ඉන්දියාවේ නව ආන්ඩුව මහ ව්‍යාපාරික න්‍යායපත‍්‍රය කි‍්‍රයාවට නැගීමට පියවර ගනියි

India’s new government moves to implement big business agenda

ක‍්‍රාන්ති කුමාර් විසිනි, 2014 ජූලි 08

බලයට පැමින මුල් සති හය තුල ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂය (බීජේපී) නායකත්වය දෙන නව ආන්ඩුව ඉන්දියානු සහ ජාත්‍යන්තර මහ ව්‍යාපාරිකයන්ගේ න්‍යාය පත‍්‍රය කි‍්‍රයාවට දැමීම සඳහා ආක‍්‍රමනශීලී පියවර ගනිමින් සිටියි. උග‍්‍ර වර්ගවාදී සහ දැඩි හින්දු මතධාරියා ලෙස පෙනී සිටින නරේන්ද්‍ර මෝඩිගේ නායකත්වයෙන් යුත් නව ආන්ඩුව, මහ ව්‍යාපාරිකයට වාසිදායක සහන, බදු විරාම හා වෙනත් වාසි සලසන අතර ව්‍යාපාරික ලාභ ඉපැයීම් වලට බාධාකාරී සියලූ කම්කරු, පාරිසරික හා සමාජ නීති රෙගුලාසි අහෝසිකිරීම පිලිබඳ සිය අභිමතය ඇඟවුම්කර ඇත.

ප‍්‍රාග්ධනය මත පැනවෙන මොනම හෝ බාධාවක් ගැන මෝඩි ආන්ඩුවේ විරුද්ධත්වය, “ආයෝජකයන්ට රතුපටි නැත, තිබෙන්නේ රතු පලස් පමනි” සහ ”අවම ආන්ඩුව හා උපරිම පාලනය” වැනි ගොරහැඩි සටන් පාඨ වලින් මූර්තිමත් වේ.

සත්තකින්ම මේ සියල්ල, දූෂනය උපුටා දැමීමටත් රැකියා උත්පාදනය සඳහා වසර දෙකකටත් වැඩි කලක් තිස්සේ සියයට 5ට අඩුව පවතින ආර්ථික වර්ධන වේගය ඉහල දැමීමටත් දරන උත්සාහයක් ලෙස මේ සියල්ල දේශපාලනිකව ගොනු කරනු ලැබේ.

කලින් තිබුනු කොන්ග‍්‍රස් පක්ෂ ආන්ඩුව, වෙලඳපොල ගැති “ප‍්‍රතිසංස්කරන” ක‍්‍රියාවට දැමූ අතර වොෂින්ටනය සමග ගෝලීය මූලෝපයික හවුලක් අටවාගෙන තිබුනේය. එසේ නමුදු ඉන්දියානු ආර්ථිකය රැකියාවන්ගේ හෝ ඉල්ලුමේ වැඩිවීමකින් තොර තත්වයකට වැටීමේ තතු හමුවේ, ජනතා විරෝධයට මුහුන දිය නොහැකිකම නිසා අයෝජන ගැති පිලිවෙත් අඩංගු පැකේජයක් කි‍්‍රයාවට දැමීමට පැකිලෙන්නේ යයි ඉන්දියානු සහ ජාත්‍යන්තර මහ ව්‍යාපාරිකයන් කොන්ග‍්‍රස් ආන්ඩුවට චෝදනා කරමින් ඊට එරෙහිව ගමන් කලේය.

ගුජරාට ප‍්‍රධාන ඇමති ලෙස සිටියදී ව්‍යාපාරික ඉන්දියාවේ උවමනාවන්හි බැලයෙකු ලෙස කටයුතු කිරීම නිසා ඔවුන්ගේ පිටුබලය ලද මෝඩි, ජනතා විරෝධය තලා දැමීමේ සිය සූදානම උද්දාමයෙන් යුතුව ප‍්‍රකාශයට පත් කලේය.

පසුගිය මාසයේ ගෝවේහි පැවති රැස්වීමකදී මෝඩි, “මෙම ආර්ථික රෝගී තත්වයෙන් රට මුදා ගැනීම” පිනිස “දැඩි තීන්දු” සහ “තිත්ත බෙහෙත්” අවශ්‍ය වනු ඇතැයි ප‍්‍රකාශ කලේය. “මෙම දැඩි තීන්දු නිසා මගේ ජනප‍්‍රියත්වය පහල බසින බව මම දනිමි. ජනතාව මා සමග විරසක වනු ඇත. එහෙත් ඔවුන් පසුව එය අගය කරනු ඇත.” යනුවෙන් පැවසීය.

මේ අතර මෝඩි ගේ මුදල් ඇමති අරුන් ජෙයිට්ලි, “ජනතාවාදී පිලිවෙත්” - දුගී බවට එරෙහි සහ අනෙකුත් සුබසාධන වැඩසටහන් හැඳින්වීමට මහ ධනපතියන් අපහාසාත්මක ලෙස භාවිතා කරන යෙදුමකි - හඹා යාම ගැන කලින් පැවති ආන්ඩුව හෙලා දැක්කේය. ඉන්දියානු ප‍්‍රභූ පැලැන්තියේ මතයට අනුව එවැනි වියදම්, සම්පත් “අපතේ හැරීමක්” වන අතර ඒවා එක්කෝ ඔවුන්ගේ ආදායම් පිම්බීමට නැති නම් ඉන්දියාවේ කම්කරුවන් සහ ස්වභාවික සම්පත් සූරාකෑම මගින් වැඩි ලාභයක් මිරිකා ගැනීමට පහසුවීම සදහා යටිතල ව්‍යාපෘති දෙසට යොමු කල යුතු ය.

ජෙයිට්ලි පසුගිය සතියේ නව දිල්ලියේ ගනකාධිකරුවන්ගේ රැස්වීමකදී පැවසුවේ: “ඔබ කමකට නැති ජනතාවාදයේ ගිලී සිටියහොත් ඔබ භාන්ඩාගාරයට බරක් වනු ඇත” යනුවෙනි. “ජනතාවාදයේ ගිලී සිටීම පිනිස ඔබ ඉහල බදු පනවන සමාජයකට හැරුනොත් එය වැදගැන්මකට ඇති දෙයක් නොවේ.”

ආන්ඩුව දැනටම විවිධ පෙරමුනු වල “තිත්ත බෙහෙත් පෙති” භාවිතා කිරීමට පටන්ගෙන තිබේ.

මෝඩි ගෝවේහි පැවැත්වූ කතාවෙන් සිව් දිනකට පසුව ආන්ඩුව, දුම්රිය මගී ගාස්තු සියයට 15 කින්ද භාන්ඩ ප‍්‍රවාහනය කිරීමේ ගාස්තු සියයට 6.5 කින්ද ඉහල දමන බව නිවේදනය කලේය. ප‍්‍රවාහන ගාස්තු ඉහල දැමීම දැනටමත් ඉලක්කම් දෙකක මට්ටමට නැග ඇති උද්ධමනය තවත් ඉහලට තල්ලු කරනු ඇත. මක්නිසා ද යත් කාර්මික සහ කෘෂිකාර්මික භාන්ඩ ප‍්‍රවාහනයේ ප‍්‍රධාන මාර්ගය දුම්රිය බැවිනි.

දුම්රිය ගාස්තු ඉහල දැමීම, ඉන්දියාවේ අබලන්වී ඇති දුම්රිය පද්ධතියේ යටිතලය දියුනු කිරීම සමග මොනම සම්බන්ධයක්වත් නැත. ඉන්දියාවේ දුම්රිය අනතුරු වලින් වාර්ෂිකව සිදුවන මරන සංඛ්‍යාව 15,000ක් වන අතර එය “සමූල ඝාතනයක්” ලෙස අර්ථ දැක්වීමට ආන්ඩුවේ ආරක්ෂන මන්ඩලයකට සිදුවිය. “කිසිදු ශිෂ්ට සමාජයකට එවන් ඝාතනයක් අනුමත කල නොහැකි” යයි එම වාර්තාව පැවසීය.

ඉන්දියානු දුම්රිය සේවයේ දිගු කාලීන අර්බූදය, පෞද්ගලීකරනය ට හේතුවක් කර ගැනීමේ සිය එල්ලය ගැන මෝඩි ආන්ඩුව දැනටමත් ඇඟවුම් කර තිබේ. එවන් තත්වයක් යටතේදී තව දුරටත් ගාස්තු ඉහල යනවා පමනක් නොව, සිදුවනු ඇති යම් හෝ යටිතල සංවර්ධනයක් වඩාත්ම ලාභදායී මාර්ග වලට පමනක් යොමු කෙරෙනු ඇත.

නිසැක ලෙසම මධ්‍යම ආන්ඩුව සමග සම්බන්ධීකරනය සහිතව රාජස්ථානයේ බීජේපී ප‍්‍රාන්ත ආන්ඩුව, ඊනියා “ක‍්‍රමවත්කල අංශය” තුල විශාල ව්‍යාපාර සඳහා ස්ථිර සේවකයන් වෙනුවට අඩු වැටුප් ගෙවන කොන්ත‍්‍රාත් පදනමක් මත බඳවා ගන්නා සේවකයන් යොදා ගැනීමට සහ වැඩබිම් වසා දමා කම්කරුවන් සිත්සේ දොට්ට දැමීමට ඉඩ සලසන නීති ගෙන ඒමේ සිය අභිලාශය නිවේදනය කලේය.

වසර ගනනාවක් තිස්සේ දේශීය සහ විදේශීය ව්‍යාපාරිකයෝ, කම්කරුවන් 100කට වඩා දොට්ට දැමීම සහ කොන්ත‍්‍රාත් සේවකයන් බඳවා ගැනීම සීමා කරන ඉන්දියාවේ “දලදඩු සහ ඉපැරනි” කම්කරු නීති වලට එරෙහිව එකාවන්ව හඬ නගමින් සිටියහ.

බීජේපී යට සහ ඔවුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයට ඉන්දියාවේ නියෝජිත මන්ඩල දෙකේ ඉහල මන්ඩලයේ බහුතරයක් නැති තත්වය යටතේ, රාජස්ථානයේ මෙන් අනෙකුත් ප‍්‍රාන්ත වල ද කම්කරු නීති “ප‍්‍රතිසංස්කරන” ගෙන එමින්, මහ ව්‍යාපාරිකයින් සඳහා වඩාත් හොඳ සේවයක් සැපයීම පිනිස ඉන්දීය කම්කරු නීති “ප‍්‍රතිසංස්කරන” ආරම්භ කිරීමට මාවතක් විවෘත කෙරෙනු ඇත. ඉන්දියානු ව්‍යවස්ථාවට අනුව කම්කරු නීති වැනි මධ්‍යම සහ ප‍්‍රාන්ත ආන්ඩුවල ඒකාබද්ධ බලාධිකාරය සහිත ක්ෂේත‍්‍ර වලදී, පවතින මධ්‍යම නීති සමග ගැටෙන හෝ ඒවා ඉක්මවා යන හෝ ප‍්‍රාන්ත නීති අනුමත කිරීමට ජනාධිපති ට උපදෙස් දීම මගින් ඒවා නීති පොතට ඇතුල් කල හැක.

එසේම මෝඩි ආන්ඩුව, ප‍්‍රාදේශීය විරුද්ධතා නොතකා මහ ව්‍යාපාරිකයින්ගේ සංවර්ධන ව්‍යාපෘති කි‍්‍රයාවට දැමීමටත් “ප‍්‍රතිසංවිධානය” නාමයෙන් පාරිසරික විමර්ෂන අහෝසිකිරීමටත් ඇති සිය සූදානම ඇඟවුම් කර ඇත.

මෝඩි අගමැතිවී දින කීපයකින් නර්මදා නදිය හරහා වන මතබේදයට තුඩුදී ඇති සර්දාර් සරෝවර් බැම්මේ උස මීටර් 16කින් නැංවීමට ගුජරාට ප්‍රාන්ත ආන්ඩුවට අනුමැතිය දුන්නේය.

පාරිසරික ගැටලු මත යටිතල සංවර්ධන කටයුතු වලට එල්ල වන විරුද්ධත්වය නීති විරෝධී කිරීම අරමුනු කරගෙන ආන්ඩුව, ඔත්තු සේවා බියුරෝවේ (අයිබී) වාර්තාවක් නො නිල වශයෙන් මාධ්‍ය වෙත කාන්දු කිරීම වඩාත් කැපීපෙනෙයි.

කලින් පැවති කොංග‍්‍රස් ආන්ඩුව විසින් සකස්කරන ලද මෙම වාර්තාව, ඔරිස්සාවේ විනාශකාරී කැනීම් වලට සහ තමිල්නාඩුවේ කුන්දන්කුලම් හි සුනාමි තර්ජනය සහිත කලාපයක න්‍යෂ්ටික බලාගරයක් ඉදිකිරීමට විරුද්ධවීම මගින් ඉන්දීය ආර්ථිකයට හානි කරන බවට මධ්‍යම පාන්තිකයන්ගේ සහභාගිත්වයෙන් ක‍්‍රියාත්මක වන රාජ්‍ය නොවන සංවිධාන 22කට චෝදනා එල්ල කරයි.

ඔත්තු සේවා බියුරෝවට අනුව එවැනි විරෝධතා ඉන්දියාවේ වාර්ෂික ආර්ථික වර්ධනය සියයට 3කින් තරම් පහත දමා තිබේ.

ගී‍්‍රන්පීස් නම් පාරිසරික කන්ඩායම වෙනමම ගෙන විශේෂ විවේචනයකට ලක්කරන එම වාර්තාව, “බටහිර ජාතීන්ගේ මූලෝපයික උවමනාවන් වෙනුවෙන් සේවය කරනු පිනිස ඉන්දියාවේ ආර්ථික ව්‍යාපෘති වලට එරෙහිව න්‍යෂ්ටික විරෝධී උද්ඝෝශන සහ අනෙකුත් විරෝධතා සංවිධානය කිරීම” ගැන එයට චෝදනා එල්ල කරයි.

ආන්ඩුවේ තීරන වලට විදේශ මුදල් වලින් බලපෑම් ඇතිවීම වැලැක්වීම සඳහා මුලින් ඇතිකරන ලද නීතියක් වන විදේශ දායකත්ව (විධිවිධාන) පනත උල්ලංඝනය කිරීම පිලිබඳව වාර්තාව රාජ්‍ය නොවන සංවිධාන වලට චෝදනා කරයි. වාර්තාව එලියට පැමිනි සැනින් එය ඩැහැගත් ස්වදේශ අමාත්‍යාංශය ගී‍්‍රන්පීස් කන්ඩායමට ඔවුන්ගේ මවු සංගමයෙන් සහ විදේශ සහයෝගිතා කන්ඩායම් වලින් එවන අරමුදල් නිදහස් කිරීමට පෙර දැන් අමාත්‍යාංශයේ අනුමැතිය අවශ්‍ය බව බැංකු වලට දැනුම් දෙන ලෙස ඉන්දීය සංචිත බංකුවට [අයිආර්බී] අන කලේය.

මෙම සතිය අගදී ජෙයිට්ලි බීජේපී යේ පලමු අයවැය ලේඛනය ඉදිරිපත් කරනු ඇත. ප‍්‍රධාන ව්‍යූහාත්මක වෙනස්කම් කරනු ලබන්නේ ලබන වසරේ අයවැයෙන් බව ආන්ඩුව ඇඟවුම් කල නමුත් අය වැය හිඟය අඩුකිරීමට හා විශේෂයෙන්ම ඉන්ධන සහනාධාරය අහෝසි කිරීමට, සිය කැපවීම ද ආන්ඩුව පෙන්නුම්කර තිබේ.

එසේම ආන්ඩුව සියයට 15 සිට 20 දක්වා වන අගතිගාමී ජාතික භාන්ඩ සහ සේවා බද්දක් පැනවීමේ දිගු කලක් තිස්සේ වූ සැලසුම් ද ඉදිරියට ගන්නා බවට පොරොන්දු වූවේය.

මෑත වාර්තාවලට අනුව මෝඩි ආන්ඩුව, “වත්කම් විකිනුම්” වලින් පෙරනුවූ විරූ ඩොලර් බිලියන 11.7ක “ආදායමක්” එන වසර සඳහා ඉලක්ක කර ඇත. මෙය, කලින් පැවති කොන්ග‍්‍රස් ආන්ඩුව මාර්තුවේදී සභා ගත කල ඔවුන්ගේ 2014-15 “මැතිවරන පරිච්චේද” තාවකාලික අයවැයෙන් ඉදිරිපත් කල ඉලක්කය ඩොලර් බිලියන 2.2කින් පමන ඉහල දැමීමකි.

ආරක්ෂක ඇමති ලෙසද කි‍්‍රයා කරන මුදල් ඇමති ජෙයිට්ලි මිලිටරි වියදම් කැපී පෙනෙන පරිදි ඉහල දැමීමට ද ඉන්දියාවේ මිලිටරි ආම්පන්න සැපයුම් වේගවත් කිරීමට ද පොරොන්දුවිය. ඉන්දියාව දැනටමත් ලොව විශාලතම ආයුධ ආනයනකරුවා ය.

Share this article: