කාර්මික පරිසර දූෂනය ජාතික හා ජාත්‍යන්තර පරිමාන ව්‍යසනයකි

ඩබ්ලිව්.ඒ. සුනිල් (ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කාර්මික වාර්තාකරු හා සසප දේශපාලන මන්ඩලයේ සාමාජික.), 2014 ජූලි 20

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.
එම අවස්ථාවට මෙම ප‍්‍රදේශයන්හි පලාත්වාසීන්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සසප නියෝජිතයන් ද ඇතුලු පිරිසක් සම්බන්ධ විය. මෙම පරීක්ෂනයේ “කාර්මික පරිසර දූෂනය ජාතික හා ජාත්‍යන්තර පරිමාන ව්‍යසනයකි ” මැයෙන් ඩබ්ලිව්.ඒ. සුනිල් ඉදිරිපත් කල වාර්තා ව මෙහි දැක්වේ.මෙය සිව්වැන්නයි.පලමු වැන්නට , දෙවැන්නට හා තුන්වැන්නටපිවිසීම සඳහා මෙතැනින්. අනුපිලිවෙලින් අනෙකුත් වාර්තා ද පලකරමු.

ඩබ්ලිව්.ඒ. සුනිල්

වැලිවේරිය රතුපස්වල පිහිටි වෙනිග්‍රොස් කම්හල පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය හේතු කොට ගෙන ප‍්‍රදේශයේ ජලය අපවිත‍්‍ර වීම ජාතික පරිමාන ව්‍යසනයක එක් සිද්ධියක් පමනි.

වැලිවේරියෙන් පසු ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට ම අයත් හංවැල්ල තුන්නානේ රබර් නිෂ්පාදන කම්හලෙන් පිට කරන අපජලය හා විෂ දුමාරය නිසා ප‍්‍රදේශයේ ජලය දූෂනය වීමට හා රෝගවලට ගොදුරු වීමට එරෙහිව අසල්වැසි ජනයාගේ බරපතල විරුද්ධත්වයක් පැන නැගුනි. කම්හල අවට පිහිටි තුන්නාන ප‍්‍රදේශයේ සමේ රෝග හට ගත් රෝගීන්ගේ සංඛ්‍යාව වැඩි වී ඇත. කම්හලෙන් මුදා හරින අපජලය ස්වාභාවික ජල මූලාශ‍්‍ර දූෂනය කරමින් මෙම රෝගී තත්වයන් ඇති කිරීමට හේතුකාරක වන බවට ගම්මු චෝදනා කරති. ගම්මුන්ගේ විරෝධය මැඞීම සඳහා ඔවුන්ට පොලිස් ප‍්‍රහාරයක් එල්ල කල ආන්ඩුව පොලිස් නිලධාරියෙකු ඝාතනය කිරීමේ බොරු චෝදනා මත ගම්මුන් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන නඩු පවරා ඇත.

ගාල්ලේ බෝගහගොඩ ප‍්‍රදේශයේ ජනයා අතර පිලිකා රෝගය ශීඝ‍්‍රයෙන් පැතිර යාමට හේතුව ප‍්‍රදේශයේ පිහිටි ඩීඑස්අයි කම්හලෙන් මුදා හරින අපද්‍රව්‍ය සහ ඉන් පිට වන විෂ දුමාරය යැයි ප‍්‍රදේශවාසීහු විශ්වාස කරති. ඉවතලන ටයර්වලින් කාබන් බ්ලැක් මෙම කම්හලේ නිෂ්පාදනය කරනු ලබයි. කම්හලෙන් පිට කරන අපද්‍රව්‍ය සහ විෂ දුමාරය නිසා ප‍්‍රදේශයේ ජලය සහ වාතය අපවිත‍්‍ර වී ඇතැයි ගම්වාසීහු චෝදනා කරති.

බෝගහගොඩ වැලිකොන්ද සහ දොරපේ ග‍්‍රාම නිලධාරි කොට්ඨාසවල පවුල් ඒකක 12කට එක් අයෙකු පිලිකා රෝගයෙන් පෙලෙන බව සොයා ගෙන ඇත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2012 වසරේ ශ‍්‍රී ලංකාවේ පිලිකා රෝගීන්ගේ අනුපාතය පුද්ගලයන් 100,000කට 71කි. එහෙත් මෙම ප‍්‍රදේශයේ එය 100,000කට 1,666ක් හෙවත් සාමාන්‍ය අනුපාතය මෙන් විසි ගුනයකි. කම්හල තුලින් ගලා එන දුර්ගන්ධය හා දුමාරය අවට පැතිරෙන අතර එමගින් ශ්වසන අපහසුතා ඇති කරන බව ප‍්‍රදේශවාසීහු කියති. ප‍්‍රදේශයේ ජනතාවගේ චෝදනා පිලිබඳව විධිමත් පරීක්ෂනයක් පැවැත්වීම ආන්ඩුව මග හැර ඇත.

එහෙත් අනාරක්ෂිත ලෙස අපද්‍රව්‍ය මුදා හැරීම සහ විෂ දුමාරය නිසා සිදු වන හානියට එරෙහිව පැන නැගුන ප‍්‍රදේශවාසීන්ගේ උද්ඝෝෂනය මැඩීමට ආන්ඩුව වහා ම මැදිහත් විය. බෝගහගොඩ පරිසර සංවිධානයට එරෙහිව ආන්ඩුව මර්දනයක් දියත් කලේ ය. එහි කොටසක් ලෙස පොලීසිය උද්ඝෝෂනයට මූලිකත්වය ගත් බෝගහගොඩ පරිසර සංවිධානයේ කි‍්‍රයාකාරී තරුනයෙකු වන එස්.එච්. නුවන් සමීර නීති විරෝධී ආයුධ ලඟ තබා ගැනීමේ බොරු චෝදනාවක් මත නොවැම්බර් 5 දින අත් අඩංගුවට ගැනින. උසාවිය විසින් පසුව ඔහු මුදා හැරුනේ ඔහුට එරෙහි චෝදනා ඔප්පු කිරීමට පොලීසිය අසමත් වූ හෙයිනි.

පිලියන්දල බටකැත්තර පිහිටි පිරිසිදු කිරීමේ රසායනික ද්‍රව්‍ය නිෂ්පාදනය කරන එස් ඇන්ඩ් ඩී කර්මාන්ත ශාලාවෙන් කාන්දු වූ ඇමෝනියා විෂ වායුව පිටතට පැතිර යාම නිසා කම්හල අවට පදිංචිකරුවන් 72 දෙනෙක් 2012 ඔක්තෝබර් 22 දින රෝගී වූහ. විෂ වායුවට ගොදුරු වූවන්ට කැස්ස, වමනය, ශ්වසන අපහසුව හා ඇස්වල හා සමේ දැවිල්ල හට ගත්තේ ය. සතුන්ට සහ කෘමීන්ට ද ඉන් හානි සිදු විය. නිවාසවල බිම, බිත්ති හා ගෘහ උපකරනවල දුර්වර්න පැල්ලම් හට ගත් බවත් පරිභෝජනයට ගැනීමට නොහැකි ලෙස ආහාරවලට විෂ කැවී තිබූ බවත් පදිංචිකරුවෝ ප‍්‍රකාශ කලහ.

පිලියන්දල බටකැත්තර පිහිටි එස් ඇන්ඩ් ඩී කර්මාන්ත ශාලාවේ සිදුවූ අනතුරින් තුවාල වූ තරුනයින් දෙදෙනා

ගම්මුන් කල පැමිනිල්ලකට අනුව ශ‍්‍රී ලංකා තාක්ෂනික හා විද්‍යා ආයතනය සිදු කල පරීක්ෂනයක දී ප‍්‍රදේශයේ ලිං ජලය පරිභෝජනයට නුසුදුසු ලෙස අපවිත‍්‍ර වී ඇති බව තහවුරුව තිබේ. පසුව ප‍්‍රදේශවාසීන් කම්හලට විරුද්ධව නඩුවක් පවරා ඇත. එහෙත් පරිසර අධිකාරියේ නිලධාරීන් තාක්ෂනික හා විද්‍යා ආයතනය හරහා කල තවත් පරීක්ෂන වාර්තාවක් උසාවියට ඉදිරිපත් කිරීමෙන් නඩුවේ දී කම්හල් හිමියාට වාසි වන ආකාරයට කටයුතු කර තිබේ. ගම්වැසියන්ගේ විරෝධය නිසා කම්හල වෙනත් තැනක ස්ථානගත කලත් ඉන් නිර්මිත පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු ක්ෂනිකව නොවිසඳෙන අතර කම්හල අලුතෙන් ස්ථානගත කරන ප‍්‍රදේශයේ වැසියන් ද ඒ ව්‍යසනයට ගොදුරු වනු ඇත.

වත්තල කඩලවල කාර්මික පරිසර දූෂනයෙන් පීඩා විඳින තවත් ප‍්‍රදේශයකි. ප‍්‍රදේශයේ පිහිටි පාම් ඔයිල් කම්හලකින් පිට වන කලු දුමාරයක් නිසා තමන් ශ්වසන අපහසුතාවෙන් පීඩා විඳින බව ප‍්‍රදේශවාසීහු කියති. දූෂිත වාතය ආශ්වාස කිරීම රෝගයට හේතුව බව වෛද්‍යවරුන් ප‍්‍රකාශ කර ඇත. කම්හල වෙනත් ප‍්‍රදේශයකට ගෙන යන ලෙස ඉල්ලා ගම්මුන් පසු ගිය වසරේ උද්ඝෝෂනය කල විට නාඳුනන මැර කන්ඩායමක් ඔවුන්ට තර්ජනය කර උද්ඝෝෂනය නතර කර තිබේ.

විෂ රසායනික ද්‍රව්‍ය බහුලව සහ අනාරක්ෂිත ලෙස කර්මාන්ත ශාලා තුල නිෂ්පාදනයට යොදා ගැනීම නිසා කම්හල් සේවකයෝ විවිධාකාර හා මාරාන්තික රෝගාබාධවලට ගොදුරු වෙති. බියගම නිදහස් වෙලඳ කලාපයේ ඇන්සල් ලංකා කම්කරුවන් මුහුන දෙන තත්වය ඊට මනා උදාහරනයකි.

ඇන්සල් ලංකා සමාගම වෛද්‍ය, කාර්මික, කෘෂිකාර්මික අත්වැසුම් හා උපත් පාලන කොපු නිෂ්පාදනය කරන ඕස්ටේ‍්‍රලියානු අන්තර් ජාතික සංගතයක ලංකා ශාඛාව ය. විෂ රසායනික ද්‍රව්‍ය 250ක් පමන එහි නිෂ්පාදන කටයුතු සඳහා භාවිත කරන බව සේවකයෝ කීහ. ඒ නිසා හෘද රෝග, පෙනහලු රෝග සහ පිලිකා වැනි දරුනු රෝග වැලඳෙන බව ද එනමුදු පාලකයන් ඒ ගැන සැලකිල්ලක් නොදක්වන බව ද සේවකයෝ පවසති. ලියුකේමියා රෝගය වැලඳුන කාන්තාවකගේ වෛද්‍ය වාර්තාව පාලනාධිකාරය විසින් යට ගැසීම නිසා රෝගය අසාධ්‍ය වන තුරු ඇයට ප‍්‍රතිකාර ගැනීමට නොහැකි වී ඇත. ඉතා අධික මුදලක් වෛද්‍ය ප‍්‍රතිකාර සඳහා මාසිකව අවශ්‍ය බව ඇය පැවසුවා ය. සහෝදර සේවකයන්ගේ උපකාර හැර සමාගමෙන් කිසිදු උපකාරයක් තමන්ට නොලැබෙන බව ද ඇය කීවා ය. කෙසේ වුව ද රෝගී තත්වය නො සලකා නියමිත වැඩ ඉලක්කයන් ඇය විසින් සැපිරිය යුතුව ඇත. සේවකයන් ගනනාවක් මෑත වසරවල මිය ගොස් ඇති අතර ඔවුන්ගේ මරනයට හේතුව පවා අනාවරනය කර ගැනීමට නොහැකි වූ බවත් රසායනික විෂ නිසා එම මරන සිදු වන්නට ඇති බවට තමන් සැක කරන බවත් සේවකයෝ කීහ. නිෂ්පාදන වියදම් කප්පාදුවේ කොටසක් ලෙස වාර්ෂිකව සේවකයන් වෛද්‍ය පරීක්ෂනවලට යොමු කිරීම ද සමාගම විසින් අත්හිටුවා ඇති බව ඔවුහු වැඩි දුරටත් පැවසූහ.

මොරටුව විශ්වවිද්‍යාලයේ ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව මගින් “කාර්මික අපද්‍රව්‍ය කලමනාකරනය: ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප” මැයෙන් පසු ගිය වසරේ නිකුත් කල අධ්‍යයන වාර්තාවක් ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප තුල ඝන අපද්‍රව්‍ය සහ අපජලය බැහැර කිරීමේ නිසි ක‍්‍රමවේදයක් නැතිකම නිසා ඇතිව තිබෙන බරපතල පාරිසරික සහ සෞඛ්‍ය ගැටලු පෙන්වා දෙයි.

අධ්‍යයන වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවේ නිදහස් වෙලඳ කලාප (නිවෙක) තුල අපද්‍රව්‍ය ප‍්‍රතිකාරක පද්ධති “සතුටුදායක මට්ටමක” නැත. කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීමේ හෝ ප‍්‍රතිකාරක ක‍්‍රියාවලියේ යෙදී සිටින බොහෝ පෞද්ගලික අංශ “ලාභ ඉපැයීම සඳහා නැඹුරු වූ” ඒවා ය.

“නිදහස් වෙලඳ කලාප තුල පවතින අක‍්‍රමවත් සහ ඒකාබද්ධ නොවූ අපද්‍රව්‍ය කලමනාකරනය බොහෝ පාරිසරික ගැටලු සහ ඩෙංගු වැනි රෝග පතුරුවා හැරීමට තුඩු දෙන” බව වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.

නිවෙක තුල අපද්‍රව්‍ය කලමනාකරනය හෝ පරිසර දූෂනය පිලිබඳව සොයා බැලීමට ශ‍්‍රී ලංකා මධ්‍යම පරිසර අධිකාරියට බලයක් නැත. ඒවා පාලනය කෙරෙන්නේ ශ‍්‍රී ලංකා ආයෝජන ප‍්‍රවර්ධන මන්ඩලය මගිනි. ආයෝජකයන්ගේ ලාභ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටින ආයෝජන මන්ඩලය පරිසර දූෂනය හෝ විෂ රසායනික අනාරක්ෂිතව භාවිත කිරීම මගින් මහජනතාවට හෝ කම්කරුවන්ට සිදු වන හානිය ගැන කිසිදු තැකීමක් නැත. ආයෝජන මන්ඩලය යටතේ පවතින කම්හල් තුල හානිකර රසායනික ද්‍රව්‍ය භාවිතය හෝ පරිසර දූෂනය වැලැක්වීමේ ශක්තිමත් නීති ද නැත. පවතින නීති තුලින් ව්‍යවසායකයන්ට පහසුවෙන් ම රිංගා යා හැකි ය.

අපජල ප‍්‍රතිකාරක පද්ධතිය සම්බන්ධයෙන් ආයෝජන මන්ඩල අධීක්ෂනයේ පවතින දුර්වලකම් නිසා බොහොමයක් කම්හල් “කිසිදු ප‍්‍රතිකාරකයකින් තොරව ම අපජලය බැහැර කරන” බව වාර්තාවේ සඳහන් වෙයි. මධ්‍යම පරිසර අධිකාරියේ තක්සේරුවට අනුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධාන කාර්මික කලාපවල පමනක් වසරකට අපජලය කියුබික් මීටර් මිලියන 30ක් උත්පාදනය කෙරෙයි!

එමෙන් ම වාර්තාව විසින් උපුටා දැක්වෙන කටුනායක නිවෙක අපද්‍රව්‍ය කලමනාකරන නියෝජිතයෙකුට අනුව කලාපයේ කම්හල්වල ඝන අපද්‍රව්‍ය බැහැර කෙරෙන්නේ කලාපයෙන් පිටත පිහිටි පොදු වලකට ය. එය “පරිසරය ආරක්ෂා වන ආකාරයට නඩත්තු කිරීමක් නොකෙරෙන” බව ද ඔහු වැඩි දුරටත් පවසා ඇත. නිවෙක අපද්‍රව්‍ය කලමනාකරනය සඳහා ආන්ඩුව විසින් ප‍්‍රමානවත් තරම් මුදල් ප‍්‍රතිපාදන වෙන් නොකිරීම ගැන ඔහු චෝදනා කරයි.

නිවෙකෙන් පිටත පිහිටි බොහොමයක් කම්හල් අපද්‍රව්‍ය බැහැර කරන්නේ ගංගා ඇල දොලවලට ය. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ රසායන විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ඕ.ඒ. ඉල්ලෙපෙරුම “ශ‍්‍රී ලංකාවේ පරිසර දූෂනය: විමසා බැලීමක්” මැයෙන් 2001 ඉදිරිපත් කල අධ්‍යයන වාර්තාවකට අනුව රෙදි නිෂ්පාදනයට භාවිත කරන ඩයි, ගම් මිශ‍්‍රන, තෙල් වර්ග, තෙල් පිරිපහදු අපද්‍රව්‍ය, රසායනික පොහොර අපජලය, ක්‍රෝමියම් සෝල්ට් සහ ඇසිටික් හා ෆෝමික් ඇසිඩ් ඇතුලු අතිශයින් ම හානිකර හා රෝගකාරක අපද්‍රව්‍ය රාජ්‍ය හා පෞද්ගලික යන දෙඅංශයේ ම කම්හල් විසින් කැලනි ගඟට මුදා හරිනු ලබයි. කැලනි ගඟ කොලඹ නගරයට හා තදාසන්න ප‍්‍රදේශවලට පානීය ජලය සපයන ප‍්‍රධාන ජල මූලාශ‍්‍රය වේ. මධ්‍යම පරිසර අධිකාරියට අනුව රට තුල වඩාත් ම දූෂිත ගංගාව කැලනි ගඟ ය.

ලාභය සඳහා වූ ධනේශ්වර නිෂ්පාදන ක‍්‍රමය තුල කාර්මික පරිසර දූෂනය හුදෙක් ශ‍්‍රී ලංකාවට පමනක් සීමා වී නැත. එය ගෝලීය ව්‍යසනයකි. කාර්මික දූෂනය ගෝලීය වාතය, ජලය හා පස දූෂනය වීමේ ප‍්‍රධාන මූලය ලෙස පාරිසරික විද්‍යාඥයන් විසින් සලකනු ලබයි. දියුනු නොදියුනු සෑම රටක ම පරිසරයට මෙන් ම මනුෂ්‍යයා හා සෙසු ජීවීන්ට ද කාර්මික පරිසර දූෂනය විසින් හානි පමුනුවනු ලබයි. ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර ආයතනයට අනුව එරට පරිසර දූෂනයෙන් සියයට පනහකට ම හේතුකාරක වී ඇත්තේ කාර්මික දූෂනය යි. එමෙන් ම ඊනියා වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල් ලෙස සැලකෙන චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව හා බ‍්‍රසීලය වැනි රටවල කර්මාන්ත මගින් සිදු වන පරිසර දූෂනය බෙහෙවින් ඉහල මට්ටමක පවතී.

ඇමරිකාව පදනම් කර ගත් පරිසර ආරක්ෂන ආයතනයක් වන බ්ලැක්ස්මිත් ආයතනය 2012 නිකුත් කල සමීක්ෂන වාර්තාවකට අනුව ලෝකයේ අඩු සහ මධ්‍ය ආදායම්ලාභී රටවල් 49ක මිලියන 125ක් ජනයා විෂ ද්‍රව්‍ය නිසා සිදු වන පරිසර දූෂනයේ අයහපත් ප‍්‍රතිවිපාකවලට මුහුන දී සිටිති.

බ‍්‍රසීලයේ ක්යුබටාවෝ ප‍්‍රදේශයේ තිබෙන ප‍්‍රාථමික පාසල් 480 ශිෂ්‍යයන්ගේ ශරීර සෞඛ්‍යය කෙරෙහි වායු දූෂනය කරන බලපෑම පිලිබඳව මෑත දී කල අධ්‍යයනයකට අනුව ඔවුන්ගෙන් සියයට 55.3කගේ පෙනහලු ක‍්‍රියාකාරිත්වය පහත වැටී ඇත. ඊට හේතුව ප‍්‍රදේශයේ පිහිටා ඇති ලෝහ, රසායනික, සිමෙන්ති හා පොහොර ආදිය නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලා 23ක් විසින් පිට කෙරෙන විශාල ප‍්‍රමානයක මිශ‍්‍ර දූෂ්‍යකාරකයන් ය. ඒ හා සමාන තවත් උදාහරනයක් වන්නේ කොරියානු සමූහාන්ඩුවේ උල්සාන් ඔන්සාන් විශේෂ කාර්මික කලාපයේ පිහිටි ඛනිජ රසායනික හා ලෝහ පිරිපහදු කර්මාන්ත ශාලා මගින් සිදු වන වායු දූෂනය යි. විවිධාකාර රෝගවලට විශේෂයෙන් ම “ඔන්සාන් රෝගය” නමින් හැඳින්වෙන ස්නායු පද්ධතිය අකර්මන්‍ය වීමේ රෝගයට මෙම ප‍්‍රදේශයේ ජනයා බහුල වසයෙන් ගොදුරු වෙති.

ඇතැම් පරිසරවේදීන් සහ පරිසර ආරක්ෂන සංවිධාන කාර්මික පරිසර දූෂනය හුදෙක් කාර්මීකරනයේ ප‍්‍රතිවිපාකයක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කරති. එය පරිසර දූෂනයට වගකිව යුතු සැබෑ චුදිතයා වන ලාභය සඳහා නිෂ්පාදනය කරන ධනපති ක‍්‍රමය වගකීමෙන් නිදහස් කිරීමේ තැතකි. නව තාක්ෂනය උපයෝගි කර ගනිමින් කාර්මික පරිසර දූෂනය ජය ගත හැකි ය. එහෙත් ධනපති ක‍්‍රමයට එය තමන්ගේ ලාභ රේට්ටුව පහත දමන විශාල පිරිවැයකි. ගැඹුරු වන ලෝක ධනවාදයේ අර්බුදය තුල එවන් පාඩුවක් දැරීමට ධනපති නිෂ්පාදකයා සූදානම් නැත.

ශ‍්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව මෙන් ම ලෝකයේ සෑම ධනපති සහ අධිරාජ්‍යවාදී ආන්ඩුවක් ම කැප වී සිටින්නේ ධනපති නිෂ්පාදකයාගේ ලාභ අවශ්‍යතා රැකීමට මිස ජනතාවගේ අවශ්‍යතාවන් රැකීමට නො වේ.

සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් මෙහෙයවෙන ස්වාධීන කම්කරු පරීක්ෂනයට මෙම වාර්තාව ඉදිරිපත් කරන්නේ 2013 අගෝස්තු මස 01 දින වැලිවේරිය සහ රතුපස්වල යන ප‍්‍රදේශවල දී පිරිසිදු ජලය ඇතුලු ඉල්ලීම් ඉල්ලා ප‍්‍රදේශයේ වැසියන් කල විරෝධතා මැඩීමට ශ‍්‍රී ලංකා හමුදාව විසින් සන්නද්ධ හමුදාව යෙදවීමේ සිද්ධිය සම්බන්ධයෙනි. හමුදා මෙහෙයුමේ දී වෙඩි තැබීම නිසා ශිෂ්‍යයන් දෙදෙනෙකු ඇතුලු තරුනයන් තිදෙනෙකු මිය ගිය අතර මාධ්‍යවේදීන් ඇතුලු 40කට ආසන්න ප‍්‍රමානයක් බරපතල ලෙස තුවාල ලැබූහ. මෙම වාර්තාව මගින් එකී සිද්ධියට අදාල පහත ප‍්‍රශ්නවලට පිලිතුරු ලබා දෙනු ඇත:

මතු සම්බන්ධයි

Share this article: