තුන්නාන පොලිස් මරනය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් දෙදෙනා මාස පහක් ඉක්මවා රක්ෂිත බන්ධනාගාරයේ

විලානි පීරිස් විසිනි, 2014 අගෝස්තු 30

පසුගිය මාර්තු 16 දින, හංවැල්ල තුන්නානේදී කැපූ ගසකට යටවී මිය ගිය බොරැල්ල පොලීසියේ ඕඅයිසී ප‍්‍රසාද් සිරිවර්දනගේ මරනයට සැකටයුතුයැයි අත්අඩංගුවට ගත් තුන්නාන නිවැසියන් දෙදෙනා තවදුරටත් රිමාන්ඞ් බාරයේ රඳවා තැබීමට අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරනය අගෝස්තු 25 දින තීන්දු කලේය. මෙම තීන්දුව දෙනු ලැබුවේ, මාර්තු 25 දා අත්අඩංගුවට ගත් මොවුනට එරෙහිව කිසිදු සාක්ෂියක් මාස පහක් යන තුරුත් ඉදිරිපත් කිරීමට නොහැකිව ඇති තතු යටතේය.

මොවුන් දෙදෙනා තවදුරටත් රඳවා ගැනීම මගින් තුන්නාන ප‍්‍රදේශවාසීන් ත‍්‍රස්ත කොට, හේලීස් සමාගමටම අයත් හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් (එච්ආර්පී) කම්හලෙන් සිදුවන පරිසර දූෂනයට එරෙහිව ඔවුන් ආරම්භ කල උද්ඝෝෂනය නතර කිරීමට උත්සාහ දරන බව පැහැදිලිය.

ඉලන්දාරි පේඩිගේ සරත් සහ පිරිමාන්න පේඩිගේ රුවන් යන මෙම දෙදෙනා අපරාධ පරීක්ෂන දෙපාර්තුමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් වෙත ඉදිරිපත් කොට ඇත්තේ ලංකා දන්ඩ නීති සංග‍්‍රහය යටතේ වරදකරුවන් කල හැකි චෝදනා ඔවුනට එරෙහිව ගොනුකල හැකි බවට බී වාර්තා යොමු කරමිනි. මෙවන් අවස්ථාවකදී නඩුවක් ආරම්භ කිරීම සඳහා නීතිපති විසින් චෝදනා ඉදිරිපත් කල යුතු නමුත් එවන් කිසිදු චෝදනාවක් මෙතෙක් ඉදිරිපත් කෙරී නැත.

එච්ආර්පී කම්හලෙන් සිදු වන පරිසර දූෂනයට එරෙහිව මාර්තු 16 දා පැවැති උද්ඝෝෂනයට පොලිසිය යොදවා පහරදී දුසිම් ගනනක් අත්අඩංගුවට ගැනීමට එරෙහිව නැගුනු විරෝධය, කොමාන්ඩෝ භටයින් ඇතුලු පොලීසියේ දහසක් පමන යොදවා මැඩලා දැමුනි. උද්ඝෝෂනය මැඞීමට පැමිනි පොලිස් පරීක්ෂක සිරිවර්දන කැපූ ගසකට යටවී මියයාමේ සිද්ධිය යොදා ගනිමින් පොලීසිය විසින් උසිගැන්වූ භීතිය මධ්‍යයේ මර්දනය දිගේලි විය. අත් අඩංගුවට ගැනුනු 60 ගනනක් අතරින් කොටසක් ඇප රහිතව ද ඉතිරි අය ඇප සහිතව ද මුදා හැරින.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින්, හේලිස් සමාගමටම අයත් වැලිවේරිය වෙනිග්‍රොස් කම්හලෙන් සිදුවන ජල දූෂනය පිලිබඳව විමර්ශනය කිරීමට පිහිටුවන ලද ස්වාධීන කම්කරු පරීක්ෂන කමිටුව තුන්නානේ පරිසර දූෂනය ද පරීක්ෂාවට ලක්කල අතර දෙපලේම කම්හල් මගින් ජලය හා පරිසරය දූෂනය කල බවට නිගමනය කෙරින. එසේම ජල දූෂනයට එරෙහිව උද්ඝෝෂනය කල නිරායුද මහජනයාට පසු ගිය වසරේ අගෝස්තු 1දා වැලිවේරියේදී එල්ල කල මිලිටරි ප‍්‍රහාරයට ද තුන්නාන පොලිස් ප‍්‍රහාරයට ද ආන්ඩුව වගකිවයුතු බව පරීක්ෂනයෙන් තහවුරු විය. වැලිවේරියේ හමුදා වෙඩි තැබීමෙන් තරුනයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර තවත් ගනනාවක් තුවාල ලැබූහ.

තුන්නානේ දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හේතු ලෙස දක්වන්නේ ඔවුන් දෙදෙනාට සමාන දෙදෙනෙකු උද්ඝෝෂනය කල ස්ථානයේ සිට දිව යනවා පිටුපසින් දුටු බවට හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී යමෙකු කල ප‍්‍රකාශයයි. තමන් උද්ඝෝෂනයේ නොසිටි බව සැකකරුවෝ කියා සිටිති. එසේම දෙදෙනෙකු දිව යනු දැක ඇත්තේ පොලිස් නිලධාරියා මියයෑමට පැය ගනනකට ඉහතදීය.

රුවන් කුමාරගේ මව වන පේඩිගේ විනීතා පද්මසීලි හා සරත්ගේ බිරිඳ වන අමරසේකර මුදියන්සේලාගේ රත්නකාන්තී යන අය විසින්, අගෝස්තු 5 දින අවිස්සාවේල්ලේදී රැස්වන බස්නාහිර පලාත්බද මහාධිකරනයට යොමු කල දිව්රුම් පෙත්සම් මගින්, බී වාර්තාවන්හි සඳහන් සැකයන් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් සම්පූර්නයෙන් නිර්දෝෂී බව පෙන්වා දී ඔවුනට ඇප ලබා දෙන ලෙස ඉල්ලා ඇත.

එම පෙත්සම් කියා සිටින්නේ සැකකරුවන්ට එරෙහි සැකයන් සියල්ල තරයේ ප‍්‍රතික්ෂේප කරන බවය. සැකකරුවන් දෙදෙනාම මාර්තු 16 දින තුන්නානේ පැවති උද්ඝෝෂනයට සම්බන්ධ නොවුන බවද එය කියා සිටියි.

උද්ඝෝෂනයේදී සිවිල් ඇඳුමෙන් සිටි පොලිස් නිලධාරීන් යයි කියා ගත් කොටසක් පහරදී කඳුලු ගෑස් හා ජල ප‍්‍රහාර එල්ල කල බවද එකී ප‍්‍රහාරයන්ගෙන් බේරීමට කිසියම් පිරිසක් විසින් මාර්ගයට ගස් කපා දමා තිබූ බවත් සමහර ගස් දුරකතන රැහැන් වල පැටලී තිබුන බවත් පෙත්සම් පෙන්වා දෙයි. ගස කපා දැමීම ඔහුගේ මරනය සිදුකිරීමේ චේතනාවකින් කල එකක් නොවන බවද එය තහවුරු කරයි. මියගිය තැනත්තා කපාදමා තිබූ ගසක් යටින් යාමේදී රැහැන් පටක පැටලී තිබුන ගසක් කඩාවැටී ඊට යටවීමෙන් සිදුවුන තුවාල නිසා මිය ගිය බවද පෙත්සම කියා සිටියි.

පෙත්සම තවදුරටත් පෙන්වා දෙන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරනයේදී සාක්ෂි අංක 8 ලෙස සාක්ෂි ලබා දුන් ස්වාධීන සාක්ෂිකරුගේ සාක්කියට අනුව ඔහු උදෑසනම එච්ආර්පී ආයතනයට පැමිනෙන විටද එම ගස කිසියම් පුද්ගලයෙකු විසින් කපා තිබූ බවත් එය දුර කතන රැහැන් වල පැටලී තිබුන බවත්ය. මෙම මරනය සිදුවූයේ ඉන් පසුවය.

“මෙම චූදිතයන් මිනී මැරුමට සම්බන්ධ බවට සැක නොකරන බව” නීති දෙපාර්තමේන්තුවේ සොලිසිටර් ජනරාල් සුහද ගම්ලත් විසින් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත දැන්වූ බව ජූනි 6 දින මහේස්ත‍්‍රාත් අධිකරනයේදී පැවති පරීක්ෂනයේදී සඳහන් කෙරුනු බව ද පෙත්සම පවසයි.

එල්ටීටීඊයට එරෙහි යුද්ධය ගෙන ගිය කාලපරිච්ඡේදයේදී දෙමල මහජනතාව මෙලෙසම චෝදනා ඉදිරිපත් කිරීමෙන් තොරව අත් අඩංගුවේ රඳවාගන සිටියේය. ඒ ත‍්‍රස්තවාදය වැලැක්වීමේ පනත පාවිච්චියට ගනිමිනි. උතුරේ දෙමල මහජනයාට එල්ල කල ප‍්‍රහාර දැන් සමස්ත මහජනයාට එරෙහිව එල්ල කෙරෙමින් පවතී.

ලී වෙලඳ සැලක් පවත්වාගෙනයන සරත් පිරිමි දරුවන් හතර දෙනෙකුගේ පියා වන අතර ත‍්‍රීරෝද රථ වෙලඳ නියෝජිතයෙකුවන රුවන්ට ඇත්තේ එක් පුතෙකි. පියා නැතිවීමෙන් මෙම පවුල් දැඩි ආර්ථික දුෂ්කර තාවයන්ට පත්ව ඇත.

එම දෙදෙනාගේ ඥාතීන් සමග ලෝසවෙඅ වාර්තාකරුවෝ කතා කලහ. නිමල් නමැති රුවන්ගේ ඥාතියා මෙසේ ප‍්‍රකාශ කලේ ය: “අපි අදාල අංශවලට අපේ මේ වතුර ප‍්‍රශ්නය ගැන කියල ප‍්‍රතිඵලයක් නැති තැන තමයි මෙහෙම උද්ඝෝෂනයකට ගියේ. ඕගොල්ලො විතරයි ඇත්තට ම මේ ප‍්‍රශ්නෙ අත්අරින්නෙ නැතුව කතා කරන්නෙ. අපේ නීතිඥ මහත්තුරුත් අපිට කියල තියෙන්නෙ මේ දෙන්නව එලියට ගන්නකං කිසිම බාහිර පාර්ශ්වයකට කතා කරන්න එපා කියල.”

“ඇත්තෙන් ම අපි ඕගොල්ලො කිවුවට පස්සෙයි තේරුම් ගත්තෙ මේක මේ ප‍්‍රදේශයට විතරක් තියා අපේ රටටවත් සීමා වෙන ප‍්‍රශ්නයක් නෙවෙයි කියල. ආන්ඩුව ගන්නේ ෆැක්ටරි අයිතිකාරයන්ගෙ පැත්ත. උද්ඝෝෂනය වෙලාවෙ පොලීසි 27කින් මේ පලාතට පොලිස් නිලධාරීන් ගෙන්නල තිබුන. මේ ප‍්‍රශ්නෙ හින්ද අපි හරි මානසික පීඩාවක ඉන්නෙ. නීතිපතිවරයගෙ වාර්තාව තවම ලැබුනෙ නැහැ කියල උසාවිය මේ දෙන්නට ඇප දෙන එක කල් දානව. උසාවිය, ආන්ඩුව, පොලීසිය, ෆැක්ටරිය ඔක්කොම එක පැත්තක්.”

මහජනයා අතර ඇති වී තිබෙන නොසන්සුන්තාව පැවති මැතිවරනයේදී පාවිච්චියට ගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා හා පලාත් සභා මන්ත‍්‍රී මහේෂ් අල්මේදා ආන්ඩු පක්ෂය පාර්ශ්වයෙන් ද එක්සත් ජාතික පක්ෂයෙන් අවිස්සාවේල්ල සංවිධායක උපුල් මාලගමුව ද මුල දී පැමින ඇත. ප‍්‍රදේශවාසීන් ද ඔවුන් පැමිනෙන්නේ අවංකව ඔවුන් ජනතාවට කන්දෙන නිසා යයි මිථ්‍යාවක සිට ඇත. එහෙත් දැන් ආන්ඩුවේ හෝ විපක්ෂයේ කිසිදු නිල දේශපාලන පක්ෂයක කිසිවෙක් පැමිනෙන්නේ නැති බව සරත්ගේ ඥාතියෙක් කීවේ ය.

අධිරාජ්‍යවාදී අවශ්‍යතා මත රාජපක්ෂ ආන්ඩුව ක‍්‍රියාවට දමන ආර්ථික වැඩපිලිවල යටතේ මජනතාවගේ ජීවිත නොතකා හරියි. ඩිප්ඞ් ප්‍රොඩක්ට්ස් හා අනෙකුත් කාර්මික දූෂකයන් ආරක්ෂා කිරීමට ආන්ඩුව ඉදිරිපත්වන විට ඒ පිටුපස ඇත්තේ, ආයෝජකයන් ආකර්ෂනය කර ගැනීමේ හා ගෝලීය මූල්‍ය අර්බුදය මගින් තදින් පහර වැදී ඇති ආර්ථිකය සුරැකීමෙ මංමුලා සහගත උත්සාහයයි.

ලෝක ධනපතික‍්‍රමය මුහුන දෙන අර්බුදයේදී මහජනතාවට එරෙහිව මිලිටරි පොලිස් බලය යෙදීමට අමතරව ගෙතූ නඩු යොදා ගැනීමට ද ධනපති පාලකයෝ වැඩ කරති. ආන්ඩුව දැන් සූදානම් වන්නේ හැකිනම් ගෙතූ නඩුවක් මගින් මොවුන් දෙදෙනා දඬු ගසා ප‍්‍රදේශවාසීන් ත‍්‍රස්ත කොට ෆැක්ටරි හිමියන් ආරක්ෂා කිරීමට ය.

Share this article: