ඔබාමා සහ නැටෝව යුකේ‍්‍රනය යොදා ගෙන රුසියන් විරෝධී ව්‍යායාමය උග‍්‍ර කරති

Obama, NATO escalate anti-Russian campaign over Ukraine

පැටි‍්‍රක් මාර්ටින් විසිනි, 2014 අප්‍රේල් 17

එක්සත් ජනපදය සහ යුරෝපය තුල කරන ලද වෙන් වෙන් ප‍්‍රකාශ මගින් ජනාධිපති ඔබාමා සහ නැටෝ මහා ලේකම් ඇන්ඩ්‍රේස් ෆොග් රස්මුසෙන් රුසියාවට එරෙහි එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදයේ තර්ජන උත්සන්න කලෝය. ඔවුන්ගේ ප‍්‍රකාශ නිකුත් වුනේ 17දා ජිනිවාහි දී, එක්සත් ජනපදය ද යුරෝපීය සංගමය ද ඔවුන්ගේ යුකේ‍්‍රනියානු රූකඩයන් ද එක්ව රුසියාවට පිලිමල්ව කරන සිවු පාක්ෂික සාකච්චාව ආසන්නයේ දී ය.

ඔබාමා සීබීඑස් ප‍්‍රවෘත්ති වාර්තාකරු මේජර් ගැරට් සමග කල සම්මුඛ සාකච්චාවක දී ගැරට් ප‍්‍රකෝපකාරී ප‍්‍රශ්න ගනනාවක් නැගී ය.

එම ප‍්‍රශ්න අවධාරනය කලේ රුසියාවට එරෙහි ආරථික යුද්ධය උග‍්‍ර කල යුතු බවයි. යුකේ‍්‍රනයේ අර්බුදය විසඳීමේ පියවරයන්ට රුසියාව එකඟ නොවුනහොත් එරටට එරෙහි අලුත් ආර්ථික සම්බාධක මාලාවක් “සුදානම් කර” තිබෙන බව සාකච්චාවට පෙර ධවල මන්දිරය ප‍්‍රකාශ කලේ ය.

ක‍්‍රිමියාව ඈඳා ගැනීමේදී රුසියාව යුකේ‍්‍රනියානු ස්වෛරීත්වය උල්ලංඝනය කර ඇති බව “පරම වශයෙන්ම පැහැදිලි ය” යි සීබීඑස් පුවත් සේවයට කී ඔබාමා දකුනු සහ නැගෙනහිර යුකේ‍්‍රනයේ “රාජ්‍ය නොවන සන්නද්ධ බලකායන්ට” ආධාර කිරීම මගින් රුසියාව තව දුරටත් එය කරගෙන යන බවට ඉහවහ යන සාක්කි තිබෙන බවක් ද කියා සිටියේය. ඔහු කී පරිදි, ඒවා සැලසුම් කර ඇත්තේ යුකේ‍්‍රනය අස්ථාවර කර ඔවුන්ගේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමට ය. ඇත්ත වශයෙන් නම් කීයෙව් නගරයේ එක්සත් ජනපද රූකඩ දක්ෂිනාංශික තන්ත‍්‍රයට එරෙහිව එම ප‍්‍රදේශවල මහත් විරෝධයක් පැතිර පවතියි.

රුසියාවට එරෙහි සිය චෝදනාවන් තහවුරු කරන මොනම සාක්කියක් වත් ඉදිරිපත් නොකල ඔබාමා, මෙසේ ද ප‍්‍රකාශ කලේ ය.: ”රුසියාව යුකේ‍්‍රනය අස්ථාවර කර ඔවුන්ගේ ස්වෛරීත්වය උල්ලංඝනය කිරීමට මේ ජාතියේ පියවර ගන්නා සෑම අවස්ථාවක ම නපුරු විපාක ඇති වනු ඇති බව මම ස්ථිරව ම කියමි. දැනටමත් දැනගන්නට ලැබී ඇති අයුරු රුසියානු ආර්ථිකය දුර්වල වී තිබේ. ප‍්‍රාග්ධනය රුසියාවෙන් පලායමින් පවතී.” යුකේ‍්‍රනයට නැටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීම සඳහා - සිය කලින් ප‍්‍රතිපත්තියට සපුරා වෙනස්ව - ඉදිරි කාලයේ දී එක්සත් ජනපදයේ සහයෝගය ලබාදෙන බව අඟවමින් ඔබමා මෙසේ කීය, “අපට යුද්ධයක් උවමනා නැත. අපට අවශ්‍ය ව ඇත්තේ යුකේ‍්‍රනය වැනි රටවල් වලට පුලුල් පාරාසයක සිය අසල්වැසි රටවල් සමග සම්බන්ධතා පවත්වාගෙන යාමට ඉඩ තිබිය යුතුය යන්න පිලිගැනීමකි: රුසියාවට හෝ වෙනත් කවුරුන්ට හෝ ඒවා වෙනුවෙන් තීන්දු ගැනීමට අයිතියක් නැති බව තහවුරු කල යුතු ය.

මෙය වනාහි උතුරා යන වංචනික ප‍්‍රකාශයකි: ඇත්තට ම නම් යුකේ‍්‍රනය සම්බන්ධ කාරනයේදී, එහි ආන්ඩුව කුමක් විය යුතු ද යන්න ඇතුලූ කරුනු ගැන, “තීන්දු ගෙන තිබෙන්නේ” එක්සත් ජනපද පාලනය විසින් ම ය. කියෙව් නගරයේ වත්මන් පාලනය ස්ථාපනය කිරීමට තුඩු දුන් එක්සත් ජනපදයේ ආධාරලත් විරෝධතා ඇතිවූ සමයේ දීම දැන් යුකේ‍්‍රනියානු අගමැති කමේ සිටින අරසෙනි යට්සෙන්යුක් හෙවත් “යැට්ස්” (ඔවුන් ඔහුව හැඳින්වූ මිතුරු පදය එයයි) එරට අගමැති ධුරය සඳහා තෝරා ගත්තේ යුකේ‍්‍රනයේ එක්සත් ජනපද තානාපති වරයා සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරි වික්ටෝරියා නුලන්ඩ් ද බව ඔවුන් දෙදෙනා අතර ටෙලිෆෝන් කතාවල ටේප් පටි වලින් එලිදරව් විය.

වඩාත් දුෂ්ඨ කරුනක් නම්, සී.අයි.ඒ අධ්‍යක්ෂක ජෝන් බ්‍රෙන්මන් පසුගිය සතියේ කියෙව් නගරයට ගොස් නැගෙනහිර යුකේ‍්‍රනයේ මහජන විරෝධය මැඩ පැවැත්විය හැක්කේ කෙසේ ද යන්න ගැන එහි පාලනය සමග කල, සාකච්චාව ය. එම සාකච්චා වලින් පිටව යන අතර යුක්රේන ජනාධිපති ඔලෙක්සන්ඩර් ටුර්චිනොව් සහ අගමැති යට්සෙන්යුක් කියා සිටියේ, නැගෙනහිර යුකේ‍්‍රනයේ කියෙව් විරෝධී ක‍්‍රියාකාරීන් “ත‍්‍රස්තයන්” බව හා තමන් එම විපක්ෂය “විනාශ කිරීමට” අන දුන් බව ය. ඒ සමගම කියෙව් පාලනයේ සන්නද්ධ හමුදාපති “විරුද්ධ පක්ෂය වනසා දමන” බව ට තර්ජ්නය කලේ ය.

බ්රෙන්මන් වනාහි ඝාතනයට ද ප‍්‍රකෝපනයට ද කැප වූ ලෝකයේ විශාලතම සංවිධානයේ නායකයා බව ද, “ත‍්‍රස්තවාදීන්” යයි නම්කරන ලද පුද්ගලයන් ඩ්‍රෝන් මිසයිල මගින් මරා දැමීම භාරව ඔබමා ගේ ධවල මන්දිරයේ සේවය කල පුද්ගලයා බව ද සැලකිල්ලට ගන්නා කල්හි පැහැදිලි වන්නේ, ඔහු කියෙව් නගරයේ දී කල සාකච්චා වල ඉලක්කය, දේශපාලන විපක්ෂය සාපරාධී යකුන් සේ නම්කොට අර්බුදය රුධිරයෙන් සමාප්ත පත් කිරීම බව ය.

එක්සත් ජනනපදය මෙහෙයවන නැටෝ සංවිධානය පසු ගිය 16දා බ‍්‍රසල්ස් නුවර පැවැත්වූ රැස්වීමකින් යුද උත්සන්නියක් ප‍්‍රකාශයට පත් කල එම සංවිධානයේ ලේකම් ජනරාල් අන්දෙර්ස් ෆොග් රස්මුසෙන්, ලිතුවෙනියා, ලැට්වියා සහ එස්ටෝනියාව යන බොල්ටික් රාජ්‍ය සම්බන්ධව ගුවන් මුර ගමන් වැඩි කරන බව ප‍්‍රකාශ කලේ ය. මේවා සියල්ල රුසියාවේ දේශසීමා අසල පිහිටි පැරනි සෝවියට් සංගමයට අයත් රටවල්ය. මෙම පියවර කලින් ගන්නා ලද යුද පියවරයන් තව දුරටත් උග‍්‍ර කිරීමක් පෙන්නුම් කරයි. පෝලන්තයට සහ බෝල්ටික් රාජ්‍ය වලට කලින් ම යුද ගුවන්යානා යවන ලද අතර පෝලන්ත යේ සහ රුමෙනියාවේ ඇවැක්ස් ඔත්තු ගුවන් යානා ස්ථානගත කරන ලදී.

රස්මුස්සෙන් මෙසේ කිය. “අපි ගුවනේ, මුහුදේ සහ ගොඩබිම රැකවල් වහාම පිහිටුවමු - එනම්, දින කිහිපයක් ඇතුලත ය.”

ඔහු මෙසේ ද කීය, “අපි ගුවන් යානා ද නැව් ද ගොඩබිමේ සූදානම ද වැඩි කරමු. අවශ්‍ය නම් ඉදිරි සති මාස කිහිපය තුල දී තවත් යානා එවනු ඇත.”

බෝල්ටික් මුහුදේ පමනක් නොව නැගෙනහිර මධ්‍යධර” මුහුදේ ද යුද නැව් රඳවා තැබීම මෙම මෙහෙයුම් වලට ඇතුලත් වනු ඇත.

හැම අතින්ම ඇඟවෙන්නේ ජිනීවා සාකච්චා අර්බුදය විසඳීමට නොව රුසියාවට එරෙහිව තව තවත් ප‍්‍රකෝපකරනයන් කිරීමට බව ය.

දක්ෂිනාංශිකයුකේ‍්‍රනියානු පාලන තන්ත‍්‍රයේ වැඩබලන විදේශ ඇමතිවරයා වන අන්ද්‍රෙ දෙස්චිට්ස්යා, රුසියාව විසින් ක‍්‍රිමියාව ආපසු යුකේ‍්‍රනයට බාර දිය යුතු යයි ද යුකේ‍්‍රනයේ රුසියානු ජාතිකයන් ආරක්ෂා කිරීම සඳහා යුකේ‍්‍රනය තුලට හමුදාව යැවීමට ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ට බලය පවරමින් රුසියානු පාර්ලිමේන්තුව ගෙන ඇති තීන්දුව ඉවත් කිරීමට බල කරන බව ද කියා සිටියේ ය.

කියෙව් නුවර එක්සත් ජනපද - යුරෝපීය කුමන්ත‍්‍රන වාර්තාව ගැන සලකා බලන කල්හි එක්සත් ජනපද, නැටෝ සහ යුකේ‍්‍රනියානු නිලධාරීන් එරට රුසියානු ඇඟිලිගැසීම් ගැන කරන කතා සාකල්‍යයෙන්ම වංචනික ය; කුහකය. එක්සත් ජනපදයේ ද යුරෝපයේ ද කීකරු මාධ්‍යයේ ද ආධර ඇතිව, අධිරාජ්‍යවාදී බලවත්තු තමන්ම ගෙනයන යටිකූට්ටු කුමන්ත‍්‍රන වසන්කර ලීම සඳහා නොමග යවන බොරු මවමින් සිටිති.

රුසියාව සහ යුක්රේනය භූගෝලීය සම්බන්ධතා ද පොදු ඉතිහාසයක් ද සංස්කෘතියක් ද ආර්ථික බැමි ද මගින් වේලී පවතී. විශේෂයෙන් ම ජනගහනයේ බහු තරය සිය දේශීය බස ලෙස රුසියානු බස භාවිතා කරන්නාවූ ද අන්‍යොන්‍ය විවාහ සම්බන්ධතා සාමාන්‍ය රීතියක් වන්නාවූ ද නැගෙනහිර යුකේ‍්‍රනය වැනි ප‍්‍රදේශයක වෙන් වෙන් ජන කොටස් ගැන කතා කිරීම විකාරයකි. බලය අල්ලා ගත් පසු සිය ප‍්‍රථම වැදගත් ක‍්‍රියාව හැටියට රුසියන් බස පාවිච්චි කිරීම නිලවශයෙන් තහනම් කල, විවෘත ෆැසිස්ට්වාදීන්ගේ නායකත්වය ලත් අති දක්ෂිනාංශික යුකේ‍්‍රනියානු ජාතිවාදීන් ද රුසියන් විරෝධී ජත්‍යෝත්තමවාදීන් ද යුදෙව් විරෝධීන් ද විශේෂයෙන්ම රුසියානු බස කථා කරන නැගෙනහිර සහ දකුනු යුකේ‍්‍රනය තුල මහජන විරෝධයට ඉලක්ක වනු කිසි සේත්ම පුදුමයට හේතුවක් වනු නැත.

මෙම මහජන විරෝධය “රුසියාව විසින්” උසිගන්වනු හෝ උත්තේජනය කරන්නේ යයි කියාපෑම් සම්බන්ධයෙන් ගත හොත්, බිලියනපති කතිපයාධිපතියන් අතලොස්සක් මත පදනම් වන පුටින් තන්ත‍්‍රය, කම්කරු පන්තියේ බලකඳවූරක් වූ නැගෙනහිර යුකේ‍්‍රනයේ කුමන හෝ සැබෑ මහජන ව්‍යාපාරයක් වුව වර්ධනය වීමට සතුරු ය. එවැන්නක් දේශසීමාව පැන රුසියාවට ද පතිරෙනු ඇතැයි, පුටින් තන්ත‍්‍රය බිය වෙයි. රුසියානු සන්නද්ධ බලකායන් අන්තිමේදී නැගෙනහිර යුකේ‍්‍රනයට මැදිහත් වුව හොත් ඒ එවන් නැගිටීමක් තම පාලනයෙන් පිට පනින්නට පෙර එය පාගා දැමීමට ය.

අධිරාජ්‍ය බලවතුන් ද කියෙව් නගරයේ ඔවුන්ගේ ගැත්තන් ද නැගෙනහිර යුකේ‍්‍රනයේ ජනතාව දෙස බලන්නේ පිලිකුලිනි.

යලිත් වරක් මතක් කර ගැනීමට වටිනා කරුනක් නම් ජනාධිපති තුර්චිනොව් පසු ගිය බදාදා තම වෙබ් අඩවියට ලියූ ලිපියක මෙසේ පිලිගත් බවය: රුසියානු විශේෂ බලකායන් සහ ත‍්‍රස්තවාදීන්ට අමතරව රුසියානු ප‍්‍රචාරයට රැවටුනු අහිංසක යුකේ‍්‍රනියානු ජනයා ලක්ෂ ගනනක් ද වෙති.”

කියෙව් පාලනය විසින් නියම කරගෙන ඇති යුද ක‍්‍රියාවලිය, නැගෙනහිර යුකේ‍්‍රනය තුල කියෙව් පාලනය අවිස්වාස කරන හා ඊට විරුද්ධ කොටස් තලා දමීම සඳහා මහා පරිමාන ලේ ගංගාවක් වගුරවාලීම අරමුනු කර ගනී.

මේ සතියේ මුල්දින වලදී ක‍්‍රමටෝර්ස්ක් සහ ස්ලෝවොයන්ස්ක් වල ගැටුම් ගනනාවක් වාර්තා වී තිබේ. 16දා පුවත් වාර්තා පෙන්නුම් කලේ යුකේ‍්‍රනන සොල්දාදුවන් අසොව් මුහුද බද 600,000ක් වාසය කරන මරියුපොල් නගරයේ විරෝධතා කරුවන්ට වෙඩි තබා එක් අයෙකු මරා 12කට තුවාල සිදු කල බවයි.

යුකේ‍්‍රනියානු සොල්දාදුවන් වෙඩි තැබීමේ නියෝග ක‍්‍රියාත්මක කිරීමට පසු බාන බව ද ප‍්‍රදේශවාසීන් සමග සහෝදරත්වයෙන් කටයුතු කරන බව ද වාර්තා වී තිබේ.

හමුදා භටයන්ගේ එවන් විනය කඩකිරීම් ඉදිරියේ කම්කරු පන්තියට විරුද්ධව අන්ත දක්ෂිනාංශික සහ නව නාසි කොටස් බලමුලුගැන්වීමට දැරෙන උත්සාහය තව තවත් උග‍්‍ර කෙරෙනු ඇත. යුකේ‍්‍රනියානු ජාතික ආරක්ෂක මන්ඩලයේ, ස්වොබෝදා පක්ෂයේ නායකයෙකු වූ අන්ද්රිය් පරුබි, ට්විටර් මාර්ගයෙන් යැවූ පනිවුඩයක, කියෙව් කුමන්ත‍්‍රනයේ කෙරුමන් වූ, බොහෝ සෙයින් දක්ෂිනාංශික ජාතිවාදී කන්ඩායම්වල සාමාජිකයන් වූ පුද්ගලයින් සටනට ඒකරාශී කර ගැනීමට කැඳවුම් කල අතර මයිදන් සෙල්ෆ් ඩිෆෙන්ස් වොලන්ටියර්ස් වරුන්ගෙන් සමන්විත භට පිරිස් “අද උදෑසන සටන් පෙරමුනට යවන ලද බව” කියා සිටියේ ය.

Share this article: