ගෝලීය විරැකියාව මිලියන 200 ඉක්මවා යයි

Global unemployment rises above 200 million

මයික් හෙඩ් විසිනි, 2014 ජනවාරි 21

2008 දී පුපුරාගිය ආර්ථික අර්බූදයේ ගැඹුරුවන බලපෑම් විදහා දක්වමින්, එක්සත් ජාතීන්ගේ ඒජන්සියක් වන ජාත්යන්තර කම්කරු සංවිධානය (අයිඑල් ඕ) පවසන පරිදි, පසුගිය වසරේදී ලොව පුරා නිල වශයෙන් පිලිගත් රැකියා විරහිතයින්ගේ සංඛ්‍යාව පලමු වතාවට මිලියන 200 ය ඉක්මවා ගොස් තිබේ.

අද දින නිකුත් කෙරුනු වාර්ෂික "ගෝලීය රැකියා ප්‍රවනතා" වාර්තාව තුල අයිඑල්ඕ ව පවසන්නේ, එක් වසරක් තුල මිලියන 5ක් තරම් වැඩි වෙමින් ගොස්, 2013දී තක්සේරුගත සේවා වියුක්තිකයින්ගේ සංඛ්‍යාව මිලියන 201.8ක් වී ඇති බව ය. 2009 දී වාර්තාගතවූ මිලියන 198 වඩා මෙය ඉහල අගයක් ගෙන තිබේ.

වයස 15-24 අතර මිලියන 74.5ක් වන තරුනයින්, 2013 වසර තුල විශාලතම විරැකියා ගොදුර බවට පත්ව ඇති අතර එය 700,000ක් තරම් ප්‍රමානයකින් ඉහල යාමකි. 2013 තරුන සේවා නියුක්තිය 2007ට වඩා මිලියන 37.1 කින් විශ්මයජනක ලෙස අඩුවී ඇත.

මෙය ලෝක ධනවාදයට එල්ල වූ නින්දිත චෝදනා පත්‍රයකි. මූල්‍ය කඩා වැටීමෙන් 5ස් වසරක් ඉක්මයද්දී තරුන විරැකියා අනුපාතය සියයට 13.1 දක්වා ඉහල ගොසිනි. මෙය "ඓතිහාසික ඉහල යාමකි." එය සමස්ත ශ්‍රම බලකායේ අනුපාතය වන සියයට 6.1 මෙන් දෙගුනයක් වන අතර වැඩිහිටි අනුපාතය වන සියයට 4.6 මෙන් තුන් ගුනයකට ආසන්න වෙයි.

බරපතලම විරැකියා ගැටලුව ඇත්තේ, නොවැම්බරයේ දී පිට පිට 8 වන මාසයට ත් රැකියා විරහිත ජන අනුපාතය වාර්තාගත සියයට 12.1 මට්ටමේ පවතින යුරෝ කලාපයෙහිය. සියයට 12.2 ක විරැකියා අනුපාතයක් සහිත උතුරු අප්‍රිකාව දැඩි ලෙසම බැට කෑ කලාපය ලෙස තවදුරටත් පවතිද්දී, සියයට 10.9ක් වන මැද පෙරදිග එය පසු පස සිටී. සියයට 8.6ක් වන උතුරු ඇමෙරිකාව සහ අනෙකුත් සංවර්ධිත රටවල් ඉන් අනතුරුව පෙල ගැසේ.

විරැකියා සහනාධාර අහිමි කරන ලද හෝ සතියකට පැය කීපයක් පමනක් රැකියාවක නියුක්ත අය හෝ රැකියා සෙවීම අතහැර දමා සිටින අය හෝ ඇතුලත් කර නොගන්නා, ඒ ඒ ආන්ඩුවල සංඛ්‍යා ලේඛන පදනම් කරගෙන ඉදිරිපත් කෙරෙන මෙම තත්වය, විරැකියා අනුපාත අඩුතක්සේරු කරන බව නිසැකය.

නරක් වෙමින් පවතින තත්වය පැහැදිලි කිරීම පිනිස අයිඑල්ඕ ව, "විරැකියාව දුරලීම" යන වැකි යොදා ගනියි. සංගත ලාභ සහ කොටස් වෙලඳ පොල මිල ගනන් වේගයෙන් ඉහල නඟින අතරතුර ඔවුහු, අඩුතරමින් ඉදිරි වසර හතර පුරාවට ද මීට වැඩි විරැකියා අනුපාතයන් පැවතිය හැකි බවට පවා අනතුරු ඇඟ වූහ. ලොව වටා ආන්ඩු ක්‍රියාවට නඟන, "ප්‍රකෘතිය" පිලිබඳ මිත්‍යාව මෙම පුරෝ කතන වලින් තවදුරටත් එලිදරව් වෙයි.

"සෑම විටම පමන ඉක්මවා සුභවාදී" වන ගෝලීය ආර්ථික වර්ධනය, 2013 සියයට 2.9 සිට 2014 සියයට 3.6 දක්වා ඉහල යාමක් පිලිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පෙර දැකීම් මත පදනම්ව පවා විරැකියාව, 2018දී මිලියන 215ක් තරම් විය හැකි බව අයි එල් ඕ ව පැවසීය. කෙසේ වෙතත්, "යලි වතාවක් තිරසාර ආර්ථික සුවපත් වීමක් උදා නොවුන හොත්" එය මිලියන 220ක් වනු ඇත.

ලෝක මූල්‍ය වෙලඳපොල උත්පාතය ද කම්කරුවන් මුහුනදී සිටින තත්වය වඩ වඩා අයහපත් අතට හැරීම ද අතර දැඩි අසමානත්වය අයිඑල්ඕ ව විසින් සටහන් කරනු ලැබ තිබේ. අධ්‍යක්ෂ ජනරාල් ගය් රයිඩර් සඳහන් කලේ, සංගත ලාභ ඉහල ගොස් සරුසාර වසරක් ගැන මූල්ය වෙලඳපොලවල් පෙරමග බලා සිටින නමුත් "ව්‍යාපාරිකයන් නිශ්පාදන ධාරිතාවය සහ රැකියා නිර්මානය වෙනුවෙන් ආයෝජනය කරනවා වෙනුවට මුදල් මත ලැග ගෙන හෝ තමන්ගේම කොටස් යලි මිලදී ගනිමින් සිටී" යනුවෙනි.

මෙම සන්තතීන්, " සමහරවිට තවදුරටත් වඩා ගැඹුරු සමාජ අසහනකාරිත්වයේ බීජ වපුරමින් සිටින්නේය" යි රයිඩර් අනතුරු හැඟවීය. ඔහු මෙසේ සඳහන් කලේ, ලොව පොහොසත්ම පුද්ගලයන් 85 දෙනා, දුප්පත්ම මිනිසුන් බිලියන 3.5 ක් නැත්නම් ලොව ජනගහනයෙන් අඩක් තරම් පිරිසක් සතු ධනය හා සමාන ධනයක් සතුකරගෙන සිටින බවට පලවූ ඔක්ස්ෆෑම් වාර්තාවකින් අනතුරුවය.

රටවල් 47ක ප්‍රසිද්ධියේ ගනුදෙනු කරන කොටස් ව්‍යාපාර 72,00ක් ගැන වාර්තා සකසන FTSE ගෝලීය සමස්ත දර්ශකයෙන් අයිඑල්ඕ ව උද්ධෘත ගෙනහැර දක්වයි. පසුගිය වසරේ දෙසැම්බර් මැද භාගය වන විට දර්ශකය සියයට 18ක වර්ධනයක් ලබා ගත් අතර 2009 මාර්තුවේ අවමය සටහන් කල තැන් පටන් එහි වර්ධනය සියයට 158 ඉක්මවා යයි. එහෙත් සංගත, රැකියා වල වියදමෙන් සිය කොටස් හිමියන්ට ලාභ බෙදද්දී, විරැකියාව ඉහල යන අතර ආන්ඩු, සාගත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම දිගටම කරගෙන යයි.

ගෝලීය මූල්‍ය අර්බූදය හේතුවෙන් රැකියා වෙලඳපොල "දැඩි ලෙස" ඛාදනය වී" තිබේ යයි අයිඑල්ඕ ව පවසයි. 2013 දී ලොව පුරා රැකියා අවස්ථා වර්ධනය වූයේ සියයට 1.4 කින් වන මිලියන 40ක සොච්චම් ප්‍රමානයකිනි. වසරක් ගානේ ශ්‍රම වෙලඳ පොලට එකතුවීමට බලාපොරොත්තුවෙන් සිටින මිලියන 42.6ක් ජනයාගේ ඉල්ලුම සමග පෑහීමට එයට කිසිසේත්ම නොහැකි විය. "ප්‍රතිඵලය ලෙස, අර්බූදයට පෙරාතු යුගයේ රැකියා අහිමිවීම හා සසඳන කල ගෝලීය රැකියා පරතරය තව තවත් පලල් වෙමින් 2013දී එය මිලියන 62ක් බවට පත් විය."

රැකියාවල අනාගතය අඳුරු සහගතවීම නිසා ශ්‍රම බලකායෙන් ඉවතට වැටී හෝ ඉවත්වී හෝ සිටින තක්සේරුගත මිලියන 23ක "දිරිය සිඳ ගත් කම්කරුවන්" නිල විරැකියාවට එකතු විය යුතුය. 2018 වෙද්දී "ලෝක පරතරය මිලියන 81ක් වෙයි: යලි කිසිදු දිනෙක ශ්රම වෙලඳ පොලට නො ඒමට ඉඩ ඇති මිලියන 30ක දිරිය සිඳ ගත් කම්කරුවන් ද මීට ඇතුලත්ය."

"අසමාන ගොඩ ඒම" හේතුවෙන් දිගින් දිගටම බැට කන කොටස තරුනයන් වනු ඇත. තරුන විරැකියා අනුපාතය සියයට 28 කරා නැඟී තිබෙන මැද පෙරදිග එය වැඩියෙන්ම ඉහල ගිය කලාපය වෙයි. මධ්‍යම සහ ගිනිකොන දිග යුරෝපය, කලින් පැවති සෝවියට් සංඟමයට අයත්ව තිබූ රටවල්, නැගෙනහිර සහ අග්නිදිග ආසියාව, පැසිෆික් කලාපය සහ උතුරු අප්‍රිකාව යන මේ සෑම තැනකම සැලකිය යුතු විරැකියා වර්ධනයක් සිදුව තිබේ.

මීට අමතරව, අධ්‍යාපන කටයුතුවල, රැකියාවක හෝ පුහුනුවක නිරත නොවන (නීට් වරු සේ හැඳින්වේ) තරුන අනුපාතය දිගටම ඉහල යයි. තුර්කියේ එය සියයට 35 ට ආසන්න වන අතර මෙක්සිකෝවේදී සියයට 25 කි. අහිතකරම අනුපාත සමහරක් තිබෙන්නේ යුරෝපයේ ය. ස්පාඤ්ඤයේ, ඉතාලියේ, ග්‍රීසියේ සහ අයර්ලන්තයේ තරුනයන් පස් දෙනකුගෙන් එක් අයකුට වඩා වැඩි පිරිසක් නීට් වරු වෙති.

බොහෝ කොටම සමාජ ආරක්ෂනය ට හෝ සෞඛ්‍යය ආරක්ෂනය ට අවකාශ නැති අනාරක්ෂිත, අඩු වැටුප් සහිත රැකියා වලට යාමට බල ‍කෙරී සිටින කම්කරු සංඛ්‍යාව ඉහල යන තත්වයකදී මෙම සංඛ්‍යා ලේඛන යථා තත්වය වසන් කරයි.

අයිඑල්ඕ වට අනුව සමස්ත සේවා නියුක්තිකයින්ගෙන් සියයට 48ක්ම යෙදී සිටින්නේ "අඩමාන රැකියා" ලෙස හඳුන්වනු ලබන ස්වයං රැකියා හෝ පවුලේ ශ්‍රම දායකත්වයෙන් සිදුකරන වැඩ වල ය. 2012 මිලියන 5.3 ට සහ 2011 මිලියන 3.3 ට සන්සන්දනාත්මකව වැටුප් ලබන රැකියා ප්‍රවනතාවයන් ට ප්‍රතිමුඛව 2013 දී ලොව පුරා අඩමාන රැකියා මිලියන 13.4 කින් ඉහල ගොස් ඇති බව වාර්තාව සඳහන් කරයි.

අයිඑල්ඕ ව විසින් "වැඩ කරන දුගීන්" ලෙස හඳුන්වන කම්කරු පිරිස අඩුවී තිබෙන්නේ, පසුගිය දශකයට වඩා අඩු ඉතා සුලු අනුපාතයකිනි. 2013 දී ලෝක ශ්‍රම බලකායෙන් සියයට 11.9 ක් හෙවත් මිලියන 375ක් දිනකට ඇමෙරිකානු ඩොලර 1.25 කට අඩු වැටුපකින් දිවි ගෙවූ අතර සියයට 24.7 ක් වූ මිලියන 839කට හිමි වූයේ දිනකට ඩොලර් 2ක් හෝ ඊට අඩුවෙනි.

"බොහොමයක් දියුනු ආර්ථිකයන් හි විරැකියාව පැවැතීගෙන යන කාල පරාසය පූර්ව අර්බූද යුගයන්හිදී මෙන් දෙගුනයක් වී තිබේ" යයි අයිඑල්ඕ ව වාර්තා කලේය. රැකියා විරහිත කාල සීමාව ග්‍රීසියේදී මාස 9ක් ද ස්පාඤ්ඤයේදී මාස 8ක් ද වේ. " ආර්ථක ගැටලුවලින් ගැලවීමේ දිරිගන්වන සුලු සලකුනු පෙන්නුම් කරන එක්සත් ජනපදය වැනි රටවල පවා, දිගු කාලීන රැකියා වියුක්තිය මුලු රැකියා අපේක්ෂිතයන් ගෙන් සියයට 40 කටත් වැඩි පිරිසකට බලපා තිබේ."

වාර්තාව පුරාවටම අයිඑල්ඕ වේ මූලික කනස්සල්ල වන්නේ, ගැඹුරු වන විරැකියාවේ මානුෂික පිරි වැය නොව, ආර්ථික වර්ධනය සහ දේශපාලන අතෘප්තිය කෙරෙහි ඉන් ඇති කැරෙන බලපෑම ය. " ප්‍රසාරනය වීමට සහ රැකියා නිර්මානයට අවශ්‍ය දිරිගැන්වීම්" ඇතිකරන ලෙස ද ආන්ඩු විසින් ක්‍රියාවට නඟන "ආක්‍රමනශීලී" කප්පාදු පියවරයන්හි සැර බාල කරන ලෙස ද "ආර්ථික වර්ධනයෙන් කම්කරුවන් ට ලැබෙන පංඟුව පහල යාම" ට පිලියම් යොදන ලෙසට ද කෙරෙන බෙලහීන ඉල්ලීම් සමගින් වාර්තාව නිමා වෙයි.

අයිඑල්ඕ වේ යෝජිත "සාර්ව ආර්ථික පිලිවෙත් ප්‍රති තුලනය කිරීම" සිදු වුවද එහිම ආකෘති පෙන්නුම් කෙරෙන්නේ, 2020 වන විට ඉහල ආදායම් ලබන G20 රටවල විරැකියාව පහල යනු ඇත්තේ, මිලියන 200ක් තවදුරටත් විරැකියාවේ තබමින්, සියයට 1.8 කින් පමනක් බවය.

එහෙත් ආර්ථික පිලිවෙත් වල එවන් කිසිදු මෘදු වීමකට ඉඩක් නැත. අයිඑල්ඕ වාර්තාවම සටහන් කරන ආකාරයට, ලොව පුරා පාලක ප්‍රභූන් හා ඔවුන් ගේ ආන්ඩු, ආර්ථික කඩාවැටීමේ බර කම්කරු පන්තිය මත පැටවීමට මාන බලමින් සිටී.

Share this article: