වැලිවේරිය ජල දූෂනය පිලිබඳ ස්වාධීන කම්කරු පරීක්ෂනයට දුම්රිය කම්කරුවන් අතරින් උනුසුම් සහායක්

ඩබ්ලිව්.ඒ. සුනිල් සහ රෝහන ක්‍රිෂාන්ත විසිනි, 2014 පෙබරවාරි 22

වැලිවේරිය වෙනිග්‍රොස් ෆැක්ටරියේ අපද්‍රව්‍ය හේතුකොටගෙන ප්‍රදේශයේ ජලය දූෂනය වීම හා පිරිසිදු ජලය ඉල්ලා උද්ඝෝෂනයේ යෙදුන නිරායුධ ගම්මුන්ට එල්ල වූ මිලිටරි ප්‍රහාරය සම්බන්ධව සමාජවාදී සමානතා පක්ෂය (සසප) විසින් දියත් කර තිබෙන ස්වාධීන කම්කරු පරීක්ෂනයට වැඩකරන ජනයාගේ සහාය ගොනු කිරීමේ උද්ඝෝෂනයේ කොටසක් ලෙස, පසුගිය දා රත්මලාන දුම්රිය කම්කරු නිවහන් ප්‍රදේශයේ කල උද්ඝෝෂනයේ දී දුම්රිය කම්කරුවන්ගේ පුලුල් සහයෝගයක් දිනා ගැනීමට සසප සාමාජිකයෝ සමත්වූහ.

මෙම උද්ඝෝෂනයේ දී ස්වාධීන කම්කරු පරීක්ෂනය සම්බන්ධ සසප නිවේදන පත්‍රිකා කිහිප සියයක් කම්කරුවන් අතර බෙදා හල සසප සාමාජිකයන්ට කම්කරුවන්, ගෘහනියන්, ශිෂ්‍යයන් හා තරුනයන් සමග වැලිවේරිය පරිසර දූෂනය හා මිලිටරි ප්‍රහාරයත්, වැඩකරන ජනයාගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ආන්ඩුව විසින් රුදුරු ලෙස මැඩලීමත්, ලාබය සඳහා වූ ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයත් අතර පවතින සම්බන්ධතාව ගැනත් සාකච්ඡාවක් කිරීමට ඉඩ ලැබුනි.

විපක්ෂයට හා ස්වාධීන වෘත්තීය සමිතිවලට සම්බන්ධ කම්කරුවෝ මෙන් ම පාලක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ (ශ්‍රීලනිසේසං) සාමාජිකයෝද වැලිවේරිය මිලිටරි ප්‍රහාරය තරයේ හෙලා දුටු අතර පරිසර දූෂනය වැලැක්වීමේ හා මහජනයාට පිරිසිදු ජලය ලබා ගැනීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාව අවධාරනය කලහ.

තමන් ශ්‍රීලනිසේසං සාමාජිකයෙකු වුවත් ආන්ඩුවේ මර්දන ක්‍රියා අනුමත නොකරන බව රත්මලාන දුම්රිය වැඩපොලේ කර්මාන්ත ශාලා අංක 22 සේවය කරන 37 හැවිරිදි කම්කරුවෙක් ප්‍රකාශ කලේ ය. "වැලිවේරිය හමුදා ප්‍රහාරය හොඳ එකක් නෙමෙයි. දුම්රිය කම්කරුවන්ට මෑත දී තවමත් මෙවැනි ප්‍රහාර එල්ල වී නැතත් අනාගතයේ එහෙම වෙන්න පුළුවන්. පැක්ටරි අයිතිකාරයා ආරක්ෂා කරන්න මහජනයාට පහරදීම අනුමත කරන්න බැහැ. ඒක හෙලා දැකිය යුතුයි. පරිසරය සහ මිනිස් ජීවිත එකට බැඳිලා තියෙන්නේ. පරිසරය විනාශ කිරීම මනුෂ්‍ය සමාජයට කරන හතුරුකමක්" ඔහු කීවේ ය.

සේවා ස්ථානය තුල ඔවුන් මුහුන දෙන අනාරක්ෂිත, දුෂ්කර සේවා කොන්දේසි හා ජීවන වියදමට නොගැලපෙන අප්‍රමානවත් වැටුප් ගැන ද ඔව්හු විස්තර කලහ. තුන්වන ශ්‍රේනියේ කම්කරුවකු වන ඉහත කම්කරුවාගේ මූලික වැටුප රුපියල් 13,500 කි. මාසික අතිකාල පැය ගනන 240 සිට 140 දක්වා කප්පාදු කර ඇත. වැටුපෙන් ජීවන තත්වයන් ගැටගසා ගැනීමට නොහැකි නිසා කම්කරුවෝ අතිකාල සේවා කරති. පැමිනීමේ දීමනාව රුපියල් 4,080 ක් හා දිරිදීමනා ලෙස රු.7,600 ක් වැටුපට එකතු වන නමුත් දින දෙකක් නිවාඩු ගත්තොත් සියයට 50ක්ද දින 5ක් නිවාඩු ගත්තොත් මුළුමනින් ම ද මෙම දීමනාවන් කපා දමයි. එහෙත් ඉතිරිවන වාර්ෂික නිවාඩුවලට කිසිදු ගෙවීමක් නොකරන බව ඔහු කීවේ ය.

මාස 10 වැටුපට සමාන මුදලක් නය දීම නතර කර තිබීම බලවත් පාඩුවක් බවත් හදිසි අනතුරකදී අග්‍රහාර රක්ෂනයෙන් නයක් ගත හැකි නමුත්, ඒ සඳහා රක්ෂනයට රුපියල් 230 ක් මාසික වැටුපෙන් කැපෙන බව ද ඔහු ප්‍රකාශ කලේ ය.

අනියම් සහ තාවකාලික කොන්ත්‍රාත් පදනම මත බඳවා ගත් කම්කරුවන් 60 කගේ පමන සේවය ස්ථිර කිරීම ඇතුලු ඉල්ලීම් ගනනාවක් මත නුදුරේ දී අරගලයකට යාමට දුම්රිය කම්කරුවන් සූදානම් වන බව ද ඔහු පැවසුවේ ය. ශ්‍රීලනිසේ සංගමය කිසිදු කම්කරු උද්ඝෝෂනයකට සහය නොදෙන බව කී ඔහු, පොදුවේ වෘත්තීය සමිතිවලින් කම්කරුවන් ඉවත්වන බව ද සඳහන් කලේ ය. "සමිති නායකයෝ ආන්ඩුවේ වියදමින් විදේශ සංචාරවලට යනවා. ඔවුන්ට යාන වාහන සහ වෙනත් වරප්‍රසාද ලැබෙන නිසා ඔවුන් කම්කරුවන්ගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්නේ නැහැ" යි ඔහු චෝදනා කලේ ය.

වැලිවේරිය ජල දූෂනයේ හා හමුදා ප්‍රහාරයේ සත්‍ය එලිදරව් කර ගැනීම සඳහා ස්වාධීන කම්කරු පරීක්ෂනයක් පැවැත්වීම වැදගත් කටයුත්තක් ලෙස ඔහුගේ ඇගයීමට පාත්‍ර විය.

අංක 32 කොටසේ වැද්දුම්කරුවෙකු ලෙස සේවය කරන 35 වියැති තවත් දුම්රිය කම්කරුවෙක් සාකච්ඡාවට එකතුවෙමින් රතුපස්වල මිලිටරි ප්‍රහාරය සහ ඝාතන හෙලා දුටුවේ ය. "නිරායුද ජනයාට වෙඩි තැබීමෙන් ආන්ඩුව පෙන්නුම් කලේ ආන්ඩුවට විරුද්ධවන ඕනෑම කෙනෙකුගේ කට වැසීමට කල හැකි හැම දෙයක් ම කරන බව යි. දුම්රිය කම්කරුවන්ගේ උද්ඝෝෂනවලටත් ආන්ඩුව සලකනවා ඇත්තේ මේ විදිහටම යි. මිලිටරියේ ඝාතන ඒකාධිපතිත්වයක අනතුර පෙන්නුම් කරනවා. ප්‍රහාරයෙන් පස්සේ ඒ පලාතේ මිනිස්සුන්ට ටික දවසක් නොමිලේ වතුර දීලා දැන් සල්ලි ගෙවලා ගන්න කියන බව මම ප්‍රවෘත්ති වලදී දැක්කා."

සේවා කොන්දේසි සහ පහසුකම් ගැන සඳහන් කරමින් ඔහු ප්‍රකාශ කලේ කප්පාදුව තීව්‍ර කෙරෙමින් තිබෙන බව යි. නිවාස අබලන් වූ විට තමන්ගේ වියදමෙන් ඒවා ප්‍රතිසංස්කරනය කර ගැනීමට සිදු වී ඇති බව කී ඔහු, සිය නිවසේ අබලන්වූ වැසිකිලි පෝච්චිය හදා ගැනීමට අවශ්‍ය බඩු වලට පමනක් රුපියල් 9,400 වැයවූ බව කීවේ ය. "මගේ සල්ලිවලින් පස් ට්‍රැක්ටර් 40ක් ගෙනල්ලයි මේ වත්තේ පාර හදා ගත්තේ. වැස්සට වතුර පිරෙනවා. මදුරුවෝ බෝවෙනවා."

ඔහුගේ නිවසේ සාලයේ ලැටිස් දිරා ගොසිනි. කාමරය තුලට සසප සාමාජිකයන් කැඳවාගෙන ගිය ඔහු වහලයේ ලී දිරාගොස් ඇති ආකාරය පෙන්නුවේ ය. නඩත්තු අංශයේ නිලධාරීන් මුදල් ගසාකන බවත් සමිති නායකයන් "කම්කරුවන් උකසට තබා උන්ගේ ගෙවල් හදා ගන්නා" බවත් ඔහු කෝපයෙන් සඳහන් කලේ ය. "2005න් පස්සේ නිල ඇඳුම් ලැබුනේ නැහැ. ආරක්ෂක පාවහන් වෙනුවට මුදල් දෙන බව කියල පාවහන් දෙන එක නැවැත්තුවා. දැන් එකක්වත් ලැබෙන්නේ නැහැ."

"මම, ජනතා විමුක්ති පෙරමුනේ සමස්ත ලංකා දුම්රිය සේවක සංගමයේ වැඩවර්ජනවලට භේදයකින් තොරව සහයෝගය දුන්නා. අරගල පාවා දීම නිසා ඔවුන් ගැන විශ්වාසය නැති වුනා. ජවිපෙ සමිති නායකයන් ශ්‍රීලනිසේසං සමිතියේත් තනතුරු අල්ලා ගත්තා. ඔවුන් දැන් වරප්‍රසාද ඇති අය. ඔවුන් කම්කරුවන් පාවා දෙනවා" ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කලේ ය.

"වතුර ඉල්ලා උද්ඝෝෂනය කල වැලිවේරිය ජනයාට කල හමුදා පහර දීම අසාධාරනයි. මා එය හෙලා දකිනවා. ආන්ඩුවෙන් එම ප්‍රශ්නයට සාධාරන විසඳුමක් ලැබෙන්නේ නැති බව පැහැදිලියි. මෙම ප්‍රශ්නයේ දී ගම්වාසීන් සහ කම්හලේ කම්කරුවන් දෙගොල්ලම ආරක්ෂා වෙන වැඩපිලිවෙලක් අවශ්‍යයි. ඒ නිසා මා ස්වාධීන කම්කරු පරීක්ෂනයට සහයෝගය දෙන" බව ලියවන පට්ටල් අංශයේ කම්කරුවෙක් ප්‍රකාශ කලේ ය.

ලියවන පට්ටල් අංශයේ කම්කරුවෙකුට ගෙවන දිරිදීමනාව රුපියල් රු 3,000 ක් සහ පැමිනීමේ දීමනාව රු. 2,000 කි. අතිකාල පැයකට ගෙවන්නේ රු. 51 කි. මාසෙකට කල හැකි උපරිම අතිකාල පැය ගනන 80ට සීමා කොට ඇත. "මුළු මාසික ආදායම රු. 20,000ට අඩුයි. මම විවාහකයි. එක දරුවෙක් ඉන්නවා. බිරිඳ ගෘහනියක්,රැකියාවක් නැහැ. වැඩපලේ සේවකයන්ට අවශ්‍ය ආරක්ෂක උපකරන නිසි ලෙස නැහැ. මාස දෙකකට පමන වරක් රෙදි අත් වැසුම් දෙනවා. මම වැඩකරන 41 අංශයට ආරක්ෂක පාවහන් හෝ කන්නාඩි ලැබෙන්නේ නැහැ" ඔහු කීවේ ය.

"රත්මලාන වැඩපොලේ වසර 22 ක් මම වැඩ කරනවා. බොන්න වතුර ඉල්ලා කල උද්ඝෝෂනය සාධාරන එකක්. උද්ඝෝෂනයට හමුදාව යොදා මිනිසුන් මරා දැමීම වැරදියි" අංක 43 වාෂ්ප වැඩපොලේ කම්කරුවක් ප්‍රකාශ කලේ ය.

එම අංශයේ ම සේවය කරන වසර 31ක සේවා කාලයක් සහිත තවත් කම්කරුවක් වැලිවේරිය ප්‍රහාරය දැඩිව හෙලා දුටුවේ ය.

"වැලිවේරිය උද්ඝෝෂනයට මිලිටරිය මැදිහත් කිරීම හා මිනිසුන් මරා දැමීම අසාධාරන සහ ම්ලේච්ඡ ක්‍රියාවක්. එවැනි ක්‍රියා උතුරෙ දී වගේම දකුනේදීත් අසාධාරන යි. බලය යොදලා ප්‍රචන්ඩ ආකාරයට මිනිසුන්ගේ ඉල්ලීම් යටපත් කිරීම අමානුෂික ක්‍රියාවක්. වැලිවේරිය කම්හලේ දරදඬු පිලිවෙතට විරුද්ධව සියලු දෙනාම එක වැඩපිලිවෙලකට එකතු වෙන්න ඕන...

"වතුර ප්‍රශ්නය වටේ කම්කරුවන් එකතු වුනොත් ඒක සටනට ලොකු ශක්තියක් වේවි. ප්‍රදේශයේ ජනයාට පිරිසිදු ජලය ලබා ගැනීමට ඇති අයිතිය වගේම කම්හලේ සේවකයන්ගේ රැකියා අයිතියත් රැකිය යුතුයි කියන ඔබේ අදහසට මම එකඟයි. හැබැයි දැන් පලාත් පාලන ඡන්දෙදි පොරොන්දු කද බැඳගෙන දේශපාලඥයන් ඉදිරිපත් වෙයි. ජනතාව ඔවුන්ගේ බොරු පොරොන්දු ප්‍රතික්ෂේප කල යුතු යි."

Share this article: