සමාජවාදී සමානතා පක්ෂය පලාත් සභා මැතිවරනයට තරඟ වදියි

Sri Lankan SEP to contest provincial election

සමාජවාදී සමානතා පක්ෂය, 2014 පෙබරවාරි 8

සමාජවාදී සමානතා පක්ෂය (සසප) මාර්තු 29 දා පැවැත්වෙන බස්නාහිර පලාත් සභා මැතිවරනයේ දී කොලඹ දිස්ති‍්‍රක්කයට තරඟ වදී. ආන්ඩුව එදිනටම දකුනු පලාත් සභා මැතිවරනය ද කැඳවා ඇත.

මැතිවරන නීතිවලට අනුකූලව, සසප කොලඹ දිස්ති‍්‍රක්කය සඳහා අපේක්ෂකයන් 43ක් ඉදිරිපත් කර ඇත. අප අපේක්ෂක කන්ඩායමේ නායකත්වය දරන්නේ, පක්ෂ දේශපාලන කමිටුවේ දිගුකාලීන සාමාජිකාවක වන විලානි පීරිස් ය. ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් වැදීම පිලිබඳ ස්ථිරසාර වාර්තාවකට හිමිකම් කියන කම්කරුවන්, තරුනයන් හා විශ‍්‍රාමිකයන් සසප අපේක්ෂක ලැයිස්තුවට ඇතුලත්ය.

සසප ඇතුලු දේශපාලන පක්ෂ 18ක් සහ ස්වාධීන කන්ඩායම් ගනනාවක් කොලඹ දිස්ති‍්‍රක්කය සඳහා අපේක්ෂකයන් ඉදිරිපත් කරයි. මෙම සියලු පක්ෂවලට හා කන්ඩායම්වලට ප‍්‍රතිකූලව, අධිරාජ්‍යවාදී යුදවාදයට, ලෝක යුද්ධයක් පිලිබඳ වැඩෙන තර්ජනයන්ට සහ ජීවන මට්ටම් හා ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් මත ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව එල්ල කරන ප‍්‍රහාරයන්ට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වූ විප්ලවවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන්නේ සසප පමනි.

ව්‍යසනකාරී ගෝලීය යුද්ධයක් තුලට ලෝකය ඇද ගෙන යාමේ තර්ජනය මතු කරන භූ-දේශපාලනික ආතතීන්ගේ ගිනිගුලියක් බවට ආසියාව පත්ව ඇත. ගැඹුරු වන ජාත්‍යන්තර ආර්ථික අර්බුදයක් මධ්‍යයේ, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය, ඇමරිකානු ආධිපත්‍යය පවත්වා ගෙන යාම ද නව වෙලඳ පොලවලට හා ලාභ ගැරීමේ මූලාශ‍්‍රයන්ට ස්වකීය ප‍්‍රවිෂ්ටය බලාත්කාරයෙන් විවෘත කරගනු ද පිනිස කලාපය තුල චීනයේ ආනුභාවයට වලකැපීමට උත්සාහ කරයි. ආසියාවට "හැරීමේ” සිය පිලිවෙතේ කොටසක් ලෙස, ඔබමා පාලනාධිකාරය යුද්ධයක් සඳහා සූදානමින් සිය මිලිටරි බලයෙන් සියයට 60ක් ඉන්දු-පැසිෆික් කලාපය තුල සංකේන්ද්‍රනය කරන අතර, චීනය සමග පවත්නා භූමි ප‍්‍රදේශ පිලිබඳ මතභේද සම්බන්ධයෙන් ආක‍්‍රමනශීලී ආස්ථානයක් අනුගමනය කරන ලෙස ජපානය සහ සෙසු රටවල් දිරිගැන්වීමේ යෙදී සිටී.

ශී‍්‍ර ලංකාව මෙම වාසුලියට ඇද ගනු ලැබ ඇත. එහෙත් සමස්ත කොලඹ දේශපාලන සංස්ථාපිතය ම -- ආන්ඩුව හා විපක්ෂය එක සේ -- ආසියාව තුල එක්සත් ජනපද මිලිටරි බලය ගොඩනැගීමෙන් ද චීනයට එරෙහි එහි ප‍්‍රකෝපකරනයෙන් ද මතු කරන යුද තර්ජනයන් පිලිබඳ මුලමනින්ම නිහඬය.

ඔබාමා පාලනාධිකාරය, බෙයිජිං වෙතින් දුරස්ථ වන ලෙස කොලඹ ආන්ඩුවට පීඩනය යොදනු පිනිස, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහි එහි ම්ලේච්ඡ සිවිල් යුද්ධය තුල දී රාජපක්ෂ ආන්ඩුව සිදු කල යුද අපරාධ ගසාකයි. එක්සත් ජනපද කි‍්‍රයාවන් දෙගුනයක්ම නරුමය -- වොෂිංටනය ඇෆ්ඝනිස්ථානයේ හා ඉරාකයේ තමන්ගේම යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු වනවා පමනක් නොව එය එල්ටීටීඊයට එරෙහි කොලඹ ආන්ඩුවේ යුද්ධයට පිටුබලය ද සැපයීය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඩලයේ දී, රාජපක්ෂ යුද අපරාධ පිලිබඳ විත්ති කූඩුවට නැංවීමට සමත් විය හැකි, ජාත්‍යන්තර පරික්ෂනයක් ඉල්ලා සිටින යෝජනාවකට සහයෝගය දෙන බවට දැන් එක්සත් ජනපදය තර්ජනය කරයි.

පලාත් සභා මැතිවරනයේ දී ආන්ඩුව යුද අපරාධ පිලිබඳ මොනම වගකීමක් හෝ ප‍්‍රතික්ෂේප කරමින්, තමන් "ජාත්‍යන්තර කුමන්ත‍්‍රනයකට” ගොදුරු වී සිටින බවට මවා පෙන්වීම මගින් "අධිරාජ්‍ය-විරෝධී” වෙස්පෑමක යෙදී සිටී. මොන තරම් වංචාවක් ද! එමෙන්ම රාජපක්ෂ එක්සත් ජාතීන්ගේ යෝජනාවක් ගෙන නොඑන ලෙස එක්සත් ජනපදයට බැගෑපත් වෙමින්, චීනය සමග සිය සබඳතා අකුලා ගන්නා බවට ඇඟවුම් කරයි. ඔහු එසේ කල හොත් එක්සත් ජනපදය ශී‍්‍ර ලංකාවේ යුද අපරාධ සහ ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන් උල්ලංඝනයන් පිලිබඳ සියලු උත්සුකතා වහාම ඉවත දමනු ඇත.

කෙසේවෙතත් ආන්ඩුව චීන ආධාර හා ආයෝජන මත බොහෝ සෙයින් වාරු වී සිටී. ආර්ථිකය ශක්තිමත් බවට රාජපක්ෂ කියාපන නමුත් රට ගෝලීය ආර්ථික වියවුලේ බරින් මැඩී සිටින අතර, ආන්ඩුව බංකොලොත්කමේ අද්දර සිටී. පෙර ගත් නය ගෙවීමට හා සිය දෛනික වියදම් පියවාගැනීමට එය රඳා පවතින්නේ වැඩි පොලියට ගන්නා විදේශ නය මතය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග යටතේ ආන්ඩුව දැනටමත් දුර දිග යන කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමා ඇති අතර එම මාවතේ තවත් ඉදිරියට යාමට එයට බල කෙරෙනු ඇත. මැතිවරනය නිවේදනය කිරීමත් සමග ම, ආන්ඩුව කිලෝග‍්‍රෑමයට සියයට 30කට ආසන්න ප‍්‍රමානයකින් කිරිපිටි මිල ඉහල දැමීමට අවසරන දුනි -- මෙය වනාහි ඉදිරියේ එලඹීමට නියමිත දේවල් පිලිබඳ සංඥාවකි. කොලඹ අගනුවර ගෝලීය ආර්ථික මධ්‍යස්ථානයක් බවට පත් කිරීමේ සිය මංමුලා සහගත උත්සාහයේ කොටසක් ලෙස, ආන්ඩුව, දේශීය හා විදේශ ආයෝජකයන්ගේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ඉඩම් නිදහස් කරගනු පිනිස පැල්පත්වාසී පවුල් 70,000ක් නගරයෙන් ඉවත් කිරීමේ යෙදී සිටී.

වැඩකරන ජනතාවගේ විරෝධය වැඩෙන තතු තුල, රාජපක්ෂ ඔසොවා ගෙන ඇත්තේ කම්කරු පන්තිය බෙදීම සඳහා කොලඹ සංස්ථාපිතයේ සුපුරුදු අවිය වන වර්ගවාදය ඇවිස්සීමයි. ආන්ඩුව මුස්ලිම් හා ක‍්‍රිස්තියානි ජනයාට එරෙහිව ෆැසිස්ට් පන්නයේ බුද්ධාගමික සංවිධානවල ස්වොත්තමවාදී ක‍්‍රියා පුම්බා ගන්නා අතරම එල්ටීටීඊය යලි තහවුරුවී ඇතැයි දෙමල විරෝධී අගතීන් අවුස්සයි. ජනාධිපතිවරනයක් කලින් පවත්වන බව දැනටමත් අඟවා ඇති රාජපක්ෂ තැත් කරන්නේ පලාත් සභා මැතිවරන ඒ සඳහා උරගලක් ලෙස යොදා ගන්නටයි.

ආන්ඩුව විදේශ ආයෝජන අද්දා ගැනීම සඳහා ගෙනයන වෙලඳ පොල ආර්ථික වැඩපිලිවෙල කෙරෙහි එක්සත් ජාතික පක්ෂයට (එජාප) කිසිදු මූලික මතභේදයක් නැත. එය විවෘතව මහා ව්‍යාපාරිකයන්ගේ පක්ෂයකි. ලාභ ශ‍්‍රම වෙලඳ පොලක් ලෙස විදේශ ආයෝජනවලට පලමු වරට රටවල් විවෘත කිරීමේ ක‍්‍රියාවලියේදී එජාපය 1977 මුලින්ම සිටියේය.

බෙයිජිනයට එරෙහිව වොෂින්ටනය සමග පෙලගැසීම සඳහා මාරුවීමට සුදානම් බව එජාපය දැනටම අඟවා ඇත. ආන්ඩුවේ යුද අපරාධවලට සුදුහුනු ගෑම සඳහා රාජපක්ෂ විසින් පත්කල උගත් පාඩම් හා සංහිඳියාව සඳහා කොමිසමේ නිර්දේශ ක‍්‍රියාවට දමන ලෙස ඇමරිකාවේ හා ජාත්‍යන්තර ඉල්ලීම් ඉටු කිරීමට තමන් සුදානම් බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රකාශ කර ඇත.

මෙම මැතිවරනයේ තරඟ කරන ව්‍යාජ වාම සංවිධාන වන නව සම සමාජ පක්ෂය (නසසප) සහ එක්සත් සමාජවාදී පක්ෂය (එසප) එජාපයේ මෙම ඇමෙරිකානු ගැති පිලිවෙත සමග පෙලගැසී සිටියි. මෙම පක්ෂ එජාපයේ රුදුරු ලෙස ප‍්‍රජාතන්ත‍්‍ර අයිතීන්ට පහර දීමේ අතීතය ආවරනය කරමින් එය අධිකාරීවාදී රාජපක්ෂ ආන්ඩුවට එරෙහි ප‍්‍රජාතන්ත‍්‍රවාදී කොටු පවුරක් ලෙස නරුම ලෙස හුවා දක්වති. එලෙසම, කම්කරු පන්තිය පාගා දමා කුඩා ප‍්‍රභූ පැලැන්තියකට වරප‍්‍රසාද සහතික කරගැනීමේ ගනුදෙනුවක් සඳහා කොලඹ ආන්ඩුව සමග කේවලක යෙදී සිටින දෙමල ධනපතියන්ගේ ප‍්‍රධාන සංවිධානය වන දෙමල ජාතික සන්ධානයට ද නසසප හා එසප මුක්කුව දෙයි.

ජවිපෙ මෙවර මැතිවරනය තරඟ කරන්නේ තමන් "ජනතා හඬ” බවට වංචනික ප‍්‍රචාරයක් පෙරට දමා ගෙනය. දෙමල විරෝධය මත පදනම්ව සිටින මෙම පක්ෂය කොලඹ දේශපාලන සංස්ථාපිතයට මුලූමනින්ම අන්තර්ග‍්‍රහනය වී සිටී. 2005 ජනාධිපතිවරනයේ දී රාජපක්ෂ බලයට ගෙන ඒමට දර දිය ඇද්දේ ජවිපෙයයි. ආන්ඩුවට විරුද්ධව සියලු සංවිධාන එක්කරගත් "සටන් මධ්‍යස්ථානයක්” ගොඩ නගන බවට ජවිපෙ කරන ප‍්‍රකාශය තරයේම එල්ල කර ඇත්තේ ධනේශ්වර පාලනයට තර්ජනයක් වන කම්කරු පන්තිය ප‍්‍රමුඛ වැඩකරන ජනයා ස්වාධීනව බලමුලු ගැන්වීමක් වැලැක්වීම සඳහාය.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජාජාක) ලංකා ශාඛාව වන සසප ජාත්‍යන්තර සමාජවාදී හා ජාත්‍යන්තරවාදී මූලධර්ම සඳහා සටන් කිරීමේ අකලංක වාර්තාවක් දරා සිටී. සසප හජාජාකයේ සිය සහෝදර පක්ෂ සමග එක්ව අධිරාජ්‍යවාදී යුද සූදානමට එරෙහිව ජාත්‍යන්තර කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩ නැගීමට සටන් කරයි.

සසප ද එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය ද උතුරෙන් හා නැගෙනහිරෙන් ශ‍්‍රී ලංකා හමුදා ඉවත් කරන ලෙස ඉල්ලමින් කම්කරු පන්තිය සිවිල් යුද්ධයට එරෙහිව මෙහෙයවීමට සටන් කලේය. සසප සටන් කරන්නේ, යුද්ධය හා වාර්ගික බෙදීම් අවසන් කිරීමට ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා සමාජ අයිතීන් දිනා ගැනීමට ද, ජාත්‍යන්තරව හා දකුනු ආසියාවේ සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස ශ‍්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක් බලයට ගෙන ඒමට සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත් අරගලයක් සඳහායි.

ඉදිරි දිනවලදී සසප ද එහි තරුන සංවිධානය වන සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ ද මෙම ක‍්‍රියාමාර්ගයට අධිෂ්ටාන සහගත අරගලයක් දියත් කරනු ඇත. අප කම්කරුවන්ගෙන්, තරුනයන්ගෙන් හා පීඩිතයන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ අරගලයට සහාය දෙන්න. සසප රුපියල් 700, 000 මැතිවරන අරමුදලක් දියත් කර තිබේ. ඊට උපරිම ආධාරය දෙන්න.

සසප මැතිවරනය සඳහා ප‍්‍රථම ප‍්‍රසිද්ධ රැස්වීම පෙබරවාරි 12 දා කොලඹ මහජන පුස්තකාල ශ‍්‍රවනාගාරයේදී සවස 4ට පවත්වයි. සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනය සාකච්ඡා කිරීමට මෙම රැස්වීමට සහභාගී වන ලෙස කම්කරුවන්ට හා තරුනයන්ට අපි ඇරයුම් කරමු.

Share this article: