යුක්‍රේනය පිලිබඳ ජිනීවා සාකච්ඡා නොතකා වොෂින්ටනය, රුසියාව සමග ගැටුම පුලුල් කරයි

Despite Geneva talks on Ukraine, Washington escalates standoff with Russia

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි, 2014 අප්‍රේල් 18

ජිනීවා සාකච්ඡාවලදී මොස්කෝව නැඟෙනහිර යුක්‍රේනයේ විරෝධතා වෙතින් දුරස්තවු නමුදු එක්සත් ජනපද (එජ) හා යුරෝපීය නිලධාරීහු 17දා ඇඟවුම් කලේ, කියෙව් තන්ත්‍රය රුසියාවට පක්ෂ විරෝධතාකරුවන්ට එරෙහිව සිය සන්නද්ධ හමුදා නොකඩවා ගෙනයන මෙහෙයුම් හමුවේ, රුසියාව සමග ආතතීන් තීව්ර කරන බවයි.

ඒ අනුව එජ, යුරෝපීය සංඟමය, යුක්‍රේනය හා රුසියාව, නැගෙනහිර යුක්‍රේනයේ විරෝධතා හා ගොඩනැඟිලි අත්පත්කර ගැනීම අවසන් කිරීම සඳහා ජිනීවාහිදී ඒකාබද්ධ ප්‍රකාශනයක් නිකුත් කලහ. දැනට විරෝධතාකරුවන් විසින් අත්කරගෙන සිටින ගොඩනැඟිලි, පෙබරවාරියේදී ෆැසිස්ට්වාදීන් මෙහෙයවූ කුමන්ත්‍රනයෙන් පසුව අටවන ලද එජ රූකඩ තන්ත්‍රය අතට යලි පත්කල යුතුය.

ප්‍රකාශනය මෙසේ සඳහන් කරයි. “සියලු පාර්ශවයන් සියලු ප්‍රචන්ඩත්වයෙන්, බියගැන්වීමෙන් හෝ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ගෙන් වැලකිය යුතුය. සාකච්ඡාකරුවෝ සියලු වර්ගයේ අන්තවාදය, වර්ගවාදය, හා යුදෙව් විරෝධය ඇතුලු ආගමික නොඉවසීමේ සියලු ප්‍රකාශනයන් තරයේ හෙලා දැක ප්‍රතික්ෂේප කරති. සියලු නීති විරෝධී සන්නද්ධ කන්ඬායම් නිරායුධ කල යුතුය. නීති විරෝධීව අත්කරගත් සියලු ගොඩනැඟිලි නීත්‍යානුකූල හිමිකරුවන් වෙත යලි පැවරිය යුතුය. නීතිවිරෝධී ලෙස වාඩිලාගෙන සිටින යුක්‍රේන නගරවල වීදි, චතුරස්‍ර හා ආනකුත් පොදු ස්ථාන වලින් ඉවත්විය යුතුය.”

ප්‍රකාශනය “ගැටුම් පැතිරයාම වලක්වන පියවර” නිරීක්ෂනය කිරීමට ජාත්‍යන්තර නිරීක්ෂකයින් කැඳවීමටත්, මනුෂ්‍ය ඝාතන නොවන අපරාධ සඳහා විරෝධතාකරුවන්ට සමාව දීමටත් ප්‍රතිඥා දුන්නේය.

රුසියාවට පක්ෂපාතී විරෝධතා අවසන් කිරීමට කැඳවුම් කල ලේඛනයට අත්සන් තැබීමට මොස්කෝව ගත් තීරනය තිබියදීම බටහිර බලවතුන්, මොස්කෝවට එරෙහිව තමන් ආර්ථික හා මිලිටරි පීඩනය දැඩි කරන බවට ඇඟවුම් කලේය.ජිනීවා සාකච්ඡා අවසන් වීමෙන් සුලු වේලාවකට පසුව පැවැත්වූ මාධ්‍ය සමුලුවකදී එජ ජනාධිපති බරක් ඔබාමා, එජ හා එහි අනුචර යුරෝපීයයන් රුසියාවට එරෙහිව නව ආර්ථික සම්බාධක පැනවීමට නොකඩවාම සූදානම් වන බව පැවසීය.

මාධ්‍ය සමුලුවට යාමට පෙර ඔහු සම්බාධක පිලිබඳව ජර්මන් චාන්සලර් ඇන්ජිලා මර්කෙල් සමග සාකච්ඡා කර තිබුනි. ධවල මන්දිර ප්‍රකාශනය අනුව, “කෙටි නියෝගයකින්” තත්වය පැතිරයාම වැලැක්වීමට රුසියාව පියවර නොගතහොත් තවදුරටත් සම්බාධක පැනවීමට නායකයින් දෙපොල එකඟවී ඇත.

ඔබාමා මෙසේ පැවසීය. “එලඹෙන දින කිහිපය තුල මේ සඳහා පියවර ගනු ඇති බව මගේ බලාපොරොත්තුවයි. එහෙත් පසුගිය තත්වය ගැන බලන විට ඒ පිලිබඳව ඔට්ටු ඇල්ලීමට හැකි බව මට සිතෙන්නේ නැත. නැගෙනහිර හා දකුනු යුක්‍රේනයේ රුසියානුවන් කරන මැදිහත්වීම් දිගටම සිදුවන්නේ නම් ඊට ශක්‍ය ලෙස ප්‍රතිචාර දැක්වීමට අප සූදානම් විය යුතුව ඇත.”

“කඩාකප්පල් කිරීම් හා විනාශය” වැපිරීම පිලිබඳව රුසියාවට දොස් පවරමින් ඔහු, ක්‍රෙම්ලිනය යුක්‍රේනයේ නැගෙනහිර හා දකුනු දේශසීමා දිගේ දහස් ගනන් හමුදා බලමුලු ගන්වා ඇති බවට එජ එල්ල කරන චෝදනා පුනරුච්ඡාරනය කලේය.

යුක්‍රේනය තුල ‘මැදිහත්වීම්' පිලිබඳව රුසියාව හෙලා දකින ඔබාමා, යුරෝපීය හා එජ නිලධාරීන්ගේ ප්‍රකාශ සංලක්ෂිතව ඇති විකෘතිකිරීම් හා අමූලික බොරු දිගටම දෙසාබායි. යුක්‍රේන අර්බුදය ආරම්භයේ පටන්ම මාධ්‍ය විසින් ද ඒවා පතුරවා හරිති. සිදුවීම් පිලිබඳව අවධානයෙන් සිටි ඕනෑම අයෙකු, රුසියාවට හිතවත් යුක්‍රේන ජනාධිපති වික්ටර් යනුකොවිච්ගේ තෝරාපත්කරගත් ආන්ඩුව පෙරලා දැමීමට අනුබල දෙමින් අර්බුදය අවුලුවන ලද්දේ වොෂින්ටනය, බර්ලිනය හා යුරෝපීය සංඟමය බව දන්නවා ඇත. කුමන්ත්‍රනයක් සූදානම් කර එය ක්‍රියාත්මක කිරීම පිනිස තමන්ගේ මැර හමුදා ලෙස ෆැසිස්ට් පක්ෂ හා මිලිෂියාවන් යොදාගනිමින් යුක්‍රේන කටයුතු වලට මැදිහත්වූයේ ඔවුන්ය.

ජනීවා සාකච්ඡා පැවැත්වෙන අතරතුර ඔබාමා පාලනාධිකාරය, 16දා නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් රස්මුසාන් විසින් නිවේදනය කල නැගෙනහිර යුරෝපයේ නේටෝව යෙදීගෙන සිටින මිලිටරි කටයුතුවලට අනුකූලව, කියෙව් තන්ත්‍රයේ සන්නද්ධ හමුදාවන්ට ආධාර වැඩිකරනු ඇති බව ප්‍රකෝපකාරී ලෙස ප්‍රකාශ කලේය.

නැගෙනහිර යුරෝපය පුරා නේටෝවේ මිලිටරි ශක්තිය දැඩි කිරීම පිලිබඳව සිය පෝලන්ත සහචරයා සමග පැවති සාකච්ඡාවලින් පසුව එජ ආරක්ෂක ලේකම් චක් හේගල් ආධාර වැඩිකිරීම නිවේදනය කලේය. යුක්‍රේන හමුදාවට හිස්වැසුම් (හෙල්මට්), වෛද්‍යාධාර, බල උත්පාදක හා අනෙකුත් මෙවලම් වොෂින්ටනය විසින් නැව්ගත කරනු ඇතැයි ඔහු පැවසීය.

කියෙව් තන්ත්‍රයට සපයන මිලිටරි ආධාර, රුසියාව වැටලීමේ අරමුන සහිත කලාපය පුරා ගෙන යන මිලිටරි තරකීරීම්වල කොටසකි. එජ, පෝලන්තය, රුමේනියාව හා බෝල්ටික රාජ්‍යයන් අතර නව “ගුවන් ආරක්ෂන සහයෝගිතාවක්” හේගල් නිවේදනය කලේය. නැගෙනහිර යුරෝපයේ එජ යුද ගුවන්යානා හා මිසයිල් ස්ථානගත කිරීම ද බෝල්ටික් හා නැගෙනහිර මධ්‍යධරනී මුහුදු ප්‍රදේශයට යුද නැව් පිටත්කර හැරීම වේගවත් කිරීම ද මේ යටතේ සිදුවනු ඇත.

අවුරුදු 16-60 අතර රුසියානු පිරිමින් යුක්‍රේනය තුලට ඇතුල්වීම ද කියෙව් තන්ත්‍රය විසින් තහනම් කර ඇත. යුක්‍රේන රාජ්‍ය දේශසීමා ආරක්ෂක සේවය ආර්අයි ඒ-නොවොස්ති යන රුසියානු ප්‍රවෘති සේවයට ප්‍රකාශකර ඇත්තේ, “මෙම තාවකාලික පියවර අදාල වන්නේ නැගෙනහිර යුක්‍රේනයේ තත්වය කෙරෙහි කෙසේ හෝ බලපෑම් කල හැකි නිරෝගී පිරිමින්ට” බවය.

මෙම ප්‍රතිපත්තිය පිලිබඳව කල්තියා දැනුම් දීමක් ලැබුනු රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය, “ක්‍රිමියානු ස්වාධීන සමූහාන්ඩුවේ හා සෙවැස්ටපොල් නගරයේ ලියාපදිංචි, අවුරුදු 20-35 අතර කාන්තාවන්ට යුක්‍රේනයට ඇතුල් වීමට අවසර ලැබෙන්නේ විශේෂ විමර්ෂනයකින් පසුව පමනක්” බවට අනතුරු ඇඟවීය.

නැගෙනහිර යුක්‍රේනයේ විරෝධතා උසිගන්වමින් යුක්‍රේනය අත්පත් කරගැනීම සඳහා ක්‍රෙම්ලිනය ගෙනයන ප්‍රතිප්‍රහාර නිසා යුක්‍රේන අර්බුදය හටගෙන තිබෙන බවට කෙරෙන එජ හා යුරෝපීය ප්‍රකාශ වලට, 17දා සිදුවීම් මගින් වලකපා ඇත. තමන්ට පහරදීම සඳහා කියෙව් වෙතින් පැමිනි පලමු මිලිටරි රැල්ල පසුබැස්සවීමට නැගෙනහිර යුක්‍රේනයේ කියෙව් විරෝධතාකරුවන් සමත්ව සිටියදී පවා ක්‍රෙම්ලිනය විරෝධතාවන්ගෙන් දුරස්ත වූයේ ,සැබවින්ම බටහිරෙන් නොකඩවා එල්ල වන තර්ජන හා ප්‍රකෝපකරනයන් නිසාය.

නැගෙනහිර යුක්‍රේන සිවිල් වැසියන් කියෙව් වෙතින් පැමිනි සන්නද්ධ රිය පෙල නතර කල අතර සිවිල් වැසියන්ට පහර දීමේ නියෝග නොපිලිපැද්ද රියදුරන්ගේ සන්නද්ධ රථ රුසියාවට හිතවත් ක්‍රියාකාරීන්ගේ අනසකට පත් විය. බටහිර පිටුබලය ලබන කියෙව් තන්ත්‍රයට පලවන මහජන විරෝධය හා මෑත දිනවලදී යුක්‍රේන සොල්දාදුවන් සිවිල් වැසියන්ට වෙඩි තැබීම ප්‍රතික්ෂේපකල අවස්ථා බටහිර මාධ්‍ය පවා පිලිගෙන ඇත.

“රුසියාවට හිතවත්කම් පෑ සටන්කරුවන් ආරක්ෂකයින් ලෙස ඔල්වරසන්දී පිලිගන්නා අතර යුක්‍රේනියානු හමුදා තමන්ට සතුරු බිමක කටයුතු කරන බව තේරුම් ගැනීම...” යනාදි වශයෙන් වෝල් ස්ට්‍රීට් ජර්නලය 17දා වාර්තා කලේය. “යුක්‍රේන හමුදාව ද හොඳ තත්වයක නොපැවති බව පෙනී ගියේය. සිවිල් වැසියන් විසින් නතර කරනු ලැබූ සමහර සොල්දාදුවන් මලකඩ කෑ වාහනවල නැඟුනු ස්වේච්ඡා භටයින්ය. ඔවුහු තමන්ට පිලිගැන්වුනු ජලය හා ආහාර මහත් කැමැත්තකින් පිලිගත්හ.”

කියෙව් තන්ත්‍රය, ජනතාවට වෙඩි තැබීම ප්‍රතික්ෂේප කල සෙබලුන් “බියගුල්ලන්” ලෙස හඳුන්වා ඔවුන්ට දඬුවම් කරන බවට පිලින දී ඇත.

මෙම සිදුවීම්, යුක්‍රේනය තුල සමස්ත බටහිර මැදිහත්වීමටම යටින් ඇති මුසාවාද හා කුහකත්වය වඩා පුලුල් ආකාරයකින් හෙලිකරයි. යුරෝපිය සංගමයට ගැති විරෝධතා හා පෙබරවාරි 22 ෆැසිස්ට්වාදීන් මෙහෙයවූ කුමන්ත්‍රනයෙන් පසුව අටවන ලද කියෙව් තන්ත්‍රය, ප්‍රජාතන්ත්‍රයේ නව අරුනෝදයක් නොවේ. එය වනාහි පුලුල් ලෙස පැතිර ඇති මහජන විරෝධය රුදුරු ආකාරයෙන් තලා දැමීමට උත්සාහ කරන ආඥාදායක තන්ත්‍රයකි. එය රුසියානු ආක්‍රමනකාරිත්වයේ ගොදුරක් ද නොවේ. එය වනාහි රුසියාව වටලා දුබල කිරීම අරමුනු කරගත් බටහිර අධිරාජවාදී බලවතුන්ගේ ආක්‍රමනික පිලිවෙතේ උපකරනයකි.

ජිනීවා සාකච්ඡාවන්හි ප්‍රතිපලය ද විරෝධතා ලේ විලක ගිල්ලවීමට කියෙව් තන්ත්‍රය දැරූ මූල් උත්සාහයේ අසාර්ථකත්වය ද නොතකා, තවමත් යුක්‍රේනයේ තත්වය පවතින්නේ කියෙව්, මොස්කෝව හා නේටෝව ඇදගන්නා අග්නි ජලාවක් තුලට වැටීමේ තර්ජනය ගෙන එන සිවිල් යුද්ධයක් අද්දර වැනෙමිනි.

300කගෙන් පමන සමන්විත සටන්කරුවන් කන්ඩායමක් වයඹදිග යුක්‍රේනයේ මරියොපොල් නගරයේ හමුදා කඳවුරකට එල්ල කල ප්‍රහාරයකින් පසුව 17දා බිහිසුනු සටන් ඇවිල ගියේය. ප්‍රහාරකයින් තිදෙනෙක් මිය‍ගොස් 13ක් තුවාල ලැබූ අතර 63ක් අල්ලාගනු ලැබූ නමුත් සමහර යුක්‍රේනියානු සෙබලු ද යටත් වූහ.

“බියගුලුකම පෙන්වමින් සිය අවි අත්හල 25වන ගුවන් සේනාංකයේ සෙබලුන් නෙරපා හරිනු ඇතැයි” අන්තර්වාර යුක්‍රේන ජනාධිපති ඔලෙක්සැන්ඩර් ටුචීනොව් පැවසිය. “වරදකරුවන් වන සෙබලු අධිකරනය හමුවට පමුනුවනු ලැබේ.”

කියෙව් තන්ත්‍රයට පක්ෂපාතී හමුදා මෙම සතියේ මුලදී පහරදුන් ස්ලව්යන්ස්කි නගරය තවමත් සන්නද්ධ විරෝධතාකරුවන්ගේ පාලනය යටතේ පවතී. රුසියාවට හිතවත් විරෝධතාකරුවෝ තවමත් නැගෙනහිර යුක්‍රේනයේ ප්‍රධාන නගර 10ක රජයේ ගොඩනැඟිලි පාලනය කරති.

17දා රුසියානු රූපවාහිනියේ ප්‍රධාන පැයේදී නැඟුනු ප්‍රශ්නයකට ප්‍රතිචාර වශයෙන් ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතිශයින්ම ආතති සහගත තත්වය අවධාරනය කලේය.

“නැගෙනහිර ප්‍රදේශවල ජනතාව සන්නද්ධ වීමට පටන්ගෙන ඇත. යුක්‍රේන රජයේ යම් වැරැද්දක් ඇති බව වටහාගෙන සාකච්ඡාවකට එලඹීම වෙනුවට (කියෙව් ආන්ඩුව) දැඩි බලය යෙදවීමට තර්ජනය කරමින් සාමකාමී ජනතාවට එරෙහිව යුද ටැංකි හා ගුවන් යානා පවා යවා තිබේ. මෙය වනාහි යුක්‍රේනයේ වත්මන් පාලකයින් සිදුකල තවත් ඉතා බරපතල අපරාධයකි.”

රුසියානු වාර්ගිකයින් ප්‍රහාරයකින් ආරක්ෂා කිරීම සඳහා, නැගෙනහිර යුක්‍රේනයට හමුදා යැවීමට පාර්ලිමේන්තුව තමන්ට බලය පවරා ඇති බව සඳහන් කරමින් පුටින්, “මම සැබවින්ම බලාපොරොත්තු වන්නේ එම අයිතිය පාවිච්චි කිරීමට මට බල නොකෙරෙනු ඇති බව යයි පැවසීය.

Share this article: