වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනය
විද්‍යාත්මක සාක්ෂි, දත්ත, තොරතුරු සහ නිගමන පිලිබඳ වාර්තාව

ජල දූෂනය පිලිබඳ ප‍්‍රශ්නය

පානි විජේසිරිවර්දන (සසප දේශපාලන කමිටු සාමාජික, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ලේඛක හා විශ‍්‍රාම ලත් ගුරුවරයෙකි.) 2014 ජූලි 20

ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරියේ පිහිටි වෙනිග්‍රොස් සහ තුන්නාන පිහිටි හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් සමාගම යන කර්මාන්ත ශාලාවන්ගෙන් විෂ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හා ඊට එරෙහිව උද්ඝෝෂනය කල ජනතාවට එල්ල කල පොලිස් මිලිටරි ප‍්‍රහාර පිලිබඳව මාස 6ක පමන කාලයක් පුරා සමාජවාදී සමානතා පක්ෂය (සසප) සිදු කල ස්වාධීන කම්කරු පරීක්ෂනයේ වාර්තා හා නිගමන 2014 ජුලි 20 දා ගම්පහ සනස ශාලාවේ දී ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කෙරිනි.
එම අවස්ථාවට මෙම ප‍්‍රදේශයන්හි පලාත්වාසීන්, කම්කරුවන්, තරුනයන්, ශිෂ්‍යයන් හා සසප නියෝජිතයන් ද ඇතුලු පිරිසක් සම්බන්ධ විය. මෙම පරීක්ෂනයේ “ජල දූෂනය පිලිබඳ ප‍්‍රශ්නය” මැයෙන් පානි විජේසිරිවර්දන ඉදිරිපත් කල වාර්තා දෙකින් පලමු වැන්න මෙහි දැක්වේ. අනුපිලිවෙලින් අනෙකුත් වාර්තා ද පලකරමු.

පානි විජේසිරිවර්දන

1994 දී ආරම්භ කර ඇති මෙම කම්හල ආශි‍්‍රත ජල දූෂනය පිලිබඳ ප‍්‍රශ්නය ඉස්මත්තට පැමින ඇත්තේ 1997 දී තරම් ඈත දී ය. ප‍්‍රදේශයේ ලිං ජලය පානය කිරීමේ දී කලක සිට දැනුනු අමිහිරි රසය හා දුර්ගන්ධය ද එම ජලය පානයෙන් හා ස්නානයෙන් ඇති වූ බාහිර සහ අභ්‍යන්තර රෝගී තත්වයන් ද විස්තර කරමින් ඒ පිලිබඳව පියවර ගන්නා ලෙස ඉල්ලා 1997/11/16 දාතමින් ප‍්‍රදේශවාසීන් ගම්පහ දිස්ති‍්‍රක්ක සෞඛ්‍ය අධ්‍යක්ෂට ලිපියක් යොමු කර ඇත. කෙසේ නමුදු ඒ පිලිබඳ විධිමත් විද්‍යාත්මක පරීක්ෂන සිදු කෙරී නොමැත.

මේ අතර ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනය විසින් 1997/10/17 දින පනවන ලද නියෝගයක් මත වෙනිග්‍රොස් සමාගම කල ඉල්ලීමකට ප‍්‍රතිචාර ලෙස ශී‍්‍ර ලංකා රබර් පර්යේෂනායතනය කම්හල පරීක්ෂාවට ලක් කොට ඇත. 1997/11/06 දාතමින් සමාගමට යවන ලද ලිපියක් මගින් රබර් පර්යේෂනායතනය පෙන්වා දෙන්නේ තම පරීක්ෂනවලට අනුව කම්හලේ අපද්‍රව්‍යයන්ගේ ධාරන සීමාවන් මධ්‍යම පරිසර අධිකාරයේ පිලිගත් ධාරන සීමාවන් තුල සෑම විට ම නොපිහිටන බව යි. ප‍්‍රතිකාරක පද්ධතියට අවශ්‍ය නවීකරනයන් සිදු කල හොත් පහසුවෙන් ම එම ධාරන සීමාවන් කරා ලඟා විය හැකි බවට ද එම ලිපිය උපදෙස් දෙයි. එනමුදු එවන් නවීකරනයක් සිදු කල බවට කවර හෝ තොරතුරක් නො පවතී.

ප‍්‍රදේශවාසීන් ලබා දුන් තොරතුරු

පරීක්ෂන කමිටුව ප‍්‍රදේශවාසීන් සමග කල සාකච්ඡාවන්හි දී වයස්ගත වූවන් පැවසුවේ තමන් කුඩා කාලයේ දුටු මත්ස්‍යයන් සහ ජලජ පැලෑටි ප‍්‍රදේශයේ දිය පහරවල දක්නට නොමැති වීමට මූලික හේතුව මෙම කම්හලේ අපජලය විය හැකි යැයි සැක පහල කරන බව යි. ප‍්‍රදේශයේ පැතිර ඇති සමේ කැසිලි සහගත තත්වයට හේතුව ද මෙම අපජලය විය හැකි යැයි වෛද්‍යවරුන් සැක පහල කල බව ද බොහෝ ප‍්‍රදේශවාසීහු ප‍්‍රකාශ කලහ.

මීට අමතරව පෙර නොවූ ආකාරයට ස්නායු සම්බන්ධිත රෝගීන් ප‍්‍රදේශයේ වැඩි වන්නට වූ බවත් කීප දෙනෙකු ඉන් මිය ගිය බවත් සමහරු ඉතා ඔත්පලව සිටින බවත් ඔවුහු පැවසූහ. කමිටුවේ සාමාජිකයන් එම නිවෙස්වලට ගොස් අදාල රෝගීන්ගේ රෝග විනිශ්චය වාර්තාවන්හි පිටපත් ලබා ගෙන විශේෂඥ වෛද්‍යවරුන් ලවා විමර්ශනයකට ලක් කරන ලදී. ඔවුන්ගේ අදහස වූයේ එම රෝගී තත්වයන්ට හේතුව කම්හලේ අපජලය වීමට බොහෝ ඉඩකඩ ඇති නමුදු එය තහවුරු කිරීම සඳහා රෝගීන් ද ප‍්‍රදේශයේ ජලය ද ඉතා විධිමත් පරීක්ෂනයකට ලක් කල යුතු බව යි. ඒ සඳහා දැවැන්ත මුදලක් වැය කල යුතු බව ද වෛද්‍යවරු පෙන්වා දුන්හ. කෙසේ නමුදු බොහෝ රෝගීන්ගේ දුගී භාවය හේතුවෙන් එවන් වියදම් අධික ඉදිරි පරීක්ෂන සඳහා ඔවුන් යොමු වී නොමැත. ප‍්‍රදේශයේ ජලය සම්බන්ධයෙන් ද එවන් අංග සම්පූර්න පරීක්ෂන සිදු වී නැත.

ප‍්‍රදේශවාසීන් විසින් දැනට වසර ගනනාවකට පෙර මෙම තත්වය ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාට දැනුම් දීමෙන් අනතුරුව කරන ලද ප‍්‍රාථමික පරීක්ෂනවලින් හෙලිව ඇත්තේ ප‍්‍රදේශයේ භූගත ජලයේ ආම්ලිකතාව පරිහරනයට නුසුදුසු තරමේ ඉහල අගයක පවතින බව යි.

2013/08/01 දාතමින් යුක්තව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා විසින් ගම්පහ සෞඛ්‍ය අධිකාරිවරයාට යවන ලද ලිපියට අනුව නැදුම්ගමුව ප‍්‍රදේශයෙන් ලබා ගත් ජල සාම්පල 100න් 55ක පී.එච්. අගය 4.5ට අඩු ය. ජලයේ පී.එච්. අගය 7ට වඩා අඩු නම් ජලය ආම්ලික වන අතර 7ට වැඩි නම් භාෂ්මික ය. මේ අනුව ප‍්‍රදේශයේ ජලය ආම්ලික වන අතර පානයට නුසුදුසු මට්ටමේ පවතින බැව් පැහැදිලි ය.

කම්හල් පාලකයන් දිගට ම ප‍්‍රකාශ කරමින් සිටින්නේ කම්හලේ රබර් අත්වැසුම් නිපැයුම් කි‍්‍රයාවලියේ දී අම්ල භාවිතයක් සිදු නොවන බැවින් හා ජලයේ ආම්ලිකතාව වැඩි වන කවර හෝ අපද්‍රව්‍යයක් පිට නොකෙරෙන බැවින් ප‍්‍රදේශයේ භූගත ජලයේ අධිආම්ලිකතාව හා කම්හල අතර සම්බන්ධයක් නොමැති බව යි.

අනෙකුත් පරාමිති

එනමුදු ජලයේ ගුනාත්මක භාවය පිලිබඳව විමර්ශනය කිරීමේ දී සොයා බැලෙන සම්මත පරාමිතීන් අතරින් ආම්ලිකතාව එක් පරාමිතියක් පමනකි. මහජන සෞඛ්‍ය කප්පාදුවේ ප‍්‍රතිඵලයක් ලෙස මෙම අඩු වියදම් ආම්ලිකතා පරීක්ෂන පවා විධිමත්ව හා නිතිපතා නොකෙරෙන තතු තුල පරීක්ෂන සඳහා සාපේක්ෂ වශයෙන් අධික වියදමක් දැරිය යුතු සල්ෆේට්, නයිටේ‍්‍රට් සහ බැර ලෝහ ඇතුලු අනෙකුත් පරාමිතීන් සම්බන්ධයෙන් සමීක්ෂන කිසිවක් සිදු නො වේ.

සමීක්ෂන වාර්තාවන්ට අනුව ශී‍්‍ර ලංකාවේ මහජන සෞඛ්‍යය සඳහා උපරිම රාජ්‍ය වියදම දරා ඇති 1958 දී එය දල ජාතික නිෂ්පාදිතයෙන් සියයට 2.4ක්ව පැවති අතර 1979 දී එය 1.2 දක්වා පහත වැටී ඇත. 2010 වන විට එම අගය සියයට 0.5ටත් වඩා පහල බැස ඇත.

කම්හලේ නිපැයුම් කි‍්‍රයාවලිය

සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ෙවෙද්‍ය සරත් සමරගේ ඉදිරිපත් කල ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය තත්වය නමැති වාර්තාවෙනි

මෙම කම්හලේ භාවිත කෙරෙන රසායනික ද්‍රව්‍ය ඇතුලු අමුද්‍රව්‍ය පිලිබඳව ද ඉන් පිට කෙරෙන අපජලය සහ අපවායු පිලිබඳව ද සංයුක්ත විද්‍යාත්මක අදහසක් ලබා ගැනීම සඳහා එහි නිපැයුම් කි‍්‍රයාවලිය පිලිබඳව විමර්ශනයක යෙදුනෙමු. කම්හල් භූමියට ඇතුලු වීමට අවසර නොමැති තතු යටතේ පොදුවේ මෙවන් කම්හලක නිපැයුම් කි‍්‍රයාවලිය සිදු වන ආකාරය මත අපි පදනම් වූයෙමු.

රබර් අත්වැසුම් නිපැයුම් කි‍්‍රයාවලියේ දී ඇමෝනියා, සල්ෆර්, සින්ක්ඩයිබියුටයිල්ඩයිතයෝ කාබනේට්, සින්ක් ඔක්සයිඩ්, කැල්සියම් නයිටේ‍්‍රට්, කැල්සියම් කාබනේට් සහ ටයිටේනියම් ඩයොක්සයිඩ් වැනි ප‍්‍රබල රසායනික ද්‍රව්‍ය භාවිත කෙරෙන බව මෙම අධ්‍යයනයන් මගින් පැහැදිලි වේ. භාවිත කෙරෙන රසායනික ද්‍රව්‍ය කම්හල තුල හැඳින්වෙන්නේ වෙනත් සංකේත ඇසුරෙන් බැවින් සහ ඒවායෙන් සිදු විය හැකි හානි පිලිබඳව විධිමත් අවබෝධයක් හා විධිමත් ආරක්ෂක උපකරන ලබා නො දී ඇති තතු යටතේ වෙනිග්‍රොස් කම්කරුවන් සේවයේ යෙදෙන්නේ බලගතු අන්තරායකාරී කොන්දේසි යටතේ ය.

අපජලය හා ප‍්‍රතිකාරක පද්ධති (Treating Systems)

ජලය බහුල වශයෙන් භාවිත කෙරෙන අතර නිපැයුම් කි‍්‍රයාවලියේ දී අපවිත‍්‍ර වන මෙම ජලය මනුෂ්‍යයන්ට පමනක් නො ව සියලූ ජීවීන්ට හානිකර වේ. විශේෂයෙන් ම සින්ක් අඩංගු රසායනික ද්‍රව්‍ය මෙම අපජලයේ පවතී. සින්ක්වලට අමතරව කැඞ්මියම් හා රසදිය වැනි බැර ලෝහ ද නයිටේ‍්‍රට්, නයිට‍්‍රයිට්, සල්ෆේට්, පොස්ෆේට් සහ ඇමෝනියා වැනි රසායනික ද්‍රව්‍ය ද මෙම අපජලයේ පැවතිය හැකි ය. මෙම අපජලය එක් වීමෙන් භූගත ජලයේ හෝ ගලා යන ජලයේ ඔක්සිජන් සාන්ද්‍රනය බලගතු ලෙස අඩු විය හැකි ය. එසේ අඩු වීමෙන් ජලජ ශාක සහ පැලෑටිවලට ද අවසාන වශයෙන් මිනිසුන්ට ද එය අහිතකර ලෙස බලපායි.

නිපැයුම් කි‍්‍රයාවලියෙන් පසු පිට කෙරෙන අපජලය මිනිසා ඇතුලු ජීවීන්ට මේ සා අහිතකර බැවින් එම අපජලයට ප‍්‍රතිකාර කොට පරිසරයට මුදා හැරීම අත්‍යවශ්‍ය වේ. කම්හලේ සේවයේ යෙදී සිටි කම්කරුවන්ගෙන් හා ප‍්‍රතිකාරක පද්ධතිය නිරීක්ෂනය කල ප‍්‍රදේශවාසීන්ගෙන් ලැබුනු තොරතුරු අනුව මෙහි ඇත්තේ සාම්ප‍්‍රදායික ප‍්‍රතිකාරක පද්ධතියක් බව තහවුරු වේ.

රජයේ රස පරීක්ෂක වාර්තාව:

කම්හල් පාලකයන්, ආන්ඩුව සහ මාධ්‍යයන් අනෙකුත් පරාමිතීන් සම්බන්ධයෙන් මුනිවත රකිද්දී රජයේ රස පරීක්ෂක විසින් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් සීමිත වුව ද ඉතා වැදගත් තොරතුරු කීපයක් අනාවරනය වෙයි.

වැලිවේරිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා විසින් කම්හලේ ස්ථාන හතරක දී, එනම්

x අපජලය පිට කිරීමේ කි‍්‍රයා දාමයට අදාල ක්ලෝරීනකරන අපජල පිටවුම් කරාමය,

x ඔක්සිකරන කානු,

x ඔක්සිකරන කානුවල අපජල පිටවුම, සහ

x ජල ප‍්‍රතිකාරක අවසන් පිටවුම් කරාමය

යන ස්ථානවලින් ලබා ගන්නා ලද ජල සාම්පල හතරක් රජයේ රස පරීක්ෂක විසින් විමර්ශනයට ලක් කිරීමෙන් අනතුරුව ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද වාර්තාවෙන් සීමිත වුව ද ඉතා වැදගත් තොරතුරු කීපයක් අනාවරනය වෙයි.

ඉහත සාම්පලයන්හි ජීවමය ඔක්සිජන් ඉල්ලුම (Biological Oxygen Demand – BOD) හා රසායනික ඔක්සිජන් ඉල්ලුම (Chemical Oxygen Demand – COD) සම්මත උපරිම “ධාරන සීමාවට වඩා ඉතා ඉහල අගයක්” ගන්නා බවත් කම්හල් අපජලයේ සංයුතිය හේතුවෙන් ශී‍්‍ර ලංකා ප‍්‍රමිති කාර්යාංශයේ ප‍්‍රමිතීන් “උල්ලංඝනය කෙරෙන බවත්” රස පරීක්ෂක විමර්ශන වාර්තාව පැහැදිලිව පෙන්වා දෙයි. මෙම අපජලයට “තව දුරටත් ප‍්‍රතිකාර කොට ඉහත ප‍්‍රමිතීන්ට අනුව” මුදා මරින ලෙස ද එම වාර්තාව කම්හල් පාලනාධිකාරියට උපදෙස් දෙයි.

රජයේ රස පරීක්ෂක විසින් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද වාර්තාවෙනි

මෙම ජල සාම්පල ලබා ගන්නා විට “ඔක්සිකරන කානු හැර ප‍්‍රතිකාර පද්ධතියට අයත් අන් කවර කි‍්‍රයා දාමයක් හෝ කි‍්‍රයාත්මක නොවුන බව ද” රස පරීක්ෂකවරයා පවසයි. මෙහි අර්ථය නම් කම්හලෙන් පිට කෙරෙන අපජලය මිනිසුන්ට මෙන් ම මත්ස්‍යයන් සහ පැලෑටි ඇතුලු අනෙකුත් ජීවීන්ට ද අහිතකරව පැවති බව යි.

රස පරීක්ෂක වාර්තාව තව දුරටත් පෙන්වා දෙන්නේ කම්හල් භූමියේ සහ ඊට ආසන්න ලිංවලින් ලබා ගත් ජල සාම්පලයන්හි අඩංගු නිදහස් ඇමෝනියා හා නයිටේ‍්‍රට් සාන්ද්‍රනය “සම්මත ධාරන අගයන් ඉක්මවා” ඇති බව යි.

සත්ව කොටස් ජලයට එකතු වීමෙන් ද ඇමෝනියා සාන්ද්‍රනය ඉහල යා හැකි නමුදු බැක්ටීරියානු පරීක්ෂනයකින් එම සාම්පලයන්හි සත්ව කොටස් ඇත් දැයි නිගමනය කල හැකි බව ද වාර්තාව පෙන්වා දෙයි. එසේ සත්ව කොටස් නොමැති නම් එය රසායනික ද්‍රව්‍ය හේතුවෙන් සිදු වූවක් බවට නිගමනය කල හැකි බව ද එය තව දුරටත් සඳහන් කරයි. කෙසේ නමුත් එවන් බැක්ටීරියානු පරීක්ෂනයක් සිදු කෙරුනු බවට වාර්තා නොමැත.

කෙසේ නමුත් තම වාර්තාවට කිසි යම් වලංගු භාවයක් ලබා දීමේ අටියෙන් ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය මත් ප‍්‍රකාශ කරන්නේ කම්හල උස් බිමක පිහිටා තිබීම හේතුවෙන් කම්හලෙන් එහි භූමියට එක් කෙරෙන අපජලයේ ඇති සංඝටක පස් අංශු හරහා විසරනය මගින් පහල ගම්මානයේ භූගත ජලයට එක් වීමේ ශක්‍යතාවක් ඇති බව යි.

නයිටේ‍්‍රට් සහ ඇමෝනියා අධිසාන්ද්‍රනයේ ඵලවිපාක

අධිආම්ලිකතාව හේතුවෙන් ඇති විය හැකි රෝගාබාධයන් පසෙක තැබුවේ වුව ද නයිටේ‍්‍රට් සහ ඇමෝනියා අධිසාන්ද්‍රනයේ ඵලවිපාක විස්තර කරමින් වෛද්‍ය විශේෂඥයන් පෙන්වා දෙන්නේ එම රසායනිකයන් ශරීරගත වීමෙන් මිනිසාගේ මධ්‍යක ස්නායු පද්ධතියට පවා හානි සිදු විය හැකි බව යි. විශේෂයෙන් ම මේ හේතුවෙන් ලදරුවන්ට සිදු විය හැකි හානි උපරිම බැව් ඔවුහු තව දුරටත් පෙන්වා දෙති.

නිගමනය:

ශී‍්‍ර ලංකාවේ පවත්නා නීතිමය බාධාවන් හේතුවෙන් ද රටෙහි පවත්නා පසුගාමිත්වයන්ගෙන් පැන නැංවෙන දුෂ්කරතාවන්ගෙන් ද මෙම විද්‍යාත්මක විමර්ශනයට බරපතල සීමා පැනවුනි. ප‍්‍රථම කොට ම කම්හල තුලට ඍජුව මැදිහත් වී එහි නිෂ්පාදන කි‍්‍රයාවලිය අධ්‍යයනය කිරීමට අප පරීක්ෂන කන්ඩායමට අවකාශ නො ලැබුනි. පරීක්ෂනය ආරම්භ කෙරෙන විටත් නිෂ්පාදනය නවතා තිබුනු බැවින් අවම වශයෙන් කම්හල් භූමිය තුල නිෂ්පාදන කි‍්‍රයාවලිය සඳහා සකසා තිබූ ආකාරය හෝ නිරීක්ෂනය කිරීමට අවකාශ තිබුනේ නම් අපජලය සඳහා වන ප‍්‍රතිකාරක පද්ධතියේ ස්වභාවය හෝ දැක බලා ගැනීමට හැකි වනු ඇත.

රජයේ රස පරීක්ෂක විසින් ගම්පහ මහේස්ත‍්‍රාත් අධිකරනයට ඉදිරිපත් කරන ලද වාර්තාවෙනි

මෙහි ඇති කාර්යක්ෂමතාවෙන් අඩු සාම්ප‍්‍රදායික ප‍්‍රතිකාරක පද්ධති සඳහා ධාරිතාවෙන් අධික ටැංකි භාවිත කල යුතු බැවින් විශාල භූමි ප‍්‍රදේශයක් ද අවශ්‍ය වේ. නගරයෙන් ඔබ්බෙහි ගම්බද නිවස්න පෙදෙසක පිහිටි සුවිසල් භූමියක් මේ සඳහා තෝරා ගෙන ඇත්තේ ඉතා අඩු මිලකට එය ලබා ගත හැකි බැවින් බව පැහැදිලි වෙයි. වියදම අවම කිරීම සඳහා සියල්ල සිදු කෙරී ඇති තතු යටතේ පවා ප‍්‍රතිකාරක පද්ධතිය නියමිත ආකාරයෙන් කි‍්‍රයාත්මක නොවුන බවට රජයේ රස පරීක්ෂකවරයා සහතික වන අතර පද්ධතිය නිසියාකාරයෙන් කි‍්‍රයාත්මක කරන ලෙස උපදෙස් ද ලබා දෙයි.

කම්හලෙන් පිට වන අපජලය බාහිර භූමියට හෝ ජල ප‍්‍රවාහයන්ට මුදා නොහැරෙන බවට පාලනාධිකාරිය සහ පරිසර අධිකාරිය ශපථ වෙතත් දිනකට ලීටර 400,000ක් වැනි අතිමහත් අපජල ප‍්‍රමානයක් කම්හල් බිම තුල ඇති ලිංවලට මුදා හැරෙන තතු තුල එම ලිං පිහිටා ඇති ස්ථානයේ උස් බව හේතුවෙන් පස් අංශු හරහා එම අපජලය පහල ගම්මානයන්හි භූගත ජලයට එක් වීමේ අධික ප‍්‍රවනතාවක් ඇත.

ප‍්‍රතිකාරක පද්ධතියෙන් මුදා හැරෙන ජලයේ ආම්ලිකතාව මෙන් ම ඇමෝනියා සහ නයිටේ‍්‍රට් සාන්ද්‍රනය සම්මත ධාරන අගයන් ඉක්මවා තිබූ බැව් රස පරීක්ෂකවරයා පැහැදිලිව පිලිගනී. ප‍්‍රදේශයේ භූගත ජලයේ ඇමෝනියා සාන්ද්‍රනය වැඩිව ඇත්තේ සත්ව කොටස් එකතු වීමෙන් ද නැත හොත් කම්හලේ රසායනික ද්‍රව්‍ය එකතු වීමෙන් ද යන්න සැක හැර දැන ගැනීමට නම් බැක්ටීරියානු පරීක්ෂනයක් කල යුතු බව රස පරීක්ෂකවරයා පවසතත් එවැන්නක් මෙතෙක් සිදු නොකිරීමෙන් ම පෙනී යන්නේ එවන් පරීක්ෂනයක් හිතා මතා ම යට ගසා ඇති බව යි.

මේ පිලිබඳව වඩාත් ම විද්‍යාත්මකව සොයා බැලිය හැකි ආයතනය තාක්ෂන විද්‍යා ආයතනය යි. වැලිවේරිය හමුදා ඝාතනයෙන් පැන නැගි මහජන විරෝධය යටපත් කරනු වස් එම ප‍්‍රදේශයේ ජල දූෂනය පිලිබඳ පරීක්ෂනයක් කොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ජනාධිපති රාජපක්ෂ මෙම ආයතනයට නියෝග කල නමුදු එවන් වාර්තාවක් පිලිබඳ කවර හෝ සඳහනක් දැන් නොමැත. වාර්තා වන ආකාරයට එම ආයතනය විසින් පරීක්ෂනය ආරම්භ කරනවාත් සමග ම සොයා ගත් කරුනු කම්හලට එරෙහිව පිහිටා තිබූ බැව් දැන ගත් වහා ම එහි සියලු විධායක නිලධාරීන් කැඳවූ ආයතන ප‍්‍රධානියා වැලිවේරිය පරීක්ෂනය පිලිබඳ කවර හෝ තොරතුරක් පිටතට කාන්දු නො විය යුතු බවට අනතුරු අඟවා ඇත.

අනෙක් අතට කම්හල් පාලකයන් ආරක්ෂා කිරීමට හිතා මතා සකස් කරන ලද තම වාර්තාවන්ට යම් වලංගු භාවයක් ලබා දීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මන්ඩලය ඉදිරිපත් කරන සීමිත කරුනුවලින් පවා ජල දූෂනය පිලිබඳ සාක්ෂි සම්පාදනය වෙයි. ඔවුහු ද කම්හල් බිමේ සහ අවට භූගත ජලයේ ඇමෝනියා සහ නයිටේ‍්‍රට් සාන්ද්‍රනය ධාරන අගයන් ඉක්මවා ඇති බැව් පිලිගනිති.

කෙසේ නමුත් මෙම සියලු දත්ත සහ තොරතුරු විශ්ලේෂනය කිරීමේ දී වෙනිග්‍රොස් කම්හලෙන් ප‍්‍රදේශයේ භූගත ජලය බලගතු ලෙස දූෂනය වී ඇති බව පැහැදිලිව පෙනී යයි. නිසැකව ම තවත් දශක ගනනාවක් යන තෙක් එහි ඵලවිපාක විඳීමට ප‍්‍රදේශවාසී මහජනතාවට සිදු වනු ඇත. මහජන සෞඛ්‍යය හා ඔවුන්ගේ ජීවිත නො තකා තම ලාභ අවශ්‍යතාවන් සන්තර්පනය කරන ධනපති ක‍්‍රමය සහ රාජපක්ෂ ආන්ඩුව ඇතුලු ධනපති පාලකයන් මෙම විනාශයට අතිමූලික වශයෙන් වගකිව යුතු ය.

මතු සම්බන්ධයි

Share this article: