වසර 75ට පෙර: හිට්ලර් - ස්ටැලින් ගිවිසුම මොස්කව්හි දී අත්සන් කෙරුනි

75 years ago: Hitler-Stalin pact signed in Moscow

2014 අගෝස්තු 18

මොලටෝව් ස්ටැලින් - හිට්ලර් අනාක‍්‍රමනික ගිවිසුම අත්සන් කර යි. ස්ටැලින් පසුපසින් සිටියි

1939 අගෝස්තු 24දා ජර්මානු විදේශ ඇමති ජෝකිම් වොන් රිබෙන්ට්‍රොප් හා ජෝශප් ස්ටැලින්ගේ ප‍්‍රධාන හෙංචයියෙකු වූ විචෙස්ලාව් මොලටෝව්, ෆැසිස්ට් ජර්මනිය හා සෝවියට් සංගමය අතර අනාක‍්‍රමනික ගිවිසුමක් අත්සන් කිරීමට මොස්කව්හි දී මුනගැසුනහ.

පෝලන්තයට පහරදී විනාස කිරීමට හිට්ලර් සූදානම්වීමත් සමග නැගෙනහිරින් සෝවියට් සංගමය සහ බටහිරින් බි‍්‍රතාන්‍ය හා ප‍්‍රන්සයට එරෙහිව පෙරමුනු දෙකක යුද්ධයක් පිලිබඳ කොන්දේසි මගහරිමින්, නාසීන්ට ඉතා වාසිදායක වූ තත්වයන් යටතේ යුරෝපය තුල යුද්ධය ගෙන යාමට මෙම ගිවිසුම මගින් ජර්මනියට මග හෙලිකර දුන්නේය.

ප‍්‍රසිද්ධ කල අනාක‍්‍රමනික පොරොන්දුවලට අමතරව පෝලන්තය හා බෝල්ටික් රටවල්, නාසි ජර්මනිය හා සෝවියට් සංගමය අතර රහසේ බෙදාගැනීම ද ගිවිසුමට අන්තර්ගත විය. ජර්මනියට බටහිර පෝලන්තය හා ලිතුවේනියාව හිමිවීමට නියමිත වු අතර නැගෙනහිර පෝලන්තය, නැගෙනහිර ලිතුවේනියාව හා සමස්ත ලැට්වියාව, එස්ටෝනියාව හා පින්ලන්තය සෝවියට් සංගමය සතු වීමට නියමිත විය.

ගිවිසුමෙහි ඉතාමත් සැලකිය යුතු කාරනය වූයේ, ජාත්‍යන්තර කම්කරු පන්තියේ මතය සම්බන්ධයෙන් ක්‍රෙම්ලිනය දැරූ පූර්න පිලිකුල හා උදාසීනකම යි. සාකච්ඡා අතරතුර දී ස්ටැලින් හිට්ලර්ට සව්දිය පිරුවේ මෙසේ පවසමිනි: “ජර්මනියේ ෆූරේ (පීතෘවරයා) පිලිබඳව ජර්මන් ජාතිකයන් අතර පවතින ආදරය ගැන මම දනිමි.” පසු කාලයකදී නාසි ඝාතක කඳවුරුවල දී මියගිය කේපීඞී (ජර්මන් කොමියුනිස්ට් පක්ෂය) නායක අර්නස්ට් තාල්මාන් ඇතුලු හිරගත කරන ලද ජර්මානු කොමියුනිස්ට්වාදීන් නිදහස් කර ගැනීමට ස්ටැලින් උත්සාහ නො කලේ ය.

ක්‍රෙම්ලිනයේ මාවත අනුගමනය කරමින් ප‍්‍රන්සයේ හා බි‍්‍රතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂ, ෆැසිස්ට් තන්ත‍්‍රය කෙරෙහි නිල මධ්‍යස්ථ ප‍්‍රතිපත්තියක් අනුගමනය කල අතර එය කම්කරු පන්ති විරෝධයේ ප‍්‍රතිමූර්තියක් විය. ක්‍රෙම්ලින් නිලධරයේ ප‍්‍රතිවිප්ලවවාදී කටයුතු නිසා පසුබෑමකට මුහුනපෑ රටක් රටක් පාසා දහස් ගනන් කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයෝ, ස්ටැලින්වාදීන් හෙලාදුටු අතර පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වූහ.

උග‍්‍ර අභ්‍යන්තර අර්බුදයකට හා සිය ප‍්‍රතිවිප්ලවවාදී කටයුතු මගින් නිර්මානය කල යුරෝපයේ සතුරු පාලන තන්ත‍්‍ර ගනනාවකට මුහුන දුන් ස්ටැලින්, හිට්ලර් සමග සමගි සන්ධානයක් සෙවීමට ඇති ඉඩ කඩ ගැන ලියොන් ට්‍රොට්ස්කි කල්තියාම අනාවැකි පල කර තිබුනි. විශේෂයෙන් ම මෙය හදිසි අවශ්‍යතාවක් විය හැකි යැයි ඔහු පැහදිලි කලේ ය. මක්නිසා ද යත්, 1937 - 38 විරේක කිරීම්වල ම්ලේච්ඡ මර්දනය තුලින් ස්ටැලින්, රතු හමුදාවේ හිස ගසා දමා තිබුන බැවිනි. එහිදී සෝවියට් සංගමයේ ආරක්ෂාව සැබවින් ම අන්තරායේ හෙලමින් ඉතා දක්ෂ මිලිටරි නායකයින් ඝාතනය කරන ලදී.

හිට්ලර් - ස්ටැලින් ගිවිසුම අත්සන් කෙරුනාට පසු ට්‍රොට්ස්කි මෙසේ සඳහන් කලේ ය, “ ‘සෝවියට් - පක්ෂපාතී’ තකතිරුවන් එය වටහා ගන්නේ, හිට්ලර් පෙරලා දැමීම සදහා වන ක්‍රෙම්ලිනයේ අපේක්ෂාව පිලිබදව එයම සාක්ෂියක් වන්නේ යයි සලකමිනි. එහෙත් කාරනය එහි අනෙක් පැත්තය. විප්ලවයකින් තොරව හිට්ලර් පෙරලා දැමීම සිතීමටවත් නො හැකි ය. ජර්මනියේ විජයග‍්‍රාහී විප්ලවය සෝවියට් සංගමය තුල පුලුල් මහජනතාවගේ පන්ති විඥානය බෙහෙවින් ඉහල මට්ටමකට නංවනු ඇති අතර මොස්කෝවේ කුරිරු ආඥාදායකත්වය තවදුරටත් පවත්වාගෙන යා නො හැකි වනු ඇත.”

වසර 100කට පෙර: ලෙනින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ පාවාදීමට හා ලෝක යුද්ධයට එරෙහි ප‍්‍රකාශනය ලියයි.

100 years ago: Lenin authors statement against SPD betrayal and world war

වී.අයි. ලෙනින්

ජර්මානු සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය හා දෙවැනි ජාත්‍යන්තරයේ අනෙකුත් ප‍්‍රධාන පක්ෂ “තමන්ගේ ම” ආන්ඩුවල යුද ව්‍යායාමයට සහායදීම මගින් සමාජවාදී ක‍්‍රියාමාර්ගය පාවාදීමෙන් දින කිහිපයකට පසුව, ව්ලැඩිමීර් ලෙනින් පලමු ලෝක යුද්ධයේ ම්ලේච්ඡත්වයට එරෙහිව විප්ලවවාදී ජාත්‍යන්තරවාදී ප‍්‍රතිචාරය දක්වමින් ප‍්‍රකාශනයක් ලිවී ය. “යුරෝපීය යුද්ධය තුල විප්ලවවාදී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කර්තව්‍යයෝ” නම් එම ප‍්‍රකාශනය අගෝස්තු 24ට ආසන්න දිනකදී ලියන ලදැයි සලකන අතර ස්විට්සර්ලන්තයේ බර්න්ස් හි අගෝස්තු 24 - 26 අතර පැවති රැස්වීමක දී සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ කන්ඩායමක් විසින් එය පිලිගන්නා ලදී. ලෙනින් ඒවන විට එහි පැමින සිටියේය.

ලියවිල්ල මගින් යුද්ධය, සියලු ම පැතිවලින් “ධනේශ්වර, අධිරාජ්‍යවාදී හා වංශාධිපති” ගැටුමක් ලෙස නම් කරනු ලැබිනි. එය පැනනගින්නේ “වෙලඳපොලවල් සඳහා අරගලය හා විදේශීය රටවල් කොල්ලකෑමේ නිදහස, කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය මර්දනය කිරීමේ වෑයමක් ... එක් ජාතියක වැටුප් වහලුන් තවත් ජාතියක එවැන්නන්ට එරෙහිව පිහිටුවීම මගින්, සියලු රටවල කම්කරු පන්තිය නොමග යැවීමේ, භේද කිරීමේ හා ඝාතනය කිරීමේ අභිලාශයක්” මුල්කරගෙන යයි එය පැහදිලි කලේ ය.

ලියවිල්ල, දෙවැනි ජාත්‍යන්තරයේ ප‍්‍රධාන පක්ෂ, විශේෂයෙන් සඳහන් කලහොත් ජර්මන්, ප‍්‍රන්ස හා බෙල්ජියම් ශාඛාවල වැඩකටයුතු පිලිබඳ ව විශ්ලේෂනයක් ඉදිරිපත් කලේය. තමන්ගේ ම ආන්ඩුවල කොල්ලකාරී යුද ව්‍යායාමයන් සඳහා ඔවුන් පුදන සහයෝගය, “සමාජවාදය අමු අමුවේ පාවාදීමක්” යයි එය කියා සිටියේ ය. විප්ලවවාදී බලවේගයක් ලෙස දෙවැනි ජාත්‍යන්තරයේ ඇදවැටීමට හේතු වුනේ, “සියලු ම රටවල විප්ලවවාදී කම්කරු පන්තියේ විශිෂ්ටත ම නියෝජිතයන් විසින් අන්තරායක් යයි දීර්ග කාලයක් තිස්සේ පෙන්වා දෙනු ලැබ තිබුන, එය තුල පැවති සුලු ධනේශ්වර අවස්ථාවාදය, ධනේශ්වර ස්වභාවයයි.” මෙම ප‍්‍රවනාතාවය යටින් පැවතියේ ප‍්‍රතිසංස්කරනවාදී, සාමවාදී හා ජාතික සංකල්ප දෙවැනි ජාත්‍යන්තරයේ අවස්ථාවාදී කන්ඩායම් අතර දරන ලද ආධිපත්‍යය බව එය සඳහන් කලේය.

ඒ වන විටත් අවස්ථාවාදී ප‍්‍රවනතා දෙවැනි ජාත්‍යන්තරය තුල පැවතීම සම්බන්ධයෙන් සඳහන් කරමින් ලෙනින් නව ජාත්‍යන්තර සංවිධානයක අවශ්‍යතාව ගෙනහැර දැක්වී ය. “අනාගත ජාත්‍යන්තරයේ කර්තව්‍යය විය යුත්තේ, ස්ථීරසාර ව හා බැහැර නොකල හැකි ලෙස සමාජවාදය තුල වන මෙම ධනේශ්වර ප‍්‍රවනතාවෙන් නිදහස් වීම යි.” ප‍්‍රකාශනය අවසානයේ දී ලෙනින් කර්තව්‍යයන් තුනක් සාරාංශ කලේ ය: සමාජවාදී විප්ලවයේ ඉදිරිදර්ශනය හා ජාත්‍යන්තර කම්කරු පන්තියේ එක්සත්කම පැතිරවීම, පරම රාජාන්ඩු මගින් පාලනය වන රටවල සමූහාන්ඩු සඳහා ක්ෂනික සටන්පාඨයක්, හා සාර් තන්ත‍්‍රයේ මහා රුසියානු ජාතිකවාදයට විරුද්ධව රුසියාව තුල විප්ලවය සඳහා අරගලය එම කර්තව්‍යයෝ ය.

ප‍්‍රකාශනය හොර රහසේ රුසියාවට ගෙන එන ලද අතර ඊට පසු මාසවල දී බොල්ෂෙවික් පක්ෂ කන්ඩායම් අතරේ එය සාකච්ඡා කෙරුනි. එය පසුකාලීනව බොල්ෂෙවික් පක්ෂයේ ප‍්‍රකාශනය සඳහා පදනමක් බවට ද පත් විය. එය ලියන ලද්දේ ද ලෙනින් විසිනි. දෙවැනි ජාත්‍යන්තරයේ පාවාදීම මගින් ජනනය කෙරුනු ව්‍යාකූල කොන්දේසි යටතේ, රුසියාව තුල හා වෙනත් තැන්වල, සමාජවාදී කම්කරුවන් හා බුද්ධිමතුන් විප්ලවවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයකින් දේශපාලනිකව සන්නද්ධ කිරීමේ දී එය තීරනාත්මක කාර්යභාරයක් ඉටු කලේ ය.

Share this article: