සමාජවාදී සමානතා පක්ෂය මැතිවරන උද්ඝෝෂනය අරඹයි

අපේ වාර්තාකරුවන් විසිනි, 2014 පෙබරවාරි 18

මාර්තු 29දා පැවැත්වීමට නියමිත බස්නාහිර පලාත් සභා මැතිවරනයේ දී කොලඹ දිස්ති‍්‍රක්කයට තරඟ වදින සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා සමාජ සමානතාව සඳහා ජාත්‍යන්තර තරුනයෝ හා ශිෂ්‍යයෝ සංවිධානයේ සාමාජිකයෝ පක්ෂයේ ප‍්‍රතිපත්ති පැහැදිලි කිරීමේ උද්ඝෝෂනයක් පසුගිය සති අන්තයේ කොම්පඤ්ඤවීදිය හා වනාතමුල්ල නිවහන් ප‍්‍රදේශවල පැවැත්වූහ.

සසප නියෝජිතයන් සමග සාකච්ඡා කරන වනාතමුල්ලේ නිවැසියන්

ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප‍්‍රමුඛව ගෝලීය මූල්‍ය ප‍්‍රාග්ධනය විසින් අනවනු ලබන ආර්ථික කප්පාදු පිලිවෙත් කි‍්‍රයාවට දමමින් සිටින ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආන්ඩුව කොලඹ පැල්පත් නිවැසියන් හා දුගී පවුල් 70,000ක් ඔවුන්ගේ වත්මන් නිවහන් ප‍්‍රදේශවලින් ඉවත් කිරීමට පියවර ගනිමින් සිටී. කොම්පඤ්ඤවීදිය හා වනාතමුල්ල යනු එම වැඩපිලිවෙලට ඍජුව මුහුන දෙන නිවැසියන් සිටින ප‍්‍රදේශ දෙකකි. එම ප‍්‍රදේශ දෙකෙන් දැනට මත් පවුල් කිහිප සියයක් බලහත්කාරයෙන් ඉවත් කරනු ලැබ ඇත. වනාතමුල්ලේ නිවාස පන්දාහක් ඉවත් කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය දැන්වීම් නිකුත් කර ඇත.

සසප පලාත් සභා මැතිවරනයට තරඟ කරයි” යන සසප මැතිවරන නිවේදනයේ පිටපත් සිය ගනනක් බෙදා හරිමින් ගෙන්ගෙට ගිය සසප සාමාජිකයෝ, කම්කරුවන්, තරුනයන් හා ගෘහනීන් සමග සජීවී සාකච්ඡාවක නිරත වූහ. එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන් විසින් චීනයට එරෙහිව ආසියාව තුල සූදානම් කෙරෙන යුද්ධය හැම රටකම කම්කරුවන් හා පීඩිත මහජනතාවන් මුහුන දෙන මූලික ප‍්‍රශ්නය බව සසප සාමාජිකයෝ පැහැදිලි කලහ.

පාලක එක්සත් ජනතා නිදහස් සන්ධානය (එජනිස) මෙන් ම විපාක්ෂික එක්සත් ජාතික පක්ෂය (එජාප) හා ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) ද මැතිවරනයට ඉදිරිපත්ව සිටින නව සම සමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම පක්ෂ ද මෙම අධිරාජ්‍යවාදී යුද අන්තරාය කම්කරු පන්තියෙන් වසන් කරමින් කම්කරු පීඩිත මහජනයා එයට බිලි දීමට කි‍්‍රයා කරමින් සිටින ආකාරය පිලිබඳව පුලුල් සාකච්ඡාවක් අවුලුවා ගැනීමට මෙහිදී අවස්ථාව විවර විය.

ලෝකය පුරා මෙන්ම ලංකාවේ ද කම්කරුවන්, දුගීන් හා තරුනයන් සිය අයිතීන් කප්පාදු කරමින් පාලක ආන්ඩු විසින් කි‍්‍රයාවට දැමෙන සමාජ ප‍්‍රතිවිප්ලවයකට මුහුන දෙති. ලංකාව තුල රාජපක්ෂ ආන්ඩුව යටතේ ද කි‍්‍රයාවට දැමෙන්නෙ එම පිලිවෙත් ය. එජාපයට හෝ ජවිපෙට ආන්ඩුවේ කම්කරු පන්ති විරෝධී ආයෝජක හිතැති ආර්ථික න්‍යාය පත‍්‍රය සමග මූලික මතභේදයක් නොමැති බව සසප සාමාජිකයෝ පෙන්වා දුන්හ. කොලඹ නගරය දකුනු ආසියාවේ වානිජ කේන්ද්‍රයක් බවට පරිවර්තනය කිරීමේ සැලසුම් ප‍්‍රථමයෙන් ඉදිරිපත් කල එජාප පාලන සමයේදී කොලඹින් පැල්පත්වාසීන් ඉවත් කිරීමේ රුදුරු ව්‍යායාමය ඇරැඹුනු බව මතකයට නංවමින් කල සාකච්ඡාවට නිවැසියෝ සාවදානව ඇහුම්කන් දුන්හ.

කොම්පඤ්ඤවීදියේ වාසය කරන එක් ගුරුවරියක් මෙසේ පැවසුවා ය: "ඇත්තටම මට විවිධ දේශපාලන පක්ෂවල අදහස්වලට ඇහුම්කන් දෙන්න අවස්ථාව ලැබිල තියෙනව. ඒත් ඕගොල්ලන්ගෙ අදහස් අහන්න ලැබුනෙ අද. ඕගොල්ලො කතා කරන්නෙ අපේ ඔලුවලට. නිවාස කැඩීම ගැන කියනවනම් මට කියන්න තියෙන්නෙ ඒකට මම සම්පූර්නයෙන් විරුද්ධයි කියන එකයි. හැම පක්ෂෙම අදහස්වලට සවන් දෙන්න ඕන කියල මම හිතනව.”

එහෙත් කම්කරු පන්තියට තම ප‍්‍රශ්න විසඳා ගැනීම සඳහා සමාජවාදී කි‍්‍රයාමාර්ගයක් ඉදිරිපත් කරන්නේ සසප පමනක් බවත් අනෙකුත් සියලු පක්ෂ කටයුතු කරන්නේ ඒ හෝ මේ ආකාරයෙන් පවත්නා යල් පැනගිය ධනේශ්වර ක‍්‍රමයට මහජනයා ගැටගැසීමට බවත් පැවසූවිට ඇය "ඒ ගැනත් හිතල බලන්න ඕන. ඕගොල්ලන්ගෙ රැස්වීමට අපේ ගෙදරින් කෙනෙක් එවන්න බලන්නම්” යනුවෙන් කීවා ය.

සසප සාමාජිකයන් සමග කතාකල කොම්පඤ්ඤවීදියේ පදිංචි මැදිවියේ පුද්ගලයෙක් නිවාස අහිමිවීමෙන් තමා මුහුන දෙන දුෂ්කර තත්වය මෙසේ පැහැදිලි කලේය: "මම ජීවත් වෙන්නේ කුලී වැඩ කරල. දැන් මට වයස 50කට කිට්ටුයි. පුතාල දෙන්නෙක් ඉන්නව. පහුගිය අවුරුදු 5ක විතර ඉඳන් හැදෙන පපුවෙ මහන්සිය හින්ද හරියකට වැඩක්පලක් කරගන්න බැහැ. ඒ නිසා මැද පෙරදිග රස්සාව කරන මගේ ලොකු පුතා එවන සල්ලිත් ප‍්‍රයෝජනයට අරගෙනයි අපි තුන්දෙනා ජීවත් වෙන්නෙ. ඒත් කෑම බීම හරිම අමාරුයි. මගේ බිරිඳත් දියවැඩියා රෝගියෙක්. අපි දෙන්න ම බෙහෙත් ගන්නෙ ආන්ඩුවෙ ඩිස්පැන්සරියෙන්. ශරීරය දුර්වල නිසා බාල පුතාට රස්සාවක් කරන්න බැහැ. ඒ හින්ද අපි තවත් කරදරේ වැටිලයි තියෙන්නෙ. ලොකු පුතා අමාරුවෙන් සල්ලි එව්වත් ඒ රටේ කොන්දේසිත් එන්න එන්න අමාරුයි කියලයි එයා කියන්නෙ. මේ ප‍්‍රදේශයෙ ගොඩක් අයගෙ තත්ත්වය ඔහොම තමයි. හිතල බලන්න මෙහෙම තියෙද්දි ගෙවලුත් බලහත්කාරයෙන් කඩන එක කොච්චර අසාධාරන ද? 2016 වෙනකොට කොම්පඤ්ඤවීදියෙ එක ගෙයක්වත් ඉතිරි කරන්නැතිලු.

තම නිවාස අනවසර ඉදිකිරීම් නොවන බවත් පරම්පරා කීපයක් ඒවායේ ජීවත්ව ඇති බවත් ඔහු තව දුරටත් පැවසීය. "මේ ගෙවල්වල තමයි අපි ජීවිත කාලයම ගෙවල තියෙන්නෙ. මේ ප‍්‍රශ්න නිසා මේ පැත්තෙ වයසක මිනිස්සු කිහිප දෙනෙක් ම මැරුන. මං හොඳට ම දන්න දෙන්නෙකුට හාට් ඇටෑක් හැදුන. තව එක්කෙනෙක් බෙල්ලෙ වැල දාගත්ත. මේක නවත්වන්න යූඑන්පී එකට බැහැ කියල දැන් මට තේරෙනව. යූඑන්පී එක තමයි නගර සභාවෙත් බලේ ඉන්නෙ. ඒත් ඒගොල්ලො මොනවද අපිට කරල තියෙන්නෙ? ඕගොල්ලො කියනවවගේ කම්කරුවන්ට දුප්පත් මිනිස්සුන්ට පක්ෂයක් තියෙන්න ඕන. මමත් කියන්නෙ අපි හැමෝට ම සුදුසු පරිසරයකින් හොඳ ගෙවල් දෙන්න ඕන. ගෙවල් කඩන එකට සහයෝගය දෙන අයත් එක්ක මමනම් කතාකරන්නෙවත් නැහැ.”

වනාතමුල්ල නිවාස සංකීර්නයේ නිවැසි ගෘහනියක් පවත්නා දේශපාලන පක්ෂ ගැන ඇගේ කලකිරීම මෙසේ ප‍්‍රකාශ කලාය: "දැන් අවුරුදු තුන හතරක ඉඳන් අපි ඡන්දේ දෙන්නේ නෑ. මේ හැම ආන්ඩුවම එකයි. ඔය කවුරුවත් බඩු මිල පහල දාන්නේ නෑ. මගේ මල්ලිගේ කකුල් දෙකම නෑ. එයාට මුත‍්‍රා බට එහෙම දාලා තමයි තියෙන්නේ. ගෙදර නංගියි, තවත් මල්ලිලා දෙන්නෙකුයි ඉන්නවා. ඉලන්දාරියි අපි එක්කොටම එකට ගුලිවෙලා නිදාගන්න බැහැනේ. ඉතින් අපිට තරමක් ඉඩකඩ අවශ්‍යයි. ඒ විදියට තමයි අපි මේ ගෙවල් හදා ගෙන තියෙන්නෙ. ඒත් දැන් අපි පදිංචි කරවන්න හදන්නෙ හුන්ඩු වගේ ගෙවල් වල. එහෙම ඉඩකඩ නැති ගෙවල්වලට නම් මැරුවත් යන්නෙ නෑ.”

"අපි මේවායින් ඉවත් වෙන්න අකමැති නෑ. හැබැයි අපි කියන්නේ අපිට අවශ්‍ය තරම් ඉඩකඩ සහ පහසුකම් සහිත නිවාස ලබා දිය යුතුයි කියලයි. එහෙම නො දුන්නොත් නම් අපි කීයටවත් යන්නේ නෑ. දැන් බලන්න අර ගෙදර මල්ලි අර ගේ හදලා තියෙන්නේ රට ගිහින් සල්ලි හොයගෙන එච්චර හොඳට හදපු ගේ දාලා එයා යයිද පොඩි හුන්ඩුවකට. බලෙන් ඉවත් කරන්න හැදුවොත් අපි බලමු මොකක්ද වෙන්නේ කියලා” යනුවෙන් පැවසුවා ය.

වනාතමුල්ල, ලෙස්ලි රනගල මාවතේ පදිංචි තරුනයෙක් ආන්ඩුව නිවැසියන්ට එරෙහිව බලහත්කාරය පාවිච්චි කරන ආකාරය සිය අත්දැකීම් විස්තර කරමින් අදහස් පල කලේ ය: "45 වත්තෙ කට්ටිය ගෙවල් කඩන එකට විරුද්ධව සමිතියක් හැදුවා. ඒකට ලඟදි දවසක් නාමල් රාජපක්ෂ ඇවිල්ල කතා කලා. ඡන්දය දුන්නත් නැතත් ගෙවල් කඩන්න ගත්ත තීන්දුව වෙනස් කරන්නෙ නැහැ කියල එයා කිවුව. අපිට මේවයින් ඉවත් වෙන්න බැරිනම් හම්බන්තොටින් මිනිස්සු ගෙනල්ල පදිංචි කරනව කිවුව. කාටවත් ප‍්‍රශ්න කරන්න කතා කරන්න ඉඩ දුන්නේ නැහැ. ගියපාර අපි කලගුන සැලකීමක් හැටියට අපිට ශාලාවක් හදල දීපු [ආන්ඩු පක්ෂයේ] මිලින්ද මොරගොඩට ඡන්දෙ දුන්න. මේ පාරනම් කාටවත් දෙන්නෙ නැහැ. ගෙවල් කඩනවට විරුද්ධව අපි මානව හිමිකම් සංවිධානයට පැමිනිල්ලක් කලා. නාගරික සංවර්ධන අධිකාරිය අපට දෙනව කියන ගෙවල්වලට වැඩි වටිනාකම් දාල බොරු ලිපියක් මානව හිමිකම් එකට දීල තියෙනව.”

විදුලිබල මන්ඩලයේ සේවය කොට විශ‍්‍රාම ගොස් ඇති යුවලක් සාකච්ඡාවට ඉතා උනන්දුවෙන් සහභාගි වූහ: "හැම ආන්ඩුවක් ම කරන්නේ තමතමන්ගේත් ධනපතියන්ගේත් සුඛ විහරනය සඳහා කටයුතු කරන එකයි. මිනිස්සු මහින්ද රාජපක්ෂ ගැන විශ්වාසය තියල තුනෙන් දෙකේ බලයක් ලබා දුන්න. ඒකෙන් උනේ අපිට උන් හිටි තැනත් නැති වෙන එකයි. දැන් අපිට සටන් කරන්න වෙලා තියෙන්නෙ අපේ නිවස රැක ගන්නයි” යනුවෙන් කාන්තාව පැවසුවාය.

ලංකා සම සමාජ පක්ෂයේ (ලසසප) සාමාජිකයෙකුව සිටි බව සඳහන් කල ඇගේ ස්වාමියා තමා පක්ෂය වෙනුවෙන් කැපවූ ආකාරය ගැන ද, 1964 දී ධනපති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සමග ලසසපය එකතුවීම ගැන ද සඳහන් කරමින් මෙසේ පැවසීය: "මම මුලදි සම සමාජ ව්‍යාපාරෙ හිටියෙ. ඇත්තට ම මම සම සමාජ පක්ෂයේ යටියන්තොට පවත්වපු සම්මේලනයට කොලඹ ඉඳන් ම ගියේ පයින්. 1964 පාවාදීම ගැන හරි හමන් අවබෝධයක් මට තිබුනේ නැහැ. ඒක වැරදියි කියල තේරෙන්නෙ දැනුයි.”

Share this article: