බස්නාහිර පලාත් සභා මැතිවරනය සඳහා සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රකාශය

සමාජවාදී සමානතා පක්ෂයට ඡන්දය දෙන්න!
යුද්ධයට, කප්පාදුවට හා පොලිස් රාජ්‍ය ක්‍රමෝපායන්ට එරෙහිව සමාජවාදී ක්‍රියාමාර්ගය සඳහා සටන් වදිනු!

SEP manifesto for the Western Provincial Council election Vote for the Socialist Equality Party! Fight for a socialist program against war, austerity and police-state methods!

සමාජවාදී සමානතා පක්ෂය විසිනි, 2014 පෙබරවාරි 22

බස්නාහිර පලාත් සභාව සඳහා මාර්තු 29දා පැවැත්වීමට නියමිත මැතිවරනයේදී සමාජවාදී සමානතා පක්ෂය (සසප), දේශපාලන කමිටු සාමාජිකා විලානි පීරිස්ගේ නායකත්වයෙන් කොලඹ දිස්ත්‍රික්කය සඳහා අපේක්ෂකයින් 43ගේ ලැයිස්තුවක් ඉදිරිපත්කර තරඟවදියි.

සසප මැතිවරන උද්ඝෝෂනයට සහාය දක්වන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු. ආසියාකරය තුල වර්ධනය වන යුද්ධයේ තර්ජනයටත්, ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් මැඬලීමටත් එරෙහිව සිංහල, දෙමල හා මුස්ලිම් කම්කරුවන් බලමුලු ගැන්වීමට සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කරන එකම පක්ෂය සසප පමනි.

සමාජවාදී ප්‍රතිපත්ති ක්‍රියාවට නැඟීම හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන් සහතික කිරීම සඳහා, දකුනු ආසියාවේත්, ජාත්‍යන්තරවත් සමාජවාදය සඳහා ගෙන යන අරගලයේ කොටසක් ලෙස ශ්‍රී ලංකාව තුල කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් වෙනුවෙන් සසප සටන් වදියි. එය කම්කරුවන්ගේ, ගොවීන්ගේ හා තරුනයන්ගේ අවශ්‍යතා ආරක්ෂා කිරීමේ එකම ශක්‍ය පිලිවෙතයි.

අන්සියල්ලටත් වඩා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් අවුලුවනු ලබන භූ-දේශපාලනික ආතතීන් හා එදිරිවාදිකම්වල වාසුලිය තුලට මෙරට ද ඇදගනිමින් තිබේ. අන් සෑම රටක් මෙන්ම මෙරට ද 1930 ගනන් වලින් මෙපිට ධනවාදය අත් නොදුටු පරිමානයේ වත්මන් ගෝලීය අර්බුදය තුල ගිලී ඇත. ව්‍යාජ වාම සංවිධාන ද ඇතුලු කොලඹ සමස්ත දේශපාලන සංස්ථාපිතයම ලෝක දේශපාලනයේ මෙම විනාශකාරී ඉමහත් වර්ධනයන් පිලිබඳව කම්කරුවන් හා තරුනයින් අන්ධකාරයේ තැබීමට උත්සාහ දරයි.

පලමු ලෝක සංග්‍රාමය පුපුරා ගිය තැන් පටන් සිය වසක ඇවෑමෙන් ධනවාදය, මානව වර්ගයා තවත් ව්‍යසනකාරී ගෝලීය යුද ගිනි ජාලාවක් තුලට යලි ඇද දැමීමට තර්ජනය කරයි. එක්සත් ජනපදයෙහි “ආසියාවට හැරීමේ“ අරමුන, විශේෂයෙන්ම ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව ඇතුලු කලාපය පුරා රටවල් සමග, සන්ධාන, මූලෝපායික සම්බන්ධතා හා කදවුරු ඇති කරගැනීමේ ගිවිසුම් හරහා චීනය හුදෙකලා කොට මිලිටරිමය වශයෙන් වැටලීමය.

දැනටමත් ඇෆ්ගනිස්ථානයට, ඉරාකයට හා ලිබියාවට එරෙහි ආක්‍රමනකාරී යුද්ධ දියත්කොට ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ඉවක්බවක්නැති හා සාපරාධී පිලිවෙත් හසුරුවනු ලබන්නේ, ගැඹුරු වන ගෝලීය ආර්ථික අර්බුදය හා එක්සත් ජනපදයම මුහුනපා සිටින සාපේක්ෂ පරිහානිය මගිනි. කොල්ලකාරී කතිපයාධිකාරයක් වෙනුවෙන් කටයුතු කරන වොෂින්ටනය, ආසියාව තුල සිය අධිකාරය අඛන්ඩව පවත්වාගෙන යාමටත්, එමගින් කලාපයේ ලාභ ශ්‍රම තටාකයෙන් උපුටා ගන්නා ලාභයේ වැඩි පංඟුව ඩැහැ ගැනීමටත් අදිටන් කරගෙන සිටියි.

කිසිදු රටක් මෙයින් ගැලවී යනු නැත. බීජිනය සමග පවත්වාගෙන යන සම්බන්ධකම් අවසන් කිරීම සඳහා මෙරට ආන්ඩුවට බලකිරීමට වොෂින්ටනය අදිටන් කර ඇත. මෙම අරමුනින්, බෙදුම්වාදී දෙමල ඊලම් විමුක්ති කොටි (එල්ටීටීඊ) සංවිධානයට එරෙහිව ගෙන ගිය යුද්ධය අවධියේ හමුදාව සිදුකල යුද අපරාධ පිලිබඳ පරීක්ෂනයක් ඉල්ලා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (යූඑන්එච්ආර්සී) මාර්තු මස රැස්වීමට තුන්වන වරටත් යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජනපදය සැලසුම් කරයි. මෙරට මෙන්ම වෙනත් ඕනෑම තැනක“මානව හිමිකම්“ පිලිබඳ කැක්කුමක් එක්සත් ජනපදයට ඇත්තේ නැත. එහෙත් චීනය පිලිබඳ එහි නියෝගයන්ට ජනාධිපති මහින්ද රාජපක්ෂ හිස නොනැමුවහොත් යුද අපරාධ චෝදනා පිලිබඳ අධිකරනයක් හමුවේ පෙනී සිටීමට ඔහුට සිදුවිය හැකිය.

එක්සත් ජනපද තර්ජන කෙරෙහි රාජපක්ෂගේ ප්‍රතිචාරය, පුහු චන්ඩිකම් පෑ‍මේ ද තුච්ච බඩගෑම්වල ද සම්මිශනයකි. සාක්ෂි කන්දක් තිබියදීම ඔහු, කිසිදු අපරාධයක් සිදුව ඇති බව පවා තරයේ ප්‍රතික්ෂේප කරන අතර තමා “ජාත්‍යන්තර කුමන්ත්‍රනයක“ ගොදුරක්වී ඇති බව කියා සිටියි. ඒ සමගම රාජපක්ෂ, වොෂින්ටනය සමග මිත්‍රත්වය සදහා ආයාචනා කරමින් ප්‍රධානම “කුමන්ත්‍රනකරුවා“ වෙත සිය යටහත් පහත්කම කියාපායි. චීනයටත් වඩා එහාගිය සම්බන්ධතා “එක්සත් ජනපදය සමග වර්ධනය කර ගැනීම ගැන වගබලා ගන්නට“ කොලඹ ආන්ඩුව කැමැත්තෙන් සිටින බව පවසන ලිපියක්, ආන්ඩුව කුලියට ගෙන ඇති, එක්සත් ජනදයේ පිහිටි බලපෑම් දැමීමේ ආයතනයක් විසින් ජනවාරි මාසයේදී නිකුත්කර ඇත.

මෙරට සියලු විරුද්ධ පක්ෂ ඒ හෝ මේ අයුරින් එක්සත් ජනපද “මානව අයිතීන්“ පිලිබඳ මවාපෑම හා එමගින් චීනයට එරෙහි එක්සත් ජනපද යුද සූදානම සමග පෙලගැසෙති. බටහිර ගැති එක්සත් ජාතික පක්ෂය (එජාප) ‘චීනයට රට විකුනන“ බවට රාජපක්ෂට චෝදනා කරයි. මානව හිමිකම් කඩකිරීම පිලිබඳව “විශ්වාසනීය පරීක්ෂනයක්“ සඳහා කැඳවුම් කරන්නේ, මෙරට වර්ගවාදී යුද්ධය ආරම්භ කල හා විවිධාකාර අපරාධ පිලිබඳව වගකීම දරන එජාපයයි!

නව සමසමාජ පක්ෂය (නසසප) හා එක්සත් සමාජවාදී පක්ෂය (එසප) වැනි ව්‍යාජ වාම සංවිධාන, එජාප සමග සන්ධානයක් පවත්වාගෙන යමින්, එක්සත් ජනපද “මානව හිමිකම්“ විගඩමට හුරේදමන්නන් බවට පත්ව සිටිති. දෙමල ජාතික සන්ධානය (ටීඑන්ඒ) සුලුතර දෙමල ප්‍රභූ පැලැන්තිය සඳහා වැඩි වරප්‍රසාද සුරක්ෂිත කර ගැනීමේ ක්‍රමයක් ලෙස ජාත්‍යන්තර පරීක්ෂනයක් කැඳවුම් කරමින්, එම කරත්තයටම නැඟගෙන සිටියි. හිටපු හමුදාපති සරත් ෆොන්සේකා විසින් පිහිටුවන ලද ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ද එජාපය මෙන්ම චීනයට එරෙහිව එක්සත් ජනපදයට සහාය දක්වයි.

මෙම සියලු පක්ෂ වලට එරෙහිව, හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ සිය සහෝදර පක්ෂ සමග එක්ව සසප, අධිරාජ්‍යවාදී යුද්ධයේ මූලික හේතුව වන ලාභ සූරාකෑමේ ක්‍රමය අහෝසි කිරීම අරමුනු කරගත් ඒකාබද්ධ ලෝක යුද විරෝධී ව්‍යාපාරයක් තුල, ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීමට සටන් වදියි. යුද්ධය කරා වන තල්ලුව නතර කිරීමේ එකම ශක්‍ය මූලෝපාය වන්නේ ලෝක සමාජවාදි විප්ලවයයි.

මෙම අරගලයේදී අප සමග එක්වන ලෙස මෙරට හා දකුනු ආසියාව පුරා කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් සසප ඉල්ලා සිටියි. ධනේශ්වරයේ සියලු කොටස් වලින් ස්වාධීනව කම්කරු පන්තියේ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟිය යුතුව තිබේ. අපි මෙසේ කියන්නෙමු: රාජපක්ෂ ආන්ඩුවේ යුද අපරාධකරුවන්ට කිසිදු සහායක් නැත! වොෂින්ටනයේ ප්‍රෝඩාකාරී මානව හිමිකම් විගඩමට ද කිසිදු සහායක් නැත!

ආන්ඩුවේ කප්පාදු පියවරයන්ට විරුද්ධ වනු

2009 වසරේ එල්ටීටීඊ පරාජයෙන් පසුව රාජපක්ෂ නව “ආර්ථික යුද්ධයක්“ ප්‍රකාශයට පත් කලේය. වැඩකරන ජනතාවට හා දුගීන්ට එරෙහිව ඔහුගේ ආන්ඩුව ඇත්තෙන්ම දැන් ගෙනයමින් සිටින්නේ එම යුද්ධයයි. සිය නිර්බාධිත සූරාකෑම සඳහා මග හෙලිකරන පරිදි, කම්කරු පන්තිය භුක්ති විඳින සියලු අතීත සමාජ සහන අහෝසි කරන ලෙස කියා සිටිමින්, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනය, ලෝකය පුරා ආන්ඩු වලින් ඉල්ලන්නේ, ගෝලීය ආර්ථික අර්බුදයේ බර කම්කරු පන්තිය මත පටවන ලෙසය.

ලඹදෙන ගෙවුම්ශේෂ අර්බුදයකට මුහුනපා සිටින රාජපක්ෂ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සියලු ඉල්ලීම් ක්‍රියාවට නඟමින් සිටියි. 2009 වසරේ පැවති දල දේශීය නිෂ්පාදිතයෙන් සියයට 10ක පමන මට්ටමේ සිට 2013දී සියයට 5.8 දක්වා ආන්ඩුව ක්‍රමානුකූලව අයවැය හිගය කපාහැර තිබෙන අතර එය 2016 වන විට සියයට 3.8 දක්වා තවදුරටත් පහත හෙලීමට අපේක්ෂා කරයි.

රාජපක්ෂ විසින් මහා ව්‍යාපාරිකයින්ට පිදේනි හා බදු සහන පුදකිරීමේ අර්ථය වන්නේ, කප්පාදු පියවරයන්ගේ මුලු බර වැඩකරන ජනතාව මත පැටවෙන බවයි. සහනාධාර කපා හරිමින් මිල ඉහල නංවා, බදු බර වැඩිකර ඇති ආන්ඩුව, නිදහස් මහජන සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි අත්‍යවශ්‍ය සේවා ගැඹුරින්ම කප්පාදු කර ඇත.

කොලඹ නාඟරිකය තුල ආන්ඩුව ක්‍රියාවට දමමින් සිටින්නේ, කම්කරු පන්තියේ වියදමෙන් නඟරය දකුනු ආසියාවේ වානිජ්‍ය මධ්‍යස්ථානයක් බවට හැරවීමේ ද ධනවත් සංචාරකයින් සඳහා විනෝදස්ථාන ගොඩනැගිමේ ද පුරාජේරු සැලැස්මකි. ජාත්‍යන්තර ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමේ මංමුලාසහගත උත්සාහයක නිරත වෙමින්, ආන්ඩුව නව මංමාවත්, කාර්යාල-ස්ථම්භ, සුඛෝපභෝගී හෝටල් හා සුපිරි මහල් නිවාස සංකීර්න ඉදිකිරීමට ඉඩ කඩ ලබාගැනීම සඳහා පැල්පත්වාසී පවුල් 70000කට වැඩි ප්‍රමානයකගේ නිවාස හා වාසස්ථාන වලින් බලහත්කාරයෙන් ඉවත් කරමින් සිටී.

දුප්පතුන් හා පොහොසතුන් අතර සමාජ ආගාධය පුලුල් වෙමින් තිබේ. අලුත්ම සංඛ්‍යා පෙන්නුම් කරන්නේ, ජනගහනයේ ධනවත්ම සියයට 20ක් ජාතික ආදායමෙන් සියයට 53ක් හිමිකර ගන්නා අතර දුප්පත්ම සියයට 20ට ලැබෙන්නේ සියයට 4.4ක් පමනක් බවයි.

සමාජ පිපිරීමක් පිලිබඳව බියට පත්ව සිටින ආන්ඩුව, දශක ගනනාවක සිවිල් යුද්ධය අවධියේ වර්ධනය කරන ලද පොලිස් රාජ්‍ය යන්ත‍්‍රය, කම්කරු පන්තියට එරෙහිව යොදාගැනීම සඳහා සූදානම් කරමින් සිටියි. මහජන විරෝධතා තලා දැමීම සඳහා පුහුනුව ලබන හමුදා හා පොලිස් කොමාන්ඩෝ භටයින්ගේ ඡායාරූප ද සහිත සටහනක් මෑතකදී හමුදා වෙබ් අඩවියේ පලකොට තිබුනි. “කැරලි මර්දනය, අවම බලය යොදාගනිමින් හදිසි නැඟිටීම් හා මහජන විරෝධතා මැඬීම පිනිස යොදාගන්නා අභ්‍යන්තර ආරක්ෂක පියවරක්“ යයි වෙබ් අඩවිය කියා සිටියි.

“අවම බලය“ යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න දැනටමත් පැහැදිලිවී තිබේ. 2011 මැයි මාසයේදී කටුනායක නිදහස් වෙලඳ කලාපයේ විරෝධතාවයේ යෙදුනු කම්කරුවන්ට වෙඩිතැබූ පොලිසිය එක් අයෙකු මරා දැමීය. 2012 දී ඉන්ධන මිල වැඩිකිරීමට විරෝධය පල කල ධීවරයින්ට වෙඩිතැබූ පොලිස් කොමාන්ඩෝ භටයෝ එක් අයෙකු මරා දැමූහ. පසුගිය වසරේ අගෝස්තුවේදී වැලිවේරිය ජල දූෂනයට එරෙහිව පලවූ ජනතා විරෝධතාව බිඳහෙලීම සඳහා හමුදාව සිදුකල වෙඩි ප්‍රහාරයෙන් තරුනයින් තිදෙනෙක් මරුමුවට පත් විය.

ඒ සමගම, 1948 නිදහසෙන් පසුව පැවති සියලු ආන්ඩු මෙන්ම රාජපක්ෂ ආන්ඩුව ද වැඩකරන ජනතාව බෙදීම සඳහා වර්ගවාදය හා ජාතිකවාදය උසිගැන්වීමේ ප්‍රතිගාමී ක්‍රම වල පිහිට පතමින් සිය පාලනය නඟාසිටුවීමේ ව්‍යායාමයක නිරතව සිටියි. එල්ටීටීඊයේ මිලිටරි පරාජයෙන් පස් වසරකට පසුව ද රාජපක්ෂ, “එල්ටීටීඊ ත්‍රස්තවාදය“ යලි හිස ඔසවන බව පවසමින් දෙමල විරෝධය අවුලවයි.

එසේම ආන්ඩුව බොදුබල සේනා, සිහල රාවය හා රාවනා බලකාය වැනි ෆැසිස්ට් පන්නයේ බෞද්ධ සංවිධාන පෝෂනය කරයි. මුස්ලිම් ව්‍යාපාර, පල්ලි හා ක්‍රිස්තියානි දේවස්ථාන ඉලක්කකර පහර දෙන මෙවන්කන්ඬායම් ක්‍රියා කරන්නේ, 1930 ගනන්වල ජර්මනිය තුල මුදාහරින ලද නාසි ප්‍රහාරක හමුදා ලෙසය. අනාගතයේදී මෙම මැරයෝ විරෝධතා දක්වන කම්කරුවන්ට හා තරුනයන්ට එරෙහිව හැරවෙනු ඇත.

කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා

ධනේශ්වරයේ සියලු කොටස් වෙතින් සිය දේශපාලන ස්වාධීනත්වය පිහිටුවා ගැනිමකින් තොරව කම්කරු පන්තියට සිය මූලික අයිතීන් ආරක්ෂාකරගත නොහැකිය. සමස්තයක් ලෙසම කොලඹ දේශපාලන සංස්ථාපිතය, ලාභ ගරන පද්ධතියේ අර්බුදයේ බර කම්කරු පන්තිය මත පැටවීම ගැන ඒකමතිකය.

මෙරට පැරනිතම ධනපති දේශපාලන පක්ෂය වන එජාපයට, මහ ධනේශ්වරයේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කිරීමේ දිගු ඉතිහාසයක් ඇත. 1978දී නිදහස් වෙලඳපොල ප්‍රතිව්‍යුහකරන ක්‍රියාමාර්ගයට මුලපිරූ එය, තමන් බලයේ සිටි සෑම විටෙකදීම මෙම කම්කරු පන්ති විරෝධී න්‍යාය පත්‍රය නිර්දය ලෙස ක්‍රියාවට නඟා ඇත. එජාපය බලයට පත්වුවහොත්, රාජපක්ෂ ආන්ඩුව ජීවන තත්වයන්ට එල්ල කරන ප්‍රහාරය ඔවුන් තවත් දැඩි ලෙස පෙරට ගෙන යනු ඇත.

2005 වසරේ රාජපක්ෂ බලයට පත්කිරීමට උදව් කල හා ඔහුගේ සාපරාධී යුද්ධයට උපරිමයෙන් සහාය දුන් ජනතා විමුක්ති පෙරමුන (ජවිපෙ) සිය සමාජවාදී වෙස්පෑම් පසෙකලා තමන් වැදගත් ධනපති පක්ෂයක් ලෙස පෙනී සිටී. එය දැන් පාරිශුද්ධ, සාධාරන, ප්‍රජාතන්ත්‍රවාදි, දූෂනයෙන් තොර ධනපති පාලනයක් දේශනා කරයි.

අපේ දැක්ම යන ජවිපෙ ක්‍රියාමාර්ගික ලියවිල්ල ““නවීන සමාජවාදී ප්‍රතිපත්ති“ යටතේ “නවීකරනය හා කාර්මීකරනය වූ රටක්“ සඳහා කැඳවුම් කරයි. එහෙත් ජවිපෙ සමාජවාදය ගැන කතා කරන විට එහි අර්ථය වන්නේ “චීන මොඩලයයි“. වෙනත් වචන වලින් කිවහොත් විදේශ ආයෝජකයින් සඳහා ලාභ ශ්‍රම වේදිකාවකි. ශ්‍රී ලංකාව “ජාත්‍යන්තරව තරඟකාරී“ තැනකට ගෙන ඒමට අවශ්‍ය සියල්ල කිරීම පිනිස සිය කැපවීම පෙන්වීම සඳහා ජවිපෙ, මහ ව්‍යාපාරිකයින්ට සියයට 5ක බදු සහනයක් පිලිගන්වා ඇත.

නසසප හා එසප වැනි ව්‍යාජ වාම පක්ෂ, මැතිවරන සන්ධානයක් ගොඩනඟාගෙන ඇති නමුත් ඔවුන් කටයුතු කරන්නේ, එජාප නායක රනිල් වික්‍රමසිංහ හා එජාප ආන්ඩුවක් වෙනුවෙන් හුරේ දමන්නවුන් ලෙස ය. එජපය පිලිබඳ එසපයේ සොච්චම් විවේචන මගින්, දක්ෂිනාංශික ධනපති පක්ෂය වෙනුවෙන් නිර්ලජ්ජිත උද්ඝෝෂනයක තමන් නියැලී සිටින්නේය යන කාරනය වසං කල නොහේ. දශකයට එහාදී, නසසප හා එසප අවස්ථාවාදීහු, තමන් රාජපක්ෂගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දක්වන සහයෝගය යුක්තිසහගත කිරීම පිනිස එජාපය හෙලා දුටහ.

ජවිපෙන් කැඩීගිය කන්ඬායමක් වන පෙරටුගාමි සමාජවාදී පක්ෂය (පෙසප) මෙම මැතිවරනයට තරඟ නොකරයි. එහෙත් ඔවුහු කම්කරු පන්තියට අන්තරායකාරී නව දේශපාලන උගුලක් අටවති. ඔවුන් ග්‍රීසියේ සයිරිසා සංවිධානයේ මාවත් අනුව යමින් නසසප, එසප, විවිධ වෘත්තීය සමිති හා ආනකුත් ව්‍යාජ වාම කන්ඬායම් සමග යලි කාන්ඩ ගැසීමට උත්සාහ දරමින් සිටියි. සියල්ලටත් වඩා සයිරිසාහි භූමිකාව වූයේ, රුදුරු කප්පාදු පියවර සඳහා බලකල යුරෝපිය සංඟමටත්, ඒවා ක්‍රියාත්මක කලාවු ග්‍රීක ආන්ඩුවලටත් එරෙහිව කම්කරුවන්ගේ දේශපාලන අරගලයක් පැන නැඟීම වැලැක්වීමයි. පෙසප මෙරට පාලක පන්තිය සඳහා ඒ හා සමාන සේවයක් ඉටුකිරීම පිනිස සූදානම් වෙයි.

සසපට සහාය දෙන්න

මෙම සියලු පක්ෂ වලට විරුද්ධව සසප සටන් වදින්නේ ධනවතුන් අල්පතරයක ලාභය සඳහා පවතින ධනවාදය අහෝසි කර, ජනගහනයේ අති බහුතරයකගේ දැවෙන සමාජ අවශ්‍යතා සපුරාලිය හැකි ලෝක පරිමානයෙන් සැලසුම් කල සමාජවාදි ආර්ථිකයක් පිහිටුවීම පිනිස කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සඳහා ය. මෙරටෙහි 26 වසරක විනාශකාරී සිවිල් යුද්ධයකට අඩිතාලම දැමූ ජාතිකවාදයේ හා වර්ගවාදයේ සියලු රූපාකාරයන් ප්‍රතික්ෂේප කරන ලෙස අපි කම්කරුවන්ගෙන් හා තරුනයින්ගෙන් ඉල්ලා සිටිමු.

කම්කරුවන්ගේ ද තරුනයින්ගේ හා ගොවීන්ගේ ද අවශ්‍යතා ඉටුකරලීම පිනිස ධනවාදය ප්‍රතිසංස්කරනය කල නොහේ. දකුනු ආසියාවේ හා ජාත්‍යන්තරව සමාජවාදී සමූහාන්ඩු සංඟමයක් සඳහා වන අරගලයේ කොටසක් ලෙස, ශ්‍රී ලංකා-ඊලම් සමාජවාදී සමූහාන්ඩුවක රූපාකාරයෙන් කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවක් සදහා සසප සටන් වදින්නේ එබැවින්ය.

හතර වන ජාත්‍යනතරයේ ජාත්‍යන්තර කමිටුවේ ශ්‍රී ලංකා ශාඛාව වන සසප, මෙරට වැනි ප්‍රමාදවී ධනපති වර්ධනයේ මාවතට පිවිස ඇති සියලු රටවල ධනේශ්වරය, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කිසිදු අරගලයක් කිරීමට ඓන්ද්‍රීයවම අසමත් බව පෙන්වා දෙන ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මත පදනම් වෙයි. සමාජවාදය සඳහා සටනේ කොටසක් ලෙස මෙම කර්තව්‍යය පැවරී ඇත්තේ කම්කරු පන්තිය වෙතයි.

සසප පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංඟමය (විකොස), 1964 සිරිමා බන්ඩාරනායකගේ ධනපති ආන්ඩුවට ඇතුල් වීමෙන් ලංකා සමසමාජ පක්ෂය විසින් සමාජවාදී ජාත්‍යන්තරවාදයේ මූලික මූලධර්ම පාවාදීමට එරෙහි දේශපාලන අරගලය තුල, 1968දී පිහිටුවන ලදී.

විකොස/සසප, කොලඹ ආන්ඩුවල වර්ගවාදී යුද්ධයට ආරම්භයේ පටන්ම විරුද්ධ වෙමින්, උතුරෙන් හා නැඟෙනහිරෙන් හමුදා ඉවත්කරගන්නා ලෙස ඉල්ලා සිටි එකම පක්ෂය වේ. යුද්ධය හුදෙක් දෙමල ජනතාවට එරෙහිව පමනක් නොව, සමස්තයක් ලෙස කම්කරු පන්තියටම එරෙහිව එල්ල කෙරෙන බවට අප නිරන්තරයෙන් අනතුරු ඇඟවූයෙමු. කොලඹ ආන්ඩුවල සිංහල අධිපතිවාදයට ද දෙමල රාජ්‍යයක් පිලිබඳ එල්ටීටීඊයේ බෙදුම්වාදී ඉදිරිදර්ශනයට ද විරුද්ධ වෙමින් සසප, කම්කරුවන් එක්සත් කිරීමට සටන් වැද තිබේ.

අපගේ පක්ෂය පදනම්ව ඇත්තේ, 1917 ඔක්තෝබර් විප්ලව යේ ලෙනින්ගේ සම නායකයා වූ ලියොන් ට්‍රොට්ස්කිගේ දේශපාලන හා න්‍යායික උරුමය මතය. ලියොන් ට්‍රොට්ස්කි, ස්ටැලින්වාදී නිලධරයට එරෙහිව ගෙන ගිය ජීවිතයත් මරනයත් අතර සටනක් තුල, කම්කරු පන්ති නායකත්වයේ අර්බුදය විසඳීම පිනිස 1938 හතරවන ජාත්‍යන්තරය ගොඩනැඟූවේය .

පක්ෂයේ මෙම දේශපාලන උද්ඝෝෂනයට මුදලින් ආධාර කරන ලෙසත් කොලඹ අපගේ උද්ඝෝෂන කන්ඬායම් වලට එක්වන ලෙසත් අපගේ මැතිවරන රැස්වීම්වලට සහභාගී වන ලෙසත් අපි කම්කරුවන්ගෙන් තරුනයින්ගෙන් හා බුද්ධිමතුනගෙන් ද ඉල්ලා සිටිමු. සියල්ලටත් වඩා, අපගේ දේශපාලන ඉදිරිදර්ශනය හා ක්‍රියාමාර්ගය අවධානයෙන් හදාරන ලෙසත් සසප කම්කරු පන්තියේ මහජන විප්ලවවාදී පක්ෂය ලෙස ගොඩනැඟීම පිනිස පක්ෂයට බැඳෙන ලෙසත් අපි ඔබගෙන් ඉල්ලා සිටිමු.

Share this article: