රුසියාවට එරෙහි නේටෝ ආක්‍රමනකාරිත්වය හා යුරෝපය තුල යුද්ධයේ අන්තරාය

NATO’s aggression against Russia and the danger of war in Europe

2014 අප්‍රේල් 07

කතිපයාධිකාරයින්ගේ හා ෆැසිස්ට්වාදීන්ගේ ආධාරය ඇතිව පෙබරවාරි 22දා කියෙව්හි දියත්කල කුමන්ත්‍රනයෙන් පසුව එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයින්, රුසියාවට එරෙහිව නිල වශයෙන් අප්‍රකාශිත යුද්ධයකට සමාන පියවර ගෙන තිබේ. යන්තම් සති හයක කාලයක් ඇතුලත නේටෝ බලවත්තු, රුසියාවට එරෙහිව සම්බාධක පනවන අතරතුර සීතල යුද්ධයෙන් පසුව යුරෝපය තුල දක්නට ලැබෙන පුලුල්ම මිලිටරි බලමුලුගැන්වීමෙහි යෙදී සිටිති.

යනුකොවිච් තන්ත්‍රයට එරෙහි කුමන්ත්‍රනය, අනපේක්ෂිත උත්ප්‍රේරකයක් නොව, (එසේ යයි පැවසීමට උත්සාහ කල ද) දිගු කලක් තිස්සේ සකසා සූදානම් කල සැලසුමක් ක්‍රියාවට නැඟීම සඳහා ගෙන ගිය ප්‍රකෝපකරනයක් බවට මෙම වර්ධනයන් සාක්ෂි දරයි.

පැතිරී යන යුද අභ්‍යාස හා අසල්වැසි රාජ්‍යයන් තුල හමුදා ස්ථානගත කිරීමේ හැකියාව ද ඇතුලු මිලිටරි සන්ධානයන් රුසියානු දේශසීමාව දක්වා පුලුල් ‍කිරීමේ සැලසුම් පසුගිය සතියේ නෙටෝ විදේශ අමතිවරුන්ගේ රැස්වීමේදී ඉදිරිපත්ව තිබීම මෙය තවදුරටත් පැහැදිලි කරයි.

යුක්‍රේනයට පමනක් නොව, පැරනි යුගෝස්ලාවියානු සමූහාන්ඩු වශයෙන් පැවති බොස්නියාව, මොන්ටිනිග්‍රෝ හා මැසිඩෝනියාව මෙන්ම රුසියානු සමූහාන්ඩුවක්වූ ජෝර්ජියාව ද ඇතුලත් වන පරිදි සාමාජිකත්ව ක්‍රියාකාරී සැලැස්මක් අවශ්‍ය බව වොෂින්ටනය කියා සිටියේය.

රුසියාව හා ජෝර්ජියාව අතර 2008දී දින පහක් පැවති යුද්ධය අවධියේ, එම ගැටුම රුසියාව සමග සෘජු යුද්ධයකට තුඩුදෙනු ඇති බවට ප්‍රධාන වශයෙන්ම ජර්මනිය හා ප්‍රන්සය පල කල විරුද්ධත්වය හමුවේ ජනාධිපති ජෝර්ජ් බුෂ්ට, ජෝර්ජියාව නේටෝව තුලට ගැනීමේ සැලසුම් අතහරින්නට බල කෙරිනි.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ, මොස්කෝව සමග ගැටුම උග්‍ර කිරීමේ කොටසක් ලෙස, ජෝර්ජියාව හා යුක්‍රේනය ඒකාබද්ධ කර ගැනීමේ සැලැස්මට යුරෝපීය සංඟමය සහාය පල කරයි. නේටෝ මහ ලේකම් ඇන්ඩර්ස් රස්මුසෙන් නේටෝ ගිවිසුමේ 5වන වගන්තිය ගැන නැවත නැවතත් සඳහන් කලේය. ඒ අනුව එක් සාමාජික රටක් ප්‍රහාරයකට ලක්වන අවස්ථාවකදී සාමාජික රටවල් එරට සහායට පැමිනිය යුතුය. ජෝර්ජියානු හා යුක්‍රේන තන්ත්‍රයන්හි දක්ෂිනාංශික හා උග්‍ර රුසියානු විරෝධී ස්වභාවය සලකන කල්හි, ඔවුන් එවන් නිමිත්තක් සපයා දීමට ඕනෑවටත් වඩා කැමති වනු ඇත.

සිතියම ගැන ජූලි මාසයේදී සාකච්ඡා කරනු ඇති අතර එක්සත් ජනපදය අදහස් කරන්නේ එය ක්‍රියාත්මක කිරීම සැප්තැම්බරය මුලදී තරම් ක්ෂනිකව සිදුවිය යුතු බවය. මිලිටරි අභ්‍යස දැනටමත් පටන්ගෙන ඇතුවා හෝ සැලසුම් කර තිබේ. ඊට ලැට්වියාව, ලිතුවේනියාව, බල්ගේරියාව හා පෝලන්තය ද බොල්කන්හි හා කොකේෂස්හි තවත් රටවල් ද සම්බන්ධ වේ. රැපිඩ් ට්‍රයිඩන්ට් හා සී බ්‍රීස් යනුවෙන් නම්කර ඇති යුක්‍රේනය තුල සිදුකිරීමට එකඟවී ඇති මිලිටරි අභ්‍යාස දෙක වඩාත් ප්‍රකෝපකාරීය.

එක්සත් ජනපදය සැලසුම් කල ඩොලර් මිලියන ගනනක “මිසයිල් පලිහ” ස්ථානගත කිරීම පිලිබඳ පූර්ව යෝජනා යලි විමර්ෂනය කිරීමත් සමග නේටෝවේ සැලසුම් වලදී පෝලන්තය ප්‍රමුඛ ක්‍රියාකලාපයක් ඉටු කරයි. එරට ආන්ඩුව, සාමාජිකයින් 10,000කින් සමන්විත මිලිටරි බලඇනියක් ස්ථානගත කරන ලෙස දැන් ඉල්ලා සිටියි.

සිය නිල මධ්‍යස්ථ භාවය අවසන් කර නේටෝවට ඒකාබද්ධ විම, ආරක්ෂක පිලිවෙතේ “මූලධර්ම මාරුවක්” ලෙස ස්ටොක්හෝම් පාලනය විසින් විස්තර කර ඇති අතර ඒ පිලිබඳව, ෆින්ලන්තයයේ හා ස්වීඩනයේ පාලක කවයන් තුල සාකච්ඡා පැවැත්වෙමින් තිබේ.

යුක්‍රේනියානු දේශසීමාවේ රුසියානු හමුදා ශක්තිය තරකිරීම පිලිබඳ තහවුරු නොකල හා අතිශයෝක්තියට නැංවූ ප්‍රකාශ සමගින් ඕවිලියානු ක්‍රමයකට මිලිටරි වටලෑමේ මෙම ව්‍යාපාරය යුක්තිසහගත කරනු ලබයි. මෙම ප්‍රචාරනයේ අරමුන මොස්කෝව ආක්‍රමනිකයා ලෙස පින්තාරු කිරීමය. එය සිදුවන්නේ ජනාධිපති බරක් ඔබාමා, “දුබල” හා “කලාපීය බලවතෙකු” ලෙස පමනක් රුසියාව නම්කර තිබියදීම ය.

ඉරාකය, ලිබියාව හා සිරියාව සම්බන්ධ ප්‍රශ්නයේදී මෙන් මෙහිදී ද එවන් බොරු වල අර්ථය වන්නේ, විශේෂයෙන්ම යුරෝපයේ අධිරාජ්‍යවාදී ප්‍රති සන්නද්ධ වීමේ අඛන්ඩ වැඩසටහන යුක්ති යුක්ත කිරීමය.

පැරනි සෝවියට් සංඟමය හා චීනය තුල සියවස් කාලකට පමන පෙර මතුව ආ ධනේශ්වර කතිපයාධිකාරය හා අධිරාජ්‍යවාදය අතර ඇති හබය වේගයෙන් එලිමහනට එමින් තිබේ. අර්බුද ග්‍රස්ත ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්, සාපේක්ෂ වශයෙන් වුවත් මොස්කෝවේ හා බීජිනයේ ධනේශ්වරය භුක්ති විඳින ස්වාධීනත්වය, මැදිහත් ලෙස සැලකීමට තවදුරත් සූදානම් නැත. රුසියාවේ හා චීනයේ දේශසීමාවන් තුල පිහිටි දැවැන්ත වෙලඳපොලට හා සම්පත් වෙත සෘජු ප්‍රවිෂ්ටයක් ඔවුන් ඉල්ලා සිටින අතර ඒ දෙරටම අර්ධ යටත් විජිත තත්වයකට ඇද දැමීමට බලාපොරොත්තු වෙයි. මෙම අදූරදර්ශී පිලිවෙතේ නිර්දය තර්කනය යුද්ධයයි.

මේ දක්වා වොෂින්ටනය, යුරෝපීය ආන්ඩු, සියල්ලටත් වඩා ජර්මනිය, ඊට සූදානම් විය යුතු බව කියා සිටියි. මෑතක බ්‍රසල්ස්හිදී නේටෝ සාමාජිකයින් ඇමතු ඔබාමා, ඔවුන් තැතිගන්වමින් මෙසේ පැවසීය. “අප විශ්වාසනීය නේටෝ බලයක් හා ක්‍රියාශීලී නිවාරක බලයක් බව සහතික වීම පිනිස අවශ්‍ය වත්කම්, පුද්ගලයින් හා පුහුනුව වෙනුවෙන් ගෙවීම සඳහා කැමති විය යුතුය... සෑම කෙනෙක්ම පතුරු ගැලවිය යුතුය.”

මිලිටරිය සඳහා දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 2ක් වැයකල යුතුය යන නේටෝවේ නියමයට අනුකූලව දැනට කටයුතු කරන්නේ ප්‍රධාන යුරෝපීය රටවල් අතරින් එක්සත් රාජධානිය හා ප්‍රන්සය පමනි. 1998 වසරේ පටන් සෑම යුරෝපීය රාජ්‍යයකම මිලිටරි වියදම් පහත වැටී ඇත. ජර්මනියේ එය සියයට 50කි. එය ආපසු හරවා මිලිටරි පිරිවැය ඉහල නැංවීමට නම්, දැනටමත් සය වසරක් තිස්සේ කප්පාදුවට ලක්ව ඇති යුරෝපයේ සමාජ පිරිවැයේ තවත් විශාල පදාසයන් අතුගා දැමිය යුතුය.

මිලිටරිවාදය කරා නැඹුරු වීමේදී, කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අයිතීන්ට පුලුල් ලෙස විහිදී යන ප්‍රහාර එල්ල කිරීමක් ඉල්ලා සිටියි. වොෂින්ටනයේ, බර්ලින්හි ලන්ඩනයේ හා පැරිසියේ යුද සැලසුම් කෙරෙහි උතුරා යන විරුද්ධත්වයක් පවතී. තව තවත් “කැපකිරීම්” මෙන්ම අලුත් පරම්පරාව හමුදාවන්ට බැඳ ගැනීම සඳහා රාජ්‍යයේ මුලු ප්‍රචන්ඩකාරී ශක්තිය අවශ්‍ය කෙරේ.

එක්සත් ජනපදය හා යුරෝපා බලවතුන් යුක්‍රේනයේ අන්ත දක්ෂිනාංශික හා ෆැසිස්ට් බලවේග විවෘතව වැලඳ ගැනීම පිලිබඳව අනතුරු ඇඟවිය යුතුය. “යලි කවර කලෙකවත්” ස්වස්තිකයේ පාලනයක් අත්විඳිනු නැතැයි කියා සිටි දශක ගනනාවකට පසුව “යුරෝපා ආන්ඩු, හිට්ලර් උත්කර්ෂයට නැංවූ යුක්‍රේනයේ සාපරාධී බලවේග ගොඩනංවා ඇත්තේ වෙනත් කිසිවකට නොව කම්කරු පන්තියට එරෙහිව යොදාගැනීම පිනිසය.

මෙම වර්ධනයන් සැකිල්ලට ගන්නා විට පැහැදිලි වන්නේ, මැයි මාසයේ පැවත්වීමට නියමිත යුරෝපානු මැතිවරන සඳහා බ්‍රිතාන්‍යයේ හා ජර්මනියේ සමාජවාදී සමානතා පක්ෂවල මැදිහත්වීම මේ කාලීන වැදගත්කම ය.

යුරෝපීය මැතිවරන සඳහා ඉදිරිපත් කල එම පක්ෂවල ඒකාබද්ධ මැතිවරන ප්‍රකාශනය තුල මෙසේ අනතුරු අඟවා ඇත. “ප්‍රථම ලෝක සංග්‍රාමයේ 100 වන සංවත්සරය එලඹෙමින් තිබියදී යුරෝපය යලි වතාවක් විනාශයක මුවවිටෙහි රැඳී සිටියි. අධිරාජ්‍යවාදී බලවතුන්ගේ තරඟකාරී අභිලාෂයන් තුඩුදී ඇත්තේ, “ 1914දී සරයේවෝහිදී ෆර්ඩිනන්ඩ් ආදිපාද වරයා ඝාතනය කිරීම වැනි සුලු සිද්ධියක් මුල්කරගත් කලාපීය ගැටුමක් ලෝක පරිමාන අග්නි ජාලාවක් බවට යලි පත්කිරීමට” බව එය සඳහන් කරයි.

අධිරාජ්‍යවාදී පාලක පන්තීන් තුන්වන න්‍යෂ්ටික ලෝක යුද්ධයක විනාශය තුලට මනුෂ්‍ය වර්ගයා ඇද දැමීම වැලැක්වීම සඳහා කම්කරු පන්තිය සිය ඒකාබද්ධ ජාත්‍යන්තර ශක්තිය බලමුලු ගැන්විය යුතුය. යුරෝපා සංඟමයට හා එහි සියලු නිල ආන්ඩුවලට එරෙහිව සමාජවාදී ප්‍රතිපත්ති මත පදනම්වූ මහජන ව්‍යාපාරයක් වර්ධනය කිරීම මේ සඳහා අවශ්‍ය කෙරේ. එහි අර්ථය වන්නේ, ධනේශ්වර ලාභ පද්ධතියට හා යුද්ධයේ මූලය වන එකිනෙකට ප්‍රතිපක්ෂ ජාතික රාජ්‍ය පෙලක් වශයෙන් ලෝකය බෙදා තිබීම අවසන් කරන එක්සත් සමාජවාදී යුරෝපයක් සඳහා වන අරගලයකි.

ක්‍රිස් මාස්ඩන් හා ජුලී හයිලන්ඩ්

Share this article: