එජ ආරක්ෂක ලේකම් සිය චීන සහකරුවා සමග ගැටෙයි

US defence secretary clashes with Chinese counterpart

පීටර් සිමන්ඩ්ස් විසිනි, 2014 අප්‍රේල් 09

08දා බීජිංහි පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී එක්සත් ජනපද ආරක්ෂක ලේකම් චක් හේගල් හා චීන ආරක්ෂක ඇමති චෑන් වැන්කුවේන්, දකුනු හා නැඟෙනහිර චීන මුහුදු ප්‍රදේශයේ භූමි භාගයන්හි ආරවුල් පිලිබඳව කටුක වචන හුවමාරුවක යෙදුනි.

ඔබාමා පාලනාධිකාරයේ “ආසියාවට හැරීම” මගින් කලාපය පුරා අවුලුවා තිබෙන අනතුරුදායක ආතතීන් පිලිබඳ තවත් අනතුරු ඇඟවීමකි සතුරුකම් ප්‍රසිද්ධියේ පලකිරීම. චෑන් සමග වචන හුවමාරුව සඳහා හේගල් වේදිකාව සැකසුවේ, ඔහු සතියේ මුල ටොකියෝවේ සිටි අවස්ථාවෙහි ආසන්න මුහුදේ භූමිභාග පිලිබඳ චීනයේ හිමිකම් පෑම, රුසියාව විසින් ක්‍රිමියාව ඈඳාගැනීම සමග සැසඳීම මගිනි. “පැසිෆික් කලාපයේ කුඩා දිවයින් හෝ යුරෝපයේ විශාල ජාතීන් හෝ සම්බන්ධයෙන් ගත් විට, බලහත්කාරය හෝ බියගැන්වීම මගින් ජාතීන්ගේ ස්වෛරීත්වය හා භෞමික අඛන්ඩතාවය උල්ලංඝනය කරමින් දේශසීමා අලුතෙන් ඇඳීම සඳහා ලෝකය පුරා කරක් ගැසීමට ඔබට හැකියාවක් නැත.” ඔහු පැවසීය.

කෙසේ වෙතත් පැසිෆික් හා යුරෝපය යන කලාප දෙකෙහිම ආතතින් අවුලුවා ඇත්තේ වෙෂින්ටනය අනුගමන කරන ප්‍රකෝපකාරී කටයුතු මගින්ය. යුක්‍රේනයේදී එක්සත් ජනපදය සැලසුම් කල, ෆැසිස්ට්වාදින් මෙහෙයවූ කියෙව්හි කුමන්ත්‍රනය, කලු මුහුදේ සිය නාවික බලඇනිය ස්ථානගතකොට ඇති ක්‍රිමියාව ඈඳා ගැනීමට රුසියාව පෙලඹවීය. ආසියා-පැසිෆික්හිදී එක්සත් ජනපදය, ජපානය හා ෆිලිපිනය වැනි සිය සහචරයින්ට, චීනයට එරෙහි තම භෞමික හිමිකම් සඳහා වඩාත් දැඩි ආස්ථානයන් ගැනීමට පිටුබලය දුන්නේය.

බීජිනයේදී හේගල්, ජපානය හා චීනය අතර සෙන්කාකු/ඩයේයු දිවයින් පිලිබඳව පැනනැඟී තිබෙන ආරවුලේදී “එක්සත් ජනපදය පුද්ගලික හිමිකම් සම්බන්ධයෙන් ආස්ථානයක් නොගන්නේය යන වොෂින්ටනයේ පොදු පිලිවෙත පුනරුච්ඡාරනය කලේය. කෙසේ වෙතත් එක්සත් ජනපදය, චීනය සිය හිමිකම් දැක්විමට දරන කුමන හෝ උත්සාහයකට එරෙහිව, ජපානය හා ෆිලිපීනය විසින් නීර්නය කර ඇති “භෞමික අඛන්ඩතාවය” හා “සීමා මායිම්” වලට සහාය දක්වයි.

තවදුරටත් හේගල්, සිය සහචරයින්ට සහාය පිනිස මිලිටරි බලය යොදාගැනීමට එක්සත් ජනපදය පැකිලෙන්නේ නැති බව ද ඉතා පැහැදිලිව ප්‍රකාශ කලේය. මාධ්‍ය හමුවකදී ඔහු මෙසේ පැවසීය. “ෆිලිපීනය හා ජපානය එක්සත් ජනපදය දිගුකාලීන මිතුරන්ය...එම රටවල් එකිනෙක සමග අපට අන්‍යොන්‍ය ආත්මාරක්ෂක ගිවිසුම් පවතියි.” ඉන් පසුව සිය ඇඟිල්ල උලුක් කරමින් හේගල්, එක්සත් ජනපදය “එම ගිවිසුම්වල වගකීම් දැරීමට මුලුමනින්ම කැපවෙයි.” යනුවෙන් පැවසීය. එනම්, අවශ්‍ය වුවහොත් චීනයට එරෙහිව යුද්ධයකට යන බවයි.

“ඒකපාර්ශවිකව, සහයෝගයෙන් තොරව, අදහස් විමසීමකින් තොරව” පසුගිය නොවැම්බරයේදී නැඟෙනහිර චීන මුහුදු කලාපයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපයක් ප්‍රකාශයට පත්කිරීම පිලිබඳව හේගල් ප්‍රසිද්ධියේම චීනය විවේචනය කලේය. එම සිද්ධියට ප්‍රතිචාර වශයෙන් පෙන්ටගනය, පූර්ව දැනුම් දීමකින් තොරව, ගුවන් කලාපය හරහා න්‍යෂ්ටික අවි සහිත බී-52 බෝම්බ හෙලන යානා පියාසර කරවමින් චීනයට වහාම අභියෝග කලේය. චීනය සමග එක්සත් ජනපද ගුවන් සටනක හැකියාව සමගින් ලෝකය පිහි මුවාතක් මත තැබීය.

කෙසේ වෙතත් හේගල්, “ආතතීන්, වැරදි වැටහීම් අවසානයේදී අනතුරුදායක ගැටුමකට තුඩු දෙන” බව පවසමින් චීනයට දොස් නැඟීය. බීජිනයට එරෙහි එවන් දෝෂාරෝපන, සිය “ප්‍රති තුලන” හෝ චීනය වැටලීම අරමුනු කරගෙන ආසියාව පුරා මිලිටරි ශක්තිය වර්ධනය කිරීම පිනිස එක්සත් ජනපදය විසින් ගසාකනු ලබයි. ජපානයේදී හේගල්, බැලිස්ටික් මිසයිල් නාෂක පද්ධතීන්ගෙන් සන්නද්ධ තවත් ඒජිස් ඩිස්ට්‍රෝයර් නෞකා දෙකක් ජපාන කඳවුරු වෙත යවන බව නිවේදනය කලේය.

චීන ආරක්ෂක ඇමති චෑන් මෙසේ අවධාරනය කලේය. ප්‍රකෝපකාරී පියවර ගෙන ඇත්තේ ජපානයයි. චීනය ජපානයට එරෙහිව බලය පාවිචිචි කිරීමට යන්නේ යයි ඔබ නිගමනය කරන්නේ නම් එය වැරදිය...අපි ආරවුල් ඇවිස්සීමට මූලිකත්වය නොගන්නෙමු.” දිවයින් අරබයා හටගෙන ඇති මතභේද සාකච්ඡා මාර්ගයෙන් විසඳාගත යුතු යයි කියා සිටින අතරම ඔහු, සෙන්කාකු/ඩයේයු දිවයින් පිලිබඳව චීනයට “අවිවාදිත අයිතියක්” ඇති බව ද පැවසීය. “මෙම ප්‍රශ්නයේදී අප සම්මුති විරහිතය, කිසිදු සහනයක් ඇත්තේ නැත, කිසිදු සුලු කඩකිරීමකට පවා ඉඩක් නැත....කුමන වර්ගයක හෝ තර්ජනයන්ට හා අභියෝගයන්ට මුහුන දීමට සෑම විටම අපි සූදානම්ව සිටිමු.” යනුවෙන් ඔහු අනතුරු ඇඟවීය.

තවත් ප්‍රශ්න සම්බන්ධයෙන් ද හේගල් චෑන්ට බලපෑම් කලේය. උතුරු කොරියාව හසුරුවා ගැනීමට චීනය පියවර ගත යුතු යයි ඔහු පැවසීය. තම සයිබර් යුද සූදානම පිලිබඳව වඩා විවෘතව කටයුතු කරන ලෙස ඔහු චීන මිලිටරියෙන් ඉල්ලා සිටියේය. “වඩා විනිවිද පෙනෙන තත්වය චීන-එක්සත් ජනපද සම්බන්ධතා ශක්තිමත් කරනු ඇත. සයිබර් අවකාශය පිලිබඳ වඩා විවෘත භාවයක්, වැරදියට වටහා ගැනීම, අනවබෝධය තුලින් වැරදි ගනන් බැලීමකට යාමේ අවදානම අඩු කරනු ඇත.” හේගල් එසේ පැවසීය.

හේගල් කර ඇත්තේ තරයේම නරුම ප්‍රකාශයන්ය. ජාතික ආරක්ෂක ඒජන්සියේ හිටපු කොන්ත්‍රාත් සේවක එඩ්වඩ් ස්නෝඩන්, එක්සත් ජනපද මිලිටරිය හා ඔත්තු බැලීමේ ආයතන ලෝකය පුරා සිදු කල දැවැන්ත ඔත්තු බැලීමේ මෙහෙයුම් හෙලිදරව් කර ඇත. විශේෂයෙන්ම ඒවායේ ඉලක්කය වී තිබුනේ චීනයයි. චීන මිලිටරිය ආර්ථික ඔත්තු බැලීම්වල යෙදී ඇතැයි වොෂින්ටනය පවසා තිබුනි. එහෙත් පසුගිය මාසයේ නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කලේ, එක්සත් ජනපද ඔත්තු බැලීමේ ආයතන සන්නිවේදන ක්ෂේත්‍රයේ චීන යෝධයා වන හුආවේහි මෙහෙයුම් ජාලයන් තුලට හොරෙන් ඇතුල්වී තිබුනු බවයි.

මාස කිහිපයකට පෙර පෙන්ටගනය, සිය සයිබර් යුද යාන්ත්‍රනය පිලිබඳව චීන මිලිටරි නිලධාරීන් දැනුවත් කල බව ද නිව් යෝර්ක් ටයිම්ස් වාර්තාකර තිබුනි. 2016 වසර අවසන් වන විට තම සයිබර් යුද යාන්ත්‍රන විශේෂඥයින් සංඛ්‍යාව 6000 දක්වා තුන් ගුනයකින් වැඩි කිරීමට එක්සත් ජනපදය සැලසුම් කරයි. (නිසැකවම ඉතා ස්වල්පයක් වන තොරතුරු ප්‍රමානය පවා චීනය වෙත සපයා ඇත්තේ) පෙරලා චීනයෙන් තොරතුරු ලබා ගැනීමේ අපේක්ෂාවෙන් බව 08දා හේගල් කල ප්‍රකාශයන්හිදී පැහැදිලි විය. ඊට ප්‍රතිචාර වශයෙන් චෑන් පැවසුවේ සයිබර් අවකාශයේ කටයුතු වලදී චීනය “අනෙකුත් අයට තර්ජනය නොකරන” බවය.

බීජිනය වෙත කල සිය සංචාරය දෙරට අතර ආරක්ෂක සබඳකම් වැඩි දියුනුකර ගැනීමේ උත්සාහයක් බව හේගල් කියා තිබුනි. 07දා චීනයේ පලමු ගුවන් යානා හාරක නෞකාව වන ලියෝනිං වෙත ඔහු කල සංචාරය විදේශ නිලධාරියෙක් එහි කල පලමු සංචාරය විය.

චීනයේ ආරක්ෂක ක්ෂේත්‍රයෙහි පරිමානය පිලිබඳව විනිවිද භාවයක් තිබිය යුතු බවට එක්සත් ජනපදය නිරන්තරයෙන් කරන ඉල්ලීම්, ආතතීන් සමහන් කිරීමට කිසිසේත් සම්බන්ධ නැත. එක්සත් ජනපදය සිය මිලිටරි රහස් ඉතා සුරක්ෂිතව තබා ගන්නා අතර චීනයේ තොරතුරු හැකිතරම් නිවැරදිව දැනගැනීමට උත්සාහ කරයි. හේගල්-චෑන් මාධ්‍ය සමුලුව තුල පැවති වාතාවරනය, වොෂින්ටන් පෝස්ට් මෙසේ ග්‍රහනය කරගෙන තිබුනි. “සබඳකම්වල දර්ශනය බෙහෙවින්ම සැකය අරක්ගත් හා කිසිසේත්ම උනුසුම් නොවූ කර්කෂ හා සතුරුකමින් භරිත එකක් විය.”

08දා සවස් යාමයේ හේගල් ආරක්ෂක විශ්වි විද්‍යාලයේ කථාවක් පැවැත්වූ අවස්ථාවෙහි ද පවත්නා ආතතිය දැකගත හැකි විය. එක්සත් ජනපදය නැඟෙනහිර හා දකුනු චීන මුහුදු ප්‍රදේශවල ආරවුල් ඇතිකරන්නේ, කිසියම් දවසක “චීනය, එක්සත් ජනපදයට පොරබැදිය නොහැකි තරම් ලොකු අභියෝගයක්” බවට පත්වනු ඇතැයි යන බිය නිසා යයි චෝදනා කරමින් එක් නිලදරුවෙක් ඔහුට අභියෝග කලේය. “එබැවින් ඔබලා එවන් ප්‍රශ්න (චීනයේ) සංවර්ධනය අඩාල කිරීම පිනිස ගැටලු ඇතිකිරීමට යොදා ගනියි” ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

සුමට ලෙස ප්‍රතිචාර දනවමින් හේගල් මෙසේ පැවසීය. “ආසියා-පැසිෆික් ප්‍රදේශවල ඇමරිකාවේ ප්‍රති තුලනය චීනය ග්‍රහනයට ගැනීම සඳහා නොවේ.” ඔහු ප්‍රෙක්ෂකාගාරයේ කිසිවෙකුත් ඒත්තු ගැන්වූයේ නොවේ. මේ මාසයේ අවසානයට සිදුවන ඔබාමාගේ සංචාරයට පෙරාතුව, කලාපයට කල හේගල්ගේ සංචාරයෙහි එකම අරමුන, චීනයට එරෙහිව කලාපය තුල කෙරෙන එක්සත් ජනපද මිලිටරි තරකිරීම් දිගටම සිදුවනු ඇති බව යලි තහවුරු කිරීම ය.

Share this article: