1954 දී ලසසප ලේකම් ලෙස්ලි ගුනවර්ධන සහ එස්ඩබ්ලිව්පී නායක ජේම්ස් පී. කැනන් අතර හුවමාරු වූ ලිපි

2014 අගෝස්තු 11

මේ සමග පල කෙරෙන්නේ පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයට ඇමරිකානු සමාජවාදී කම්කරු පක්ෂයේ නායකයා වූ ජේම්ස් පී. කැනන් ඉදිරිපත් කල විවෘත ලිපිය ප‍්‍රතික්ෂේප කරමින් එවක ලංකා සම සමාජ පක්ෂයේ ලේකම්ව සිටි ලෙස්ලි ගුනවර්ධන යැවූ ලිපිය හා ඊට පිලිතුරු වසයෙන් කැනන් විසින් එවන ලද ලිපිය යි.

එල්. ගුනවර්ධනගෙන් ජේම්ස් පී. කැනන්ට ලිපියක්, 1954 ජනවාරි 26

ප‍්‍රිය කැනන් සහෝදරය,

මම ඔබගේ දෙසැම්බර් 16 දින ලිපිය, දේශපාලන මන්ඩලය හා මධ්‍යම කාරක සභාව ඉදිරියේ තැබුවෙමි. මෙම පිලිතුර ඔවුන්ගේ උපදෙස් පරිදි ලියා ඇත.

ඔබගේ ලිපිය මෙහි ලඟාවීමටත් ප‍්‍රථම, නොවැම්බර් 16දා ද මිලිටන්ට් පත‍්‍රයේ පලවූ “සියලූ ට්‍රොට්ස්කිවාදීන්ට ලිපියක්” [විවෘත ලිපිය] පිලිබඳව යෝජනාවක්, මධ්‍යම කාරක සභාවේදී සම්මත කරනු ලැබිනි. එම යෝජනාවේ පිටපතක් මම මෙහි බහාලමි. එම යෝජනාව අප විසින් ජාත්‍යන්තර ලේකම් මන්ඩලය (ජාලේම) වෙත 1953 දෙසැම්බර් 22 දින යොමු කෙරුනි.

අතිශය ගැඹුරට විහිද යන කාරනා නොතිබෙන්නට එස්ඩබ්ලිව්පී (සමාජවාදී කම්කරු පක්ෂය) ජාතික කමිටුව ඒ සා බැරෑරුම් පියවරක් නොගනු ඇතැයි යන්න පිලිබඳව අපට කිසිදු සැකයක් නොතිබීම නිසා දීර්ග සාකච්ඡාවකින් හා ඉතා බලවත් සලකා බැලීමකින් පසුව පමනක්, මේ යෝජනාව අනුමත කල බව මම අවධාරනය කල යුතු වෙමි. එසේ වුවත්, ඔබගේ ලිපියෙහි ආලෝකයෙන් මෙම කාරනය පිලිබඳව තවදුරටත් සලකාබැලීමෙන් පසුව, අපගේ යෝජනාවේදී ගෙන ඇති ආස්ථානය වෙනස් කිරීමට කිසිදු හේතුවක් අපට නොපෙනේ.

හතරවන ජාත්‍යන්තරයේ ලෝක සමුලුවක් කැඳවීම පිනිස අන්තර්වාර කමිටුවක් පිහිටුවීමට ඇමරිකානු එක්සත් ජනපදය, බි‍්‍රතාන්‍ය හා ස්විස් (ශාඛාවල) බහුතරය ගෙන ඇති පියවර සමස්තයක් ලෙස අපගේ ව්‍යාපාරයටම විනාශකාරී එකක් විය හැකි බව ද අපගේ සාවධාන මතය යි. මෙම අන්තර්වාර කමිටුව විසින් නිකුත් කරන ලද ලියවිලිවල අර්ථය, ඔවුන් වෙනම හා ප‍්‍රතිවාදී ලෝක සමුලුවක් දෙසට පියවර ගනිමින් සිටින බව යයි අපට වැටහී තිබේ. මෙය සිදුවුවහොත් ඇතිවන ප‍්‍රතිවිපාක නොමිනිය හැකි තරම්ය. එය, ට්‍රොට්ස්කිවාදී ලෝක බලවේග, ලෝක ඉතිහාසයේ තීරනාත්මක කාල පරිච්ඡේදයක් තුල තීරනාත්මකව අකර්මන්‍ය කරනු ඇත.

කෙසේ වෙතත් අපි, මෙම කාරනා සම්බන්ධයෙන් අපගේ සාවධාන මතය, හුදෙක් ඔබ වෙත පලකිරීමෙන් පමනක් සෑහීමකට පත්වීමට බලාපොරොත්තු නොවෙමු. ඇතිව තිබෙන තත්වයම වුවත් ඒ සඳහා බරපතල වැඩිය. ඒමතු ද නොව, ඔබ හා ඔබගේ සහකරුවන් කෙරෙහි අප සැමවිටම පවත්වාගෙන ගොස් ඇති අපගේ දිගු කාලීන දැඩි ගෞරවය, ලෙන්ගතු සහයෝගිතාවය හා අපරිමිත සහෝදරත්වය මෙන්ම, එස්ඩබ්ලිව්පී ජාතික කමිටුව කෙරෙහි අපගේ සැලකිලිමත් හැඟීම මුලුමනින්ම යලි නොපැමිනියා නොවේ. දැන් අප හමුවේ ලඹ දෙමින් ඇති බව පෙනී යන, ලෝක ට්‍රොට්ස්කිවාදී බලවේග සදහටම බිඳ හෙලීම වැලැක්වීමේ අරමුන සඳහා පමනක් දායක වන්නේය යන විශ්වාසය, මෙම කරුනු පිලිබඳව කෙලින්ම ඔබ ඇමතීමට අප ඒත්තු ගැන්වීය.

පැනනැගී තිබෙන දේශපාලන ප‍්‍රශ්න පිලිබඳව අප තවමත් ආස්ථානයක් ගෙන නොමැත යන පදනම මත අපි ඔබ අමතන්නෙමු. මෙම ප‍්‍රශ්න සම්බන්ධයෙන් ආස්ථානයක් ගැනීමට පෙරාතුව, ප‍්‍රමානවත් තොරතුරු අප වෙත ලැබෙන තෙක් අප බලා සිටි අතර ඉන් පසුව පූර්න සාකච්ඡාවක් කිරීමට ද බලාපොරොත්තු වෙමු. එහෙත් අපි ඔබ අමතන්නේ, පවත්නා දේශපාලන මතභේද කොතරම් ගැඹුරු විය හැකි වුවත්, සියල්ලට පලමුව අපගේ ව්‍යාපාරය තුල ඒවා සලකා බැලීම හා එලඹෙන ලෝක සමුලුවේදී ඒවා සමග පොර බැදීම අවශ්‍යය යන පදනම ද මතය.

විධිමත් ලෙස තෝරා පත්කරගත් ජාත්‍යන්තරයේ ලෝක මධ්‍යස්ථානයේ අභිප‍්‍රායට ම ප‍්‍රසිද්ධියේ පහර දීම නතර කරන ලෙස මෙම අවස්ථාවේදී දී වුව අපි ඔබගෙන් ඉල්ලා සිටීන්නෙමු. නිල වශයෙන් සැලසුම් කර තිබෙන සමුලුවට ප‍්‍රතිවාදී හා සතුරු වෙනම සමුලුවක් පැවැත්වීම දෙසට යොමුවීමෙන් ඔවුන් වැලැක්වීමට උත්සුක වන අය දිරිමත් කිරීම සඳහා සෑම උත්සාහයක්ම හා ඔබ සතු සෑම බලපැමක්ම යොදාගන්නැයි ඉල්ලීමට ද අපට ඉඩ දෙන්න. නිල වශයෙන් සැලසුම් කල ලෝක සමුලුවේදී, අපගේ ව්‍යාපාරය තුල ඇති සියලු ප‍්‍රවනතාවන්ට හැකි තරම් දුරට පූර්න නියෝජනයක් සැලසීම සඳහා සහයෝගය දෙමින් එම සියලු ප‍්‍රවනතාවන්ට සිතාමතා හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරනයක් කරා එලඹීමේ දෘෂ්ටියෙන් සියලු ප‍්‍රශ්න පිලිබඳ සාකච්ඡාවකට එක්වීමට අවස්ථාව සලසන ලෙස ද තවදුරටත් ඔබගෙන් ඉල්ලීමට අපට අවසර දෙන්න.

විශේෂයෙන්ම, නිල වශයෙන් සැලසුම්කල සමුලුවට පැමිනෙන ලෙස ඇමරිකා එක්සත් ජනපද, බි‍්‍රතාන්‍ය හා ස්විට්සර්ලන්ත (ශාඛාවන්ගේ) බහුතරය හා අන්තර්වාර කමිටුව ගොඩනැගීමට සහාය දක්වන අනෙකුත් තැන්වල සිටින අය ඒත්තු ගන්වන ලෙසත්, එහිදී අරගලයට සම්බන්ධ කරගත හැකි පරිදි සියලු පාර්ශවයන් එම ප‍්‍රශ්න මුල්කරගෙන පූර්න මට්ටමේ අරගලයකට පෙලගැස්වීමට සමත් වාතාවරනයක් නිල ලෝක සමුලුව තුල නිර්මානය කරන ලෙසත් අපි ඉතා ඕනෑ කමින් ඔබගෙන් ඉල්ලා සිටින්නෙමු.

එකම ලෝක සමුලුවක් තුල, ලෝක ට්‍රොට්ස්කිවාදී සමස්ත බලවේගයන් නියෝජනය කරනු ඇති තත්වයක් සහතික කිරීම සඳහා, අපට මැදිහත් වියහැකි කුමන හෝ ආකාරයක් ඇත් නම්, ඒ වෙනුවෙන් අපගේ ද දායකත්වය පිරිනැමීමට කැමැත්තෙන්ම ඉදිරිපත්වන බව ද අපි ඊට එකතු කල යුත්තෙමු. ඒ සා දුෂ්කර තත්වයන් තුල ඒ සා දුරක් උරෙනුර පැහැර ගමන් ගෙන ඇති අයට, ට්‍රොට්ස්කිවාදය, එහි ක‍්‍රියාමාර්ගය, එහි අදහස් හා එහි සංවිධානයට, ලෝක පරිමානව විවෘත වී ඇති නව හා පෙර නොවූ විරූ අවස්ථාවන්හි මුලු මහත් වාසිය ගැනීමේ අටියෙන් උරෙනුර පැහැර දිගටම ගමන් ගැනීමේ අවස්ථාව සලසාදිය හැකි එකම මග, එකම ලෝක සමුලුවක් තුල, සාකච්ඡාව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරන ගැනීමට එක්ව සහභාගී වීම බව අපි විශ්වාස කරන්නෙමු. සමුලු තීරන කැමැත්තෙන්ම පිලිගැනීමේ පදනම මත පැමැනීමට කැමති සියලු ට්‍රොට්ස්කිවාදී ප‍්‍රවනතාවන්ට කොන්ග‍්‍රසය තුල නියෝජනය වීමට පහසුකම් සැලසිය හැකි බව ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ අලුත්ම සන්නිවේදනයන්ගෙන් අපට පෙනීගොස් තිබේ. මේ සම්බන්ධයෙන් ඔබගේ අදහස කුමක් දැයි දැන ගැනීමට කැමැත්තමු. එමෙන් ම, හතරවන ජාත්‍යන්තරයට අහිමිකර ගැනීමට නොහැකි, ව්‍යාපාරය බෙහෙවින් නයගැති, මෙතරම් කලක් ව්‍යාපාරය සහෝදරත්වයෙන් සලකන ලද සහෝදරවරු හා සංවිධාන, ලෝක සමුලුව තුලට ගෙන ඒම සඳහා අපට ද දායක විය හැකි කුමන ආකාරයක් හෝ තිබේ ද යන්න අපට පවසන්න.

ලංකා ශාඛාව ගැන ඔබ කරන විමසා බැලීමට පිලිතුරු වශයෙන් කිවයුත්තේ කැඞී ගිය කන්ඩායමට ජාත්‍යන්තර ලේකම් මන්ඩලය සමග සම්බන්ධතා ගැන ඔබට වැරදි තොරතුරු සපයා ඇතැයි අප කනස්සලු වන බවයි. ලා වෙරිටේහි පලවූ සමහර ප‍්‍රකාශයන්ට දුන් පිලිතුරක් ලෙස එම කාරනයට අදාලව අප විසින් නිකුත්කල ප‍්‍රකාශයක් මීට අමුනා ඇත.

අප දන්නා තරම් දුරට, ස්ටැලින්වාදයට පක්ෂ කන්ඩායම් පක්ෂයෙන් මුලුමනින්ම ඉවත්ව ගොස් තිබේ. (අපගේ) පක්ෂය දෘෂ්ටිමය හා සංවිධානාත්මක වශයෙන් අන් කවර කලෙකටත් වඩා එක්සත්ව සිටියි. එය යලි වතාවක් සටන් වැදීමට සූදානම්ව සිටියි. පක්ෂය බරපතලව අධ්‍යයනයට හා වැඩ කිරීමට හැරී සිටින අතර විවෘතව හෝ ආවෘතව පක්ෂ සාමාජිකත්වය තුල, ස්ටැලින්වාදයට පක්ෂපාති කිසිවක් ඉවසා දරා සිටීමේ තත්වයක් නොපවතියි. මෑතකදී එලිපිටම පිපිරී ගිය එම මතභේද මෙරට ස්ටැලින්වාදී කන්ඩායම් දෙකෙන්ම පැනනැගි මතභේද තුලින් ඇතිවූ භේදය හා කන්ඩායමික ගැටුම්, අප යලි අත්කරගත් ප‍්‍රකෘතියට රුකුලක් වී ඇත. ස්ටැලින්වාදයට එරෙහි සටනේ දුෂ්කරතා අප අව තක්සේරු නොකරන නමුත් ලංකාවේ මහජන ව්‍යාපාරයෙහි අඛන්ඩ නායකත්වය සඳහා අපගේ අරගලය තුල ඔවුන්ට එරෙහිව ජයග‍්‍රහනය ලබාගන්නා බව අපගේ විශ්වාසය බව විශ්වාසදායක ලෙස පැවසිය හැකියයි මම සිතමි.

ඔබගේ සහෝදර

ලෙස්ලි ගුනවර්ධන

ලේකම්

ජේම්ස් පී. කැනන්, එල්. ගුනවර්ධන වෙත යැවූ ලිපිය - 1954 පෙබරවාරි 23

ප්‍රිය ගුනවර්ධන සහෝදරය,

මෙය ලියන්නේ, අපේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ අර්බුදය පිලිබඳව සැලකිල්ල යොමු කරමින්, ජනවාරි 26 දින ඔබ විසින් එවන ලද ලිපියට පිලිතුරු වශයෙනි. එම ලිපිය, උක්ත අර්බුදයට විසඳුම් සෙවීමෙහි ලා සංවිධානාත්මක ක්‍රියා මාර්ගයන් තුල එස්ඩබ්ලිව්පීය සමඟ සහයෝගීව කටයුතු කිරීම සඳහා ඉදිරිපත් වීමක් ලෙස අපි සලකන්නෙමු.

අපට විමසා බැලිය හැකිතාක් දුරට, එබඳු සහයෝගයක් පවත්වාගෙන යාම සඳහා මනා පදනමක් සියලු ක්ෂේත්‍ර තුල පවතියි. ඔබේ පුවත්පත් අපි සාවධානව අධ්‍යයනය කරන්නෙමු. වඩාත්ම වැදගත් මූලධර්මාත්මක ගැටලුවල දී මෙන්ම, අද දවසේ වඩාත්ම වැදගත් සිදුවීම් සම්බන්ධ විශ්ලේෂනයේ දී හා දේශපාලන කටයුතු වලට ඒවා යෙදීම තුල ද, ඔබේ හා අපේ ගමන් මඟේ කිසිදු බැරෑරුම් වෙනස්කමක් අපි නොදකිමු. අධිරාජ්‍යවාදයට හා එහි යුද වැඩ පිලිවෙලට එරෙහිව කම්කරුවන්ගේ හා යටත් විජිත ජනතාවන්ගේ අරගලය සම්බන්ධයෙන් මෙන්ම, ස්ටැලින්වාදයට එරෙහි සංයුක්ත අරගලය හා ස්ටැලින්ගේ අභාවයෙන් පසු දිග හැරුනු සිදුවීම්වල සන්දර්භය තුල එහි උපායයන් පිලිබඳ විශ්ලේශනයේදී ද පක්ෂ දෙකම කථා කරන්නේ එකම භාෂාවකිනි.

දීර්ඝ කාලයකට ඉහත භාවිතයේදී ස්ථාපිත කෙරුනු, අපගේ ජාත්‍යන්තර ව්‍යාපාරයෙහි පොදු බාහිර ක්‍රියාකාරිත්වයන් වර්ධනය කිරීමෙහිලා පවතින, මේ දේශපාලන සහයෝගිතාව සැබැවින් ම අභ්‍යන්තර කටයුතු කරා ද පැතිරවිය යුතුව ඇත. ලංකා සමසමාජ පක්ෂය සිය 'පක්ෂ සාමාජිකත්වය තුල විවෘතව වේවා ආවෘතව වේවා ස්ටැලින්වාදයට පක්ෂපාතී වූ කවරයම් දෙයක් හෝ ඉවසා සිටීමේ මනෝභාවයක නොසිටින' බවට ඔබේ ලිපියෙහි කර ඇති ප්‍රකාශය අපි විශේෂයෙන් සැලකිල්ලට ගතිමු. මේ ආකල්පය, එස්ඩබ්ලිව්පී නායකත්වය සිය අභ්‍යන්තර කටයුතුවලදී දරන ආස්ථානය සමඟ මුලුමනින්ම සම්පාත වෙයි. එහෙත් අපට එතැනින් නතර විය නොහැකිය. ජාත්‍යන්තරවාදීන් වශයෙන් අපි, අනෙකුත් පක්ෂ තුල සහ පොදුවේ ජාත්‍යන්තර ව්‍යාපාරය තුල, ස්ටැලින්වාදී සහජීවනයේ විවෘත හෝ සංවෘත ප්‍රකාශනයන්ට එරෙහිව එම ආකල්පයම දැරීමට බැඳී සිටින්නෙමු.

ඇත්තෙන්ම මෙය, වත්මන් අර්බුදය තුල ජාත්‍යන්තරවාදය උර ගා බැලෙන උරගලයි.

මෙම මූලධර්මය අපේ ජාත්‍යන්තර ව්‍යාපාරය නිර්මානය වෙමින් පැවැති මුල් යුගයේ දී ට්‍රොට්ස්කි විසින් තහවුරු කරන ලද්දකි. එම දිනවල (1930 දෙසැම්බර් 22) උපදේශාත්මක ලිපියක ඔහු මෙසේ ලිවීය: "මාක්ස්වාදියෙකුට ජාත්‍යන්තරවාදය යනු, අන් සියල්ලටම පෙර, අනෙකුත් ශාඛාවන්ගේ ජීවිතයෙහි සෑම අංශයක් තුලම ක්‍රියාශීලීව සහභාගී වීමකි. පසුකාලයක ජාත්‍යන්තර සම්මේලනයක් කැඳවීමේ කිසියම් හෝ අර්ථයක් ඇත්තේ මෙම කොන්දේසි යටතේ පමනෙකි." මා මෙම උපුටනයන් ගෙන හැර දක්වන්නේ 'මූල පාඨයක්' ලෙස මෙන්ම අපේ ආස්ථානය පිලිබඳ පහත දැක්වෙන පැහැදිලි කිරීමට හැඳින්වීම ද ලෙසය.

******

වත්මන් අර්බුදය කරා වන යථාරූපී ප්‍රවිෂ්ටයක් සිය ආරම්භක ලක්ෂ්‍යය ලෙස ගත යුත්තේ, හතරවැනි ජාත්‍යන්තරය තව දුරටත් දේශපාලනිකව සමජාතීය සංවිධානයක් නොවන බව හඳුනා ගැනීමයි. කට්ටිවාදී අරගල පිලිබඳ ප්‍රශ්නය, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ජීවිතයත් මරනයත් පිලිබඳ ප්‍රශ්නය මුන ගස්වන මූලධර්මාත්මක ප්‍රශ්නයකි. අපේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ වර්තමාන අර්බුදයේ පත්ලේම පවතින්නේ, ස්ටැලින්වාදයේ ස්වභාවය හා පක්ෂය පිලිබඳ ලෙනින් - ට්‍රොට්ස්කි න්‍යාය සම්බන්ධයෙන් වන සම්මතධාරී ට්‍රොට්ස්කිවාදී විශ්ලේෂනය සංශෝධනය කිරීම සඳහා සහ එමඟින් ට්‍රොට්ස්කිවාදී පක්ෂවලටත්, සමස්තයක් ලෙස හතරවැනි ජාත්‍යන්තරයටත්, සිය ස්වාධීන පැවැත්ම සඳහා වූ ඓතිහාසික යුක්තියුක්ත භාවය මුලුමනින්ම අහිමි කර ලීම සඳහා දැරෙන ප්‍රයත්නයයි. දෙවැනි ගනයේ වුවත් මේ හා බැඳුනු අතිශය වැදගත් වූ සංවිධානාත්මක මූලධර්ම - හුදු පටිපාටිය නොව මූලධර්ම - පිලිබඳ විෂයයෝ ද වෙති.

අප මුහුන පා සිටින්නේ, මූලික න්‍යායයේ සිට දේශපාලන ක්‍රියාකාරිත්වය හා සංවිධානාත්මක භාවිතය දක්වා ද පැතිර පවත්නා සංශෝධනවාදී ප්‍රවනතාවකටය, යන කරුන මඟ හැර යා නොහැක. මෙම ප්‍රවනතාව අප විසින් උපකල්පිත හෝ නිමවන ලද එකක් නොවේ. අපි හුදෙක් යථාර්ථය හඳුනා ගන්නවා පමනි. මෙම යථාර්ථය අප ඒත්තු ගත්තේ, පැබ්ලෝ කන්ඩායමේ සංයුක්ත ක්‍රියාකාරිත්වයන් තුලින් මෙන් ම, එහි කෛරාටික න්‍යායික සූත්‍රකරනයන් හා න්‍යායික මඟහැරීම් තුලින් ද එය විද්‍යමාන වනු අප දැකගන්නා කල්හි පමනි. එම ප්‍රවනතාව මඟ පෙන්වන්නේ අපේ ව්‍යාපාරයේ විනාශය කරා විනා අනෙකකට නොවන බව අප දන්නා නිසාත්, අපේ පැත්තෙන් නිහඬව සිටීම වූ කලී අපේ ඉහලම වගකීම; එනම්, ජාත්‍යන්තර ව්‍යාපාරයට ඇති අපේ වගකීම පාවාදීමකැයි අප විශ්වාස කරන නිසාත්, අපි ඊට එරෙහිව යුද්ධ ප්‍රකාශ කොට ඇත්තෙමු.

එස්ඩබ්ලිව්පීය තුල ජාතික තලයේ සටන දැනටමත් අවසාන වී ඇති අතර සම්මතධාරී ට්‍රොට්ස්කිවාදයේ ජයග්‍රහනය නියතය. එස්ඩබ්ලිව්පීයේ පැවැත්මට තර්ජනය කල පැබ්ලෝ කන්ඩායම හුදෙකලා කොට, එය හේදයක පතුරක් බවට පිරිහෙලා ඇත. යථාර්ථයේ දී, මෙ රටෙහි තවමත් මූලාරම්භක අවස්ථාවේ පවතින්නාවූ, ෆැසිස්ට්වාදයක සුවිශේෂී ඇමරිකානු රූපාකාරය නියෝජනය කරන, දැඩි ප්‍රතිගාමිත්වයට එරෙහිව සිය උද්ඝෝෂන අරගල වර්ධනයෙහි ලා තිරසරව එක්සත් වූ පක්ෂ සාමාජිකයින්ගේ උත්කෘෂ්ඨ අධිෂ්ඨානයකින් යුතුව පක්ෂය පිමිවලින් ඉදිරියට ගමන් කරයි. අප තවදුරටත් පැබ්ලෝවාදයට එරෙහි අරගලයෙහි නිමග්න වන්නේ නම් ඒ, ජාතික ප්‍රතිෂ්ඨාවන් මත නොවේ. මක්නිසාදයත්, එබඳු ප්‍රතිෂ්ඨාවන් තවදුරටත් කිසිදු හදිසි අවශ්‍යතාවයක් නියෝජනය නොකරන නිසාය.

******

දෘෂ්ඨිමය අරගලය තුල අපගේ අවධානය මුලුමනින්ම පාහේ ජාත්‍යන්තර ක්ෂේත්‍රය කරා මාරු වී ඇත. අප දැන් සටන් වදින්නේ, මීට අවුරුදු 25කට ඉහතදී ට්‍රොට්ස්කි හා රුසියානු විපක්ෂය කරා යොමුවන විට අප භාරගත් ඉහලම කර්තව්‍යය හා වගකීම ඉටු කිරීම සඳහා ය. ඒ වූ කලී, අන් සියල්ලටම පලමුව හා සියල්ලට ඉහලින්, ජාත්‍යන්තර ප්‍රතිෂ්ඨාවන් පිහිටුවීමටත්, ජාත්‍යන්තර ව්‍යාපාරයේ හා අනුබද්ධ පක්ෂවල කටයුතු සම්බන්ධයෙන් සැලකිලිමත් වීමටත්, අපට හැකි සෑම ආකාරයකින් ම ඔවුන්ට උදව් කිරීමටත්, හොඳින් හිතාමතා ඇති කර ගත් අපේ නිගමනයන්හි අර්ථලාභය ඔවුන්ට ලබා දීමටත්, අනෙක් අතට, අපේ අභ්‍යන්තර ගැටලුවලට විසඳුම් සෙවීමෙහි ලා ඔවුන්ගේ උපදෙස් හා ගුරුහරුකම් ලබා ගැනීමටත් ඇති වගකීමයි. ජාත්‍යන්තරවාදයේ ප්‍රථම මූලධර්මය, ජාත්‍යන්තර සහයෝගිතාවයයි. අපි එය ට්‍රොට්ස්කිගෙන් උගත්තෙමු. ඒ පිලිබඳ විශ්වාසය තබන අපි, අපේ එම විශ්වාසය මත පිහිටා කටයුතු කරන්නෙමු.

නව සංශෝධනවාදයට එරෙහි අපේ ජාත්‍යන්තර අරගලය හුදු නායකත්වයේ හෝ නායකත්වයේ කිසියම් කොටසකගේ හෝ ශාස්ත්‍රීය කටයුත්තක් නොවේ. අප ගන්නා සෑම පියවරක් පිලිබඳවම නිරතුරුව පක්ෂය දැනුවත් කිරීම ද, එහි උපදෙස් ලබා ගැනීම ද සිදුකෙරේ. තවද සෑම ශාඛාවකම හා ප්‍රාදේශීය සංවිධානයක (ලෝකලයක)ම සමස්ත සාමාජිකත්වය එම සාකච්ඡාවට මුලුමනින්ම සම්බන්ධ වෙති. මෙම ජාත්‍යන්තර අරගලය තුල අපේ සාමාජිකත්වය, පන්ති අරගලයේ ක්‍රියාකාරිත්වය තුල අපේ සිද්ධාන්ත, අනාගත පරීක්ෂාවන්ට ලක් කිරීම සඳහා සූදානම් වීම් වස්, සිය දෘෂ්ටිවාදාත්මක ජීවිතයේ නව්‍ය පොහොසත් කාල පරිච්ඡේදයක් අත්දකිමින් සිටිති. පලමුකොටම, ප්‍රමුඛ වැදගත්කමකින් යුත් ජාත්‍යන්තර ප්‍රශ්න පිලිබඳ දෘෂ්ටිවාදාත්මක සංග්‍රාමයක ගිනි දැල් මධ්‍යයේ අප පක්ෂය නිර්මානය වී ද අද දින එබඳුම තීව්‍රතාවයකින් යුත් තවත් සංග්‍රාමයක් තුල එය යලි හැඩ ගැස්වෙමින් හා යලි උගැන්වෙමින් ද පවතී.

මෙරට පන්ති අරගලයේ මූලික විෂයයන් මත අප ගෙන ගිය උද්ඝෝෂන කටයුතු මධ්‍යයේ බඳවා ගනු ලැබූ පක්ෂයේ අලුත් තරුන කේඩරයෝ, ලොව පුරා සමචින්තකයන් සමඟ අපේ පක්ෂය එක්සත් කරන මහා විෂයයන්ට මුහුන දෙමින් සිටිති. මෙම තීව්‍රතර සාකච්ඡාව මධ්‍යයේ ඔවුහු, ජාතික අරගලයේ සරලම ප්‍රශ්න හමුවේ පක්ෂයේ පිලිවෙත හා එහි ලෝක වැඩ පිලිවෙල අතර ඇති වෙන් කල නොහැකි සම්බන්ධය උගෙන ගනිති. අනෙකුත් ජාතික ට්‍රොට්ස්කිවාදී පක්ෂවල සාමාජිකත්වය ද - හුදු ප්‍රධාන නිලධාරි මාන්ඩලිකයන් පමනක් නොව, සංවිධානයේ සමස්ත සාමාන්‍ය සාමාජිකත්වය - වත්මන් ජාත්‍යන්තර සාකච්ඡාව තුල එපරිද්දෙන්ම දැනුවත් කෙරෙතැයි ද, ඊට සහභාගී කර ගනිතැයි ද අපි උද්යෝගිමත්ව අපේක්ෂා කරමු. අපේ න්‍යායයේ සම්පුර්න අර්ථය යලි උගෙන තමා තුලට සමීකරනය කර ගැනීමට හා සිය න්‍යායය යලිත් වරක් අරගලය පිලිබඳ පරීක්ෂාව තුල සත්‍යෙක්ෂනය කල සැබෑ ට්‍රොට්ස්කිවාදීන් ලෙස එම අත්දැකීම් තුලින් හිස එසවීමට ඔවුන්ට හැකිවන්නේ ඒ ආකාරයෙන්ම පමනෙකි.

******

අපගේ 25වන සාංවත්සරික සාමාජික රැස්වීම පිලිබඳ ලිපියෙන් අපි, ලොව පුරා සියලු ට්‍රොට්ස්කිවාදීන් වෙත අපේ මතය පල කොට ඇත්තෙමු. එකී රැස්වීමේදීම සම්මත කෙරුනු 'ස්ටැලින්වාදයේ නැඟීම හා බැසීම' පිලිබඳ යෝජනා කෙටුම්පත සම්බන්ධයෙන් දැක්වූ විවේචන තුලින් ද මෙම ලේඛනයන්හි සටහන් කරන ලද මූලික ආස්ථානය විස්තාරනය හා සංයුක්ත කරමින් ලියූ ලිපි ගනනාවක් තුලින් ඉදිරියේදී ද තවදුරටත් එවන් මත එලි දැක්වෙනු ඇත.

ජාත්‍යන්තර තලයෙහි දී, ට්‍රොට්ස්කිවාදයේ පැරනිතමවූ ද වඩාත්ම පරික්ෂාවට බඳුන් වී ඇත්තාවූ ද කේඩරයන්හි අති බහුතරයක් සමඟ විවෘත අරගලයේ මාවත තුල දැනටමත් අප මූලික එකඟතාවයට පැමින ඇත. සමස්ත විෂය පථය අලලා දැන් යන්තමින් දිග හැරීමට පටන්ගෙන තිබෙන ඉදිරි සාකච්ඡා මධ්‍යයේ, සියලු සැබෑ ට්‍රොට්ස්කිවාදීන් සමඟ එකඟතාව ගොඩ නඟා ගැනීමට අපි අපේක්ෂා කරමු.

ජාත්‍යන්තර වශයෙන් අනුබද්ධ වීමේ නෛතික අයිතිය වූහිස් නීතිය විසින් අසුරා දැමුනු තතු තුල, ප්‍රන්ස බ්‍රිතාන්‍ය, ස්විස් හා නවසීලන්ත ශාඛා විසින් පිහිටුවන ලද හතරවෙනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට සංවිධානාත්මකව අනුබද්ධ වී නැති නමුදු, ජාත්‍යන්තර කමිටුව සමඟ පූර්න ඒකමතිකත්වයකින් හා එහි ප්‍රකාශිත අරමුනු කෙරේ පූර්න සහයෝගයකින් කටයුතු කරන අපි, ඒ අතරම, ස්වාභාවිකවම, මෙම කමිටුවට එහි ගමන් මඟ සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ඇති අයිතිය අප වෙත තබා ගනිමු.

අප වටහා ගෙන ඇති ආකාරයට, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව වූ කලී, ජාත්‍යන්තර ව්‍යාපාරය තුල ට්‍රොට්ස්කිවාදී පිලේ දේශපාලනික හා සංවිධානාත්මක මධ්‍යස්ථානයයි. මෙලෙස ගත් කල එය, ට්‍රොට්ස්කි විසින් ඔහුගේ කාලයේදී සංවිධානය කෙරුනු ජාත්‍යන්තර වාම විපාර්ශ්වය සමඟ කෘත්‍යයන් හා අරමුනු අතින් සමාකාර වේ. තවත් පැත්තකින් එය ඊට වෙනස් ය. ජාත්‍යන්තර වාම විරුද්ධ පක්ෂයට, කුඩා සුලුතරයක් ලෙස හිඳිමින් අරගල කිරීමට සිදුවූයේ සිය කේඩරයන් දැනටමත් පරිහානියේ ඉහල අදියරක පසුවූ සංවිධානයක් ප්‍රතිසංස්කරනය කිරීමට ය. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, මූලිකව ගත් කල සිය ප්‍රධාන කේඩරයන් ස්ථාවරව හා විප්ලවවාදීන් ලෙස සිටින්නා වූ ව්‍යාපාරයක් තුල වැඩ අරඹන්නේ, බලවේග අතර තථ්‍ය සම්බන්ධතා තම වාසියට පවත්නා තතු යටතේ ය. එහි ප්‍රකාශිත අරමුනු වන්නේ, සංවිධානයක් ඊට අවශ්‍ය නොවන 'ප්‍රතිසංස්කරනයකට' භාජනය කිරීම නොව, සිය පිලිගත් වැඩ පිලිවෙල යලි තහවුරු කිරීම හා සංවිධානයේ බලය කොල්ලකාගෙන සිටින ලේකම් මන්ඩල මෙවලමක් පරිපාලන ක්‍රියා මාර්ග මඟින් ඉවත් කර දැමීමයි.

පැබ්ලෝ හා ඔහුගේ පෞද්ගලික කවය, ජාතික ශාඛාවලින් නියෝජනය කෙරෙන ජීවමාන ව්‍යාපාරයට ඉහලින් හා ඒවායේ පාලනයෙන් පිටස්තරව සිටින ස්වතන්ත්‍ර, කිසිදු පාලනයකින් තොර හා ඉවත් කල නොහෙන දේහයක් බවට තමන් පත් කොට ගෙන සිටිති. සාමාන්‍යයෙන් එබඳු තන්ත්‍රයක් පිලිගත හැක්කේ, ස්වකීය වූ අත්දැකීම්වලින්, නිශ්චිත මතවාදයන්ගෙන්, ආත්ම විශ්වාසයෙන් හෝ සුදුසු නායකත්වයකින් තොර වූ ද 'ජාත්‍යන්තරය' යනු තථ්‍ය ජාතික පක්ෂවලට ආදේශයකැයි ගම්‍ය ලෙස සලකා ගන්නා, සියලු විශාල හා කුඩා සියලු දේ සඳහා පැරීසියේ උපදෙස් පතන්නාවූ ද ශාඛාවලට පමනෙකි. සවිමත් කේඩර හා ප්‍රජාතන්ත්‍රවාදීව පත් කොට ගත් ස්වකීයමයවූ චින්තන ශක්තියක් ඇති නායකත්වයක් සහිත, තමන් ජාත්‍යන්තර නායකත්වයේ අයිතිවාසිකම් හා වගකීම් බෙදා හදා ගන්නා, එහිම කොටසකැයි නිවැරදිව සලකා ගන්නාවූ ශාඛාවල ප්‍රතිරෝධයට එබඳු තන්ත්‍රයක් නිසැකවම මුහුන දෙනු ඇත. මෙය දැනටමත් සිදුවී ඇති අතර, පලමුවෙන් ප්‍රන්ස ශාඛාවේ ද, ඉනික්බිතිව ස්විස්, ඉංග්‍රීසි, නවසීලන්ත හා චීන ශාඛාවල ද ඊලඟට එස්ඩබ්ලිව්පීය තුල ද නිසැකවම සිදුවනු ඇත. කැනේඩියානු ශාඛාවේ විවෘත කැරැල්ල දැනට සිදුවෙමින් පවතී. අනෙක් ශාඛා එය අනුගමනය කරනු ඇත.

හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සංශෝධනවාදී කොල්ලකරුවන්ට එරෙහිව කැරැල්ල සංවිධානය කරයි. පිලිගත් මධ්‍යගත ප්‍රජාතන්ත්‍රවාදී නීතිරීතිවලට අනුව මෙම කමිටුවට සිය පැවැත්ම සඳහා ද, සිය ප්‍රකාශිත වැඩ පිලිවෙලෙහි චිරස්ථිතිය වෙනුවෙන් එය විසින් නායකත්වය දෙනු ලබන සාකච්ඡාවේ ගෙල සිර කිරීම අරමුනු කොට සැලසුම් කෙරුනු තර්ජන හා පලිගැනීම්වලින් තොරව සිය කටයුතු පවත්වා ගෙන යාම සඳහා ද අයිතියක් ඇත. සෑම බැරෑරුම් කන්ඩායම්වාදී අරගලයක් තුලම භේදයක අනතුර ගැබ් වී ඇති හෙයින්, ජාතික පක්ෂ තුල ඇති කන්ඩායම්වාදී සංවිධාන වූ කලී 'අසාමාන්‍ය' ප්‍රකාශනයන් ය. එහෙත් පිලියම, රෝගයට වඩා අතිශයින් නරක බැව් අතීතයේ අධික මිලක් ගෙවා ලද අත්දැකීම් තුලින් උගෙන ඇති අපේ ව්‍යාපාරය කිසි විටෙකත් කන්ඩායම් තහනම් කොට නැත.

පසුගිය මැයි මාසයේ පැවති සාමාජික රැස්වීමේ දී එස්ඩබ්ලිව්පීයේ බහුතර හා සුලුතර කන්ඩායම් තාවකාලික සමාදානයකට එලැඹි කල්හි පවා, සමුලු අභියෝජනාව නිශ්චිත ලෙස සඳහන් කලේ, සුලුතරය සිය කන්ඩායම පවත්වාගෙන යාමට බලාපොරොත්තුවන්නේ නම් ඊට එසේ කල හැකි බවයි. ජාතික පක්ෂ සඳහා මෙම අයිතිය පිලිගෙන ජාත්‍යන්තර පරිමානයේදී එය ප්‍රතික්ෂේප කිරීම අර්ථ විරහිතය. අපේ වර්තමාන ව්‍යාපාරයේ ප්‍රාරම්භක න්‍යෂ්ටිය වූ ජාත්‍යන්තර වාම විපාර්ශ්වය මෙන් ජාත්‍යන්තර කමිටුව ද, සිය පැවැත්ම හා කටයුතු තම අයිතියක් ලෙස සලකන අතර, මගේ මතයට අනුව එය එම අයිතිය කවර මූලාශ්‍රයකින් වුව එල්ල කෙරෙන කවර තර්ජන හෝ පලිගැනීම් හමුවේ වුව පාවා නොදිය යුතුය; පාවා නොදෙනු ඇත.

******

අපේ 25වන සාංවත්සරික පුන් සැසියේ විවෘත ලිපිය ප්‍රකාශයට පත් කිරීමත්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විධිමත් ලෙස පිහිටුවීමත් - හතරවැනි ජාත්‍යන්තරයේ චීන ශාඛාවේ ජාත්‍යන්තර නියෝජිත පෙන් සහෝදරයා විස්තර කල පරිදිම - 'අසාමාන්ය පියවර'යන් ලෙස හඳුන්වාදීමට මම එකඟ වෙමි. එහෙත් ඒවායේ නීති විරෝධී කිසිවක් නැත. පෙන් වැඩිදුරටත් පැවසූ පරිදිම, ඒවා අසාමාන්‍ය තත්වයක් විසින් අත්‍යවශ්‍ය බවට පත් කෙරුනු 'විප්ලවවාදී පියවර' ය.

මේ අසාමාන්‍ය තත්වය පහත දැක්වෙන කරුනෙන් සමන්විතය. (එය සියලු දෙනාගේම ඇස්වලට කෙලින්ම පහර දෙන හෙයින් කිසිසේත් ඉන් මඟ හැර යා නොහැකිය.) පෞද්ගලික ඒකාධිකාරයක් බවට පත් කොට ගෙන ඇති පැබ්ලෝගේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලය, හතරවැනි ජාත්‍යන්තරයේ වැඩපිලිවෙලෙන් හෝ එහි කිසියම් සම්මේලනයකින් හෝ අනුමත නොකෙරුනු ප්‍රතිපත්ති හා දේශපාලන ක්‍රියාමාර්ග මාලාවක්, බලගතුම ට්‍රොට්ස්කිවාදී කේඩරයන්හි අතිබහුතරයකගේ කැමැත්තට පිටින් හතරවැනි ජාත්‍යන්තරය මත පැටවීමට තැත් කොට ඇත. තවමත් තැත් කරමින් සිටියි. මෙම නො අනුදත් පිලිවෙත් ආරෝපනය කිරීමට ද තර්ජන, නෙරපා දැමීම්, බැහැර කිරීම් හා ස්ටැලින්වාදී ශික්ෂාවේ අනෙකුත් උපක්‍රම භාවිතාකරමින්, නිදහස් සාකච්ඡාවේ ගෙල සිර කර දැමීමට ද පැබ්ලෝ හා ඔහුගේ පෞද්ගලික කවය දැරූ ප්‍රයත්නය එක්කො යටත් වීම නැතිනම් සටන් වැදීම යන මග හැරිය නොහැකි විකල්පයන් සම්මතධාරී 'පැරනි ට්‍රොට්ස්කිවාදීන්,' හමුවේ මතු කර තිබේ.

එහෙත්, හරියටම ඔවුන් 'පැරනි ට්‍රොට්ස්කිවාදීන්' වන නිසාම, හරියටම ඔවුන් කිසියම් හා ඕනෑම තත්වයක් යටතේ වුව සිය 'පැරනි වැඩ පිලිවෙල' වෙනුවෙන් අභීතව පෙනී සිටින්නේ කෙසේදැයි යන්න හා එම වැඩපිලිවෙල තහනම් කිරීමට කිසිවෙකුට ඉඩ නොදෙන්නේ කෙසේද යන්න ට්‍රොට්ස්කිගේ පාසලෙන් උගෙන ඇති නිසාම, ඔවුහු සටන් කිරීමට තීරනය කොට සිටිති. අපේ මුලු ශක්තිය යොදා මේ සටනේ කොටස්කරුවන් වීම මඟින් අප සිදුකරන්නේ, අප දේශපාලනිකව ඇතිදැඩි වූ හා අධ්‍යාපනය ලද සම්ප්‍රදායට හුදු විශ්වාසවන්තව කටයුතු කිරීම පමනෙකි.

ඇතැම් ජාත්‍යන්තර සහෝදරවරුන්, මූලිකවම අපේ ව්‍යාපාරය වාත්තු කෙරුනු පැරනි අරගලයන්හි අත්දැකීම නොලද්දවුන්, කොල්ලකාරී සුලුතරයක් විසින් අනුග්‍රහ දැක්වෙන පරිද්දෙන්, සංවිධානය සුරුවමක් බවට හරවා වන්දනාමාන කිරීමේ උගුලක හිර වී සිටින බැව් අපි දනිමු. එහෙත් එස්ඩබ්ලිව්පීය අල්ලා ගැනීමට කොල්ලකරුවන් අසමත් වනු ඇත. පැරනි කොමින්ටර්නය තුල අපට එවැනි උගුලකින් ගැලවී ගැනීම සඳහා සටන් වදින්නට සිදුවූ අතර අපි ඒ ගැන හොඳින් දනිමු. අපේ ක්‍රියා පටිපාටියෙහි අරාජිකත්වය, අභිමතතාව හෝ සංවිධානාත්මක කටයුතුවලදී වගකීම් විරහිතභාවය සමඟ පොදු කිසිවක් හෝ නැත. සැබවින්ම පවතින්නේ එහි ප්‍රතිබද්ධයයි. සාමාන්‍ය සංවිධානාත්මක උපචාරයන් අල්පතරයක පාලනයට සේවය කිරීම සඳහා වෛශ්‍යා වෘත්තියේ යෙදවීම වලක්වනු වස්, වගකීමේ ඉහලම හැඟීමෙන් යුතුව අපට භාවිත කල හැකි සියල්ල යොදා ගනිමින් අපි සටන් කරන්නෙමු.

******

අපේ න්‍යාය හා භාවිතය තුල, සංවිධානාත්මක පිලිවෙත් කෙතෙක් වැදගත් වුව ද - එකී වැදගත්කම ඒවාට හිමි වන්නේමත් එම හේතුව මතය - ඒවා මූලධර්මාත්මක ආස්ථානයන් සහ දේශපාලන අරමුනුවලින් ගලා එන අතර එම ආස්ථාන හා අරමුනුවලට යටත් ව පවතී. දෙවැන්න එනම්, ආස්ථාන හා දේශපාලන අරමුනු පිලිබඳ එකඟතාවකින් තොරව, මුල් කාරනය එනම්, සංවිධානාත්මක පිලිවෙත් සම්බන්ධයෙන් ස්ථිරසාර සහයෝගයක් පිලිබඳව ගනන් බලාගෙන සිටීම අතිශය නිෂ්පල ක්‍රියාවකි. සත්තකින්ම දේශපාලන නො එකඟතාවයන් සැමවිටම හා අවශ්‍යයෙන්ම, සංවිධානාත්මක සම්මුතියකට ඇති ඉඩකඩ බැහැර නොකරයි. මතභේදයට තුඩු දුන් ගැටලු සම්බන්ධයෙන් සාමාජිකත්වයේ දැනුවත් සහභාගිත්වය සහිතව තීරනයකට එලඹීමට පෙරාතුව, එකී ගැටලු සාකච්ඡාවට බඳුන් වෙමින් පවත්නා අතරතුර, ව්‍යාපාරයේ සාමාන්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා එබඳු සම්මුතීන්ට එලඹිය හැක. කෙසේවෙතත්, අතීත අත්දැකීම් පෙන්වා දෙන පරිදි, එබඳු සංවිධානාත්මක සම්මුතීන්වල ඵලදායීතාවය හා එවැන්නකට ඇති ඉඩකඩ පවා සාමාන්‍යයෙන් නිර්නය කෙරෙන්නේ, වෙනස්කම් කෙතෙක් ගැඹුරුද යන කරුන මත හා දෙපාර්ශවයේම හොඳ හිත ද මතය.

එවැනි සම්මුතියක් සඳහා අත්‍යවශ්‍ය කොන්දේසි දැන් හතරවැනි ජාත්‍යන්තරය තුල පවතින්නේ ද? එසේත් නැතහොත්, අප ඒත්තු ගෙන ඇති පරිදි ඒවා නොපවතී නම්, සටන් වැදී සිටින පාර්ශ්වයන්ගෙන් කවර පැත්තක් හෝ ගන්නා බවට මෙතෙක් තීරනාත්මක ආස්ථානයකට එලඹ නොසිටින ඔබේ සංවිධානය වැනි වගකීම් සහගත සංවිධානයක මැදිහත්වීම මඟින් ඒවා පැනවිය හැකිද? මේ කාරනය සම්බන්ධයෙන් අප ඒත්තු ගැන්වීමට ඔබ සමත් වන්නේ නම් අප ඒ සඳහා විවෘතය. ඒ සම්බන්ධයෙන් සද්භාවයෙන් යුතුව ඉදිරිපත් කෙරෙන ඕනෑම යෝජනාවක් සලකා බැලීමට අප සුදානම් ය.

කෙසේවෙතත්, ආරම්භයේදී ම මෙය පැවසීමට මම බැඳී සිටිමි. මගේ මතය නම්, කරුනු යෙදී ඇති ආකාරයට අනුව ඔබේ වෑයම සඵලවීමට එතරම් අවස්ථාවක් නොපවතින බවයි. කොහොමටත්, තනි ක්‍රියාමාර්ගයක් මඟින් ක්ෂනික විසඳුමක් සොයා ගත හැකිය යන මිත්‍යාවක් කිසිසේත් පැවැතිය යුතු නැත. යථාර්ථය විසින් අපට බල කෙරෙනු ඇත්තේ, හතරවැනි ජාත්‍යන්තරය, දීර්ඝ සිද්ධීන් මාලාවක ප්‍රතිපලයක් ලෙස නියත භේදයක අද්දරට පැමින ඇති බවයි. යථාර්ථයෙන්ම දැන් අපට අපේක්ෂා කල හැකි උපරිමය වන්නේ, එම තතු ආපසු හරවන ක්‍රියා දාමයක් දියත් කල හැකිය යන්නයි. මේ මඟෙහි උපාමාරු යෙදීම්වලින් කිසිදු යහපතක් අත් නොවනු ඇත. එහෙත් පවත්නා තත්වයේ යථාර්ථයන්ට ගැලපෙන නිර්ව්‍යාජ යෝජනාවලට අපේ සහයෝගය අපේක්ෂා කල හැකිය.

කල් පමා වී ඇති මේ අවස්ථාවේ වුව, මෙම දිශාවට යෙදෙන අව්‍යාජ ප්‍රයත්නයක් දිරි ගැන්වීමට අපේ ඇති කැමැත්ත, අපගේ දේශපාලන ආස්ථානයන් සම්බන්ධයෙන් සම්මුතීන්ට එලැඹිය නොහැකිය යන්න පිලිබඳව ද, දැන් එහි ආරම්භයේ පවතින අත්‍යවශ්‍ය සාකච්ඡා කවරෙකුගේ හෝ කවර පරිපාලනමය තීන්දු මත හෝ කෙටියෙන් ගසා බසා දැමීමට, නැතහොත් ඒවා මැඩ පැවැත්වීමට නොහැකිය යන්න සම්බන්ධයෙන් ද වන ප්‍රත්‍යක්ෂ අවබෝධයත් සමඟ එක්ව ගත යුතුව ඇත. අවසානයේ සමුලුවක දී ගැනෙන තීන්දුව සාකච්ඡාවලින් අනතුරුව විනා ඊට පෙරාතුව ගත යුතු නොවේ.

******

වර්තමානයේ අප එය දකින අයුරින්, සංවිධානාත්මක දෘෂ්ටි කෝනයෙන් බැලූ කල තත්වය මෙසේය: දේශපාලන වැඩ පිලිවෙල හා ප්‍රතිපත්ති ද, එමෙන්ම සංවිධානාත්මක සංකල්ප හා කාර්ය පටිපාටීන් ද පිලිබඳ ගැටලු සම්බන්ධයෙන් උත්සුක වන කන්ඩායම් අරගලයක් ජාත්‍යන්තර ව්‍යාපාරය පුරා පූර්න ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම කන්ඩායම් අරගලය දැනටමත් හතරවැනි ජාත්‍යන්තරයේ ප්‍රන්ස හා බ්‍රිතාන්‍ය ශාඛාවන්හි හා එස්ඩබ්ලිව්පීයේ රූපික භේදවලට තුඩුදී ඇත. (ලසසපය තුල ඇතිව තිබෙන භේදය දැනට පසෙකින් තබමු. මේ සම්බන්ධයෙන් පසුව වෙනම අවධානය යොමු කෙරෙනු ඇත)

ඉහතින් සඳහන් කෙරුනු ජාතික සංවිධාන තුනෙහිදී ම සුලුතරය බවට පත් වූ පැබ්ලෝ කන්ඩායම, බහුතරයට සිය නෛතික අයිතීන් අහිමි කරනු වස් මෙම භේදයන් හිතාමතා ඇවිලවූ අතර, දැන් ඔවුන් හිතාමතාම එය ලෝක පරිමාන භේදයක් බවට පත් කිරීම සඳහා කටයුතු කරයි. එකී අරමුන ජය ගැනීම සඳහා මෙම කන්ඩායම, අත්තනෝමතිකව සාමාජිකත්වය අහෝසි කිරීම් හා නෙරපා හැරීම් සිදුකරන අතර සියලු විරුද්ධවාදීන් ඉවත් කිරීම මඟින් සුලුතර සම්මේලන නට්ටක දී ව්‍යාජ බහුතරයක් දිනා ගැනීමට ක්‍රියා කරමින් සිටී.

******

කෙසේවෙතත්, මෙම රූපික ජාත්‍යන්තර භේදය තවමත් මුලුමනින් පරිසමාප්තියට පත් වී නොමැති අතර, එය අප ගෙන එන්නේ, ඔබේ ලිපියේ ප්‍රධාන කරුන කරා ය. ඔබේ ලිපියේ දැක්වෙන පරිදි, 'ස්ථිරසාර බිඳීමක් ඇතිවීම වැලැක්වීමට' තවමත් යම් හෝ ඉඩකඩක් පවතී ද? එය, භේදයක් තබා එකිනෙකා අතර කිසියම් බැරෑරුම් ගැටුමකටවත් දේශපාලන පසුබිමක් හෝ කැමැත්තක් නැති ඔබේ පක්ෂය හා අපේ පක්ෂය මත පමනක් රඳා පවතින්නක් නොව පැබ්ලෝවාදීන් මත ද රඳා පවතින්නකි. අනෙක් අතට ඔවුන්ගේ ස්වභාවික නැඹුරුව යම්තාක් දුරකට ඉදිරි කාල පරිච්ඡේදය තුල ඔබේ පක්ෂය හා අනෙකුත් පක්ෂ විසින් ගනු ලැබෙන ආස්ථානයන් මත නියාමනය වීමට ඉඩ ඇත.

ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අභිලාෂයන් ‍කුමක් වුවත්, හතරවැනි ජාත්‍යන්තරය 'ආබාධිතකරන ' භේදයක් - එනම්, එහි කටයුතු මරනීය ලෙස කඩාකප්පල් කොට අවසානයේ එය විසුරුවා ලීමට හේතු සාධක වන භේදයක් - ඇති කිරීමට අවශ්‍ය කෙරෙන බලවේග ද සහයෝගය ද වර්තමානයේ දී පැබ්ලෝවාදී කන්ඩායම සතුව නැත. ඒ බව හඳුනා ගැනීමට යමෙකු විසින් කල යුත්තේ බලවේගවල පෙල ගැස්ම දෙස බැලීම පමනකි. බලවත්ම හා වඩාත් වැදගත් ශාඛාවල බහුතරයකින් තොරව පැවැත්වීමට ඔවුන් සැලසුම් කරන 'සතරවන සම්මේලනය' ව්‍යාජයක් බවට පත්වීමට නම නියම වී තිබෙන්නකි. මක්නිසාදයත්, මෙම 'නෙරපා හරින ලද' ශාඛා ජාත්‍යන්තර වශයෙන් මනාව සංවිධානය වූ හා සුපරික්ෂාකාරී ශාඛාවන් වන අතර ඒවා බිඳ විසුරුවා ලීමට හෝ මඟහැර යාමට නොහැකි හෙයිනි.

අරගලයේ මේ අවධියේදී එකිනෙකට වෙනස් පක්ෂ හා එකිනෙකට වෙනස් අය කෙරේ පැබ්ලෝ කන්ඩායම අනුගමනය කරන උපාමාරු දැමීමේ පිලිවෙතට හේතුවී ඇත්තේ නිසැකවම මේ අංශයෙහි දී තමන්ගේ දුබලතාවය පිලිබඳව ඔවුන්ට ඇති දැනුවත් කමයි. ඔවුන්ට එරෙහිව තිරසාර දේශපාලන ආස්ථානයක් ගත්තවුන් කෙරේ දැක්වෙන කුරිරු අවසාන නිවේදන නිකුත්කිරීමේ පිලිවෙතත්, ඊට සමගාමීව ම, මතභේදය තුල මෙතෙක් නිශ්චිත දේශපාලන ආස්ථානයක් ප්‍රකාශයට පත් නොකලවුන්ට දේශපාලනික හා සංවිධානාත්මක සහන හා සම්මුති පිරිනැමීමත් ගලා එන්නේ එයිනි.

ඔබේ පක්ෂය සම්බන්ධයෙන් දැක්වෙන මේ දෙබිඩි උපාමාරුවාදය, ඔබේ ලිපියේ ද සඳහන් කෙරෙන ඔබ වෙත එවූ ඔවුන්ගේ විශේෂ පනිවුඩයෙන් පෙන්නුම් කෙරෙයි. ඔබ මෙසේ ලියා ඇත: 'අයිඊසීය වෙතින් අප ලද අලුත්ම පනිවුඩයෙන් අපට පෙනී යන පරිදි, කැමැත්තෙන්ම සම්මේලනයේ තීරන පිලිගැනීමට සුදානම් සියලු ට්‍රොට්ස්කිවාදී ප්‍රවනතාවලට සම්මේලනය තුල නියෝජනය වීමට සැලැස්විය හැකිය.'

පලමුවෙන්ම කිව යුත්තේ, ඔබ වෙත ලබා දී ඇති මෙම සහතිකය පැබ්ලෝවාදී අයිඊසීය මෑතකදී පවත්වන්නට යෙදුනු සාමාජික රැස්වීම් පතුරක ප්‍රකාශිත තීරනවලට සපුරා පටහැනි බවයි. මෙම තීරන මඟින් ප්‍රන්ස, බ්‍රිතාන්‍ය, ස්විස් හා නවසීලන්ත ශාඛා හා ඔවුන්ගේ ප්‍රකාශයට එකඟතාව පල කල සියල්ලන් ද (දැන් චීන ශාඛාව මීට එක්වී ඇති අතර හෙට කැනඩාව ද එක්වනු ඇත) පමනක් නොව, අනාගතයේ ඊට එකඟතාව පල කරනු ඇති සියල්ලන් ද නිශ්චිතවම, යෝජිත සම්මේලන නට්ටට සහභාගිවීමෙන් වැලැක්වීමට කටයුතු කෙරේ. එතෙකුදු වුවත් එබඳු 'නෙරපා හරින ලද' ශාඛා හා අනාගතයේදී ඔවුන් සමඟ එකඟ වනු ඇති අයවලුන් යම්කිසි ආකාරයකින් නියෝජනය කෙරෙතැයි ඔවුන් ඔබට දී ඇති සහතිකය සැලකිය හැක්කේ ඔවුන්ගේ සැබෑ වැඩපිලිවෙල සඟවා ඔබ මුලා කිරීමට සැලසුම් කල කුටෝපායක් ලෙස පමනි.

******

ඔබ මෙසේ කියයි: 'එබැවින්, ව්‍යාපාරය විසින් ඒ සා දීර්ඝ කාලයක් ඉහලම සහෝදරත්වයෙන් පිලිගනු ලැබුවා වූ ද, ව්‍යාපාරය ඒ සා ගැඹුරින් නයගැතිව සිටින්නා වූ ද, අහිමි වීමෙන් හතරවැනි ජාත්‍යන්තරයට දැරිය නොහෙන අලාභයක් සිදුවන්නා වූ ද, සහෝදරවරුන් හා සංවිධාන ලෝක සම්මේලනය වෙත කැඳවා ගැනීමට කිසියම් ආකාරයකින් අපට දායක විය හැකිද එසේනම් ඒ කෙසේද යන්න පිලිබඳව ඔබට කියන්නට ඇති දේ ඔබෙන් අසන්නට අපට අවසර දෙන්න.'

පැබ්ලෝවාදීන් වෙතින් ඉදිරිපත් වන එබඳු විමසුමක්, ඔවුන්ගේ ක්‍රියා කලාපය සැලකිල්ලට ගත් කල්හි, හාස්‍යජනක නාඬගමක් ලෙස විනා අනෙකක් ලෙස නොසැලකිය හැකි නමුදු, - 'පැරනි ට්‍රොට්ස්කිවාදීන් අහිමිවීම' තරම් අන් කිසිවක් ඔවුන්ට අවශ්‍ය නොවේ - ඔබ මේ ප්‍රශ්නය අසන්නේ හොඳ හිතින් බවට අපට අල්පමාත්‍ර වූ හෝ සැකයක් නැත. එම ජීව ගුනයෙන් ම යුතුව මම ඊට පරිපුර්නවම ඍජු හා නොවක් පිලිතුරක් ලබා දෙන්නෙමි. දැන් බොහෝ සේ පමා වී ඇත. එහෙත්, මගේ මතයට අනුව, වෙන්වෙන් සම්මේලන පැවැත්වීමෙන් සංඥා කෙරෙන පරිදි නියත ජාත්‍යන්තර භේදයක් කරා යන ගමන යම් නිශ්චිත කොන්දේසි යටතේ නවතාලීමටත්, එකී නියත භේදය වැලැක්වීමට හෝ පමා කිරීමටත් අවකාශ පවතී.

ඔබේ යෝජනාව පිලිබඳ යථාරූපී සලකාබැලීමක් සඳහා ප්‍රථම පූර්වාවශ්‍යතාවය ලෙස පවතින්නේ, ප්‍රන්ස ශාඛාවෙන් ආරම්භ කොට, අව්‍යාජ ට්‍රොට්ස්කිවාදී පක්ෂවල සියලු නෙරපා හැරීම් අවලංගු කිරීම සහ එබඳු ක්‍රියා පටිපාටි අත්හිටුවීම ප්‍රකාශයට පත්කිරීම බව පැහැදිලි කරුනකි. මෙම නෙරපා හැරීම් විධිමත් ලෙස වාර්තාගත වී පවත්නා තාක්, නෙරපා හරින ලද පක්ෂ පැබ්ලෝවාදීන් සමඟ පොදු සම්මේලනයකට සහභාගී වෙත් ද නොවෙත් ද යන ප්‍රශ්නය සාකච්ඡා කිරීමේ පදනමක් පවා නොපවතී. ස්වභාවිකවම, මෙම අදාල පාර්ශ්වයෝ සිය 'නෙරපා හැරීම්' කෙරේ අවම හෝ තැකීමක් නොකරති. එමෙන්ම, මා විශ්වාස කරන පරිදි ඒ කිසිවෙක්, සිය සහභාගිත්වය කෙරෙහි පනවා ඇති විශේෂ කොන්දේසි සහිතව, (දී ඇති) වාචික ප්‍රතිඥාමත පිහිටා, වරදකරුවන් ලෙස කවර හෝ සම්මේලනයක පෙනී සිටීමට එකඟ වෙතැයි මම නොසිතමි.

මෙම පක්ෂවලට, තමා නෙරපා හැර ඇති හෝ කිසියම්ම අයුරකින් සිය අයිතිවාසිකම් උල්ලංඝනය කොට ඇති සංවිධානයක සම්මේලනයකට සාධනීය ලෙස සහභාගී විය නොහැක. කල් තබාම තමන්ට එරෙහිව කුටෝපායන් යොදා ඇත්තාවූ, එසේ නැතහොත් සිය සංවිධානවල ශක්තිය හා වැදගත්කමට අනුකූලව, සමාන අයිතිවාසිකම්වල හා පූර්න නියෝජනයේ පදනම මත විනා, අන් කවර හෝ පදනමක් මත කවර හෝ සම්මේලනයකට සහභාගී වීමට ගෙන එන කවර හෝ යෝජනාවක් බැරෑරුම් විප්ලවවාදීන් විසින් එක හෙලා ප්‍රතික්ෂේප කරනු ලැබෙතැයි යන්න එසේම, අමුතුවෙන් කිව යුතු නොවේ.

නීතිඥයකු ලෙස ද පැබ්ලෝගේ සම්මතධාරී කසකරුවා ලෙස ද වන සිය ධාරිතාව තුල ජර්මේන් (මැන්ඩෙල්) විසින් දැන් මහත් හඬින් පල කරන 'විශේෂ කොන්දේසි' යටතේ, නෙරපන ලද ශාඛා කල්තියාම 'සම්මේලනයේ තීරන පිලිගන්නා බවට' එකඟ විය යුතුයැයි කියනු ලබන දේ පදනම්ව ඇත්තේ, වත්මන් ගැටුම සම්බන්ධයෙන් ගත් කල හාස්‍යජනක ලෙස අනදාල වන ඓතිහාසික පූර්වාදර්ශයක් මතය.

ඇත්ත වශයෙන්ම 1940 දී අප, මෙම 'විශේෂ කොන්දේසි' පිලියෙල කලේ, හතරවැනි ජාත්‍යන්තරයෙන් බිඳී එහි ක්‍රියාමාර්ගය පාවා දුන් ෂැට්මන්වාදීන්ට හතරවැනි ජාත්‍යන්තරයේ හදිසි සමුලුවේ දොර වැසීම සඳහා ය. 1940 හදිසි සමුලුව කැඳවූයේ, සංවිධානය හා එහි වැඩ පිලිවෙල ආරක්ෂා කිරීමට බහුතරය විසින් ඒ වන විටත් රැගෙන තිබූ තීරනවලට විධිමත් අනුමැතියේ මුද්‍රාව තැබීමටය. සමුලුවේ තීරන සම්බන්ධයෙන් කිසිදු වගකීමක් නොදරන අතරම, ෂැට්මන්වාදීන්ට අවශ්‍ය වූයේ, තවත් සාකච්ඡා වටයක් සඳහා සංසදයක් ලෙස එය භාවිත කිරීමටය. 'විශේෂ කොන්දේසි' වූ කලී හුදෙක් මෙම සුපැහැදිලි උපාමාරුවට ලබා දුන් පිලිතුරක් විය.

ජාත්‍යන්තර කමිටුව යටතේ එක්සත් වූ ශාඛාවලට එම කොන්දේසිම පැනවීමට දැරෙන වත්මන් ප්‍රයත්නයට, මීට 14 වසරකට ඉහත දී එය මුලින්ම භාවිතා කිරීම සඳහා පෙලඹවූ සාධාරනීකරනයන් කිසිවක රැකවරනය නොලැබේ. නෙරපා දැමුනු ශාඛා පක්ෂ වැඩ පිලිවෙලට ද්‍රෝහී වී හෝ සංවිධානයෙන් බිඳී වෙන්වී හෝ නැත. සාකච්ඡා සඳහා සංසදයකට ප්‍රවිෂ්ට වීමට ඔවුහු උත්සාහ නොගනිති. ලෝක සම්මේලනයක් එම මට්ටමට පිරිහෙලීමේ ආශාවක් ද ඔවුන්ට නැත. තවමත් හතරවැනි ජාත්‍යන්තරයේ සාමාජිකයන් වන ඔවුහු සියලු තත්වයන් යටතේ දිගටම එසේ සිටිනු ඇත්තාහ. ඔවුන් සම්බන්ධයෙන් ගත් කල අවශ්‍ය වන්නේ තමන්ගේම සංවිධානයේ සම්මේලනයකට සහභාගී වීම සඳහා වන වරප්‍රසාදය විශේෂ කොන්දේසි ඈඳා දිග්ගැස්සීම නොව, හුදෙක් ඔවුන්ගේ අයිතිවාසිකම් ප්‍රතිස්ථාපනය කිරීමයි.

ස්වකීය සංවිධාන තුල ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් පසු බහුතරයක් විසින් අවංක ලෙස එලැඹෙන තීරනවලට ගරු කිරීමට සිය පාර්ශවයෙන් තමන් බැඳී සිටින බවට වන ස්වයං වැටහීමක් ට්‍රොට්ස්කිවාදීන් අතර සෑමවිටම පැවතුනි. එවැනි, තමා ම වටහා ගෙන සිටින බැඳීමකට අමතරව, ඔවුන් විශේෂ ප්‍රතිඥා ලබා දිය යුතුය යන ඉල්ලීම බොලඳ නිග්‍රහයක් ලෙස මෙන්ම, අපේ ව්‍යාපාරයේ භාවිතය හා ඉතිහාසය ප්‍රමානවත් ව ග්‍රහනය නොකල ඇතැම් සාමාජිකයන් මුලා කිරීම සඳහා සැලසුම් කෙරුනු බකපන්ඩිත උපාමාරුවක් ලෙස ද සලකා පසෙකට අතු ගා දැමිය යුතුය.

******

ජාත්‍යන්තරයේ ස්ථිර භේදයක් වැලැක්වීම සඳහා, හෝ අවම වශයෙන් එය ප්‍රමාද කිරීම සඳහා වන දෙවැනි පුර්වාවශ්‍යතාවය වනුයේ, සිය සම්මේලනය කලින් දිනයක පවත්වන බවට පැබ්ලෝ කන්ඩායම විසින් ප්‍රකාශිත තීරනය අවලංගු කිරීමයි. මෙය හුදු කන්ඩායමක සම්මේලනයක් පමනක් වනු ඇත. මේ අවස්ථාවේ කවර හෝ පාර්ශ්වයක් විසින් පවත්වනු ලැබෙන සම්මේලනයක් විසින් වුව ද සිදු කෙරෙනු ඇත්තේ, ජාත්‍යන්තර භේදය විධිමත් කිරීම පමනෙකි. මතභේදයේ සියලු විෂයයන් පැහැදිලි කරමින් ජාතික ශාඛාවන්හි සිදු කෙරෙන ප්‍රමානවත් සාකච්ඡාවකට හා සියලු ශාඛාවන් ඒ පිලිබඳ ව දැනුවත් තීන්දුවලට එලඹීමට පෙරාතුව පැවැත්වෙන ඒකාබද්ධ සම්මේලනයක් වුව ලබා දෙනු ඇත්තේ එම ප්‍රතිපලයම ය.

මා වටහා ගෙන ඇති අයුරින්, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව මේ තාක් දුරට සීමා වී ඇත්තේ ජාත්‍යන්තර සාකච්ඡාව වර්ධනය කිරීම සඳහා සම්මතධාරී ට්‍රොට්ස්කිවාදී කන්ඩායමේ බලවේග සංවිධානය කිරීමටය. එය තවමත් ජාත්‍යන්තර සම්මේලනයක් සැලසුම්කොට නොමැත; සාකච්ඡා පරිසමාප්තියකට පත්ව සියලු ශාඛා - හුදු නායක කමිටු පමනක් නොව සමස්ත සංවිධානම - මතභේදයට ලක් වී ඇති ප්‍රශ්න සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට හා සාකච්ඡා කිරීමට ප්‍රමානවත් කාලයක් හා අවස්ථාවක් ලබා සිය තීන්දු ගන්නා තුරු එය එසේ නොකරනු ඇතැයි මම විශ්වාස කරමි.

මීට පටහැනි ලෙස, පැබ්ලෝවාදී අයිඊසීය, ජාත්‍යන්තර විධායක කමිටුවට තේරී පත් වූ දස දෙනෙකු ද ඇතුලුව එහි සියලු විරුද්ධවාදීන් සියලු දෙනා බැහැර කිරීම සමගාමීව නිවේදනය කරමින්, 'හතරවැනි සම්මේලනය' පැවැත්වීමට දින නියම කොට ඇත. මෙම ක්‍රියාවන් හඳුනා ගත හැක්කේ, පලමුව ව්‍යාපාරය භේද කිරීමටත් ඉක්බිති ව ඊනියා සම්මේලනය මඟින් භේදය විධිමත් කිරීමටත් හිතාමතා සැලසුම් කෙරුනු ක්‍රියාකලාපයන් ලෙස විනා අන් අයුරකින් නොවේ. එබැවින්, ස්ථිර භේදය වැලැක්වීම හෝ අවම වශයෙන් එය ප්‍රමාද කිරීම හෝ සඳහා ඔබේ පලමු ඉල්ලීම විය යුත්තේ, පැබ්ලෝවාදී කන්ඩායමේ මෙම ප්‍රකාශිත සම්මේලනය කල් දැමීමයි. තමාගේ කොටස වශයෙන් එස්ඩබ්ලිව්පීය, විධිමත් සම්මේලනයකට එකඟ නොවන ලෙස හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවට දැනටම යෝජනා කොට ඇති අතර, යලිත් වරක් ඔවුන් එම යෝජනාව ඉදිරිපත් කරනු ඇත.

******

වර්තමාන තත්වය තුල ලෝක සම්මේලනයකට කිසියම් සැබෑ අර්ථයක් හා අනුගම්‍ය බලයක් පැවැතීමට නම්, එය සියලු ශාඛාවන්ට මතභේදාත්මක විෂයයන් පිලිබඳව හුරුපුරුදු වීමට, ඒවා සම්බන්ධයෙන් ආස්ථාන ගැනීමට හා සිය නියෝජිතයන්ට ඒ අනුව උපදෙස් දීමට අවස්ථාව සැලසෙන පරිද්දෙන් පැවැත්වෙන, නිදහස් හා ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවකින් පසු සාධාරන ලෙස සංවිධානය කල යුතුව ඇත. ලෝක සම්මේලනයක් යනු සංවිධාන නියෝජනය කරන, සිය සංවිධානවල අධිකාරය සහිතව තීරන ගැනීමට සුදානම්ව පැමින සිටින නියෝජිතයන්ගේ සමුලුවක් විය යුතුය.

එවැනි සාධාරන හා ප්‍රජාතන්ත්‍රවාදී සම්මේලනයක් සංවිධානය කිරීමෙහි ලා පැබ්ලෝගේ පෞද්ගලික ජාත්‍යන්තර ලේකම් මන්ඩලය හෝ සිය තේරී පත් වූ සාමාජිකත්වයෙන් සියයට හතලිහක් දැනටම බැහැර කොට ඇති ඔහුගේ අයිඊසී පතුර හෝ කෙරේ විශ්වාසය තැබිය හැකි ද? නැත. එය කිසිසේත් නොකල හැක්කකි. එබඳු විශ්වාසයක් තැබීම පිලිබඳව නෙරපා හරින ලද ශාඛාවලට යෝජනා කිරීම යථාරූපී නොවේ. ඉදින් පැබ්ලෝවාදීහු මුලින්ම ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධානය වීමේ අතිමූලික නීතීන් උල්ලංඝනය නොකලෝ නම්, පක්ෂ ගනනාවක අද දින කිසිදු භේදයක් නොපවතිනු ඇති අතර, ජාත්‍යන්තර භේදයක් පිලිබඳ කිසිදු කථාවක් හෝ දැක්මක් නොපැවැතිය හැකි වනු ඇත. නෙරපා හැරුනු ශාඛාවලට නිසැකවම යම් සහතික කිරීම් අවශ්‍ය වනු ඇත.

මගේ අදහසට අනුව, ජාත්‍යන්තර කමිටුව තුල එක්සත් වූ ට්‍රොට්ස්කිවාදී කන්ඩායම පොදු සම්මේලනයක් සඳහා වන යෝජනා හුදු උපාමාරුවක් ලෙස නොව බැරෑරුම් ව්‍යාපෘතියක් ලෙස සලකනු ඇත්තේ, පැබ්ලෝ කන්ඩායම පැත්තෙන් එහි සංවිධානාත්මක ප්‍රතිපත්තියේ පෙරලිකාරී වෙනසක් සිදු වී ඇති බවට සැලකිය යුතු සාක්ෂ්‍ය ඉදිරිපත් වුවහොත් පමනි. එබඳු වෙනසක් ගැන හුදෙක් කථා කිරීම මඟින් කිසිදු යහපතක් සිදු වනු නැත. ඉහතදී යෝජනා කෙරුනු පරිදි, සැබෑ පරික්ෂාව වන්නේ ක්‍රියාවයි. යම් සහතිකවීම් අවශ්‍ය වනු ඇති අතර, සියලු ප්‍රශ්න පැන නැංවුනු මුදුනෙන්ම එම සහතිකවීම් ද ආරම්භ විය යුතුව ඇත. මුදුනෙහි ඇති පටලැවිල්ල ලිහෙන්නට පටන් ගතහොත් සහ පටන් ගත් කල්හි, පතුලේ අවුල ක්‍රමයෙන් නිරාකරනය වීම ස්වාභාවිකවම ඒ පසුපසින් එනු ඇත.

යමෙකු විහිලුවට භාජනය නොකල යුතු ඇතැම් දේ ඇත. හතරවැනි ජාත්‍යන්තරයේ ලෝක සම්මේලනයක් යනු උපාමාරුවලට යොදාගැනීමට අනුචිත තරමේ ඉහල බැරෑරුම්කමකින් යුතු කටයුත්තකි. අප එය හඳුනා ගතහොත් හා සම්මේලනය ඊට උචිත බැරෑරුම්කමින් හා වගකීමෙන් යුතුව සලකා බැලුවහොත් තවත් සම්මේලනයක් සඳහා සුදුසු කාලය තවමත් උදා වී නැති බැව් අප විසින් නියත වශයෙන් හඳුනා ගැනෙනු ඇත. ප්‍රාතිහාර්ය දැක්වීම සඳහා වූ සූත්‍රයක් නිපදවීමට කිසිවෙකුට නොහැකිය. ඒ සඳහා වූ කොන්දේසි සූදානම් වී තිබීමට පෙරාතුව, කල් තබා පැවැත්වෙන සම්මේලනයක් විසින් දැක්වෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන ප්‍රාතිහාර්ය මත බලාපොරොත්තු රැඳවීම මඟ පෙන්වනු ඇත්තේ, මායාබන්ධනයට පමනෙකි. මෙය ඔබට අවංකව පැවසීම මගේ වගකීමකැයි සිතමි. v

'ලෝක ට්‍රොට්ස්කිවාදයේ සමස්ත බලකාය නියෝජනය වන්නාවූ තනි ලෝක සම්මේලනයක් තහවුරු කිරීමෙහිලා අපගේ මැදහත් සමථ සේවය කිසියම් ආකාරයකින් හෝ ආධාරකාරී වේ නම්, ඒ වෙනුවෙන් ඉදිරිපත් වීමට අප ඉතා සතුටින් සිටින බැව් ද එක් කිරීමට කැමැත්තෙමු' යැයි ඔබ පවසන විට ඔබේ අවංකකම හා සද්භාවය පිලිබඳව කිසිවෙකු සැක පහල නොකරනු ඇත. ඒ සඳහා වන කොන්දේසි මුලුමනින්ම කලින් සූදානම් කිරීමෙන් පසු, එක්සත් සම්මේලනයක් සඳහා සුදුසු කාලය එලැඹුනහොත් හා එසේ එලැඹුනු කල්හි එහි නියෝජනය, ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය හා ආනුෂංගිකව එහි තීරනවල අධිකාරය සහතික කිරීමෙහි ලා ඔබේ මැදහත් සමථ සේවය නිසැකවම වැදගත් සාධකයක් විය හැකිය.

******

කෙසේවෙතත්, සම්මේලනය පිලිබඳ ප්‍රශ්නය වර්තමානයේ මධ්‍ය ගැටලුව ලෙස පෙරමුනට ගෙන ඒමෙන් ද, වත්මන් කොන්දේසි යටතේ හා අරගලයේ වත්මන් අවධියේ දී සම්මේලනයකට දිය හැකි දේට වඩා වැඩි යමක් ඉන් අපේක්ෂා කිරීමෙන්ද ඔබ වරදක් කරන්නෙහිය. මේ අවස්ථාවේ පවත්වනු ලබන සම්මේලනයක විභවයන් පිලිබඳව ඔබේ අතිශයෝක්තිගත තක්සේරුව පහත දැක්වෙන අයුරින් ඔබේ ලිපිය තුල ප්‍රකාශයට පත්වේ: 'නවසීලන්ත, බ්‍රිතාන්‍ය හා ස්විස් බහුතරයන් ද, අන් කවර ස්ථානයක සිට වුව තාවකාලික කමිටුවේ කටයුතු තුල ඔවුන් සමඟ එක්ව කටයුතු කරන අයවලුන් ද නිල වශයෙන් සැලසුම් කෙරී ඇති සමුලුවට පැමිනීමටත්, නිල ලෝක සම්මේලනයක දී සිදු කල හැකි වන පරිද්දෙන් මෙම විෂයයන් පිලිබඳව සියලු පාර්ශ්වයන් සිය මුලු බලය යොදා පෙල ගැසී ගත් පූර්න පරිමාන සටනක් ඇතිවීමට අවකාශ සලසමින් ඒ තුල දී සටන් වැදීමටත් ඒත්තු ගන්වා ගැනීමට කටයුතු කරන මෙන් ඔබට ඉතා ඕනෑකමින් ආයාචනය කිරීමට විශේෂයෙන්ම අපට අවසර දෙන්න.'

සැලසුම්කල සම්මේලනය ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නියෝජනය වන්නා වූ ආයතනයක් විය හැකිය යන්න පිලිබඳව සාධාරන සහතිකයක් ලබා දෙන පරිදි, ප්‍රාරම්භක කොන්දේසි තහවුරු කොට ඇත්නම් හා එසේ කල කල්හි, එස්ඩබ්ලිව්පීය නිසැකව ම ඔබ යෝජනා කරන අයුරින් කටයුතු කරනු ඇත. එහෙත් සම්මේලනයක මූලික කර්තව්‍යය වනු ඇත්තේ, සහභාගී වන සංවිධාන විසින් සම්පූර්න තොරතුරු හා ප්‍රමානවත් සාකච්ඡාවේ පදනම මත දැනටම ගනු ලැබ ඇති තීන්දුවලට විධිමත් අනුමැතියේ නිල මුද්‍රාව තැබීමයි. ඉතා හොඳින් සූදානම් කෙරුනු හා ප්‍රජාතන්ත්‍රවාදීව සංවිධානය වූ සම්මේලනයකට පවා මීට වඩා යමක් දිය හැකි නොවේ. එබඳු සම්මේලනයක් සඳහා වන මෙම ප්‍රාරම්භක කොන්දේසි මෙතෙක් තහවුරු කොට නොමැති හෙයින් - ඔබ විසින් ඔබේ අභිප්‍රාය දක්වනු ලැබ ඇති අයුරින් -'අප ඉදිරියේ දැන් ලඹ දෙමින් තිබෙන බවක් පෙනී යන ලෝක ට්‍රොට්ස්කිවාදී බලවේගවල ස්ථාවර භේදයක් ඇතිවීම වැලැක්වීමේ අරමුනට සේවය කිරීම' සඳහා සැලසුම් කෙරුනු කවර හෝ බැරෑරුම් වැඩ පිලිවෙලක්, ආරම්භ විය යුත්තේ සම්මේලනය කල් දැමීම සඳහා වන ඉල්ලීමෙනි.

හතරවැනි ජාත්‍යන්තරයේ ගැටුම සැලසුම්කල කවර හෝ සම්මේලනයක සිදු කෙරෙන වාද විවාද මඟින් විසඳෙනු නැත. එය එසේ විසඳනු නොහැකිය. එය විසඳෙනු ඇත්තේ ජාතික ශාඛාවල සාමාජිකත්වය අදාල කාරනා පූර්න ලෙස සාකච්ඡා කිරීමෙන් හා ඔවුන් ඒ පිලිබඳ සිය අදහස් සකසා ගැනීමෙන් අනතුරුව ඔවුන් විසින් ගනු ලැබෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියා මාර්ග මඟිනි. පලමුකොටම හතරවැනි ජාත්‍යන්තරය නිර්මානය වූයේ ඒ අයුරිනි. මේ වතාවේදී යලිත් වරක් එය ප්‍රතිනිර්මානය වී නැඟී සිටිනු ඇත්තේ ද ඒ අයුරින්මය.

******

මෑත වසරවලදී හතරවැනි ජාත්‍යන්තරයේ පැබ්ලෝ තන්ත්‍රය, සම්මේලන හා කමිටුවල බලතල හා ශක්‍යතාවයන් පිලිබඳව, අපේ ව්‍යාපාරයේ දීර්ඝ සම්ප්‍රදාය තුලින් කිසිදු අනුදැනුමක් නොලබන අර්චනකාමී සංකල්පයක් අනවරතව වගාදිගා කොට ඇත්තාහ. හතරවැනි ජාත්‍යන්තරය යනු සම්මේලනයක් හෝ ජාත්‍යන්තර විධායක කමිටුවක් (අයිඊසී) හෝ නොවේ. ඒ තරමටවත් එය ජාත්‍යන්තර ලේකම් මන්ඩලය (අයිඑස්) නමින් හඳුන්වනු ලැබෙන අයිඊසීහි උප කමිටුවක් හෝ අයිඑස් බියුරෝව නමින් හඳුන්වනු ලැබෙන අයිඑස්හි උප කමිටුවක් හෝ වන්නේ නැත. කාරනය කෙලින්ම එහෙත් වඩා නිරවද්‍ය ලෙස පවසන්නේ නම්, මේ කිසිදු මඬුල්ලකට ව්‍යාපාරයේ නියෝජිත මඬුලු ලෙස විනා වෙනත් කිසිදු ආකාරයක සැබෑ වැදගත්කමක් නොපවතී. මෙම නියෝජනාත්මක ස්වභාවය ලබා ගැනීමට ඒවා අසමත් වූ කල, නැතහොත් ඒ හෝ මේ හේතු මත එය අහිමිව ගිය කල, සිය බලතල හා ව්‍යාපාරයේ නමින් කථා කිරීමේ හා ක්‍රියා කිරීමේ අයිතිය ඊට අහිමි වේ. පැබ්ලෝවාදී කමිටුව හරියටම මේ මොහොතේ පත්ව ඇති තත්ත්වය එයයි.

එසේ එක එල්ලේ ප්‍රකාශයට පත් කෙරුනු සංකල්ප, අමුතු 'ඇමරිකානු මිත්‍යා දෘෂ්ටියක්' ලෙස සමච්චලයට භාජනය වී ඇති බව මම හොඳින් ම දනිමි. එහෙත් එහි මිත්‍යා දෘෂ්ටික වූ කිසිවක් ඇත්තේ නැත. හතරවැනි ජාත්‍යන්තරය එහි ආරම්භයේ සිටම ගොඩනැඟුනේ හරියටම මෙම සංකල්ප වටාය. ඒවායින් වෙන්ව යාමට ප්‍රයත්න දැරූ සෑම අවස්ථාවකදීම, ඒවාට ට්‍රොට්ස්කිම දරදඬු ලෙස ප්‍රතික්ෂේප කිරීම සමඟ පොර බැදීමට සිදු විය. තනි තනි පුද්ගලයන් සමූහයකට සම්මේලනයක් තුල රැස් වී සියල්ල බේරුම් කර ගත හැකිය යන අදහසත් සමඟ ඔහුට කිසිදු ගනුදෙනුවක් නොතිබුනි.

විප්ලවවාදී ජාත්‍යන්තරවාදයේ සැබෑ අර්ථය පිලිබඳව අප දන්නා සියල්ල හැදෑරීමත්, යලි-හැදෑරීමත් සිදු කෙරුනේ ට්‍රොට්ස්කිගේ ගුරුකුලය තුලය. මෙම ඉගැන්වීම් කරා තවත් වරක් පෙරලා පැමිනීම අත්‍යවශ්‍යය. අප ඊට සතුටු වුවත් නැතත්, හතරවැනි ජාත්‍යන්තරය ප්‍රතිසංවිධානයවීමේ අර්බුදයක් මැදින් ගමන් කරමින් සිටී. සුක්කානම හැසිරවීමට මුලධර්මයක් අපට අවශ්‍යය.

******

විධිමත් ජාත්‍යන්තර සංවිධානය, කමිටු ආදියේ වැදගත්කම අවතක්සේරු කලේයැයි ට්‍රොට්ස්කිට සාධාරන චෝදනාවක් නැඟීමට කිසිවෙකුට නොහැක. 1929 සිට 1933 දක්වාවූ ඔහුගේ අවසාන පිටුවාහලේ මුල් සිව් වසර තුල දී වාම විපක්ෂයට ජාත්‍යන්තර පරිමාන නිශ්චිත සංවිධානාත්මක ආකෘතියක් ලබා දීමට ඔහු අඛන්ඩව අරගල කලේය. 1933 දී ජර්මනිය තුල ස්ටැලින්වාදී පාවාදීමේ සිට ඔහුගේ සමස්ත දේශපාලන ක්‍රියාකාරිත්වය යොමු කෙරුනේ හතරවැනි ජාත්‍යන්තරය සංස්ථාපනය කිරීම දෙසටය.

එහෙත් ඒ එකදු අවස්ථාවකදීවත් ඔහු ජාත්‍යන්තර සම්මේලන හෝ සම්මන්ත්‍රනවලින් වැඩ ඇරඹුවේ නැත. ඔහු වැඩ ආරම්භ කලේ එවැනි රැස්වීම් සඳහා කල්තබා සූදානම්වීමේ කටයුතුවලිනි. අවසානයේදී රැස් වනවිට ඔවුන්, නිදහස් සාකච්ඡා තුලින් කල් තබා එලැඹී තිබුනු න්‍යායික හා දේශපාලනික ආස්ථානයන් මත එක්සත් වූ සැබෑ සංවිධානයක් තථ්‍ය ලෙස නියෝජනය කෙරෙනු පිනිසය ඒ. ව්‍යාපාරය සංවිධානාත්මක ලෙස එක්සත් කිරීම මඟින් ඊට පෙර, එතෙක් නොවිසඳී පැවැති ප්‍රශ්න විසඳා ගැනීමට සම්මේලන අර්චනකාමීන් (fetishists) විසින් ගෙන එනු ලැබූ යෝජනාවලින් ඔහු නිරතුරුවම හිරිහැරයට පාත්‍ර විය. එබඳු යෝජනා සමඟ ඔහුට කිසිදු ගනුදෙනුවක් නොතිබිනි.

තවදුරටත්, අද දින අපේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ පැන නැඟී ඇති පරිදිම, ජාත්‍යන්තර වාම විපක්ෂයේ අනුගාමිකයන් අතර බැරෑරුම් මතභේද පැන නැඟුනු කල්හි ඔහුගේ ප්‍රථම ප්‍රතික්‍රියාව වූයේ වියවුල පිලිබඳ එහිදී තීරනයක් ගැනීමට සම්මේලනයක් හෝ සම්මන්ත්‍රනයක් කඩිමුඩියේ කැඳවීම නොව එහි සම්පුර්න ප්‍රතිවිරුද්ධයයි. ඔහුගේ තිර ප්‍රතිචාරය වූයේ, මතභේද පැහැදිලි කෙරී, පූර්ව සාකච්ඡාවක දී බලවේග තෝරා ගැනීමක් සිදුවන තුරු, ඒ වනවිට සැලසුම් කර ඇති සම්මේලනයක් පවා කල්දමන ලෙස ඉල්ලා සිටීමයි.

ඉතිහාසය තුල එක් වරකට වඩා සිදුවී ඇති පරිදි, තෝරා පත්කර ගැනුනු කමිටු තමන් පත් කලවුන් නියෝජනය කිරීමට අසමත් වූ හා තෝරා ගැනීමේදී ඔවුන් විසින් ආරක්ෂා කලයුතුයැයි අපේක්ෂිත වැඩ පිලිවෙලින් බැහැර වූ අවස්ථා පැන නැඟුනු කල්හි, එවන් මඬුලු, නියෝජනාත්මක ස්වභාවය ගත් වෙනත් මන්ඩල මඟින් ප්‍රතිස්ථාපනය සඳහා ඔහු එ විගසින් ඉල්ලා සිටියේය. මුල් දිනවලදී ජාත්‍යන්තර ලේකම් මන්ඩලය අවම වශයෙන් දුසිම් භාගයකට වඩා වැඩි අවස්ථා ගනනාවක් ප්‍රතිසංවිධානය විය. 1940 දී ජාත්‍යන්තර විධායක කමිටුව සම්බන්ධයෙන් ද කටයුතු කෙරුනේ එලෙසමය.

එස්ඩබ්ලිව්පීය තුල 1940 අරගලයේ දී බර්න්හැම් - ෂැට්මන් සුලුතරය, එසමයේ නිව්යෝර්ක්හි පිහිටුවා තුබූ, හතරවැනි ජාත්‍යන්තරයේ නේවාසික ජාත්‍යන්තර විධායක කමිටුවේ බහුතරයකගේ සහාය ලද බව ඇතැම්විට ජාත්‍යන්තරය තුල වැඩි දෙනා නොදන්නා කරුනක් විය හැක. (මේ වූරිස් නීතිය සම්මතවීමට ඉහත කාලයයි) 1938 ආරම්භක සම්මේලනයේ දී එස්ඩබ්ලිව්පීයේ නියෝජිතයන් ලෙස තේරී පත්වූ බර්න්හැම් හා ෂැට්මන් ද පිලිවෙලින් බ්‍රිතාන්‍ය හා බ්‍රසීලියානු ශාඛා නියෝජනය කල ජොන්සන් හා ලේබ්රන් ද එක් වූ කල, බහුතරය ඔවුන් සතු විය. තමන් තෝරා පත් කර ගැනුනු ආරම්භක සම්මේලනයේ වැඩ පිලිවෙල තමන් විසින් අත හැර දමනු ලැබ ඇති බවත්, තවදුරටත් තමන් බහුතරයේ මතය නියෝජනය නොකරන බවත් නොතකා මේ මහත්වරු ද 'ව්‍යවස්ථා' පිලිබඳව සඳහන් කරමින් තමන් ඉවත් කල නොහැකි බව ප්‍රකාශ කලහ. හතරවැනි ජාත්‍යන්තරයේ නමින් කථා කිරීමට ඇති විධිමත් අයිතියට ඔවුහු උරුමකම් කියා සිටියෝය. එහෙත් ට්‍රොට්ස්කි වේවා එස්ඩබ්ලිව්පීය වේවා මෙම කියාපෑම් ඉවසා දරා සිටීමට සූදානම් වූයේ නැත.

නිසැකවම ඔවුන්ගේ වාසියට යෙදී තිබුනු ආකෘතිවාදී තර්ක විතර්ක, එස්ඩබ්ලිව්පී මහා සම්මේලනය (1940 අප්‍රේල්) තඹයකටවත් මායිම් කලේ නැත. බර්න්හැම් හා ෂැට්මන්ගේ අභිනියෝග (Mandates) ශූන්‍ය හා බලරහිත බව ප්‍රකාශයට පත් කල සම්මේලනය, ඔවුන් වැඩ පිලිවෙලට පක්ෂපාතී අන්යයන් මඟින් විස්ථාපනය කිරීමට කටයුතු කලේය. ඉක්බිති, ට්‍රොට්ස්කි සමඟ සහයෝගයෙන් හා ඔහුගේ මූලිකත්වයෙන් අපි, සමුලුවට සහභාගීවීමට හැකි වූ හා වැඩ පිලිවෙල සමඟ එක පෙලට සිටි අතලොස්සක් නියෝජිතයන් සමඟ හදිසි සම්මේලනයක් සංවිධානය කොට, නව ජාත්‍යන්තර විධායක කමිටුවක් පිහිටුවීමු. මෙම විප්ලවවාදී ක්‍රියා පිලිවෙලට එරෙහිව ෂැට්මන්වාදීහු හා ඔවුන්ගේ ආධාරකරුවෝ සක්වලටම ඇසෙන සේ බෙරිහන් දුන්හ. සිය සහායට ව්‍යවස්ථා කැඳවාගත් ඔවුහු, ක්‍රියාත්මක ජාත්‍යන්තර විධායක කමිටුවේ (අයිඊ සීයේ) විධිමත් බහුතරය වශයෙන් ලෝක සමුලුවක් කැඳවීමේ තනි අයිතිය තමන් සතුව තිබියදී, තමන් ඉවත් කල හැක්කේ ලෝක සමුලුවකින් පමනක් බව පැවසූහ. මෙම කියාපෑම්වලට ට්‍රොට්ස්කි පහත දැක්වෙන පරිදි අවඥාසහගත පිලිතුරක් දුන්නේය: 'ප්‍රන්ස ජාතිකයන් පවසන අයුරින්, යුද්ධයක දී අප යුදකාලීන පියවර ගත යුතුය. එහි අර්ථය වන්නේ, අපේ ශාඛා තුල බලවේගවල සැබෑ සම්බන්ධතාවයට අනුරූප වන පරිදි අප, හතරවැනි ජාත්‍යන්තරයේ නායකත්ව මන්ඩලය අනුගත කල යුතු බවයි. එසේ කිරීම තුල, ඉවත් කල නොහැකි සෙනේට් සභිකයන් පිලිබඳව කෙරෙන මවාපෑම්වලට වඩා වැඩි ප්‍රජාතන්ත්‍රවාදයක් පවතී...' (අවධාරනය එක් කොට ඈත ) You can find this reference on page 164 of In Defence of Matxism) “මාක්ස්වාදයේ ආරක්ෂාව සඳහා” කෘතියේ ඔබට මෙම සමුද්දේශය දැකිය හැක.

වත්මන් අර්බුදය තුල යමෙකු, නිසැකවම එස්ඩබ්ලිව්පීය විසින් දෘඩ සංවිධානාත්මක නියමන් උල්ලංඝනය කිරීම නිසා එය හෙලාදැකීමට බලාපොරොත්තු වන්නේ නම්, අප මීට ඉහතදී ද තවත් වතාවක් මේ හා සමාන අවස්ථාවක දී වඩාත් ආක්‍රමනික ආකාරයකින් ක්‍රියා කර ඇති බවට දැක්වෙන මෙම සාක්ෂ්යය ඉදිරිපත් කිරීමෙන් ඔහුට සිය චෝදනා වඩාත් සවිමත් කොට ගත හැකිය. එම අධිචෝදනාවට ද වරදකරුවන් බව අපට පිලිගැනීමට සිදුවනු ඇත. එහෙත් අපේ නිදහසට කරුනු වශයෙන් අපි, අද දින කිසිවෙකු විසින් ප්‍රතික්ෂේප කෙරෙතැයි නොසිතිය හැකි පහත දැක්වෙන දේ ඉදිරිපත් කරමු. ට්‍රොට්ස්කිගේ මූලිකත්වයෙන් ඒ අවස්ථාවේ ගත් ස්ථිරසාර ක්‍රියා මාර්ග මඟින් හතරවැනි ජාත්‍යන්තරයේ නායකත්වය, බලවේගවල සැබෑ සම්බන්ධතාවයට අනුකූලව යලි සකස් විය, හතරවැනි ජාත්‍යන්තරයේ ක්‍රියාකාරීත්වයේ අඛන්ඩතාවය ආරක්ෂා විය, එහි වැඩ පිලිවෙල එම යුගයේ සංශෝධනවාදීන්ට එරෙහිව ආරක්ෂා කෙරුනි. අපේ වර්තමාන ක්‍රියාමාර්ගයේ අරමුන ද එයම විනා අන් කිසිවක් නොවේ.

වැඩ පිලිවෙල ආරක්ෂා කිරීමට හා බලවේගවල සැබෑ සම්බන්ධතාවයට අනුකූල නායකත්වය තහවුරු කිරීමට, මෙවැනිම ක්‍රියා මාර්ගයක් ගත් තවත් අවස්ථාවක් හතරවැනි ජාත්‍යන්තරයේ ඉතිහාසයෙහි දැක්වේ., ට්‍රොට්ස්කිගේ අභාවයෙන් පසු, යලිදු වරක් 1940 හදිසි සම්මේලනයෙන් තෝරා ගැනුනු අයිඊසීය, ලෝගන් හා ජර්මානු අයිකේඩී පරිහානිවාදීන්ගේ (Retrogressionists) පලායාමෙන්, වැඩ පිලිවෙලින් ඉවත්වීමටත් සමුලුවෙන් ඔවුන් වෙත පැවැරුනු කර්තව්‍යයන් පැහැර හැරීමටත් පටන්ගත් කල්හි, 1948 දෙවන සම්මේලනය දක්වා කටයුතු කරගෙන යාමට නව මන්ඩලයක් එවේලේ නිර්මානය කර ගන්නා ලදී. යුරෝපා ලේකම් මන්ඩලය හා තවත් සමහර එකතුකිරීම්වලින් සමන්විත වූ මේ හදිසියේ නිමවා ගත් මන්ඩලය, ව්‍යවස්ථාපිත අධිකාරයකින් තොරව 1945 සිට 1948 පැවති ලෝක සමුලුව දක්වා හතරවැනි ජාත්‍යන්තරයේ කටයුතු මෙහෙයවීය. එස්ඩබ්ලිව්පීය මෙම හදිසියේ නිර්මිත කමිටුවට සහය දැක්විය. ඒ, විධිමත් අධිකාරයක් එය සතු වූ නිසා නොවේ. හරියටම කිවහොත් ඊට එවැන්නක් තිබුනේ නැත. එම සහයෝගය පිරිනැමුනේ ඒ කාලයේ සංශෝධනවාදයට එරෙහිව එහි සම්මතධාරී ආස්ථානය නිසාය. අපේ ඇස් ඉදිරියේ එම ප්‍රතිෂ්ඨාව ඉහලින් නැඟී සිටියේය.

******

සඳහන් කෙරුනු මේ එකදු අවස්ථාවක දී හෝ පැහැර හැරීම් සිදු කල කමිටු, පැබ්ලෝ හා ඔහුගේ පෞද්ගලික කවය තරම් බියසැක නැති ආකාරයට, තමන් කෙරේ තුබූ විශ්වාසය උල්ලංඝනය කරන ලදැයි ද, ඒ සා දලදඬු ලෙස හා නිලධාරීවාදී ආකාරයෙන් සිය නිල බලතල අවභාවිතය කරන ලදැයි ද මම විශ්වාස නොකරමි. ඉදින් සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීහු සංවිධානාත්මක උපචාරයන් ඉහලම නීතිය සේ සලකා ගනිමින්, බලය ඩැහැගත්තවුන් විසින් පනවන ලද නීති මඟින් තමන් පාලනය වීමට ඉඩ හැරියාහු නම්, වරදට කිසිදු පිලියමක් නොයෙදෙනු ඇත. ඉවත් කල නොහැකි ලේකම්වරයාට සිය විනාශකාරී කර්තව්‍යයන් අවසන්වන තුරු ධුරයේ රැඳී සිටිය හැකි අතර, සිය විරුද්ධවාදීන් කල් තබා පහ කර දැමීමේ සරල උපාය මඟින් ඔහුට ඒ සඳහා ඇති අයිතිය සම්මේලනයක දී සහතික කර ගැනීමට පවා හැකි වනු ඇත.

එස්ඩබ්ලිව්පීය නිහඬව සිටියේ නම් සහ සම්මතධාරී ට්‍රොට්ස්කිවාදීන්ගේ කැරලිකාරී කොටස් ජාත්‍යන්තර කමිටුව යටතේ සිය අරගලය සංවිධානය නො කලෝ නම්, සිදුවනු ඇත්තේ හරියටම මෙයයි. එස්ඩබ්ලිව්පීයේ විවෘත ලිපිය හා ජාත්‍යන්තර කමිටුව ප්‍රකාශයට පත් කිරීම, ඒවායේ සන්ධර්භමය වාතාවරනයෙන් වෙන් කිරීම මහත් දෝෂයකි. පැවති තතු යටතේ ඒවා ඉහලම මට්ටමේ දේශපාලන ක්‍රියාමාර්ගයෝ වුහ. ඒවා එම පදනමේ අනුමත වීමට හෝ හෙලාදකිනු ලැබීමට හෝ ඉඩ ඇත. එහෙත් ඒවා හුදෙක් හා සරලවම සංවිධානාත්මක මිනුම් දන්ඩකින් විනිශ්චය කිරීම මඟින් ව්‍යාකුලතාව වර්ධනය වීම පමනක් සිදුකෙරෙන අතර, ව්‍යාකුලතාවයෙන් ලාභ ලබන්නන්ට එයින් අනුග්‍රහ සැපයේ.

වැඩ පිලිවෙල හා ප්‍රතිපත්ති පිලිබඳ ගැටලු සමඟ සම්බන්ධිත අර්බුදයක් සංවිධානාත්මක උත්සුකයන් පෙරට දමා විසඳා ගැනීමට මෙතෙක් කිසි දා සමත් වී නැත. විප්ලවවාදී දේශපාලනයේ මෙම නියාමයෙහි නිර්දය ක්‍රියාකාරිත්වය පිලිබඳ සාක්ෂ්‍යවලින් ව්‍යාපාරයේ ඉතිහාසය සංතෘප්ත වී පවතී. එහි ඛේදජනක හෙලාදැකීම දක්වා ගෙනගිය, 1940 අරගලයේ ඇබර්න් පිලිබඳ උදාහරනය එක් වරම නිදර්ශනයක් ලෙස සිතට නැඟේ. එතෙකුදු වුව, සියල්ලටත් වඩා ඛේදනීය නිදර්ශනය වන්නේ, ස්ටැලින්වාදීන්ගේ විධිමත් විනය නීතිවලට යටත්වීම මඟින් බුහුටිකමින් ඔවුන් ඉක්මවා යාමට තැත් කල රුසියන් කොමියුනිස්ට් පක්ෂයේ හා කොමින්ටර්නයේ දේශපාලන විරුද්ධ පාක්ෂිකයන්ගේ ඉරනමයි. එසේ කිරීම මඟින් ඔවුහු ස්ටැලින්වාදී සංශෝධනවාදීන්ගේ විනාශකාරී කටයුතුවලට පහසුකම් සැපයීම පමනක් සිදු කලෝය. තුමූ ම ද විධිමත් විනයෙහි අර්චනකාමීන් වූ ඔවුහු සියල්ලෝ - කිසිවෙකුත් නොහැර ඔවුන් සියලු දෙනාම - අවසානයේ දීනයන් ලෙස දන ගැසූහ.

******

මතභේදයට තුඩු දුන් දේශපාලන ප්‍රශ්නය පිලිබඳ ආස්ථානයක් ගැනීමට පෙර, අපේ විවෘත ලිපිය හෙලා දකිමින් අභියෝජනා සම්මත කරන විට, ලසසපය අවදානම් මඟකට ඇතුලු වී යැයි මම සිතමි. එය සිය ප්‍රකාශන තුල විස්තාරනය කෙරෙන දේශපාලන පිලිවෙත රැඩිකල් ලෙස වෙනස් කරන්නේ නැති නම්, සිය දේශපාලන පිලිවෙත, පැබ්ලෝවාදීන්ගේ පිලිවෙතට පටහැනි බවත්, එය එස්ඩබ්ලිව්පීයේ පිලිවෙතට සර්වසම නොවන්නේ නම් ඊට ඉතා ආසන්න එකක් බවත් ඉතා නුදුරු අනාගතය තුල හඳුනා ගැනීමට එයට බල කෙරෙනු ඇත. ඒ අතරම, ඔබේ ක්‍රියාව පැබ්ලෝවාදීන්ට වෛෂයික දේශපාලන සහයෝගයක් ලබා දුන්නේය. එම සහයෝගය පැබ්ලෝවාදී එහෙයියන්ගේ සියලු ඒකාකෘතික අභියෝජනාවලට වඩා ඔවුන්ගේ වාසියට හේතු වනු ඇත.

මේ මොහොතේ වැදගත්ම ප්‍රතිෂ්ඨාව, ජාත්‍යන්තර ව්‍යාපාරයේ විධිමත් එක්සත්කම යයි සැලකෙන සංකල්පයකින් හා මෙම එක්සත්භාවය පවත්වා ගෙන යාමට ඔබේ ඇති අව්‍යාජ අභිමතයෙන්, ඔබේ ක්‍රියාව අභිප්‍රේරනය ලබන්නට ඇතැයි යන නිශ්චිත ධාරනාවක් මට ඇත. මගේ ධාරනාව නිවැරදිවන්නේ නම්, ඔබේ ක්‍රියා කලාපයෙහි දෝෂ දෙකක් ඇත. විධිමත් එක්සත්කම ප්‍රථම තබා අපේ දෙවන මූලධර්මයවත් නොවේ; එය වත්මන් තතු තුල වැදගත්ම ප්‍රශ්නය නොවේ. තවද, ඔබේ ක්‍රියා කලාපය කොහොමටත් එක්සත්භාවය සඳහා වූ අභිප්‍රායට සේවය කලේ නැත.

ට්‍රොට්ස්කිවාදීන්ගේ ප්‍රථම උත්සුකතාව අපගේ න්‍යායේ ආරක්ෂාවයි. සෑම කල්හිම එය එසේ වූ අතර දැනුදු එසේ විය යුතුය. ඒ පලමු මූලධර්මයයි. පලමුවැන්නට ජීවය ගෙන දෙන දෙවැන්න වූ කලී, ඓතිහාසිකව නිර්මිත කේඩර භේදභින්න කිරීමට හෝ විසුරුවා හැරීමට දැරෙන කවර හෝ ප්‍රයත්නයකට එරෙහිව ඒවා ආරක්ෂා කිරීමයි. වැඩිම ලංසුවෙන් සැලකුවත් විධිමත් එක්සත්භාවය පවතින්නේ වැදගත්කමින් තුන්වන ස්ථානයේ ය.

'පැරනි ට්‍රොට්ස්කිවාදීන්ගේ' කේඩර දීර්ඝ අරගලය තුල එක්රැස් වූ මූලධනය නියෝජනය කරයි. ඔවුහු න්‍යායේ වාහකයෝ වෙති; සමාජවාදී විඥානයේ මූලාවයවය වන අපේ න්‍යාය මහජන ව්‍යාපාරය කරා ගෙන යාමට දැන් ඉතිරිව ඇති අසහාය මානුෂික උපකරන ඔවුන් ය. පැබ්ලෝ කල්ලිය හිතාමතා වැඩට බැස ගත්තේ මෙම කේඩර එකින් එක, එක් රටකින් පසු තවත් රටක වශයෙන්, භේදභින්න කිරීමටය. පමනට වඩා දීර්ඝ ප්‍රමාදයකින් පසු අපිදු, මෙම ද්‍රෝහී ප්‍රහාරයට එරෙහිව කේඩර ආරක්ෂා කිරීමට ඊට නො අඩු ඕනෑ කමකින් වැඩට බැස ගතිමු. ජාත්‍යන්තර ව්‍යාපාරය කෙරේ අපේ වගකිම පිලිබඳ අවබෝධය එසේ ක්‍රියා කරන ලෙස අපෙන් විධානාත්මකව ඉල්ලා සිටී. විප්ලවවාදී කේඩර යනු විනාශ කල නොහැකි යමක් නොවේ. කොමින්ටර්නයේ දුක්ඛදායක අත්දැකීම් ඒ බව අපට උගන්වා ඇත.

******

ජාත්‍යන්තර කමිටුවේ බුලටිනයේ පල වූ ප්‍රන්ස අරගලයේ වාර්තාව ඔබ කියවුවෙහි ද? එය යමෙකුගේ ඇඟේ ලේ කකියවීමට සමත් එකකි. ප්‍රන්ස බහුතරය පුරා දෙවසරක් තිස්සේ සිතාගත නොහැකි තරමේ නිලධාරිවාදී අකටයුතුකම්, පරිචාරනයන් හා කූටෝපායයන්ට එරෙහිව නැඟී සිටිමින්, ප්‍රන්ස මහා වැඩවර්ජනයේ පරික්ෂාව තුල දී සිය විප්ලවවාදී පන්නරය පෙන්වා ඇත. එහෙත් ඔවුන් ජාත්‍යන්තර සම්බන්ධකම් හෝ සහයෝගයකින් තොරව තවදුරටත් හුදෙකලා ව සටන් කිරීමට අත හැර දමනු ලැබූවේ නම්, ඔවුන් නිසැකවම අධෛර්යට හා කලකිරීමට පත්වීමට ඉඩ තිබිනි. ට්‍රොට්ස්කිවාදයේ හෝඩියේ මුල් අකුර වන්නේ, මේ යුගයේ කිසිදු ජාතික පක්ෂයකට ජාත්‍යන්තර සහයෝගයෙන් හා ආධාරයෙන් තොරව නිවැරදි විප්ලවවාදී ප්‍රතිපත්තියක් පවත්වා ගෙන යා නොහැකි බවයි.

ඒ සා දිගු කලක් තිස්සේ අප්‍රමානවත් හා නොවටනා නායකත්වයක දරුනු අවහිරකම් යටතේ දිගු වසර ගනනාවක් තුල වේදනාකාරීව රැස්කරගත් අත්දැකීම් සහිත බ්‍රිතාන්‍ය ට්‍රොට්ස්කිවාදයේ කේඩර, 1953 ගිම්හානයේ දී ප්‍රහාර සඳහා ඉලක්ක කර ගන්නා ලදී. බියකරු සිහිනවලින් සැදි ලෝකයක දිග හැරෙන අතාර්කික ක්‍රියා කලාපයන් මාලාවක් බඳු මෙම නො ඇදහිය හැකි ක්‍රියාවලිය අඩියෙන් අඩිය වර්ධනය වන අයුරු අපි දුටිමු. එහෙත් ඒ සියල්ල සැබවින්ම තථ්‍ය සිදුවීම් විය. ඔවුන් බිඳ වැට්ටවීම සඳහා ද්‍රෝහී ලෙස හිතාමතා සිදු කෙරුනු උද්ඝෝෂනය හමුවේ එහි නායක කේඩර ජාත්‍යන්තර සහයෝගයකින් තොරව අතහැර දමනු ලැබූ නම්, හතරවැනි ජාත්‍යන්තරයේ බ්‍රිතාන්‍ය ශාඛාව අද දිනයේ මහත් අවුලකට පත් ව තිබෙනු ඇත.

1954 පෙබරවාරියේ එස්ඩබ්ලිව්පී සාකච්ඡා බුලටිනයේ (අංක A - 15) පල වූ පෙන් සහෝදරයා මා අමතා ලියූ ලිපිය, අප ව්‍යාපාරයේ ඉතිහාසය තුල අතිශය ප්‍රබල ලේඛන අතරින් එකක් වන අතර ම, අතිශය සිත් කා වදින සුලු ලේඛන අතරින් එකක් ද වෙයි. බොහෝ ගනනක් ගොදුරු කරගැනීමේ බර දැරීමට සිදුවූ, අවුරුදු 25ක අරගලයක අත්දැකීම් සහිත මේ ශාඛාව වූ කලී හතරවැනි ජාත්‍යන්තරයේ වීරෝදාර ශාඛාවකි. අපේ ජාත්‍යන්තර ව්‍යාපාරයේ විශිෂ්ඨතම සම්පතක් ලෙස තක්සේරු කරනු ලැබීමට අයිතියක් ඇති මෙම කේඩරය, පෙරදිග ප්‍රදේශවල අනාගතය පිලිබඳ ප්‍රතිඥාවයි. සත්තකින්ම අපේ චීන කේඩර හැකි සෑම සහෝදරාත්මක ආකාරයකින්ම දිරි ගැන්විය යුතුව, රැක බලාගත යුතුව හා ආධාර උපකාර ලැබිය යුතුව තිබිනි.

ඒ වෙනුවට ඔවුන් ලුහුබැඳ හිංසා පීඩා කොට 'විප්ලවයකින් පලා යන්නන්' ලෙස සමච්චලයට භාජනය කල අයුරු අපි දැක ඇත්තෙමු. චීන සහෝදරවරුන් ලද තුච්ඡ අවසැලැකිලි සම්බන්ධයෙන් එස්ඩබ්ලිව්පී නායකත්වයේ හැඟීම් ඉතා ගැඹුරු ද කටුක ද විය. විශේෂයෙන් ම, පසුගිය මැයි මාසයේ ජාත්‍යන්තර ලේකම් මන්ඩලයට භාර දී තිබුනු නමුත් ජාතික සංවිධානවලට කිසි දා බෙදා නො දුන්, පෙන්ගේ 'මාවෝට විවෘත ලිපියක්' හා චීනය තුල සිය සහෝදරවරුන් ඝාතනය කිරීමට එරෙහි 'පස් දෙනාගේ අභියාචනය' ගැන අපට දැන ගන්නට ලැබුනු පසු, මෙම අපචාරය සම්බන්ධයෙන් අප පමනට වඩා වැඩි කලක් නිහඬව සිටි බවක් අපට හැඟී ගියේය. ඒ සා මහත් දේශපාලන හදිසි භාවයකින් ද, ඓතිහාසික වැදගත්කමකින් ද යුක්ත වූ මෙම ලේඛන අවසානයේ දී ප්‍රසිද්ධියට පත් කෙරුනේ පස් මසක ඇවෑමෙන් ඔක්තෝබරයේ දී ය. ඒ, ද මිලිටන්ට් පත්‍රයට ඒවා වෙනත් ස්වාධීන ආකාරයකින් ලැබුනු පසුවය.

මේ සියල්ලටමත් වඩා අප තැතිගැන් වූයේ, හොංකොංහි කේඩරය ඉදිරි දර්ශනයකින් තොරව එක තැන පල් වෙමින්, තමන් තනි වී ඇතැයි හඟිමින් ජාත්‍යන්තර ව්‍යාපාරය තුල අසරන වී සිටින බවටත්, ආධාර ඉල්ලා එස්ඩබ්ලිව්පීයට ආයාචනා කරන බවටත්, හොංකොං වෙතින් යලියලිත් කෙලින්ම අප වෙත ලැබුනු වාර්තාවන් ය. සංවිධානය 'බිඳී විසිරී යාමේ අද්දරට වඩවඩාත් පැමිනෙමින් සිටින' බවට හොංකොංහි සහෝදරවරුන්ගෙන් අප ලද වාර්තා, පෙන්ගේ ලිපියෙන් සනාථ විය. ඔහු වැඩි දුරටත් පවසන්නේ, එස්ඩබ්ලිව්පී ලිපිය පලවීමෙන් පසු 'ඔවුන් මුලින් පැවැති සිය නොසැලෙන විශ්වාසය යලිත් ඇති කර ගැනීමට සමත් වී ඇති' බවයි. මෙය පමනක් ගත් කල වුව, ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදයේ සැබෑ කේඩර යලි රැස් කර ගැනීමට හා එක්සත් කිරීමට එස්ඩබ්ලිව්පීය හා ජාත්‍යන්තර කමිටුව ගත් ක්‍රියාමාර්ගවලට ප්‍රමානවත් සාධාරනීකරනයක් ලැබේයැයි මම සලකමි.

******

ජාත්‍යන්තර සංවිධානයේ විධිමත් එක්සත්භාවය වැදගත්ය. ඒ පිලිබඳව කිසිදු සැකයක් නැත. එහෙත් එය, සැබැවින් සිදුවන පැරනි කේඩර කැඩීබිඳී යාම හා ඔවුන්ගේ දිරියබල සුන්වීම වසා ආවරනය කිරීම සඳහා යොදා ගැනෙන කල්පිත නෛතික ආකෘතියක් පමනක් නියෝජනය කරන කල්හි, විධිමත් එක්සත්කම, කිසිදු සැබෑ අර්ථයක් නොමැති සතයක්වත් නොවටිනා දෙයක් බවට පත්වේ. 'ලිඛිත නීතිය මරනය උපදවයි. එහෙත් ප්‍රකෘතිය ජීවනය ගෙන එයි.' (Letter killeth, but the Spirit giveth life)

එහෙත් ජාත්‍යන්තර ව්‍යාපාරයේ විධිමත් එක්සත්කම සුරැකීමේ දෘෂ්ටි කෝනයෙන් වුව, ඔබේ අභියෝජනාවේ ඔබ අදහස් කල දෙයට පටහැනිව යන බලපෑමක් පැවතින. කෙසේවෙතත් සැබෑ පැබ්ලෝවාදීහු, - එනම්, දැනුවත් සංශෝධනවාදියෝ හා දියකර හරින්නෝ - සංඛ්‍යාත්මකව බොහෝ සේ විශාල බලවේග නියෝජනය නොකරති. ප්‍රන්සයේ දී, එංගලන්තයේ දී හා ඇමරිකා එක්සත් ජනපදයේ දී අප දැනටමත් දැක ඇති පරිදි, ඔවුන් ඕනෑම අවදානම්කාරී ක්‍රියාවකට සූදානම් ය. එහෙත් ඔවුන්ටම කල හැකි ඒ හැටි දෙයක් නැත. වත්මන් කාල පරිච්ඡෙදයේ නියත ජාත්‍යන්තර භේදයක මාවත ගැනීම, ඔවුන්ට නොකල හැකි දේ අතරිනුත් වඩාත්ම නොකල හැක්කකි. ඒ සඳහා ඔවුන්ට විධිමත් සංවිධානයේ පසුබිම මත හා ද්විතීයික මට්ටමේ අනෙකුත් තැකීම් මත ආකර්ෂනය කොට ගත හැකි සම්මතධාරී කොටස් හා සංවිධානවල ආවරනය හා සහයෝගය අවශ්‍ය වේ.

සම්මතධාරී ට්‍රොට්ස්කිවාවාදීන් අතර යම් ස්ථාවරයක් රඳවා ගෙන සිටින පැරිස් කන්ඩායමේ එකම සාමාජිකයා ලෙස හැඳින්විය හැකි ජර්මේන්, යුරෝපයේ දී ඔවුන්ට එම සේවය සපයයි. අවාසනාවට මෙන්, ඔහුගේ උපාමාරු මුලුමනින්ම නිර්දෝෂී නොවේ. ඔබේ අභිප්‍රාය අනෙකක් වුවත්, ඔබේ අභියෝජනාව තුල ද එම බලපෑමම පැවතුනි. එය, නියත ජාත්‍යන්තර භේදයක මාවත ඔස්සේ තවදුරටත් කඩාකප්පල්කාරී ස්වභාවයේ සංවිධානාත්මක පියවර ගැනීමට පැබ්ලෝවාදීන් දිරි ගැන්වීය. ඉදින් ඔබේ අභියෝජනාවේ දැක්වෙන පරිදි ඔබේ සහයෝගය පිලිබඳව ගනන් තබා ගෙන සිටීමට ඔවුන්ට නොහැකිවී නම්, මෙකී ක්‍රියාමාර්ගවලට එලැඹීමට තරම් ධෛර්යයක් ඔවුන්ට ඇතිවේ යැයි සිතිය නොහැකිය.v

ඔබේ අභියෝජනාව අනෙක් පැත්තෙන් භේදයක් කරා ඇති තල්ලුව නැවතීමට හෝ එහි වේගය අඩාල කිරීමට සැලසුම් කෙරී ඇත්නම්, ඒ තාක් දුරට එය ද වැරදි ඉලක්කයට යොමු වූවකි. ආරම්භයේ සිට ම, ජාත්‍යන්තර කමිටුව තුල එක්සත් වූ බලවේගයෝ ජාත්‍යන්තරයේ භේදයක් ඇති කිරීම සිය එල්ලය බවට පත් කර නොගත්හ. සාධාරන, ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ඡාවක් තුල තමන්ට විශාල බහුතරයක් දිනා ගත හැකිය යන්න පිලිබඳ ව ඔවුන්ට විශ්වාසයක් පැවතුනු හෙයින් ඔවුහු භේදයක අවශ්‍යතාවයක් නොදුටුවහ. එහෙත් ඒ අතරතුරම ඔවුහු, මූලික වැඩ පිලිවෙල ප්‍රතිස්ථාපනය කිරීම, කේඩර භේදභින්න කිරීම නැවැත්වීම හා මෙම මූලධර්මාත්මක ගමන් මඟ හරස් කිරීමට ද්වීතීයික මට්ටමේ කවර හෝ තැකීමකට ඉඩ නොදීම ද වෙනුවෙන් කිසිදු සම්මුතියකින් තොරව හා තිරසාර අධිෂ්ඨානයකින් යුතුව සටනක් ඇරඹූහ.

සිය කේඩර විසින් නියෝජනය කරනු ලැබෙන ලෝක ට්‍රොට්ස්කිවාවාදයේ සැබෑ ව්‍යාපාරය කොහොමටත් මෙම පදනම මත එක්සත් වන බවත්, සංශෝධනවාදීන් හුදෙකලා කරනු ලැබ මෙම එක්සත්කම කඩා බිඳදැමීමට නොහැකි ලෙස බලරහිත තත්වයට පත් කෙරෙනු ඇති බවත් පිලිබඳ සැක කිරීමට අපට කිසිදු හේතුවක් නොපවතී. කන්ඩායම් අරගලයේ දී සම්මතධාරී ට්‍රොට්ස්කිවාදී ජාතික සංවිධාන, පලමුවැනි දේ පලමු තැන තැබීමට තීරනය කොට, වඩාත් වැදගත් ප්‍රශ්න බොහොමයක දී තමන් එකඟ වන හෝ වඩාත් ආසන්න වන සෙස්සන් සමඟ එක පෙලට සිටීමට තීරනය කල විට, මේ සම්බන්ධයෙන් වන සැක සංකා පහව යනු ඇත.

ට්‍රොට්ස්කි අවස්ථා ගනනාවකදී පැවසුවේ ඕනෑම කන්ඩායමක හෝ පක්ෂයක සැබෑ දේශපාලන ආස්ථානයන් නිර්නය වන්නේ, එහි අභියෝජනාවන්ටත් වඩා, එහි ජාත්‍යන්තර පෙල ගැස්ම මත බවයි. නූතන යුගයේ සෑම ජාතික කන්ඩායමක හෝ පක්ෂයකම පරීක්ෂාව හා මඟ පෙන්වන රේඛාව වනුයේ ජාත්‍යන්තරවාදයයි. එමෙන්ම, ජාත්‍යන්තරවාදයේ උරගල ජාත්‍යන්තර පෙල ගැස්මයි. ට්‍රොට්ස්කි ඉගැන්වූයේ එලෙසය.

සිය 25වන වාර්ෂික සාමාජික රැස්වීමේ දී තම විවෘත ලිපිය මඟින් දැන්වූ පරිදි, හතරවැනි ජාත්‍යන්තරය යලි එක්සත් කිරීමේ මාවතේ වේදිකාවක් ලෙස, මූලධර්මාත්මක කරුනු දෙකක් මත, සියලු ට්‍රොට්ස්කිවාදීන් එක් කන්ඩායමක් තුල එක්සත් කරනු ලැබීමට එස්ඩබ්ලිව්පීය පක්ෂය: සම්මතධාරී ට්‍රොට්ස්කිවාදී වැඩ පිලිවෙල යලි තහවුරු කිරීම හා ඓතිහාසිකව නිර්මානය වූ කේඩර යනු (පක්ෂය )ගොඩ නැඟීමේ දී අප විසින් පදනම් කර ගත යුතු මානව බලවේග බව පිලිගැනීම ඒ කරුනු දෙකයි. හතරවැනි ජාත්‍යන්තරයේ ට්‍රොට්ස්කිවාදී කන්ඩායමට, කන්ඩායම් අරගලයේ ක්‍රියා මාර්ගික ගැටලු ද ඇතුලුව, උපායාත්මක ප්‍රශ්න හෝ ද්වීතීයික මට්ටමේ අනෙකුත් ප්‍රශ්න හෝ සම්බන්ධයෙන් ගිවිසුම් අනවශ්‍යය. මෙම ගැටලුවලදී වෙනස්කම්වලට ඉඩ ඇති අතර ඒවා සාකච්ඡාවට විෂය කර ගත හැකිය. එපමනක් නොව, එවැනි වෙනස්කම් නොවැලැක්විය හැකිය. ඒවා තහනම් කිරීම අඥාන ක්රියාවක් වනු ඇත.

එහෙත් එවැනි ප්‍රශ්න ප්‍රයෝජනවත් ලෙස සාකච්ඡා කිරීම සඳහා, සහ එකඟතාවයෙන් හෝ බහුතර ඡන්දයෙන් ඒවා සමථයකට පත් කිරීම සඳහා පලමුව, සප්‍රතිපත්තික රාමුවක් තහවුරු කර ගැනීම අවශ්‍ය වේ. එම රාමුව තුල යෝජනා සාකච්ඡාවට ගැනීමත්, ඒවා සැලසුම් කෙරෙන්නේ කවර අරමුනකට සේවය සැලසීමට ද යන්න පිලිබඳව එකඟතාවයට එලැඹීමටත් හැකි වනු ඇත. සැබෑ ට්‍රොට්ස්කිවාදීන්ට විනය යනු පහල මට්ටමක වැදගත්කමින් යුත් ගැටලුවකි. ඔවුන් එක්සත් කරන දේ ඔවුන් බෙදා වෙන් කරන දේට වඩා වැදගත් වන තාක් දුරට, ඇත්තෙන්ම එය සාමාන්‍ය පටිපාටිය ලෙස සැලකෙනු ඇත. මෙම කොන්දේසිය පවතින විට ඔවුහු අයෝමය විනයක් වෙනුවෙන් පෙනී සිටීම ද, එය පිලිපැදීම ද සිදු කරති. මෙම කොන්දේසිය නොමැති වූ කල, විනයානුකූලතාවය පොලිස් පියවර මඟින් බලාත්මක කිරීමට යාමෙන් ඇතිවන්නේ, භේදයන් විනා අන් කිසිවක් නිපදවීමට අසමත් විනයේ බියකරු විකට රූපයකි. ඒ සම්බන්ධයෙන් අප ඒත්තු ගැන්වීමට කොතෙකුත් අත්දැකීම් පවතින අතර, පැබ්ලෝ තන්ත්‍රය ඒ සඳහා අමතර සාක්ෂ්‍ය සපයා ඇත.

ඉහත දැක්වූ හේතූන් මත අපි, සප්‍රතිපත්තික එකඟතාවයක සිටින්නා වූ ද දිගටම එම මාවත ම අනුයන්නාවූ ද අයවලුන් සමඟ එක් කන්ඩායමක් තුල පමනක් එක්සත්වීම සඳහා අපේ අරගලය අරඹා ඇත්තෙමු. එහිදී උපායාත්මක හා සංවිධානාත්මක ගැටලු සම්බන්ධ වෙනස්කම් පැන නැඟෙතැයි අපේක්ෂා කෙරෙන අතර එම වෙනස්කම් පැවතීමට ඉඩ ලබා දෙනු ඇත. අනෙක් අතට පැබ්ලෝ පාර්ශ්වය, සම්මතධාරීන් හා සංශෝධනවාදීන් මෙන්ම එම වෙනස නොහඳුනන්නන් ද ආදී වශයෙන් ඕනෑම කෙනෙකු හා හැම කෙනෙකුම, ඔවුන් පැබ්ලෝ පාර්ශ්වය විසින් පනවන ලද හෝ ඔවුන්ට රිසි සේ අර්ථ දක්වන ලද සංවිධානාත්මක නීතිවලට එකඟවන තාක් දුරට, අහුලා ගාල් කර ගැනීමට යත්න දරයි. විධි ක්‍රමය සම්බන්ධයෙන් ගත් කල මෙම දෙපාර්ශ්වය අතර ඇති වෙනස වන්නේ, සප්‍රතිපත්තික දේශපාලනය හා ප්‍රතිපත්ති විරහිත සංයෝජනවාදය අතර ඇති වෙනසයි.

අප සහ ලසසපය අතර වඩාත්ම වැදගත් ප්‍රශ්න සම්බන්ධයෙන් වටහා ගත හැකි වෙනස්කම් නොමැති හෙයින්, ඔබ සමඟ එකම කන්ඩායමේ සාමාජිකයන් වශයෙන් සහයෝගී වීම සඳහා එකඟතාවයක් ඇති කර ගැනීම සම්බන්ධයෙන් සොයා බැලීමට අපි අපේක්ෂා කරමු. මෙම සහයෝගිතාව මඟ හැර ගිය හැක්කේ කෙසේදැයි අපට නොපෙනේ. ඒ සඳහා ඔබේ පක්ෂය විසින් ගනු ලැබෙන තීරනයකින් ජාත්‍යන්තර ව්‍යාපාරය තුල අභ්‍යන්තර අරගලයෙන් සම්මතධාරීන් ජයග්‍රහනය කිරීම පිලිබඳ සැක ශංකා සියල්ලම පාහේ පහව යනු ඇත. එමෙන්ම එය, සංවිධානයේ විධිමත් එකමුතුව ආරක්ෂා කිරීම සඳහා බලගතු ලෙස දෙ ආකාරයකින් ක්‍රියා කරනු ඇත. පලමුව එය, විධිමත් භේදයක් හා බැඳුනු කවර හෝ අවදානම් ක්‍රියාවක් විනාශයේ ඉරනම දරා සිටින බවට අනතුරු හැඟැවීමක් පැබ්ලෝවාදීන් වෙත නිකුත් කරනු ඇත. දෙවනුව, එය සම්මතධාරී පාර්ශ්වයේ සභාවන් තුල මධ්‍යස්ථභාවය, වගකීම හා සංයමය රැකීම සඳහා ඔබේ පක්ෂයේ බලපෑම ද ගෙන එනු ඇත.

******

ලසසපයේ ස්ටැලින්වාදයට පක්ෂපාතී භේදය සම්බන්ධ අපේ ප්‍රකාශ, ඔබේ ලිපියේ යෝජනා කොට තිබූ පරිදි වැරදි තොරතුරු මත පදනම් වූ ඒවා නොවන අතර, ඒවා පදනම් වූයේ ප්‍රන්සයේ, එංගලන්තයේ හා අප හොඳින් දන්නා පරිදි එක්සත් ජනපදයේ ද පැබ්ලෝ ඉටු කල ක්‍රියා කලාපයෙන් පෙරා ගත් අනුමිතීන් මතය. ඔබේ පක්ෂයේ අර්බුදය දිග හැරෙන විට, ජාත්‍යන්තර ව්‍යාපාරයේ සෙසු සියලු පක්ෂ මෙන්ම අප ද ඒ පිලිබඳව අඳුරේ තබන ලදී. ලසසපයේ ස්ටැලින්වාදයට පක්ෂපාත භේදයේ පූර්න බැරෑරුම්කම පිලිබඳ ප්‍රථම තොරතුරු අපට ලැබුනේ පසුගිය ඔක්තෝබරයේ, 25වන සංවත්සර සාමාජික රැස්වීම අද්දර, නිව්යෝර්ක් පුවත්පත්වල පල වූ ලිපි මඟිනි. මෙම ලිපි, ඔබේ සම්මේලනයේ ඇති වූ භේදයක් පිලිබඳව සඳහන් කල අතර සමුලු නියෝජිතයන්ගෙන් තුනෙන් පංගුවක පිරිසක් සමුලුවෙන් පිට වී යාමට පෙරාතුව සෝවියට් නිලධරයේ නායකත්වය අවිවේචනාත්මකව පිලිගත යුතු යැයි ඉල්ලා සිටි බව ද ඒවායේ සඳහන් විය. සිල්වා කන්ඩායම ඔබේ සමුලුවේ දී පැබ්ලෝගෙන් හා ක්ලාක්ගෙන් උපුටා දැක්වීම් කල බව ද අපට සැල විය. ඊට ඉහත දී අප අසා තිබුනේ ඔබේ සාමාජිකත්වය තුල යම් ආකාරයක ස්ටැලින්වාදයට පක්ෂපාතී ප්‍රවනතාවයක් පිලිබඳ කටකථා පමනෙකි. ඒ අනුව එය වැඩි වැදගත්කමක් නැති හුදෙකලා කන්ඩායමකැයි අපි උපකල්පනය කලෙමු.

ස්ටැලින්වාදයට පක්ෂපාතී ප්‍රකට සුත්‍රකරනයන්ගෙන් වැලකී සිටීමට පැබ්ලෝවාදීන් වග බලාගෙන ඇතත්, සහ සිය හෙලිදරව්වන් එහි තාර්කික නිගමනය කරා ගෙන යමින් සියැට්ල්හි සිය කන්ඩායම් සහකරුවන් විවෘතවම ස්ටැලින්වාදීන් කරා යන විට ඔවුන් ප්‍රතික්ෂේප කොට ඇතත්, අපට ඔබේ පක්ෂයේ ඇතිවූ වර්ධනයන්, අපේම සාමාජිකත්වය තුල සිදු වූ, ආරම්භයේ සිටම පැබ්ලෝවාදීන් විසින් වගාදිගා කෙරුනු හා දිරි ගැන්වුනු එවැනිම ප්‍රකාශයට පත්වීම්වලින් වෙන් කල නොහැකි විය.

ලසසපයේ ස්ටැලින්වාදයට පක්ෂ පිල භේදය කරා වූ සිය අරගලය ගොඩ නඟමින් සිටිය දී අපට, ජාත්‍යන්තර ලේකම් මන්ඩලයෙන් කිසිදු ලේඛනයක්, කොයියම්ම හෝ නිල තොරතුරක් ලැබුනේ නැත. ඒ අතරම පැබ්ලෝ, එස්ඩබ්ලිව්පීය තුල ස්ටැලින්වාදී සන්ධානවාදය කරා වූ ප්‍රවනතාවක් පිලිබඳ අපේ සැක ශංකා නිකරුනේ ඇති කර ගත් ඒවා බවටත්, එම ශංකා ජාත්‍යන්තර ව්‍යාපාරයේ පොදු ප්‍රවනතාවට පටහැනි බවටත් සහතික වෙමින් අප නිදි ගැන්වීමට තැත් කලේය. සිය 1953 මාර්තු 23 දාතම දරන ලිපියෙන් මැනුවෙල් අමතා ඇත්තෙන්ම ඔහු මෙසේ ලිවීය: 'වැඩිහිටියාගේ මරනයේ පටන් මේ දක්වා ලෝක ව්‍යාපාරය තුල ස්ටැලින්වාදයට දන ගැසූ හෝ දන ගසන්නට අවශ්‍ය වූ, ස්ටැලින්වාදයට පක්ෂපාතී ප්‍රවනතාවයන් සමඟ ගනුදෙනු කිරීමට අපට සිදුවී නැත. (මා මෙහිදී කථා කරන්නේ එතැන හෝ මෙතන සිටින තනි පුද්ගලයන් පිලිබඳව නොවේ) එහෙත් ඊට පටහැනි ලෙස එහි විරුද්ධාර්ථයෙන් බරපතල ලෙස වරද්දා ගත් ප්‍රවනතාවන් සමඟය.... ප්‍රධාන අනතුර ඇත්තේ එහිය. එම අනතුරට එරෙහිව අප ඵලදායි ලෙස සටන් කොට ඇතත්, අනතුර තවමත් පවතී. අපෙන් වෙන්ව ගිය සියල්ලන් ගොස් ඇත්තේ ස්ටැලින්වාදය කරා නොව, ප්‍රතිගාමිත්වය කරා ය. ඔවුහු ස්ටැලින්වාද විරෝධීන් මෙන්ම උග්‍ර කොමියුනිස්ට් විරෝධීන් ද බවට පත් ව සිටිති.'

ඔහු දැන සිටි, එහෙත් අප දැන නොසිටි, ඔබේ පක්ෂය තුල ඒ වන විට පැවති, යථා තතුවල ආලෝකයෙන් බැලූ කල මෙම ප්‍රකාශය සැලකිය හැක්කේ සිතාමතා නොමඟ යැවීමක් ලෙස විනා අනෙකක් ලෙස නොවේ. එස්ඩබ්ලිව්පීය සම්බන්ධයෙන් ගත් කල, මෙම සහතික කිරීමේ පොට්ට කාසිය හොඳ කාසියක් ලෙස නොපිලිගැනීමේ ගෞරවය අපට හිමි වන බව මා පැවසිය යුතුය. අපේ සාමාජිකත්වය තුල ඇති පිටස්තර ප්‍රවනතාවයක් ලෙස, ස්ටැලින්වාදී සන්ධානවාදයට එරෙහිව අපි උද්ඝෝෂන කලෙමු. එමඟින් එම කරුන මත අබලකාරක භේදයක් ඇතිවීමේ අනතුරින් පක්ෂය රැක ගත හැකි විය. සියැට්ල් පැබ්ලෝවාදීන් විවෘතවම ස්ටැලින්වාදය කරා ගිය කල්හි ඔවුහු, අපේ අනතුරු හැඟවීම සම්බන්ධයෙන් අවශ්‍ය සියලු තහවුරු කිරීම් පක්ෂ සාමාජිකත්වයට ලබා දෙමින්, එස්ඩබ්ලිව්පීයේ පැබ්ලෝවාදී කන්ඩායමට කල හැකිව තිබූ සියලු බඳවා ගැනීම් නවතා දැමූහ.

******

ලසසපයේ ස්ටැලින්වාදයට සහය දැක්වූ කන්ඩායම වංචනික සුත්‍රකරනයන් ඉදිරිපත් කරමින් ස්ටැලින්වාදයට පක්ෂපාති සිය සැබෑ වැඩ පිලිවෙල දිග හරින ලද කල්හි, ඔවුන් ප්‍රතික්ෂේප කරමින් යැවූ ජාත්‍යන්තර ලේකම් මන්ඩලයේ ලිපි, මුල දී ඍජුව හෝ වක්‍රව, එම කන්ඩායමට උඩගෙඩි දීමට හා ඔවුන් දිරි ගැන්වීමට පැබ්ලෝවාදීන් ක්‍රියා නොකල බව අපට ඒත්තු ගැන්වීමෙහි අසමත්ය. ජාත්‍යන්තර ව්‍යාපාරය තුල වාසිදායක වාතාවරනයක් කල් තබා නිර්මානය කෙරී නොතිබුනිනම් හා අරගලය ආරම්භ කිරීම සඳහා ඇතැම් ඍජු හෝ වක්‍ර දිරි ගැන්වීම් නොලැබුනිනම්, ඔබේ මධ්‍යම කාරක සභාවේ සාමාජිකයන් 17 දෙනාගෙන් 8 දෙනෙකු - බහුතරයට යන්තම් එකකින් අඩු සංඛ්‍යාවක් - ස්ටැලින්වාදයට පක්ෂපාති අභියෝජනාවක් භාර දුන්නේ කෙසේදැයි යන්න සරලවම වටහා ගත නොහැක්කකි.

ට්‍රොට්ස්කිවාදයේ දර්ශනය තුල හැදී වැඩී අධ්‍යාපනය ලද අපේ ව්‍යාපාරයේ කවර ශාඛාවක, කිසිවෙකුට වුව, සාර්ථකත්වය පිලිබඳ කවර හෝ අපේක්ෂාවකින් යුතුව, ස්ටැලින්වාදයට පක්ෂපාති සුපැහැදිලි පිලිවෙතක් යෝජනා කල නොහැකිය. සියැට්ල් පැබ්ලෝවාදීහු, ස්ටැලින්වාදය පිලිබඳ සිය විවෘත අනුභාෂනය, පක්ෂයෙන් විධිමත්ව ඉල්ලා අස්වීමක් සමඟ එකට භාර දීමේ දී මේ තතු පිලිගෙන ඇත්තාහ. එස්ඩබ්ලිව්පීයේ විවෘත ලිපිය නිවැරදි ලෙස සඳහන් කලේ, ස්ටැලින්වාදී සන්ධානවාදය ක්‍රමික මාත්‍රාවන් ගෙන් හඳුන්වා දීම පැබ්ලෝගේ විධික්‍රමය බවයි. එනම්, ව්‍යාපාරය පියවරෙන් පියවර එම දිශාවට උපාමාරු මඟින් රැගෙන යාමයි; කල්ලිවාදී විපක්ෂයන්ට උඩගෙඩි දීම මඟින් එම උපාමාරු සමඟ එක්ව යන කඩාකප්පල්කාරී ප්‍රහාරයක් සම්මතධාරී ට්‍රොට්ස්කිවාදී කේඩර මත එල්ල කිරීමයි.

ප්‍රන්සයේ දී සෙල්ලම කෙරුනේ ඒ ආකාරයටය. ඉනික්බිතිව එක්සත් ජනපදයේ ද පසුව එංගලන්තයේ ද. චීන නායකත්වය පෙරලා දැමීමට පැරිසියේ සිටින චීන ශිෂ්‍යයෙකුට 'අපේ ජාත්‍යන්තරයේ 'ආධාරය' පිරිනමමින් එම ද්‍රෝහී මෙහෙයුම චීනයේ දී ද ක්‍රියාවට ලීමට ප්‍රයත්න දැරූ බවට සාක්ෂ්‍ය දැන් අප සතුව පවතී. (බලන්න එස්.ටී.පෙන්ගේ ලිපිය - එස්ඩබ්ලිව්පී සාකච්ඡා බුලටිනය අංක ඒ - 15, 1954 පෙබරවාරි, පි. 10)

අනෙකුත් පක්ෂවල කේඩර කඩාකප්පල් කිරීමට යෙදූ ඔහුගේ යටිකූට්ටු හා ද්‍රෝහී උපාමාරුවලින් හෙලි වූ පැබ්ලෝගේ සැබෑ අභිප්‍රායයන් පිලිබඳ අපේ දැනුම මත, ඔහු ලංකා සමසමාජ පක්ෂය සමඟ ද එම සෙල්ලමෙහි ම යෙදෙතැයි යන තාර්කික නිගමනයට අපි බැස ගතිමු. එය සිදුවූයේ එපරිද්දෙන් යැයි අපි දැනුදු විශ්වාස කරමු. කෙසේවෙතත්, සිල්වා (කේ .පී ) කන්ඩායමේ විවෘත පලා යාම මෙම උපාමාරුවල අවසානය සනිටුහන් නොකරනු ඇත. මේ මොහොත පැබ්ලෝට ඔබේ නායකත්වය සමඟ විවෘත ගැටුමකට එලැඹීමට උචිත අවස්ථාවක් නොවේ. දැනට ඔහුගේ දෑතම හිරවී ඇත්තේ, ජාත්‍යන්තර කමිටුව යටතේ සංවිධානය වී සිටින අනෙකුත් ශාඛාවල කැරැල්ල සමඟ පොර බැදීමෙහි ය. තව ද ලසසපයේ සංවිධානාත්මක සහාය, එය සහතික කර ගත හැකි ඕනෑම පදනමක් මත ඔහුට තදින්ම අවශ්‍යව ඇත. එහෙත් අනෙකුත් පක්ෂවල සම්මතධාරී කේඩර බිඳ හෙලිමෙහි ලා ඔහු සමත් වුවහොත් ලසසපය කවර හෝ තෝරා ගත් වේලාවක ඊලඟ පහසු ඉලක්කය බවට පත් වනු ඇත.

******

වත්මන් අරගලය තුල ඔබේ පිලිවෙත නිර්නය කිරීමෙහි ලා වැදගත්ම සාධකය ලෙස මා මෙම ලිපියෙහි දක්වා ඇත්තේ ඔබේ ජාත්‍යන්තර වගකීම් ය. එහෙත් සමස්තයක් ලෙස ජාත්‍යන්තර ව්‍යාපාරයේ ඉහල මට්ටමක උත්සුකයන් වෙනුවෙන් ඔබ ලසසපයේ උත්සුකයන් පරිත්‍යාග කල යුතු බවට යෝජනා කිරීමක් ඉන් අදහස් නොවේ. ඇත්තෙන්ම මේ දෙක වෙන් කල නොහැකිය. ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් ලෙස ලසසපයේ අනාගතය ද නිර්නය වනු ඇත්තේ ජාත්‍යන්තර අරගලය තුල ට්‍රොට්ස්කිවාදී කන්ඩායමේ ජයග්‍රහනය මතය.

වෙනත් ඕනෑම පක්ෂයකට වඩා ලසසපයට ජාත්‍යන්තර නායකත්වයක් අවශ්‍යයැයි කීමට මම ඉදිරිපත් වෙමි. එය එහි ට්‍රොට්ස්කිවාදී සම්මතධාරීත්වයට ශක්තිය හා සහයෝගය ලබාදෙන ප්‍රභවයක් වනු ඇත. එහි පැවැත්මේ හා අවසාන ජයග්‍රහනයේ එකම කොන්දේසිය වනු ඇත්තේ, එකී ට්‍රොට්ස්කිවාදී සම්මතධාරීත්වය විනා, දියකර හැරීම් වාදය හා කඩාකප්පල්කාරීත්වයන් රිංගා ගත් සංවිධානාත්මක මධ්‍යස්ථානයක් නොවේ. මා තදින් ම සැක කරන පරිදි, ඔබේ (පක්ෂය) මධ්‍යයේ රහසිගත පැබ්ලෝ කන්ඩායමක් වේ නම්, ලංකාව තුල එහි වත්මන් උපායයන් වනු ඇත්තේ, ඔබේ සහයෝගය ද සහිතව ජාත්‍යන්තර භේදය සම්පූර්න කරන තුරු, කැනඩාවේදී මෙන්ම, දේශපාලන සාකච්ඡා හා දේශපාලන විෂයයන් සංවිධානාත්මක උපචාරයේ තනි විෂයයට යටත් කිරීමයි.

එවිට, 'අපේ ජාත්‍යන්තරයේ' නාමයෙන් නායකත්වයට එරෙහිව එල්ල කෙරෙන කඩාකප්පල්කාරී ප්‍රහාරයක් සමඟ රහසිගත පැබ්ලෝ කන්ඩායම එලිමහනට පැමිනෙන ඊලඟ ස්ථානය බවට, ලසසපය පත් වනු ඇත. එබඳු සිදුවීමක් නිල උපාමාරු යොදා වැලැක්විය නොහැක. එය කල හැක්කේ ක්‍රියාවෙන් පමනෙකි. නායකත්වය, මූලධර්මාත්මක කරුනු සම්බන්ධයෙන් දැඩි ආස්ථානයක් ගැනීම හා ඊට අනුරූප ව ජාත්‍යන්තර කන්ඩායම් අරගලය තුල සංධානගතවීම, අනාගත ප්‍රහාරවලට එරෙහිව ඔබේ පක්ෂයේ එකමුතුව ආරක්ෂා කිරීමේ විශ්වාසදායකම මාවත වනු ඇත.

සහෝදරත්වයෙන්,

ජේම්ස් පී. කැනන්

Share this article: