තුන්නානේ පරිසර දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයට මහජන සහාය පලවෙයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2014 අපේ‍්‍රල් 17

තුන්නානේ පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් (එච්ආර්පී) කම්හලෙන් තම අසල්වැසි පරිසරය දූෂනය වෙතැයි චෝදනා කරමින් ප‍්‍රදේශවාසීන් ගෙන ගිය විරෝධතා උද්ඝෝෂනයට පොලිස් ප‍්‍රහාරයක් එල්ල කල රාජපක්ෂ ආන්ඩුව ඉන් අනතුරුව ප‍්‍රදේශය අලලාගත් මර්දනයක් දියත් කොට ඇති තතු යටතේ, තම පරිසර දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයක අවශ්‍යතාව ප‍්‍රදේශයේ ජනතාව සමාජවාදී සමානතා පක්ෂයේ (සසප ) සමාජිකයන්ට ප‍්‍රකාශ කලහ.

පරිසර දූෂනය පිලිබඳ සොයා බැලීමේ ප‍්‍රධාන වගකීම පැවරී ඇති මධ්‍යම පරිසර අධිකාරිය, කම්හල හිමි හේලීස් සමූහ ව්‍යාපාරය ආරක්ෂා කරමින් ප‍්‍රදේශයේ පරිසර දූෂනයට කම්හලේ බලපෑමක් නොමැති බව පවසන හෙයින් එවන් පරීක්ෂනයක අවශ්‍යතාව වැඞී ඇත.

අපේ‍්‍රල් 5 දින සසප සාමාජිකයන් තුන්නාන ප‍්‍රදේශයේ සිදු කල උද්ඝෝෂනයේදී, ගම්පහ, වැලිවේරිය පිහිටි වෙනිග්‍රොස් ඩිප්ඞ් ප්‍රොඩක්ට් කම්හල මගින් සිදු කෙරුනු පරිසර දුෂනය විමර්ශනය කිරීම සඳහා සසප පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව මගින් තුන්නානේ පරිසර දුෂනය පිලිබඳව ද සොයා බැලීමට තීන්දු කර ඇති බව දැනුම් දීමත් සමග පලාත්වාසීහු එයට තම සහයෝගය පල කලහ.

වැලිවේරිය රතුපස්වල පිහිටි, හේලීස් සමාගමටම අයත්, වෙනිග්‍රොස් ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් කම්හල මගින් සිදුකල පරිසර දූෂනයට එරෙහිව විරෝධතාවයක නිරත වූ මහජනතාවට පසුගිය අගෝස්තු 1 දින මිලිටරි ප‍්‍රහාරයක් එල්ල කල මහින්ද රාජපක්ෂ ආන්ඩුව තිදෙනෙක් ඝාතනය කර 40 කට පමන තුවාල කලේය. අද දක්වාම එම තිදෙනා පිලිබඳ මරන පරීක්ෂනය අවසන් කර නොමැති අතර පරිසර දූෂනය පිලිබඳව විධිමත් පරීක්ෂනයක් ද පවත්වා නැත. මෙම පසුබිම තුල සසප ස්වාධීන කම්කරු පරීක්ෂනයට එම ජනතාවගෙන් ද වැදගත් සාක්ෂි ලැබෙමින් පවතී.

තුන්නාන ප‍්‍රදේශය තුල තවමත් පොලිස් මර්දනය පවත්වාගන යන අතර කම්හල් භූමියතුල විශේෂ පොලිස් බලකායන් හා පොලිසිය ද රඳවාගන සිටියි. සසප සාමාජිකයන් උද්ඝෝෂනය කරන අවස්ථාවේදී ද යතුරුපැදි වලින් යන පොලිස් නිලධාරීන් දැක ගත හැකි විය.

කුඩා සාප්පුවක සිටි වෙලෙන්දෙක් ආන්ඩුවේ මර්දනය ගැන සඳහන් කරමින් කියා සිටියේ දැනටත් පොලීසිය ගමපුරා නිරන්තර මුර සංචාරයේ යෙදෙන බවයි. ”පොලීසිය යොදවල අපේ පයිප්ප කපාහැරල ලිං වලින් වතුර ගන්නා ලෙස දනුම් දුන්නා. පරිසර අධිකාරිය කියන්නෙ වතුර ¥ෂනය වෙල නෑ කියල. ඒත් මේ වතුරවල ඇසිඞ් ගතිය වැඩියි කියල පරීක්ෂන වලින් ඔප්පු වෙලා තියෙනව.”

ගුරුවරියක් මෙසේ පැවසුවාය: “වඩාත්ම තද බල සෞඛ්‍ය ප‍්‍රශ්නය, කම්හලෙන් පිට කරන වායු මගින් ශ්වාසනාල පද්ධතියේ ඇතිවන රෝගී තත්වයයි. රසායනික ද්‍රව්‍ය මිශ‍්‍ර දුමක් කම්හලෙන් පිට කරනවා. මෙය උදේ පාන්දරට හොඳින් දැක ගත හැකියි. රසායනික ද්‍රව්‍ය වල ගඳ නහයට දැනෙනවා. වැඩි වශයෙන් මහජනයා හා කුඩා දරුවන් ශ්වසන අමාරු වලින් පෙලෙනවා. මධ්‍යම පරිසර අධිකාරියට අනුව පරිසරය කම්හල නිසා දූෂනය වෙලා නැහැ. නමුත් අපේ ඇස් ඉදිරිපිට පවතින තත්වයයි මම විස්තර කලේ.”

ඇය තව දුරටත් කියා සිටියේ උසාවියේ නඩුවක් ඇසෙන නමුත් ඉන් ප‍්‍රයෝජනයක් වෙයිද යන්න පිලිබඳව ඇයට විශ්වාසයක් නොමැති බවයි. කම්හලෙන් පිටවන අපවායු පිලිබඳ කවර හෝ පරීක්ෂනයක් පවත්වා නොමැති බව සඳහන් කල ඇය මෙසේ ද පැවසුවාය. ”එවැනි පරීක්ෂනයක් කල හැක්කේ ආන්ඩුවේ පිලිගත් ආයතනයකටයි. මේවා නොකරන්නේ මන්දැයි සොයා ගත යුතුයි. මේ ගැන ස්වාධීන පරීක්ෂනයක් කිරීම ඉතා වෑදගත්. මම ඊට සහයෝගය දෙනවා.”

විරෝධතාවයේ දී අත් අඩංගුවට ගෙන පසුව නිදහස් කල පුද්ගලයෙක් කතා කරමින් සංස්ථාපිත දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් තම විරෝධය පල කලේය: ”දැන් කිසිම දේශපාලන පක්ෂයක් අපේ උදව්වට එන්නෙ නැහැ. අපට තනියම ආන්ඩුවට හා පොලිස් මර්දනයට මුහුනදිය නොහැකියි.” සසප මැදිහත්වීම පිලිබඳව ප‍්‍රසාදය පල කල ඔහු මෙවන් පක්ෂයක ආධාරය ඔවුනට අවශ්‍ය බවද දීර්ඝව සාකච්ඡා කිරීමට කැමති බවද ප‍්‍රකාශ කලේය. ඔහු පැවසූ පරිදි තවමත් ඇතැම් තරුනයෝ පොලීසියෙන් ගැලවීම සඳහා සැඟවී සිටිති.

පරිසර දූෂනය වැලැක්වීම සඳහා ගතයුතු නිශ්චිත තාක්ෂනික පියවර ගතහොත් තම ලාභය අඩුවන බැවින් කම්හල් හිමියන් ඒ සඳහා මුදල් වියදම් නොකරන බවත්, අනිකුත් පක්ෂ සියල්ල ආන්ඩුවේ ආර්ථිික ප‍්‍රතිපත්තියට පක්ෂපාතී බවත්, එනම් ලාභය සඳහා නිශ්පාදනය කරන ධනේශ්වර පද්ධතිය හා ආයෝජකයන් ආරක්ෂා කරන බවත් සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ. තවද සසප පමනක්ම ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව සමාජවාදී වැඩපිලිවල සඳහා සටන් වදින බවද අවධාරනය කලහ.

එක් තරුනියක් සසප උද්ඝෝෂකයන්ගේ හැඳුනුම්පත් ඉල්ලා සිටිමින් මෙසේ පැවසුවාය: “වරදවා තේරුම් ගන්න එපා. කම්හලෙන් එක එක පුද්ගලයන් එවනවා. ඒ නිසා අපි පරිස්සමට ඉන්නෙ.” ජලය දූෂනය වීමෙන් උද්ගතව ඇති තත්වය විස්තර කල ඇය කියා සිටියේ ස්වාධීන පරීක්ෂනයට සියල්ලන්ගේ සහයෝගය ලබා දිය යුතු බවය. කම්හලේ තත්වය හෙලිදරව් කල හැකි දැනුම ඇති අය ඒ සඳහා ඉදිරිපත් විය යුතු බව ඇය තවදුරටත් කියා සිටියාය.

එච්ආර්පී කම්හලේ සේවය කල කම්කරුවකු පරීක්ෂනය සඳහා සහයෝගය පල කරමින් කම්හල තුල තත්වය පැහැදිලි කලේය. ”කම්හල තුල රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරනවා. අපි ඒවායේ නම් දන්නෙ නැහැ. කම්හලේ ඇති එක ටැන්කියක් සේදුවාම විශේෂ මුදලක් ගෙවනවා. විටක මගේ අත රසායනික මිශ‍්‍ර වතුරේ නොදැනුවත්ව වැටීමෙන් උරහිසේ සිට දැවිල්ලක් හට ගත්තා.” ඉදිරි කාලයේ වැඩිදුර කරුනු දැක්වීමට ඔහු එකඟ විය.

පලාතේ බොහෝ කල් ජීවත්ව ඇති තැනැත්තෙකු තම පුතු සමග සාකච්ඡාවට එක්විය. “මෙම කර්මාන්ත ශාලව ආරම්භ කරනකොට ගමේ හාමුදුරුවො කිව්වා මේක ගමට ආශීර්වාදයක් බව. අවුරුදු දෙක තුනක් යනතුරු ප‍්‍රශ්නයක් තිබුනෙ නැහැ.

“පාලකයො නල ලිං කිහිපයක් කම්හලේ සවි කලා. එවිට පලාතේ ජල මට්ටමේ අඩුවීමක් සිදුවුනා. පලාතේ ටික දෙනයි දන්නෙ පාලකයො පොලොව යටට පයිප්පයක් බස්සා අපජලය ඒතුලින් පොලවට යැව්ව කියල. එය ගොඩනගපු ඉන්ජිනේරුවො කිව්ව නලය වහන්න එපා කියල. එහෙම කලොත් එය පුපුරන්න පුලුවන් කියල කිව්ව.

“පාලකයො අප ජලය බවුසරවල ගෙනිහිල්ල කැලනි ගඟට දානවා. පොලීසිය පහරදුන් දවසෙ කන්ටේනර හා බවුසර මගින් අප ද්‍රව්‍ය ගෙනයාමට සූදානම්වයි හිටියෙ. මහජනයා පාර හරස් කර එය නතර කරා. පොලීසිය එලිවෙනකම් මුරකරමින් පාලකයන්ට උදව් කලා. කම්හල ඇතුලෙ අයට කෑම බීමත් ගෙනවිත් දුන්නා. අපිට කමක් නෑ ඒකට.

“මම හිතන්නෙ කොලඹ හැම තැනින්ම පොලීසිය ගෙන්නුවා පාලකයන්ට ඉඩ ලබා දෙන්න. 16 දා පහර දීම සිදුකර වෙලාවෙ මාව අත් අඩංගුවට ගත්තා. තවත් 19ක් සමග. අපිව බස් රියකින් හෝමාගම පොලීසියට ගෙන ගියා.

“ගියවර පලාත් සභා මැතිවරනයේදී ජනාධිපති රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්දය දුන් නමුත් මෙවර මැතිවරනයේදී කිසිවෙකුට ඡන්දය නොදුන් බව” ප‍්‍රකාශ කල ඔහු, “උඩින් එන නියෝග නිසා වතුර ප‍්‍රශ්නයට මොකුත් කරන්න බැරි” බව එම සන්ධානය නියෝජනය කරන ප‍්‍ර‍්‍රාදේශීය සභා නියෝජිතයකුම කී බැව් පැවසීය.

Share this article: