රාජපක්ෂ ආන්ඩුව උසස් තාක්ෂන සිසුන්ට එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාරය හෙලා දකිනු !

සමාජවාදී සමානතා පක්ෂයේ ජනාධිපති අපේක්ෂක පානි විජේසිරිවර්දන විසිනි, 2014 දෙසැම්බර් 25

තම ඩිප්ලෝමා සහතිකයට හිමිව තිබූ උපාධි සම තත්වය යලි ස්ථාපිත කිරීම ඇතුලු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගනකාධිකරනය පිලිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව (එච්එන්ඩීඒ) හදාරන සිසුන් විසින් පසුගිය 22 දා කොලඹ දී පැවැත්වූ උද්ඝෝෂනයට රාජපක්ෂ ආන්ඩුව විසින් එල්ල කල ම්ලේච්ඡ පොලිස් ප‍්‍රහාරය දැඩි පිලිකුලෙන් යුතුව හෙලා දකිමි.

ගනකාධිකරනය පිලිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව විසින් කැඳවා තිබූ මෙම උද්ඝෝෂනයට රටපුරා පිහිටි උසස් තාක්ෂන ආයතන 15 ක සිසු සිසුවියන් දහසකට අධික පිරිසක් සම්බන්ධ වී සිටියහ.

කොලඹ කොටුවේ සිට උසස් අධ්‍යාපන අමාත්‍යංශය දක්වා පෙලපාලියකින් පැමිනි සිසුන්ට, අමාත්‍යංශය අසල රඳවා සිටි සියයකට අධික පොලිස් කැරලි මර්දන කන්ඩායම් විසින් ජල විදින වලින් හා කඳුලු ගෑස් වලින් නොනවත්වා පහර දුනි. පසුව විසිර යන සිසුන් ලුහුබැඳ ගිය පොලීසිය ඔවුනට බැටන් පොලු වලින් සහ පයින් පහර දුන්නේ අතිශය අමානුෂික ආකාරයකිනි. බිම ඇද වැටුනු සිසුවියන්ට පවා පොලීසිය පහර දුන්හ. මෙම ප‍්‍රහාරයෙන් සිසු සිසුවියන් 28 ක් තුවාල ලබා රෝහල් ගත කෙරුනු අතර සිසු නායකයින් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන පසුව නිදහස් කෙරින.

මැතිවරන උද්ඝෝෂනය මධ්‍යයේම එල්ල කෙරුනු මෙම පොලිස් ප‍්‍රහාරය මගින් රාජපක්ෂ යලි බලයට පැමිනියහොත් කි‍්‍රයාවට දැමීමට බලාපොරොත්තු වන සැබෑ න්‍යාය පත‍්‍රය වඩාත් එලිමහනට පැමින ඇත. සිසුන්ට, තරුනයන්ට සහ කම්කරු පීඩිත මහජනතාවට ඔහු දෙන මාගලක් බඳු පොරොන්දු මාලාවට පිටුපසින් ඔහුගේ සැබෑ න්‍යාය පත‍්‍රයේ ඇත්තේ අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන්ද උද්ඝෝෂනයේ යෙදීම ඇතුලු ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතීන් ද මුලුමනින්ම විනාශ කිරීමේ සමාජ ප‍්‍රතිවිප්ලවය බව අප අපගේ මැතිවරන ප‍්‍රකාශය තුල සඳහන් කලෙමු. මැතිවරනය මධ්‍යයේ ම එය සනාථ වී ඇත.

පසුගිය සිවු වසර තුල දී ආන්ඩුව හා සරසවි පරිපාලනය විසින්, අධ්‍යාපනයේ පුද්ගලීකරනයට, මර්දනයට සහ ඌන පහසුකම් වලට එරෙහිව උද්ඝෝෂනය කල සිසුන් අතරින්, දහසකට අධික සංඛ්‍යාවක් පන්ති තහනමට හෝ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට ලක් කෙරින. ඊට සමාන්තරව ශිෂ්‍ය සංගම් ද තහනම් කෙරින.

පසුගිය දා සබරගමුව සරසවියේ දී සිසු විරෝධතාවකට මුහුන දුන් උසස් අධ්‍යාපන ඇමති එස්.බී. දිසානායක තර්ජනාත්මකව පැවසුවේ මැතිවරන කාලයක් නොවේ නම් සිසුන්ට සලකන අයුරු බලාගත හැකි බවයි. දැන් ජනාධිපතිවරනය ආසන්නව තිබියදී පවා එච්එන්ඩීඒ සිසුන්ට රාජපක්ෂ ආන්ඩුව ”සලකා” ඇත. ක්ෂනිකව වර්ධනය විය හැකි විරෝධතා රැුල්ලක් තම මැතිවරන ව්‍යාපාරය මධ්‍යයේම පැන නැගීමෙන් ඇතිවිය හැකි තත්වය සැලකිල්ලට ගත් ආන්ඩුව, සිසුන් සහ කම්කරුවන් බිය වද්දා එම විරෝධතා පූර්ව භංග කිරීම ප‍්‍රහාරයේ අරමුන බව පැහැදිලිය.

පසුගිය දා ඇඹිලිපිටියේ රැස්වීමක් අමතා රාජපක්ෂ කියා සිටියේ තමාගේ ආන්ඩුව වෙනත් ආන්ඩු මෙන් විරෝධතා වලට බියෙන් “සංවර්ධන” කටයුතු අතපසු නොකල බවයි. රටේ සංවර්ධනය ලෙස රාජපක්ෂ හුවා දක්වන්නේ තුනී ධනපති පන්තියේ තට්ටුවක් සංවර්ධනය කිරීම හා විදේශ ආයෝජකයන්ගේ ලාභ අවශ්‍යතා සන්තර්පනය කිරීමයි.

විරෝධතාවලට “බිය නොවී” කි‍්‍රයා කිරීම නම්, 2011 කටුනායක නිදහස් වෙලඳ කලාපයේ කම්කරු උද්ඝෝෂනයේ දී හා 2012 හලාවත ධීවර විරෝධතාවල දී ද, 2013 වැලිවේරියේ ජනයාගේ විරෝධතා දැක්වීමේ දී ද පොලීසිය හා හමුදාව යොදා වෙඩි තබා පස්දෙනෙකු ඝාතනය කරමින් ධනපති කොම්පැනිකාරයින්ගේ ලාභ අවශ්‍යතා සපුරා දීමයි.

කම්කරුවන්ට, සිසුන්ට සහ අවශේෂ පීඩිතයන්ට එල්ල කරන මෙම ප‍්‍රහාරයන්හිදී රාජපක්ෂ විසින් යොදා ගනු ලබන්නේ දශක තුනක් පුරා ගෙනගිය වර්ගවාදී යුද්ධය මධ්‍යයේ වර්ධනය කරගත් පොලිස් මිලිටරි යන්ත‍්‍රයයි. මෙම වර්ගවාදී යුද්ධය ආරම්භ කෙරුනේමත් 1980 ගනන් මුලදී රට ජාත්‍යන්තර ප‍්‍රාග්ධනයට විවෘත කිරීමේදී පැන නැගි කම්කරු හා තරුන අරගල යටපත් කරනුවස් කම්කරුවන් හා තරුනයන් වාර්ගික රේඛා ඔස්සේ බෙදීමටයි. යුද්ධයත් සමග වේගවත් කෙරුනු ලංකාවේ අධ්‍යාපන කප්පාදුව යටතේ සරසවි සිසුන් මෙන්ම මෙම තාක්ෂන ආයතනවල සිසුන් ද දේශනශාලා, පරිඝනකාගාර හා විද්‍යාගාරවල දරුනු හිඟයකට මුහුන දී සිටී.

1990 දී විශේෂ ගැසට් පත‍්‍රයකින් එච්එන්ඩීඒ ඩිප්ලෝමාව වානිජ උපාධියක තත්වයට සම කල නමුදු විෂය නිර්දේශ කප්පාදු කොට එහි ගුනාත්මකභාවය පිරිහෙලා ඇති තතු යටතේ පුද්ගලික හා රාජ්‍ය අංශයේ රැකියා සහ උසස්වීම් වලදී එම සහතිකයට උපාධියකට සම තත්වයක් නොලැබී ගොස් ඇත. සිසුන් උද්ඝෝෂනය සංවිධානය කර ඇත්තේ මෙම ප‍්‍රශ්නය ඇතුලු වෙනත් ප‍්‍රශ්න ගනනාවක් සම්බන්ධයෙන් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සමග පසුගිය 05 දා පැවති සාකච්ඡාවේදී ලබා දුන් පොරොන්දු ඉටු නොවූ බැවිනි.

මූල්‍ය අරමුදලේ නියෝග මත පසුගිය වසරේදී අධ්‍යාපන වියදම දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 1.48 දක්වා කප්පාදු කල රාජපක්ෂ, අධ්‍යාපනය ලාභ කර්මාන්තයක් බවට පත් කිරීම සඳහා දෙස් විදෙස් ආයෝජකයන්ට බදු සහන හා සුවිසල් ඉඩම් ප‍්‍රදානය කරමින් සිටී. දැනටමත් රට තුල පුද්ගලික උපාධි පිරිනමන ආයතන දුසිම් ගනනක් වන අතර රුපියල් මිලියන ගනන්වලට අලෙවිවන උපාධි පාඨමාලාවල අධ්‍යාපනය ලැබිය හැක්කේ ධනවත් ප‍්‍රභූ අතලොස්සකගේ දරුවන්ට පමනි.

මෙම ප‍්‍රහාරයන්ට එරෙහිව මෙම ජනාධිපතිවරනයේදී විද්‍යාත්මක වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් තරග කරන්නේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනි. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරුවන්ගේ හා ගොවියන්ගේ ආන්ඩුවක් බලයට ගෙන ඒමෙන් යෝධ සංගත හා බැංකුවල පෞද්ගලික අයිතිය අහෝසි කොට කම්කරු පන්ති පාලනය යටතේ ජනසතු කිරීම හරහා සියලු දෙනාට ඉහල ගුනාත්මක අධ්‍යාපනයක් නොමිලේ ලබාදීම සඳහා රුපියල් බිලියන ගනනින් මුදල් වෙන් කල හැකි බවත් අධ්‍යාපනය ඇතුලු සමාජ අයිතීන් සුරක්ෂිත කලහැකි බවත් සසප මැතිවරන ප‍්‍රකාශයෙන් පෙන්වා දෙයි.

අධ්‍යාපනයට එල්ල කෙරෙන ප‍්‍රහාරයන් හමුවේ සිසුන් වඩවඩාත් රැඩිකලීකරනය වෙමින් පවතින නමුදු ඔවුනගේ අරගලයන්හි මුදුනත ලැග සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) අන්ඩක් වන අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මන්ඩලය (අවිශිබම) යි. ගනකාධිකරනය පිලිබඳ උසස් ජාතික ඩිප්ලෝමා පාඨමාලාව සුරැකීමේ ශිෂ්‍ය එකමුතුව ට ද නායකත්වය දෙන්නේ අවිශිබම යි.

ව්‍යාජ වාම පක්ෂයක් වන පෙසප මෙන්ම අවිශිබමය, සිසුන් කම්කරු පන්තික නායකත්වය යටතේ බලමුලු ගැන්වීමටත් කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයටත් සපුරා විරුද්ධය. සිසුනට ස්වාධීන කි‍්‍රයාකලාපයක් ඇතැයි යන සංකල්පය ඉදිරිපත් කරමින් ඔවුහු සිසුන් කම්කරු පන්තියෙන් ඉවතට හරවති. ඒ සමගම බරපතල අර්බුදයක ගිලෙමින් මරලතෝනි දෙන මෙම ධනේශ්වර ක‍්‍රමය තුල බලපෑම් දැමීමෙන් ඉල්ලීම් දිනාගත හැකිය යන මිථ්‍යාව ද ඔවුහු සිසුන් අතර වපුරති.

මෙවර ජනාධිපතිවරනයට පෙසපෙන් ඉදිරිපත්ව සිටින දුමින්ද නාගමුව, පන්ති රේඛා නොමැති, පොදු ජන බලයක් පිලිබඳ වැඩපිලිවෙලක් තොරොම්බල් කරන්නේ කම්කරු පන්තියේ පන්ති ස්වාධීනත්වයට වල කැපීමටයි. සිසුන් පෙසපයේ සහ අවිශිබමයේ මෙම උගුලෙන් ගැලවී ගත යුතුය.

පොලිස් ප‍්‍රහාරය හෙලා දකිමින් “විපක්ෂයේ පොදු අපේක්ෂකයා”ගේ වේදිකාවෙන් නැගෙන හඬ ඔවුන්ගේ පාර්ශ්වයෙන් ඉදිරිපත් කෙරෙන පොරොන්දු මල්ල තරමටම ව්‍යාජය. මෛත‍්‍රීපාල සිරිසේන ආන්ඩුවේ ප‍්‍රධාන ඇමතියකු ලෙස සිටිමින් රාජපක්ෂ ආන්ඩුව යටතේ වර්ධනය කල දරුනු ශිෂ්‍ය මර්දනය මුලුමනින් අනුමත කලේය. සිරිසේන දැන් සංධානගතව සිටින විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂයේ ආන්ඩු අධ්‍යාපන කප්පාදුවටත් දහස් ගනන් තරුන ඝාතනවලටත් වගකීම දරයි. සිරිසේන හා ඔහු පිරිවරාගත් පාලක කල්ලිය, බලයට පැමිනියහොත්, කි‍්‍රයාවට දමනු ඇත්තේ මේ සා පරිමාන රුදුරු ප‍්‍රහාරයන්ම ය.

ධනේශ්වර සුරාකෑමට ඍජුව ලක්ව සිටින දේපල අස්වාමික පන්තිය වන කම්කරු පන්තිය, ධනවාදය පෙරලා දමා සමාජවාදය ස්ථාපිත කිරීමේ ශක්‍යතාව සහිත එකම විප්ලවවාදී පන්තියයි. මෙම ජනාධිපතිවරනයේ එකම සමාජවාදී අපේක්ෂකයා වන මා සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ ශිෂ්‍යන්ගේ ආරක්ෂාව සඳහා පෙරට එන ලෙසයි.

ලෝක යුද අන්තරායට හා සමාජ ප‍්‍රතිවිප්ලවයට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනය මත සටන් වැද සිටින සසපයේ මැතිවරන ප‍්‍රකාශය හා ලෝක සමාජවාදී අඩවියේ අනෙකුත් විශ්ලේෂන බැරෑරුම්ව හදාරමින් කම්කරුවන්ගේ හා පීඩිතයන්ගේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස සසප ත් එහි තරුන සහ ශිෂ්‍ය සංවිධානය වන සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ ව්‍යාපාරයත් ගොඩනැගීමට පෙරට එන ලෙස සියලු හිතන මතන ශිෂ්‍යන්ගෙන් හා කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමි.

Share this article: