ධන කුවේරයන්ගේ ගෝලීය තන්ත‍්‍රය

The global plutocracy

2014 ජනවාරි 21

පරපුටු සම්පත්වල ද බලයෙහි ද වාර්ෂික රජ දැක්ම ලෙස සැලකෙන ලෝක ආර්ථික ෆෝරමය ඩේවෝස් නම් ස්විට්සර්ලන්ත සංචාරක නගරයේ පැවැත්වුනු සන්ධ්‍යාවේම, ලොව පුරා නොඇසූවිරූ ලෙස වර්ධනය වෙමින් පවත්නා සමාජ අසමානතාවය පිලිබඳව අනතුරු හැඟැවීමේ වාර්තාවක් ඔක්ස්ෆෑම් ආයතනය නිකුත් කොට ඇත.

අතලොස්සක් වන ධනවතුන්ගේ අනිටු ග්‍රහනයේ පවත්නා ග්‍රහ ලෝකයක් පිලිබඳව විස්තර කෙරෙන මෙම වාර්තාව, ලෝකයේ ඉහලම ධනවතුන් 85 දෙනා ලෝක ජනගහනයේ අඩු වත්කම් සහිත සියයට 50 - එනම්, බිලියන 3.5ක ජනකායක්! - විසින් පාලනය කෙරෙන සම්පත් ප්‍රමානයට සමාන වත්කම් ප්‍රමානයක් පාලනය කරන බව ප්‍රකාශ කරයි. තවද, ධනවත්ම සියයට එකක පිරිස අද දින ලෝකයේ ධන සම්පත්වලින් සියයට 46ක් පාලනය කරන බව ද එය සටහන් කරයි. ඔක්ස්ෆෑම් වාර්තාව මෙසේ ලියයි: "ලෝකයේ ධනවත්ම සියයට එකක් සතු ධන සම්පත්වල වටිනාකම ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 110කි.... එය ලෝක ජනගහනයෙන් හරි අඩකගේ මුලු වත්කම් මෙන් 65 ගුනයක් වෙයි."

2008න් පසු සංවර්ධනය රටවල් අතරින් අසමානතාවයේ විශාලතම වැඩිවීම සිදුවී ඇත්තේ එක්සත් ජනපදයේ බැව් පෙන්නුම් කෙරෙන ප්‍රස්ථාර සටහනක් ද වාර්තාවට ඇතුලත් ය.

එක් අතෙකින් කම්කරු පන්තිය හිඟමනට ඇද දැමීමේත්, අනෙක් අතින් මූල්‍ය ප්‍රභූන් තවතවත් ධනයෙන් ආඪ්‍යවීමේත් වේගය, එම වසරේ සිදු වූ වෝල් විදියේ බිඳවැටීමෙහි සිට උත්සන්න විය. ගත වූ කාලය තුල ලෝකයේ කෝටිපතියන් සතු ධනය දෙගුනයකින් වැඩිවන අතරවාරයේ දී, අද වනවිට ඩොලරයකට අඩු මුදලකින් දවස පිරිමසා ගන්නා ජනයා කෝටියකට අධිකය. ලෝක ජනගහනයෙන් අඩකට ආසන්න පිරිසක්, එනම්, කෝටි 3කට අධික ජනකායක්, දිවි රැකගන්නේ දිනයකට ඇඩො 2.50කට අඩු මුදලකිනි.

ඔක්ස්ෆෑම් අධ්‍යයනයේ වාර්තාව නිකුත් කල දිනයේ දී ම ජාත්‍යන්තර කම්කරු සංවිධානය (අයිඑල්ඕ) වාර්තා කලේ 2013 වසරේ දී ලොව පුරා රැකියා විරහිත ජන සංඛ්‍යාව දශ ලක්ෂ 5කින් ඉහල යමින්, දශ ලක්ෂ 202 මට්ටමට නැඟුනු බවයි. 2014 වසරේදී රැකියා වියුක්තයන්ගේ සංඛ්‍යාව තවතවත් ඉහල යනු ඇතැයි අයිඑල්ඕව අනාවැකි පල කරයි.

වර්තමානයේ ධන සම්පත්වල අති දැවැන්ත සංකේන්ද්‍රනය හෝ, "නව සාමාන්‍ය තත්වය" සැදුම්ලත් පරපුටුභාවයේ හා පරිහානියේ ආන්තික තත්වයන් සමඟ සැසඳිය හැක්කක් මිනිස් ඉතිහාසයේ කවර කලෙක හෝ පැවැතී නැත. පාලක පංතිය හා එහි බත් බැලයන් "නිදහස් ව්‍යවසාය ක්‍රමය" ලෙස හඳුන්වන අද්‍යතන ධනවාදය විසින් නිර්මානය කරනු ලැබ ඇත්තේ, පිලිවෙත් සම්බන්ධ සෑම තීන්දුවක්ම ලෝක ජනගහනයෙන් අතිශය ක්ෂුද්‍ර කොටසකගේ ධන සම්පත් සුරැකීමට හා වර්ධනය කිරීමට ඇති අවශ්‍යතාවයෙන් අනවනු ලැබෙන්නාවූ ලෝකයකි.

ධනවතුන් විසින් පාලනය කරන සමාජයක් යන අර්ථය සහිත මෙම ලෝක ධන කුවේර තන්ත්‍රයේ, ධන සම්පත්වලින් අතිමහත් වූත්, දිනෙන් දින වැඩෙන්නා වූත් කොටසක් ජනනය කරනු ලබන්නේ, ප්‍රයෝජනවත් භාන්ඩ නිපදවීමෙන් හා සමාජයේ නිෂ්පාදන ධාරිතාවන් ප්‍රසාරනය කිරීමෙන් නොව, නිෂ්පාදන බලවේගවලට ව්‍යසනකාරී වූත්, අවශ්‍යයෙන් ම සාපරාධී වූත් මුදල් පරිචාරනය, සමපේක්ෂනය හා අමු රැවටිල්ලෙන් හා වංචාවෙනි.

අල්ලසින් මිල දී ගැනුනු දේශපාලනඥයන්, ශාස්ත්‍රාලීය ක්ෂමාලාපකයන්, ඔත්තු සේවා පිල්ලි, සෑම වර්ගයකම විශේෂඥයන් හා මිලිටරි පොලිස් මර්දන බල ඇනිවලින් සමන්විත මුලුමහත් හමුදාවක පිටුබලය ලබන කිහිප සියයක මිනිසුන් කන්ඩායමක්, සමස්ත ශිෂ්ටාචාරය ගෙල මුලින් අල්ලාගෙන, සංසිඳවිය නොහෙන සිය කෑදරකම සන්තර්පනය කරනු වස් එය වනසාලීමට තර්ජනය කරති.

මේ සමාජ - වඩාත් නිවැරදි ලෙස කිවහොත් සමාජ විරෝධී - කොට්ඨාශය මහජනයාට උග්‍ර ලෙස සතුරුය; ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් කෙරේ වෛරීසහගත ය; යුදකාමිය.

සිය පෞද්ගලික ධනය ප්‍රසාරනය කිරීම පිනිස දරන ප්‍රයත්නය තුල එය, ලෝක ජනගහනයෙන් ඇති බහුතරය වන කම්කරු පංතියේ ජිවන තතු මත නිර්දය ප්‍රහාර එල්ල කරයි. මුලුමහත් ලෝකය පුරාම ධනහිමියන් විසින් පාලනය කෙරෙන ආන්ඩු, වැටුප් සිඳ ලමින් රැකියා කපා හෙලමින් සමාජ සුභසාධන වැඩ සටහන් සිඳ බිඳ දමමින් පාසැල් වසා දමමින් සෞඛ්‍ය සේවා වනසාලමින් වඩාත්ම වේදනාකාරී කප්පාදු පියවර ක්‍රියාවට නංවමින් සිටිති. බැංකු හා සමාගම්වලට ඇපකර සම්පාදනය කිරීමට රාජ්‍ය භාන්ඩාගාර හිස් කෙරෙන අතර කොටස් මිල ගනන්, සමාගම්වල ලාභය හා ප්‍රධාන විධායකයින්ගේ වැටුප් ඉහල නැංවීම සඳහා මහ බැංකු, ඩොලර් ට්‍රිලියන ගනනින් මුදල් මූල්‍ය වෙලඳපොලවලට මුදා හරිමින් සිටිති. ලාභ ඉපයීම සම්බන්ධයෙන් වන සියලු නෛතික සීමා ඉවත් කෙරේ.

කම්කරුවන්ගේ විරුද්ධත්වය සමඟ ගනුදෙනු බේරා ගනු වස්, කම්කරු පන්තියේ සංවිධානාත්මක ප්‍රතිරෝධය අපරාධයක් ලෙස නම් කිරීම සඳහා ආන්ඩු, ක්‍රමානුකූලව වැඩට බැස සිටිති. යුරෝපාකරය පුරා රටවල සෑම සැලකිය යුතු වර්ජනයකටම නීතිමය තහනම් හා පොලිස් ප්‍රචන්ඩත්වයට මුහුන දීමට සිදු විය.

සමාජ විප්ලවයේ පෙර දැක්ම හමුවේ භීතියෙන් ගල් ගැසී ඇති ඔවුහු, ජාතික ආරක්ෂක සේවයේ හිටපු කොන්ත්‍රාත් සේවක එඩ්වඩ් ස්නෝඩන් විසින් හෙලිදරව් කෙරුනු පරිදි, ගෝලීය ඒකාධිපති පොලිස් රාජ්‍යයක් සඳහා වූ අධෝව්‍යුහය සංවිධානය කරමින් සිටිති.

සිය ජාතික රාජ්‍යයන් තම මෙහෙයුම් සඳහා පදනම ලෙස භාවිත කරමින්, එකිනෙකා හා තරඟ වැදී සිටින ධනපති කල්ලි, වඩාත් දුබල රටවල් ආක්‍රමනය කරමින්, ඒවාට මරනය හා විනාශය ගෙන එමින් නිර්දය ලෙස ඒවා කොල්ල කති. භූමි ප්‍රදේශ, වෙලඳපොලවල්, සම්පත් හා ලාභ ශ්‍රමය සඳහා සිය ප්‍රතිවාදීන් සමඟ ඇති අරගලයේදී ඔවුහු, සමස්ත ග්‍රහ ලෝකයම හමුදා කඳවුරක් බවට පරිවර්තනය කරමින්, මනුෂ්‍ය වර්ගයා තුන්වන ලෝක යුද්ධයක ගිල්ලවා දැමීමට තර්ජනය කරති. මෙවර එම තර්ජනය නැඟෙන්නේ න්‍යෂ්ටික මූලෝත්පාටනයක ඉදිරි දර්ශනය සමඟය.

රාජ්‍ය නිලධාරීන් හා එක්සත් ජාතීන්, යුරෝපා සංගමය, ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බඳු ජාත්‍යන්තර සංවිධානවල නායකයන්, කෝටිපති බැංකු කරුවන්ට හා සමාගම්වල ප්‍රධාන විධායකයන්ට නමස්කාර පූර්වක ප්‍රනාමය පුද කරන, මේ සතියේ ඩේවෝස්හිදී පැවැත්වෙන වාර්ෂික අවස්ථාව හමුවේ, ධනවතුන් හා සුපිරි ධනවතුන් පෙනී සිටිනු ඇත.

එක් නිවේදකයෙකු පැවසූ පරිදි, ලෝක මූල්‍ය ප්‍රභූන් සැරසෙන්නේ "අගනා ලෝම ඇඟලුම්වලින් සැරසී ගත් සිය ජයග්‍රාහී ඵලකයන් වන් අඹුවන් ද ඇද ගෙන, තම හෙලිකොප්ටරවල නැඟී ස්විස් ඇල්ප්ස් කඳුවැටියේ අඩි 5,000ක උසක් කරා ලෝක ආර්ථික සංසදය ප්‍රචාලනය කිරීමටය." සීඑන්එන් මාධ්‍ය ජාලය සේවය තක්සේරු කර ඇති පරිදි, එක් පුද්ගලයෙකුට මෙම සමුලුවට සහභාගී වීමේදී ඇමරිකානු ඩොලර් 40,000ක් පමන වැයවේ. ඒ වූ කලී එක්සත් ජනපදය තුල සාමාන්‍ය කම්කරුවෙකු වසරක දී උපයන මුදලින් සියයට 50ට වැඩි මුදලකි.

සමාජ අසමානතාවය පිලිබඳ "ගැටලුව" තම සාකච්ඡාවේ එක් ප්‍රධාන මාතෘකාවක් බැව් සමුලුව නිවේදනය කොට ඇත.

ලෝකය පුරා මහජනයා මෙම අපරාධකාරී සමාජ ස්ථරය කෙරේ බුරා නැඟෙන කෝපයකින් දැවෙමින් පසු වෙති. එම කෝපය ක්‍රියාවට පෙරලීම හුදෙක් කාලය සම්බන්ධ ප්‍රශ්නයක් පමනි.

මුදල් හිමි ප්‍රභූව සමාජ කැලැඹීමේ හා විප්ලවයේ අවතාර දකිමින් බිය වැදී සිටිති. ඊජිප්තුවේ මුබාරක් ආඥාදායකත්වය බලයෙන් ඇද දැමූ කම්කරු පංති නැඟිටීම තුල ඔවුහු තෙවසරකට ඉහත දී එහි රස බැලූහ. යුරෝපය තුල සමාජ පිපිරීම් ද, එක්සත් ජනපදය තුල ඉදිරියේ එන කැලඹීම් පිලිබඳ පූර්වාපේක්ෂාවන් ද ඔවුහු දැක ඇත්තාහ.

ඔවුන්ට තව දුරටත් බලයේ එල්ලී සිටීමට හැකි වී ඇත්තේ අන් සියල්ලටමත් වඩා එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සමාජවාදී සංවිධානය, ප්‍රංශයේ නව ධනපති විරෝධී පක්ෂය, ජර්මනියේ වාමාංශික පක්ෂය හා ග්‍රීසියේ සයිරිසාව වැනි තමන් "වමේ" යැයි කියාගන්නා දක්ෂිනාංශික සංවිධානයන්හි සිටින සිය ක්ෂමාලාපකයන්ගේ ආධාරය ලබන වෘත්තීය සමිති නිලධරයේ ද්‍රෝහීත්වය නිසාය.

වත්මන් තත්වය පවත්වා ගෙන යා නො හැක්කක් බවට ධනපති ක්‍රමයේ වඩාත් ප්‍රත්‍යක්ෂ ඥානයෙන් යුත් හා දුර දිග දකින ආරක්ෂකයෝ අනතුරු හඟවති. පසුගිය සතියේ දී ෆයිනෑන්ෂල් ටයිම්ස්හි ප්‍රධාන ආර්ථික ටීකාකරු වන මාටින් වුල්ෆ් "අසමත් ප්‍රභූහු අපේ අනාගතය අනතුරේ හෙලති" යන මැයෙන් ලියූ සටහනක, සමාජ විප්ලවයක වැඩෙන තර්ජනය පිලිබඳ අනතුරු හඟවා තිබින.

ධනපති ක්‍රමයේ මර ලතෝනිය පිලිබඳව මුල් සංඥාව නිකුත් කරමින් පලමු ලෝක සංග්‍රාමයෙන් තෙවසරකට පසුව ඇතිවූ රුසියානු විප්ලවය ඉතිහාසයේ පෙරහන තුල ශේෂ කල ප්‍රථම ලෝක පරිමාන ව්‍යසනය වූ එම යුද්ධය ගැන සඳහන් කරමින් වුල්ෆ් මෙසේ අනතුරු හඟවයි: "ගෝලීය ආර්ථික හා මූල්‍ය ප්‍රභූව.... තමන් නිපදවනු ලැබූ රටවලින් සදහටම මුල් සිඳ ගෙන (වියුක්තව) හිඳිති.... ආර්ථික වර්ධනයේ ඵල ඉතා පටු සීමාවක් තුල බෙදී යාම මගින් මෙම වර්ධනය ඉමහත් වැඩි කරයි. ඉදින් මේ නම් සදාකාලික කුවේරතන්ත්‍රයක් වේ මය."

2008 වසරේ මූල්‍ය බිඳ වැටීමෙහි සිට "ආර්ථික, මූල්‍ය, බුද්ධිමය හා දේශපාලන ප්‍රභූන්" තමන්ම අපකීර්තියට පත් කොට ගෙන ඇතැයි ඔහු ලියා ඇත. ඔහුගේ නිගමනය වන්නේ, "ප්‍රභූන් දිගටම අසාර්ථක වේ නම් කෝපාවිශ්ඨ ජනතාවාදීන්ගේ නැඟී ඒම නැරඹීමට අපට සිදුවනු ඇති" බවයි. "ප්‍රභූන් මීට වඩා සාර්ථක ලෙස ක්‍රියා කල යුතුය. ඔවුහු එසේ නොකරත් නම් ඇවිල යන කෝපාග්නියෙන් අප සැම විනාශ වී යා හැකිය." ලෝ වැසි ජනයා දැන් මෙම ප්‍රශ්නයට මුහුන දී සිටිති: අප ග්‍රහ ලෝකයේ ගෙල සිර කරමින් සිටින මෙම සමාජ විරෝධී හා අපරාධකාරී ස්ථරය සම්බන්ධයෙන් කල යුත්තේ කුමක්ද? ඔක්ස්ෆෑමය කරන පරිදි ධනහිමියන්ගේ "වඩාත් හොඳ සුර දූතයන්"ට ආයාචනා කිරීමෙන් හෝ, වොල්ෆ් කරන්නට තැත් කරන පරිදි ප්‍රභූවේ තාර්කික බුද්ධි මහිමයට ආයාචනා කිරීමෙන් කිසිවක් වෙනස් කල නොහේ.

සමාජ ස්වස්ථතාව හා එහි නොනැසී පැවැත්ම රැක ගැනීම් වස් මෙම පරපුටු ස්ථරය අත තබා ගෙන සිටින ධන සම්පත් ඔවුන් අතින් උදුරා ගත යුතුය. ස්වාධීන දේශපාලන බලයක් ලෙස සංවිධානය වූ කම්කරු පංතිය එය අත්පත් කර ගෙන රැකියා, සෞඛ්‍ය සේවා, අධ්‍යාපනය, නිවාස, පෝෂනය, සංස්කෘතිය හා කලාව කරා සම්ප්‍රවේශය ආදී වශයෙන් වූ දැවෙන සමාජ අවශ්‍යතාවන් සපුරා ලීමට එය යොදා ගත යුතුය.

මූල්‍යය හා කර්මාන්ත මත ධනහිමියන් පවත්වා ගෙන යන මාරක ග්‍රහනය බිඳ දැමිය යුතුය. බැංකු හා සමාගම් පෞද්ගලික හස්තයෙන් මුදා ගෙන මහජන අයිතියට හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට නතු කල යුතුය. මෙය සිදු කල හැක්කේ එක් ක්‍රමයකින් පමනි: සමාජය විප්ලවවාදී ලෙස පරිවර්තනය කිරීම මඟින් සමාජවාදය සංස්ථාපනය කිරීමෙනි.

ඇන්ඩෲ ඩේමන් හා බැරි ග්‍රේ

Share this article: