා හා ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක් පිහිටුවීමේ විප්ලවවාදී අරගලය තුල ගම්බද පීඩිතයින්ගේ නායකත්වයෙහි කම්කරු පන්තිය පිහිටුවා බලමුලූ ගැන්වීම සඳහා ය.

පසුගිය සියවසේ ගමන් මග තුල නිරවද්‍ය භාවය යලි යලිත් තහවුරු කොට ඇති, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලවයේ න්‍යාය මත අපගේ ඉදිරි දර්ශනය පදනම් වේ. සිංහල, දෙමල හා මුස්ලිම් යන මෙරට ධනපති පන්තියේ සියලූ කොටස් නැවත නැවතත් ඔප්පුකර ඇත්තේ, මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් හා යහපත් ජීවන තත්වයන් සඳහා වන වැඩකරන ජනතාවගේ කිසිදු අපේක්ෂාවක් සපුරාලීමට මුලූමනින්ම අසමත් බවයි. මෙම අපේක්ෂාවන් මල්පල ගැන්විය හැක්කේ, දකුනු ආසියාවේ ද ජාත්‍යන්තරව ද සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස, සමාජය සමාජවාදී ආකාරයකට මුලූමනින්ම ප‍්‍රතිසංවිධානය කිරීම අරමුනු කරගත්, කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීම තුලින් පමනකි.

අවශ්‍ය පාඩම් ඉගෙන ගන්නා ලෙසටත්, අපගේ ඉතිහාසය හා කි‍්‍රයාමාර්ගය හදාරන ලෙසටත්, එලඹෙන අරගලයන් ඉල්ලා සිටින විප්ලවවාදී නායකත්වය ලෙස සසප ගොඩනැගීමට එක්වන ලෙසටත්, අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටින්නෙමු.

Share this article: