එ ජා මානව අයිතීන් පිලිබඳ කවුන්සිලය ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් කැඳවුම් කරයි

UN body call for international probe into Sri Lankan human rights violations

සම්පත් පෙරේරා හා කේ රත්නායක විසිනි, 2014 මාර්තු 31

බෙදුම්වාදී එල්ටීටීඊයට එරෙහිව ආන්ඩුව ගෙනගිය යුද්ධය අවධියේ සිදුව ඇති මානව අයිතිවාසිකම් කඩවීම හා යුද්ධයට සම්බන්ධව සිදුකර ඇති යුද අපරාධ පිලිබඳව ජාත්‍යන්තර පරීක්ෂනයක් කැඳවුම් කරන යෝජනාවක් පසුගිය 27දා එක්සත් ජනපද අනුග‍්‍රහය ඇතිව එක්සත් ජාතීන්ගේ (එජා) මානව හිමිකම් කොමිසම විසින් සම්මත කරන ලදී.

වොෂින්ටනය විසින් යොදන ලද දැඩි බලපෑම හමුවේ ඉදිරිපත්කල යෝජනාව, ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුවට එරෙහි එක්සත් ජනපද පිලිවෙතේ වඩාත් ආක‍්‍රමනශීලී වෙනසක් සලකුනු කරයි. ආන්ඩුව චීනයෙන් ඈත් නොවුනහොත්, රාජපක්ෂ ද ඇතුලු ආන්ඩුවේ හා මිලිටරියේ අනෙකුත් ජ්‍යෙෂ්ඨයින්ට යුද අපරාධ චෝදනාවන්ට මුහුනපෑමට සිදුවන බවට කෙරුනු අනතුරු ඇඟවීමකි එය. මීට පෙර, 2012 හා 2013 වසරවල යූඑන්එච්ආර්සී සැසිවාරයන්හිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කල එක්සත් ජනපද යෝජනා, මානව හිමිකම් උල්ලංඝනය පිලිබඳව අභ්‍යන්තර පරීක්ෂන සඳහා කල කැඳවුම් වලට පමනක් සීමා විය.

එක්සත් ජනපද අනුග‍්‍රහය ලත් යෝජනාව, චීනය රාජ්‍යතාන්ත‍්‍රිකව හුදෙකලා කිරීම හා මිලිටරිමය වශයෙන් වැටලීම අරමුනු කරගත් එහි “ආසියාවට හැරීම” යන මූලෝපාය තවත් දැඩි කරන බවට බීජිනය වෙත වොෂින්ටනයෙන් නිකුත් කල පනිවිඩයක් ද වේ. පසුගිය මාසයේ, චීනයේ සම්ප‍්‍රදායික අනුචරයෙක් වන උතුරු කොරියානු තන්ත‍්‍රය පිලිබඳව පරීක්ෂන පැවැත්වූ එජා කොමිසම, මානව වර්ගයාට එරෙහි අපරාධ සම්බන්ධයෙන් එහි නායකයින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරනයකදී චෝදනා විභාග කල යුතු යයි යෝජනා කලේය.

යුඑන්එච්ආර්සී සැසිය තුල එක්සත් ජනපද යෝජනාවට පක්ෂව ඡන්ද 23ක් ද 12ක් විරුද්ධව ද ලැබී ඇත. එයට චීනය හා රුසියාව ද ඇතුලත්ය. රටවල් දොලහක් ඡන්දය දීමෙන් වැලකුනු අතර ඊට පෙර යෝජනා දෙකටම පක්ෂව ඡන්දය දුන් ඉන්දියාව ඊට ඇතුලත් වීම සැලකියයුතු කරුනකි. යෝජනාව මානව හිමිකම් පිලිබඳ මහ කොමසාරිස්ගේ කාර්යාලයෙන් “ඉල්ලා” ඇත්තේ, “චෝදනා එල්ල වී ඇති බරපතල මානව හිමිකම් කඩකිරීම්, ඒ හා සම්බන්ධ අපරාධ පිලිබඳ පුලුල් පරීක්ෂනයක් පවත්වන” ලෙසය. යෝජිත පරීක්ෂනය, උගත් පාඩම් හා ප‍්‍රතිසන්ධාන කොමිසම (එල්එල්ආර්සී) අදාල කරගත් කාලයට සීමාවනු ඇත. 2002 හා 2009 මැයි මාසය දක්වා මිලිටරිය සිදුකල යුද අපරාධ වලට සුදුහුනු ගෑම පිනිස රාජපක්ෂ විසින් එම කොමිසම පත්කරනු ලැබිනි. එල්ටීටීඊය සමග සාම සාකච්ඡා පැවති හා එහි මිලිටරි පරාජය සිදුවූ අවධිය එමගින් ආවරනය විය. මෙම අවධිය තෝරාගැනීම මගින් යෝජනාව, විශේෂයෙන්ම ඉලක්ක කලේ, 2006දී සාම ගිවිසුම කඩකල රාජපක්ෂ ආන්ඩුව මිස පූර්වයෙන් පැවති ආන්ඩු නොවේ.

“වගකීමෙන් හා දන්ඩ මුක්තියෙන් ගැලවී යාම වැලැක්වීම පිනිස සිදුකල අපරාධ හා චෝදනා එල්ලවී ඇති එවන් හිමිකම් කඩකිරීම පිලිබඳ අවස්ථා හා කරුනු හෙලිදරව් කර ගැනීමට” පරීක්ෂනයක් පවත්වන ලෙස යෝජනාවෙන් ඉල්ලා ඇත. යූඑන්එච්ආර්සී යෝජනාව, පසුගිය වසරේ අගෝස්තුවේ “වැලිවේරිය ප‍්‍රදේශයේ නිරායුධ විරෝධතාකරුවන්ට පහරදීම” ඇතුලු යුද්ධයෙන් පසුව සිදුකර ඇති හිමිකම් කඩකිරීම් මාලාවක් ද පෙන්වාදී ඇති නමුත් ඒවා පිලිබඳ පරීක්ෂන පැවැත්වීම ගැන සඳහන් කර නැත.

එජාගේ විශේෂඥ කන්ඩායමක් විසින් 2011 වසරේදී ගනන් බැලූ ආකාරයට යුද්ධයේ අවසන් මාසවලදී සිවිල් වැසියන් 40,000ක් පමන මරාදමා ඇති අතර පැහැරගැනීම්, වධ බන්ධන හා අතුරුදහන් කිරීමේ සිද්ධීන් ද ඇතුලු වෙනත් හිමිකම් කඩකිරීම් ද ලැයිස්තු ගතකර තිබේ. ජනාධිපති රාජපක්ෂ, ඔහුගේ සොහොයුරු ආරක්ෂක ඇමති ගෝඨාභය රාජපක්ෂ හා ඉහල පෙලේ හමුදා ජෙනරාල්වරු ද ඇතුලු ආන්ඩුවේ ඉහල නිලධාරීන්, යුද අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලබනු ඇති බව වාර්තාව ඇඟවුම් කරයි. එසේ ද වුවත් ආන්ඩුව දිගටම අවධාරනය කරන්නේ, මිලිටරිය කිසිදු අපරාධයක් හෝ අයිතිවාසිකම් කඩකිරීමක් සිදුකොට නැති බවයි.

නිසැකවම කොලඹ ආන්ඩුව යුද අපරාධ සිදුකොට ඇති අතර සිංහල දෙමල හා මුස්ලිම් යන සියලුම වැඩකරන ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට අඛන්ඩව පහර දෙයි. එහෙත් එක්සත් ජනපදය හා බි‍්‍රතාන්‍ය, ප‍්‍රන්සය හා ජර්මනිය වැනි ඔවුන්ගේ සහචරයින්, මෙරට මානව හිමිකම් කඩකිරීමෙහි විරුද්ධවාදීන් ලෙස වෙස් ගැන්වීම වංචාවකි. රාජපක්ෂ 2006දී යලි ආරම්භ කල යුද්ධයට පිටුබලය දුන් හා යුද අපරාධ පිලිබඳ දිගු ලැයිස්තුවට තමන්ගේ සම්බන්ධකම් සහිත සියලූ දෙනා පිලිතුරු දීමට බැඳී සිටිති.

එල්ටීටීඊය මිලිටරි පරාජයක් කරා ගමන් කරමින් සිටින බව පැහැදිලිව පෙනෙන්නට තිබුනු යුද්ධයේ අවසන් මාසවල දී, එක්සත් ජනපද හා එහි යුරෝපීය සහචරයෝ මානව හිමිකම් පිලිබඳ ප‍්‍රශ්නය මතු කිරීමට පටන් ගත්හ. රාජපක්ෂ ආන්ඩුවට දෙන චීනයේ මිලිටරි හා ආර්ථික ආධාර කරනකොටගෙන මෙරට තුල චීනයේ පැතිරෙන ආනුභාවයට වලකැපීමට ඔබාමා පාලනාධිකාරය අදිටන්කොටගෙන ඇත.

එක්සත් ජනපදය දැන් තම “ආසියාවට හැරීම” සමග පෙලගැසී නැති ශ‍්‍රී ලංකාව වැනි රටවලට යොදන පීඩනය දැඩි කර ඇත්තේ, යුකේ‍්‍රනය තුල ෆැසිස්ට්වාදීන් මූලිකත්වය ගත් කුමන්ත‍්‍රනය හරහා එරටට ආක‍්‍රමනශීලීව මැදිහත් වන අතරතුරය. එක්සත් ජනපද ජනාධිපති ඔබාමා අපේ‍්‍රල් මාසයේදී, චීනයට එරෙහි එක්සත් ජනපද රාජ්‍යතාන්ත‍්‍රික ප‍්‍රහාරයේ කොටසක් ලෙස ජපානය, ෆිලිපිනය, දකුනු කොරියාව හා මැලේසියාව යන රටවල සංචාරය කිරීමට නියමිතය.

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරී වහාම යූඑන්එච්ආර්සී යෝජනාව ඩැහැ ගනිමින් කියා සිටියේ, “යුක්තිය හා වගකීම් දැරීම පිලිබඳව පියවර ගැනීම තවත් ප‍්‍රමාද කල නොහැකි” බවයි. වෙනත් වචන වලින් කිවහොත්, වසර පහක් පමන බලාසිටීමෙන් පසුව වොෂින්ටනය, රාජපක්ෂ චීනයෙන් ඈත් වන තුරු තවත් කල් බලාසිටීමට සූදානම් නැති බවයි. පනිවිඩය පැහැදිලිය; දැන්ම ඉවත් විය යුතුය, නැතහොත් සම්බාධක පැනවීම් ද සහිත යුද අපරාධ චෝදනා පිලිබඳ පියවරයන්ට මුහුන දෙන්න සූදානම් වියයුතුයි.

චීනය යෝජනාවට විරුද්ධ වූයේ ශ‍්‍රී ලංකාවට සහයෝගය පලකිරීම පිලිබඳ ඇඟවුමක් ලෙස පමනක් නොව, රුසියාවේදී මෙන් තම රට තුලට මැදිහත්වීම සඳහා ද ප්‍රෝඩාකාරී මානව අයිතීන් පිලිබඳ එක්සත් ජනපද උද්ඝෝෂනය ගෙන එනු ඇති බවට පවතින ගැඹුරු කනස්සල්ල හේතුවෙනි. වොෂින්ටනයට (චීනයේ) ටිබෙට් හා උයිගූර් බෙදුම්වාදී සංවිධාන සමග දිගුකාලීන බැඳීම් පවතියි.

ජිනීවාහි ඉන්දියානු නියෝජිත දිලිප් සිංහ, සිය රට ඡන්දයෙන් වැලකී සිටීම යුක්තිසහගත කරමින් මෙසේ පැවසීය: “ජාතික ස්වෛරීත්වය හා ආයතනයන්ට එරෙහිව යන ආක‍්‍රමනකාරී ප‍්‍රවිෂ්ටයක් යොදාගැනීම නිරර්ථක බව ඉන්දියාවේ දැඩි විශ්වාසයයි.”

ඉන්දියාව, කලාපයේ සිය බලපෑම් වැයික්කියක කොටසක් ලෙස මෙරටට ඇස ගසාගෙන සිටින අතරම චීනයට කොලඹ සමග ඇති සමීප සම්බන්ධකම්වලට සතුරුය. රාජපක්ෂ ආන්ඩුව සමග කිට්ටු සම්බන්ධකම් ගොඩනගා ගැනීමට උත්සුක වන නව දිල්ලිය, මෙරට දෙමල ජනාවට සිදුවන පීඩාවන් පිලිබඳව කෝපයෙන් පසුවන දකුනු ඉන්දියාවේ තම්ල්නාඩු ප‍්‍රාන්තයෙහි ඡන්දදායකයින් සතුටු කිරීමට ද උත්සුක වෙයි.

ඉන්දියාව පූර්වයෙන් ගෙනා එක්සත් ජනපද යෝජනාවන්ට පක්ෂව ඡන්දය දී ඇති නමුත් කොලඹ සමග හොඳහිත පවත්වාගැනීම වෙනුවෙන් ඒවා දියකර හැරීමට ද උපකාරී විය. මෙවර ඉන්දියාව, යෝජනාවට ඡන්දය දීම මගින් මෙරට ආන්ඩුවෙන් හුදෙකලා වීමට මෙන්ම, විරුද්ධව ඡන්දය දීම මගින් සිය මූලෝපායික සහකරු වන එක්සත් ජනපදය හා ඉන්දියාවේ දෙමල ජනතාවගෙන් හුදෙකලා වීමට ද නොහැකි තතු තුල, ඡුන්දයෙන් වැලකී සිටීමේ වැට උඩ පිලිවෙතක් අනුගමනය කලේය.

“ජාතික ස්වෛරීත්වයට වල කපන ඇඟිලි ගැසීමේ ප‍්‍රවිෂ්ටයකට” ඉන්දියාවේ විරුද්ධත්වය, අනාගතයේදී මෙම යෝජනාව, ඉන්දියාවටම හා එරට අවශ්‍යතාවන්ට එරෙහිව යොදාගැනීමේ පූර්වාදර්ශයක් විය හැකිය යන බිය ද පිලිබිඹු කරයි.

යූඑන්එච්ආර්සී සැසියේදී යෝජනාව නිල වශයෙන් ප‍්‍රතික්ෂේප කිරීම හැරෙන්නට රාජපක්ෂ ආන්ඩුව, ප‍්‍රකාශයක් නිකුත් කර නැත. තකහනියේ කැඳවූ මාධ්‍ය හමුවකදී යෝජනාව හෙලා දුටු විදේශ කටයුතු ඇමති ජී. එල් පීරිස්, විපක්ෂව ලැබුනු ඡන්ද 12, සමග ඡන්දය නොදුන් 12 එකට ගත් විට එහි අර්ථය, රට ජයග‍්‍රහනයක් ලබා ඇතැයි යන අපබ‍්‍රංශ ප‍්‍රකාශයක් ද කලේය.

රට “ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයකට” ගොදුරුවී ඇතැයි කියමින් ආන්ඩුව මෑත සති වලදී, රට තුල සිය උද්ඝෝෂනය තීව්ර කලේය. වොෂින්ටනයෙන් හුදෙකලා වීමට අකැමති රාජපක්ෂ හා ඔහුගේ ඇමතිවරු, කිසිවිටෙකත් කුමන්ත‍්‍රනකරුවන් කවරහුදැයි නම් කලේ නැත.

කෙසේ වෙතත්, ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා පලවූ ඡන්දය, පාලක කවයන් තුල කනස්සල්ලක් ජනිත කර තිබේ. සන්ඩේ ටයිම්ස් කතුවැකියක් තුල, යෝජනාව නොතකා හරින්නවුන් “මෝඩයන්ගේ පරාදීසයක ජීවත් වන්නේ” යයි විවේචනය කර තිබුනි. “දැඩි, දුෂ්කර කාරනය වන්නේ, යූඑන්එච්ආර්සීය ශ‍්‍රී ලංකාවේ යුද අපරාධ පිලිබඳ චෝදනා මුල්කරගෙන පරීක්ෂනයක් ඇරඹීම සදහා ඡුන්දය දී තිබීමයි. එය මගින් රට, රාජ්‍යතාන්ත‍්‍රික වධක මෙවලමක් වන දඬු අඬුවක් මත තබා, එහි නායකයින් සංකේතාත්මකව බැඳ, අදිනු ලබනු ඇත. එය නිදහසින් පසු ශ‍්‍රී ලංකාවේ පෙර නොවූ විරූ සිදුවීමකි.” ජාත්‍යන්තර කටයුතු පිලිබඳ දේශපාලන තර්කනය වටහා ගැනීමට අපොහොසත් වීම ගැන එය ආන්ඩුවට දොස් නගයි.

කම්කරු පන්තිය මෙරට යුද අපරාධකරුවන්ට හෝ ලිබියාවට එරෙහිව යුද්ධයක් දියත් කල, සිරියාවේ සිවිල් යුද්ධයට තෙල් වක්කරනු ලැබූ හා දැන් චීනයට එරෙහිව මිලිටරි ශක්තිය වර්ධනය කරමින් සිටින, වොෂින්ටනයේ යුද අපරාධකරුවන්ට සහාය නොදිය යුතුය. යුද්ධය කරා වන එක්සත් ජනපද තල්ලුව නතර කිරීමේදී මෙරට වැඩකරන ජනතාව, මෙම ගැටුම්වල මූල සාධකය වන ධනේශ්වර ක‍්‍රමය අහෝසි කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත පදනම් වෙමින්, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග ඒකාබද්ධ අරගලයකට යා යුතුය.

Share this article: