ශ‍්‍රී ලංකා ආන්ඩුව ප‍්‍රසන්න විතානගේ නිර්මානය කල නවතම චිත‍්‍රපටය වාරනය කරයි

Sri Lankan government censors Prasanna Vithanage’s latest film

වසන්ත රූපසිංහ විසිනි, 2014 දෙසැම්බර් 18

කලාත්මක ප‍්‍රකාශනයේ නිදහස හා මූලික ප‍්‍රජාතාන්ත‍්‍රික අයිතීන් මත තවත් දරුනු ප‍්‍රහාරයක් දියත් කරමින් ප‍්‍රසන්න විතානගේගේ ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටය දැවැන්තව කප්පාදු කරන ලෙස ශ‍්‍රී ලංකා ආන්ඩුව නියෝග කර ඇත. මෙම චිත‍්‍රපටය, තිර නාටක රචක හා අධ්‍යක්ෂ විතානගේ නිර්මානය කල ශ‍්‍රී ලාංකික යුද විරෝධී චිත‍්‍රපට ත‍්‍රිත්වයේ අවසන් කොටස යි. ආන්ඩුවේ ප‍්‍රසිද්ධ රැඟුම් පාලක මන්ඩලය (පීපීබී) විතානගේට දන්වා ඇත්තේ එය විසින් අනවා ඇති වෙනස්කම් සිදු නොකරන්නේ නම්, ශ‍්‍රී ලංකාව තුල චිත‍්‍රපටය ප‍්‍රසිද්ධියේ ප‍්‍රදර්ශනය කිරීමට ඉඩ නොලැබෙන බව යි.

ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටය රුසියානු ගත්කතුවර ෆියදොර් දොස්තයෙව්ස්කිගේ කෙටි නවකතාවක් මත පාදක වී තිබේ. එය, සුරූපී දෙමල තරුනියක හා බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි සංවිධානයට (එල්ටීටීඊ) එරෙහිව දියත් කෙරෙමින් තිබූ දිග් ගැස්සුනු සිවිල් යුද්ධය අතරතුර මිලිටරියේ සේවය කල බඩු උකස් ගන්නෙකු වන ඇගේ සිංහල ජාතික සැමියා පිලිබඳ ඛේදජනක පේ‍්‍රම කතාවකි. යුද්ධයෙන් ඉක්බිත්තේ ශ‍්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ තේ වතු සහිත පලාතක් පසුබිම් කර ගත් මෙම සිනමා කෘතිය, මානව සබඳතා කෙරෙහි යුද්ධය කල විනාශකාරී බලපෑම ඉතා සංවේදී ලෙස නාටකාකාරයෙන් ඉදිරිපත් කරමින්, සිංහල හා දෙමල වර්ගවාදයන් අභියෝගයට ලක් කරයි. (විචාරය කියවන්න: ‍ප්‍රසන්න විතානගේගේ ඔබ නැතුව, ඔබ එක්ක: ශ‍්‍රී ලංකාවේ වාර්ගික යුද්ධයේ මානුෂීය ප‍්‍රතිවිපාක

2013 පෙබරවාරියේ දී ජාත්‍යන්තරව මුදා හැරීමෙන් අනතුරුව, ජාත්‍යන්තර සිනමා උලෙල ගනනාවක ප‍්‍රදර්ශනය කර තිබෙන චිත්‍රපටිය ප‍්‍රංශය, රුසියාව, ඉතාලිය, එක්සත් ජනපදය හා ඉන්දියාව ආදී රටවල දී සම්මාන දිනා තිබේ. ප‍්‍රංශයේ පැවැත්වෙන ආසියානු සිනමාව පිලිබඳ වෙසෝල් චිත‍්‍රපට උලෙලේ දී එය, ආසියානු සිනමාව දිරි ගැන්වීම සඳහා ලැබෙන කීර්තිමත් සයික්ලො ඩි’ ඕර් සහ නෙට්වර්ක් (නෙට්පැක්) සම්මානය දිනා ගත්තේ ය. එය, ඕස්ටේ‍්‍රලියාවේ තිරගත කල අතර දුසිම් ගනනක් ඉන්දියානු සිනමා ශාලාවල ද ප‍්‍රදර්ශනය කෙරුනි.

ශ‍්‍රී ලංකාවේ දී සියලු ම චිත‍්‍රපට තිරගත කිරීම්, සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය යටතට වැටෙන පීපීබීය විසින් අනුමත කල යුතු ය. ආරක්ෂක අමාත්‍යාංශයේ සාමාජිකයන් ද ඇතුලත්ව සිටින පීපීබීයට ශ‍්‍රී ලංකා මිලිටරිය පිලිබඳව කර තිබෙන සියලු විවේචන චිත‍්‍රපටයෙන් ඉවත් කිරීමට අවශ්‍යව ඇත.

විතානගේට එවන ලද පීපීබී ලිපිය පහත සඳහන් දර්ශන කපා දමන ලෙස අන කර තිබේ:

"1. චිත‍්‍රපටිය තුල යුද හමුදාවෙන් ඉවත්වූ සෙබලෙකු සතුව පිස්තෝලයක් ඇති බව පෙන්නුම් කෙරේ. හමුදාවෙන් ඉවත්වූ හෝ සේවයට වාර්තා නොකරන ලද සෙබලුන්හට පිස්තෝලයක් ලඟ තබා ගැනීමට ඉඩ ප‍්‍රස්ථාව නොලැබෙන අතර, එවැනි දර්ශන මහජනතාව වෙත ප‍්‍රදර්ශනය කිරීම මඟින් සමාජයේ පොදු ආරක්ෂාවට හමුදාවන් විසින් ගනු ලබන ක‍්‍රියාමාර්ගයන් විකෘති අර්ථකථනයකට ලක් වෙන අතර, හමුදාවේ ප‍්‍රතිරූපයට හානියක් වන බවද හැඟේ.

"2. බිරිඳගේ ප‍්‍රකාශයකින් ඇය හමුදාව අතින් දූෂනය වීම වැලැක්වීමට ඇගේ දෙමාපියන් ඇයව කඳුකර ප‍්‍රදේශයකට යැවූ බව හැඟෙන අතර, එමඟින් උතුරු නැ‍ගෙනහිර ප‍්‍රදේශයන්හි පැවති තත්වය පිලිබඳව ජනතා අවබෝධය විකෘති වීමට හැකිය.

"3. බිරිඳගේ පාසැල් යන සොයුරන් දෙදෙනෙකු හමුදාව මරා දැමූ බව ඇය පවසන අතර, එයින්ද පෙන්නුම් කෙරෙන්නේ හමුදාව අහිංසක පාසැල් සිසුන් නිකරුනේ මරා දැමූ බවක් ය. එය සත්‍යයෙන් තොර දර්ශනයක් බැවින් දර්ශනයට සුදුසු නොවේ.

"4. හමුදාව විසින් අපගේ දමිලයන් කොපමන මැරුවද? හමුදාව අපේ ගෑනු කොපමන දූෂනය කෙරුවද? අපේ රත්තරන් කොපමන කොල්ලකෑවද? ආදී වැරදි අර්ථකථනයන් දියහැකි ප‍්‍රශ්න කාන්තාව විසින් හැඟීම්බරව සැමියාගෙන් අසන දර්ශනයන් ද සුදුසු නොවේ."

වෙනත් වචනවලින් කිව හොත්, විශේෂයෙන් ම 2009 වසරේ යුද්ධයේ අවසන් අදියර හා සම්බන්ධ ම්ලේච්ඡ ගැටුම හා මිලිටරියේ යුද අපරාධ පිලිබඳව කෙරෙන ඕනෑ ම සඳහන් කිරීමක් විතානගේ ලවා චිත‍්‍රපටයෙන් ඉවත් කරවීමට පීපීබීයට අවශ්‍ය ය. මෙම අපරාධ දේශීය සහ ජාත්‍යන්තර වාර්තා ගනනාවක් තුල ලේඛනගතව තිබේ.

ඔබ නැතිව, ඔබ එක්ක , මෙම අපරාධ පැහැදිලිව නිරූපනය කරන්නේ වත් එකදු සටන් දර්ශනයක් හෝ හමුදා ඇඳුමෙන් සැරසුන සොල්දාදුවෙක් හෝ පෙන්වන්නේ වත් නැත. දෙමල තරුනියකගේ හා ඇගේ සිංහල සැමියාගේ විවාහය යුද්ධය විසින් විනාශ කර ඇත්තේ කෙසේ ද යන්න පිලිබඳ විග‍්‍රහයකි, විතානගේගේ චිත‍්‍රපටය. චිත‍්‍රපටය තුල අතරින් පතර කියැවෙන දෙබස් ගැටුමට මැදි වූ දෙපාර්ශ්වයේ ම දස දහස් ගනනකගේ හැඟීම් හා ඛේදවාචකය ඉතා නිවැරදිව ග‍්‍රහනය කර ගනියි.

ඔබ නැතිව, ඔබ එක්ක වාරනයට ලක් කිරීම වනාහී, යුද්ධය කාලය අතරතුර දී සිනමාකරුවන්ට හා කලාකරුවන්ට එරෙහිව ගෙන ගිය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී ප‍්‍රහාරයන්හි ම දිගුවකි.

යුද්ධය අතරතුර දී ශ‍්‍රී ලංකාවේ ජීවිතය යථාර්ථවාදී ලෙස පිලිබිඹු කල හා මිලිටරිය විවේචනය කල සිනමාකරුවන්ට ඔවුන්ගේ නිර්මාන තහනමට ලක් වීම විඳින්ට සිදුවූ අතර, තර්ජනයන්ට හා ප‍්‍රචන්ඩ ප‍්‍රහාරවලට ද ගොදුරු වීමට සිදු විය. තමන්ගේ කලා කෘති හරහා යුද්ධයේ යථාර්ථය එක දිගට ම හෙලි කල හා ඒ උදෙසා දැඩිව නැගී සිටි අතලොස්සක් ශ‍්‍රී ලාංකික සිනමාකරුවන්ගෙන් අයෙකි, විතානගේ.

වර්ෂ 2000 දී ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගගේ පොදු පෙරමුනු ආන්ඩුව, විතානගේගේ යුද චිත‍්‍රපට ත‍්‍රිත්වයේ පලමු වැන්න වූ පුරහඳ කලුවර (1997) තහනම් කලේ ය. එම චිත‍්‍රපටයෙන් විදහා දැක්වුනේ, යුද්ධයෙන් සිය පුතා මිය ගිය වයෝවෘද්ධ සිංහල මිනිසෙකු කෙරෙහි ඉන් ඇති වූ බලපෑම යි.

2000 වසරේ දී ම, අශෝක හඳගමගේ මේ මගේ සඳයි චිත‍්‍රපටය ජ්‍යෙෂ්ඨ මිලිටරි නිලධාරීන්ගේ හා සිංහල වර්ගවාදීන්ගේ වෛරී සහගත හෙලා දැකීමට ලක් විය. එයට වසර පහකට පසු, එනම් 2005 වසරේ දී, විමුක්ති ජයසුන්දරගේ ජාත්‍යන්තරව කීර්තියට පත් සුලඟ එනු පිනිස චිත‍්‍රපටය මිලිටරියේ හා සිංහල අන්තවාදීන්ගේ තර්ජන නිසාවෙන් ශ‍්‍රී ලංකාවේ සිනමාහල්වලින් ඉවත් කෙරුනි.

දේශීය සිනමාකරුවන් මිලිටරි හිතැති චිත‍්‍රපට තැනිය යුතු බව, 2005 වසරේ දී, සන්ඩේ ටයිම්ස් පුවත්පතට ලියමින් රෙයාර් අද්මිරාල් සරත් වීරසේකර සඳහන් කලේ ය. යම් චිත‍්‍රපටයක් "[එල්ටීටීඊයේ] අරමුනු ඉටු කිරීමට වක‍්‍රව හෝ දායක වන්නේ නම්", එය, "රාජද්‍රෝහී ක‍්‍රියාවක් වන අතර ඔවුන් සම්බන්ධයෙන් දැඩිව ක‍්‍රියා කල යුතු යැ"යි ඔහු ලීවේ ය. මෙහිලා ඔහු විතානගේ, හඳගම, ජයසුන්දර හා සුදත් මහදිවුල්වැවගේ නම් සුවිශේෂයෙන් සඳහන් කලේ ය.

යුද්ධය නිමාවෙන් වසර පහකටත් වඩා කාලයක් ගත වී ඇතත්, ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව ශ‍්‍රී ලංකාවේ මිලිටරිය සම්බන්ධයෙන් කෙරෙන කවර හෝ විවේචනයක් සම්බන්ධයෙන් වුව අතිශය සංවේදී ය. එල්ටීටීඊයට එරෙහි යුද්ධයට මුලුමනින් ම සහාය ලබා දීමෙන් ද මිලිටරිය සිදු කල යුද අපරාධවලට අන්ධව සිටීමෙන් ද අනතුරුව එක්සත් ජනපදය දැන් එකී අපරාධ රාජපක්ෂට පීඩනය දැමීම සඳහා නරුම ලෙස ගසා කමින් සිටී. ශ‍්‍රී ලංකාවේ "මානව හිමිකම්" රැකීම සම්බන්ධයෙන් මොන ම හැඟීමක් වත් නැති, මෙම පීඩනය දැමීම, එල්ල කෙරී ඇත්තේ ආන්ඩුවට බීජිනය සමග ඇති සබඳතා කපා දැමීමට බල කිරීමත්, එක්සත් ජනපදය මූලිකත්වය ගත් "ආසියාවට හැරීම" --චීනයට එරෙහි රාජ්‍ය තාන්ත‍්‍රික ආක‍්‍රමනයේත්, මිලිටරිමය ගොඩ නැංවීමේත් වැඩ පිලිවෙල-- සමග මුලුමනින් ම එකඟ වන ලෙස බල කිරීමත් සඳහා ය.

නියමිත කාලයට කලින් ජනාධිපතිවරනයක් කැඳවනු ලැබීමෙන් අනතුරුව, තමාගේ මැතිවරන පරාජය වෙනුවෙන් වැඩ කිරීමට, වොෂිංටනය උපායාත්මකව නිහඬ පිටුබලය ලබාදුන්, විපක්ෂයේ පක්ෂ විසින් කල් තියා ගොනු කෙරුනු වැඩසටනකට රාජපක්ෂ මුහුන දී සිටී. මැතිවරනය නිවේදනය කල වහා ම ආන්ඩුවෙන් ඉවත් වී පොදු අපේක්ෂකයාවූ මෛත‍්‍රීපාල සිරිසේන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ශ්‍රේෂ්ඨ ආරක්ෂකයෙකු වශයෙන් විපක්ෂය විසින් සාවද්‍ය ලෙස පුම්බනු ලැබ සිටී.

සැලකිය යුතු කාරනාව වන්නේ, සිරිසේන හෝ විපක්ෂයේ කිසිදු පක්ෂයක් ඔබ නැතිව, ඔබ එක්ක වාරනය කිරීමට එරෙහිව ප‍්‍රකාශයක් නිකුත් කොට නොමැති වීම යි. ආන්ඩුව මෙන් ම, ඔවුහු සියලු දෙනා ද, සිංහල වාර්ගික දේශපාලන ගොහොරුවේ එරී සිටින අතර රාජපක්ෂගේ යුද්ධයට මුලුමනින් ම සහාය දුන්නෝ ය. දැන් ඔවුන් "ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ" ධජය වැලඳ ගෙන, එක්සත් ජනපදයේ "මානව හිමිකම්" මෙහෙයුමට බැඳී ඇත්තේ හුදෙක් ම ඔවුන්ගේ සහ සංගත ප‍්‍රභූවේ කොටසකගේ අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙනි.

ඒ අයුරින් ම, ශ‍්‍රී ලංකාවේ මාධ්‍ය ද ඔබ නැතිව, ඔබ එක්ක චිත‍්‍රපටය ජාත්‍යන්තරව ලැබූ සාර්ථකත්වය පිලිබඳව වාර්තා කලත්, විය හැකි පරිදිම සම්මානනීය චිත‍්‍රපටය වාරනයට ලක් කිරීම පිලිබඳව ගොලූ වත රකිමින් සිටී.

ශ‍්‍රී ලංකාවේ මෙන් ම ජාත්‍යන්තරව ද කම්කරුවන්, තරුනයන්, කලාකරුවන් හා බුද්ධිමතුන් මෙම වාරනය කොන්දේසි විරහිතව හෙලා දැකිය යුතු අතර චිත‍්‍රපටය ඉතා ඉක්මනින් ම ශ‍්‍රී ලංකාවේ ප‍්‍රදර්ශනයට මුදා හැරිය යුතු යැයි ඉල්ලා සිටිය යුතු ය. එලැඹෙන මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරනයෙන් රාජපක්ෂ හෝ සිරිසේනගෙන් කවුරුන් දිනුවත් වැඩ කරන ජනයාට එරෙහිව, ඔහු මෙම ප‍්‍රජාතන්ත‍්‍ර-විරෝධී පිලිවෙත් නියත ලෙස ම යොදා ගනු ඇත.

 

කතුවරයා පහත සඳහන් ලිපි ද නිර්දේශ කරයි:

Sri Lankan court orders release of banned film
[25 September 2001]

ශ්‍රී ලංකා මිලිටරිය යුද විරෝධී කලකරුවන්ට තර්ජනය කරයි
[2005 ඔක්තෝබර් 1]

Share this article: