ආසියානු කලාපය තුල යුද්ධයේ අන්තරාය

The danger of war in Asia

2014 ජනවාරි 29

"අවසානයේදී නැගෙනහිර චීන මුහුදේ යුද්ධයට තල්ලු වෙයි" යන හිසින් ෆිනෑන්ෂල් ටයිම්ස්හි පසුගිය සතියේ පලවූ කතුවැකියකින්, චීනය හා ජපානය අතර ගැටුමක් ඇතිවීමේ අවදානම පිලිබඳව පාලක කවයන් තුල වැඩෙමින් ඇති කනස්සල්ල පල විය. "ලෝකය මුහුන දෙන විශාලතම ආරක්ෂක අවදානම වන යුද්ධයක හැකියාව වේගයෙන් මතුවෙමින් තිබෙන අතර "ආන්ඩු දෙක" ගැටුම අවම කර ගැනීමට කිසිවක් නොකරයි" යනුවෙන් එය සඳහන් කරයි.

ස්විට්සර්ලන්තයේ ඩේවෝස්හි පවත්වන ලද ලෝක ආර්ථික සංසදයේ දී ජපන් අගමැති ෂින්සෝ අබේ පල කල අදහස් කෙරෙහි පුවත්පත අවධානය යොමු කරයි. එහිදී ඔහු, නැගෙනහිර ආසියාවේ පවතින වර්තමාන එදිරිවාදිකම් හා පලමු ලෝක යුද්ධයට පෙරාතුව බ්‍රිතාන්‍ය හා ජර්මනිය අතර පැවති ආතතීන් අතර නොවරදින සුලු සමාන්තරයක් ඇඳ තිබේ. "ජපන් අගමැති 1914 යුරෝපය සමග කරන කුමන හෝ සැසඳීමක් ලේ සීතල කරන හා ප්‍රකෝපකාරී ප්‍රකාශයකි" යනුවෙන් එය සඳහන් කරයි.

ජපානයේ සෙන්කාකු ලෙසිනුත් චීනයේ ඩයෝයු යනුවෙනුත් හඳුනවනු ලබන නැගෙනහිර චීන මුහුදේ පිහිටි ගල්පර දිවයින් මුල්කරගෙන පැනනැගී තිබෙන ආරවුල ආතතීන්ගේ ක්ෂනික හේතුව යි. කෙසේවෙතත්, මෙම අන්තරායකාරී ජ්වලන කේන්ද්‍රය ගිනි ඇවිලවීමේ ප්‍රධාන වගකීම පැවරෙන්නේ ඔබාමා පාලනාධිකාරයේ "ආසියාවට හැරීම" වෙත ය. එය, චීනය ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හුදෙකලා කිරීමත්, මිලිටරි වශයෙන් වැටලීමත්, අරමුනු කරගත් එක්සත් ජනපද මූලෝපාය යි.

භූමිභාග පිලිබඳ ආරවුලේදී මැදහත්ව කටයුතු කරන ලෙස කුහක ලෙස කියා පෑව ද වොෂින්ටනය, දිවයින් අරභයා යුද්ධයක් ඇවිලුනහොත් සිය සහචරයා වන ජපානයට එජ සහාය දෙන බව යලි යලිත් පවසා ඇත. තව ද "හැරීමේ" කොටසක් ලෙස ඔබාමා පාලනාධිකාරය, ජපානය ප්‍රති සන්නද්ධ කිරීම දිරිමත් කරමින් එහි තම මිලිටරි කඳවුරු ප්‍රතිව්‍යුහගත කරමින් සිටියි.

2014 ආසියාව, 1914 යුරෝපයට ඇඟ කිලිපොලන ආකාරයේ සමානකම් පෙන්වයි. පලමු ලෝක යුද්ධය හටගත්තේ ප්‍රධාන බලවතුන් අතර බලපෑම් ක්ෂෙත්‍රයන් අරභයා ඇවිල ගිය නොවැලැක්විය හැකිවූ තරඟය මුල් කර ගෙන ය. එම අවධියේ ජීවත්වූ ශ්‍රේෂ්ඨ මාක්ස්වාදීන්වූ ලෙනින් හා ට්‍රොට්ස්කිට අනුව, එය සලකුනු කලේ, ධනවාදයේ මරලතෝනි අවධිය වන අධිරාජ්‍යවාදී යුගයෙහි ආරම්භය යි.

2008 පුපුරා ගිය ගෝලීය මූල්‍ය අර්බුදය ද නරක අතට හැරෙමින් තිබෙන ලෝක ආර්ථික පසුබෑම ද නැගී එන භූ දේශපාලනික ආතතීන් ද පැහැදිලි කරන්නේ, සියවසකට එපිටදී නිර්මානය කල භීෂනයන්ට තුඩු දුන් මූලික ප්‍රතිවිරෝධයන් කිසිවක් ධනවාදය විසින් විසඳාගෙන නැති බව යි.

පසුගිය දශකය පුරා එජ, සිය සාපේක්ෂ ආර්ථික පරිහානිය මිලිටරි අධිකාරය හරහා ජයගැනීමට දැරූ මංමුලාසහගත ව්‍යායාමයේ දී, ඇෆ්ගනිස්ථානය, ඉරාකය හා ලිබියාව වැනි රටවල එකකට පසුව තවෙකක් වශයෙන් ආක්‍රමනකාරී යුද්ධයන්ට මෙන්ම විවිධාකාර කුමන්ත්‍රන හා ප්‍රකෝපකරනයන්ට පැනගෙන තිබේ. ඔබාමා ජනාධිපති ලෙස පත්වීම ද ඔහුගේ ආසියාවට "හැරීම" ද පිලිඹිඹු කරන්නේ, මැදපෙරදිග වෙත බුෂ් පාලනාධිකාරයේ යොමුව නිසා ආසියාවේ එක්සත් ජනපද ආධිපත්‍යට වල කැපුනු බවට ඇමරිකානු සංස්ථාපිතය තුල පැවති ගැඹුරු කනස්සල්ල යි. ව්‍යාපාරික ලාභය පිලිබඳ මූලික ක්ෂේත්‍රය බවට පත්ව තිබූ කලාපයේ විශේෂයෙන්ම චීනයේ, ලාභ ශ්‍රම තටාකයන්හි ආධිපත්‍යය ද ඊට අන්තර්ගත ය.

ඔබාමා යටතේ එජ, චීනය සමග පවතින ගැටලු සම්බන්ධයෙන් වඩා දෘඪ ආස්ථානයක් ගැනීමට ජපානය හා ෆිලිපීනය වැනි තම අනුචරයින් උසිගැන්වූ අතර සිය යුද සූදානමේදී එජ ගුවන් හා නාවික බලයෙන් සියයට හැටක් ඉන්දු පැසිෆික් කලාපයෙහි "ප්‍රතිතුලනය" කිරීමට පටන් ගනිමින්, ඕස්ට්‍රේලියාව හා අනෙකුත් ආසියා-පැසිෆික් රටවල් සමග නව යුද කඳවුරු ගොඩනැඟීමේ ගිවිසුම් ඇතිකර ගත්තේ ය.

ජපානය සම්බන්ධයෙන් ගත් කල එජ "හැරීම," දශකයක් තුල පලමු වතාවට මිලිටරි වියදම් ඉහල නැංවීමටත්, ජපාන සන්නද්ධ හමුදාවන්ට පැනවී තිබුනු ව්‍යවස්ථාපිත සීමා අවසන් කිරීමටත් යොමුවූ අබේගේ දක්ෂිනාංශික ආන්ඩුව බලයට ගෙන ඒමට කරලිය සැකසීය. පසුගිය මාසයේදී අබේ, 1930 හා 40 ගනන්වල ජපාන මිලිටරිවාදයේ විභව සංකේතය වන යුද්ධයෙන් මියගිය රටේ යුදකාමීන් සිහිකරීම සඳහා ඉදිකර ඇති කුප්‍රකට යසුකූනි දේවස්ථානය වෙත ප්‍රකෝපකාරී සංචාරයක යෙදුනේ ය.

ආසියාවේ ප්‍රමුඛ බලවතෙකුගේ තත්වය අතහැරීමට සූදානම් නැති ජපාන අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා මගින් අබේ දුවවනු ලබයි. ඩේවෝස්හි පවත්වන ලද කථාවේදී අබේ, "ජපානය බැසයන හිරුගේ භූමිය ලෙස හඳුන්වනු ලබන" පන්ඩිතයින් ප්‍රතික්ෂේප කරමින්, "නව අරුනෝදයක් පහල වෙමින් තිබේ" යයි පැවසීය. ඔහුගේ කථාවෙහි තේමාවන් දෙකම ආක්‍රමනශීලී ය. සිය ප්‍රතිවාදීන්ට වල කපා ජපානය "ලෝකයේ වඩාත්ම ආකර්ශනීය ව්‍යාපාරික ස්ථානයක්" බවට පත්කිරීමට සැලසුම් කර ඇති බෙලි කපන ආර්ථික පියවර පසෙකින්, චීනයට එරෙහිව තුනී ලෙස සැඟවුනු විවේචනයන් ද ඊට ඇතුලත් ය.

චීනය 1914 ජර්මනියට සමාන කිරීම මගින් අබේ, බීජිනය භයානක නව තර්ජනයක් ලෙස පින්තාරු කිරීමට වැයම් කලේ ය. කෙසේ වෙතත් ජර්මනිය මෙන් නොව චීනය අධිරාජ්‍යවාදී බලවතෙකු නොවේ. එරට ආර්ථිකයේ පරිමාව තිබියදී ද චීනය, පවත්නාවූ මූල්‍ය මධ්‍යස්ථාන මෙන්ම විදේශ ව්‍යාපාරික ආයෝජන හා තාක්ෂනය මත මුලුමනින්ම යැපෙන ලාභ ශ්‍රම තටාකයක් ලෙස දිගටම පැවතෙයි. මිලිටරි ක්ෂේත්‍රයේදී එජ, සුපිරි අධිකාරයක් ද ලෝකයේ කොතැනක හෝ ඇති චීන ආසක්තයන්ට තර්ජනය කල හැකි යුද කඳවුරු හා යුද සන්ධාන ජාලයක් ද සතුව සිටියි.

පසුගිය සිව් වසර පුරා එක්සත් ජනපදය විසින් මුල්ලකට ඇද දමා ඇති චීන නායකත්වය, එක් අතකින් ප්‍රධාන බලවතුන්ට තව තවත් ආර්ථික සහන පිරිනමමින් හා අනෙක් අතින් චීන රාජ්‍යට යාබද මුහුදේ සිය හිමිකම අවධාරනය කරමින් හා මිලිටරි වියදම් ඉහල දමමින් සිටියි. දශක තුනක කාලයක් තිස්සේ ගෙන ගිය ධනපති පුනස්ථාපනයෙන් බිහිකල ආන්තික සමාජ ආතතීන් වෙතින් අවධානය වෙනතකට හැරවීම හා තම මිලිටරි තරකිරීම් යුක්තිසහගත කිරීම යන අරමුනු දෙකම සඳහා බීජින් තන්ත්‍රය, ජපන් විරෝධී ස්වෝත්තමවාදය වපුරයි.

යුද්ධයේ වැඩෙන අන්තරාය කෙරෙහි අවධානය යොමුකරවන නමුත් ෆිනෑන්ෂල් ටයිම්ස් පත්‍රය, "දෙපාර්ශවයම කඩුව ලෙලවීම නතර කර එකිනෙකා සමග සාකච්ඡා කිරීමට පටන්ගත යුතුය" යන බෙලහීන ආයාචනයට වඩා කිසිදු විසඳුමක් ඉදිරිපත් කිරීමට අසමත් ය. වත්මන් ගැටුම අවුලුවා ඇත්තේ එජ "හැරීම" මගින් ය යන කාරනය නොතකා හරිමින් කතුවැකිය, යුක්තියේ හා සාමයේ හඬ ලෙස මැදිහත්වීම සඳහා වොෂින්ටනයට ආයාචනය කරයි. අබේ හා චීන ජනාධිපති ෂී ජින්පින් යන දෙදෙනාම, "ප්‍රමාද වැඩි වීමට මත්තෙන් මිලිටරිවාදයෙන් වෙනස් මගක් වෙත යොමුවිය යුතුය" යි එය ඉල්ලා සිටියි.

කෙසේ වෙතත් 1914 මෙන්ම යුද්ධය සඳහා තල්ලුව, ධනවාදයේ නොවිසඳිය හැකි ප්‍රතිවිරෝධයන් මගින් ගිනියම් වෙයි. එනම් ගෝලීය ආර්ථිකය හා යල්පිනූ ජාතික රාජ්‍ය පද්ධතිය හා සමාජීයවූ නිෂ්පාදනය හා නිෂ්පාදන මාධ්‍යයන්හි පෞද්ගලික අයිතිය අතර පරස්පර විරෝධය යි. මේවා 2008 ගෝලීය බිඳවැටීම හමුවේ පූර්න බලයෙන් යුක්තව නැඟී එයි. මානව වර්ගයාට එරෙහිව සූදානම් කෙරෙමින් තිබෙන ව්‍යසනය වැලැක්විය හැක්කේ, ධන කුවේරයන් සුලු පිරිසකගේ සුපිරි ලාභ සඳහා නොව, ජනගහනයේ අති බහුතරයකගේ සමාජ අවශ්‍යතා සපුරාලීම පිනිස, බංකොලොත් ලාභ ක්‍රමය පෙරලා දමා සමාජය සමාජවාදී පදනමක ප්‍රතිසංවිධානය කිරීමෙන් පමනි. තවත් ලෝක යුද්ධයක අන්තරාය සලකුනු කරන්නේ, සියලු වර්ගයේ ජාතිකවාදයන්, දේශමාමකත්වයන් පිලිකෙව් කිරීම හා මෙම දැවෙන කර්තව්‍ය ඉටුකිරීම සඳහා චීනයේ, ජපානයේ, එක්සත් ජනපදයේ හා ජාත්‍යන්තරව කම්කරුවන්ගේ හා තරුනයින්ගේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමේ අවශ්‍යතාව යි.

පීටර් සිමන්ඩ්ස්

Share this article: