නව සම සමාජ පක්ෂයේ නාම යෝජනා පත්‍ර අවුල හා ආන්ඩුව දඩයමකට අර ඇදීම

වසන්ත රූපසිංහ විසිනි, 2014 පෙබරවාරි 21

එලැඹෙන පලාත් පාලන මැතිවරනය සඳහා ගම්පහ දිස්ත්‍රික්කය වෙනුවෙන් නව සම සමාජ පක්ෂය (නසසප) ඉදිරිපත් කල දෝෂ සහිත නාම යෝජනා පත්‍රය මුල්කරගෙන පොලිසිය හා අපරාධ විමර්ශන ඒකකය ගෙන යන විභාගය ආන්ඩුවේ පිලිවෙත් මොනයම්ම හෝ ආකාරයේ විවේචනයට ලක් කරන්නන් නිහඬ කිරීමට රාජපක්ෂ ආන්ඩුව අදිටන් කර ඇති ආකාරය ප්‍රදර්ශනය කරයි. කෙසේ වෙතත්, මෙම නාම යෝජනා පත්‍ර ප්‍රශ්නය, ව්‍යාජ වාම සංවිධානයක් වන නසසපයේ දක්ෂිනාංශික අවස්ථාවාදය පිලිබඳ සුලු ඉඟියක් ද සම්පාදනය කරයි. මාර්තු 29 දා පැවැත්වෙන පලාත් සභා මැතිවරනයට නසසපය ඉදිරිපත් වන්නේ තවත් ව්‍යාජ වාම පක්ෂයක් වන එක්සත් සමාජවාදී පක්ෂය (එසප) සමග එක පෙරමුනක් යටතේ ය.

මාධ්‍ය වාර්තා අනුව, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා නසසප ඉදිරිපත් කල නාම යෝජනා පත්‍රයේ නම් 43න් නම් 16කට අදාල තොරතුරු ව්‍යාජ ඒවා බව තහවුරු වී ඇතයි පොලිසිය සඳහන් කල අතර 15 දා ගම්පහ පොලිසිය පැය දෙකක් තිස්සේ මේ පිලිබඳව නසසප නායක වික්‍රමබාහු කරුනාරත්නගෙන් ප්‍රශ්න කොට තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහන උපුටා දක්වමින් කලම්බු පේජ් වෙබ් අඩවිය වාර්තා කලේ, නීති ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට පොලිසිය නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් පතන බවත් පරීක්ෂන දිගටම ක්‍රියාත්මක බවත් ය.

ආන්ඩුවේ විද්‍යුත් හා ලිඛිත මාධ්‍ය මේ සිදුවීම මුල් කරගෙන කරුනාරත්නට එරෙහිව උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ. උදාහරනයක් ලෙස මේ පිලිබඳ මුල් පිටුවේ විශේෂ අවධාරනයක් සහිතව වාර්තා කරන ආන්ඩුවේ හොරනෑවක් වන ඩේලි නිව්ස් පුවත්පත ලීවේ, "මැතිවරන කොමසාරිස්වරයා රැවටීමට හා අපහාසයට ලක් කිරීමට වෑයම් කරමින්...විදෙස් මුදල් ආධාර ලබන පක්ෂයක් මෙහෙයවන" කරුනාරත්න මෙලෙස සාවද්‍ය තොරතුරු සහිත නාම යෝජනා පත්‍රයක් හිතාමතාම ඉදිරිපත් කර ඇති බව යි.

1988 පලාත් පාලන මැතිවරන පනතට අනුව, වංචාකාරී නාම යෝජනා පත්‍රයක් සැකසීමකට වරදකරුවෙකු වන ඕනෑම පුද්ගලයෙක් වසර දෙකක කාලයක් සඳහා සිරදඬුවමකට යටත් කල හැකි අතර වසර 7ක කාලයක් සඳහා ඡන්දය ලබා දීම, ඡන්ද දායකයෙක් ලෙස ලියාපදිංචි වීම හෝ මහජන නියෝජිතයෙක් ලෙස තේරී පත්වීම සඳහා නුසුදුස්සෙකු බවට ද පත් වේ.

මැතිවරන නීති ඇතුලු ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා උල්ලංඝනය කරමින් අධිකාරවාදී පාලනයක් ගෙන යන රාජපක්ෂ ආන්ඩුව නසසප නායකයා මැතිවරන නීති කැඩීම ගැන චෝදනා කරමින් අර අදින දඩයමට සමාජවාදී සමානතා පක්ෂය තරයේම විරුද්ධත්වය ප්‍රකාශ කරයි.

පෙබරවාරි 16 දින සන්ඩේ ටයිම්ස් පුවත්පතේ "මැතිවරන ප්‍රචන්ඩ ක්‍රියා සිදුකිරීමට හා නීති උල්ලංඝනය කිරීමට පාලක පක්ෂය අපරාධකරුවන් මෙහෙවමින් සිටී" යන සිරසින් පලවූ ලිපියකින් විස්තර කෙරුනේ රටේ අනෙකුත් සියලුම පක්ෂ අභිබවා පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) මැතිවරන නීති උල්ලංඝනයේ නිරතව සිටින බවයි. නීති විරෝධී මැතිවරන ප්‍රචාර, රාජ්‍ය දේපල අයථා පරිහරනය ඒවා අතර වෙයි. රාජපක්ෂගේ ගම් ප්‍රදේශයට අයත්වන හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ (එජාප) අපේක්ෂකයෙකුගේ වාහනයකට කිසියම් කන්ඩායමක් වෙඩි තැබීමක් ද වාර්තා විය.

ආන්ඩුවේ ඉහල නිලධාරීන්ට මැතිවරන කටයුතුවල යෙදීම නීති අනුව තහනම් කටයුත්තක් වුවත්, ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කොලඹ දිස්ත්‍රික්කය සදහා එජනිසයෙන් තරග වදින උදය ගම්මන්පිලගේ මැතිවරන ප්‍රචාරක ආරම්භක රැස්වීමේ දී ආන්ඩු පක්ෂය වෙනුවෙන් කතා කලේ, එවැනි නීති තඹේකට මායිම් නොකරමිනි.

පොලිසියට කට උත්තරයක් ලබා දීමෙන් අනතුරුව කරුනාරත්න මාධ්‍යයට කීවේ, සිය පක්ෂය අපකීර්තියට පත් කිරීමේ "කුමන්ත්‍රනයක" කොටසක් ලෙස කිසියම් කන්ඩායමක් නාම යෝජනා පත්‍රයට සාවද්‍ය තොරතුරු ඇතුලත් කර ඇතැයි තමන්ට හැඟෙන බැව්, ඔහු පොලිසියට දුන් කටඋත්තරයේ දී ප්‍රකාශ කල බව යි. මීට පෙර, පෙබරවාරි 12 දා ඩේලි මිරර් පුවත්පත කරුනාරත්න උපුටා දක්වමින් වාර්තා කර තිබුනේ, එජාපය තුල ප්‍රතිසංස්කරන ඉල්ලා උද්ඝෝෂනයේ නිරත එක්තරා එජාප දේශපාලනඥයෙක් ආන්ඩුව සමග එක්ව ගම්පහ නසසප අපේක්ෂක ලැයිස්තුව සම්බන්ධ චෝදනා ඉදිරිපත් කිරීම හරහා ඔහු අපකීර්තියට පත් කිරීමට 'කුමන්ත්‍රනය' කර ඇති බව යි.

එජාපයේ "එක්තරා දේශපාලනඥයෙක්" නසසප නාම යෝජනා පත්‍රය වැරදි නම් යොදා සකස් කිරීමට 'කුමන්ත්‍රනය' කලේ කෙසේදැයි කරුනාරත්න පැහැදිලි කර නැත. ඔහුගේ කතාවේ තේරුම වන්නේ, නසසප නාම යෝජනා පත්‍රයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග වැදීමට අයදුම් කලවුන් හා එකී නාම යෝජනා පත්‍ර සැකසූවන් අතර එජාප දේශපාලඥයින්ද සිටි බව යි. මේ වනවිට දක්ෂිනාංශික එජාප නායක රනිල් වික්‍රමසිංහ සමග මේ රටේ කම්කරු පීඩිත මහජනයාට අලුත් උගුලක් ඇටවීම සදහා ප්‍රතිගාමී දේශපාලන හවුලකට බැඳී සිටින කරුනාරත්න, එජාප දේශපාලඥයින් විස්වාස කිරීමත් සිය පක්ෂයේ තීරනාත්මක කටයුතුවලට ඔවුන් හවුල් කර ගැනීමත් මවිතයට කරුනක් නොවේ. එයින් ගම්‍ය වන්නේ, දක්ෂිනාංශික එජාපය හා ඔහුගේ නසසපය දේශපාලනික අතින් පමනක් නොව සංවිධානාත්මක වශයෙන් ද දෙකක් නොව එකක් ලෙසම ක්‍රියා කරන බව යි.

තමන්ගේ කනින් රිංගා පක්ෂයේ නාම යෝජනා ලැයිස්තුවට එජාපයේ කොටසක් වැරදි නම් ඇතුලත් කර කුමන්ත්‍රනයක් කර ඇතැයි විලිලැජ්ජාවකින් තොරවම කරුනාරත්න ප්‍රකාශ කර ඇත්තේ, ඉනිදු තමාට ප්‍රසිද්ධියක් ලබා ගැනීමේ බාල උත්සාහයක යෙදෙමිනි.

ධනපති යූඇන්පී නායකයාට මෙන්ම කරුනාරත්නට ද රාජපක්ෂ ආන්ඩුව සමග ඇත්තේ උපායාත්මක මතභේදයකි. ඔහු රාජපක්ෂ ආන්ඩුව පිලිබඳව කරන සීමිත විවේචන අනෙකුත් ඕනෑම ධනේශ්වර විරුද්ධ පක්ෂයක වාංමාලා තුලින් සොයා ගැනීම අසීරු නොවේ. දැන් ලෝකය පුරා ඉහල මධ්‍යම පාන්තිකයන්ගේ සංවිධාන ලෙස ව්‍යාජ වාම කන්ඩායම් පෙරට දමා තිබෙන සටන් පාඨය වන, ධනේශ්වර "ප්‍රජාතන්ත්‍රවාදය" රැකීම වෙනුවෙන් මොරදෙන කරුනාරත්න, වික්‍රමසිංහ "අව්‍යාජ ලිබරල් ප්‍රජාතාන්ත්‍රික නායකයෙක්" ලෙස ඔජ වඩමින් සිටී.

රාජපක්ෂ මෙන් මහජනතාවට හොර රහසේ නොව ඇමෙරිකන් අධිරාජ්‍යවාදය සමග සමීපව වැඩ කිරීමේ අවශ්‍යතාව එලිපිට අවධාරනය කරන වික්‍රමසිංහ සමග එක්ව කරුනාරත්න අධිරාජ්‍යවාදීන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටීම රාජපක්ෂ පාලනයට රුස්සන්නේ නැත. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර බලවතුන් රාජපක්ෂ පාලනයට බලපෑම් දමමින් කියා සිටින්නේ කලාපය තුල ප්‍රතිමල්ලවයා ලෙස නම්කර ගෙන ඇති චීනයෙන් ඈත් වන ලෙස යි.

ඇමෙරිකාව මේ සඳහා "මානව හිමිකම් සුරැකීමේ" තුරුම්පුව යොදා ගනිමින් ලංකාවේ රාජපක්ෂ පාලනය නම්මා ගැනීමට බලපෑම් දමමින් සිටී. අධිරාජ්‍යවාදීන් හා එජාපය ගෙන යන උද්ඝෝෂනයේ ප්‍රමුඛ හවුල්කරුවෙක් ලෙස ය, කරුනාරත්න ඉදිරිපත්ව සිටින්නේ. පසුගිය ජනවාරි 23 දා කොලඹ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී නසසප නායකයා ප්‍රකාශ කලේ, ආන්ඩුව මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිලිබඳ කරුනු දැක්වීමට තමන් මාර්තුවල ජිනීවාහි දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සම්මේලනයට සහභාගී වන බව යි.

නසසපය, පැබ්ලෝවාදී එක්සත් ලේකම් මන්ඩලයේ ලංකා ශාඛාව යි. එහි සම චින්තක පැබ්ලොවාදී සංවිධාන ප්‍රංශයේ, බ්‍රිතාන්‍යයේ, ඇමෙරිකාවේ හා අන් රටවල අධිරාජ්‍යවාදී පක්ෂවලට ඉව අල්ලාගෙන ක්‍රියා කරයි. ලංකාව තුල නසසපය හා එසපය හැරී සිටින්නේ ද එම අධිරාජ්‍යවාදී බලයන් වෙත ය.

Share this article: