2014 වර්ෂය ඇරැඹෙත්ම,භූ දේශපාලන ආතතීන් හමුවේ 1914 ලෝක යුද්ධයේ අවතාරය හොල්මන් කරයි

Geo-political tensions raise spectre of 1914 Great War

2014 ජනවාරි 06

ලෝකයේ ප්‍රධාන පෙලේ පුවත් පතක් වන ෆිනෑන්ෂල් ටයිම්ස්, නව වසර ඇරැඹීම සඳහා කතුවැකිය ලෙස "මහා යුද්ධයේ ප්‍රතිබිම්බයෝ" යන හිසින් යුත් කතුවැකියක් තෝරා ගැනීම, ගැඹුරු වන ගෝලීය දේශපාලන ආතතීන්හි සලකුනක් වනු නොඅනුමාන ය. එය වත්මන් තත්වය හා වසර සීයකට පෙර ඉමහත් ව්‍යසනයකට තුඩු දුන් වාතාවරනය අතර සමාන්තරයක් ඇඳ තිබේ.

කතුවැකිය සඳහන් කරන පරිදි 1914 ජනවාරිය වන විට, එයින් යන්තම් මාස හතක් ගතවූ තැන, ඊලඟ සිව් වසර පුරා කෝටි ගනනකට මරු කැඳවමින් හා තුවාල සිදු කරමින්, "තම මිලිටරි හා දේශපාලන නායකයින්, ලෝකය ව්‍යසනකාරී යුද්ධයක් තුලට ඇද දමනු ඇති බව" යුරෝපීයයන් කිහිපදෙනෙකුට හැර අන් අයට සිතාගැනීමටවත් බැරි විය.

"එවන් යුගකාරක විනාශයක අද්දරට ලෝකය පැමින තිබේ යයි බියවීමට හේතුවක් නොමැති" බවට සහතික වන අතර - ප්‍රශ්නය මතුව තිබුනු 1914 ජනවාරියේ දී ද එවැනි ම යමක් කිව හැකිව තිබූ බව නිසැක ය - වුවත් කතුවැකිය, "එදා සහ අද අතර හිතට වධ දෙන සමහර සමානකම්" පවතින බව සඳහන් කරයි.

ෆිනෑන්ෂල් ටයිම්ස්, සියවසරකට පෙර හා 2014 වසර අතර එවන් භූ දේශපාලනික සමාන්තරයක් අඳිනු ලබන එක ම පුවත්පත නොවේ.

බ්‍රිතාන්‍යයේ දිනපතා පුවත්පතක් වන ඩේලි ටෙලිග්‍රාෆ්හි ජනවාරි 02දා නිකුතුව තුල අර්ථශාස්ත්‍රඥ ඇම්බ්රොයස් ඉවන්ස් ප්‍රිචාර්ඩ් පලකල ප්‍රකාශයක් "1914 අවතාරය" යලි සැපත්වීම ගැන සඳහන් කරයි. නව වසර පිලිබඳ අනාවැකි කිසිසේත්ම පහසු නොවන අතර "කුමන මෙහොතක හෝ දේශපාලන බෝම්බ රාශියක් පුපුරා යාමට නියමිතව ඇති තත්වය හමුවේ ඇතිවන ගෝලීය පාලන තන්ත්‍ර වෙනස්කම් මධ්‍යයේ එය නොහැකි දෙයක් ද නොවේ" යයි ඔහු ලියා ඇත.

නැගෙනහිර චීන මුහුදේ මතභේදයට ලක්ව තිබෙන සෙන්කාකු/ඩයෝයු දිවයින් පිලිබඳව ජපානයේ හිමිකම් කීමට අභියෝග කිරීමට උත්සාහ දරන චීනය, ගුවන් ආරක්ෂක හඳුනා ගැනීමේ කලාපයක් පිහිටුවීමට ගත් පියවර, "පලමු ලෝක සංග්‍රාමයට පෙරාතුව බ්‍රිතාන්‍යයේ ප්‍රතිචාරය මැන බැලීමට" ජර්මනියේ කයිසර් ප්‍රන්සය සමග ඇතිකරගත් ගැටුමට සමාන කරමින් ඔහු මෙසේ පවසයි: "ආසියාවේ ප්‍රධාන බලවතුන් දෙදෙනා දැනටමත් හදිසි යුද්ධයක මුවවිට සිටියි. ඔවුන් සිටින්නේ, සියලු ආර්ථික බලාපොරොත්තු බිඳ දැමිය හැකි සිදුවීම් දාමයකට එක් වැරැදි විනිශ්චයක් පමනක් මෙපිටින් ය."

"2014 නිර්භය නව ලෝකය තුල තවදුරටත් ඇත්තේ ෆුකුයාමාගේ 'ඉතිහාසයේ අවසානය' නොවේ" යයි පවසන ප්‍රිචාර්ඩ්, ඉතිහාසය එහි සියලු දත් හා නිය පහුරු සමගින් යලි සැපත්වීම බව පවසයි. මෙහි දැක්වූයේ, ප්‍රථම ලෝක යුද්ධය පුපුරායාමට තුඩුදුන් ජර්මනිය හා එක්සත් රාජධානිය අතර පැනනැඟි ආතතීන්ට, එක්සත් ජනපදය හා චීනය අතර හටගෙන තිබෙන ගැඹුරුවන ආරවුල සමාන කරන එවන් බොහෝ ප්‍රකාශ ඇතුලත් ලිපි වලින් දෙකක් පමනි.

"පරිහානියට පත්වන පැරැනි අයට සාපේක්ෂව නව මහ බලවතුන් නැඟී ඒම මගින් ජාත්‍යන්තර පර්යාය අලුතින් පෙලගැස්වුවහොත්, අවදානම විශේෂයෙන්ම උග්‍ර අතට හැරෙන බව" සඳහන් කරන ෆිනෑන්ෂල් ටයිම්ස්, ප්‍රතිවාදී ජාතිකවාදයන්හි හා ඓතිහාසික දුක්ගැනවිලිවල ඝර්ෂනය, "1914 පැවතුනාට වඩා අද දිනයේ යුද්ධයට හේතුකාරක වන ශක්‍යතා කිසිලෙසකින් හෝ අඩු නොකරන" බවට අනතුරු අඟවයි. සියවසකට පෙර ජර්මනිය, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ වියදමෙන් ''සූර්යාලෝකයේ තැනක්'' සෙවීමට උත්සාහ ගෙන ඇත. දැන් බීජිනය හා එක්සත් ජනපදයේ සහාය මත වාරුවන එහි අසල්වාසීන් අතර නැගෙනහිර චීන මුහුදේ උග්‍ර වන ආතතීන්, "1914ට පෙරාතුව බ්‍රිතාන්‍ය, ප්‍රන්සය හා රුසියාව සමග ජර්මනියේ පලුදුවූ සම්බන්ධකම් සිහියට නඟයි."

පවත්නා "ජාත්‍යන්තර පර්යාය" කඩාකප්පල් කල ජර්මනියේ උත්සාහයන් මත යුද්ධයේ චෝදනාව පැටවීමට වෑයම් කරන එවන් අටුවා, ඉතිහාසය ලියා ඇත්තේ ජයග්‍රාහකයින් බව සඳහන් කෙරෙන පැරැනි ආප්තෝපදේශයක් සනාථ කරමින්, වගකීම පිලිබඳව ජර්මනියට එල්ලවූ චෝදනා අද දිනයේ චීනය විසින් දරන එවැනි ම උත්සාහයන්ට සමාන කිරීම, ඓතිහාසික වාර්තාව මෙන්ම වර්තමාන තත්වය ද මුසාකරනය කිරීමකි. "පීතෘ භූමියේ ආරක්ෂාව" යන සටන්පාඨය යටතේ තමන්ගේ ම ජනතාව රැලිකිරීමේ අටියෙන් පලමු ලෝක යුද්ධයේ පැටලුනු අධිරාජ්‍යවාදී පාර්ශවයන් යුද්ධය පිලිබඳව සිය විරුද්ධවාදීන් පිට වරද පැටවීමට වෙර දරද්දී, 1915 ලියන ලද යුද්ධය හා ජාත්‍යන්තරය යන සිය දීප්තිමත් පොත් පිංච තුල ලියොන් ට්‍රොට්ස්කි පැහැදිලි කල පරිදි, යුද්ධයේ සැබෑ හේතුව පවතින්නේ, සමස්තයක් ලෙස ගත් ගෝලීය ධනේශ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධතා තුල ය.

අවසානයේ පලමු ලෝක සංග්‍රාමය කරා ගමන් ගත් දශක හතර, වේගවත් ආර්ථික ප්‍රසාරනයක් හා ලෝක ආර්ථික ක්‍රමයක් ගොඩ නැඟීම අත්දුටුවේ ය. එහෙත් අප දැන් ගෝලීයකරනය ලෙස හඳුන්වන්නාවූ මෙම ක්‍රියාවලිය, සැබෑ ප්‍රගතිශීලී වර්ධනයක් තුල මානව වර්ගයාගේ නිෂ්පාදන බලවේගයන්හි ගෝලීය ප්‍රගමනය හා ධනේශ්වර ක්‍රමය මුල්බැස ඇත්තාවූ ප්‍රතිවාදී ජාතික රාජ්‍යයක හා මහ බලවතුන්ගේ පද්ධතිය අතර මූලික ප්‍රතිවිරෝධයන් ඉමහත් ලෙස තියුනු කර තිබේ.

ට්‍රොට්ස්කි ලිවූ පරිදි ධනපති ආන්ඩු, මෙම ප්‍රතිගතිතා ජයගැනීමට උත්සාහ කරන්නේ, "මානව සංහතියේ සියලු නිෂ්පාදකයින්ගේ තාර්කික, සංවිධිත සහයෝගය තුලින් නොව, ජයග්‍රාහී රටේ ධනපති පන්තිය විසින් ලෝක ආර්ථික ක්‍රමය සූරාකෑම මගින් ය." සාරාර්ථයෙන් ම යුද්ධය, "එහි ම අනිවාර්ය ප්‍රතිවිරෝධතා තුලින් විනාශයට ඇද දැමනු ආර්ථික පද්ධතියක ඉතිහාසයේ අති දැවැන්ත බිඳවැටීමක්" නියෝජනය කරයි.

එක්සත් ජනපදය හා චීනය අතර ගැටුම, පලමු ලෝක යුද්ධයට හේතුකාරකවූ ප්‍රතිවිරෝධයන් යලි හිස ඔසවන්නේ ය යන කාරනයේ දැවෙන ප්‍රකාශනය යි.

අධිරාජ්‍යවාදී අටුවාකාරයින් එය කයිසර්ගේ ජර්මනියට සමාන කිරීමට දරන උත්සාහය තිබියදී ම චීනය, අධිරාජ්‍යවාදී බලවතෙකු නොවේ. එය ක්‍රියාත්මක වන්නේ, අධිරාජ්‍යවාදී බලවතුන් විසින්, සියල්ලටත් වඩා එක්සත් ජනපදය විසින්, ආධිපත්‍යය දරන ලෝක ආර්ථිකයක් හා මූල්‍ය පද්ධතියක් තුල ය.

කෙසේ වෙතත්, ගෝලීයකරනයේ නව අදියරක කොටසක් ලෙස චීනයේ ආර්ථික වර්ධනය ම, පෙරටත් වඩා පුපුරන සුලු ආකාරයකින් යලි මතුකරනු ලබන්නේ, නිෂ්පාදන මාධ්‍යයන්ගේ ගෝලීය වර්ධනය හා ප්‍රතිගාමී මෙන් ම යල්පැනගිය ජාතික රාජ්‍ය පද්ධතිය අතර ප්‍රතිවිරෝධය ම ය.

ප්‍රථම ලෝක යුද්ධයට යොමුවූ ආකාරයට ම අධිරාජ්‍යවාදී බලවත්තු, වසර 100කට පෙරාතුව යුද අගල් තුල කරගෙන ගිය යුද්ධයේ බිහිසුනුකම, න්‍යෂ්ටික ගිනි මැලයක තැන ගන්නා කොන්දේසි යටතේ, මානව වර්ගයා තවත් ව්‍යසනයකට ඇද දැමීමට සූදානම් වෙති.

ෆිනෑන්ෂල් ටයිම්ස් කතුවැකිය අවධාරනය කරන්නේ, "ආන්ඩු හා ජනතාවන් පලමු ලෝක යුද්ධයේ පිපිරීම අනුස්මරනය කිරීම අභිමානවත් උත්සවශ්‍රීයෙන් හා මලවුන් සඳහා ගෞරවයෙන් සිදුකල යුතු නමුත් ඒ සමග 1914-18 අතර ව්‍යසනයෙන් මැදහත් නිගමන උපුටාගැනීමට ද යොමුවීම යුතුකමක්" වන බව යි.

සැබවින් ම සැලසුම් කෙරෙන්නේ, නව යුද්ධයක් සඳහා අත්‍යවශ්‍ය දෘෂ්ටිමය සූදානමක් ලෙස, අධිරාජ්‍යවාදී ප්‍රචන්ඩත්වය උත්කර්ෂයට නැංවීමකි.

බ්‍රිතාන්‍ය අගමැති ඩේවිඩ් කැමරන්, වීදි සැනකෙලි හා යූනියන් ජැක් කොඩිය සහිත උත්සවයන්ගෙන් සැදුම්ලත් රැජිනගේ දියමන්ති ජුබිලිය සැමරූ පසුගිය වසරේ මෙන් මෙවර ද යුද්ධයේ ශත සංවත්සරය උත්සවශ්‍රීයෙන් සැමරීම සඳහා කැඳවුම් කලේ ය. "අපගේ ජාතික අභිමානය" පිලිඹිඹු කරන "ජාතික අනුස්මරන උත්සව සඳහා" පවුම් මිලියන 50ක් වෙන්කර ඇත.

ඔස්ට්‍රේලියාවේ දී, "අපගේ ඉතිහාසයේ කවර කලෙකවත් සිදු නොවුනු ආකාරයෙන් ඔස්ට්‍රේලියාව ලෝකය මත බලපෑමක් ඇතිකර තිබෙන තතු තුල, අසාමාන්‍ය සිදුවීමක් ලෙස, මහජන ප්‍රීතිඋත්සවයක්" බවට පත්වන මෙම සැමරුම් සඳහා ලේබර් විපක්ෂය උපරිම වශයෙන් සහාය දෙන බව ලිබරල් අගමැති ටෝනි ඇබට් කියා සිටි අතර සිව් වසරක් පුරා පැවැත්වෙන අති උත්කර්ෂවත් ලෙස සැමරෙන මෙම සංවත්සරය සඳහා ඩොලර් මිලියන සිය ගනනක් වැය කෙරෙනු ඇත.

1914 ව්‍යසනයෙහි පාඩම් උකහා ගැනීමේ අවශ්‍යතාව අවධාරනය කරනු ලැබුව ද ෆිනෑන්ෂල් ටයිම්ස් කතුවැකිය, නව ලෝක යුද්ධයක් බැහැර නොකරයි. උකහාගත යුතු අවසන් නිගමනය, "යුද්ධය පිපිරී ගියහොත් එහි අවසානයේ දී, සුරක්ෂිත සාමයක් ගොඩනැඟීමේ අවශ්‍යතාව යි." කොන්දේසි වේගයෙන් මෝරා යමින් තිබෙන, තුන්වන ලෝක යුද්ධයක් අවසානයේ ඇතිවන එක ම සාමය වනු ඇත්තේ, මරනයේ නිහඬතාව හා න්‍යෂ්ටික ශීත සෘතුවකි.

ජාත්‍යන්තර කම්කරු පන්තිය තමන්ගේ ම පාඩම් උකහාගත යුතු අතර තමන්ගේ ම ස්වාධීන සූදානම ඇති කරගත යුතු ය. ට්‍රොට්ස්කි ලිවූ පරිදි, "සිය වර්ධනයේ උච්ඡවස්ථාවේ පසුවන ධනවාදය අතෙහි යුද්ධය, සිය නොවිසඳිය හැකි පරස්පර විරෝධයන් ජයගැනීමට දරන උත්සාහය යි. මෙම ක්‍රමවේදයට කම්කරු පන්තිය තමන්ගේ ම විධික්‍රමයෙන් විරුද්ධ විය යුතු අතර එය වනාහි සමාජ විප්ලවයේ විධික්‍රමය යි."

නික් බීම්ස්

Share this article: