ශ‍්‍රී ලංකාව: පලාත්සභා මැතිවරන ප‍්‍රතිපල ආන්ඩුව කෙරෙහි වර්ධනය වන විරුද්ධත්වය පිලිබිඹු කරයි

Sri Lanka: Provincial elections show growing opposition to government

ඩබ්ලිව්. ඒ. සුනිල් විසිනි, 2014 අපේ‍්‍රල් 2

පසුගිය සෙනසුරාදා පැවති ශ‍්‍රී ලංකාවේ බස්නාහිර සහ දකුනු පලාත් සභා මැතිවරන ප‍්‍රතිපල ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලක සභාගය කෙරෙහි වර්ධනය වන ජනතා අතෘප්තිය මෙන් ම සමස්ථ දේශපාලන සංස්ථාපිතයෙන් දුරස්ථ වීමක් පෙන්නුම් කරයි.

රාජපක්ෂගේ එක්සත් ජනතා නිදහස් සංධානය (එජනිස) පලාත් සභා දෙකේ පාලනය යලි අත්පත් කර ගත් නමුත් ලබා ගත් ආසන සහ ඡන්ද සංඛ්‍යාව අඩුවිය. ආන්ඩුව කෙරෙහි ජනතාවගේ කල කිරීමෙන් එතරම් ලොකු වාසියක් අත්කර ගැනීමට විරුද්ධ පක්ෂ අසමත් විය. පාලක සහ විරුද්ධ පක්ෂය යන දෙක ම කෙරෙහි පැවති මුලාවන්ගෙන් බිඳීමේ මට්ටම පෙන්නුම් කරමින් සියයට 35 ඡන්ද දායකයෝ ඡන්දය දීමෙන් වැලකුනහ.

ආන්ඩුවට එරෙහිව වර්ධනය වෙමින් තිබෙන ජනතා විරෝධය අවමංගත කිරීම සඳහා මැතිවරන උද්ඝෝෂනය තුල දී ජාතිකවාදී මනෝගතීන් ඇවිස්සීමට රාජපක්ෂ උත්සාහ කලේ ය. ආන්ඩුව විසින් කරන ලද මානව හිමිකම් උල්ලංඝනය කිරීම හා යුද අපරාධ පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් ඉල්ලා සිටිමින් එක්සත් ජනපදයේ අනුග‍්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට පසුගිය මාසයේ ඉදිරිපත් කල යෝජනාව ඔහු හෙලා දුටුවේ ය. මානව හිමිකම් රැකීම යෝජනාවේ සැබෑ අරමුන සමග මොන ම සම්බන්ධයක්වත් නැත. චීනයෙන් දුරස්ථ කර බීජිනය අභිමුඛ කිරීමේ මූලෝපායාත්මක අවශ්‍යතාවයන් පිටු පසින් පෙල ගස්වා ගැනීම සඳහා රාජපක්ෂ ආන්ඩුව මත පීඩනය යෙදීමේ ප‍්‍රයත්නයක එක්සත් ජනපදය යෙදී ගෙන සිටී.

එජනිසට “විජයග‍්‍රහනයක්” අත් කර දීමෙන් බටහිර බලවේගවලට “පනිවුඩයක්” යවන ලෙස මැතිවරන රැස්වීම්වල දී රාජපක්ෂ වාචාල ඉල්ලීමක් කලේය. එසේ වුවත් 2009 මැතිවරනය හා සැසඳීමේ දී බස්නාහිර පලාත් සභාවේ ආසන සංඛ්‍යාව 68 සිට 56 දක්වා 12 න් අඩු විය. දකුනු පලාත් සභාවේ දී ආසන 5 ක් අහිමි වී 33 ට පහත වැටුනි.

පාලක සභාගය 2009 දී බස්නාහිර පලාතේ දී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව 1,506,115 (සියයට 64.73) සිට 1,363,675 (සියයට 53.35) දක්වා මෙවර අඩු විය. දකුනු පලාතේ දී එය 804,071 (67.88) සිට 699,408 (58.06) දක්වා පහත වැටුනි. එජනිස කොලඹ නගරයේ මැතිවරන කොට්ඨාශ පහක් දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂයට පරාජය වුයේ ය. දේශීය සහ විදේශීය ආයෝජකයන්ට ඉඩසලසා දීම සඳහා 70,000 අධික දුගී පවුල් කොලඹ නගරයෙන් බලහත්කාරයෙන් උගුලූවා දමනු ලබයි.

ප‍්‍රතිපලය “දැවැන්ත ජයග‍්‍රහනයක්” හා ආන්ඩුවේ ජනතාවාදී වැඩ පිලිවෙලට ජනතාව දුන් සහතිකයක් බවත් “මාතෘ භූමියට” එරෙහි ව ක‍්‍රියාත්මක වන බලවේගවලට නිකුත් කල “සුවිශේෂ පනිවුඩයක්” බවත් රාජපක්ෂ ප‍්‍රකාශ කලේ ය. මෙම වසරේ ප‍්‍රතිපල 2009 ප‍්‍රතිපල හා සැසඳීම “අසාධාරන” බව ප‍්‍රකාශ කරමින් ඡන්ද අහිමිවීම පිලිබඳ කාරනය නොතකා හැරීමට එජනිස මැතිවරන ව්‍යාපාරයේ කලමනාකරු සහ තරුන කටයුතු පිලිබඳ ඇමති ඩලස් අලහප්පෙරුම උත්සාහ කලේ ය.

ඡන්ද ප‍්‍රතිපලය “ආන්ඩුවට රතු එලිය දැල්වීමක්” බව ඩේලි මිරර් පත‍්‍රය එහි සඳුදා කතුවැකිය තුල ලිවීය. “චන්ද පදනමේ හැකිලීමක සලකුනු එහි දකිත හැකි හෙයින් මෙය ආන්ඩුවේ ඇස් ඇරවීමක්” බව දී අයිලන්ඞ් පත‍්‍රය කීවේ ය.

ආන්තික සිංහල ස්වෝත්තමවාදී කාඞ් එක වනමින් කම්කරු පන්තිය බෙදීමට සහ ආන්ඩුව කෙරෙහි ඔවුන්ගේ විරුද්ධත්වය අවමංගත කිරීමට රාජපක්ෂ සහ ඔහුගේ ආන්ඩුව උත්සාහ කල නමුත් වාර්ගික දේශපාලනයෙන් ඔබ්බට දැකීමටත්, පන්ති ප‍්‍රශ්න පෙරමුනට එන බව වටහා ගැනීමටත් කම්කරුවන් සහ දුගීන් පටන් ගෙන ඇත.

දෙමල ජනතාව මර්දනය කිරීම සඳහා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධය නිර්දය ලෙස ගෙන යාමෙන් පසු ආන්ඩුව සොච්චම් ඉන්ධන සහ ආහාර සහනාධාර කපා හරිමින් ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් නිෂ්ප‍්‍රභා කරමින් ද සියලු කම්කරුවන්ගේ සහ දුගීන්ගේ ජීවන තත්වයන්ට තදින් ම පහර දුන්නේ ය. එවැනි ප‍්‍රහාරවලට එරෙහිව කම්කරුවන්, තරුනයන් හා දුගීන් මැතිවරන කාලය තුල දී ම විරෝධතාවල යෙදුනි.

එසේ වුවත්, විපක්ෂයේ එජාපය, ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සහ අලුතෙන් පිහිටුවන ලද හිටපු හමුදාපති සරත් ෆොන්සේකාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය (ප‍්‍රප) කැපී පෙනෙන ජයග‍්‍රහනයක් අත් කර ගැනීමට අසමත් වුහ. ඔවුන්ගේ මැතිවරන ව්‍යාපාරය මූලිකව යොමු කෙරුනේ ආන්ඩුවේ දුෂනය සහ ජීවන වියදම ඉහල යාම කෙරෙහිය. නමුත් ආන්ඩුව සමග උපායික මත භේද මිස, පාලක සභාගයේ ව්‍යාපාරික ගැති පිලිවෙත් ගැන මත භේදයක් ඔවුන්ට නැත. මෙම පක්ෂවලට ඡන්දය දුන් අය එසේ කලේ ආන්ඩුවට සිය විරුද්ධත්වය ප‍්‍රකාශ කිරීමට මිස ඔවුන් ගැන ඇති කිසිදු උද්‍යෝගයක් නිසා නො වේ.

බස්නාහිර පලාතේ දී එජාපය ට ආසන දෙකක් අහිමි වූ අතර ඡන්දය 679,682 (සියයට 29.58) දක්වා 10,000 න් අඩු විය. දකුනු පලාතේ දී එජාපය 40,000 පමන වැඩි ඡන්දයක් ලබා ගත් නමුත් කලින් පැවති ආසන 14 වැඩි වීමක් සිදු වුයේ නැත.

ජවිපෙ එක් පලාත් සභාවකින් ආසන 3 බැගින් වැඩි පුර ලබා ගනිමින් බස්නාහිර පලාතෙන් ආසන 6ක් සහ දකුනු පලාතෙන් ආසන 5ක් දිනා ගත්තේය. ජනතාව ජවිපෙට “සුවිශේෂ ජයග‍්‍රහනයක්” ලබා දී ඇති බවත්, “පසු ගිය වසර 4 හෝ 5 තුල මැතිවරන පෙරමුනේ දී අපගේ පක්ෂයේ පසු බැස්ම ආපසු හරවා” ඇති බව ජවිපෙ නායක අනුරකුමාර දිසානායක ප‍්‍රකාශ කලේ ය.

යථාර්තයේ දී කොලඹ දේශපාලන සංස්ථාපිතයට දැඩිව ආබද්ධ වී ඇති ජවිපෙ දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානය (එල්ටීටීඊ) ට එරෙහි යුද්ධයට අනුබල දුන්නේය. හිටපු ජනාධිපති චන්ද‍්‍රිකා කුමාරතුංගගේ ආන්ඩුවට 2004 දී සම්බන්ධ වීම හා 2005 ඇයගේ අනුප‍්‍රාප්තිකයා වූ රාජපක්ෂට සහයෝගය දීම නිසා එය අපකීර්තියට පත් විය. ඔහුගේ ආන්ඩුව යලි ආරම්භ කල එල්ටීටීඊය ට විරුද්ධ යුද්ධයට සහ ජීවන කොන්දේසිවලට එරෙහි එහි ප‍්‍රහාර වලට ජවිපෙ සහයෝගය දුන්නේය. එය මැතිවරන ව්‍යාපාරය ආරම්භ වීමට ටික දිනකට කලින් “නව දැක්ම” නමින් ව්‍යාපාරික ගැති වැඩපිලිවෙලක් නිකුත් කලේ ය (බලන්න “ශ‍්‍රී ලංකාව: ජවිපෙ මහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ප‍්‍රතිඥා දෙයි”).

ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය බස්නාහිර හා දකුනු පලාත් සභාවලදී පිලිවෙලින් ආසන 9 සහ 3ක් හිමි කර ගත්තේ ය. එජාපයේ, ජවිපෙ හා දෙමල ජාතික සංධානයේ සහයෝගය සහිතව 2010 ජනාධිපතිවරනයේ දී ෆොන්සේකා විපක්ෂයේ පොදු අපේක්ෂකයා විය. එල්ටීටීඊය ට එරෙහිව ගෙන ගිය යුද්ධයේ හමුදා ප‍්‍රධානියා වුයේ ඔහු ය. ආන්ඩුවට විරුද්ධව විපක්ෂයේ සෙසු පක්ෂ සමග පොදු පෙරමුනකට ඒමට ඇති කැමැත්ත මැතිවරනයෙන් පසුව ෆොන්සේකා නිවේදනය කලේ ය.

පාලක සභාගයේ හවුල් කරුවෙකු වන ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය (ශ‍්‍රීලංමුකො) ආන්ඩුවෙන් දුරස්ථවීමේ උත්සාහයක් ලෙස වෙන ම තරග කලේ ය. ඔවුන් එසේ කලේ ආන්ඩුවේ පිටුබලය සහිත ස්වෝත්තමවාදී බෞද්ධ කල්ලි වල ප‍්‍රහාර නිසා බොහෝ මුස්ලිමුන් පාලක සභාගයට විරුද්ධ නිසා ය. 2009 මෙන් ම ශ‍්‍රීලංමුකොය ට දිනා ගැනීමට හැකි වුයේ ආසන දෙකක් පමනි.

කොලඹ දෙමල ජන කොටස් අතර පදනම් වී සිටින ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා පෙරමුන (ප‍්‍රජපෙ) පසු ගිය මැතිවරනයේ දී එජාපය සමග එක්වී තරග කලේ ය. මෙවර එය වෙන ම තරග කලේ, එජාපය සහ පාලක සභාගය කෙරෙහි ගැඹුරින් ම විරසක වී සිටින දෙමල ජනයාගේ ඡන්ද ගසා කෑමේ අරමුනෙනි. එයට හිමි වූයේ ආසන දෙකක් පමනි.

ව්‍යාජ වාම කන්ඩායම්, එනම්, මැතිවරන සංධානයක් ඇති කර ගත් නව සම සමාජ පක්ෂය (නසසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) දෙකේ ම ඡන්ද අඩු විය. 2009 වාමාංශික පෙරමුන නමින් තරග කල නසසපයේ ඡන්ද බස්නාහිර පලාතේ දී 3997 සිට 1290 දක්වා පහත වැටුන අතර දකුනු පලාත් සභාවේ දී ඡන්ද 5 ක් පමනක් වැඩි පුර ලැබුනි. එසප ඡන්ද බස්නාහිර පලාත් සභාවේ දී 1688 සිට 739 දක්වාත් දකුනු පලාත් සභාවේ දී 805 සිට 604 දක්වාත් පහත වැටුනි. කම්කරු පන්තියේ කවර හෝ ස්වාධීන ව්‍යාපාරයකට විරුද්ධ මෙම පක්ෂ දසකයකට ආසන්න කාලයක් මහ ව්‍යාපාරිකයට සහ බටහිර බලයන්ට ගැති එජාපය සමග පෙල ගැසී සිටිති.

මැතිවරන ප‍්‍රතිපල මගින් යලිත් ඉස්මතු කෙරෙන්නේ සියලුම ධනපති පක්ෂ සහ ඔවුන්ගේ ව්‍යාජ වාම දේශපාලන උපාංග වලට එරෙහිව විප්ලවවාදී පක්ෂයක සහ කම්කරු පන්තියේ ස්වාධීන සමාජවාදී ව්‍යාපාරයක දැවෙන අවශ්‍යතාවය යි. ගම්බද දුගීන් තමන් වටේ රැලි කර ගනිමින් රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු පිලිවෙත් වලට එරෙහිව කම්කරු පන්තියට සටන් කල හැක්කේ ඒ ආකාරයට පමනි.

බස්නාහිර පලාතේ, කොලඹ දිස්ත‍්‍රික්කය සඳහා සසප දේශපාලන කමිටු සාමාජික විලානි පීරිස්ගේ නායකත්වයෙන් අපේක්ෂකයන් 43 කන්ඩායමක් ඉදිරිපත් කරමින් ජාත්‍යන්තරවාදී සහ සමාජවාදී ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කල එක ම පක්ෂය සමාජවාදී සමානතා පක්ෂය පමනි. ජාත්‍යන්තර සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරු-ගොවි ආන්ඩුවක් - ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමුහාන්ඩුවක් - සඳහා අරගලයේ තීරානාත්මක අවශ්‍යතාවය අපි පැහැදිලි කලෙමු.

මෙම ඉදිරිදර්ශනය සාකච්ඡා කිරීම සඳහා සසප සහ එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ පත‍්‍රිකා සහ මැතිවරන ප‍්‍රකාශයේ පිටපත් දහස් ගනනක් කම්කරුවන් අතර බෙදූහ. කොලඹ මාධ්‍ය විසින් සසප මැතිවරන උද්ඝෝෂනය මුලුමනින් ම වාරනය කලේ ය. සසප ඡන්ද 181 සිට 220 දක්වා වැඩි විය. මෙය තවමත් කුඩා සංඛ්‍යාවක් වුවත් පන්ති විඥානිත ඡන්දයක් ඉන් නියෝජනය කෙරෙයි.

ලෝක අවපාතයේ හා එක්සත් ජනපදය සහ චීනය අතර ඝර්ෂනයේ වා සුලිය තුලට වඩ වඩා එය ඇදගනිමින් ඇති තතු තුල රාජපක්ෂ ආන්ඩුව කරනු ඇත්තේ වැඩකරන ජනතාවගේ ජීවන තත්වයන්ට හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන්ට එල්ල කරන ප‍්‍රහාර තීව‍්‍ර කිරීම පමනි. සමාජ පිපිරීම්වල කොන්දේසි නිර්මානය වී ඇත. අපගේ ඉදිරිදර්ශනය හදාරමින් කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස අපගේ පක්ෂය ගොඩ නැගීම සඳහා පක්ෂයට බැඳෙන ලෙස පන්ති විඥානිත සියලු ම කම්කරුවන්, තරුනයන් සහ බුද්ධිමතුන්ගෙන් අපි ඉල්ලා සිටිමු.

Share this article: