ලංකාවේ හිටපු රැඩිකලුන් ජවිපෙ “විකල්පයක්” ලෙස හුවා දක්වති

කේ. රත්නායක විසිනි, 2014 අප්‍රේල් 29

ලංකාවේ ආන්ඩුවේ ද සමස්ත දේශපාලන සංස්ථාපිතයේම ද අර්බුදය ගැඹුරුවන තතු තුල පාලක පන්තියේ කොටසක් දක්ෂිනාංශික පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) විකල්පයක් ලෙස ප‍්‍රවර්ධනය කිරීමේ තැතක යෙදී සිටිති. කොලඹ ප‍්‍රධාන ජනමාධ්‍ය ප‍්‍රවාහයේ කොටසක් විසින් මෑත මාසවල ජවිපෙට වාසිදායක පලල් මාධ්‍යාවරනයක් ලබා දීමෙන් ද මධ්‍යම පන්තික දේශපාලන විශ්ලේෂකයන් පිරිසක් එම පක්ෂයේ විභවයන් ගැන ‘විශ්ලේෂන’ ගෙතීමකින් ද මේ ප‍්‍රයත්නය ප‍්‍රකාශයට පත්ව තිබේ.

ඉන් එක අයෙක් නම් කොලඹ විශ්ව විද්‍යාලයේ ඉතිහාස අංශයේ ප‍්‍රධානියා වන නිර්මාල් රන්ජිත් දේවසිරි ය. ඔහු අතීතයේ සුළු-ධනපති කස්ත්‍රෝවාදය ඇතුළු රැඩිකල්වාදයන් උත්කර්ෂයට නංවමින් සිට දැන් ධනපති දේශපාලන සංස්ථාපිතය හොඳින් පවත්වාගෙන යන්නේ කෙසේදැයි උපදෙස් දෙන අයෙක් බවට පත්වී සිටියි. එක්ස් කන්ඩායම නම් වූ පශ්චාත් නුතනවාදී කන්ඩායමේ නායකයෙකුව සිටි ඔහු දැන් ඉන් වෙන්ව තවත් කන්ඩායමක් සඳහා සුදානම් වෙමින් සිටියි.

දේවසිරි, බස්නාහිර හා දකුනු පලාත් සභා ඡන්දය අද්දර දී “මා ජනතා විමුක්ති පෙරමුනට ඡන්දය දෙන්නේ ඇයි?” යන මාතෘකාවෙන් ලිපියක් පල කලේය. මෙම ලිපිය, ඔහු සහ ඔහුට සමාන අදහස් දරන අයගේ ප‍්‍රතිගාමී කි‍්‍රයා කලාපයත් දෘෂ්ටිවාද විධික‍්‍රමත් පිලිබඳ එලිදරව්වකි.

දේවසිරි මෙසේ කියයි: “මා ජනතා විමුක්ති පෙරමුනට ඡන්දය දීමෙන් බලාපොරොත්තු වන්නේ ලංකාවේ දැන් ආන්ඩුකරන කි‍්‍රයාවලිය හසුරුවමින් සිටින අන්ත දූෂිත ප්‍රභූ ස්ථරය ඉවත් කිරීම හෝ අඩුම තරමින් එහි ශක්තිය දුර්වල කිරීමයි”. යූඇන්පියේ මුදුනේ සිටින්නේද මෙබඳු දුෂිතයන්ම නිසා එයින් පලක් නැති බව පවසන දේවසිරි ජවිපෙට සහතිකය නිකුත් කරයි: “පසුගිය වසර විස්සක පමන කාලය තුල [ජවිපෙ] කිසියම් ප‍්‍රභූකරනයකට ලක්ව තිබුනත්” එය දූෂිත පාලන ප‍්‍රභූවේ කොටසක් වී නැත.

දේවසිරිගේ ප‍්‍රශ්නය “අතිශය දූෂිත පාලන ප‍්‍රභූව ඉවත් කර” හෝ දුර්වල කර ධනපති පාලනය ශුද්ධ කර රැක ගන්නේ කෙසේද යන්න යි. බලයේ සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව කෙරෙහි කම්කරුවන්ගේ හා දුගීන්ගේ වැඩෙන විරුද්ධත්වය ගසා කෑම සඳහා තමන් දූෂනයෙන් තොර, දෙස්-විදෙස් ආයෝජකයන්ට හිතැති පාලනයක් ගෙන යාමට කැපවී සිටින බවට ජවිපෙ දිවුරයි. මෑත පලාත් සභා මැතිවරන ආසන්නයේ ජවිපෙ “අපේ දැක්ම ප‍්‍රතිපත්ති මාලාව” නමින් නිකුත් කල ලියවිල්ලේ මෙම වැඩ පිලිවෙත මත පැහැදිලිව ඉදිරිපත් කර ඇත. “නවීකරනය හා කාර්මිකකරනය වූ රටක්” යන පිලිවෙත මත චීනයේ මොඩලයට මහා ව්‍යාපාරිකයන්ට බදු හා අනෙකුත් සහන පුදන බව එම ලියවිල්ල පොරොන්දුවී ඇත. දේවසිරි, තම ව්‍යාපෘතියට ජවිපෙ මෙම “දැක්ම” ගැලපෙන බව දකී.

මහජනයා ඉදිරියේ අපකීර්තියට පත්ව ඇති ජවිපෙ නගා සිටුවීමට න්‍යායික දහන්ගැට දමන දේවසිරි මෙසේ ප‍්‍රකාශ කර ඇත: ජවිපෙ බලය ගැනීමක් සමග එලෙස දුෂිත වීමට ඉඩ නැති දැයි ප‍්‍රශ්නයක් මතු කිරීමට ඉඩක් ඇතත් “ඉක්මනින් එවැන්නක් සිදුවීමට ඇති ඉඩකඩ ඉතා සීමිත ය”; ඊට හේතුව “ජවිපෙ දේශපාලන අනන්‍යතාවයේ ස්වරූපයයි”; “තමන් දුෂිත සමාජයේ කොටසක් නොවේය යන ආකල්පයක්” ජවිපෙ සාමාජිකයාට ඇත; “සම කාලීන සමාජ න්‍යායේ භාෂාවෙන් කියනවා නම් මෙය “මහ අනෙකා” (Big Other) සමග ඇති සම්මුතිය ලෙස නම් කිරීමට පුළුවන. “දේවසිරිට අනුව රෝහන විජේවීර නමැති මහා අනෙකා” ජීවමාන සාධකයක් ලෙස “ජවිපෙ සාමාජිකයාගේ විඥානය හසුරුවයි”.

දේවසිරි, පශ්චාත් නූතනවාදයේ ප‍්‍රමුඛයෙකු වූ ජැක්ස් ලැකාන්ගේ මනෝ විශ්ලේෂන විධික‍්‍රම හරඹ කරමින් තැත් කරන්නේ කම්කරුවන් හා තරුනයන් ජවිපෙට මුලාකර දීමටයි. මෙම විධික‍්‍රමයට අනුව, මිනිසා හෝ මිනිස් විඥානය, තමන්ට පිටින් සිටින මහා අනෙකාට බැදී ඉන් හසුරුවනු ලැබෙයි. යමෙකු කි‍්‍රයා කරන විට තමන්ට පිටින් “මහ අනෙකෙකු” --දෙවියන්, රාජ්‍යය, පක්ෂය, බලගතු පුද්ගලයෙකු, නීතිය ආදී වශයෙන් -- සිටීමේ හැඟීමකින් හා බැඳීමකින් කි‍්‍රයා කරයි. දේවසිරිට අනුව ජවිපෙට හා එහි සාමාජිකයාට සිටින “මහ අනෙකා” විජේවීර ය.

“මහ අනෙකෙකු” පිලිබඳ මෙම සූත‍්‍රය විඥානවාදී හරඹයකි. මානසිකත්වය හා විඥානය තීන්දු කෙරෙන්නේ සමාජීය කොන්දේසීන්ගෙන් ය: සමාජ කොන්දේසීන් මත් අවසන් වසයෙන් තීන්දු කෙරෙන්නේ නිෂ්පාදන බලවේගවල ද ඊට අනුරූපව නිර්නයවන නිෂ්පාදන සම්බන්ධතාවයන් ද විසිනි. ඉතිහාසයේ අදාලත්වය, මුලධර්ම හා වෛෂයික සත්‍යයක් ඇති බව දේවසිරිගේ පශ්චාත් නූතනවාදය විසින් බැහැර කෙරෙයි. ප‍්‍රපංචයක අන්තර් සම්බන්ධතා නොතකන දේවසිරිගේ විධික‍්‍රමයේ බොල්කම හා ප‍්‍රතිගාමීකම ජවිපෙට එය යොදා ඔප්පු කරන්නට යන දෙයින් ම එලිදරව්වේ.

සිංහල ගැමි තරුනයන් මත පාදකව සිංහල වර්ගවාදයේත් ස්ටැලින්වාදයේ හා ගුවෙරාවාදයේත් සම්මිශ‍්‍රනයක් දෘෂ්ටිමය පදනම ලෙස ගනිමින් 1960 ගනන් මැද විජේවීර ප‍්‍රමුඛ කන්ඩායමක් ඇරඹුනු ජවිපෙ බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි කොලඹ ආන්ඩු යුද්ධය දියත් කිරීමත් සමග විවෘත සිංහල වර්ගවාදී සංවිධානයක් ලෙස මතුවුනි. ඒ සමගම ගතවූ දශක වල සිදුව ඇත්තේ ධනපති නිෂ්පාදනයේ භූගෝලීයකරනයට අනුගතව (විජේවීර ද ඇතුලුව) ජවිපෙ තවත් දකුනට තල්ලු වීමයි.

උත්පත්ති දේශපාලනයේ තර්කානුකුල විකාශය ලෙස කොලඹ ධනේශ්වර සංස්ථාපිතයේ කොටසක් බවට පත්ව ඇති ජවිපෙ ධනපති ප‍්‍රභූවට ලංව, මැති ඇමතිකම් ඇතුළු තාන්නමාන්න ලැබ, ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදීන්ගේ දේශපාලන සංස්ථාපිතයන් සමග සම්බන්ධකම් ගොඩනගාගෙන දේශපාලනිකව දූෂිත ව ඇති සංවිධානයකි. ජවිපෙ බලයට ආවොත් රාජපක්ෂ ආන්ඩුව නතර කල තැනින් පටන් ගනිමින් ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයේ අවශ්‍යතා මත කම්කරු පන්තියට එරෙහිව රුදුරු ලෙස කඩා පැන, ප‍්‍රහාර එල්ල කරනු ඇත.

1988-1990 කාල පරිච්චේදයේ විජේවීරගේ නායකත්වයෙන් ජවිපෙ දේශපාලන විරුද්ධවාදීන් හා කම්කරුවන් ඝාතනය කලබව ද රාජපක්ෂ බලයේ පිහිටුවීමට 2005 ජනාධිපතිවරනයේදී මුලු වෙර දමා 2009 දක්වා ආන්ඩුව රැකීමට කි‍්‍රයා කල බව ද දේවසිරිගේ “මහා අනෙකා” න්‍යායට හසුවී නැත. රාජපක්ෂ ආන්ඩුව 2006 ඇවිලවූ යුද්ධයට මෙම පක්ෂය ඍජුවම උර දුන්නේ හමුදාවට බංකර් සැදීමට පවා උදවු දෙමිනි. එහෙත් දේවසිරි ජවිපෙට සිල් රෙද්දක් අන්දා කියා සිටින්නේ මෑතක් වනතුරු ඊට පැවති “සිංහල අන්ත ජාතිකවාදීන්ගේ ආස්ථානය” දැන් වෙනස් වන්ට පටන් ගෙන ඇති බවයි. එහෙත් ජවිපෙ, යුද්ධයට දුන් සහාය හා සිදුකල අනෙක් අපරාධ තම පක්ෂයේ වීරකි‍්‍රයා ලෙස දිගටම ඔජවඩවන්නේ අනාගත කි‍්‍රයා කලාපය ඉඟි කරමිනි.

ජවිපෙට “තම ලෝක දැක්මේ අංශයක් වන සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය කෙරේ ආවේනික නැඹුරුවක් සහ පක්ෂපාතිත්වයක්” ද “මාක්ස්වාදී ලෝක දැක්ම තුලින් උරුම කරගත් ජාතිකවාදය කෙරෙහි විවේචනයක් ද” ඇති බවට කථිකාචාර්යවරයා කියා සිටී. ඔහුට අනුව, මේ දෙකෙන් එකක් “අධිනිශ්චය” වූ කල්හි ජවිපෙ විටෙක “අන්ත ජාතිකවාදී” ලෙසද විටෙක “මාක්ස්වාදී” ලෙසද කි‍්‍රයාත්මක වේ! මෙය තවත් සාරසංග‍්‍රහවාදී ව්‍යාජ මනෝ විශ්ලේෂනයකින් ජවිපෙට සපයන ආවරනයකි.

ජවිපෙට හැමදා “අධිනිශ්චය” වී ඇත්තේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදයයි. තමන් එක හිතින් සහාය දුන් යුද්ධයෙන් විපතට පත් දෙමල ජනයාට සහන සැලසිය යුතු යයි ජවිපෙ මෑතක දී කර ඇති ප‍්‍රකාශ අන්ත කුහකය. යුද්ධය ඇරඹු යුඇන්පිය ද එලෙස කියා සිටී. ජවිපෙට, දේවසිරිට මෙන්ම, කිසිදා කිසිලෙසකිනුත් මාක්ස්වාදය සමග සම්බන්ධයක් තිබුනේ නැත, ඇත්තෙත් නැත.

දේවසිරිගේ ජවිපෙ ප‍්‍රවර්ධනය කිරීමේ ප‍්‍රයත්නය ගලා එන්නේ ධනපති පන්ති පාලනයට ඔහුගේ බැඳීමෙනි. සිය සාමාජිකත්වය තුල වැටුප් සටනකට පීඩනය එද්දී විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයට, ගෙනයාමට බල කෙරුනු දීර්ඝ වර්ජනය්දී එය කැපී පෙනුනි. සමාජවාදී සමානතා පක්ෂය ආචාර්යවරුන් කම්කරුවන් වෙතට හැරී සමාජවාදී පිලිිවෙත් මත රාජපක්ෂ ආන්ඩුවට එරෙහිව දේශපාලන අරගලයකට යොමුව වැටුප් සටන ගෙනයායුතු යයි කල කැඳවුමට ඍජුව විරුද්ධවූ ඔහු “දේශපාලන සටන් වෘත්තීය සමිතිවලට අදාල නැත” යි ප‍්‍රකාශ කොට ආර්ථික ඇමති බැසිල් රාජාපක්ෂ දුන් ව්‍යාජ පොරොන්දුවලට එකඟවී ආචාර්ය සටන පාවා දුන්නේය. ඔහුගේ කි‍්‍රයා කලාපය වුයේ ආචාර්ය අරගලය ආන්ඩුවේ දේශපාලන අර්බුදය වැඩි දියුනු කිරීමකට ඉඩ නොදී යටපත් කර දැමීමයි.

දේවසිරිට රාජපක්ෂ ආන්ඩුව සමග ඇති විරසකයෙන් පෙන්නුම් කෙරෙන්නේ, ධනපති පන්තියේ හා ඉහල මධ්‍යම පන්තියේ කොටසකට ඒ කෙරෙහි ඇති විරුද්ධත්වයයි. රාජපක්ෂ පාලන කල්ලිය ජාතික ආර්ථිකයේ වැඩිකොටසක් පාලනය කරමින් ඊට ඍජුවම ගැතිවුවන්ට වරප‍්‍රසාද දෙමින් ගෙනයන ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී පාලනය නිසා වෙනස්කම් කිරීමට ලක්ව සිටින ධනපති හා මධ්‍යම පන්තියේ කොටසක් රාජපක්ෂ පාලනය සමග උරන වී එය ඉවත් කිරීමට හෝ තමන්ට ද වාසිදායක ලෙස හරවා ගැනීමට ප‍්‍රයත්නයක යෙදෙති. වඩවඩාත් දකුනට යන මොවුන් ශක්තිමත් කරන්නේ ප‍්‍රතිවිප්ලවාදී බලවේගයි.

මෙම මධ්‍යම පන්තික කන්ඩායම්වල දක්ෂිනාංශික ගමන ලෝක ප‍්‍රපංචයකි. පශ්චාත් නූතනවාදය ද වැලඳගත් හිටපු රැඩිකල්ලු හා ව්‍යාජ වම්මු ධනපති සංස්ථාපිතය ආරක්ෂා කිරීමට බැඳී ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතාවලට සේවය කිරීමට ඉදිරිපත්ව සිටිති.

රාජපක්ෂ ආන්ඩුව කුරිරු ලෙස උතුරු-නැගෙනහිර යුද්ධය අවසානයකට ගෙන යමින් සිටි අවස්ථාවේ දේවසිරි, විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුලු කන්ඩායමක් සමග එක්ව “දෙමල සුලු ජනවර්ගයා මත ස්වෝත්තමවාදී රාජ්‍යයේ ත‍්‍රස්තවාදය ගෙනයාමට ඉඩ නොදෙන ලෙස” 2009 අපේ‍්‍රල් මාසයේ “ජාත්‍යන්තර ප‍්‍රජාව [මහා බලවතුන්] වෙත ආයාචනයක්” නිකුත් කලේය. මෙම මහා බලවතුන් යුද්ධයට මුලුමනින් සහාය දුන්නවුන්ය.

දේවසිරිගේ මේ ආස්ථානයේ අලුත්ම ප‍්‍රකාශය මාර්තු මාසයේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල රැස්වීමේදී සම්මත වූ ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ඇමරිකාව ගෙන ආ යෝජනාවට පක්ෂවීමයි. “බලවත් රටවල්වල හැසිරීම තීන්දු වන්නේ තම ගෝලීය අභිලාශ මත බව” නොදන්නෝ කවරහුදැයි අසන ඔහු නමුත් “මාගේ අදහස වන්නේ මේ යෝජනාව අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්මට බෙහෙවින් හිතකර අන්දමට භාවිතා කිරීමට හැකි බවයි” යනුවෙන් ලක්බිම පුවත් පතට 2014 මාර්තු 28 ලියූ ලිපියක සඳහන් කර ඇත.

තත්කාර්යවාදී දේවසිරි කතා කරන්නේ අත යටින් වාසියක් වැටෙන බවයි. රාජපක්ෂ ආන්ඩුව සිදු කල යුද අපරාධ හා දැන් තර කරන පොලිස් රාජ්‍ය පාලනය වෙත ඇඟිල්ල දික්කර දේවසිරි වෛෂයිකව කරන්නේ අධිරාජ්‍යවාදීන්ගේ භූ දේශපාලන අවශ්‍යතාවලට ගැට ගැසෙන ලෙස මහා ජනයාට කීමයි. ඔහු ගනන් ගැනීමට තරම් නොවන දෙයක් ලෙස සඳහන් කරන “මහා බලවතුන්ගේ ගෝලීය අභිලාශ” මොනවාද? වත්මන් ගෝලීය ධනේශ්වරයේ අර්බුදය තුල ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් යුකේ‍්‍රනයේ කර ඇති ප‍්‍රකෝපකාරී මැදිහත්වීම ලෝක යුද්ධයක තර්ජනය මතු කරයි. චීනයට එරෙහිව ඇමරිකාව සිදු කරන රාජ්‍යතාන්ති‍්‍රක හා මිලිටරි වටලෑම එබඳුම තර්ජන මතුකර නැද්ද? න්‍යෂ්ටික අවි දරන රටවල් යුද්ධයකට යාම කුමන ප‍්‍රතිපල දෙයිද? ලංකාව ද ඇදගනු ලැබ ඇත්තේ මේ භූදේශපාලන ආතතියේ වේරම්බයට ය.

ධනපති ක‍්‍රමයට අඩංගු වී සිටින දේවසිරි දුෂිත දුර්දාන්ත කොන්දේසි ඉවත් කර ගනිමින් එතුල පැවතීමට හැකියයි ඉදිරිපත් කරන මෙම “ඉදිරිදර්ශනයට” නිශ්චිත කි‍්‍රයා කලාපයක් තිබේ. මෙම සුලුධනේශ්වර රැඩිකල්ලු ධනේශ්වර ක‍්‍රමය පෙරලා දමා සමාජවාදී ක‍්‍රමයකට අඩිතාලම දැමීමට කම්කරු පන්තිය සතු ඓයිතිහාසික, විප්ලවවාදී විභවය මුලදීම ප‍්‍රතික්ෂේප කලහ. දැන් ලංකාව තුල ජවිපෙ විකල්පයක් ලෙස දකින දේවසිරි ඇතුලු කොටස් අධිරාජ්‍යවාදී බලයන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු කර දීමේ විකල්පයක් ලෙසද දකිති! මොවුන් කි‍්‍රයාත්මක වන්නේ රාජපක්ෂ ආන්ඩුව හා එය පාදකව ඇති ධනේශ්වර ක‍්‍රමය පෙරලා දැමීමට, ලංකාවේ කම්කරුවන් ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එකමුතු කොට සමාජවාදී විප්ලවයට බලමුලු ගැන්වීම වැලැක්වීමටයි.

Share this article: