පරිසරය දූෂනය කරන තවත් ඩිප් ප්‍රොඩක්ට්ස් කම්හලක් පිලිබඳව හංවැල්ල ගම්වාසීහු චෝදනා නගති

සිසිල් ගමගේ විසිනි , 2014 පෙබරවාරි 26

හංවැල්ල ගම්වාසීන් විසින් තම ප‍්‍රදේශයේ ජල මූලාශ‍්‍ර දූෂනයට ලක් කිරීම පිලිබඳව හංවැල්ල රබර් ප්‍රොඩක්ට්ස් (එච්ආර්පී) කම්හලට චෝදනා කිරීමත් සමග ඩිප් ප්‍රොඩක්ට්ස් කම්හල් විසින් සිදුකරන කාර්මික දූෂනය පිලිබඳ තවදුරටත් සාක්ෂි අනාවරනය විය. ඩිප් ප්‍රොඩක්ට්ස් සමාගමට අයත් වැලිවේරිය වෙනිග්‍රොස් කම්හල ජලය දූෂනය කිරීම හේතුවෙන් වසා දමන ලෙස ඉල්ලා පැන නැගි මහජන විරෝධතා හමුවේ පසුගිය අගෝස්තුවේ සිටම වසා දමා ඇත. මෙම කම්හල් දෙකම නිෂ්පාදනය කරන්නේ රබර් අත්වැසුම් ය.

ෆැක්ටරිය පිහිටා ඇති හංවැල්ල තුන්නාන ප‍්‍රදේශයේ සමේ රෝග හටගත් රෝගීන්ගේ සංඛ්‍යාවේ වැඩි වීමක් වාර්තා වේ. ගම්මුන් චෝදනා කරන්නේ, කම්හලෙන් මුදාහරින අපජලය ස්වාභාවික ජල මූලාශ‍්‍ර දූෂනය කරමින් මෙම රෝගී තත්වයන් ඇති කිරීමට හේතුකාරක වී බව යි.

පසුගිය 16 දා තුන්නානට රැස්වූ අවට ගම්වාසීහු ෆැක්ටරිය වසා දමන ලෙස ඉල්ලා සිටියෝ ය. කම්හලට එරෙහිව උසාවි නියෝගයක් ලබා ගැනීමට ගම්වැසියන්ගෙන් කොටසක් දැරූ වෑයමකින් අනතුරුව ඇතිවූ විරෝධතාවකට 3,000ක පමන පිරිසක් සහභාගිවූ බැව් වාර්තා වෙයි. ජල දූෂනයට කම්හලේ ඇති සම්බන්ධය සඳහා ජාතික ජලසම්පාදන හා ජලාපවහන මන්ඩලය ඇතුලු අධිකාරීන්ගෙන් සාක්ෂි කැඳවන්නැයි ඉල්ලා සිටි නඩු වාරයක් උසාවිය විසින් කලින් අත්හිටුවා තිබින. පූර්වයෙන් පෙබරවාරි 13 දා පැවැති විරෝධතාවකට ගැමියන් 500ක් පමන සම්බන්ධ වී සිටියහ.

මාර්තු මාසයේදී පලාත් පාලන මැතිවරනය පැවත්වීමට කටයුතු යොදා ඇති තත්වයක් යටතේ පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා විපක්ෂයේ පක්ෂවලින් ඉදිරිපත් වන ඡන්ද අපේක්ෂකයන් මහජන විරුද්ධත්වය ගසා කෑමේ වෑයමක නිරත වේ. එජනිස බලයේ සිටියදී පූර්වයෙන් පැවැති විපක්ෂ පාලනයන්ට වරද පටවමින් ද අනෙක් අතට විපක්ෂයේ පක්ෂ බලයට පත්වූ විට එයට කලින් සිටි ආන්ඩු පක්ෂය පිට වරද පටවමින් ද ක‍්‍රමක‍්‍රමයෙන් හා සීග‍්‍රයෙන් සිදුකරන කාර්මික දූෂනයේ වගකීමෙන් මහජන අවධානය වෙනතකට හරවා යැවේ. සමස්ත දේශපාලන සංස්ථාපිතයම දේශීය හා විදේශීය ආයෝජන රටට ආකර්ශනය කර ගැනීමේ අරමුනින් පරිසර ආරක්ෂනය හා මහජන යහපැවැත්ම පරදුවට තබමින් නිෂ්පාදන වියදම් කපා දැමීමට මහා ව්‍යාපාර සමග ඒකාබද්ධ වෙති.

එච්ආර්පී හා තවත් ෆැක්ටරි දෙකක් පරිසර දූෂනයට වගකිව යුතුයැයි චෝදනා කරමින් ප‍්‍රදේශයේ ජනතාව විසින් ගොනුකල නඩුවකින් අනතුරුව 2000 වසරේදී හෝමාගම මහේස්ත‍්‍රාත් උසාවිය ලබාදුන් නියෝගයක් අනුව හෝමාගම තිබූ කම්හලේ උපකරන තුන්නානට මාරු කර ඇත. උසාවිය තම තීන්දුවට පදනම් කරගෙන ඇත්තේ පලාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි (එම් ඕඑච්) විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවකි.

විශේෂයෙන්ම, ජලය සමග මිශ‍්‍රවූ විට ශාක හා සතුන්ට මාරක විෂක් ගෙන එන ඇමෝනියා එච්ආර්පී කම්හල විසින් බහුලව භාවිතයට ගන්නා බවත් ප‍්‍රබල ඇසිඩ් වර්ග ගනනාවක් නිෂ්පාදනයට යොදා ගන්නා බවත් එම්එච් ඕ වාර්තාව හෙලි කර තිබිනි. "එච්ආර්පී කම්හලට ආසන්න භූමියේ ස්වාභාවික ජලය දූෂනය වී තිබෙන"බව හා අම්ල අංශු ප‍්‍රදේශයේ වාතලයට මුසුව ඇතයි සොයා ගත් බව වාර්තාවේ සඳහන් විය. "කම්හල සුදුසු ස්ථානයක ප‍්‍රතිස්ථානගත කිරීමට ගලවා ඉවත් කරන්නැයි" එම්ඕඑච් වාර්තාව යෝජනා කලේ ය.

කෙසේ නමුත් පරිසර දූෂනය නතර වී නැත. කම්හල ප‍්‍රතිස්ථාපනය කිරීමටත් පෙර සිට, ෆැක්ටරිය හෝමාගම තිබියදී එහි අපජලය තුන්නානට ප‍්‍රවාහනය කොට එහිදී පිරිපහදු කොට ඇල මාර්ගයකට මුදා හැර ඇත. නමුත්, එම් ඕඑච් වාර්තාව පෙන්වා දී ඇත්තේ, එම "පිරිපහදු ක‍්‍රියාවලිය මැනවින් සිදු කෙරී නැති" බව යි. කම්හල පරිසර දූෂනය කරන්නක් බව ඔප්පු වී තිබියදීත් 2011 වසරෙන් නිමා වෙන දස අවුරුදු බදු සහනයක් එයට පිරිනමා තිබින.

ගැමියන් කීප දෙනෙකු එක්ව පිහිටුවාගත් කැලනි මිටියාවතේ පරිසර සුරැකීමේ සංවිධානය කම්හලට එරෙහිව අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් උසාවියේ නීතිමය ක‍්‍රියාමාර්ගයක් ආරම්භ කලේ ය. එම පරිසර සංවිධානයේ නායකයෙක් වන පද්මසිරි ලෝසවෙඅ වාර්තාකරුවන්ට කතා කරමින් කියා සිටියේ, පසුගිය වසරේ සිට ෆැක්ටරියේ නිෂ්පාදන කටයුතු පුලූල් කර ඇති බව යි."මුලින් එය පරිසර අධිකාරියේ අනුමැතිය ලබා ගෙන තිබුනත්, දැන් ෆැක්ටරිය තිබුනාටත් වඩා විශාලයි," ඔහු කීවේ ය. "ෆැක්ටරිය තුල පිහිටා ඇතැයි ඔවුන් කියන පිරිපහදු උපකරන, නිෂ්පාදන ක‍්‍රියාවලියේදී පරිහරනය කරන විශාල ජල ප‍්‍රමානයත් එක්ක ගනුදෙනු කිරීමට ප‍්‍රමානවත් නැත"යි තවදුරටත් පැවසීය.

පරිසර සංවිධානයේ රැස්වීමක් අතරතුරදී එහි සහභාගිවූවන් කීප දෙනෙකුම කියා සිටියේ, හඳුනා නොගත් ද්‍රව්‍ය කම්හල විසින් වාතලයට මුදා හරින බව යි. "හරියටම සිද්ධ වෙන්නේ මොකක්ද කියලා කියන එක වසං කිරීමේ අරමුනින් රාත‍්‍රියේදී කම්මහලෙන් අලූ වැනි කිසියම් දෙයක් කම්හලේ මුදුනින් මුදා හරිනවා," අයෙක් කීවේ ය. හුස්ම ගැනීමේ අපහසුතා මෙයින් ඇති කරන බවට ඔවුහු සැක කරති. එමෙන්ම, කම්හලේ වියදමින් නඩත්තු කෙරීගෙන යන ගාස්තුවෙන් නිදහස් ජල නල මධ්‍යස්ථාන හයක් පිහිටුවීම පිටුපස ඇති අරමුන රැස්වූවන්ගේ ප‍්‍රශ්න කිරීමට බඳුන් විය.

ලෝසවෙඅ වාර්තාකරුවන් කන්ඩායමකටද රැස්වීමට ආමන්ත‍්‍රනය කිරීමට අවස්ථාව ලැබිනි. රැස්ව සිටි 30ක් පමන වන ගම්මුන්ගෙන් ඔවුන් ඉල්ලා සිටියේ, වැලිවේරිය වෙනිග්‍රොස් කම්හල විසින් සිදුකර ඇති ජල දූෂනය මුල්කරගෙන මතුව ඇති සිදුවීම් කෙරෙහි ඉවසිලිවන්ත අවධානයක් යොමුකරන ලෙස යි. පසුගිය අගෝස්තු මස වැලිවේරිය ප‍්‍රදේශයේ 5,000ක් පමන ගැමියන්ගේ සාමකාමී විරෝධතාවක් නවතා දැමීමට ආන්ඩුව විසින් මිලිටරිය හා පොලිසිය යෙදවීමේ සිද්ධිය පිලිබඳ සඳහන් කරමින්, "ආන්ඩුව මුලින්ම ෆැක්ටරියට එරෙහිව මහජන විරෝධතාව නිහඬ කිරීමට වෑයම් කරමින් සිසුන් දෙදෙනෙකු හා කම්කරුවෙකු ඝාතනය කල අතර තවත් දුසිම් ගනනකට තුවාල සිදු කලේ ය" ලෝසවෙඅ වාර්තාකරුවෙක් කීවේ ය.

"ඉන් අනතුරුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මන්ඩලය හා මධ්‍යම පරිසර අධිකාරිය වාර්තාවන් නිකුත් කරමින් කියා පෑවේ වෙනිග්‍රොස් කම්හල ජල දූෂනයට සම්බන්ධයක් නැති බවයි. එතැන් පටන් ෆැක්ටරි අයිතිකරුවන් විතරක් නොව ආන්ඩුව හා මාධ්‍යයද එක්ව ෆැක්ටරිය ජල දූෂනයට වගකිව යුතුය යනුවෙන් ගම්මුන් කල චෝදනාවන්ට එරෙහිව මෙම වාර්තා යොදා ගත්තේ යැයි" ඔහු සඳහන් කලේ ය. "කෙසේනමුත්, ආන්ඩුවේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ සීමිත පරීක්ෂනයක් හෙලිදරව් කරන්නේ, කම්හලෙන් මුදාහරින අපජලය ශ‍්‍රී ලංකා ප‍්‍රමිතිකරන ආයතනයේ නිර්දේශයන් සපුරා නැති බව යි."

මහජන විරුද්ධත්වය ගසාකෑම සඳහා විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂය විසින් පිහිටුවා ගත් සංවිධානයක් වන, සියැනෑ ජලය සුරැකීමේ ව්‍යාපාරය විසින් ඉටුකරන කාර්යය ගැනද එහි දී සාකච්ඡා විනි. දූෂනයේ පරිමාව පලල් වශයෙන් චිත‍්‍රනය කෙරුනේ ජලයේ ආම්ලිකතා මට්ටමේ නැගීමක් ලෙසිනි. "කෙසේවෙතත්, ආන්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් යාබද ප‍්‍රදේශයෙන් සොයාගනු ලැබූ නයිටේ‍්‍රට් සම්මිශ‍්‍රනය හා ඇමෝනියාවල අවධානම් මට්ටම පිලිබඳ කිසිදු කතාබහක් ඇත්තේ නැත." ඔහු තවදුරටත් කීවේ, "ඒ ආකාරයෙන්ම නිරායුධ ගම්මුන් එල්ල කර වෙඩි තැබීම හා සිදුකල ඝාතන පිලිබඳ කතාබහ දැන් වලදමා ඇති" බව යි.

හංවැල්ල ගම්මුන්ට එරෙහිවත් ආන්ඩුව එවැනිම පියවරයන් ගනු ඇත්ද යනුවෙන් සභාවෙන් ප‍්‍රශ්නයක් ඉදිරිපත් විනි. "මහා ව්‍යාපාරිකයන්ට හා විදෙස් ආයෝජකයන්ට ඔවුන්ගේ අවශ්‍යතාවන් ආරක්ෂා කිරීම වෙනුවෙන් තමන්ගේ ආන්ඩුව ඕනෑම දෙයක් සිදුකිරීමට සූදානම් බව පෙන්වීමට අවශ්‍යව පවතින නිසා ෆැක්ටරිය ආරක්ෂා කිරීමට රාජපක්ෂගේ ආන්ඩුව දැඩිව තීන්දු කර සිටිනවා," යැයි තවත් ලෝසවෙඅ වාර්තාකරුවෙක් පිලිතුරු දුන්නේ ය. "පසුගිය වසරවල රුපියල් බිලියන ගනන් ලාබ වාර්තා කල වැලිවේරියේ වෙනිග්‍රොස් කම්හලට එරෙහි මහජන විරෝධතාව නිහඬ කිරීමේ ආන්ඩුවේ වෑයම පිටුපස නිශ්තවම පවතින කාරනාව වන්නේ මෙය යි."

"විශාල කාර්මික දූෂනය වසං කිරීමට දරන වෑයම් හෙලිදරව් කිරීමට හැකිවුනේ, සමාජවාදී සමානතා පක්ෂයේ මැදිහත් වීමෙන් දියත් කල ස්වාධීන කම්කරු පරීක්ෂනය නිසාම පමනි." ලෝසවෙඅයේ පරීක්ෂනය විසින් ප‍්‍රසිද්ධ කල වාර්තා කීපයක් ප‍්‍රවේශමෙන් හදාරන ලෙස ඉල්ලා සිටිමින් සහභාගිවූවන් අතර බෙදා හැරිනි.

Share this article: