චීනයේ නය කඩාවැටීම පිලිබඳ නැගෙන අන්තරාය

Growing danger of Chinese credit collapse

නික් බීම්ස් විසිනි, 2014 අපේ‍්‍රල් 4

ආරම්භයේදී ඒවා ගනු ලැබුවේ කනස්සල්ල පිලිබඳ ප්‍රකාශනයන් ලෙස වුවත්, මෑත සති වලදී චීනයේ මූල්‍ය තත්වය හා ඒවා ගෝලීය ආර්ථිකය කෙරේ ඇතිකරන ඇඟවුම් පිලිබඳ අනතුරු ඇඟවීම් නැඟී එන හඬක් බවට පත්ව තිබේ.

සංකීර්න අන්තර් ක්‍රියාකාරී සාධක මීට සම්බන්ධය. ඒවා නම්, මන්දගාමී වන චීන ආර්ථිකය, මූලික නිෂ්පාදන කර්මාන්ත, විශේෂයෙන්ම වානේ කර්මාන්තය කෙරෙහි ඉන් මතුකර ඇති ගැටලු, දේපොල හා සංවර්ධන උත්පාතය බිඳවැටීම පිලිබඳ බලාපොරොත්තු හා චීන මුදල අවප්‍රමානය වීම නිසා ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන සම්බන්ධව ඇති මූල්‍ය වැඩසටහන් ඉක්මනින්ම අවසන් වීමට පටන් ගැනීමේ හැකියාව ය.

2008 මූල්‍ය අර්බුදය හා මාස කිහිපයක් ඇතුලත රැකියා මිලියන 23කටත් වඩා අහෝසිවී යාමත් සමග චීන ආර්ථිකය කෙරෙහි එහි බලපෑම හමුවේ, ආන්ඩුව දැවැන්ත උත්තේජක වැඩසටහනක් ආරම්භ කලේය. එයට ඩොලර් බිලියන 500ක ලෝකයේ විශාලතම වැය ශීර්ෂය ද ඇතුලත් විය.

වැඩසටහනෙහි වඩාත් කැපී පෙනෙන අංඟය වූයේ, ව්‍යාපාරයන්ට, මූල්‍ය ආයතන වලට හා ආන්ඩුවේ ප්‍රාදේශීය අධිකාරයන්ට නය මුදාහැරීම පිනිස රාජ්‍ය බැංකු වලට උපදෙස් දීමය. ඒ කාර්මික ව්‍යවසායන්හි ආයෝජන පරිමාව වැඩිකරන අරමුදල් සම්පාදනය, දේපොල සංවර්ධනය හා යටිතල ව්‍යාපෘතීන් සංවර්ධනය සඳහාය.

චීනය ලෝක ආර්ථික ඉතිහාසයේ පෙර නොවූ විරූ නය ප්‍රසාරනයක් අත්දුටුවේය. එය පසුගිය පස් වසර තුල ඩොලර් ට්‍රිලියන 15 දක්වා ඉහල ගියේය. මෙය එක්සත් ජනපදයේ සමස්ත බැංකු ක්‍රමයේ ප්‍රමානයට සමාන විය.

නය ප්‍රසාරනය දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනය මෙන් දෙගුනයක් විය. 2013 අවසන් කාර්තුව වන විට, චීන බලධාරීන් කියන ආකාරයේ “සමාජ ආයෝජන” හෝ නය ප්‍රමානය දදේනින් සියයට 200ක් විය. ගෝලීය මූල්‍ය අර්බුදය පුපුරා යාමට පෙරාතුව එය පැවතියේ සියයට 125 මට්ටමේය.

පූර්වයෙන් පැවති වර්ධන අනුපාතයන් වූ සියයට 10 සමග සසඳන කල මේ වර්ෂයේදී නිල වර්ධන ඉලක්කය සියයට 7.5ක් පමන වන තතු තුල දැන් චීන ආර්ථිකය මන්දගාමී වීම, නිෂ්පාදන කර්මාන්තයේ විශේෂයෙන්ම වානේ කර්මාන්තයේ, සෑම අංශයකටම පහර දෙයි.

මේ වසරේ මුල් මාස දෙක තුල චීනයේ යකඩ හා වානේ සමායතනයේ සාමාජිකයින්ට මිලියන 490ක අලාභ සිදුව තිබේ. සංවිධානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලියු සින්ජියෑන්ට අනුව මෙහි ප්‍රතිපලය වශයෙන් වසරේ මුල් කාර්තුව “නව සියවසේ නරකම ප්‍රතිපල අත්කරගත් වකවානුව” වනු ඇත.

පසුගිය වසරේ වානේ කර්මාන්තය සමස්තයක් ලෙස ලාභයේ ඉමෙහි රැඳී සිටි අතර අලෙවියේ ලාභ ය සියයට 0.48ක් පමනි. කර්මාන්තය වඩ වඩාත් නය මත යැපෙන තත්වයට පත්ව ඇති අතර විශාලතම මෝල් හතේ නය බිලියන 226ක් විය. එය ගෝලීය පතල් කැනීම් අංශයේ යෝධයා වන බීඑච්පී බිලිටන්හි වෙලඳපොල ප්‍රාග්ධන වටිනාකම ඉක්මවා යයි.

මැග්වයරි පාරිභෝගික පරියේෂන ආයතනය, මාර්තු මැද හරියේ කර්මාන්තය තුල සිදු කල සමීක්ෂනයකට අනුව, පසුගිය වසර හා සසඳන කල කුඩා හා මධ්‍යම මට්ටමේ මෝල් ඇනවුම් හැකිලී යාමකට මුහුනපා ඇති අතර ලාභ ඉතිහාසගත පහත අඩියකට කඩාවැටී ඇත.

චීනයේ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව එලඹෙන මාර්තු මාසය තුල සාමාන්‍යයෙන් ඇනවුම් වල වැඩිවීමක් සිදුවන නමුත් මේ වසරේ පවතින්නේ වැඩිවන පල්වීමකි.

ෆිනෑන්ෂල් ටයිම්ස් වෙත අදහස් දැක්වූ යුරෝපයේ මැග්වයරි ප්‍රාග්ධන විශ්ලේෂක කොලින් හැමිල්ටන්, ක්ෂේත්‍රය තුල පවතින අධි ධාරිතවය නිසා සමහර සමාගම් වැසී යනු ඇතැයි චීන ආන්ඩුව ඇඟවුම් කර ඇති නිසා වානේ කර්මාන්තයෙහි නය පැහැර හැරීම් ඈතින් දිස්වීමට පටන්ගෙන ඇතැයි පැවසීය.

ඊටත් වඩා කනස්සල්ලට හේතුවී ඇත්තේ, පසුගිය දශකය පුරා දස ගුනයකින් වර්ධනය වූ දේපොල වෙලඳපොල බුබුල බිඳ වැටීම පිලිබඳ වැඩිවන අන්තරායයි.

බීජිං හා ෂැන්හයි දේපොල උත්පාතය තවමත් පවතිද්දී කුඩා නගරවල තත්වය ඊට වඩා වෙනස්ය. පසුගිය වසරේ ඉදිකිරීම්වල නිරතවූ දේපල සමාගම් වලින් තුනෙන් දෙකකට වග කියන්නේ එම කොටසය.

විශාල මහල් නිවාස එක්කෝ හිස්ව තිබෙනු නැතිනම් අර්ධයක් නිමවා ඇත. ජපානයේ මූල්‍ය යෝධයෙකු වන නොමුරා හි ප්‍රධාන අර්ථශාස්ත්‍රඥයාට අනුව, මේ වසරේ චීන ආර්ථිකයෙහි “ඉහලම අවදානම” දරන්නේ නිවාස වෙලඳපොලයි.

නය සම්පාදනයේ දී අන් කවරදාකටත් වඩා විදේශ ආයෝකයින් මුල් තැන දරන බැවින් දේපොල වෙලඳපොලේ බිඳ වැටීමක්, ක්ෂනික ජාත්‍යන්තර ප්‍රතිවිපාක ජනිත කරනු ඇත. 2010 වසරේ පටන් ඔවුන් චීන දේපොල සංවර්ධනය කරන සමාගම් වලට ඩොලර් බිලියන 48ක බැඳුම්කර නයට දී ඇත. ක්‍රෙඩිට් සුයිස් ආයතනයට අනුව, ප්‍රධන ආයෝජකයින්ගේ කල් පසුවූ මුලු නයෙන් අඩකටත් වඩා විදේශ නය ගිනුම් වලට ගෙවීමට ඇත.

ප්‍රධාන ඉදිකිරීම් ආයතන මුහුනපා ඇති ගැටලුව වන්නේ, යුවාන් මුදලේ අගය පහත වැටීමේ තත්වය නිසා උග්‍ර අතට හැරී තබෙන පිරිහෙන දේපොල මිල ගනන්ය. මුදල පහත වැටෙන සෑම අවස්ථාවකදීම ඩොලර් වලින් නියම කෙරී ඇති නය බර ඉහල නඟියි.

මූල්‍ය අස්ථාවරත්වයට තුඩුදී ඇති තුන්වන ප්‍රධාන සාධකය, ප්‍රාදේශීය ආන්ඩුවල කටයුතුය. 2008 අර්බුදයෙන් පසුව මධ්‍යම ආන්ඩුවේ උත්තේජක වැඩසටහනේ කොටසක් ලෙස එම ආන්ඩු දේපොල හා යටිතල පහසුකම් සංවර්ධනය දැවැන්ත ලෙස ඉහල නැංවිය.

ප්‍රාදේශිය ආන්ඩු, සමස්ත ආන්ඩු වියදම් වලින් සියයට 80කට වගකියන නමුත් ඒවාට බදු ආයම් ලෙස ලැබෙන්නේ සියයට 40ක් පමනි. ප්‍රතිපාදන සඳහා අවශ්‍ය අමතර අරමුදල් වෙනත් අයුරකින් සොයාගත යුතුය. ප්‍රාදේශීය ආන්ඩු වලට නීතියෙන් නයට ගැනීමට අවසර නැත. එබැවින් එම ආන්ඩු මූල්‍ය සමාගම් පිහිටුවා එමගින් නය ගනිති.

එවන් සමාගම් 10,000ක් ඇතැයි ගනන් බලා තිබේ. ඒවාට ප්‍රධාන බැංකු සමග මෙන්ම, තැන්පතු එකතු නොකර කෙටි කාලීන බැඳුම්කර අලෙවි කර මුදල් උපයාගන්නා “ඡායා බැංකු” සමග ද සමීප සම්බන්ධකම් ඇත. v

පසුගිය වසර පුරා චීන මධ්‍යම ආන්ඩුව, දිගු කාලයේදී තිරසාර නොවන බවට ඔවුන් සලකන නය ප්‍රසාරනය සීමා කිරීමට උත්සාහ දැරීය. එහෙත් ප්‍රාදේශීය බලධාරීන්, දේපොල හා යටිතල සංවර්ධන කටයුතු වලින් සැලකිය යුතු ධනයක් හම්බකරගන්නා චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාන්ත නායකයින්ගේ පාලනය යටතට පත්වෙයි.

මෙහි අර්ථය වන්නේ, නය ප්‍රසාරනය සීමා කිරීමට මධ්‍යම බලධාරීන් දරන ව්‍යායාමයෙහි ප්‍රතිපල නොලැබෙන බවයි. නිල සීමාවන්ට මුහුනපා සිටින කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රාදේශීය නායකයෝ, සිය ධනය සුරක්ෂිතව තබාගැනීමටත් වර්ධනය කරගැනීමටත් කැමැත්තක් දක්වති. එබැවින් ඔවුහු, වඩ වඩාත් “ඡායා බැංකු ක්‍රමයට” ඇල්මක් දක්වන අතර මූල්‍ය අවදානම ඉහල නංවයි.

මූල්‍ය විශ්ලේෂකයෙකු වන සත්‍යජිත් දාස්, ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පතෙහි මෙසේ ලිවීය. “ප්‍රාදේශීය ආන්ඩුවල මූල්‍ය සමාගම් වලට නය ආපසු ගෙවීම සඳහා සෑහෙන තරම් මුදල් ප්‍රවාහයක් නැත. ගෙවීම් සඳහා ඒවා විශ්වාසය තබා ඇත්තේ, ඉඩම් අලෙවිය හා ඉහල දේපොල මිල ගනන් මතය. මෙම සමාගම් වලින් සියයට පනහකටත් වඩා තිරසාර නොවන නය මට්ටම් දරා සිටියි.”

සමහර අටුවාකාරයෝ ප්‍රධාන අර්බුදයක් පිලිබඳ අදහස බැහැර කරති. මක්නිසා ද යත්, ආර්ථිකය මත රජයේ පාලනයත් චීනය සතු දැවැන්ත මූල්‍ය සංචිතත් නිසාය. කෙසේ වෙතත් ලෝකයේ ප්‍රධාන බැංකු ගනනාවක්ම, එක්සත් ජනපද මහ බැංකුව බැංකු පොලිය නැංවීමට තීරනය කිරීමෙහි බලපෑම පෙන්වා දෙති.

පසුගිය වසරේ ෆෙඩරල් මහ බැංකුව සිය වත්කම් මිලට ගැනීමේ වැඩසටහන පහත දැමීමට නැත්නම් කැපීමට ඇති හැකියාව ඇඟවුම් කල විට, නැඟී එන ආර්ථිකයන් සිය ප්‍රාග්ධනය පිටතට ගලායාම අත්දුටුවේය. මෙම “උනු උනු මුදල්” වලින් වැඩි පංඟුව චීනය වෙත ඇදී ගොස් තිබුනේ, අනෙකුත් නැඟී එන ආර්ථිකයන්හි මුදලේ අගය පහත වැටෙන නමුත් යුආන් මුදල දිගටම ඉහල නඟිනු ඇතැයි යන විශ්වාසයෙනි.

එහෙත් මෙතෙක් මේ වසර තුල යුආන් මුදල සියයට 2.5කට වැඩි ප්‍රමානයකින් අවප්‍රමානය වී ඇත. චීන මූල්‍ය බලධාරීන් සමපේක්ෂනය සීමාකිරීමට පියවර ගැනීමේ එක් ප්‍රතිපලයක් වශයෙන්, චීනයේ වත්කම් මිලට ගැනීම පිනිස ඩොලර් නයට ගන්නා වෙලඳාමට සම්බන්ධ සමාගම් වලට බිලියන 5.5ක පමන අලාභයක් සිදුව ඇත. මෙය සාපේක්ෂව කුඩා ප්‍රමානයක් වුවත්, එය එලඹිය හැකි තත්වය පිලිබඳ ඇඟවුමකි.

ෆෙඩරල් මහ බැංකුවේ කප්පාදු පියවර සඳහා වන ප්‍රතික්‍රියාවේ දෙවන අදියර චීනයට බලපෑම් කරනු ඇතැයි යන කනස්සල්ලක් දැන් මතුවෙමින් තිබේ. සිටි ගෲප්හි මෑත වාර්තාවකට අනුව, “ඉහල යන එක්සත් ජනපද කෙටිකාලීන පොලී අනුපාත හා වඩාත් අස්ථාවර යුආන් මුදල යන දෙක එකට ගත් කල චීනයෙන් තරමක විශාල ප්‍රාග්ධනයක් ඉවතට ගලා යාමේ අනතුරුදායක වාතාවරනයක් පවතියි.”

චින ආයෝජකයින්, වානිජ්‍ය බැංකු, අපනයනකරුවන් යන සියල්ලෝම ඩොලර් නයට ගැනීමේ සෙල්ලමෙහි යෙදී සිටින කොන්දේසි හමුවේ, එම ක්‍රියාවලිය “පසුපස ගියරයට” වැටී ඇති බව පවසන සටහනක් පසුගිය සතියේදී නොමුරා ආයතනය විසින් නිකුත්කොට තිබේ. නොමුරාහි චීන විශ්ලේෂක වෙන්ඩි ලින්, ආයෝජකයින් නව්‍ය උත්තේජක පැකේජයක් හා යටිතල සංවර්ධන ව්‍යාපෘති ගැන ඕනෑවට වඩා විශ්වාසය තබමින් මුදල මුහුනපාන අන්තරායන් නොතකා හැර තිබෙන බව පැවසීය. යුආන් මුදලේ වැටීම, “චීනයේ නය බුබුල නොවැරදීම පුපුරා යා හැකි” බවට කල් තියා පලවන අනතුරු ඇඟවීමක් විය හැකිය.

ක්‍රෙඩිට් සුවිස්ට අනුව සමපේක්ෂනාත්මක ඩොලර් නයට ගැනීමේ වෙලඳාමෙහි අගය ඩොලර් බිලියන 200ට ලඟාවී ඇත. හොකොං හා විවිධ දර්ශකයන් හරහා කරන සංකීර්න උපාමාරු පෙන්නුම් කරන්නේ, පද්ධතිය තුල “වෙහෙසට පත්වීම” ය. “පය පැකිලීමක් පිලිබඳ අවදානම” මෙ මගින් ඉහල නැඟී ඇති බවයි.

වර්ධනය වන චීන නය අර්බුදය පෙන්නුම් කරන්නේ, 2008 අර්බුදයට තුඩු දුන් ප්‍රතිවිරෝධතා කිසිවක් විසඳී නැති බවයි. ඒවා හුදෙක් වෙනත් රූපාකාරයන් ගෙන ඇතුවා පමනි.

පසුගිය පස් වසර පුරා සිදුවූ චීනයේ දැවැන්ත නය ප්‍රසාරනය, එක්සත් ජනපදයේ මූල්‍ය ක්‍රමය උනුවී යාමට ආසන්න තත්වයකට පත්වීම මගින් අවුලුවන ලද මූල්‍ය අර්බුදයේ සෘජු ප්‍රතිපලයයි. අර්බුදයෙන් පසුව ඇරඹූ ආර්ථික උත්තේජන පියවර ලෝක ආර්ථිකය තිරසාර කිරීමෙහිලා තීරනාත්මක ක්‍රියාකලාපයක් ඉටු කලේය.

පසුගිය පස් වසර පුරා ඇතිවූ ගෝලීය වර්ධනයෙන් හතරෙන් තුනකට වගකීවේ නැඟී එන ආර්ථිකයන් බවට ගනන් බලා ඇත. එයින් ද වැඩි ප්‍රමානයකට දායක වූයේ චීනයයි. එහෙත් මෙම චීන වර්ධනය නය බුබුලක් නිර්මානය කල අතර දැන් එය පුපුරා යාමේ තර්ජනය ගෙන එයි. එයින් සමස්ත ගෝලීය මූල්‍ය ක්‍රමයටම විනාශකාරී ප්‍රතිවිපාක ඇතිකල හැකිය.

ත‍්‍රස්තවාදය මර්දන කිරීමේ නාමයෙන් ඉස්මත්තට ගෙන එන ලද මෙම තහනම් කිරීම් දෙමල ජනයාට පමනක් නොව වඩාත් පලල් අර්ථයෙන් ආන්ඩුවේ දේශපාලන විරුද්ධවාදීන්ට හා සමස්තයක් වසයෙන් කම්කරු පන්තියට එරෙහිව මර්දනය උත්සන්න කිරීමට යොදා ගනු ඇත.

විදෙස් ත‍්‍රස්තවාදීන් ලෙස ලේබල් ගසා තහනම් කරන ලද මෙකී කන්ඩායම් අතර, බි‍්‍රටිෂ් ටැමිල් ෆෝරම්, කැනේඩියන් ටැමිල් කොන්ග‍්‍රස්, ග්ලෝබල් ටැමිල් ෆෝරම්, ට‍්‍රාන්සිෂනල් ගවර්න්මන්ට් ඔෆ් ටැමිල් ඊලම්, ටැමිල් රිහැබිලිටේෂන් ඕර්ගනයිසේෂන්, වර්ල්ඞ් ටැමිල් මූමන්ට් හා ඕස්ටේ‍්‍රලියන් ටැමිල් කොන්ග‍්‍රස් සිටිති. මෙම කන්ඩායම් ප‍්‍රධාන වසයෙන්ම ක‍්‍රියාත්මක වන්නේ බටහිර රටවල සිට ය.

එක්සත් ජනපදයේ 2001 සැප්තැම්බර් 11 ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයෙන් අනතුරුව සම්මත කර ගන්නා ලද එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයේ 1373 යෝජනාව යටතේ මෙම තහනම් නියෝගය ක‍්‍රියාත්මක කල බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කලේ ය. එකී යෝජනාවෙන් ත‍්‍රස්තවාදී යැයි ලේබල් ගැසීම මගින් සංවිධාන මැඩ පැවැත්වීමට ලෝකය පුරා ආන්ඩුවලට පුලුල් බලතල ලබා දුන්නේ ය.

ත‍්‍රස්තවාදී ක‍්‍රියාවන්ට ක‍්‍රියාකාරීව සහයෝගය දීම හෝ සහන සැලසීම, ඒවාට සහය දීමට වෑයම් කිරීම, නිරතවීම පිලිබඳව සහේතුක පසුබිමක් තිබේ යැයි විස්වාස කරන පුද්ගලයින්, කන්ඩායම් හා ආයතන හඳුනා ගැනීම සම්බන්ධයෙන් වරලත් බලධරයා වන ආරක්ෂක ලේකම්ගේ නිර්දේශය මත මෙම නියෝගය කල බව විදේශ කටයුතු අමති ජී.එල්. පීරිස් කීවේ ය.

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහෝදරයකු වන ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ වූ කලී ශ‍්‍රී ලංකාවේ උතුරු පලාතේ දෙමල විරෝධී යුද්ධය ගෙන ගිය වඩාත් නිර්දය නිලධාරීන් අතර සිටි එක් අයෙකි. මිලිටරි මෙහෙයුම්වල අවසන් මාසවලදී පමනක් දස දහස් සංඛ්‍යාත ජනයා ඝාතනය කෙරුනි.

පනතට අනුව මෙම කන්ඩායම්වලට හා ඒවාට අයත් පුද්ගලයින්ට “සම්බන්ධ හෝ අයිතිව පවතින සියලුම අරමුදල්, සම්පත් හා ආර්ථික මූලාශ‍්‍ර” තහනම් කර ඇත. පනතට අවනත වීමට අසමත් ඕනෑම අයෙකු “දැඩි දඬුවම්වලට” යටත් කෙරෙනු ඇත.

මිලිටරි ප‍්‍රකාශක රුවන් වනිගසූරිය අවධාරනය කලේ, “මෙම සංවිධාන සමග මොනයම් ම හෝ සබඳතාවක් පැවත්වීම නීති විරෝධී වනු ඇති” බවයි. වඩාත් පුලුල් දේශපාලන සීමාබන්ධන පැනවීමට නියෝගය යොදාගනු ඇති බවට මෙම ප‍්‍රකාශය ඇඟවුම් කරයි. දේශපාලන පක්ෂ හා ශ‍්‍රී ලංකා ජාතිකයන් තහනම් කරන ලද සංවිධාන සමග මොනයම් ම හෝ සම්බන්ධකමක් පැවැත්වීම මෙ මගින් තහනමට ලක් කරනු ඇත.

එමෙන් ම ආන්ඩුව මෙම කන්ඩායම් ක‍්‍රියාත්මක වන රටවල්වලින් ඒවා පිලිබඳ විමර්ශනය කිරීමටත් ඒවායේ අරමුදල් හඳුනා ගනිමින් මෙම සංවිධානවල සාමාජිකයන් ත‍්‍රස්තවාදී කටයුතු සඳහා අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියට හෙවත් ඉන්ටර්පෝල්හි ලැයිස්තුගත කරන ලෙසත් ඉල්ලා සිටිනු ඇත.

රාජපක්ෂ ආන්ඩුව මෙම පියවර ගනු ලැබුවේ පසුගිය මස ජිනීවාහි පැවැති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් අනතුරුව ය. මෙහිදී එල්ටීටීඊයට එරෙහි යුද්ධයේ දී මිලිටරිය හා ආන්ඩුවේ අනෙකුත් නිලධාරීන් විසින් සිදුකරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිලිබඳ විමර්ශනය කරන ලෙස එක්සත් ජාතීන් මානව හිමිකම් කොමසාරිස්ගෙන් ඉල්ලා සිටිමින් එක්සත් ජනපදය අනුග‍්‍රහය දැක්වූ යෝජනාවක් සම්මත කරනු ලැබී ය.

ශ‍්‍රී ලංකාවට එරෙහිව දෙමල ඩයස්පෝරා කන්ඩායම් විසින් සහය දෙනු ලබන බටහිර පිටුබලය ලත් “විදේශීය කුමන්ත‍්‍රනයක්” පවතින බව පුනරුච්ඡාරනය කරමින් රාජපක්ෂගේ ආන්ඩුව ජාතිකවාදී මනෝගතීන් හා සිංහල වර්ගවාදය ඇවිස්සීමට වෑයම් කලේ ය.

ජාත්‍යන්තර යුද අපරාධ පරීක්ෂනයක් සඳහා කැඳවුම් කරන ලෙස මෙම කන්ඩායම් එක්සත් ජනපදය හා අනෙකුත් ප‍්‍රධාන බලවතුන් පොලඹවමින් සිටින බවට ආන්ඩුව ඔවුන්ට චෝදනා කරයි. දේශපාලනිකව අධිරාජ්‍ය ගැති මෙම සියලුම කන්ඩායම් දිවයිනේ උතුරේ හා නැගෙනහිර දෙමල ප‍්‍රභූව සමග බලය බෙදා ගැනීමේ ගනුදෙනුවකට යාමට කොලඹ ආන්ඩුවට පීඩනය යෙදීම සඳහාත් ප‍්‍රධාන ගෝලීය බලවතුන්ගේ සහය දිනාගැනීමටත් ආයාචනා කරයි. ඇතැම් ඒවා වෙනම දෙමල රාජ්‍යයක් වෙනුවෙන් කථා කරයි.

එල්ටීටීඊය නීතිවිරෝධී බවට පත් කරමින් ද එහි අරමුදල් එකතු කිරීමට වැටකඩොලු බඳිමින් හා එහි ප‍්‍රධාන නායකයින් සිරගත කරමින් පමනක් නොව කොලඹ ආන්ඩුව වෙත මිලිටරි බර ආයුධ සම්පාදනය කරමින් හා බුද්ධි තොරතුරු හුවමාරු කරගනිමින් එල්ටීටීඊය විනාශ කිරීමට ආන්ඩුවට සහය දුන්නේ ද මෙම ප‍්‍රධාන බලවතුන් ම ය.

පසුගිය මාසයේ යෝජනාවට එක්සත් ජනපදය පිටුබලය ලබා දුන්නේ දෙමල මහජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් පිලිබඳ කල්පසුවී ඇතිවූ උත්සුකයකින් නොව, බීජිනය සමග වන එහි සමීප දේශපාලනික, මිලිටරිමය හා ආර්ථික සම්බන්ධකම් බිඳ දමන ලෙස රාජපක්ෂ ආන්ඩුව නම්මවා ගැනීමේ මාධ්‍යයක් ලෙසය. මෙය, විශේෂයෙන්ම ආසියාව තුල චීනයේ බලපෑමට වල කැපීමේ රාජ්‍ය තාන්ත‍්‍රික හා මිලිටරිමය ක‍්‍රියාදාමයක් වන ඔබාමා පාලන තන්ත‍්‍රයේ “ආසියාවට හැරීම” නම් මූලෝපායේ කොටසකි.

දෙමල සංවිධාන තහනම් කිරීම, විශේෂයෙන්ම උතුරු පලාතේ දෙමල ජනයාට එරෙහිව යලි ආරම්භ කර ඇති රුදුරු කඩාපැනීමක් සමග එකිනෙකට සම්බන්ධිතය. පසුගිය මාසයේ මුල සිට විශේෂයෙන් තරුන ජනයා ඉලක්ක කරගනිමින් නිවසින් නිවසට සෝදිසි මෙහෙයුම් සිදුකිරීමටත් ප‍්‍රශ්න කිරීමටත් මිලිටරිය යොදා තිබේ. මාර්ග බාධක යලි ඉදිකර ඇති අතර මහජනයාගේ ගමන් බිමන් හා වාහන සෝදිසි කරනු ලබයි.

එමෙන්ම මිලිටරිය මුහුදු වෙරලවල්වල මුර සංචාරයේ යෙදෙන අතර අවසරපත් ක‍්‍රමයක් යලි හඳුන්වා දෙන බව ධීවරයන්ට ප‍්‍රකාශ කර තිබේ. ත‍්‍රස්තවාදීන් ශ‍්‍රී ලංකාවේ උතුරු වෙරලබඩ බිම් හා ඉන්දියාවේ දක්ෂින මුහුදු වෙරල අතර මුහුද හරහා එන යන බව මිලිටරිය කියයි. දිග් ගැස්සුන සිවිල් යුද්ධයේදී ගැඹුරු මුහුදේ මසුන් මැරීමත් ඇතැම් ප‍්‍රදේශවලට ඇතුලුවීමත් ධීවරයින්ට තහනම් කෙරුනි.

පසුගිය මාසයේ මුල සිට උතුරේ මිනිසුන් 40කට වැඩි ගනනක් අත්අඩංගුවට ගෙන ඇති බව දිනපතා දෙමල පුවත්පතක් වන වීරකේසරී මෙම සතියේ වාර්තා කලේය. පොලිස් ත‍්‍රස්ත විමර්ශන ඒකකය ඔවුන් අත්අඩංගුවට ගත්තේ යුද සමයේ ගෙන ගිය මර්දනයට සමාන ආකාරයෙනි. සිරකරුවන්ගෙන් සමහර අය ත‍්‍රස්තවාදය වැලක්වීමේ බිහිසුනු පනත යටතේ රඳවා ගෙන සිටිතැයි සැලකේ.

එක්සත් ජනපදය හා එහි සගයන් විසින් දියත් කර තිබෙන රාජ්‍ය තාන්ත‍්‍රික ප‍්‍රහාරයට එරෙහිව කටයුතු කිරීමට රාජපක්ෂ ආන්ඩුව මංමුලාසහගත අයුරින් වෑයම් කරමින් සිටින අතර එහි මූලික අරමුන වී ඇත්තේ දෙමල විරෝධී මනෝගතීන් ප‍්‍රකුපිත කිරීම යි. කම්කරු පන්තිය බේදභින්න කිරීමටත් ධනපති පාලනයට එරෙහිව ඒකාබද්ධ අරගලයක් ඇතිවීම වැලක්වීමේ අරමුනිනුත් බලයට පත් ලංකාවේ ආන්ඩු 1983 දී සිවිල් යුද්ධය ආරම්භයේදී අවුලවන ලද දෙමල ජනයාට එරෙහි වාර්ගික දේශපාලනය ඉතා දැනුවත්වම ගසා කෑවේ ය.

වසර පහකට පෙරාතුව එල්ටීටීඊය පරාජය කරනු ලැබ තිබියදීත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පනවන ලද කප්පාදු පිලිවෙත් හරහා ආන්ඩුව විසින් ඔවුන්ගේ ජීවන තත්වයන්ට එල්ල කරන ප‍්‍රාහාරයන්ට එරෙහිව කම්කරුවන්, තරුනයින් හා දුප්පත් ජනයා අතර වැඩෙන දේශපාලනික අසන්තුෂ්ටිය හා විරුද්ධත්වය වෙනතක හැරවීමට ආන්ඩුව හා පාලක පන්තිය තවමත් වාර්ගික බේදභින්න කිරීම් ඇවිස්සීම මත යැපෙයි.

මැතිවරනයට පෙරාතුව සමාජ අරගල මාලාවක් පුපුරායාමෙන් අනතුරුව පැවති පසුගිය සතියේ බස්නාහිර හා දකුනු පලාත්සභා මැතිවරනවලදී රාජපක්ෂගේ පාලක සන්ධානයට ලැබුන ඡන්දවල සීග‍්‍ර පහලයාමක් පෙන්නු කරනු ලැබී ය.

සියලුම කම්කරුවන් ආන්ඩුවේ ප‍්‍රජාතාන්ත‍්‍රික විරොධී හා මර්දනකාරී පිලිවෙත්වලට එරෙහි විය යුතු අතර රාජපක්ෂ ආන්ඩුවේ ප‍්‍රහාරයට එරෙහිව සටන් වැදීමට වාර්ගික භේද කිරීම් කපාහරිමින් කම්කරු පන්තියේ එකමුතුව පිහිටුවා ගත යුතු ය. ආන්ඩුවේ ධනපති වැඩපිලිවෙලට එරෙහිව සමාජවාදී පිලිවෙත් මත මෙම වැඩපිලිවෙල පදනම්විය යුතු ය.

Share this article: