එක්සත් ජනපදය ශ්‍රී ලංකා ආන්ඩුවට එරෙහි යුද අපරාධ පිලිබඳ පීඩනය දැඩි කරයි

US increases pressure on Sri Lankan government over war crimes

කේ. රත්නායක විසිනි, 2014 පෙබරවාරි 05

මධ්‍යම හා දකුනු ආසියාව පිලිබඳ එජ සහකාර රාජ්‍ය ලේකම් නිෂා දේසායි බිස්වාල්, යුද අපරාධ පිලිබඳව ලබන මාසයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මන්ඬලයට (මාහිම) (තෙවසරක් තුල තෙවන වතාවට) වොෂින්ටනය විසින් තවත් යෝජනාවක් ගෙන එන බව 01දා කොලඹදී නිවේදනය කලාය.

“රටේ පිරිහෙන මානව අයිතීන් හා වගකීම බාරගැනීමේ මන්දගාමිත්වය පිලිබඳව" කොලඹ පාලනය කෙරෙහි දක්වන ප්‍රතිචාරයක් ලෙස මෙම තීරනය ගෙන ඇති බව බිස්වාල් කියා සිටියාය. 2009 මැයි මාසයේ නිමාවට පත්වූ යුද්ධයේ අවසන් මාසවල අඩුම තරමින් පුද්ගලයින් 40000 මියගොස් ඇති බවට එක්සත් ජාතීන් කල විමසීම් වලදී ගනන් බලා තිබේ.

එක්සත් ජනපද නිලධාරිනිය ජනවාරි 31දා තෙදින සංචාරයක් සඳහා මෙරටට පැමිනියාය. ඒ, එජ යෝජනාව සඳහා තොරතුරු රැස්කිරීම සඳහා ගෝලීය යුද අපරාධ පිලිබඳ එජ තානාපති ස්ටෙෆන් රැප් මෙරට සංචාරය කිරීමෙන් දෙසතියකට පසුවය.

01දා පැවති මාධ්‍ය හමුවේදී බිස්වාල් මෙසේ පැවසුවාය. ආන්ඩුවේ යුද අපරාධ පරීක්ෂනවල පෙන්වන “මන්දගාමී ප්‍රගතිය, මගේ ආන්ඩුව ද ජාත්‍යන්තර ප්‍රජාව ද තුල දැඩි කලකිරීමකට හා අශුභවාදයකට තුඩුදී ඇත.“ ප්‍රමුඛ බලවතුන් අතර ඉවසීම “ හීන වෙමින් තිබේ යයි ඇය පැවසුවාය.

“යෝජනාවේ කෙටුම්පත පිලිබඳව තීරනය කිරීමට කල් වැඩි" බව පවසමින් බිස්වාල්, යොජනාවෙන් ජාත්‍යන්තර පරීක්ෂනයක් කැඳවුම් කරන්නේ ද යනුවෙන් නැඟුනු ප්‍රශ්නයක් මඟහැරියාය. බෞද්ධ භික්ෂූන් විසින් මෙහෙයවන ලද දක්ෂිනාංශික මැර කල්ලි මෑතකදී මුස්ලිම් හා ක්‍රිස්තියානි පල්ලි වලට කල පහරදීම් ගැන එජ රාජ්‍ය නිලධාරිනිය සඳහන් කලාය. ආන්ඩුව හෝ පොලිසිය එම ප්‍රචන්ඬ ප්‍රහාර වැලැක්වීමට කිසිවක් කලේ නැත.

ඇය හමුවීමට අවස්ථාවක් නැත්තේ තමන්ගේ “කාර්ය බහුල වැඩසටහන" නිසා බව පවසමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ වහාම ඇය හෑල්ලුවට ලක් කලේය. යුද අපරාධ පිලිබඳ මොනම පරීක්ෂනයක් හෝ පිලිබඳව ජනාධිපති තැතිගැන්මට පත්ව සිටියි. ජාත්‍යන්තර පරීක්ෂනයකදී සිවිල් වැසියන් ඝාතනය සඳහා වගකීම, ඉහල මිලිටරි ජෙනරාල්වරු මත පමනක් නොව ජනාධිපති හා ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ මත ද පවරීමේ ඉඩ කඩ පවතී.

කොලඹ පාලනයේ දිග්ගැස්සුනු සිවිල් යුද්ධයේදී තමන්ගේ සහයෝගය ද හිමිවු බව හෙලිදරව් වනු ඇති නිසා එජ, මිලිටරියේ යුද අපරාධ පිලිබඳව පූර්න පරීක්ෂනයක් පැවැත්වීමට උනන්දුවක් නොදක්වයි. ඒ වෙනුවට වොෂින්ටනය, කලාපය තුල තමන්ගේම ආසක්තයන් පෙරට ගෙනයාම පිනිස එම ප්‍රශ්නය ගසාකෑමට උත්සාහ කරයි. විශේෂයෙන්ම ඔබාමා පාලනාධිකාරය, මිලිටරිමය වශයෙන් චීනය වැටලීමේ අරමුන සහිත සිය “ආසියාවට හැරීමේ“ පිලිවෙත සඳහා කොලඹ පාලනයේ පූර්න සහාය ඉල්ලා සිටියි.

චීනය සමග රාජපක්ෂ ආන්ඩුවට ඇති ආර්ථික, දේශපාලන හා මිලිටරි සම්බන්ධතා අකුලා දැමීම වොෂින්ටනයේ අවශ්‍යතාව යි. කෙසේ වෙතත් අර්බුද ග්‍රස්ත ආන්ඩුව, මූල්‍ය හා මිලිටරි ආම්පන්න සඳහා ද යුද අපරාධ පිලිබඳ කුමන හෝ පරීක්ෂනයක් මඟහැරීම සඳහා අවශ්‍ය ජාත්‍යන්තර දේශපාලන සහයෝගය සඳහා ද චීනය මත යැපෙයි.

ශ්‍රී ලංකාවට එරෙහිව සිය ආස්ථානය දැඩි කරන ලෙස ඔබාමා පාලනයෙන් ඉල්ලා සිටිමින් පෙබරවාරි 03දා නිව් යෝර්ක් ටයිම්ස් පත්‍රය පල කල කතුවැකිය, කොලඹ මත එක්සත් ජනපදයේ පීඩනය දැඩි කිරීමේ පියවර සලකුනු කරයි. වොෂින්ටනයේ සියලු යුද අපරාධ පිලිබඳව නොපැකිලෙන ක්ෂමාලාපකයෙකු වන එම පුවත්පත, වගකීම් බාරගන්නා ලෙසට ආන්ඩුවෙන් කෙරෙන ඉල්ලීම් කවරාකාරයකින් හෝ ලිහිල් කිරීම, “ඛේදජනක හා තමන් ජන ඝාතන පිලිබඳව කිසිවිටෙකත් පිලිතුරු සැපයීම අවශ්‍ය නොවනු ඇතැයි රාජ්‍ය නිලධරයට සංඥා කිරීමක් වනු ඇතැයි“ නරුම ලෙස කියා සිටියි.

කාන්තා කටයුතු සඳහා වන එජ තානාපතිවරිය වන කැතරීන් රසල්හට වීසා බලපත්‍ර නිකුත්කිරීම 03දා ආන්ඩුව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමග කොලඹ හා වොෂින්ටනය අතර සම්බන්ධතා තවදුරටත් පිරිහී ගියේය. පෙබරවාරි 10 හා 11 දිනවලට යොදාගෙන තිබුනු ඉහල පෙලේ සංචාරය අවලංඟු කිරීමට රසල්ට සිදුවිය.

එක්සත් ජනපදය මෙරට හැකිතාක් අඳුරේ තැබීමට උත්සාහ කරන්නේ යයි පවසමින් විදේශ ඇමති ජී. එල්. පීරිස්, බිස්වාල්ගේ විවේචන ප්‍රතික්ෂේප කලේය. ක්‍රිස්තියානි හා මුස්ලිම් දේවස්ථාන වලට මෑතක එල්ල කල ප්‍රහාර “හුදෙකලා සිදුවීම්“ යයි පීරිස් කියා සිටියේය. ප්‍රහාර එල්ල කල සිංහල-බෞද්ධ වර්ගවාදී කන්ඬායම් යුක්තිසහගත කරමින් ඔහු පැවසුවේ, ඒවා “ප්‍රජාවගේ ප්‍රතිචාර“ බවය.

පීරිස්ගේ ප්‍රකාශ තිබියදිම රාජපක්ෂ ආන්ඩුව, එජ සැනසීම සඳහා මංමුලාසහගතව සිටියි. මානව හිමිකම් මන්ඬලයේ නව යෝජනාව ඉදිරිපත් නොකරන්නැයි බිස්වාල් හා අනෙකුත් එජ නිලධාරීන්ගෙන් ඉල්ලීම පිනිස රාජපක්ෂ, මෑතකදී සිය ලේකම් වන ලලිත් වීරතුංඟ වොෂින්ටනය වෙත පිටත්කර හැරියේය. යුද්ධයෙන් විනාශයට පත්ව සිටින දෙමල ජනතා‍වගේ දුක්ගැනවිලි විසඳීමේ “ප්‍රගතිය“ කියාපාන වාර්තාවක් බෙදාහරිමින් වීරතුංඟ, නිලධාරීන් වෙත කරුනු දැක්වීය. කෙසේ වෙතත් දහස් ගනනක් දෙමල ජනතාව තවමත් ජීවත් වන්නේ නිවාස, සනිපාරක්ෂක පහසුකම්, ජලය හෝ විදුලිය නොමැතිවය. යුද අපරාධ පිලිබඳ කුමන හෝ පරීක්ෂනයක්, “රටතුල දැවැන්ත විනාශයක් ඇතිකරනු හා හමුදාවේ ආත්ම විශ්වාසය පිරිහෙලනු“ ඇතැයි වීරතුංඟ රොයිටර් සේවයට පැවසීය.

මසකට එජ ඩොලර් 66,600ක් ගෙවමින් තොම්සන් උපදේශන සමූහය ද ඩොලර් 50,000ක් ගෙවමින් මැජෝරිටි ගෘෘප් යන කරුනු පහදාදීමේ එජ සමාගම ද ආන්ඩුව විසින් කුලියට ගෙන තිබේ. වොෂින්ටනයේදී වීරතුංඟ හා මෙරට මහ බැංකු අධිපති අජිත් නිවාර්ඩ් කබ්රාල් හමුවීම පිනිස නිකුත් කර තිබුනු ආරාධනා පත්‍රයෙහි මෙසේ සඳහන් විය. “ශ්‍රී ලංකාව තුල දැනටමත් චීනය ව්‍යාපෘතීන් ආරම්භ කර ඇති නමුත් අපගේ විශිෂ්ඨ ආගන්තුකයෝ, එක්සත් ජනපදය සමග සම්බන්ධතා වඩාත් ශක්තිමත් ලෙස තහවුරුකර ගැනීම පිනිස කැපවී සිටිති.“

වියට්නාමය, බ්‍රෙසීලය, පකිස්තානය, ෆිලිපීනය හා කුවේට් රාජ්‍යයන්ගේ සහාය ගොනුකර ගැනීම පිනිස රාජපක්ෂ, කැබිනට් අමාත්‍යවරු එම රටවලට යවා ඇත. පසුගිය 29දා පීරිස් ඉන්දියානු විදේශ කටයුතු ඇමති සල්මාන් කුර්ෂිඩ් හමුවූ අතර එජ යෝජනාවට හරස් කැපීම පිනිස නව දිල්ලියේ සහාය ඉල්ලා සිටියේය. ඉන්දියානු නිලධාරියෙක් ඉකොනොමික් ටයිම්ස් වෙත මෙසේ පවසා තිබුනි. “අපි ඔවුන්ට හොඳින් ඇහුන්කන් දුන්නෙමු. එහෙත් ජනීවාහිදී අපි කරන්නේ කුමක් ද යන්න පිලිබඳව කිසිදු සහතිකයක් නොදුන්නෙමු.“

එජ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාවට සහාය දෙන බව චීනය කියා ඇත. ඩේලි මිරර් වෙත යැවූ විද්‍යුත් තැපෑලෙන් කොලඹ චින තානාපති වූ ජියැන්හෝ පවසා ඇත්තේ, බීජිනය “මානව හිමිකම් මන්ඬලයේදී නොපැකිලව ශ්‍රී ලංකාව වෙනුවෙන් දිගටම කථාකරන“ බවත් තමන්, “ශ්‍රී ලංකාව අත්කරගෙන තිබෙන ප්‍රගතිය හඳුනාගෙන ඇති“ බවත් පැවසීය.

සිය සංචාරයේදී බිස්වාල්, විපක්ෂයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ හමුවී ඇති අතර දෙමල ජාතික සන්ධානයේ (ටීඑන්ඒ) නායක ආර් සම්බන්දන් හා තවත් නායකයෙකු වන උතුරු පලාත් සභාවේ මහ ඇමති වී. විග්නේශ්වරන් ද හමුවී සාකච්ඡා කර ඇත. ටීඑන්ඒ නායකයින් යුද අපරාධ පිලිබඳ ජාත්‍යන්තර පරීක්ෂනයක් සඳහා යලිත් කැඳවුම් කර ඇත. දෙමල ධනේශ්වරයේ ආසක්තයන් නියෝජනය කරන ටීඑන්ඒ එවන් පරීක්ෂනයක් දැකගන්නේ, බලය බෙදාගන්නා ආකාරයේ ගිවිසුමක් සඳහා ආන්ඩුවෙන් සහන ලබාගැනීමේ මාධ්‍යයක් ලෙසය.

බිස්වාල් හමුවීමෙන් පසුව එජාප නායක වික්‍රමසිංහ, පූර්වයෙන් එජ විසින් කැඳවුම්කර සිටි, උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා තම පක්ෂය ආන්ඩුවට සහාය දීමට සූදානම් බව මාධ්‍ය වෙත පැවසීය. 2010 වසරේදී රාජපක්ෂ ආන්ඩුව විසින් තමන් සිදුකල යුද අපරාධ වලට සුදුහුනු ගෑම පිනිස එම කොමිසම පත්කරන ලදී. වික්‍රමසිංහගේ ප්‍රකාශය, වොෂින්ටනයේ භූ-මූලෝපායික ඉල්ලීම් සඳහා එක්සත් ජනපදයට එජාපයේ සහාය ලැබෙන බවට කල පැහැදිලි සංඥාවකි.

රාජපක්ෂ ආන්ඩුව මෙන්ම එජාපය ද සිංහල වර්ගවාදයෙන් ඉහවහා ගොස් සිටියි. මෙම දක්ෂිනාංශික, එජ ගැති පක්ෂය, 1983දී මෙරට වර්ගවාදී යුද්ධය ආරම්භ කරමින් දශකයක් පුරාවට එය කරගෙන ගිය අතර යුද්ධයේ සෑම පියවරකදීම එයට පිටුබලය දී ඇත. එජාපය බලයට පත්වුවහොත්, රාජපක්ෂ ආන්ඩුව මෙන්ම වැඩකරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍ර අයිතීන් නිර්දය ලෙස පාගා මැඬිමට පසුබට නොවනු ඇත.

Share this article: